හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ අසූවන සංවත්සරය ගැන

On the 80th anniversary of the founding of the Fourth International

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2018 සැප්තැම්බර් 3

1938 සැප්තැම්බර් 3 වැනිදා පවත්වන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ අසූවන සංවත්සරය අදයි. ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම, ඉමහත් ඓතිහාසික අර්ථභාරයක් ද සමකාලීන අදාලත්වයක් ද දරන්නා වූ සංසිද්ධියකි. හතරවන ජාත්‍යන්තරයේ අර්ථභාරය පැහැදිලි කරන්නා වූ ප්‍රකාෂනයන් මාලාවක් ද ක්‍රියාකාරකම් සංවිධානය කරමින් ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරි තෙමස තුල මෙම සංවත්සරය සමරයි.

අද, අප මෙහි පලකරන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් හතරවන ජාත්‍යන්තරයේ 70 වන සංවත්සරය වෙනුවෙන් ඉදිරි පත් කරන ලද වාර්තාවකි.

මෙම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ, බරක් ඔබාමා තෝරා ගනිමින් අවසන් වූ එක්සත් ජනපද ජනාධිපති වරනය අද්දර, මිචිගන් ඈන්ආබර්හි පැවති රැස්වීමකට ය. දශකයකට පසු, ඔබාමා පරිපාලනයේ ක්‍රියාවන් සහ එක්සත් ජනපදයේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගත් කල මෙම වාර්තාවේ අන්තර්ගත දේශපාලනයේ විශ්ලේෂනය මුලුමනින් ම නිවැරදි බව සනාථ කෙරී තිබේ.

***

යන්තම් 70 වසරකට මඳකට පසුව එනම් 1938 සැප්තැම්බර් මස 3 වන දින පැරිසියේ උප නගරයක දී හතරවන ජාත්‍යන්තරයේ සමාරම්භක සමුලුව පවත්වන්නට යෙදුනි. එහි න්‍යාය පත්‍රයට අනුව නිල කටයුතු සඳහා ඉඩ සලසා තිබුනේ එක් දිනක් පමනි. සමුලු වාර්තාවලට අනුව “සමුලුව පවත්වනු ලැබුවේ නීති විරෝධී වතාවරනයක් යටතේය.” වාර්තාවලින් පෙන්නුම් කරන ආකාරයට “නීති විරෝධී වතාවරනය” නිර්මානය කලේ ප්‍රන්සයේ ධනේශ්වර - ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ පොලීසිය ද, නීතිමය රැකවරන යටතේ යුරෝපයේ වැඩි හරියක ක්‍රියාත්මක වූ ෆැසිස්ට් ඝාතක කල්ලි ද, සියල්ලටමත් වඩා ට්‍රොට්ස්කි හා ඔහුගේ සමීපතමයන් කායිකව වනසා දැමීමට ස්ටැලින්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ ජීපීයූ නම් සෝවියට් රහස් පොලීසියේ මිනීමරු ඝාතකයන් විසින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව සිදුකල සාහසික ක්‍රියා වලිනි.

සමුලුව පැවැත්වූ වට ලන ලද තත්වය රැ ස්වීම ආරම්භ කල එවකට හතරවන ජාත්‍යන්තරයේ ආධාරකරුවෙකු වූ පියෙරි නෙවිල් ගේ ප්‍රකාශයන් තුලින් පිලිබිඹු කරයි. ක්ලෙමන්ට්ගේ ඛේදජනක මරනය නිසා විධිමත් වාර්තාවක් ඉදිරිපත් කල නොහැක. සමුලු නියෝජිතයන් අතර බෙදාහැරීම සඳහා සූදානම් කල ලිඛිත වාර්තාවක් ක්ලෙමන්ට් අත තිබුනු නමුත් එය ඔහු සන්තකයේ තිබුනු අනෙකුත් ලියවිලි ද සමඟ අතුරුදහන්වී තිබේ. දැන් ඉදිරිපත් කරන්නේ සංක්ෂිප්ත වාර්තාවක් පමනි. (1)

නෙවිල් සඳහන් කල මියගිය තැනැත්තා රුඩොල්ෆ් ක්ලෙමන්ට්ය. සමලුුව පැවැත්වනන්ට දෙමසකට පෙර 1938 ජූලි මාසයේ දී ස්ටැලින්වාදී ඒජන්තයන් විසින් පැහැරගෙන ගොස් මරාදමනු ලැබූ ඔහු හතරවන ජාත්‍යන්තරයේ හිටපු ලේකම් වරයාය. සමුලුව පැවැත්වීමට ආසන්න වසරක කාලය තුල ඝාතනයට ලක් වූ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හතරවන ප්‍රමුඛ පුද්ගලයා ඔහු විය. (1) 1937 ජූලි මාසයේ දී අර්වින් වුල්ෆ් ස්පාඤ්ඤයේදී ද (2) 1937 සැප්තැම්බරයේ දී ඉග්නාස් රීස් ස්විට්සර්ලන්තයේදී ද (3) 1938 පෙබරවාරියේ දී ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් පැරිසියේදී ද (4) ක්ලෙමන්ට් ය. නෙවිල් නොදැන සිටි හා දැන ගැනීමට ඉඩක් ද නොතිබුනු කාරනය නම් මෙම ඝාතන හතර සැලසුම් කිරීමේ දී ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටු කල ජීපීයූ ඒජන්තයා වූ මාක් ස්බොරොව්ස්කි හතරවන ජාත්‍යන්තරයේ රුසියානු ශාඛාවේ නියෝජිතයා ලෙස පෙනී සිටිමින් සමුලුවට සහභාගි වී තිබීමය.

මෙම ඝාතනයන් 1917 ඔක්තෝබර් විප්ලවය තුල තීරනාත්මක කාර්යභාරයක් ඉටුකල බොල්ශෙවික් නායකයන්, සමාජවාදී බුද්ධිමතුන් හා විප්ලවවාදී කම්කරුවන්ගේ ඉතිරිව සිටි කොටස්වලට එරෙහිව යොමුකර තිබූ විනාශකාරී දේශපාලන ව්‍යාපාරයට නොවෙනක්ල හැකි ලෙසින් බැඳී තිබුනි. 1936 අගොස්ත්ු හා 1938 මාර්තු අතර කාලයෙහි මොස්කව්හි සිදුකල, ස්ටැලින් විසින් මෙහෙයවූ හොරනඩු වට තුන වනාහි, සෝසසසං තුල ට්‍රොට්ස්කිවාදීන්ට එනම් මාක්ස්වාදීන්ගේ බලපෑම මුලිනුපුටා දැමීම අරමුනු කරගත් දැවැන්ත මෙහෙයුමක ප්‍රසිද්ධ ප්‍රකාශනය විය.

ලියොන් ට්‍රොට්ස්කි

වෙනස්කම් කිහිපයක් සහිතව, සමකාලීන ධනේශ්වර ඉතිහාසඥයන් අවධාරනය කලේ ස්ටැලින්වාදී භීෂනය ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදයට අදාල වූයේ සුලු වශයෙන් බවය. 1929 දී සෝවියට් සංගමයෙන් නෙරපා හැර සිටි හා නොතැකිය යුතු තරම් වූ ට්‍රොට්ස්කිගේ බලපෑම ද කරන කොට ගෙන ස්ටැලින්ට, ඔහු ගැන බියවීමට හේතුවක් නොතිබූ බව ඔවුහු කියා සිටියහ. මෙම හර සුන් අගැයීම හිටපු සෝවියට් රුසියානු ඉතහිාසඥයෙකු වූ ජෙනරාල් ඩිමිත්‍රි වොල්කොගනොව් විසින්, ට්‍රොට්ස්කි කෙරෙහි වූ ඔහුගේ ම සතුරුකම තිබිය දී වුවත්, අභියෝගයට ලක් කර තිබේ. ඔහු අවධාරනය කලේ පිටුවහලේ සිටි විප්ලවවාදියාගේ “අවතාරය” විසින් ස්ටැලින් පීඩාවට පත් කල බවයි.

ට්‍රොට්ස්කි තවදුරටත් කරලියෙහි නොසිටි තත්වය හමුවේ පවා ඔහු කෙරෙහි ස්ටැලින්ගේ වෛරය වඩ වඩාත් දැඩි වූ අතර බලය පැහැරගත් රාජ්‍ය නායකයා හමුවේ ට්‍රොට්ස්කිගේ අවතාරය නිරන්තරයෙන් හොල්මන් කලේය. මොලටොව්, කගනොවිච්, කෘෂ්චෙව් හා ෂැඩනොව්ට ඇහුම්කන් දීමට ඔහුට සිදුවූ අවස්ථාවල ඔහු ට්‍රොට්ස්කි ගැන සිතුවේය. සංවිධානය වටහාගැනීමේ දී ට්‍රොට්ස්කි සතුවූ නිපුනත්වයත්, ලේඛකයෙකු හා කථිකයෙකු ලෙස ඔහුගේ ප්‍රතිභාවත් මඟින් බුද්ධිමය වශයෙන් ඔහු වෙනස්වූ ශක්තියික් ප්‍රකට කලේය. සෑම අතකින්ම ඔහු මෙම නිලධරයන් රංචුවට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨයෙකු විය. ඔහු ස්ටැලින්ට වඩා විශිෂ්ඨයෙකු වූ අතර ස්ටැලින් එය දැන සිටියේය. “මම එවන් සතුරෙකු මාගේ ඇඟිලි අතරින් ගිලිහී යන්නට ඉඩහරින්නේ කෙසේදැයි ඔහු විලාප නොනැඟුවා පමනි. එක් අවස්ථාවක ඔහු, මෙය මගේ ජීවිතයේ කල විශාලතම වැරැද්ද බව කියමින් සිය සමීපතමයන් කුඩා කන්ඩායමක් ඉදිරියේ පාපෝච්චාරනය කලේය.

ට්‍රොට්ස්කි තමා සඳහා පමනක් නොව, සෝසසසං තුල තමාගේ සියලු නිහඬ ආධාරකරුවන්ටත් විරුද්ධවාදීන්ටත් කථා කරනු ඇතැයි යන සිතුවිල්ල විශේෂයෙන්ම ස්ටැලිනට වේදනාකාරී විය. The Stalin School of Falsification (ස්ටැලින්, මුසාකරනයේ ගුරු කුලය), An Open Letter to Members of the Bolshevik Party, or The Stalinist Thermidor (බොල්ශෙවික් පක්ෂ සාමාජිකයන් වෙත විවෘත ලිපියක් හෝ ස්ටැලින්වාදී ත්රමිඩෝරය ) වැනි ට්‍රොට්ස්කිගේ කෘතීන් කියවන විට නායකයාගේ ආත්ම පාලනය මුලුමනින්ම පාහේ බිඳ වැටුනි. ස්ටැලින්, The Revolution Betrayed (විප්ලවය පාවාදෙයි) කෘතියේ රුසියානු පරිවර්තනය එක රැයකින් කියවා දැමුවේ සෙම වක්කරමිනි. එය අවසාන පිදුරු ගස විය. වසර ගනනාවක් තිස්සේ තීරන දෙකක් ඔහුගේ සිත තුල පැසවමින් තිබුනු අතර දැන් ඔහු ඒවා ක්‍රියාත්මක කිරීමට තීන්දු කලේය. පලමුව මොන වියදමක් දරා හෝ ට්‍රොට්ස්කි දේශපාලන කරලියෙන් ඉවත් කල යුතු විය. දෙවැන්න ඔහු දැන් වඩාත් ඒත්තු ගෙන සිටි ආකාරයට, රට තුල සැක කටයුතු සියලු සතුරන් තීරනාත්මකව හා අවසාන වශයෙන් විනාශ කර දැමිය යුතුය. (2)

තමන් ද තම ආධාර කරුවන් ද මුහුනපා සිටි අන්තරායේ පරිමාව මෙන්ම සිය සතුරන් පිටුපස පැවති බලය ගැන ද ට්‍රොට්ස්කි හොඳාකාරව ම දැන සිටියේය. එහෙත් ලෝක සමාජවාදී විප්ලවයේ උපකරනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අවසන් ජයග්‍රහනය ගැන අප්‍රමාන විශ්වාසයකින් යුක්තව ඔහු සිය කටයුතු කරගෙන ගියේය. හතරවන ජාත්‍යන්තරය දියත් කිරීම සමරනු වස්, 1938 ඔක්තෝබර් 18 වන දින ඔහු මෙසේ ප්‍රකාශ කලේය.

මොට්ටකමේ හා නරුමත්වයේ සිතුවිලිවල නිමග්නව සිටින අලුගෝසුවෝ අපව බිය ගැන්විය හැකි යයි සිතති. ඔවුන්ට වැරදිලා ය. වැදෙන පහරවල් යටතේ අපි වඩාත් ශක්තිමත්ව සිටින්නෙමු. ස්ටැලින්ගේ කුරිරු දේශපාලනය වනාහි ඉච්ඡා භංගත්වයේ දේශපාලනයක් පමනි. අපගේ හමුදාවෙහි තනි තනි සොල්දාදුවන් මරා දැමිය හැකිය. එහෙත් ඔවුන් බිය ගැන්විය නොහැකිය. මිත්‍රවරුනි අපි යලි වතාවක් මෙම දිනය සමරන්නෙමු. අප බිය ගැන්විය නොහැකිය. (3)

හතරවන ජාත්‍යන්තරයේ මූලාරම්භය පවතින්නේ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා සෝවියට් රාජ්‍යය වඩ වඩාත් නිලධාරිකරනය වීමට එරෙහිව, 1923 දී ට්‍රොට්ස්කි හා වාම විපාර්ශවය ආරම්භ කල අරගලය තුලය. මෙම දේශපාලන අරගලය ඇරඹුනේ ස්ටැලින් ට්‍රොට්ස්කිගේ ප්‍රධාන විරුද්ධවාදියා ලෙස මතුවී ඒමට හා ඔහු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත් වීමට පවා පෙර දී ය. බලය කරා නැඟීමේදී ස්ටැලින්ට මග හෙලි කලේ කොමියුනිස්ට් පක්ෂයේ හා සෝවියට් රාජ්‍යයේ පරිහානිය මඟින් නොව, ඔක්තෝබර් විප්ලවයෙන් පසු කාලයේ බටහිර යුරෝපයෙහි කම්කරු පන්තිය ලද පරාජයන්ගේ ප්‍රතිපලයක් ලෙස සෝසසසං තුල දේශපාලන ප්‍රතිගාමිත්වය ශක්තිමත් වීමේ දේශපාලන ප්‍රතිපලයක් වශයෙන් බව ට්‍රොට්ස්කිගේ මතය විය. ලෙනින් හා ට්‍රොට්ස්කි සම්බන්ධයෙන් ගත් කල, සෝවියට් සංගමය තුල සමාජවාදයේ ඉරනම රඳා පැවතුනේ ලෝක විප්ලවයේ ජයග්‍රහනය මතය. හුදෙකලා හා ආර්ථික වශයෙන් පසුගාමී රාජ්‍යයක් වූ රුසියාව තුල පමනක් සමාජවාදය වර්ධනය කල හැකිය යන අදහස, මාක්ස්වාදී න්‍යායේ අති මූලික සංකල්පයන් සමඟ නොපෑහුනි.

1924 අවසන් කාලයේ මතුව ආ තනි රටක සමාජවාදය ගොඩනැඟිය හැකිය යන ස්ටැලින් ගේ කියාපෑම, - එනම් සෝවියට් සංගමයේ දේශසීමාවන්ගෙන් පිටත ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ, විශේෂයෙන්ම බටහිර යුරෝපයේ හා උතරු ඇමරිකාවේ, ප්‍රතිපලයක් වශයෙන් සෝසසසං ට සමාජවාදය අත් කර ගත හැකිය යන්නට ප්‍රතිවිරුද්ධව - පාලක නිලධරයේ අත්‍යවශ්‍ය ජාතිකවාදී දිශානතිය, ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය හෙලිදරව් කලේය. ජෝසෆ් ස්ටැලින් විසින් නායකත්වය දුන් නිලධරයට සමාජවාදය යන්නෙහි අර්ථය වූයේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ රාජ්‍ය අයිතියෙහි පදනම මත, ඔවුන් බුක්ති විඳි ආදායම හා වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීමේ ස්වයංපෝෂිත ජාතික ආර්ථික පද්ධතියකි.

බොල්ශෙවික් පක්ෂයේ මාක්ස්වාදී හා ජාත්‍යන්තර පදනම් මුසාකරනය හා දියකර හැරීමකින් තොරව නිලධරයට, ට්‍රොට්ස්කි හා වාමාංශික විපාර්ශවය පිටුදැකීම කල නොහැකි දෙයක්ව තිබුනි. ස්ටැලින්වාදී තන්ත්‍රය එන්ට එන්ටම විවෘත හා ගොරහැඩි ලෙස නිලධරයේ අවශ්‍යතාවන්ට, ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයේ අවශ්‍යතාවන් යටත් කරනු ලැබුනි. එය ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය පාවාදීමේ ප්‍රතිපලය වූයේ, 1926 බ්‍රිතාන්‍යයේ ද, 1927 චීනයේ ද, වඩාත් විනාශකාරී ලෙස 1933 ජර්මනියේ ද වශයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියට දේශපාලන පරාජයන් මාලාවක් අත්කර දීමයි. ස්ටැලින් විනාශකාරී ලෙස ජර්මන් කොමියුනිස්ට් පක්ෂය වැරදි දිශාවට මෙහෙයවීම මඟින්, 1933 දී හිට්ලර්ට බලයට ඒම සඳහා කොන්දේසි නිර්මානය කලේය. මෙම සිද්ධිය අනෙක් අතට, දෙවෙනි ලෝක සංග්‍රාමයටත් කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ මරනයටත් තුඩුදුන් සිද්ධි මාලාවක් මුදාහලේය.

1927 වාම විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයෝ ඉඳගෙන: සෙරබ්‍රියාකොව්, රඩෙක්, ට්‍රොට්ස්කි, බොගුස්ලාව්ස්කි, ප්‍රියෝබ්‍රෙෂන්ස්කි. හිටගෙන: රකොව්ස්කි, ද්‍රොබ්නීස්, බෙලොබොරොදොව්, සොස්නොව්ස්කි

හිට්ලර්ගේ ජයගහ්‍රනයෙන් පසු කාලයේ දී, ට්‍රොට්ස්කි හා වාම විපාර්ශවය, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයත්, තුන්වන (කොමියුනිස්ට්) ජාත්‍යන්තරයත්, ප්‍රතිසංස්කරනය කිරීමේ දිශාවට යොමුව තිබුනු සිය පූර්ව ප්‍රතිපත්තිය වෙනස් කලේය. ට්‍රොට්ස්කි දැන් නව ජාත්‍යන්තරයක් ගොඩනැඟීම සඳහාත්, සෝසසසං තුල දේශපාලන විප්ලවයක් සඳහාත් කැඳවුම නිකුත් කලේය. සෝසසසං තුල ස්ටැලින්වාදී නිලධරය ඔහු අර්ථ නිරූපනය කලේ, කම්කරු ව්‍යාපාරය තුල අධිරාජ්‍යවාදී ඒජන්සියක් ලෙසය. 1933 හා 1938 අතර වසර ගනනාව මූලිකව ම කැප කරන ලද්දේ හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුව, දේශපාලනිකව හා න්‍යායිකව සූදානම් කිරීම සඳහාය. 1935 දී මේ සම්බන්ධයෙන් ලියමින් ට්‍රොට්ස්කි සිය ජීවිතයේ වඩාත්ම වැදගත් වැඩ කොටස මෙය බව තක්සේරු කලේය. එය ඔක්තෝබර් විප්ලවය සංවිධානය කිරීමේ කර්තව්‍යයේ දී ඔහුගේ ක්‍රියාකලාපයට මෙන්ම, රතු හමුදාව ගොඩනඟා එයට නායකත්වය දීමටත් වඩා වැදගත් සේ ඔහු සැලකීය. මෙම තකසේරුව සුජාත කරමින් ට්‍රොට්ස්කි තර්ක කලේ 1917 දී ඔහු නොසිටියත් බොල්ශෙවික් පක්ෂය තුල විරුද්ධත්වය ජය ගැනීමටත්, බලය අල්ලා ගැනීමේ තීරනය මත පෙරට යාමටත්, ලෙනින්ගේ නායකත්වය ප්‍රමානවත් විය හැකිව තිබුනු බවයි. එහෙත් දැන්, එනම් 1930 ගනන් වල විප්ලවවාදීන්ගේ නව කේඩරයක් උගන්වා ගැනීමටත්, මාක්ස්වාදී ව්‍යාපාරයේ අඛන්ඩතාවය සුරැකීමටත් වෙනත් කිසිවකු සමත් නොවනු ඇත. මෙම හෝරාවේදී තමන් නැතුව ම බැරි බව ට්‍රොට්ස්කි නිගමනය කලේය. මාක්ස්වාදයේ උරුමයෙහි අඛන්ඩතාවය සහතික කර ගැනීමට ඔහුට වසර පහක් අවශ්‍යව තිබුනි. එම තක්සේරුව කරන විට ට්‍රොට්ස්කිට ජීවත් වීමට තිබුනේ හරියට ම තවත් වසර පහක් පමනි. එම කාලය තුල ඔහු සිය අරමුන ඉෂ්ඨ කර ගත්තේය.

ට්‍රොට්ස්කිගේ මෙහෙවර නැතුව ම බැරිවූයේ මක්නිසාදැයි අවබෝධ කර ගැනීම වැදගත් ය. ඔහුගේ ප්‍රතිභාව ගැන කථා කිරීම පමනක් සෑහෙන්නේ නැත. ඔහුගේ දේශපාලන පෞරුෂයේ මූලයන් තුනක් ගෙනහැර දැක්විය යුතුය.

පලමුවැන්න, “සම්භාව්‍ය මාක්ස්වාදයේ” අවසන් ශ්‍රේෂ්ඨ නියෝජිතයා ඔහු ය. එනම් 19 වන සියවසේ අවසන් දශකයන්හි පැනනැඟුනු මහජන විප්ලවකාරී කම්කරු ව්‍යාපාරය පුහුනු කල හා ඊට ආවේශය සැපයූ මාක්ස් හා එංගල්ස් කරා සෘජුව ම දිව යන, න්‍යායික හා දේශපාලන ගුරු කුලයේ ද, සම්ප්‍රදායේ ද නියෝජිතයා වශයෙනි. සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ ලියවිල්ලෙහි පැහැදිලි කල පරිදි “විප්ලවවාදී න්‍යාය දර්ශනවාදී ලෙස ද්‍රව්‍යවාදය තුල මුල් බස්සවමින් ද, වෛෂයික යථාර්ථය සංවේදනය කිරීම කරා ද, ඉන් පිටතට ද ගෙන යමින් හා කම්කරු පන්තිය අධ්‍යාපනගත කිරීම කරා යොමුකල අතර, ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලය සමඟ එය මූලෝපායිකව පිහිටුවීම ට්‍රොට්ස්කි මූර්තිමත් කලේය.” (4)

දෙවැන්න, විසිවන සියවසේ අන් කිසිදු දේශපාලන චින්තකයෙකුට වඩා පග්‍රාඪ ලෙස ට්‍රොට්ස්කි, සමාජවාදී විප්ලවයේ ගතිකය හා ගෝලීය පරිමාව ද, ජාත්‍යන්තර සමාජආර්ථික ක්‍රියාවලීන් හා ඓතිහාසිකව තීන්දු කෙරුනු ජාතික තත්වයන්ගේ අපෝහක අන්තර් ක්‍රියාකාරීත්වය ද ග්‍රහනය කර ගත්තේය. 1905 විප්ලවය මගින් මතුකල ගැටලුවලට ප්‍රතිචාර වශයෙන් ට්‍රොට්ස්කි ප්‍රථමයෙන් සූත්‍රගත කල නොනවතින විප්ලවයේ න්‍යාය තුල, මෙම අවබෝධය ප්‍රකාශයට පත් විය. එහිදී සම්ප්‍රදායික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් හා කම්කරු පන්තියේ සමාජවාදී උත්සුකයන් අතර සම්බන්ධය, පසුගාමී රටක් තුල මතු කෙරෙන ආකාරයෙන්, පවත්නා සංකල්ප සමඟ විසංවාදී වන බැවින් නව න්‍යායික නිදසුන් අවශ්‍ය කෙරෙයි.

තුන්වැන්න, 1903 භේදය හා 1917 විප්ලවවාදී සමාප්ති රංගනය අතර වසරවල, මෙන්ෂෙවික් අවස්ථාවාදයට හා මාධ්‍යමිකවාදයට එරෙහි ලෙනින්ගේ අරගලයෙහි අත්‍යවශ්‍ය දේශපාලන පාඩම් ට්‍රොට්ස්කි උකහා ගත්තේය. එම තීරනාත්මක හැඩගැන්වීමේ අවධිය තුල දේශපාලන මූලධර්ම පිලිබඳ ප්‍රශ්න මත ලෙනින් සමඟ කඩු අමෝරාගෙන සිටීමෙන් පසුව ට්‍රොට්ස්කි, රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුල හා ඉන් ඉක්බිත්තෙහි, 1914 අධිරාජ්‍යවාදී යුද්ධය පුපුරායාමෙන් පසුව, අවස්ථාවාදයේ සියලු රූපාකාරයන්ට විරුද්ධ වීමේදී ලෙනින්ගේ අත්‍යසාමාන්‍ය දුර දක්නා භාවය අවබෝධකර ගැනීමට හා අගය කිරීමට පටන් ගත්තේය. මෙම ඓතිහාසික අත්දැකීමෙන් ට්‍රොට්ස්කි උකහාගත් පාඩම් හතරවන ජාත්‍යනත්රය ගොඩනැඟfීම් අරගලය සඳහා අත්‍යවශ්‍ය දේශපාලන පදනම සම්පාදනය කලේය.

ට්‍රොට්ස්කිගේ බුද්ධිමය හා දේශපාලන චාරිකාවේ මෙම මූලයන් එකිනෙක ගෙන සවිස්තරාත්මකව විමසා බැලීම යෝග්‍යය. එහෙත් දී ඇති කාලය ඉල්ලා සිටින්නේ වඩාත් අවධානයෙන් යුතු ප්‍රවිෂ්ටයකි. එබැවින් අපි “සම්භාව්‍ය” මාක්ස්වාදය පිලිබඳ ප්‍රශ්නය කරා යොමු වෙමු. විප්ලවවාදී මූලෝපායඥයෙක් ලෙස ට්‍රොට්ස්කිගේ බලය ඉහලින අගය කරන හා ඒ පිලිබඳව හුරු පුරුදු අය අතරින් පවා, ඔහුගේ දේශපාලන චින්තනයේ න්‍යායික පදනම් පිලිබඳ සැලකිය යුතු අගැයීමක් යමෙකුට සොයාගත හැක්කේ කලාතුරකිනි.

විප්ලවවාදී චින්තනයේ ප්‍රධාන දුන්න ලෙස අපෝහක භෞතිකවාදය පිලිබඳව ට්‍රොට්ස්කිගේ අවධාරනය තිබිය දී ද, ඊට අනුකූලතාවය දක්වමින් විස්තර කථනයෙහි යෙදෙන්නන් පවා දකින්නේ දර්ශනවාදී කැපවීම පිලිබඳ එවන් ඒත්තු ගැනීමක් ඇදහිය නොහැකි හා නොසෑහෙන ලෙසයි. නිදසුනක් ලෙස, ප්‍රකට විද්වතෙක් හා ට්‍රොට්ස්කිගේ සමාජ හා දේශපාලන චින්තනය පිලිබඳ විශේෂඥයෙක්, අපෝහක භෞතිකවාදයේ ප්‍රාථමික මූලයන් පැහැදිලි කරන ට්‍රොට්ස්කිගේ ඡේදයක් ගැන සඳහන් කරමින් කෝපය මුසු හඬකින් මෙසේ විමසීය. “කෙසේ වෙතත් සමාජය ගැන අධ්‍යයනය කිරීමේ දී හා මාක්ස්වාදී විප්ලවකාරී ප්‍රතිපත්ති හා මූලෝපාය සූත්‍රගත කිරීමේ දී මේ දේවල්වල ප්‍රයෝජනය කුමක්ද? (5) එම ප්‍රශ්නය එක් අතකින් දර්ශනවාදී දෘෂ්ටිය හා විධික්‍රමයත්, අනෙක් අතට දේශපාලන චින්තනය හා භාවිතාව අතරත් සම්බන්ධතාවය පිලිබඳ අවබෝධයේ මඳකම එලිමහනට ගෙන ආවේය. ට්‍රොට්ස්කිට නම් ඉතා හුරු පුරුදු, මාක්ස්වාදී භෞතිකවාදය හා දර්ශනවාදී විඤ්ඤානවාදයේ විවිධ ගුරුකුලයන් අතර ගැටුමේ අන්තර්ගතය හා ඇඟවීම් පිලිබඳ අගැයීමේ සීමාසහිත කම ද ඉන් නිරාවරනය කලේය.

ප්‍රථම ලෝක සංග්‍රාමයට පෙරාතුව යුරෝපීය සමාජවාදී ව්‍යාපාරයේ, විශේෂයෙන්ම රුසියානු, විවිධ විසංවාදී ප්‍රවනතාවන් තුල දේශපාලන අරගලයන් පිලිබඳව බොහෝ දේ ලියා ඇති අතර, න්‍යායික ගැටුම් කෙරෙහි දක්වා ඇත්තේ මඳ අවධානයකි. එඩුවාඞ් බර්න්ස්ටයින්ගේ සංශෝධනවාදයට එරෙහි අරගලය පවා විභාග කර ඇත්තේ බොහෝ කොටම දේශපාලන ක්‍රියාමාර්ගයේ හා ඉදිරිදර්ශනයේ දෘෂ්ටි ආස්ථානයක සිටය. සැබවින්ම එවන් තියුනු ලක්ෂයන්හි හටගත් වෙනස්කම් දැවැන්ත හා දිගුකාලීන වැදගත් කමක් දරා සිටියි. එහෙත් මාක්ස්වාදය හා සංශෝධනවාදය අතර මෙම තීරනාත්මක ගැටුමේ තවත් අංශයක් අවධාරනය කරීිම අවශ්‍යය. එනම් අරගලයේ දර්ශනවාදී පරිමානයයි. මෙම දෘෂ්ටි ආස්ථානයෙන් විභාග කරන විට නව කාන්ට්වාදියෙකු වූ බර්න්ස්ටයින්, මාක්ස්වාදය කෙරෙහි පෑ විරුද්ධත්වය, ආත්මීය විඤ්ඤානවාදයේ විවිධ ප්‍රවාහයන් තුල දර්ශනවාදීව මුල්බැස තිබෙන, පුලුල් බුද්ධිමය ප්‍රවනතාවක කොටසක් වේ.

කෙටියෙන් කිවහොත් මෙම ප්‍රවනතාවන්, විඥානය මත ද්‍රව්‍යයේ ප්‍රාථමිකත්වය අවධාරනය කල දර්ශනවාදී හා ඓතිහාසික භෞතිකවාදය ප්‍රතික්ෂේප කලහ. මේ පදනම මත, මානව සමාජයේ බුද්ධිමය සංවර්ධනය ද ඇතුලත්, සංවර්ධනය සිදුවන්නේ සමාජයේ ආර්ථික ව්‍යුහයට සම්බන්ධ නීතිවලට අනුවය යන්න ද ඔවුහු ප්‍රතික්ෂේප කරති.

ට්‍රොට්ස්කි තරම් ඉතිහාසයේ අපෝහක සංකල්පය පිලිබඳ අධිෂ්ඨානශීලී ආරක්ෂකයෙකු තවත් සිටියේ නැත. 1890 ගනන්වල අග භාගයේ ආරම්භවන ඔහුගේ න්‍යායික අධ්‍යාපනය කෙරීගෙන ගියේ ආත්මීය විඤ්ඤානවාදයේ හා අහේතුක චින්තනයේ වැඩෙන බලපෑම සමඟ නිරන්තර ගැටුමක් සහිතව ය. ඔහුගේ දීර්ග විප්ලවවාදී ජීවිත කාලයේ අවසන් දිනවල මාක්ස්ගේ ද්‍රව්‍යවාදී දෘෂ්ටිය පිලිබඳ පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් කලේය.

ස්වභාව ධර්මයේ වෛෂයික පුනර්කරනය පිලිබඳ සංජානනය ලෙස විද්‍යාව සිය තැන ගැනීමත් සමග ම, ශුද්ධවූ බලවේග (ආගම) හෝ සදාකාලික සදාචාරාත්මක ශික්ෂාවන් (විඤ්ඤානවාදය) යයි කියනු ලබන දේ සමඟ සංවාදයක ස්වරූපයෙන්, තමා සඳහා විශේෂ වරප්‍රසාද හිමිකර ගැනීමට, තෙමේ විද්‍යාවෙන් වෙන්කර ගැනීම සඳහා මිනිසා මුරන්ඩු ලෙසත් අනවරතයෙනුත් උත්සාහ දරා ඇත. භෞතිකමය වූ ස්වභාවධර්මයේ පරිනාමය පිලිබඳ ක්‍රියාවලිය තුල පවත්නා ස්වභාවික පුරුකක් ලෙස මනුෂ්‍යයා දෙස බැලූ මාක්ස්, එම පිලිකුල් සහගත වරප්‍රසාදවලින් මිනිසා නිශ්චිතව හා සදාකාලයටම මුදා ගත්තේ ය. නිෂ්පාදනය කර බෙදාහැරීමේ සංවිධානය ලෙස මානව සමාජය තුල ධනවාදය සලකනු ලැබුවේ, මානව සමාජයේ සංවර්ධනයෙහි එක්තරා අවධියක් ලෙස ය.

ධනේශ්වර සමාජය තුල එහි සාමාජිකයන්ගේ ආත්මීය විඤ්ඤානයෙන් එනම් ඔවුන්ගේ අභිප්‍රායන් හා සැලසුම්වලින් (එම සමාජය තුල යලි යලිත් සිදුවන) පුනර්කරනයට හේතු සොයා ගැනීම කිසිසේත් ම කල නොහැකි දෙයකි. ධනවාදයේ වෛෂයික අන්තර්ගතය සූත්‍රගත වූයේ විද්‍යාව ඒ පිලිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමුකිරීමට පෙරය. මිනිසාගේ ඉමහත් බහුතරය අද දක්වාමත්, ධනේශ්වර ආර්ථිකය හසුරුවන නීති පිලිබඳව කිසිවක් දන්නේ නැත. නිශ්චිත පුද්ගලයන්ගේ ආත්මීය දෘෂ්ටි ආස්ථානයෙන් නොව, සමස්තයක් ලෙස සමාජයේ සංවර්ධනය පිලිබඳ වෛෂයික දෘෂ්ටි ආස්ථානයක සිට, ආර්ථික සංසිද්ධීන් කරා වූ මාක්ස්ගේ ප්‍රවිෂ්ටය තුල, ඔහුගේ සමස්ත ක්‍රමවේදයෙහි ශක්තිය රඳා ඇත. ඒ කෙසේද යත්, අත්හදාබැලීම්වල නියුතු ස්වභාවධර්ම විද්‍යාඥයෙක් මී වදයකට හෝ කූඹි ගුලකට පිවිසෙන ආකාරයට ම ය.

ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල තීරනාත්මක වැදගත් කමක් දරන්නේ, මිනිසුන් ක්‍රියාකරන ආකාරය නොව, ඔවුන්ගේ කටයුතු පිලිබඳව ඔවුන් සිතන්නේ කුමක්ද යන්නයි. සමාජයේ පදනමෙහි ඇත්තේ ආගම හා සදාචාරය නොව ස්වභාවධර්මය හා ශ්‍රමයයි. මාක්ස්ගේ ක්‍රමවේදය (විධික්‍රමය) භෞතිකවාදී වන්නේ එය පැවැත්මේ සිට විඤ්ඤානය කරා මිස එහි අනෙක් පැත්තට ගමන් නොකරන බැවින්ය. මාක්ස්ගේ විධික්‍රමය අපෝහකය, මක්නිසාද යත් එය ස්වභාවධර්මය හා සමාජය යන දෙකම එහි පරිනාමය තුල සැලකිල්ලට ගන්නා බැවින් හා පරිනාමයම විසංවාදී බලවේගයන්ගේ ගැටුම ලෙස සලකන බැවින්ය. (6)

දේශපාලන අරගලයේ ලෝකය තුල මාක්ස්ගේ භෞතිකවාදී දෘෂ්ටිය යොදාගැනීම සඳහා විප්ලවවාදී ප්‍රතිපත්ති, පලමුකොට හා පරම වශයෙන් වෛෂයික සමාජ ආර්ථික කොන්දේසි මත පදනම් කිරීම අවශ්‍යවේ. විප්ලවවාදී පක්ෂය සිය ක්‍රියාකාරකම් පදනම් කල යුතුව ඇත්තේ ජනතාවගේ පවත්නා මිත්‍යාවන් හා මනෝගතීන් මත නොව ධනවාදයේ සැබවින්ම පවත්නා සමාජ-ආර්ථික ප්‍රතිඝතිතාවන් මතය. ජනතාවගේ ම මනෝගතීන් වනාහි වෛෂයික කොන්දේසිවල විකෘති ප්‍රතිබිම්බනයන් ය. විප්ලවවාදී පක්ෂයට මෙම මනෝගතීන් ජයගත හැක්කේ එය කම්කරු පන්තිය තුල, ධනේශ්වර අර්බුදය හා එහි දේශපාලන ඇඟවුම් නිවැරදි ලෙස වටහාගැනීම සඳහා සටන් වදිනතාක් දුරට පමනි.

හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුව ආසනන්යේ, 1938 මැයි මාසයේ පවත්වන ලද ට්‍රොට්ස්කි හා ඔහුගේ ආධාරකරුවන් අතර සාකච්ඡාවේදී විප්ලවවාදී ක්‍රියාමාර්ගය පිලිබඳ මෙම ආරම්භක ලක්ෂ්‍යය ට්‍රොට්ස්කි අවධාරනය කලේය.

ඇමරිකානු කම්කරු පන්තියේ දේශපාලන පසුගාමීත්වය ඉමහත්ය. මෙයින් සලකුනු කරන්නේ ෆැසිස්ට් ව්‍යසනයක තර්ජනය ද ඉමහත් බවය. අපගේ සියලු කටයුතුවල ආරම්භක ලක්ෂ්‍යය වන්නේ මෙයයි. ක්‍රියාමාර්ගය කම්කරුවන්ගේ පසුගාමිත්වය නොව, කම්කරු පන්තියේ වෛෂයික කර්තව්‍යයන් ගෙනහැර දැක්විය යුතුය. එය කම්කරු පන්තියේ පසුගාමිත්වය නොව සමාජය පවත්නා ආකාරයට පිලිබිඹු කල යුතුය. එය පසුගාමිත්වය අභිබවා යාමේ හා ජයගැනීමේ උපකරනයකි. ඉදිරි පෙලෙහි ම ඇති එක්සත් ජනපදය ද ඇතුලු ධනේශ්වර සමාජයේ සමාජ අර්බුදයෙහි සමස්ත තීව්‍රත්වයම, අපගේ ක්‍රියාමාර්ගය තුල ප්‍රකාශිත විය යුත්තේ එබැවින්ය. අප මත රඳා නොපවතින වෛෂයික තත්වය අපට කල්දැමීම හෝ නවීකරනය කල නොහැකිය. මහජනතාව අර්බුදය විසඳනු ඇතැයි අපට සහතික විය නොහැකිය. එහෙත් අප යථා තත්වය එලෙසින්ම ප්‍රකාශයට පත්කල යුතු අතර ක්‍රියාමාර්ගයේ කාර්යය එයයි. (7)

වර්තමාන තත්වය සම්බන්ධයෙන් මෙම වචන තීව්‍ර අදාලත්වයකින් යුක්තව භාවිතයට ගත යතුයු. අද දිනයේ විප්ලවවාදී දේශපාලනයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ කුමක් ද? 1930 ගනන්වල මහා අවපාතයේ පටන් අත් නොදුටු ආකාරයේ ගැඹුරකින් හා තීව්‍රත්වයකින් යුක්තව දිගහැරෙන ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදයෙහි වෛෂයික ස්වභාවය හා ඇඟවුම් ද? නැතහොත් කම්කරු ජන සමූහයන් අතර පැතිර පවතින දේශපාලන විඥානයේ ව්‍යාකූල තත්වය ද? අද දිනයේ බරක් ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරයේ පල් හෑලි පිලිබඳව කම්කරුවන් අතර පවතින මිත්‍යාවන්ට අපගේ ක්‍රියාමාර්ගය අප යටත් කල යුතු ද? නැතහොත් මීපැනි තැවරූ වැකි තුල සැඟවී ඇති වස විස අප හෙලිකල යුතු ද? එමඟින් උග්‍රවන ආර්ථික අර්බුදයෙන් නොවරදවා ම ජනනය කරනු ලබන දැවැන්ත සමාජ ගැටුම් සඳහා ජනතාව සූදානම් කල යුතු ද? තව දින තුනකින් මැතිවරනය නිමාවට පත්වනු ඇත. ධනපති පක්ෂ දෙකෙන් කවරක් ජය ගත්ත ද, ජනාධිපති හා ව්‍යවස්ථාදායක මැතිවරනය ඉන්පසුව නැඟෙන ආර්ථික ව්‍යසනයට මුහුන දෙනු ඇත. ජනාධිපති වශයෙන් තේරී පත්වනු ඇතැයි දැනට පෙනෙන්නට ඇති ඔබාමා, ඉන් පසුව ඇමරිකානු පාලක පන්තියේ ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතාවන් පෙරට ගෙනයාමේ මධ්‍යම වගකීම භාරගනු ඇත. අර්බුදය ජනගහනයේ සෑම පන්තියකට ම එකසේ බලපාන්නේය යන මිත්‍යාව කෙතෙක් කල් පවත්වාගෙන යා හැකි යයි ඔබ සිතන්නේ ද? එනම් “මෙහිදී ඇමරිකානු ජනතාව එකම බෝට්ටුව තුල සිටියි.” එබැවින් “කැප කිරීම්” බෙදා හදා ගත හැකිය.

දුප්පතුන්ගේ අවශ්‍යතාවන් ද ධනපතියන්ගේ අවශ්‍යතාවන්ට සමාන වන්නේ ද? අර්බුදය මඟින් නිර්මානය කල අවස්ථාවන් තමන් උපරිම ලෙස ධනවත් වීම සඳහා ගසාකෑමට, මූල්‍ය පැලැන්තියේ නොමැඩිය හැකි අධිෂ්ඨානය කම්කරු ජන සමූහයා ඉදිරියේ වේදනාකාරී ලෙස පැහැදිලි වීමට පටන් ගැනීම කොතෙක් කල් වසංකල හැකි ද? ඒ තරගයේ දී ඔබාමාට අවශ්‍ය වුවත්, මේ තත්වය පාලනය කිරීමට ඔහුට ඇති නොහැකියාව හෙලිදරව් වීම වැලැක්විය හැකි ද?

පොදුවේ ඉතිහාසඥයන් විසින් පාලනමය පෙරලිකාරිත්වයේ කූට ප්‍රාප්තිය ලෙස විස්තර කල රූස්වෙල්ට් පාලනයේ නව ගිවිසුම (නිව් ඩීල්) පිලිබඳව, 1939 දී ට්‍රොට්ස්කි කල ප්‍රකාශය මෙහිදී සිහියට නඟා ගැනීම වටනේය. ඇමරිකානු ධනේශ්වරය සමඟ රූස්වෙල්ට්ගේ ගැටුමේ පුහු භාවය ට්‍රොට්ස්කි තරමක උපහාසයක් ද සහිතව මෙසේ සටහන් කලේය. අද දිනයේ පාලක පන්තියේ බලගතුම කොටස වන්නේ ඒකාධිකාරීන්ය. ආන්ඩුව පොදුවේ ඒකාධිකාරයට එරෙහිව සටන් වැදීමට අසමත් වෙයි. එනම් තමන් පාලනය ගෙනියන්නේ කුමන පන්තියේ කැමැත්ත පරිදි ද යන කාරනයේදී එම පන්තියට එරෙහිව යාමට. ඒකාධිකාරයේ එක් අංශයකට පහර දෙන අතර එයට ඒකාධිකාරයේ අනෙක් අංශයෙහි මිතුරන් සෙවීමට බලකෙරෙයි. බැංකු හා ලුහු කර්මාන්තය සමඟ එකතුවෙමින් එයට බැර කර්මාන්තයේ භාරකාර මන්ඩලවලට ඉඳ හිට පහර ගැසීමට හැකි වුවත් ඒනිසාවෙන් සිත් ගන්නා ලාභ ඉපැයීම් නතර නොවේ. (8)

එම ඉරනම ඔබාමා මතට ද පාත් නොවෙයි ද? “ඔව් අපට පුලුවන්” මහතාගේ වාචාල හොරනෑවට පෙර සිටම ඇමරිකානු ධනවාදයේ පවුරු වෙව්ලුවේ ද? නැත එසේ නොවීය. ඇත්ත වශයෙන්ම සෙනේට් සභික මැකේන් ගැන නොකීව ද, කුප්‍රකට බැංකුවලට ඇප බැඳීම් පිලිබඳ අර්බූදයේ කාලය තුල ඔහුගේ හැසිරීම, පාලක පන්තියේ ඉල්ලීම්වලට මුහුනදෙන විට ඔබාමා පරිපාලනය කෙසේ ප්‍රතික්‍රියා කරනු ඇත් ද යන්න ගැන ඇඟවීමක් සම්පාදනය කරයි.

අවසාන විගහ්‍රයේ දී ඔබාමා පරිපාලනයක ප්‍රතිපත්ති ඇමරිකානු ධනවාදය මුහුන දෙන වෛෂයික කොන්දේසි මඟින් තීරනය කෙරෙනු ඇත. රූස්වෙල්ට් යුගයේ එක්සත් ජනපදයත්, ඔබාමා යුගයේ එක්සත් ජනපදයත් අතර පැහැදිලි බෙදුම්කඩනයක් ඇඳගත යුත්තේ මෙම අවස්ථාවේ ය. ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ප්‍රථම වරට තනතුරේ දිව්රුම් දෙමින් එක්සත් ජනපදයට තමන් ගැන හැර බියවීමට අන් කිසිවක් නැතැයි ප්‍රකාශ කල තැන් පටන් සියවස් තුන්කාලක් ගතවී තිබේ. තමන් හමුවේ ඇති සියලු ආර්ථික ගැටලු හමුවේ වුවත්, ඔහු කථා කලේ තවමත් තමන් සන්තකයේ වැය කිරීමට දැවැන්ත සම්පත් හිමි ධනපති ජාතියක නායකයා ලෙසය. එක්සත් ජනපදය සතවු පැවති කාර්මික ශක්තිය හමුවේ අනෙකුත් සියලු ජාතීන් අඟුටු මිට්ටන් විය. එම කාලය ගෙවී ගොස් බොහෝ කල් ය. එක්සත් ජනපදය දශක ගනනාවක් තිස්සේ ආර්ථික පරිහානියකට මහුනුපා සිටියි. සිය කර්මාන්ත දිරාපත්වන තතු හමුවේ එය, දැවැන්ත නය කඳු ගසාගෙන සිටියි. නිෂ්පාදනයේ ද්‍රව්‍යමය ක්‍රියාවලියෙන්, ධන සමුච්ඡයේ ක්‍රියාවලිය වෙන්කර ගැනීම තුල, ආර්ථික අර්බුදයේ සැබෑ මූලය හඳුනාගත හැකියි. ආර්ථික අර්බුදය පුපුරා යාම අද්දර දී එක්සත් ජනපදයේ මූල්‍ය ක්ෂේත්‍රය සියලු ලාභවලින් සියයට 40 ක් හිමිකර ගත්තේය.

රූස්වෙල්ට්ගේ නව ගිවිසුම මහා අවපාතය අවසන් කිරීමට අසමත් වූයේය යන්න යමෙක් සිහියට නඟා ගත්ත ද, ඇමරිකානු කම්කරු පන්තියට පිලිගැන්විය හැකි එවන් නව ගිවිසුමක් පවා ඔබාමා සතුව ඇත්තේ නැත. ආර්ථික අර්බුදය “විසඳනු ලැබුවේ” දෙවන ලෝක සංග්‍රාමය මඟිනි. කෙසේ වුව ද 1930 ගනන්වල සහන පවා අත්කර ගත්තේ, ආන්ඩුවේ ප්‍රතිසංස්කරන හා සහන පිදීම හේතුකොට ගෙන නොව, කම්කරු පන්තිය විසින් කල දැවැන්ත සමාජ අරගලයන් මඟින්ය. ඒ අතර ටොලිඩෝ ඔටෝලයිට් වැඩ වර්ජනය, මිනියාපොලිස් හා සැන්ෆ්‍රැන්සිස්කෝ මහා වැඩ වර්ජන, ෆ්ලින්ට් වාඩිලාගැනීමේ වැඩවර්ජනය හා අනෙකුත් බලගතු හා ලේ වැකි අරගල වෙයි.

එසේනම් එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා ඇති බලාපොරොත්තු කවරේ ද? මෙය, ඇමරිකානු සමාජය හා එහි ආර්ථික හා දේශපාලන ව්‍යූහය පිලිබඳව උද්යෝගිමත් නිරීක්ෂකයෙකු වූ ට්‍රොට්ස්කි බොහෝ දුරට සිත යොමුකල ප්‍රශ්නයකි. “ඊනියා අසීමිත අවස්ථාවන් සහිත දේශය” තුල පැවති ධනේශ්වර දෘෂ්ටියෙහි බලපෑම හා බලය පිලිබඳව ඔහු මනා වැටහීමකින් යුතුව සිටියේය. 1939 දී ඔහු මෙසේ ලිවීය.

මිලියනයක් සතු පුද්ගලයා මිලියනයක් “වටින්නේය” යි සලකනු ලබන එක්සත් ජනපදය තුල තරම් වෙන කොහේවත්, වෙලඳපොල සංකල්ප මේ තරම් ගැඹුරට කිඳා බැස නැත. මෑතක් වන තෙක්ම වාගේ ඇමරිකානුවන්, ආර්ථික සම්බන්ධතාවන්ගේ ස්වභාවය ගැන සිත් යොමු කර ඇත්තේ මඳ වශයෙනි. අතිශය බලගතු ආර්ථික පද්ධතියක් සහිත දේශය තුල ආර්ථික න්‍යාය තවමත් පවතින්නේ බෙහෙවින් නිසරු තත්වයක ය. ඇමරිකානු ආර්ථිකයේ ගැඹුරට විහිදී යන වත්මන් අර්බුදය පමනක්, ධනේශ්වර සමාජයේ අති මූලික ගැටලු සමඟ මහජන මතය එක එල්ලේ ගැටුමකට පමුනුවා ඇත. (9)

දේශපාලනික හා මිලිටරිමය වශයෙන් පමනක් නොව ආර්ථිකව ද එක්සත් ජනපදය ජයග්‍රාහීව පෙරමුනට ගෙන ආ දෙවන ලෝක සංග්‍රාමය විසින් ආර්ථික, සමාජ හා දේශපාලන පුනරුදයේ ක්‍රියාවලිය පූර්වභංග කලේය. කාර්මික නිෂ්පාදනයෙන් සියයට 75 ක් එක්සත් ජනපදය තුල ස්ථානගතව තිබිය දී හා “ඩොලරය රත්තරන් තරම් ම හොඳ” යයි පිලිගන්නා තත්වයක්තුල ධනවාදයේ නීතියුක්ත භාවය ගැන ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? තව ද පශ්චාත් යුද්ධ ප්‍රති කොමියුනිස්ට්වාදී දඩයම ඉලක්ක කලේ එක්සත් ජනපදය තුල බුද්ධිමය ජීවිතය හකුලුවා දැමීමට හා මුලුමනින්ම සාපරාධී යයි නම් කිරීමට නොහැකි නම් ඇමරිකානු ධනවාදය පිලිබඳ මාක්ස්වාදී විවේචන නීති විරෝධී කිරීමටය.

වඩාත් මෑතක දී එනම් 1980 ගනන් අවසන් අදියරේ දී හා 1990 ගනන් මුල් භාගයේ සෝසසසං හා නැඟෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍රයන් බිඳ වැටෙන තතු තුල, එය හුවා දක්වනු ලැබුවේ ධනවාදයේ අවසන් ජයගහ්‍රනය පිලිබඳ නොවරදින නිදසුනක් ලෙස හා “ඉතිහාසයේ පවා අවසානය” ලෙස ය.

එහෙත් ආර්ථික පද්ධතියේ විනාශකාරී අසාර්ථකත්වයෙන් ඉක්බිත්තෙහි ධනවාදයේ ජයග්‍රහනයෙන් අද ඉතිරිව ඇත්තේ කුමක් ද? යන්තම් මසකට මඳක් වැඩි කාලයකට පෙර බැංකුවලට ඇප දීම සඳහා මහජන සහයෝගය ඉල්ලා සිටිමින් ජනාධිපති බුෂ් ජාතියේ ප්‍රේක්ෂකත්වය හමුවේ ප්‍රකාශ කලේ, එක්සත් ජනපද ධනේශ්වර පද්ධතිය බිඳවැටීමේ අද්දර රැඳී ඇති බවයි. දෙදිනකට පසුව ඔහු සිය කැබිනට් සාමාජිකයන් හා කොන්ග්‍රස් නායකයන් අමතා කියා සිටියේ “මෙම මූෂකයා (sucker) ප්‍රපාතයට යමින් සිටින” බවයි. වෙලඳපොලේ නො වරදිනසුලු භාවය, වෙලඳපොල රාජ්‍යයෙන් මුලුමනින්ම ස්වාධීන වීම ඇතුලු අධිරාජ්‍යවාදී ධනවාදයේ සමස්ත දෘෂ්ටිවාදයම එහි සියලු විශ්වාසනීයත්වය අහිමි කරගෙන සිටියි. ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රාඥයා ලෙස හුවා දැක්වූ, වෙලඳපොල පිලිබඳ කුලයේ අනාගත වක්තෘ ඇලන් ග්‍රීන්ස්පෑන් කොන්ග්‍රස් මන්ඩල මූල්‍ය කමිටුව ඉදිරියේ පෙනී සිටියේය. එහාට මෙහාට ඇඹරෙමින්, ජරපත් බවේ අද්දර සිටින හිස අවුල්වූ මහල්ලෙක් ලෙස මවිතයට පත්ව සිටි ඔහු, පාපෝච්ඡාරනය කලේ තමන් විශ්වාස කල පරිදි හැසිරීිමට වෙලඳපොල අසමත්ව ඇති බවටය.

මෙම අර්බුදයේ පසුබිම තුල භයංකර “එස්” (S) අකුර ඇමරිකානු දේශපාලන ජීවිතය තුල යලි ප්‍රාදූර්භූතව ඇත. ධනය බෙදා හදා ගැනීම ගැන ඔබාමා අප්‍රවේසමෙන් කල කථාවක් - පරම වශයෙන්ම ඔහු මෙයින් හානියක් සිදු කිරීමට අදහස් නොකලත් මැකේන් හා පැලින් විසින් එය වහාම ඩැහැ ගනු ලැබුවේ ඔබාමා ඇමරිකාවට සමාජවාදය හඳුන්වාදීමට නිදසුනක් සේ ගෙන හැර දැක්වීමට ය. සෙනේට් සභික බිඩෙන් ගෙන් රූපවාහනී වැඩ සටහනක දී ඔබාමා සැබවින්ම සැඟවුනු මාක්ස්වාදියෙකු දැයි ප්‍රශ්න කරන ලදී. මෙම සිදුවීම්වලින් නිරාවරනය කෙරෙන්නේ පාලක පන්තිය තුල පවතින භීතියයි. ඔබාමා හා බිඩෙන් “ධනය බෙදා හදා ගැනීමට” සැලසුම් කරන්නේ යයි ඔවුන්ගේ රිපබ්ලිකානු විරුද්ධවාදීන් එල්ල කල චෝදනා, ඩිමොක්‍රටික් අපේක්ෂකයන් කෝපයෙන් යුතුව හෙලා දුටුවේය. එහෙත් වැඩෙන විරැකියාව හා මහා පරිමානයෙන් සිදුවන නිවාස අත්පත්කර ගැනීම් හා වෙන්දේසි කිරීමේ කොන්දේසි යටතේ, ඇමරිකානු කම්කරු සමූහයා “ධනය බෙදා හදා ගැනීම” එතරම් ම නරක අදහසක් බවට එකඟවනු ඇත් ද?

සමාජ පැවැත්ම සමාජ විඥානය තීරනය කරයි. අර්බුදයේ කොන්දේසි පැරනි දෘෂ්ටිවාදයන් අපකීර්තියට පත්කරනවා පමනක් නොවේ. ඉන් වෛෂයික යථාර්තය සමඟ ගැලපෙන සංකල්ප මතුවී ඒමටත් කොන්දේසි සකසයි. ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදය ගැන කෙරෙන සාකච්ඡා වලින් මාක්ස්වාදය නොනිල වශයෙන් දිගටම කොන්කර තැබීම කල නොහැකිවනු ඇත. ට්‍රොට්ස්කි පෙරදුටු පරිදි වෛෂයකි සිද්ධීන් දේශපාලන ජීවිතයේ ප්‍රගාඪ මාරුවකට බලකරනු ඇත. 1939 දී ඔහු ලිව් දේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අත්‍යසාමාන්‍ය ලෙසින් අදාලය.

පාර්ශවීය ප්‍රතිසංස්කරන හා පැලැස්තර ඇලවීමෙන් පලක් නොවනු ඇත. මහජනතාවගේ සෘජු මැදිහත්වීම මඟින් පමනක් ප්‍රතිගාමී බාධක පසෙකට අතුගා දමමින් නව පර්යායක් සඳහා පදනම දැමිය හැකිවන ඒ තීරනාත්මක අවධියට ඓතිහාසික වර්ධනය ලඟාවී ඇත. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය අහෝසිකර දැමීම, සැලසුම්ගත ආර්ථිකයක් සඳහා ප්‍රථම පූර්වාවශ්‍යතාවය වෙයි. එනම් පලමුව ජාතික වශයෙන් ද අවසානයේ ලෝක පරිමානව ද මානව සම්බන්ධතා පිලිබඳ ක්ෂේත්‍රයට හේතු යුක්තිය හඳුන්වා දීමයි. විමුක්ත වූ මානව වර්ගයා එය එහි ඉහලටම ඔසවාලනු ඇත. (10)

සටහන්

1. Documents of the Fourth International හතරවන ජාත්‍යන්තරයේ ලියවිලි (නිව් යෝර්ක්: පාත්ෆයින්ඩර් ප්‍රෙස්, 1973), පි. 284.[return]

2. Stalin: Triumph and Tragedy ස්ටැලින්ජයග්‍රහනය හා ඛේදාන්තය (නිව් යෝර්ක්: ග්‍රෝව් වයිඩන්ෆෙල්ඞ්, 1988) පි. 254-60.[return]

3. Writings of Leon Trotsky 1938 39ලියොන් ට්‍රොට්ස්කිගේ ලියවිලි 1938-39 (නිව් යෝර්ක්: පාත්ෆයින්ඩර් ප්‍රෙස්, 1974) පි. 94.[return]

4. The Historical and International Foundations of the Socialist Equality Party සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්91 වන ඡේදය[return]

5. Baruch Knei-Paz, The Social and Political Thought of Leon Trotsky බරූච් නීපාස්, ලියොන් ට්‍රොට්ස්කිගේ සමාජ හා දේශපාලන චින්තනය (ඔක්ස්ෆර්ඞ්: ඔක්ස්ෆර්ඞ් යුනිවර්සිටි ප්‍රෙස්, 1978) පි. 487-88) [return]

6. Leon Trotsky, Marxism in Our Timeඅපේ කාලයේ මාක්ස්වාදය-ලියොන් ට්‍රොට්ස්කි [return]

7. The Transitional Program for Socialist Revolution සමාජවාදී විප්ලවය සඳහා සංක්‍රමන ක්‍රියාමාර්ගය (නිව් යොර්ක්: පාත්ෆයින්ඩ්ර් ප්‍රෙස්, 2001), පි.189-90. [return]

8. Leon Trotsky, Marxism in Our Timeඅපේ කාලයේ මාක්ස්වාදය - ලියොන් ට්‍රොට්ස්කි [return].

9. එම.[return]

10. එම[return]

Share this article: