වැඩි වැටුප් ඉල්ලමින් වතු කම්කරුවන් අතර විරෝධතා ව්‍යාපාරයක් වර්ධනය වේ

එම්. දේවරාජා විසිනි, 2018 ඔක්තෝබර් 10

පසුගිය සතියේ නුවර එලිය දිස්ත්‍රික්කයේ වතු කිහිපයක කම්කරුවෝ වැටුප් වැඩි කිරීමක් ඉල්ලා විරෝධතා පැවැත්වූ හ. ඔක්තෝබර් 3 හා 5 දිනවල බෲන්ස්වික් හා මරේ වතුවල කම්කරුවන් 1,000කට අධික පිරිසක් ද මස්කෙලියේ මෝචා හා ගාට්මෝර් වතුවල කම්කරුවන් 600කට ආසන්න සංඛ්‍යාවක් ද තම දෛනික වැටුප රුපියල් 500 (එක්සත් ජනපද ඩොලර් 2.94) සිට 1,000 තෙක් වැඩි කරන ලෙස ඉල්ලන සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් උදය වරුවේ පිකට් කිරීම්වල යෙදුන හ.

මෙම විරෝධතාවන් පෙන්නුම් කරන්නේ වතු කම්කරුවන් අතර වැඩි වැටුප් ඉල්ලමින් වැඩෙන විරෝධතාව යි. ජීවන වියදම ඉහල යන තතු යටතේ ඔවුන්ට ලැබෙන දුගී වැටුප පවා වේගයෙන් ඛාදනය වෙමින් පවතී.

මරේ, බෲන්ස්වික්, මෝචා හා ගාට්මෝර් වතුවල විරෝධතා සංවිධානය කිරීම පිටුපස සිටියේ පී. දිගම්බරම්ගේ ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) ය. ඊට කලින් සැප්තැම්බර් 23දා එන්යූඩබ්ලිව් ද ඇතුලු සමිති හතක් තලවාකැලේ දී විරෝධතා රැලියක් කැඳවූ හ.

වැටුප් වැඩිකර ගැනීම සඳහා කම්කරුවන් අතර පවතින අව්‍යාජ උනන්දුව කොතරම් පුලුල් ව පැතිර ඇත් ද යතහොත් වතුවල අරගල පුපුරායාම සම්බන්ධයෙන් වෘත්තීය සමිති තැතිගෙන ඇත. ඔවුන් දැනුවත් ව උත්සාහ කරන්නේ වතු තුල කෝපය අපසරනය කොට වාෂ්ප කර දැමීමට යි. කම්කරුවන්ගේ ජීවන හා සමාජ කොන්දේසි මත දරුනු ලෙස බලපා ඇති ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට ඇමතිවරුන් ලෙස සිටින දිගම්බරම් ඇතුලු සමිති ගණනාවක නායකයෝ සහයෝගය දෙති. වතු කම්කරුවන් දෛනික වැටුප රුපියල් 1,000ක් කල යුතු යයි බල කරද්දී, මෙම සමිති ඉල්ලා සිටින්නේ “සාධාරන”, එනම් සමාගම්වලට මිස කම්කරුවන්ට සාධාරන නො වන වැටුප් වැඩි වීමකි.

වෘත්තීය සමිති හා ප්‍රාදේශීය වතු සමාගම් (ආර්පීසී) අත්සන් තබා ඇති අවසන් සාමූහික ගිවිසුමේ කාලසීමාව මේ මාසයේ අවසන් වෙයි. ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (පීඒ) සභාපති සුනිල් පොහොලියද්ද පසුගිය දා ඩේලි මිරර් පත්‍රයට කියා සිටියේ තමන් සියයට 10ක, එනම් රුපියල් 50 සොච්චම් වැටුප් වැඩි වීමක් යෝජනා කර ඇති බව යි. ඒ සමගම ඔහු කියා සිටියේ “ඵලදායකත්වය හා ආදායම් බෙදාගැනීම මත පදනම් වන වෙනත් මොඩලයක්” ක්‍රියාවට දමාගැනීම අපේක්ෂා කරන බවයි.

වැවිලිකරුවන්ගේ සංගමයේ 164 වන වාර්ෂික මහා සම්මේලනය ඇමතූ පොහොලියද්ද පසුගිය වතාවේ “ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ව්‍යුහයකට එකඟ වීම” හා “ආදායම් බෙදාගැනීමේ මොඩලයක් පිලිබඳ ව සලකා බැලීම” සඳහා එකඟ වීම පිලිබඳ ව වෘත්තීය සමිතිවලට ප්‍රශංසා කලේ ය. සමාගම් “කර්මාන්තයේ පැවැත්ම සඳහා ආක්‍රමනශීලිව” කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරනය කල ඔහු, මෙම වැඩපිලිවෙල “ආක්‍රමනශීලී ව” ක්‍රියාවට දැමීම පිනිස වෘත්තීය සමිති ද සහයෝගය දෙනු ඇතැයි අපේක්ෂා පල කලේ ය.

කම්කරුවන් රැවටීම සඳහා කරන පූච්චානම් කතාවලට පිටුපසින්, සමිති ඇත්ත වශයෙන් ම සූදානම් වන්නේ සමාගම්වල සැලසුම් තරයේම ක්‍රියාත්මක කරන සාමූහික ගිවිසුමක් අත්සන් කිරීමට යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග කතා කල මෝචා වත්තේ කම්කරුවෝ, ඔවුන් මුහුන දෙමින් සිටින දුෂ්කරතාවන් විස්තර කලේ වෘත්තීය සමිති, සමාගම් හා ආන්ඩුව පිලිබඳ ව කෝපය පල කරමිනි.

“ආන්ඩුවයි වතු සමාගමුයි අපේ වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කරල. ආන්ඩුව අපිට දෙවන පන්තියේ පුරවැසියන් හැටියට සලකන්නේ ඇයි? සටනක් නො කර අපිට පොඩි වැටුප් වැඩි කිරීමක් වත් කරගන්න බැහැ. පසුගිය වතාවෙ 2016දි අපි දවස් 10ක වර්ජනයක් කලා. ඒත් ඔක්කොම වෘත්තීය සමිති අපේ අරගලය පාවල දීල සොච්චම් රුපියල් 50 වැටුප් වැඩි කිරීමකට යටත් කලා” යයි එක් කම්කරුවෙක් කීවේ ය.

වෘත්තීය සමිති වැටුප් කැපීමකට හා ඵලදායිතාව ඉහල දැමීමට සහයෝගය දුන් බව ඔවුහු විස්තර කල හ. “දවසට දලු කිලෝ 16 ඉලක්කය දෙන්න බැරි වුනොත් අපිට රුපියල් 140 දීමනාව ලැබෙන්නේ නැහැ. ගිය මාසෙ අඩුකිරීම්වලින් පස්සෙ ගොඩක් කම්කරුවන්ට ලැබුනෙ රුපියල් 4,000ක් විතර යි. මේ ගැන වෘත්තීය සමිතිවලට පැමිනිලි කෙරුව ම ඒගොල්ලො කියන්නෙ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ මේ කොන්දේසිවලට යටත් ව කියල. සමිති අපෙන් අහන්නේ නැතුව සමාගම් එක්ක හොරෙන් සාකච්ඡා කරනව, ඒත් අපි දන්නෙ නැහැ මොනව සාකච්ඡා කරනව ද කියල.”

පසුගිය ගිවිසුමේ දී කම්කරුවන් ව අඳ ගොවියන් බවට පරිවර්තනය කරන ආදායම් බෙදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති එකඟ වූහ. එහෙත් කම්කරුවන්ගේ දැවැන්ත විරෝධතාව හේතුවෙන් එය ක්‍රියාවට දැමීමට සමත් වූයේ කැලනිවැලි වතු සමාගමේ ටිලරි වත්ත හා බත්තල්ගල වත්ත සහ මතුරට වතු සමාගම යටතේ ක්‍රියාත්මක වන ඈන්ෆීල්ඩ් වත්ත හා වලපනේ මහ ඌව වත්ත ඇතුලු වතු කිහිපයක් තුල පමනි. දැන් කම්කරුවන් මෙම ක්‍රමයට විරුද්ධ වීම අරඹා ඇත.

දික්ඔය ටිලරි වත්තේ කම්කරුවන් 80ක් කලමනාකාරීත්වය විසින් තමන්ට ලබා දුන් ඉඩම් කට්ටි ආපසු ලබා දී පැරනි වැටුප් ක්‍රමයට වැඩ කරති. “මෙම ආදායම් බෙදාගැනීමේ ක්‍රමය යටතේ අපි නයකරුවො බවට පත්වෙනවා” ටිලරි කම්කරුවෙක් කීවේ ය.

එහෙත් වෘත්තීය සමිති මෙම ක්‍රමය සඳහා උද්ඝෝෂනය කරති. “වතු සමාගම් සාධාරන වැටුපක් ගෙවීම ප්‍රතික්ෂේප කලහොත් වතු බෙදා ඒවා කලමනාකරනය කිරීම කම්කරුවන්ට පවරන ලෙස අපි බලකල යුතු” යයි එන්යූඩබ්ලිව්හි මස්කෙලිය සංවිධායක ත්‍යාගරාජා බෲන්ස්වික් කම්කරු විරෝධතාවේ දී කීවේ ය.

“මේ ක්‍රමය යටතේ කම්කරුවන්ගේ ආදායම ඉහල යනු ඇතැයි” කියමින් මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ එන්යූඩබ්ලිව් සභික ඒ. රවීන්ද්‍රරාජා ආදායම් බෙදීමේ ක්‍රමය සාධාරනීකරනය කලේ ය.

තෙරේසා

මෝචා වත්තේ තුන්දරු මවක් වන කේ. තෙරේසා නමැති කම්කරු කාන්තාවක් මෙසේ කීවා ය: “අපිට මේ ජීවන වියදම දරාගන්න බැහැ. අපිට කෑමට වත් ප්‍රමානවත් නැති වැටුපෙන් දරුවන්ගෙ අධ්‍යාපනයට වියදම් කරන්න බැහැ. අපිට සල්ලි නයට ගන්න බලකෙරෙනවා. මේ වතාවෙ දවසකට රුපියල් 1,000කට අඩු වැටුපක් අපිට පිලිගත නො හැකි යි. අපි මේ ආන්ඩුවට ඡන්දෙ දුන්නත් ඒගොල්ලො අපි ව අමතක කරල.”

පුනිතාවතී

දිනකට රුපියල් 730ක පූර්න වැටුප ලබාගැනීමට දුෂ්කර වැඩ කොන්දේසි යටතේ දලු කිලෝ 16ක් කැඩිය යුතු බව එම වත්තේ ම පුනිතාවතී කීවා ය. “අපිට ඒක කරන්න බැරි වුනොත් ඒගොල්ලො අපේ පඩිය කපනව. ගිය මාසෙ මට ලැබුනෙ රුපියල් 4,000ක් විතර යි, මගේ මහත්තයට හම්බ වුනෙත් ඒ ගාන. අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපිට ලමයි හතර දෙනෙක් ඉන්නව, ඒගොල්ලන්ගෙ අධ්‍යාපනයට මාසෙට අඩු ම ගානෙ රුපියල් 20,000ක් වත් ඕන. වෘත්තීය සමිතිවලින් ප්‍රයෝජනයක් නැහැ. ඒගොල්ලො අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ.”

වතු තුල නිවාසවල තත්ත්වය වඩාත් නරක බව විජේලක්ෂ්මී කීවා ය: “බොහෝ කම්කරුවන්ට හොඳ ගෙවල් නැහැ. මගේ ගෙයයි තවත් කම්කරුවන් 7 දෙනෙකුගෙ ගෙවලුයි මෑතක සිද්ද වෙච්ච නාය යාමට ගොදුරු වුනා. අපි අවතැන් වෙලා ඉස්කෝලෙක නැවතිලා හිටියෙ. ආපහු ආවට පස්සෙ ජීවත් වෙන්නෙ ඒ හානිවුන ගෙවල්වල ම යි. කවුරුවත් අපිට ගෙවල් හදාගන්න උදවු කරන්නෙ නැහැ.”

තමන් අවතැන් වූ විට වෘත්තීය සමිති නියෝජිතයන් පැමිනි බව ඇය කීවා ය. බත් හා බිස්කට් කිහිපයක් ලබාදුන් ඔවුන් අතුරුදන් විය. “අපේ පඩිය කෑමබීමට වත් ප්‍රමානවත් නැතුව තියෙද්දි අපි කොහොමද ගෙවල් හදාගන්නෙ?” අවශ්‍ය දේ මිල දී ගැනීමට සෑම විටක ම රුපියල් 80ක් වියදම් කරමින් මස්කෙලියට යාමට ඔවුන්ට සිදු වී තිබේ.

වෘත්තීය සමිති නායකයන් තේ පඳුරු කම්කරුවන් අතර බෙදා දීමට කතා කරන බවත් එය භයානක සැලැස්මක් බවත් මස්කෙලියේ බෲන්ස්වික් වත්තේ තේ කම්හල් කම්කරුවෙකු වන වඩිවේල් ගනේෂන් කීවේ ය. “මේ ක්‍රමය යටතෙ අපිට ලමයිනුයි අපේ වැඩිහිටි දෙමව්පියොයි පවා එක්ක වැඩ කරන්න බල කෙරෙනවා. සමාගම් උත්සාහ කරන්නෙ මුලු පවුල ම හූරා කන්න. ඒ හින්ද සියලු කම්කරුවො මේ ක්‍රමයට විරුද්ධ ව ඉදිරියට ආ යුතු යි.”

ඔහු මෙසේ ද කීවේ ය: “වෘත්තීය සමිති නායකයො ආන්ඩුවට එකතු වෙලා ඇමතිකම් අරගන සුඛෝපභෝගී ජීවිත ගතකරනව. ඡන්දෙ වෙලාවෙ එන්යූඩබ්ලිව් ප්‍රාදේශීය නායකයෙක් පාලමක් හදන්න මුල් ගල තියලා අවුරුදු 4ක් ගතවෙලත් තාම ඒක හදල නැහැ. ශිෂ්‍යයන් සියගනනක් යන්නෙ එන්නෙ හරිම අවදානම් සහිත පාලමකින්. වැස්ස කාලෙදි ඒක හරි ම භයානක යි.”

තමන්ගේ වත්තේ සමහර කම්කරුවන් වෘත්තීය සමිතිවලට සාමාජික මුදල් ගෙවීම නවතා දමා තම ප්‍රශ්න විසඳා ගැනීමට වෙනම කමිටුවක් සංවිධානය කිරීමට තීරනය කර ඇති බව ගනේෂන් කීවේ ය.

එය පෙන්නුම් කරන්නේ කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ඈත් වෙමින් තම අයිතීන් සඳහා සටන් කිරීමට නව සංවිධාන තැනීම ගැන සිතමින් සිටින බව යි. එහෙත්, ලෝසවෙඅ වාර්තාකරුවන් ඔහුට පැහැදිලි කලේ, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන වී ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත හාම්පුතුන්ගේ හා ධනේශ්වර ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා වතු කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර එකමුතු ව ගොඩනගා ගත යුතු බව යි.

Share this article: