සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුහු අධ්‍යයන පහසුකම් ඉල්ලා විරෝධතාවයේ යෙදෙති

රසික කුමාරතුංග හා කපිල ප්‍රනාන්දු විසිනි , 2018 සැප්තැම්බර් 17

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අඛන්ඩව පවත්නා භෞතික පහසුකම් හිඟය නැතිකිරීම, ඉහල යන ජීවන වියදමට සරිලන ලෙස මහපොල ශිෂ්‍යාධාර වැඩි කිරීම, අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කිරීම හා සියයට 80 ක පැමිනීම සටහන් කිරීම අහෝසි කිරීම ඉල්ලා එහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගිය බදාදා විරෝධතාවයක නිරත වූ හ.

දෘෂ්‍ය කලා (චිත්‍ර, මූර්තී), නර්තන හා රංග කලා හා සංගීතය යන පීඨ තුනෙහිම ශිෂ්‍යයෝ 500 ක් පමන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රය ඉදිරිපිට දහවල් විවේක කාලය තුල පැයක පමන කාලයක පැවති විරෝධතාවයට සම්බන්ධ වී සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ “නවකවදය” හුවා දක්වාගෙන විශ්වවිද්‍යාල තුල “අන්තවාදීන්, පාතාලකාරයන් හා ත්‍රස්තවාදීන්” සිටින බවට කරන චෝදනාවල ප්‍රධාන එල්ලය වන්නේ අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව මෙලෙස පෙරලිකාරීවන ශිෂ්‍යයන් රාජ්‍ය දඩයමකට ලක් කිරීමයි.

සෞන්දර්ය විෂයන් සඳහාම වෙන් වූ ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මෙය වුවත් එහි භෞතික හා මානව සම්පත් වසරක් පාසා තෝරා ගනු ලබන සීමිත ශිෂ්‍ය පිරිසට පවා කිසිසේත් ප්‍රමානවත් නොවේ. පෙර සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමින් කැලනිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති මෙය, 2004 දී වෙනම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින් නම් කෙරුනත් සිදු වී ඇත්තේ නාම පුවරුවල වෙනසක් පමනි.

එහි ප්‍රධාන පරිශ්‍රය, කොලඹ මධ්‍යයේ රජයේ කෞතුගාරයට හා නෙලුම් පොකුන රඟහලට මැදිව පිහිටි අක්කරයකටත් අඩු භූමි භාගයක පිහිටා තිබේ. එම භූමිය තුල දැනට නර්තන පීඨයේ දෙ වන, තෙ වන හා අවසන් වසරවල සිසුන් හා සංගීත පීඨයේ සියලු සිසුන් අධ්‍යයන කටයුතුවල නිරත ගොඩනැගිලි දෙකක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් පිහිටා තිබේ. ශිෂ්‍යයන් පසුගිය වසර දහයක් පුරා ම අධ්‍යයන කටයුතු සිදු කරන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී ඇති වන ඝෝෂාව හා අවහිරතා මධ්‍යයේ ය. අධ්‍යයන කටයුතු කරගෙන යන ගොඩනැගිලිවල ද සම්පූර්න කිරීමට බොහෝ දේ පවතී.

නිසි පරිදි ශබ්ද වාරනය සිදු කොට නොමැති බැවින්, නර්තන හා සංගීත පීඨයන්හි පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සිදු කිරීම අසීරු වී තිබේ.

තමන් අත්විඳින ගැටලු සහගත තත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට විස්තර කරමින් සංගීත අංශයේ අවසන් වසර ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය: “ඉදිකිරීම්වලයි, නර්තන අංශයේ බෙර වාදන මගින් එන ශබ්දය අපේ අධ්‍යයන කටයුතුවලට විශාල බාධාවක්. අපි කටයුතු කරන්නේ සියුම් නාදත් සමග. ඒකට සරිලන ශබ්දාගාර වැනි පන්ති කාමර තියෙන්න ඕනා. ඉගැන්වීම් කටයුතුවලින් පස්සේ අපිට පුහුනුවීම් කරන්න තැන් නෑ. දේශන ශාලාවල ප්‍රශ්නය නිසා අපේ විෂය කාලසටහන නිසි පරිදි සකස් කර ගන්න බෑ. වැඩි දෙයක් තියා අපිට විවේකීව ගත කරන්න තැනක් වත් නෑ.. කලින් තිබුන ගසුත් කපල දාලා තියෙන්නේ. රස්නයට ඔරොත්තු දෙන්න බෑ”.

ආචාර්ය හා අනධ්‍යයන කාර්ය මන්ඩලයේ පෞද්ගලික රථවාහන නවතා තැබීමටවත් එම භූමියේ ඉඩකඩ ප්‍රමානවත් නොවන අතර තහඩු සෙවිලි කර තාවකාලිකව අටවා ඇති ආපන ශාලාව ආහාර ගැනීමට සුදුසු එකක් නොවේ.

නර්තන අංශයේ කථිකාචාර්යවරයෙක් පැවසූවේ එම සරසවියේ ඉගෙනුම ලබන අවධියේ සිට පැවති තම අසනීප තත්ත්වය ගොඩනැගිලි තුල පවත්නා අධික උෂ්නත්වය හේතුවෙන් තවත් උග්‍ර වෙමින් ඇති බවයි.

ප්‍රධාන පරිශ්‍රය තුල ඉඩකඩ ප්‍රමානවත් නොවීම හේතුවෙන් නර්තන පීඨයේ පලමු වසර ශිෂ්‍යයන් කොහුවල නගර මධ්‍යයේ පිහිටි තවත් ගොඩනැගිල්ලක සිර කොට තිබේ. එය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් පැරනි ගොඩනැගිල්ලකි.

චිත්‍ර හා මූර්ති පීඨය ප්‍රධාන පරිශ්‍රයේ සිට බොරැල්ල දෙසට කිලෝ මීටරයක් දුරින් පිහිටි තවත් අක්කරයකට අඩු භූමියක පිහිටා තිබේ. වරකට ශිෂ්‍යයන් තිහකට පමන රැදී සිටිය හැකි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය පිහිටා ඇත්තේ මෙම භූමිය තුලයි. මෙම පීඨයේ සිසුන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ ප්‍රදර්ශන කටයුතු සිදු කිරීමට කලාගාර නොමැති වීමයි.

වසර හතරක අධ්‍යාපනයකින් පසු ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධියක් ලබන මෙම ශිෂ්‍යයන්ට හිමිවන ප්‍රධාන රැකියාව වන්නේ රජයේ පාසල්හි සෞන්දර්ය ගුරු තනතුරයි. රටේ 10,500 ක් ඉක්මවන සමස්ත පාසල්වල විශාල සෞන්දර්ය ගුරු හිඟයක් ද පවතින නමුත් උසස් පෙල සඳහා සෞන්දර්ය විෂය හදාරන සිය ගනනක් ශිෂ්‍යයන් අතරින් විශ්වවිද්‍යාලයේ එක් පීඨයක් සඳහා තෝරා ගැනෙන්නේ වසරකට 180 ක් තරම් ස්වල්ප සංඛ්‍යාවකි.

නර්තන හා නාට්‍ය විෂයයන් හදාරන සිසුන් තෝරා ගැනීම සඳහා කඩඉම් ලකුනුවලට අමතරව ප්‍රායෝගික පරීක්ෂනයක් පවත්වනු ලැබේ. එම පරීක්ෂනය සඳහා දැන් රුපියල් 2,000 ක ගාස්තු අය කිරීම නතර කරනු යන්නත් ශිෂ්‍යයන් ගේ ඉල්ලීම් අතර විය.

ජීවන වියදමට සරිලන පරිදි මහපොල ශිෂ්‍යාධාරය වැඩි කර ගැනීම සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ දැවෙන අවශ්‍යතාවයකි. දැනට එම අගය රුපියල් 5,000 ක සොච්චමකි. රජයේ නේවාසිකාගාර හිමි වන්නේ විශ්වවිද්‍යාලයේ සිට කිලෝ මීටර් 100 ක් දුරින් සිටින පලමු වසරට හා අවසන් වසර සිසුන් හට පමනි. ඒ තත්වය තුල අවම පහසුකම් සහිත කාමරයක් සඳහා රුපියල් තුන්දහසක් ඉක්මවු මුදලක් වැය කිරීමට සිසුන්ට සිදු වී ඇත. ආහාර, ගමනාගමන හා ලිපිද්‍රව්‍ය සඳහා යන වියදම් දිනෙන් දින ඉහල යමින් පවතී.

සිය දෙමාපියන්ට බරක් නොවී සිටීම සඳහා ශිෂ්‍යයන් විවිධ අර්ධ කාලීන රැකියාවල නිරත වී සිටිනවා පමනක් නොව තමන් උපයන මුදලින් යමක් වෙතොත් පාසල් අධ්‍යාපනයේ නියැලෙන තම සහෝදර-සහෝදරියන් සඳහා දෙමාපියන් වෙත යවන අවස්ථා ද වේ. කෙසේ නමුත් එම තත්වය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතුවලට විශාල බාධාවකි.

සතියේ දින පහක් තුල උපකාරක පන්තිවල නිරත ව තම වියදම් පියවා ගැනීමට වෙහෙසෙන සංගීත අංශයේ සිසුවෙක්: “එක පන්තියක් සඳහා පැය තුනක් මට වැය වෙනවා. මට මගේ සංගීත වාදන කටයුතු පුහුනුවීම් කරන්න, වෙනත් පොත්පත් පරිශීලනය කරන්න තියෙන කාලය තමයි ඒකෙන් නැති වෙන්නේ. මම කොලඹට ආසන්නයේ නිසා ගෙදරින් ආහාර වියදම් දරනවා. නමුත් ගෙදරට බරක් වෙන්න මට බෑ.”

අර්ධ කාලීන රැකියාවල නිරත වීමට සිදු වී ඇති තත්වය තුල ශිෂ්‍යයන්ගේ සියයට 80 ක පැමිනීම වාර්තා නොකරන ශිෂ්‍යයන්ගේ විභාග අත්හිටුවීම හා ශිෂ්‍යාධාරය කප්පාදු කිරීම මගින් ආන්ඩුව ශිෂ්‍යයන්ට දරුනු ප්‍රහාරයක් එල්ල කොට ඇත.

සෞන්දර්ය විශ්වවිද්‍යාලය වටා ලංකාවේ ප්‍රධාන රඟහල් පිහිටා තිබිය ද පෙරදිග හා අපරදිග සම්ප්‍රදායන් මත පදනම්ව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සිදුකරන නිර්මාන හා දක්ෂතා ලෝකයට එලිදැක්වීමට කිසිදු අවස්ථාවක් නොමැත.

සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ සිසුන් මුහුන දෙන බරපතල ගැටලු රටපුරා අනෙකුත් විශ්වවිද්‍යාලවල තත්වය පිලිබඳව ද කටුක චිත්‍රයක් සම්පාදනය කරයි.

සරසවි ප්‍රවේශය සඳහා ඉහල යන ඉල්ලුම මධ්‍යයේ බලයට පත් ආන්ඩු විසින් 1980 දශකයෙන් පසුව ඒ ඒ පලාත්වල විශ්වවිද්‍යාල කිහිපයක් අටවන ලදී. කිසිදු සැලැස්මකින් තොරව රජරට, වයඹ, සබරගමුව, රුහුන, සෞන්දර්ය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සෑම එකක්ම ඉදි කරන ලද්දේ රජයේ වෙනත් අමාත්‍යාංශවල අතහැර දමන ලද ගොඩනැගිලි තුලයි. එම විශ්වවිද්‍යාල බොහොමයක තවමත් මධ්‍ය මහා විද්‍යාලයක තරම් හෝ පහසුකම් නොමැත.

කෙසේ නමුත් මෙම විරෝධතාවය සංවිධානය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබමය) සම්බන්ධ සෞන්දර්ය ශිෂ්‍ය ක්‍රියාකාරීහු, විරෝධතාවය තුල දී, ශිෂ්‍යයන් මුහුන දී ඇති ගැටලුවල සැබෑ මූලය වසන් කිරීමේ දැනුවත් ප්‍රයත්නයක නිරත වූ හ. ශිෂ්‍ය සංගමයේ සභාපති, මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සඳහා අවිශිබමය ගෙන ගිය “අරගලය” ජයග්‍රහනය කල බවත් ඒ “අරගලයේ පන්නරයෙන්, අපි විශ්වවිද්‍යාලවල තිබෙන සුභසාධන ගැටලුවලට විසඳුම් හොයන්න පාරට බහින්න තීරනය කලා“ යයි ප්‍රකාශ කලේ ය.

අවිශිබමය “ජයග්‍රහනයක්“ යයි ප්‍රකාශ කරන්නේ, සයිටම් සිසුන් මුදල් අයකර උපාධි පිරිනමන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කරගන්නා බවට ආන්ඩුව තීරනය කිරීමයි. ආන්ඩුව පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ හා අධ්‍යාපනය විකිනීමේ ප්‍රතිපත්තිය වෙනස්කර නැත.

“අරගලය තුලින් ජයග්‍රහන ලබන්න පුලුවන්” බව සිසුන් ඇමතු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සියලු දෙනා ගේ ම මන්ත්‍රය විය. අවිශිබමය හා ඊට නායකත්වය දෙන ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පුන පුනා මතුරන “අරගලය තුලින් ජයග්‍රහන ලබන්න පුලුවන්” යන්නේ සැබෑ තේරුම ආන්ඩුවට බලපෑම් දමා ධනපති ක්‍රමය තුලම ඉල්ලීම් දිනාගත හැකිය යන්නයි.

පෙසප හා අවිශිබමය අනුයමින් සෞන්දර්ය සිසු නායකයෝ “නව ලිබරල් ආර්ථික පිලිවෙත” මගින් සෞන්දර්ය වනසනවා යයි ප්‍රකාශ කල හ. ඊනියා අරගලයක් ඉදිරියට දමා ඇති අවිශිබමය නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවල මූලය අර්බුදයේ පවතින ධනපති ක්‍රමය බවත් මෙම ප්‍රතිපත්ති පරාජය කිරීම ධනවාදය පෙරලා දැමීමේ අරගලය සමග බැදී ඇති බවත් වසන් කරමින් ශිෂ්‍යයන් හුදු විරෝධතා තුල හිර කිරීමට ක්‍රියා කරයි.

Share this article: