හතර වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය
සමාජවාදී සමානතා පක්ෂයේ 50 වන සංවත්සරය

ඩේවිඩ් නෝර්ත් ඔබ අමතයි

ඉතිහාසයේ පාඩම් සහ අද දින සමාජවාදය සඳහා අරගලය

රැස්වීම් පැවැත්වෙන ස්ථාන, දින හා වේලාවන්

ඔක්තෝබර් 3 සවස 4.30 පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලාගාරය

ඔක්තෝබර් 7 සවස 3 - කොලඹ නව නගර ශාලාව

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ඔක්තෝබර් මුලදී, කොලඹ හා මහනුවර පවත්වන ප්‍රසිද්ධ රැස්වීම් ඇමතීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ ඩේවිඩ් නෝර්ත් ලංකාවට පැමිනෙයි. මෙම රැස්වීම්, හතර වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය හා සසප 50 වන සංවත්සරයත් වෙනුවෙන් වන අතර එහි තේමා පාඨය “ඉතිහාසයේ පාඩම් සහ අද දින සමාජවාදය සදහා අරගලය” යන්නයි.

එක්සත් ජනපදයේ සසප සභාපති ද වන නෝර්ත්, දශක හතරක කාලයක් තිස්සේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුල නායක කාර්යභාරයක් ඉටු කරයි. ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ කෘතහස්තයෙකු වන නෝර්ත් රචනා කල ග්‍රන්ථ අතර අප රක්නා උරුමය, ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා, රුසියානු විප්ලවය සහ නොනිමි විසි වන සියවස, ප්‍රෑන්ක්පර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය හා ව්‍යාජ වමේ දේශපාලනය සහ යුද්ධයේ විසිපස් වසරක් - එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය සඳහා වන ධාවනය 1990-2016 යනාදිය සුප්‍රසිද්ධ ය.

1938 දී හතර වන ජාත්‍යන්තරය පිහිටවූයේ, රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ලෙනින් සමග සම-නායකයකු වූ ලියොන් ට්‍රොට්ස්කි ය. 1917 විප්ලවයෙන් ගොඩනැගූ ප්‍රථම කම්කරු රාජ්‍යය තුල, කම්කරු පන්තිය අතින් බලය ඩැහැගෙන විප්ලවයේ මිනීවල හාරන්නා ලෙස ඉස්මතු වූ ස්ටැලින්වාදයට, ප්‍රතිසංස්කරනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව ලෝක සමාජවාදී විප්ලවය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියට අවශ්‍ය නායකත්වය ගොඩනැගීම එහි අරමුන ය. එතැන් පටන් දශක අටක් තිස්සේ සියලු‍ දුර්නායකත්වයන්ට එරෙහිව ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමේ සප්‍රතිප්තික අරගලයකට හතරවන ජාත්‍යන්තරය උරුමකම් කිය යි. 1953 සිට එය පැවතුනේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ ය.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස 1968 දී ස්ථාපිත කෙරුනි. ජාත්‍යන්තර කමිටුවේ සෙසු ශාඛා ද සමග විකොස, 1996 දී සසප බවට පරිවර්තනය කෙරුනි. අධිරාජ්‍යවාදයටත් එහි කලාපීය ඒජන්තයන් වන දකුනු ආසියාවේ ධනපති පාලන තන්ත්‍රයන්ටත් ඔවුන්ගේ පරිවාර සේනා වන ස්ටැලින්වාදීන් ඇතුලු‍ සියලු‍ ද්‍රෝහි නිලධරයන්ටත් එරෙහිව ට්‍රොට්ස්කිවාදී, එනම් සමාජවාදී ජාත්‍යන්තරවාදී, ඉදිරිදර්ශනය සඳහා ගෙනගිය සප්‍රතිපත්තික අරගලයකින් විකොස/සසප අඩ සියවසක ඉතිහාසය සමන්විත වේ.

හතරවන ජාත්‍යන්තරයේ සහ සසප දශක ගනනාවක් මුලු‍ල්ලේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය මත විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම සඳහා ගෙනගිය අරගලය, වර්තමාන ලෝක අර්බුදය මධ්‍යයේ පැනනගින සියලු‍ විප්ලවවාදී අරගල සමග අන්තර්ඡේදනය වේ. දකුනු ආසියාව සහ ලොව පුරා, හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ලෙස සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීම සඳහා, මෙම වෛෂයික තත්වය මගින් විවෘත කෙරී ඇත්තේ අතිශය බලගතු අවකාශයකි.

එම තතු තුල, ශ්‍රී ලංකාවේ සසප පවත්වන රැස්වීම්වල දී නෝර්ත්, හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ පාඩම් සමාලෝචනය කරමින් අද දින සමාජවාදය සදහා අරගලයට ඒවායේ පවත්නා සමීප අදාලත්වය පැහැදිලි කරනු ඇත. එම රැස්වීම්වලට සහභාගි වෙමින් සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශන පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවට එක් වන ලෙස කම්කරුවන්ගෙන්, පීඩිතයන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: