විරැකියාවේ ඉහල මට්ටම ගැන දර්ශකයක්: රජයේ රැකියා දුසිමකට ලක්ෂයක් ඉල්ලුම් කරති

සකුන ජයවර්ධන විසිනි, 2018 සැප්තැම්බර් 6

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල කම්කරුවන් 17ක් බඳවා ගැනීමට කැඳවුම් කල සම්මුඛ පරීක්ෂනයට අයදුම්පත් 103,000 ක් ලැබී ඇති බව කම්කරු හා වෘත්තීය සබඳතා ඇමති රවින්ද්‍ර සමරවීර අගෝස්තු 25 වෙනිදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක දී සඳහන් කර ඇත.

රැකියා අවස්ථා 17 සඳහා එතරම් බරපතල පොරයක් සිදුවීම සමරවීර යොදාගෙන ඇත්තේ අයදුම්කරුවන් පාච්චල් කිරීමට ය. රාජ්‍ය අංශයේ පුරප්පාඩු අඩු බැවින් තරුන තරුනියන් සියලු දෙනාටම රජයේ රැකියා ලබාදීම “දුෂ්කර” බව ද සිය කතාවේ දී සඳහන් කර ඇත. සියලු දෙනාම රජයේ රැකියා බලාපොරොත්තු වන්නේ විශ්‍රාම වැටුප් නිසා බව ද ඔහු පැවසීය.

රජයේ රැකියා සඳහා යොමුවක් ඇත්තේ ඒවා හොඳම තත්වයේ පවතින නිසා නොව සාපේක්ෂව තවමත් කම්කරුවන් අතීත අරගලවලින් දිනාගත් විශ්‍රාම වැටුප් වැනි ඇතැම් අයිතීන්, කප්පාදුවේ තර්ජනය යටතේ වුවත්, තවමත් පවතින නිසාය.

එසේවුවද, කම්කරු ඇමතිගේ ප්‍රකාශයෙන් හෙලිවන්නේ ලංකාවේ විරැකියාවේ බරපතලකම මෙන්ම තිබෙන රැකියාවල පහත් කොන්දේසි කෙරෙහි කම්කරුවන්ගේ ඇති අප්‍රසාදයයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මේ වසරේ පලමු කාර්තුවේදි සමස්ත විරැකියාව පවතින්නේ සියයට 4.5ක තරම් අඩු මට්ටමක ය. එහෙත් සවිස්තර දත්තවලට ගියකල තත්වය තියුනු ලෙස වෙනස් වේ. ආන්ඩුවේ එම සංඛ්‍යා අනුව ම කාන්තාවන් අතර විරැකියාව සියයට 7.4 කි. තරුන විරැකියාව සියයට 17.4 තරම් ඉහලය.

පසුගිය වසරේ අවසාන කාර්තුවේ සියයට 4.0 ක් වූ සමස්ත විරැකියාව මේ වසරේ පලමු කාර්තුවේදී සියයට 0.5 කින් වැඩිවී ඇත. එම වසරේ පලමු කාර්තුවේ කාන්තා විරැකියාව සියයට 6. 5කි. එය මෙම වසරේ පලමු කාර්තුව වනවිට සියයට 0.9 කින් වැඩිවී ඇත. විරක්ෂාවට බෙහෙවින් ගොදුරුව සිටින්නේ තරුන ජනයා ය. වයස අවුරුදු 20-24 වයස් කාන්ඩයේ නිල විරැකියාව සියයට 21.2 කි.එය පසුගිය වසරේ පලමු කාර්තුවට සාපේක්ෂව සියයට 3.8 ක වැඩිවීමකි.

පසුගිය වසරේ මුල් කාර්තුවේදි සියයට 8 ක් වූ අවුරුදු 24-28 වයස් කාන්ඩයේ විරැකියාව මෙම වසරේ මුල් කාර්තුව වන විට සියයට 10.7ක දක්වා වර්ධනය වී ඇත. වයස අවුරුදු 20-29 වයසේ පසුවන තරුන ජනයාගෙන් සියයට 15.7 ක් විරැකියාවෙන් පෙලෙති. අපොස උසස් පෙල හා ඉන් ඉහල අධ්‍යාපනයක් ලත් තරුන තරුනියන්ගෙන් රැකියා වියුක්තිය සියයට 9.5ක් වන අතර එම කාන්ඩයේ කාන්තා විරැකියාව සියයට 14.1 කි. ඒ අතර ශ්‍රී ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 60,000 පමනවෙති.

රැකියා දත්ත ගැනීමේදී දිනකට අඩු පැය ගනනක් වැඩකරන අය මෙන්ම දිනපතා වැඩ නැති අය ද රැකියාවල යෙදෙන්නන් ලෙස ගැනීමෙන් බලධාරීන් විරක්ෂා සංඛ්‍යා ලේඛන පහල මට්ටමේ තබාගනියි. එදිනෙදා කුලී වැඩ වල යෙදෙන්නන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු අර්ධකාලීන රැකියාවල නිරත තරුන තරුනියන් හා ස්ථීර සහ ජීවත්වීමට සරිලන ආදායමක් නොලබන ස්වයං රැකියාවල නියුතු දුගී ජනයා ද සලකනු ලබන්නේ රැකියා නියුක්තිකයන් ලෙසය. දරිද්‍රතාවය සහ විරක්ෂාව නිසා බහුතරයක් තරුනයෝ අඩු වැටුප් සහ අනාරක්ෂිත සේවා කොන්දේසි සහිත ගොඩ නැගීම් කර්මාන්තය සහ මිනිස් බල සමාගම් විසින් සම්පාදනය කරන කොන්ත්‍රාත් රැකියාවල යෙදී සිටිති.

මෙම තතු යටතේ රැකියා දුසිමකට ලක්ෂයක් පොරකෑම පුදුමයක් නොවේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ ශීලාචාර ජීවිතයක් ගත කිරීමට සරිලන රැකියා සම්පාදනයට අර්බුදයේ ගිලී යන ධනපති ක්‍රමයට පවතින නො හැකියාවයි.

රැකියා දස ලක්ෂයක් නිර්මානය කිරීම මෙම ආන්ඩුවේ එක් මැතිවරන පොරොන්දුවකි. එය බොරු පොරොන්දුවක් බව දැන් මැනවින් සනාත වී ඇත. ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග වලට අනුව රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප්‍රතිව්‍යුහගත කිරීම හා රාජ්‍ය වියදම් කැපීමේ කොටසක් ලෙස රාජ්‍ය අංශයේ රැකියා කප්පාදු කිරීම ය.

ඒ වෙනුවට ආන්ඩුව යෙදීගෙන සිටින්නේ විරැකියාව උපයෝගී කරගෙන ආයෝජකයින්ට ලාභ ශ්‍රම තටාකයක් සාදා දීමේ උත්සාහයක ය.

තැපැල්, දුම්රිය, සෞඛ්‍ය, වරාය ඇතුලු රාජ්‍ය අංශයේ ආයතන වල විශාල වශයෙන් සේවක හිඟයක් පවතී. එහෙත් ආන්ඩුව විසින් ඒවායේ පුරප්පාඩු පිරවීම අතහැර දමා ඇත්තේ රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුවේ කොටසක් ලෙසය. එමෙන් ම විශ්‍රාම වැටුප් ක්‍රමය ස්වයංක්‍රියව අර්බුදයට යනවා නොව, විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම ද මෙම කප්පාදු පිලිවෙතේ ම කොටසකි. ඉදිරි වසර විසිපහක කාලය තුල රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අර්බුදයට යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පෙන්වා දුන් බව කම්කරු ඇමති ප්‍රකාශ කර ඇත. ආන්ඩුවේ සැලසුම වී ඇත්තේ විශ්‍රාම වැටුප් සඳහා සේවකයන්ගේ පඩිපතින් මුලුමනින්ම කපා ගැනීමය.

විරක්ෂාවේ ඉහල නැගීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. උදාහරන වශයෙන් මෙම වසරේ අප්‍රේල් මාසයේ යුරෝපා කලාපයේ රටවල විරැකියාවේ සාමාන්‍යය සියයට 8.5 කි. එම මාසයේ වැඩිම විරක්ෂාවක් වාර්තා වන්නේ ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ, ප්‍රන්සයේ සහ ක්‍රෝඒසියාවේ ය. එය පිලිවෙලින් සියයට 20.8, 15.9, 11.2 , 9.2 සහ 9.1 කි. එම මාසය තුල යුරෝපා සංගමයේ වයස අවුරුදු 25 කාන්ඩයේ තරුන ජනයාගේ විරැකියාව සියයට 15.3 කි. එය ග්‍රීසියේ සියයට 45.4 ද ස්පාඤ්ඤයේ සියයට 34.4 ක් සහ ඉතාලියේ සියයට 33.1 කි.

ජාත්‍යන්තරව ම විරැකියාව ඉහල යාම ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ ප්‍රතිවිපාකයකි. මෙම අර්බුදය තුල සෑම රටකම ධනපති පාලක පන්තීන් හැරී සිටින්නේ රැකියා සහ සමාජ සහන කප්පාදුව ඇතුලු සමාජ ප්‍රතිවිප්ලවය ක්‍රියාවට දැමීමට ය.

Share this article: