ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා පෙලපාලි දක්වති

Sri Lankan plantation workers demonstrate for higher wages

එම්. දේවරාජා විසිනි, 2018 සැප්තැම්බර් 29

සැප්තැම්බර් 23වැනිදා වතු කම්කරුවෝ දහස් ගනනක් වැටුප් වැඩිවීමක් ඉල්ලා තලවකැලේ නගරයේ වීදිවලට රොක් වූහ. එදින ප්‍රදේශයේ සියලුම වතුවල කම්කරුවෝ තලවකැලේ නගරය අඩපන කෙරුනු විරෝධාවකට සහභගිවූහ. කූඩා ව්‍යාපාර හිමියෝ කම්කරුවන්ට සහයෝගය දැක්වීමට තම කඩ සාප්පු වසා දැමූහ.

සාමූහික ගිවිසුම “වහල් ගිවිසුමක්” යැයි හෙලා දකිමින් සටන්පාඨ කියූ කම්කරුවෝ ඔවුන්ගේ වැටුප් මුලුමනින් ම අප්‍රමානවත් බව කියා සිටියහ. තම දරුවන්ගේ අධ්‍යාපන වියදම් කෙසේ වෙතත්, පන ගැට ගසා ගැනීමට හෝ තම පවුලට අවශ්‍ය තරම් දෛනික ආහාරවලට ප්‍රමානවත් තරම් මුදලක්වත් තමන්ට ලැබෙන්නේ නැති බව ඔවුහු පැවසූහ.

තලවකැලේ පැවති විරෝධතාව

පෙලපාලියෙන් පසු තලවකැලේ සුලුනගර සභා ක්‍රීඩා පිට්ටනියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවත් වුනි. එහි මුලසුන ගත්තේ ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකු වන කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතියේ (එන්යූඩබ්ලිව්) සභාපති පී. දිගම්බරම් විසිනි.

විරෝධතාව සංවිධානය කරන ලද්දේ, එන්යූඩබ්ලිව්, කඳුරට මහජන පෙරමුන (යූපීඑෆ්), හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) ඇතුලු වෘත්තීය සමිති හතක් විසිනි. යූපීඑෆ් නායක වී. රාධක්‍රිෂ්නන් හා ඩීපීඑෆ් නායක මනෝ ගනේෂන් යන දෙදෙනා ද ආන්ඩුවේ ඇමතිවරු ය.

වෘත්තීය සමිති අරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස, දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් විරෝධතාකරුවන් ඇමතීමට කැඳවන ලදී. වෘත්තිය සමිති නිලධාරීන් අනුගමනය කරමින් ඔහු රැස්වීමට පැවසුවේ, වැවිලි කම්කරුවන් වෙනුවෙන් සැලකිය යුතු ප්‍රතිඵලයක් අත් කර දීමට ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැති මැදිහත් විය යුතුව ඇති බව යි.

මෙම පෙලපාලිය සංවිධානය කරන ලද්දේ, වතුකම්කරුවන් සඳහා යහපත් වැටුප් දිනා ගැනීම සඳහා සටන් කිරීමට නොව, ජීවන වියදම නැගීම හා පිරිහෙන සමාජ තත්වයන් මධ්‍යයේ දරිද්‍ර මට්ටමේ වැටුප් සම්බන්ධයෙන් කම්කරුවන්ගේ වැඩිවන කෝපය වෙනතක හැරවීම පිනිස ය.

සහනාධාර දීමට වතු සමාගම් හා ආන්ඩුව පෙලඹවිය හැකි බවට මිථ්‍යාවන් වැපිරීමට වෘත්තිය සමිති උත්සාහ කලහ. දිගම්බරම්, රාධක්‍රිෂ්නන් හා මනෝ ගනේෂන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ වර්තමාන ආන්ඩුවේ ඇමතිවරුන් වන අතර ආන්ඩුව ක්‍රියාවට නඟා ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝග කල කප්පාදු පියවර අනුමත කලහ.

වතු කම්කරුවන්ගේ දෑවුරුදු සාමූහික ගිවිසුම ඔක්තෝබර් මාසයේ දී අවසන් වීමට නියමිත ය. ප්‍රධාන වැවිලි වෘත්තීය සමිති, එනම් ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිවසී), ලංකා එක්සත් ජාතික කම්කරු සංගමය (එල්ඊජේඩබ්ලිව්යූ) හා වතු වෘත්තීය සමිතිවල ඒකාබද්ධ කමිටුව (ජේපීටීයූසී) වතු සමාගම් සමග රහස් සාකච්ඡා අරඹා ඇත. වතු සමාගම් හා කම්කරුවන් අතර දෑවුරුදු සාමූහික ගිවිසුම් 1992 සිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

පසු ගිය සඳුදා විරෝධාතව සංවිධානය කල වෘත්තිය සමිති හත සාමාන්‍යයෙන් සාකච්ඡාවල නිරත නොවන අතර, ඒවා හැම විටම ආන්ඩුව සමග අනෙකුත් වෘත්තීය සමිති ඇති කර ගන්නා රහස් ගිවිසුම් අනුමත කරති. මෙම අවස්ථාවේ දී මෙකී වෘත්තීය සමිති ඊනියා “සාධාරන” වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ දෛනික වැටුප රුපියල් 1,000 (වර්තමාන රුපියල් 500ක දෛනික වැටුප සියයට සියයකින් වැඩි කිරීමකි) සඳහා වන කම්කරුවන්ගේ ඉල්ලීම මැඩ පවත්වා විසුරුවා හැරීමට ය. එක්සත් ජනපද ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 167ක් වන අතර එය මෙම වසරේ ආරම්භයේ සිට සියයට 9ක අවප්‍රමාන වීමකි.

පසු ගිය මාස තුන තිස්සේ, වැවිලි සමාගම් හා ආන්ඩුවට එරෙහිව විරෝධතා කීපයක් පැනනැඟී ඇත්තේ වෘත්තීය සමිති වලට පිටින්ය. පසු ගිය මාසයේ, තලවකැලේ නගරයට කිලෝ මීටර් 15ක් දුරින්, ආගරපතන කම්කරුවෝ 2000ක්, රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා උපවාසයක් ආරම්භ කල වේවර්ලී හා ග්ලාස්ගෝ වතු කම්කරුවන් දෙදෙනාට සහාය පිනිස වැඩවර්ජනය කලහ.

තමන් කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිනවායයි ව්‍යාජ ලෙස පැවසූ ප්‍රාදේශිය යූපීඑම් නායකයෙකු විසින් වැඩවර්ජනය අවමංගත කරන ලදී. එයට පසු දික්ඔය ටිලයිරී වත්තේ ද ආගරපතන ටොරින්ටන් වත්තේ ද ජීවන වියදමට වරුද්ධව තවත් විරෝධතා පැවත්වුනි.

පසු ගිය ඉරිදා පෙලපාලිය අතරතුර, දිගම්බරම් මෙසේ ප්‍රකාශ කලේ ය; “වතු කොම්පැනි සාධාරන පඩි වැඩි කිරීමක් කරන්න බෑ කියනවා නම්, අපි කොම්පැනි එලවලා කම්කරුවන්ට වතු බාර දෙනවා.” යූපීඑෆ් නායක රාධක්‍රිෂ්නන් පැවසුවේ: “සිරිසේන ජනාධිපති තුමා තැපල් හා දුම්රිය කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්න විඳීමට මැදිහත් වුනා වගේ ආන්ඩුව වතු කම්කරුවන්ගේ පඩි ප්‍රශ්නෙ විසඳන්න මැදිහත් වෙන්න ඕනෑ” කියා ය.

මේවා වතු කම්කරුවන් මත තම අධිකාරිය පවත්වාගෙන යාමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටින වෘත්තීය සමිත නායකයින් දෙදෙනෙකුගේ බොරු කථාය. ඒ අතරම, ඔවුහු ආන්ඩුවේ ඇමති තනතුරු දරමින්, කම්කරුවන්ට එරෙහි සියලු ප්‍රහාරයන්ට සහාය දෙති.

යහපත් වැටුප් වැඩි වීමක් දෙන්නේ නැත්නම් සමාගම් පවරා ගැනීම ගැන දිගම්බරම් කරන තර්ජනය මුලුමනින් ම හිස් වෙඩිල්ලකි. සහන වෙනුවට, ඇතැම් වතු සමාගම්, දිගම්බරම්ගේ එන්යූඑම් එක ද ඇතුලුව, වෘත්තීය සමිතිවල සහාය ඇතිව ඊනියා ආදායම් බෙදා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අරඹා ඇත.

මෙම ප්‍රතිගාමී ක්‍රමය යටතේ කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වලට රැකබලා ගැනීමට තේ පඳුරු 1000ක් පමන වෙන් කරනු ලැබේ. ඔවුන් සියලු අස්වැන්න සමාගමට දිය යුතු අතර, සමාගම තම ලාභ ඉවත් කර ගැනීමෙන් පසු, කම්කරුවන්ගේ “කොටස” ගෙවන්නේ උපකරන, පොහොර හා අනෙකුත් වියදම් අඩු කිරීමෙන් පසු ය.

මෙයට මැදිහත් වන ලෙස ජනාධිපති සිරිසේනගෙන් රාධක්‍රිෂ්නන් කරන ඉල්ලීම මේ ආන්ඩුව දැනටමත් තැපල් හා දුම්රිය කම්කරුවන්ට එරෙහිව බියකරු පොලිස් ප්‍රහාරයන් එල්ල කර ඇත යි යන කාරනය සම්බන්ධයෙන් වතු කම්කරුවන්ගේ ඇස් වැසීමේ උත්සාහයකි. මෙම සිද්ධි දෙකේ දී, තමන් කම්කරුවන්ගේ ඉල්ලීම් “සලකා බලන” බවට ජනාධිපති දුන් හිස් පොරොන්දුවලින් පසු වෘත්තීය සමිති වැඩවර්ජන නවතා දැමූහ.

මෙම කයිවාරු පසුපසින්, වතු වෘත්තීය සමිති ඒ ආකාරයේ ප්‍රහාරයන්ට පසුබිම සකසමින් සිටින අතර අවසානයේ දී සමාගම්වල ලාභ වැඩි කිරීමටත් කම්කරුවන්ගේ සීමිත අයිතීන් හා ශුභසාධන විනාස කිරීමටත් සහාය දෙනු ඇත.

වර්තමාන සාමූහික ගිවිසුමට සම්බන්ධ වන ප්‍රධාන වෘත්තීය සමිතිය වන සීඩබ්ලිව්සී නායක මුතුසිවලිංගම්, පෙලපාලි දක්වන කම්කරුවන් විවෘතව හෙලා දුටුවේ මෙසේ පවසමිනි. “විරෝධතාවලටයි වැඩවර්ජනවලටයි පඩි වැඩි කරන්න බෑ. වතු කර්මාන්තය දියුනු කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න ඕන, ඒක අන්තිමේ දී පඩි වැඩි කරනවා ඇති.”

පසු ගිය මාසයේ සාමූහික ගිවිසුම් සාකච්ඡා කරන අතරතුර, සමාගම් කිසියම් හෝ වැටුප් වැඩි කිරීමකට තරයේ ම විරුද්ධ වී, ඒ වෙනුවට “තේ කර්මාන්තය ආරක්ෂා කරන” ලෙස වෘත්තීය සමිතිවලට දැන්වූහ. මුතු සිවලිංගම්ගේ ප්‍රකාශය පැහදිලි කරන්නේ, කම්කරුවන්ට එරෙහිව සමාගම් සමග වෘත්තීය සමිති සම්මුතියකට තල්ලු කරන බව යි.

පසු ගිය ඉරිදා විරෝධතාවෙන් පසු, එඩින්බර්ග්වත්තේ වතු කම්කරුවෙකු වන එම්. යෝගේස්වරන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ රුපියල් 1,000 දිනක වැටුප කිසිසේත්ම නොසෑහෙන බවයි.

“හාල්, පාන් පිටි, කිලෝ එකක් රුපියල් 100 වෙනවා. පොල් ගඩියක් රුපියල්70යි 80වයි. ගෑස් වගේම සීනි මිලත් උස්සලා. හැබයි යූනියන් ඉල්ලන්නේ ‘සාධාරන’ පඩියක් විතරයි” ඔහු පැවසී ය.

“යූනියන් කොම්පැනිත් එක්ක රහස් කතා කර කර ඉන්නවා මිසක් කතා කරන්නේ මොනවාද කියලා අපට කියන්නේ නෑ. ගිය පාර වගේ ඔවුන් ආයිත් අපි රවට්ටයි. යූනියන් අපේ ඉල්ලීමවලට ෆයිට් කරන්න සූදානම් නෑ. ඔවුන් නිකම්ම ඒගොල්ලන්ගේම වරප්‍රසාද සොයමින් ඉන්නවා.”

ආදායම් බෙදීමේ ක්‍රමය ගැන ද ඔහු කතා කලේ ය. “මං හිතන්නේ මේ ක්‍රමේ කම්කරුවන්ට භයානකයි. අපි ඊපීඑෆ්, ඊටීඑෆ් වගේ ම අනෙක් සහනත් නැති කර ගන්නවා” යැයි පැවසූ ඔහු ලමයි ඇතුලු මුලු පවුලටම වැඩ කරන්න වෙනවා කියා අනතුරු ඇඟ වී ය. “මේක තදින්ම අපේ ලමයින්ගේ අධ්‍යාපනයට බලපානවා. මේක කෙසේ හෝ පරද්දන්න ඕනෑ”

වතු කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මගින් යහපත් වැටුප් සඳහා වන අරගලය ද එමෙන් ම සමාජවාදී ක්‍රියාමාර්ගයක් හා කම්කරුවන්ගේ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන වඩා පුලුල් අරගලයක කොටසක් ලෙස මහා වතු කම්කරු පාලනය යටතට ගැනීම සඳහා වන අරගලය ද තම අතට ගත යුතු බව ලෝසවෙඅවාර්තාකරුවෝ පැහදිලි කර දුන්හ.

මෙම සාකච්චාව අවසානයේ දී, එම වත්තේ ම තවත් කම්කරුවෙකු වන ආර්. නාගේන්ද්‍රන් මෙසේ පැවසී ය: “ආන්ඩුවේ ඇමතිලා වෙලා ඉන්න ගමන් මේ නායකයින්ට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පුලුවන් කියලා විශ්වාස කරන්න අමාරුයි. ඔවුන්ගේ වරප්‍රසාද රැකගන්න එයාලා කම්කරුවන් බෙදනවා. කව්රුහරි ක්‍රියාකාරී කමිටු ගැන කතා කරපු පලමුසැරේ මේ. අපි කැමතියි තවක් කතා කරන්න ඔබලාට අපේ වත්තට එන්න කියන්න.”

ආගරපතන හෙන්ෆොර්ඞ් වත්තේ එස්. රවිචන්ද්‍රන් මෙසේ පැවසී ය: “අපට පඩි වැඩිවීමක් ඕනෑ. ඒකයි අපි මේ පොලපාලියට ආවේ. ඒත් අපිට යූනියන් ගැන විශ්වාසයක් නෑ. ලබන සතියේ අපි අපේ වත්තේ පෙලපාලියක් සංවිධානය කරනවා මේ සටන ඉස්සරහට ගෙනයන්න.”

Share this article: