කටුනායක ගුවන් තොටුපලේ මිනිස්බල කම්කරුවෝ රැකියා ස්ථීර කරන්නැයි ඉල්ලා වර්ජනයේ යෙදෙති

ලක්ෂාන් ප්‍රනාන්දු සහ කපිල ප්‍රනාන්දු විසිනි, 2018 සැප්තැම්බර් 3

කටුනායක ගුවන් තොටුපලේ අභ්‍යන්තර ගුවන් භාන්ඩ හැසුරුම් අංශයේ හා ප්‍රවාහන අංශවල (කාගෝ) රැකියාවේ නිරත දෙසියයක පමන මිනිස්බල කම්කරුවෝ තම රැකියා ස්ථීර කොට වැටුප් ඉහල නංවන ලෙස ඉල්ලා පසුගිය සති අන්තයේ දින තුනක් වර්ජනයේ නිරත වූහ. වර්ජනය හේතුවෙන් කාගෝ අංශයේ කටයුතු මුලුමනින්ම ඇන හිටි අතර ගුවන් ගමන් ගනනාවක් ප්‍රමාද වී තිබුනි.

වර්ජනයේ යෙදුනු කාගෝ කම්කරුවන්ගෙන් කොටසක්

ගුවන් තොටුපල කටයුතුවලට සිදු වූ බරපතල බාධාව මධ්‍යයේ සෙනසුරාදා කාගෝ අංශයේ ප්‍රධානියා කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම හා ගුවන් තොටුපලේ අනෙක් ස්ථීර කම්කරුවන්ට ඇති වෛද්‍ය පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් සතියක කාලයක් ඇතුලත ලබා දෙන බවට කම්කරුවන්ට වාචික පොරොන්දුවක් දීමෙන් පසු කම්කරුවන් යලි සේවයට ගොස් තිබේ.

කම්කරුවන් අරගලය කලේ තම යුක්තියුක්ත අයිතියක් සඳහා නමුත් බොරු අනුකම්පාවක් පෙන්වමින් “මනුස්සකම සලකා” කටයුතු කරන බව පවසා ඇති ඔහු රැකියා ස්ථීර කිරීම සම්බන්ධව ප්‍රකාශ කොට ඇත්තේ එය “ආන්ඩුවේ කටයුත්තක්” බවත් ඒ සම්බන්ධව තමන්ට කටයුතු කල නොහැකි බවත් ය.

ගුවන්යානාවලට භාන්ඩ ගෙනයෑමේ, පැටවීමේ නිරත කම්කරුවන් හා තැපැල්මලු ප්‍රවාහන කටයුතුවල නිරත රෑම් හා ඒඅයිඑස් යන අංශවල තවත් 600 ක පමන මෑන්පවර් කම්කරුවන් ද රැකියා ස්ථීර නොකලහොත් ඉදිරියේදී වර්ජනයට සම්බන්ධ වන බව කාගෝ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලහ.

ඩිරෙක්ට් මේලින් සර්විස් (ඩීඑම්එස්) හා මයිට්‍රෝ නෙට් (එම්එන්) යන මෑන්පවර් සමාගම් යටතේ රැකියාවේ නිරත කාගෝ අංශයේ කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 20,000ක සොච්චමකි. රුපියල් 7,000 ක් වන පැමිනීමේ දීමනාව එක් දිනක් නොපැමිනි විට කපා දැමේ. රජයේ නිවාඩු දිනවල රැකියාවේ නිරත වුවත් කිසිදු දීමනාවක් මෙම කම්කරුවන්ට හිමි නොවේ. විවිධ දුෂ්කරතා හේතුවෙන් දිනපතා පැමිනීම මගහැරෙන බවත් පැමිනීමේ දීමනාව ලබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවත් කම්කරුවෝ පෙන්වා දෙති.

රැකියා ස්ථිර කිරීම වසරින් වසර කල්දමා ඇති ගුවන් තොටුපල බලධාරීන්ගේ කූටෝපාය වන්නේ වසර දෙකින් දෙකට විවිධ මෑන් පවර් සමාගම්වලට කම්කරුවන් මාරු කිරීමයි. මේ වන විට බොහෝමයක් කම්කරුවන් වසර දහයක් පමන කාලයක් ජේඑම්එස්, මර්චන්ට් ඩීඑම්එස්, එම්එන් වැනි මෑන්පවර් සමාගම් කිහිපයක් යටතේ රැකියාවේ නිරත වී තිබේ. ගුවන් තොටුපල ඉහල නිලධාරින් ඉහල වැටුප් ලබන අතර “මෑන්පවර් සමාගම්වලට අපිව විකුනනවා” යයි කම්කරුවෝ චෝදනා කලහ.

වයස අවුරුදු 35 වැඩි කම්කරුවන් කොහෙත්ම ස්ථිර නොකරන බවට බලධාරීන් කියා ඇත. කම්කරුවන් ස්ථීර නො කර දැනට සේවයේ නිරත කම්කරුවන් රැකියාවෙන් දොට්ට දමා අඩු ශ්‍රම වියදම් සහිත දරුනු ශ්‍රම සූරාකෑමේ මිනිස්බල ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම ආන්ඩුවේ හා බලධාරීන්ගේ සැලැස්මයි. රැකියාවේ නිරත කම්කරුවන්ගෙන් වැඩිදෙනෙක් අවුරුදු 35 ට වැඩි වයසේ පසුවන, වයස විසිගනන්වල දී රැකියාවට සම්බන්ධවූවෝ වෙති. තම තරුන ශක්තිය මෑන් පවර් සමාගම්වලට විකිනීමෙන් පසු පවතින රැකියා කොන්දේසි හා ඉහල යන විරැකියාව යටතේ අවුරුදු 35 පසු වෙනත් රැකියාවක් සොයා ගැනීම අතීෂය දුෂ්කර බව කම්කරුවන් විස්තර කලේ ය.

වසර දහයක් පමන රැකියාවේ නිරත එක් කම්කරුවෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “කම්කරුවෝ රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලුවාම බොරුවට ඉන්ටවිව් කරලා දෙන්නෙක්ව විතර ස්ථීර කරනවා. අපි රටට නය වෙලා ඉන්නේ. ස්ථීර කරනකන් වුනත් අපි ජීවත් වෙන්න ඕනා. ජීවන වියදමට සරලන පඩියක් අපිටත් තියෙන්න ඕනා. දැන් එහෙම තත්වයක් නෑ. අපි කරන වැඬේම කරන ස්ථීර අයට වැඩි වැටුපක් තියෙනවා. ආන්ඩුවේ නීතිය තියෙන්නේ නම් මාස 06 ස්ථීර කරන්න ඕනා කියලා. මගේ සේවා කාලය අවුරුදු අටක් වෙනවා තවම ස්ථීර නෑ. අමතර තව රැකියාවක් කරන්න වෙලා තියෙන්නේ නමුත් බස් එකට කාලය යනවා. බැරිම තැන තමා කට්ටියම වර්ජනය කෙරුවේ”.

කටුනායක ප්‍රදේශයේම පදිංචි තවත් කම්කරුවෙක්: “අපි මේ වර්ජනය නිසා තමයි අපේ මෑන් පවර් ආයතනයේ ලොක්කාව දැක්කේ. මම අවුරුදු 8 ක් තිස්සේ මෑන් පවර් යටතේ වැඩ. ගුවන් තොටුපල රැකියාවල තරමක් ඉහල වැටුප් හා දීමනා තියෙන නිසා මම මේ තරම් කල් ඉවසන් හිටියා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ගෙදරින් කෑම ගේනවා. ඇත්තටම ගෙදර වියදම් දරන්න බැරුව මම නය වෙලා ඉන්නේ”.

දීර්ඝ ලෙස අදහස් දැක් වූ අවිවාහක තරුන කම්කරුවක්: “මට බෝඩින් ගාස්තු රුපියල් 4000 ක් යනවා. කඬේ කෑම එකක් රුපියල් 150 ක් වෙනවා. තේ එකක් බීලා බනිස් ගෙඩියක් හවසට කැවත් රුපියල් 100 ක් විතර යනවා. බයික් එකේ ෆිනෑන්ස් එකට ගෙවන්න තෙල් ගහන්නත් ඕනා. මගේ වියදම් දැරුවාම කිසිම ඉතුරුවක් නෑ. මගේ දෙමාපියන්ගේ කිසිම අවශ්‍යතාවයක් සඳහා මට වියදමක් කරන්න විදිහක් නෑ. විවාහක අයට දැන් කර ගන්න දෙයක් නෑ. අපි ස්ථීර නැති නිසා දරුනු තත්වයක් තියෙන්නේ”.

ඔහු තව දුරටත් මෙසේ සඳහන් කලේය: “අපි නත්තලට, අලුත් අවුරුදු වගේ හැම රජයේ නිවාඩුවකටම වැඩ නමුත් කිසිම දීමනාවක් නෑ. පැමිනීමේ දීමනාව කැපුවට අපිට මෙඩිකල් එකක්වත් දීලා අනුමත කර ගන්න කෙනෙක් නෑ. මේ ලගදී රැකියාව අතර තුරේ තුවාල වුන කම්කරුවෙක් මෙඩිකල් ගෙනත් දුන්නහම ඒක පරිපාලනයේ නිලධාරීන් විසි කෙරුවා. ඔහුට කිසිම වන්දියක් දුන්නේත් නෑ. සේවක අර්ථ සාධක අරමුදලට කපනවා කියලා පඩි පතේ තියෙනවා. නමුත් ඒ පඩිපත පිලිගත්ත එකක් නෙමේ. ගුවන් තොටුපලේ මානව සම්පත් අංශය කියලා එකක් තියෙනවා නමට. කම්කරුවන්ව සූරාකන්න කොන්දේසි හදපු එක තමයි බලයට පත් වෙච්ච හැම ආන්ඩුවක්ම කෙරුවේ” යයි ප්‍රකාශ කලේ ය.

කටුනායක ගුවන් තොටුපල කාගෝ අංශයේ රැකියාවේ නිරත මෑන් පවර් කම්කරුවන්ගේ දරුනු රැකියා කොන්දේසි පෙන්නුම් කරන්නේ ලංකාවේ ඉහල යන විරැකියාව හමුවේ ධනපති ආන්ඩු විසින් කම්කරුවන්ගේ රැකියා කොන්දේසි කාබාසිනියා කිරීමට ගෙන ඇති වේගවත් හැරීමයි.

2015 සංඛ්‍යා දත්තවලට අනුව ලංකාවේ සමස්ථ ශ්‍රමබලකායෙන් සියයට 54 ක් අනියම් නැතිනම් කොන්ත්‍රාත් පදනමේ රැකියාවල නිරත කම්කරුවන් වන අතර ඉන්දියාවේ එය සියයට 83 කි. ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බූදය යටතේ මෙය ජාත්‍යන්තරව කම්කරු පන්තිය මුහුන දී ඇති තත්වයකි.

කාගෝ කම්කරුවන්ගේ වැඩමුරය ගුවන් තොටුපලේ ඇතුලේ සාමාන්‍ය වැඩමුර ක්‍රියාත්මක වන ආකාරයටම වේ. සතියකට පැය 40 ට වඩා රැකියාවේ නිරතව වන එහි වැඩමුර ක්‍රමය වන්නේ නොනවතා දිවා පැය 12 ක් රැකියාව කොට නැවත පැය 12 ක රාත්‍රී වැඩමුරයට පසුදා පැමිනීමෙන් පසු දින දෙකක නිවාඩුවක් දීම ලෙසයි.

රුපියල් 10,000 න් වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන පසුගිය අප්‍රේල් මාසයේ මුල සමස්ථ ගුවන් තොටුපල සේවකයෝ තුන්දහසක් පමන වර්ජනයේ නිරත වූයේ ය. එම අවස්ථාවේ දී බලධාරීන් සමග සාකච්ඡා බිඳවැටීමෙන් පසු වර්ජනයට අවතීර්න වූ කම්කරුවන් පිවිසුම් මාර්ග අවහිර කොට, විදුලිය විසන්ධි කොට, ජල සැපයුම් හා සියලුම බලශක්ති සැපයුම්වල පාලනය අතට ගනිමින් පැය කිහිපයකට ගුවන් තොටුපල අඩපන කලේ ය. ඉල්ලීම් දිනා ගැනීමේ අධිෂ්ඨානය හා සටන්කාමීත්වය පෙන්නුම් කල කම්කරුවෝ, ආන්ඩුවේ විධානයෙන් කැඳවා තිබු පොලිස් කැරලි මර්දන ඒකකවලට හා ජල විදින ට්‍රක් රථවලට මුහුන දීමට ගුවන් තොටුපලේ ගිනිනිවීම් අංශයේ අධිබලැති ජල විදින ට්‍රක් රථ සීරුවෙන් තැබුහ.

ආර්ථික මර්මස්ථානයක් වන ගුවන් තොටපොල අක්‍රීය වීමෙන් වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික දේශපාලන ප්‍රශ්න තවත් උග්‍ර කරන තත්වය හමුවේ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රිලනිසේස), ජාතික සේවක සංගමය (ජාසේස) හා ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමිති නායකයන් සමග සාකච්ඡාවකින් වර්ජනය නතර කර වැටුප් වැඩි කිරීමට ආන්ඩුව එහි දී තීන්දු කලේ ය.

තම අරගලයට සහාය දෙන්නැයි මෑන් පවර් කම්කරුවන් ශ්‍රිලනිසේසයෙන් ඉල්ලා ඇත. එහෙත්, කම්කරුවන්ගේ අයිතීන් සඳහා අරගලයට සතුරු වෘත්තීය සමිතිවල නියම ස්වභාවය පෙන්නුම් කරමින් ඊට එම සමිති නායකත්වය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් සේවයට අයත් නොවන (ස්ථීර නැති) කම්කරුවන් වෙනුවෙන් එය පෙනී නො සිටින බවයි.

Share this article: