දෙමල දේශපාලන සිරකරුවන් ආහාර වර්ජනයක

සකුන ජයවර්ධන විසිනි, 2018 ඔක්තෝබර් 12

අනුරාධපුර, වැලිකඩ මැගසින් සහ දුම්බර බන්ධනාගාර වල රඳවා සිටින දෙමල දේශපාලන සිරකරුවන් 55 දෙනෙක් තමන් නිදහස් කරන ලෙස හෝ පුනරුත්ථාපනය කරන ලෙස ඉල්ලා සති කිහිපයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වී සිටිති. මීට සමගාමීව එම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දිවයිනේ නගර කීපයක විරෝධතා උද්ඝෝෂන පැවැත්වින.

මෙම වර්ජනය සහ උද්ඝෝෂන මතුවී ඇත්තේ ඔවුන්ගෙන් බහුතරය චෝදනා හෝ නඩු රහිතව දිගු කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින තත්වයක් තුලය.

සැප්තැම්බර් 14 වනදා අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් අට දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇරැඹුනු ආහාර වර්ජනයට පසුව තවත් සිව් දෙනෙකු එක්විය. වැලිකඩ මැගසින් බන්ධනාගාරය දක්වා වර්ජනය පැතිර ගිය අතර එහි ඔක්තෝබර් 3 වෙනිදා පටන් සිරකරුවන් 43 දෙනෙක් ආහාර වර්ජනයේ නියැලී සිටිති.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා ජාතික ව්‍යාපාරයේ සංඛ්‍යා ලේඛන වලට අනුව දේශපාලන සිරකරුවන් 107 ක්, වැලිකඩ, මීගමුව, මහර, අනුරාධපුර, මඩකලපුව, පොලොන්නරුව, මොනරාගල ඇතුලු බන්ධනාගාර 10 ක් තුල රඳවා සිටිති.

එයට වසර 7 ක් තිස්සේ චෝදනා ගොනුකර නොමැතිව රඳවා සිටින්නන් සහ වසර 13 ක් නඩු සම්පූර්න නොකර රඳවා සිටින්නන් අයත් වෙයි. 46 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඇතත් නඩු සම්පූර්න කර නොමැත. ඉන් 16 දෙනෙකු වසර 10-13 අතර කාලයක් රැඳවුම් වල සිට ඇත. 13 දෙනෙකුට චෝදනා ගොනුකර නොමැති අතර ඉන් 6 දෙනෙක් වසර 5-7 අතර කාලයක් රඳවා සිටිති. රඳවා සිටින සමස්ත දේශපාලන සිරකරුවන්ගෙන් 37 දෙනෙකු වැරදිකරුවන් වී ඇති අතර 17 දෙනෙකුගේ අභියාචනා විභාග වෙමින් පවතී.

මේ සිරකරුවන් රඳවා ඇත්තේ ධනපති ආන්ඩු විසින් මහජනතාවට එරෙහිව ගෙන ආ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පනතක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය. එම පනතට අනුව පුද්ගලයෙකු මාස 18 ක් අධිකරනයකට ඉදිරිපත් නොකොට පොලිස් රැඳවුම් භාරයේ තැබිය හැක.

බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව සිටියේය යන හේතුව මත අත් අඩංගුවට ගත් ඔවුන් “ත්‍රස්තවාදී සැකකරුවන්” ලෙස නම්කොට මෙලෙස සිරභාරයේ තබා ඇත. එල්ටීටීඊ ය ත්‍රස්ත විධික්‍රම භාවිතා කලද එය දේශපාලන සංවිධානයකි. එම දේශපාලනයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුනු සියල්ලෝ දේශපාලන සිරකරුවෝ වෙති. නමුදු අනුප්‍රාප්තික ආන්ඩු දිගින් දිගටම කියා සිටියේ ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බීබීසී ය සමග කල සාකච්ඡාවකදී ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බව ප්‍රකාශ කලේය. අධිකරන ඇමැතිනී තලතා අතුකෝරාල ද ඔක්තෝබර් 4 වනදා මහනුවර නීතිඥ සංගමයේ හමුවකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කලේ “ලංකාවේ එකදු දේශපාලන සිරකරුවෙක් හෝ නොමැති” බවයි.

ඇය පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් හා එම්.ඒ. සුමන්තිරන් සමග පැවැත්වූ රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි. දෙජාස මේ ප්‍රකාශයට විරුද්ධත්වය පල කල බවට කිසිදු සටහනක් නැත.

එල්ටීටීඊ ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමේ අරමුන වන්නේ එල්ටීටීඊ යේත්, යුද්ධයේත් සැබෑ හේතු වසන් කිරීමයි. එනම් කොලඹ සිංහල ධනපති පන්තිය විසින් ආරම්භයේ සිට දෙමල ජනතාවට සිදු කරන ලද වෙනස්කම් එල්ටීටීඊ ය පැන නැගීමට සහ වර්ධනය වීමට හේතු වූයේය යන්න වසන් කිරීම එහි අරමුන යි.

ත්‍රස්ත විධික්‍රම සම්බන්ධයෙන් ගත් කල ලංකාවේ මිලිටරිය ද දෙමල සුලුතරයට එරෙහිව ඒවා යහමින් භාවිතයට ගෙන ඇත. රාජපක්ෂ ආන්ඩුව යටතේ 2009 මැයි මාසයේදී එල්ටීටීඊ ය මිලිටරි වශයෙන් පරාජය කෙරුනු අවස්ථාවේදී 40,000 කට ආසන්න සිවිල් වැසියන් ශ්‍රී ලංකා මිලිටරිය විසින් ඝාතනය කෙරුනුූ බව එක්සත් ජාතීන්ගේ වාර්තා වල සඳහන් ය.

2018 නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ 2016 ට පෙර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් අයගෙන් සියයට අසූවකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගැනීමෙන් පසු වධ හිංසා වලට ලක්වූ බවට චෝදනා කර ඇති බවයි. එමෙන්ම මෙම පනත ආන්ඩු විසින් සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට ද යොදා ගැනිනි. යුද්ධය නිමාවී වසර නමයක් ගතවී ඇතත් තවමත් මිලිටරිය උතුරු නැගෙනහිරින් ඉවත් කර නොමැත. මේ තත්වය පෙන්නුම් කරන්නේ වර්ගවාදී පදනම මත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තවදුරටත් පාගා දැමීමට කොලඹ ධනපති පාලකයන්ගේ උත්සුකයයි.

2015 සිට ගතවූ වසර තුන තුලම දේශපාලන සිරකරුවෝ තමන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂන වල නියැලුනහ. එම ඉල්ලීම් කිසිවක් ඉටුවී නොමැති අතර දෙමල ධනපති පක්ෂ සියල්ලම මෙම උද්ඝෝෂන ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමට සීමා කලහ.

දෙජාස මේ වසරේ අප්‍රේල් මාසයේදී අගමැති වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය එල්ල වූ අවස්ථාවේ ඔහුට සහය දීමට ඉදිරිපත් කල කොන්දේසි දහය තුල දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ඉල්ලීමද අන්තර්ගත විය. ඉන් පසු ජූලි මාසයේදී දෙජාස නායකයා දෙමල සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්න ඉක්මනින් විසඳන බවට පොරොන්දු වී ඇත. ඔවුන් දිගින් දිගටම සිදු කලේ ආන්ඩුවේ මෙවන් බොරු පොරොන්දු ඉදිරියේ ජනතාව රැවටීමට ලක් කිරීමයි.

මෙම වර්ජනයට සමගාමීව පසුගිය සති කිහිපය තුල දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ, අනුරාධපුරයේ, වව්නියාවේ, මුලතිවු හා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂන පැවැත්වින. මෙම උද්ඝෝෂනවල එල්ලය වූයේ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට සහ ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාර වලට එරෙහිව මහජනතාව තුල පවතින විරෝධය ආන්ඩුවට බලපෑම් දැමීම ඔස්සේ වාෂ්ප කර හැරීමය.

මෙම විරෝධතා දේශපාලනයේ කොටසක් ලෙස කොලඹ පැවති උද්ඝෝෂනය අවසානයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදුන් අතර වව්නියාවේ පැවති උද්ඝෝෂනයේදී දෙමල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් සඳහන් කලේ “දේශපාලන සිරකරුවන් වෙනුවෙන් රජය කඩිනම් පියවර ගත යුතු” බවයි.

මෙම උද්ඝෝෂන මෙහෙයවනු ලැබුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය, දෙමල ජාතික සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ආදී සංවිධාන විසිනි. මේ සෑම සංවිධානයක්ම කටයුතු කරන්නේ විරෝධතා දේශපාලනය තුල මහජනතාව සිරකොට ඔවුන් ආන්ඩුවේ මර්දනයට යටත් කිරීමටයි.

එම විරෝධතා දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් බැටකන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන්, ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි දේශපාලන සටනක් සඳහා බලමුලු ගන්වා ගත යුතුය. ධනපති ආන්ඩු ගෙන ගිය දෙමල විරෝධී වෙනස්කම් හා වර්ගවාදී යුද්ධයේ ගොදුරු වන දෙමල දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු! යන්න එම සටනේ මූලික ඉල්ලීමක් විය යුතුය.

දෙමල දේශපාලන සිරකරුවන්ගේ වර්ජනයට අධිකරන ඇමතිවරිය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීම සඳහා පාලක පන්තියේ රුදුරු සැලසුම් පිලිබඳව කම්කරු-පීඩිත මහජනතාවට කල අනතුරු ඇගවීමකි.

Share this article: