අප රක්නා උරුමය තිස් වැනි සංවත්සර සංස්කරනයේ සංඥාපනය

Preface to the thirtieth anniversary edition of The Heritage We Defend

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2018 ජූනි 21

අප රක්නා උරුමය පල වූයේ මීට තිස් වසරකට ඉහත, එනම්, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිපය) හතරවැනි ජාත්‍යන්තරයෙන් පලා ගිය ඉක්බිති, 1988 දීය. නොමඳ ලේඛන තුලින් ජාත්‍යන්තර කමිටුව පසුව සනාථ කල පරිදි, කවිපයේ ද්‍රෝහිත්වය, තමන් විසින් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කෙරෙමින් කලෙක ආරක්ෂා කරන ලද ට්‍රොට්ස්කිවාදී මූලධර්ම කෙරෙන් දශකයකට වඩා වැඩි කාලයක් පුරා පසුබැස යාමේ ප්‍රතිඵලයක් විය.1 1973 දී ආරම්භ කෙරුනු කවිප වූ කලී, 1953 දී ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී)ත් ප්‍රන්සයේ ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය (පීසීඅයි)ත් සමඟ එක්ව ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගෙන තුබූ, බි්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදී සංවිධානයේ අනුප්‍රාප්තික සංවිධානය විය. හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙලට ගෙන එන ලද පැබ්ලෝ-මැන්ඬේල් සංශෝධන හෙලාදකිමින් ජේම්ස් පී. කැනන් (1890-1974) ලියූ “ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට විවෘත ලිපියක්” යන ඓතිහාසික ලේඛනයට කවිප නායක ජෙරී හීලි (1913-1989) අත්සන් තබා තිබින. 1953 නොවැම්බරයේ නිකුත් කෙරුනු විවෘත ලිපිය හජාජාකයේ පාදක මූලධර්මයන් පැහැදිලි ලෙස ඉස්මතු කර තිබින:

1. දිනෙන් දින නරක අතට හැරෙමින් පවත්නා අවපාත, ලෝක යුද්ධ හා ම්ලේච්ඡ ෆැසිස්ට්වාදය හරහා ප්‍රකාශයට පත් වන ධනේශ්වර ක්‍රමයේ මර ලතෝනිය, ශිෂ්ඨාචාරය වනසා ලීමට තර්ජනය කරයි. අද දින න්‍යෂ්ටික අවි වර්ධනය කිරීම තුලින් මෙකී අනතුර හැකි බරපතලම ආකාරයෙන් ඉස්මතු කරයි.

2. අගාධයට ඇද වැටීමෙන් වැලකිය හැක්කේ, ධනපති ක්‍රමය ලෝක පරිමානව සමාජවාදයේ සැලසුම්ගත ආර්ථිකය මඟින් විස්ථාපනය කිරීම හා එමඟින් ධනේශ්වර ක්‍රමය විසින් එහි මුල් දිනවලදී විවර කරන ලද්දා වූ අභිවෘද්ධියේ සර්පිලය යලි ආරම්භ කිරීමෙන් පමනෙකි.

3. මෙය ඉටු කර ගත හැක්කේ සමාජය තුල කම්කරු පන්තියේ නායකත්වය තුලින් පමනෙකි. සමාජ බලවේගවල ලෝක පරිමාන සම්බන්ධතාව විසින් අද දින කම්කරුවන්ට බලය කරා මාවත ගැනීම සඳහා කිසිදා නොවූ විරූ තරම් වාසිදායක තත්වයක් අත් කර දෙනු ලැබ ඇතත්, කම්කරු පන්තියම ද නායකත්වයේ අර්බුදයකට මුහුන දී සිටී.

4. මෙම ලෝක-ඓතිහාසික අරමුන ජය ගැනීම සඳහා තමාම සංවිධානය කර ගනු වස් සෑම රටකම කම්කරු පන්තිය ලෙනින් විසින් වර්ධනය කෙරුනු මාදිලියේ විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් - එනම්, තීරන ගැනීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී වන හා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මධ්‍යගත වන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගතවාදය අපෝහක ලෙස සංයෝග කිරීමට සමත් වූ ද; සාමාජිකත්වය විසින් පාලනය කෙරෙන නායකත්වයක් ඇත්තා වූ හා වෙඩි සැර මධ්‍යයේ ශික්ෂිත ආකාරයෙන් පෙරට යමින් තීරන ක්‍රියාත්මක කල හැකි සාමාජිකත්වයක් ඇත්තා වූ ද; සටන්කාමි පක්ෂයක් - ගොඩ නැඟිය යුතුය.

5. මේ සඳහා ඇති ප්‍රධාන බාධකය වන්නේ, රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයේ කීර්තිය ගසාකමින් කම්කරුවන්ගේ ආකර්ෂනය දිනා ගත් හා පසුව ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ තුරුලට තල්ලු කර දැමීමට හෝ, ඔවුන්ගේ දිරිය බල සිඳ උකටලී භාවයට හෙලීමට හෝ, ධනේශ්වරයේ මායාව කරා ඔවුන් රැගෙන යාමට කටයුතු කරමින් එකී විශ්වාසය පාවා දෙන ස්ටැලින්වාදයයි. මෙකී පාවාදීම්වල වන්දිය, ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේග තහවුරුවීම් වශයෙන් ද, ධනේශ්වරය විසින් හදාවඩා සූදානම් කෙරුනු යුද්ධවල පැතිර යාම් වශයෙන් ද, වැඩකරන ජනයා විසින් ගෙවනු ලැබේ. මූලාරම්භයේ සිටම හතරවැනි ජාත්‍යන්තරය, සෝවියට් සංගමය තුල මෙන්ම ඉන් පිටත ද ස්ටැලින්වාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම තම ප්‍රමුඛ කර්තව්‍යයන් අතරින් එකක් ලෙස සලකයි.

6. හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛා ගනනාවක් හා එහි වැඩ පිලිවෙලට සහාය දෙන පක්ෂ හා කන්ඩායම් නම්‍යශීලි උපාය මාර්ගයන්හි අවශ්‍යතාවයට මුහුන දී සිටින අතර, එකී අවශ්‍යතාවය විසින්, ඔවුන් ස්ටැලින්වාදයට යටත් නොවී අධිරාජ්‍යවාදය හා එහි (ජාතිකවාදී සංවිධාන හා වෘත්තීය සමිති නිලධරයන් වැනි) නියෝජිතයන් සමඟ සටන් කරන්නේ කෙසේද යන්නත්, අධිරාජ්‍යවාදයට යටත් නොවී (අවසාන විග්‍රහයේ දී අධිරාජ්‍යවාදයේ ම සුලු ධනපති නියෝජිතයෙකු වන) ස්ටැලින්වාදය සමඟ සටන් කරන්නේ කෙසේද යන්නත් දැන සිටීම අවශ්‍යයෙන්ම ලද යුතු දැනුමක් බවට වඩවඩාත් පත් කරනු ලැබ ඇත.2

“විවෘත ලිපිය”, පැබ්ලෝ හා මැන්ඬේල් විසින් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දා වූ ට්‍රොට්ස්කිවාදයේ මූලෝපායාත්මක සංකල්ප සැකෙවින් ගෙන හැර දැක්වීය. ක්‍රෙම්ලින් නිලධරයට හා එහි නියෝජිත ආයතනවලට ප්‍රගතිශීලි හා විප්ලවවාදී ඓතිහාසික කාර්යභාරයක් ආරෝපනය කිරීමේ න්‍යායක් මඟින්, ස්ටැලින්වාදය ප්‍රතිවිප්ලවකාරීය යන ට්‍රොට්ස්කිවාදී ගුනාංගීකරනය විස්ථාපනය කිරීමට පැබ්ලෝවාදය කටයුතු කලේය. ස්ටැලින්වාදී තන්ත්‍ර දේශපාලන විප්ලව මාලාවක් මඟින් පෙරලා දැමීමට කටයුතු කරනු වෙනුවට පැබ්ලෝවාදීහු, ට්‍රොට්ස්කිවාදීන් ස්ටැලින්වාදී නායකයන්ගේ උපදේශකයන් ලෙස කටයුතු කරමින්, වඩාත් වාමවාදී මාවතකට පිවිසීමට ඔවුන්ට බල කරන, නිලධරයේ ස්වයං-ප්‍රතිසංස්කරන ක්‍රියාවලියක් පෙරදුටහ. පැබ්ලෝ හා මැන්ඩෙල්ට අනුව, ක්‍රෙම්ලින් නිලධර තන්ත්‍රයේ දේශීය ඒජන්තයන් විසින් පාලනය කෙරුනු නැගෙනහිර යුරෝපයේ “විකෘත කම්කරු රාජ්‍ය”, ශත වර්ෂ ගනනාවක් තිස්සේ පැවතීමට ඉරනම්ගත ව තිබින.

පසුගිය තිස් අවුරුද්ද තුල සිදු වූ සියල්ලෙහි ආලෝකය තුල බහා ලූ කල විශ්මය දනවන සේ පෙනී යා හැකි, ස්ටැලින්වාදය කෙරේ දැක්වුනු මෙම ක්ෂමාලාපී ආකල්පය, නැගෙනහිර යුරෝපාකරයේ නිලධර තන්ත්‍ර බිඳ වැටීම හා සෝවියට් සංගමය විසුරුවා හැරීම සිදු වූ 1989 හා 1991 අතරතුර කාල පරිච්ඡේදය දක්වාම පැබ්ලෝවාදී සංවිධානවල ඉදිරි දර්ශනය වූයේය. ජාත්‍යන්තර කමිටුව විසින් හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගික උරුමය ආරක්ෂා කරනු ලැබීම - අන් සියල්ලටමත් වඩා, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරය පිලිබඳ එහි අවධාරනය - “නිකායවාදය” ලෙස එහි පැබ්ලෝවාදී විරුද්ධවාදීන්ගේ සමච්චලයට භාජනය වූයේය. එතෙකුදු වුව, ‘අප රක්නා උරුමය’ ප්‍රකාශයට පත් කොට වසරකට යන්තම් වැඩි කාල පරිච්ඡේදයක් තුල එකී ග්‍රන්ථය තුල ආරක්ෂා කෙරුනු ඓතිහාසික විශ්ලේෂනය, න්‍යායික සංකල්ප සහ වැඩ පිලිවෙල, නැගෙනහිර යුරෝපාකරය තුල හා සෝවියට් සංගමය තුලම ද විදාරනය වූ දේශපාලන සිදුවීම් මඟින් සනාථ කෙරින.

පැබ්ලෝවාදීන් ස්ටැලින්වාදයට යටත් වීම හුදෙක්, ඔවුන් විසින් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය අතහරිනු ලැබීමේ එක් පාර්ශවයක් පමනක් විය. කම්කරු පන්තිය තුල මාක්ස්වාදී විඥානය සඳහා හා, සියලු ජාතික ධනපතින්ගෙන් හා අධිරාජ්‍යවාදයේ සුලු ධනපති නියෝජිතයන් කෙරෙන් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීම සඳහා සටන්වැදීම ඔවුහු ප්‍රතික්ෂේප කලෝය.

1950 හා 1960 ගනන්වල හතරවැනි ජාත්‍යන්තරය ආරක්ෂා කිරීමෙහි ලා - විශේෂයෙන්ම 1963 දී ඇමරිකානු එස්ඩබ්ලිව්පීය ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී යමින් පැබ්ලෝවාදීන් සමඟ යලි එක්සත් වීමට එරෙහිව - බි්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් ඉටු කල ප්‍රමුඛ කාර්යභාරය තිබියදීම, 1970 ගනන් වන විට සංශෝධනවාදය කරා ඔවුන්ම ලිස්සා යාම - විශේෂයෙන්ම, 1973 නොවැම්බරයේ කම්කරු විප්ලවවාදී පක්ෂය පිහිටුවා ගැනීමෙන් අනතුරුව - වඩවඩාත් පෙනී ගියේය. සමාජවාදය සඳහා මාවත හෙලි කර ගැනීමට කම්කරු පන්තිය මත පදනම් වූ හා එතුල මුල් බැස ගත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැඟීම අනවශ්‍ය බව ෆිදෙල් කස්ත්‍රෝගේ සුලු ධනපති ගරිල්ලා හමුදාව විසින් ඔප්පු කොට තිබිනැයි 1960 ගනන්වල මුල් භාගයේදී එස්ඩබ්ලිව්පීය විසින් සිදුකල කියාපෑම ප්‍රතික්ෂේප කල (කවිප පූර්වගාමියා වූ) සෝෂලිස්ට් ලේබර් ලීගයේ බි්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු, එමඟින් කියුබානු නායකයා උත්කර්ෂයට නංවනු ලැබීම කර්කශ විවේචනයට ලක් කලහ.

එහෙත් 1970 ගනන්වල මැද භාගය වන විට කවිප, - පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) හා ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ රැඩිකල් ජාතිකවාදී තන්ත්‍රය වැනි - මැද පෙරදිග ධනේශ්වර ජාතික ව්‍යාපාරවල අධිරාජ්‍ය විරෝධී වැඩ පිලිවෙල පුම්බා පෙන්වීමට පටන් ගත්තේ, පැබ්ලෝවාදීන්ගේ ට්‍රොට්ස්කි-විරෝධී පිලිවෙත් හා සමීපව සැසඳෙන ආකාරයෙනි. පැබ්ලෝවාදය කරා කවිප පල්ලම් බැසීම, හුදෙක් තනි තනි නායකයන්ගේ පෞද්ගලික දෝෂයන්හි ප්‍රතිඵලයක් නොවීය. ලෝකය පුරා සංවිධිත කම්කරු ව්‍යාපාරය තවමත් ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිතිවල ආධිපත්‍යයට නතුව පැවැති තතු තුල, 1960 ගනන්වල හා 1970 ගනන්වල මුල් කාලයේ සුලු ධනේශ්වරයේ පුලුල් කොටස්, විශේෂයෙන්ම තරුන ශිෂ්‍යයන්, වඩවඩාත් සටන්කාමි වීම (රැඩිකලීකරනය වීම) විසින් ජනනය කෙරුනු සාමාජයීය හා දෘෂ්ඨිමය පීඩනයට ට්‍රොට්ස්කිවාදී සංවිධාන පාත්‍ර විය.

සුලු ධනේශ්වරය තුලින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට සාමාජිකයන් බඳවා ගැනීම තුල මුහුන දෙන අභියෝගය ජය ගැනීමෙහි ලා අවශ්‍ය කෙරෙන්නේ, හුදෙක් ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ට එරෙහිව කෙරෙන නිර්දය අරගලයක් මත පදනම්ව කම්කරු පන්තිය වෙත දෘඩතර දේශපාලනික හා ප්‍රායෝගික දිශානුයෝජනය වීමක් පමනක් නොවේ. ඊට අමතරව පැබ්ලෝවාදීන් විසින් අනුග්‍රහය දක්වන ලද ව්‍යාජ-මාක්ස්වාදයේ විවිධ ආකෘතීන් පිලිබඳ අනවරත න්‍යායික විචාරනයක් ද එ මඟින් ඉල්ලා සිටිනු ලැබේ. ව්‍යාජ- මාක්ස්වාදයේ මෙකී ආකෘතීන් අතරින් සුලු ධනපති චින්තනයේ හා දේශපාලනයේ වඩාත්ම පුලුල් වර්නනාවට විෂයය වූ ආකාරයන් පමනක් නම් කරන්නේ නම්, විශේෂයෙන්ම (හෝකයිමර්, ඇඩෝනෝ, බෙන්ජමින්, බ්ලොක්, රීච් හා මාර්කියුස් ආදී වශයෙන් වූ) “ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය” ද, (ග්‍රම්ස්චි ආදීන්ගේ) “බටහිර මාක්ස්වාදය” ද, (ලෙෆර්ට්, කැස්ටරියාඩිස් හා ජිලාස් වැනි) ට්‍රොට්ස්කි-විරෝධී “රාජ්‍ය ධනවාදීන්” හා “නව පන්තියේ” න්‍යායාචාර්යවරුන් සහ, ඇත්තෙන්ම (කස්ත්‍රෝවාදය, ගුවේරාවාදය, ෆැනන්ගේ ලේඛන හා මැල්කම් එක්ස්ගේ දේශන ආදී) රැඩිකල් ජාතිකවාදයේ නො ගිනිය හැකි තරම් ආකෘතීන් ද ඊට අයත් වේ. තව ද, ලෝකය පුරාම කම්කරුවන් හා තරුනයන් එක් ලේ වැකි පරාජයක සිට තවෙකක් කරා රැගෙන යාමට මඟ පෙන්වූ, ගනන් කල නොහැකි තරම් සුලු ධනපති බුද්ධිමතුන් විසින් වැලඳ ගන්නා ලද ස්ටැලින්වාදයේ විෂකුරු ප්‍රතිගාමී ප්‍රභේද්‍යයක් වූ මාඕවාදය ද අපට මෙම දීර්ඝ ලැයිස්තුවට එක් කල හැකිය.

කවිප අවස්ථාවාදී පිලිවෙත්වලට, ජාත්‍යන්තර කමිටුව තුල විරුද්ධත්වයට මුහුන දීමට සිදුවිය. 1982 හා 1984 අතරතුර ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී සංවිධානය වූ වර්කර්ස් ලීගය කවිපයේ නව පැබ්ලෝවාදී පිලිවෙත්වලට එරෙහිව විස්තීර්න විවේචනයක් වර්ධනය කලේය. හීලි, මයිකල් බන්ඩා (1930-2014) හා ක්ලිෆ් ස්ලෝටර් (1928-) ගෙන් සමන්විත වූ එහි ප්‍රමුඛ නායකත්වය, ජාත්‍යන්තර කමිටුව තුල තම විවේචන පිලිබඳ සාකච්ඡාවක් සංවිධානය කර ගැනීම සඳහා දැරුනු වර්කර්ස් ලීගයේ ප්‍රයත්න මැඩ යටපත් කලෝය.3 මෙකී ප්‍රතිපත්ති විරහිත ප්‍රයත්නයන් විසින් 1985 සරත් සමයේදී කවිපය තුල දේශපාලන අර්බුදයක් අවුලුවනු ලැබීය. කවිප බිඳ වැටීමට යටින් පැවැති න්‍යායික හා දේශපාලනික ප්‍රයුක්තීන් පිලිබඳ සාකච්ඡාවක් ඇති වීම මඟහැර යාමට තවමත් අදිටනින් සිටි ස්ලෝටර් හා බන්ඩා, ඉන් ඉහත දශකය තුල බි්‍රතාන්‍ය ශාඛාව විසින් අනුයන ලද අවස්ථාවාදී මාවත පිලිබඳව ජාත්‍යන්තර කමිටුව මත වරද පැටවීමට තැත් කලෝය.

1986 පෙබරවාරියේ කවිපය ට්‍රොට්ස්කිවාදයෙන් තම බිඳී වෙන්වීම නිවේදනය කරන ලේඛනයක් ප්‍රකාශයට පත් කලේය. මයිකල් බන්ඩා විසින් ලියන ලද එහි මාතෘකාව යොදා තුබුනේ “ජාත්‍යන්තර කමිටුව එසැනින් වල දමා හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමට හේතු 27 ක්” ලෙසය. ඉමහත් තූර්ය ඝෝෂා රැව් පිලිරැව් නංවමින් කවිප මෙම ලේඛනය ප්‍රකාශයට පත් කලේ, එය මාක්ස්වාදයේ සම්භාව්‍ය කෘතීන් අතරට වැටෙනු ඇතැයි අනාවැකි පලකරමිනි. යථාර්ථය තුල බන්ඩාගේ ලේඛනය, හුදෙක් ජාත්‍යන්තර කමිටුව පමනක් නොව හතරවැනි ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසයම අපකීර්තියට පත් කිරීම අරමුනු කොට ලියැවුනු, විකෘති කිරීම්, පට්ටපල් මුසාවාද හා අර්ධ-සත්‍යයන්හි සංයෝගයක් විය. බන්ඩාගේ නිබන්ධයේ මාතෘකාවම, එහි දේශපාලන වංචාකාරිත්වය හෙලිදරව් කරන්නක් විය. ඉදින් ඔහුගේ ”හේතු 27හි” දශමයක හෝ තිරසාරබවක් වී නම්, හතරවැනි ජාත්‍යන්තරය දිගටම පැවැත ඒම සාධාරනීකරනය කල නොහැක්කක් විය යුතුව තිබින. ඔහුගේම තර්ක තුලින් නොවැලැක්විය හැකි පරිදි ගලා එන නිගමන අනුයමින් බන්ඩා, ඔහුගේ ලේඛනය සම්පූර්න කොට වසක් ඉකුත්වීමට ද පෙර, ට්‍රොට්ස්කි පිලිබඳ අධම හෙලා දැකීමක් පල කරමින් ස්ටැලින් පිලිබඳ ඔහුගේ සීමාන්තික ප්‍රසාදය නිවේදනය කලේය. කවිප නායකත්වය හා සාමාජිකත්වය දැරූවන් අතරින් ඔහුගේ ලේඛනයට අනුමැතිය පල කොට තුබූ සියලු දෙනාම පසුව ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කල අතර, එය බන්ඩාගේ දේශපාලන පරිනාමය විසින් පූර්වාපේක්ෂිත තත්වයක් විය. ඔවුන් අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් ස්ටැලින්වාදී ව්‍යාපාරයට බැඳුනාහ. අන්‍යයෝ අධිරාජ්‍යවාදී කඳවුරට සේන්දු වෙමින් සර්බියාවට එරෙහි නැටෝ යුද්ධයේ ක්‍රියාකාරී සහභාගීකරුවන් බවට පත්වූහ. ක්ලිෆ් ස්ලෝටර් විසින් උද්‍යෝගිමත් කෙරුනු විශාලතම කන්ඩායම විප්ලවවාදී පක්ෂය පිලිබඳ ලෙනින්-ට්‍රොට්ස්කි සංකල්පයේ සමස්ත උරුමය ප්‍රතික්ෂේප කොට, සමාජවාදය සඳහා සටන හැර පියා, තම පෞද්ගලික ජීවිත හැකිතාක් සුවපහසු ලෙස ගත කිරීමට කටයුතු සම්පාදනය කර ගැනීම කෙරේ යොමු වූවෝය.

බන්ඩාගේ ලේඛනය ලද වහා ජාත්‍යන්තර කමිටුව සවිස්තරාත්මක පිලිතුරක ඇති අවශ්‍යතාවය වටහා ගත්තේය. එම වගකීම මා වෙත පැවරින. දෙමසක් ඇතුලත, ‘අප රක්නා උරුමය‘හි සතිපතා කොටස් ජාත්‍යන්තර කමිටුවේ ශාඛා විසින් ප්‍රකාශයට පත් කෙරුනු පුවත්පත් තුල පල කෙරෙන්නට විය. බන්ඩාට ලබා දෙන පිලිතුර සඳහා පිටු 500 ඉක්මවා ගිය පොතක් ලිවීමට සිදු වෙතැයි මම අපේක්ෂා නොකලෙමි. කෙසේවෙතත් මා බන්ඩාගේ ලේඛනය අධ්‍යයනය කරන විට මට වැටහී ගියේ, හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය - විශේෂයෙන්ම 1940 ට්‍රොට්ස්කි ඝාතනය හා 1953 පැබ්ලෝවාදයෙන් බිඳී යාම අතරතුර වූ තීරනාත්මක වර්ෂ - කිසිදා ප්‍රමානවත් ගවේෂනයකට භාජනය නොවී තුබූ බවත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සිටින ක්‍රියාධරයන් ඒ පිලිබඳව බොහෝ කොටම නොදත් බවත්, එම නොදන්නා කමෙහි වාසිය ලබා ගැනීමට බන්ඩා යත්න දරා ඇති බවත්ය. බන්ඩාගේ ද්‍රෝහිත්වය හෙලා දැකීම පමනක් ප්‍රමානවත් නොවීය. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය සමාලෝචනය කොට, එකී පදනම මත ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාධරයන්ට අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍ය විය.

එහි මුල් පලකිරීමෙන් දශක තුනක ඇවෑමෙන් අද දින, ‘උරුමය’ කෘතිය කාලයාගේ පරීක්ෂාවට හොඳින් මුහුන දී ඇතැයි මම විශ්වාස කරමි. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය සම්බන්ධ හැඳින්වීමක් ලෙස එහි අනල්ප වූ අද්‍යතන අගය රඳවා ගන්නා අතරතුරම ‘උරුමය’, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැඟීමට අද දින සිදු කෙරෙන අරගලය සඳහා ඉහල අදාලත්වයකින් යුත් මාක්ස්වාදයේ න්‍යාය, වැඩ පිලිවෙල හා මූලෝපායයට සම්බන්ධ ගැටලු පරීක්ෂාවට ලක් කරයි.

අප රක්නා උරුමය වූ කලී, දේශපාලන ප්‍රවනතා මතු වී ඒම හා ඒවා අතර අරගල පැහැදිලි කිරීමට ඓතිහාසික භෞතිකවාදී විධික්‍රමය යොදාගනිමින් හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳව සම්පාදනය කොට ඇති එකම වාර්තාවයි. තනි තනි නායකයන්ගේ හොඳ හෝ නරක ගුනාංගවලින් ද, ඔවුන්ගේ උදාර හෝ අධම අභිප්‍රායයන්ගෙන් ද පටන් ගන්නා ආත්මීය ප්‍රවිෂ්ටය (බන්ඩාගේ අපභාෂනය මේ පිලිබඳ ප්‍රාමානික උදාහරනයක් සපයයි) ප්‍රතික්ෂේප කරමින්, ලෝක ධනවාදයේ පරස්පර විරෝධයන්ගෙන් හා දෙවැනි අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ සමයේ සහ ඉන් අනතුරුව පන්ති අරගලයේ ජාතික වර්ධනයෙන් පැන නඟින වෛෂයික සමාජ හා දේශපාලන ක්‍රියාවලීන් හඳුනා ගැනීමට ‘උරුමය’ යත්න දරයි. මෙම ඉතිහාසය සිය කේන්ද්‍රීය අවධාරනය යොමු කරන්නේ ප්‍රධාන දේශපාලන කාරකයන්- එනම්, කැනන්, පැබ්ලෝ, මැන්ඩෙල් හා හීලි-ගේ ආත්මීයව සංකල්පිත අභිප්‍රායයන් පිලිබඳව නොව, එංගල්ස්ගේ වචනවලින්ම කිවහොත්, “ක්‍රියාකාරී මහජනතාවන්ගේ හා ඔවුන්ගේ නායකයන්- මහා පුරුෂයන් ලෙස හඳුන්වනු ලබන්නන්-ගේ මනස් තුල දැනුවත් අභිප්‍රායයන් ලෙස පිලිබිඹු වන..”4 පන්ති අරගලයේ සැබෑ වෛෂයික ගාමක බලවේග පිලිබඳවය. 4

1951 තුන්වන ලෝක සම්මේලනයෙන් ඇරැඹී 1953 නොවැම්බරයේ භේදයෙන් කුලු ගැන්වුනු අරගලයේ පෙරටු සේයා පහල කරමින් හතරවැනි ජාත්‍යන්තරය තුල ඇති වූ ගැටුම්, ලෝක යුද්ධය තුල හා ඉන් ඉක්බිතිව එලැඹි සමයේ සංකීර්නවූත් ශීඝ්‍ර ලෙස වෙනස් වෙමින් පැවැතුනාවූත් කොන්දේසිවල සන්දර්භය තුල බහා ‘උරුමය’ විසින් විශ්ලේෂනය කෙරේ. සුලු ධනපති රැඩිකල් බුද්ධිමතුන්ගේ පුලුල් කොටස්වල දේශපාලන දිශානතිය දකුනට මාරුවීමක් පිලිබිඹු කරමින් 1940 ගනන්වල පැන නැඟුනු සංශෝධනවාදී ප්‍රවනතා පිලිබඳව පොතෙහි අවධානය යොමු වේ.

1940 ගනන්වල වර්ධනය වූ ගැටුම් වඩාත්ම හොඳින් වටහා ගත හැක්කේ, සමාජවාදී කම්කරු පක්ෂය තුල 1939-40 කාලයේ පැවැති කන්ඩායම් අරගලයම නොනැවතී ඉදිරියට යාමක් ලෙසය. ට්‍රොට්ස්කි සිය ජීවිතයේ අවසාන වර්ෂය තුල නායකත්වය දුන් ජේම්ස් බර්න්හැම් (1905-1987), මැක්ස් ෂැට්මන් (1904-1972) සහ මාටින් ඇබර්න් (1898-1949)ගේ “සුලු-ධනපති විපක්ෂය”ට එරෙහි සටන කෙතරම් තීව්‍ර ස්වභාවයක් අත් කර ගත්තේ ද යත්, එය හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි ප්‍රභින්න හා ස්වයං-පූර්න පරිච්ඡේදයක් ලෙස පොදුවේ සලකනු ලැබේ. 1939 සැප්තැම්බරයේ දෙවන ලෝක යුද්ධයේ පැනැනඟීමත් සමඟ ආරම්භ වූ එය, 1940 අප්‍රේල් තෙක් පැවතින. සුලුතර කන්ඩායම එස්ඩබ්ලිව්පීයෙන් බිඳී යමින් කම්කරු පක්ෂය පිහිටුවා ගත්තේය. මසක ඇවෑමෙන් සුලුතර කන්ඩායමේ ප්‍රමුඛ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කොට තුබූ ජේම්ස් බර්න්හැම් කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස්වී තමන් මාක්ස්වාදය හා සමාජවාදය ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කලේය.

සමාජවාදී කම්කරු පක්ෂය තුල කෙරුනු අරගලයට ට්‍රොට්ස්කි විසින් කෙරුනු ප්‍රතිපදානය ඔහුගේ විශිෂ්ඨතම ලේඛන අතරෙහි ලා ගැනේ. ජීපීයූවේ ඒජන්තයන්ගේ නිරන්තර තර්ජනයට පාත්‍රව, කොයෝවාකාන්හි අවරෝධිත මන්දිරයක බිත්ති අතර කොටු වී සිටිය ද ඔහුගේ දේශපාලන දැක්ම විකල් නොවිය. “වියපත් මිනිසා” ඔහුගේ සියලු සමකාලිකයන්ට වඩා අනාගතය තුල වැඩි දුරක් විනිවිද දකින්නට සමත් විය.

කන්ඩායම් අරගලයේ ආධිපත්‍යය දැරූ කේන්ද්‍රීය දේශපාලන ප්‍රයුක්තිය වූයේ “රුසියානු ප්‍රශ්නය”යි; එනම්, සෝවියට් සංගමයේ පන්ති ස්වභාවය පිලිබඳ ගැටලුවයි. 1939 අගෝස්තුවේ ස්ටැලින් හිට්ලර් සමඟ ඇති කර ගත් අනාක්‍රමනික ගිවිසුමෙන් ද, ඉනික්බිතිව සිදු වූ ඒකාබද්ධ නාසි-ස්ටැලින්වාදී හමුදා විසින් පෝලන්තය ආක්‍රමනය කරනු ලැබීමෙන් ද පසුව, සෝවියට් සංගමය තවදුරටත් කම්කරු රාජ්‍යයක් ලෙස අර්ථ දැක්විය නොහැකියැයි ෂැට්මන් තර්ක කලේය. ඔහු කියා සිටියේ සෝවියට් නිලධරය නව ආකෘතියක සූරාකෑමේ සමාජයක මුදුනේ සිටින පාලක පන්තියක් බවට පරිනාමය වී ඇති බවයි.

ෂැට්මන් විසින් නාසි ජර්මනියත් සමඟ එහි ප්‍රතිගාමී සන්ධානයේ පදනම මත සෝවියට් සංගමය යලි අර්ථ කථනය කරනු ලැබීමට ට්‍රොට්ස්කි විරුද්ධ විය. ආක්‍රමනය නොකිරීමේ ගිවිසුම අත්සන් තැබීම සත්තකින්ම කිව නොහැකි තරම්ද්‍රෝහී ක්‍රියාවක් විය. එහෙත් ට්‍රොට්ස්කි තරයේ කියා සිටියේ, “සෝවියට් සංගමයේ සමාජ ස්වභාවය ඇය ප්‍රජාතන්ත්‍රවාදය හෝ ෆැසිස්ට්වාදය සමඟ පවත්වන මිත්‍රත්වය මත නිර්නය වන්නක් නොවන”5 බවයි. සෝවියට් සංගමය පිලිබඳ නිවැරදි අර්ථ කථනයක් පිලිබඳ සටන හා වෙලී ගත්, ඓතිහාසික ඉදිරි දර්ශනය සම්බන්ධ පාදක කරුන කෙරේ ඔහු අවධානය කැඳවීය:

සෝවියට් සංගමය පිලිබඳ ප්‍රශ්නය අපේ යුගයේ සමස්ත ඓතිහාසික ක්‍රියාවලියෙන් හුදෙකලා කොට අතුල්‍ය සේ සැලකිය නොහැක. එක්කෝ ස්ටැලින් රාජ්‍යය සංක්‍රාමී ආකාරයේ එකකි, හුදෙකලා වූ පසුගාමී රටක ඇති කම්කරු රාජ්‍යයක විකෘතියකි; නැතහොත් ‘නිලධාරිවාදී සාමූහිකවාදය’ ... යනු ලෝකය පුරා ධනවාදය විස්ථාපනය කරමින් පවත්නා (ස්ටැලින්වාදය, ෆැසිස්ට්වාදය, නිව් ඩීල් වැඩපිලිවෙලවල් ඤනිව් ඩීල් ලෙස හැඳින්වෙන්නේ 1933-1936 කාල පරිච්ඡේදයේ මහා අවපාතයට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය තුල පනවන ලද වැඩසටහන්, පොදු වැඩ ව්‍යාපෘති, මූල්‍ය ප්‍රතිසංස්කරන හා නියෝග මාලාවකි-ප.% ආදී වශයෙන් වන) නව සමාජ ආකෘතියකි. (කම්කරු රාජ්‍යය, කම්කරු නොවන රාජ්‍යය; පන්තික, අපන්තික ආදී වශයෙන් වූ) පරිභාෂාමය පරීක්ෂනවලට අර්ථයක් ලැබෙන්නේ මෙම ඓතිහාසික දෘෂ්ටිය යටතේ පමනෙකි. ඉන් දෙවැනි විකල්පය තෝරා ගන්නෝ, ලෝක නිර්ධනීන්ගේ සියලු විප්ලවවාදී විභවයන් වැය වී අවසන්ව ඇති බවත්, සමාජවාදී ව්‍යාපාරය බංකොලොත් වී ඇති බවත්, පැරනි ධනවාදය නව සූරාකන පන්තියක් සමඟ ‘නිලධාරිවාදී සාමූහිකවාදය’ බවට තමාම පරිවර්තනය කර ගනිමින් සිටින බවත්, විවෘතව හෝ නිහඬව, පිලිගනිති.

එවැනි නිගමනයක ඇති අතිමහත් වැදගත්කම ගැන විස්තර කිරීමක් අවශ්‍ය නොවේ. එය ලෝක නිර්ධන පන්තියේ හා මානව වර්ගයාගේ සමස්ත ඉරනම හා බැඳී පවතින්නකි.6

පෙර නොදුටුවිරූ ධනේශ්වර අර්බුදයේ යුගයක කර්තව්‍යයන්ට සරිලන ලෙස විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැඟීමෙහි ලා වැඩි දියුනු අධිරාජ්‍යවාදී රටවල කම්කරු පන්තිය තවමත් සාර්ථක වී නොතිබුනු බැව් ට්‍රොට්ස්කි පිලිගත්තේය. එතෙකුදු, බෝල්ශෙවික්වාදයේ හා ඔක්තෝබර් විප්ලවයේ උදාහරනය විසින් පෙන්වා දෙනු ලැබ ඇත්තේ එවැනි පක්ෂයක් නිර්මානය කිරීම කල හැක්කක් බවයි. එබැවින්, ට්‍රොට්ස්කි තර්ක කල පරිදි, මහා ඓතිහාසික ප්‍රශ්නය “පවතින්නේ පහත දැක්වෙන පරිදිය”:

වෛෂයික ඓතිහාසික අවශ්‍යතාවය කම්කරු පන්තියේ පෙරටු බලඇනියේ විඥානය තුල දීර්ඝකාලීනව තෙමේ ම මාවතක් තනා ගනු ඇති ද: එනම්, මේ යුද්ධයේ ක්‍රියාවලිය තුල හා එමඟින් ජනනය කිරීමට නියමිත ප්‍රගාඪ කම්පනයන් තුල නිර්ධනීන්ට බලය අල්ලා ගැනීම සඳහා මඟ පෙන්වනු සමත් සැබෑ විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගෙනු ඇති ද?

හතරවැනි ජාත්‍යන්තරය හුදෙක් එහි වැඩපිලිවෙලේ වගන්ති මඟින් පමනක් නොව තමා පවතින්නේය යන කරුනම ද මඟින් ද මෙම ප්‍රශ්නයට ‘ඔව්’යැයි පිලිතුරු දී ඇත. ව්‍යාජ මාක්ස්වාදයේ විවිධ මාදිලිවල අශුභවාදී හා බියපත් නියෝජිතයන් හැම අයෙක්ම මීට පටහැනි ලෙස පටන් ගෙන ඇත්තේ නායකත්වයේ බංකොලොත්භාවය, තම විප්ලවකාරී මෙහෙවර ඉටුකිරීමට නිර්ධනින්ට ඇති නොහැකියාවම ‘පිලිබිඹු කරතැ’යි යන උපකල්පනයෙනි. අපේ විරුද්ධවාදීන් සැමදෙනාම මෙම සංකල්පනා පැහැදිලිව ප්‍රකාශ කරනු නොවේ, එහෙත් ඔවුන් සියල්ලෝ - අති-වාමවාදීන්, මාධ්‍යමිකයන්, අරාජකවාදීන්; ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ගැන කියනුම කවරේද - පරාජයන් පිලිබඳ වගකීම තමන් භාර නොගනිමින් එම වගකීම නිර්ධන පන්තියේ කර මත පටවති. සමාජවාදී පෙරලිය ඉටු කර ගැනීමට නිර්ධන පන්තිය කවර නිරවද්‍ය කොන්දේසි යටතේ සමත් වනු ඇත්දැයි ඔවුහු කිසිවෙකුත් පෙන්වා නොදෙති.

පරාජයන්හි හේතු නිර්ධන පන්තියේම සමාජ ගුනාංග තුල මුල් බැස තිබිනැයි යන කීම සත්‍යයක් ලෙස අප ඒත්තු ගන්නේ නම්, එවිට, නූතන සමාජයේ තත්ත්වය බලාපොරොත්තු විරහිත එකක් ලෙස පිලිගැනීමට අපට සිදුවනු ඇත.7

ෂැට්මන් හා බර්න්හැම් පෙලඹවූ ඓතිහාසික හා දේශපාලනික අසාර දර්ශනය ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය. ට්‍රොට්ස්කි විසින් ෂැට්මන්-බර්න්හැම් කන්ඩායම ”සුලු ධනපතීන්” ලෙස හඳුන්වනු ලැබීම හුදු ගුනවාචකයක් නොවීය. 1930 ගනන්වල පරාජයන් හේතුවෙන් දේශපාලනික වශයෙන් දුර්මුඛ වූ ද, සදාචාරාත්මකව සංශයවාදයෙන් හෝදාපාලු වූ ද මධ්‍යම පාන්තික බුද්ධිමතුන්ගේ පලල් ස්ථරයක දෘෂ්ඨියට සුලුතර කන්ඩායම දේශපාලන ප්‍රකාශනයක් ලබා දුන්නේය. දෛවයේ සරදමකින් මෙන්, එස්ඩබ්ලිව්පීය තුල කන්ඩායම් අතර සටන ඇවිල ගිය එම සන්ධ්‍යාවේම, “පසුබැස යන බුද්ධිමතුන්”ගේ විෂම ප්‍රතිරූපයක් සම්පාදනය කල නිබන්ධයකට බර්න්හැම් හා ෂැට්මන් සම-කර්තෘත්වය දැරූ අතර, එම නිබන්ධය නිව් ඉන්ටර්නැෂනල් සඟරාවේ 1939 ජනවාරි කලාපයේ පලවිය:

විප්ලවකාරී පරාජයකින් පසුව එලැඹෙන සෑම පසුගාමී කාල පරිච්ඡේදයක්ම, මාක්ස්වාදය තවදුරටත් වලංගු නොවේයැයි ප්‍රතික්ෂේප කරන විවිධාකාර නොගැඹුරු වූත් අනිස්ථිර වූත් ”නව” හා “විලාසිතාකාරී” මතවාදයන් රැසකට උපත දෙයි.

1905 රුසියානු විප්ලවයේ පරාජයෙන් අනතුරුව ඇති වූ “කන්ඩායම් අරගල”වල ඉතිහාසය පසුගිය දශකයේ හෝ ඉන් ඔබ්බෙහි ඒවායේ සාදෘශයන් සමඟ සසඳා බැලීම ඇස් අරවන සුලු ව්‍යායාමයක් වනු ඇත. විප්ලවවාදී මාක්ස්වාදයට එරෙහිව පුලුල්ව පැතිරුනු ප්‍රහාර බවට යුක්තියුක්තකරනය වී ඇත්තේ, අවපාතයේ ද, දිරිසුන් කිරීමේ ද, නිර්ධන පන්තියේ හා එහි විප්ලවවාදී ව්‍යාපාරයේ ප්‍රකෘතිකාරක බලය පිලිබඳ විශ්වාසය සිඳී යාමේ ද වත්මන් ප්‍රතිගාමී මනෝභාවයන්ය. සාමාන්‍යයෙන් රැඩිකල් බුද්ධිමත්හු, ඔවුන්ගේ සමාජ තරාතිරම්වල ස්වභාවයෙන් ම, මෙකී මනෝභාවයන්ට ප්‍රතිරෝධය දක්වනු වෙනුවට යටත් වෙමින්, පලමුවෙන්ම ඒවාට නතුවන්නෝ වෙති. රුසියානු විප්ලවයේ ස්ටැලින්වාදී පරිහානිය හා ෆැසිස්ට්වාදයේ තාවකාලික නැඟීම අපගේ දිග ඇදුනු ප්‍රතිගාමීත්වයේ නිෂ්පාදන වූයේ යම්සේ ද, එමෙන්ම, එහෙත් සත්තකින්ම මුලුමනින් වෙනස් මාත්‍රයකින්, මෙකී රැඩිකල් බුද්ධිමත්හු ද එම ප්‍රතිගාමිත්වයේ ම ගොදුරු වෙති.

මෙම බුද්ධිජීවීන් පෙලනා ප්‍රමුඛතම බුද්ධිමය ව්‍යාධිය ස්ටැලින්භීතිකාව හෝ ග්‍රාම්‍ය ස්ටැලින්වාද-විරෝධය ලෙස හඳුන්වා දිය හැකිය. එකී රෝගය අභිප්‍රේරනය කරනු ලැබ ඇත්තේ හොර නඩුවලට කොටු කිරීම් හා විමෝචනයන්ගෙන් සමන්විත ස්ටැලින්ගේ කුරිරු පර්යායට එරෙහි විශ්වව්‍යාපී පිලිකුල විසිනි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ එතුවක් පටන් මෙම විෂයය සම්බන්ධයෙන් ලියැවුනු ලේඛන අතරින් වැඩිමනත් කොටස මානසික කම්පනයේ ගිනියම වැඩියෙන් අඩංගු වූ ද උනුසුමෙන් තොර සමාජ විශ්ලේෂනය අවම වූ ද නිෂ්පාදන වීමයි, තව ද, විශ්ලේෂනයක් ඇති කල්හි ද, එය විද්‍යාත්මක හෝ දේශපාලනික වනුවට වඩා සදාචාරාත්මක එකක් වීමයි.8

බුද්ධිජීවීන් ගොදුරු වෙමින් පැවැති “බුද්ධිමය ව්‍යාධිය” බර්න්හැම් හා ෂැට්මන් විසින් ඒ සා නිරවද්‍ය ලෙස විස්තර කරන ලද්දේ ඔවුන්ම ද ඒ වනවිටත් එහි රෝග ලක්ෂන අත්දකිමින් සිටි නිසායැයි අනුමාන කිරීම යුක්තිසහගතය. වසර අවසානවීමට ප්‍රථම ඔවුන් පෙලූ ව්‍යාධිය එහි ආන්තික අවස්ථාව කරා වර්ධනය වී තිබින.

1939-40 අරගලය තුල ඉස්මතු වූ සංශෝධනවාදයේ ට්‍රොට්ස්කි-විරෝධී ප්‍රභේද්‍යයෙහි කැපී පෙනෙන ලක්ෂන අතරින් එකක් වූයේ, එය මාක්ස්වාදයේ දාර්ශනික පදනම්, පන්ති පදනම, දේශපාලන වැඩ පිලිවෙල හා ඓතිහාසික ඉදිරිදර්ශනය පූර්න වශයෙන්ම ප්‍රතික්ෂේප කිරීමයි. එය යොමු කෙරුනේ සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලය සංශෝධනවාදී ලෙස වෙනස් කිරීම කරා නොව, එම අරමුනම ප්‍රතික්ෂේප කිරීම කරා ය. එය

“ශාස්ත්‍රීය ට්‍රොට්ස්කිවාදය” පිලිබඳ තම විවේචනය වර්ධනය කල කල්හි ඉන් එලඹි නිගමනය වූයේ, මාක්ස්වාදයේ තමන් එකඟ වන එකදු මූලාංගයක් හෝ නොවූ බවයි.

සත්තකින්ම සුලුතර කන්ඩායමේ වෙන් වෙන් පුද්ගලයෝ වෙන් වෙන් කාලවලදී මෙම නිගමනය කරා එලැඹ ගත්හ. එහෙත් බර්න්හැම්-ෂැට්මන් විපක්ෂයේ අවශ්‍යයෙන්ම දක්ෂිනාංශික වූ ගමන් පථය, 1940 මැයි 21 වන දින කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් බර්න්හැම් ලියූ ලිපියෙහි පැහැදිලිව ප්‍රකාශිතය. මෙම ලේඛනය පොදුවේ දකින ලද්දේ, තම සමීපතම දේශපාලන සගයා විසින් හිටිඅඩියේ කිසිදු ගරුසරුවකින් තොරව අත්හැර දමා යන ලද ෂැට්මන්ට එලැඹි ලැජ්ජාව දනවන දුෂ්කරතාවයකට වඩා වැඩි යමක් නොවන ලෙසය. එහෙත් වඩාත් පුලුල් ඓතිහාසික හා දේශපාලන සන්දර්භයක ලා බැලූ කල බර්න්හැම්ගේ ලිපිය, හුදෙක් හතරවැනි ජාත්‍යන්තරයෙන් බිඳී යාමෙන් ඉක්බිති කාලයේ මැක්ස් ෂැට්මන්ගේ පමනක් නොව, 1940 ගනන්වල හතරවැනි ජාත්‍යන්තරය හා සමාජවාදී කම්කරු පක්ෂය තුලින් පැන නැඟුනු අනෙකුත් සෑම විපක්ෂ ප්‍රවනතාවයකම ද දේශපාලන පරිනාමය පිලිබඳ නිශ්චිත නිර්වචනයක් ද එකී පරිනාමය පිලිබඳ පූර්වාපේක්ෂාවක් ද සම්පාදනය කලේය. බර්න්හැම් මෙසේ නිවේදනය කලේය:

මාක්ස්වාදී ව්‍යාපාරය හා බැඳුනු වැදගත්ම විශ්වාසයන් අතුරින්; එහි සංශෝධනවාදී, ලෙනින්වාදී, ස්ටැලින්වාදී හෝ ට්‍රොට්ස්කිවාදී ප්‍රභේදවලින් කවරක් හෝ වේවා; ඒ කිසිවක් එහි සාම්ප්‍රදායික ආකාරයෙන් මා සැබැවින්ම පිලිගන්නේ නැත. මා සලකන්නේ මෙකී විශ්වාසයන් එක්කෝ සාවද්‍ය, යල් පිනූ, එසේත් නැතහොත් අර්ථවිරහිත ඒවා ලෙසය; නැතහොත් අවස්ථාවන් අතලොස්සකදී, වැඩිම තරමින් කිවහොත්, තවදුරටත් මාක්ස්වාදීයැයි නිසි ලෙස හැඳින්විය නොහැකි තරම් දුරට සීමිත හා විකෘත ආකාරයන් තුල පමනක් සත්‍ය වන ඒවා ලෙසය. ....

‘සමාජවාදය නොවැලක්විය හැකියැ’ යි කියා සිටීම අර්ථ විරහිත එකක් ලෙස පමනක් නොව, ‘සමාජවාදය ධනේශ්වර ක්‍රමයට ඇති එකම විකල්පය ය’ යන්න සාවද්‍ය එකකැයි ද මම විශ්වාස කරමි; දැනට අප සතු සාක්ෂිවල පදනම මත මා විසින් සලකනු ලබන්නේ, ධනවාදයට විකල්පයක් ලෙස සූරා කෑමේ සමාජයක නව ආකෘතියක් (එය මා හඳුන්වන්නේ ‘කලමනාකාර සමාජය’ ලෙසය) පැවතිය හැකිවා පමනක් නොව, එය වත්මන් කාල පරිච්ඡේදයේ දී සමාජවාදයට වඩා වඩාත් ඇති විය හැකියැයි සිතිය හැකි ප්‍රතිඵලය ද වන බවයි. ...

කැනන් බොහෝ කලෙකට ඉහත වටහා ගෙන තුබූ පරිද්දෙන්ම, මම පක්ෂයක් පිලිබඳ ලෙනින්වාදී සංකල්පය සමඟ ඒකාන්ත ලෙසම හා මුලුමනින්ම නොඑකඟ වෙමි. - ඒ, හුදෙක් එකී සංකල්පයේ ස්ටැලින්ගේ හෝ කැනන්ගේ සංශෝධනයන් සමඟ නොව ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේම සංකල්පය සමඟය. ....

එවැනි හා ඊට සමාකාර අන්‍ය විශ්වාසයන්හි ආලෝකයෙන් ගත් කල, (කම්කරු පක්ෂය විසින් පිලිගැනෙන) හතරවැනි ජාත්‍යන්තර ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගික ලේඛන වලින් සැලකියයුතු කොටසක් මා ප්‍රතික්ෂේප කල යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘සංක්‍රමනීය ක්‍රියාමාර්ගය’ ලියවිල්ල මට පෙනීයන්නේ - එය පලමුවෙන්ම ඉදිරිපත් කල අවස්ථාවේ මට දැනුනු පරිද්දෙන්ම - අඩු හෝ වැඩි වශයෙන් තුච්ඡ ප්‍රලාපයක් ලෙස හා, මාක්ස්වාදය එහි වඩාත්ම දීප්තිමත් ප්‍රාඥ නියෝජිතයන් අත පත් කල්හි පවා අද්‍යතන ඉතිහාසය හැසිරවීමෙහි ලා එහි ඇති නොහැකියාව පිලිබඳ ප්‍රමුඛ උදාහරනයක් ලෙසය.9

දේශපාලන ආස්ථානයන් ද, තමන් හා ෂැට්මන් විසින් “පසුබැස යන බුද්ධිමතුන්”හි විස්තර කරනු ලැබ තුබූ වර්ගයේ පෞද්ගලික දුර්මුඛභාවයට අසම්බන්ධිත ඒවා නොවන බව බර්න්හැම් අවසානයේ පිලිගෙන ඇත:

තමාගේම ක්‍රියාවන්හි අභිප්‍රායයන් හා යටි අදහස් තමන් හොඳින්ම දන්නා බවට උපකල්පනය කිරීමට තරම් කවර හෝ මිනිසෙකු වේවා දඩබ්බර විය යුතුයැයි බොරුවට හැඟවීමට උත්සාහ ගන්නා අන්තිමයා මා විය යුතුය. මේ සමස්ත ලිපිය ‘මට දේශපාලනයෙන් ඉවත්ව යාමට සිතේ‘ය යන තනි වාක්‍යය පවසන, පමනට වඩා විස්තාරිත ක්‍රමයක් විය හැකිය. එය නිසැකවම, පසුගිය වසර විස්සක හෝ ඊටත් වැඩි කාලයක පරාජයන් හා පාවාදීම් මා කෙරෙහි බලපෑමේ ප්‍රතිඵලයකි. එම පරාජයන් හා පාවාදීම්, මාක්ස්වාදය ප්‍රතික්ෂේප කල යුතුය යන මගේ විශ්වාසයට දෙස් දෙන සාක්ෂිවලින් කොටසක් සම්පාදනය කරයි: ඉතිහාසය විසින් සම්පාදිත පරීක්ෂන ගනනාවකින් එකක් නෑර සෑම එකකදීම මාක්ස්වාදී ව්‍යාපාරය එක්කෝ සමාජවාදය අසාර්ථක කර නැතහොත් එය පාවා දී ඇත. ඒවා මගේ හැඟීම් හා ආකල්පවලට ද බල පායි, මම එය දන්නෙමි. 10

අවසාන වාක්‍යය නිසැකවම බර්න්හැම්ගේම ද්‍රෝහිත්වය පිලිබඳ අපූර්ව යුක්තියුක්ත කිරීමකි. සමාජවාදයේ අනාගත අසාර්ථකත්වයකට හෝ පාවාදීමකට සහභාගී වනු වෙනුවට පෞද්ගලිකව ඉස්සර වෙමින් විප්ලවවාදී ව්‍යාපාරය හැර පියා පලායාමට බර්න්හැම් තීරනය කොට ඇත. කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස්වීමෙන් ඉක්බිතිව බර්න්හැම් අන්ත දක්ෂිනාංශික ධනේශ්වර ප්‍රති-මාක්ස්වාදී දේශපාලනය කරා ශීඝ්‍රව මාරු විය. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ඔහු, සෝවියට් සංගමය හා කොමියුනිස්ට්වාදය සමඟ සටන් කිරීමට එක්සත් ජනපද ආධිපත්‍යය යටතේ පවතින “ලෝක සමූහාන්ඩුවක්” සඳහා කැඳවුම් කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයෙකු බවට පත්විය. 1950 ගනන්වලදී ඔහු ප්‍රධාන පෙලේ ප්‍රතිගාමියෙකු වූ විලියම් එෆ්. බක්ලි (කනිෂ්ඨ) සමඟ හවුලේ නැෂනල් රිවිව් සඟරාව ආරම්භ කිරීමට කටයුතු කලේය. එක්සත් ජනපදයේ නව-කොන්සර්වේටිව්වාදීන් අතර ප්‍රමුඛ න්‍යායවාදියෙකු ලෙස පිලිගැනෙන බර්න්හැම්ට 1983 දී ජනාධිපති රොනල්ඞ් රේගන් විසින් නිදහසේ පදක්කම ප්‍රදානය කරන ලදී.

බර්න්හැම් මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීම, ෂැට්මන්වාදීන් පමනක් නොව 1940 ගනන්වල එස්ඩබ්ලිව්පීය හා හතරවැනි ජාත්‍යන්තරය තුල ඉස්මතුව ආ අනෙකුත් විපක්ෂ ප්‍රවනතා විසින් ද පසුව ගනු ලැබූ මාවතේ පෙර ගමනක් විය. ට්‍රොට්ස්කිගේ සුප්‍රකට වාක්‍ය ඛන්ඩයක් තරමක් වෙනස් කොට කිවහොත්, සෑම දුර්මුඛ සුලු ධනපති හිටපු ට්‍රොට්ස්කිවාදියෙකුම බර්න්හැම් කෙනෙකු නොවන අතර, ට්‍රොට්ස්කිවාදයෙන් පලාගිය සෑම දුර්මුඛ ද්‍රෝහියෙකුම තුල බර්න්හැම් කෙනෙකුගෙන් බිඳක් පවතී.11

මෙම ප්‍රවනතා අතරින් ප්‍රථම හා වඩාත්ම වැදගත් එක වූයේ, ඉන්ටර්නෂනාල් කොමියුනිස්ටෙන් ඩොයිච්ලන්ඞ් (අයිකේඩී) වෙතින් මතුව ආ (ප්‍රතිගමනවාදීන් ලෙස ද දන්නා ලද) “නිබන්ධ තුනේ” කන්ඩායමයි. විප්‍රවාසී ජර්මානු ට්‍රොට්ස්කිවාදීන්ගේ මෙම සංවිධානයට ජෝසෆ් වෙබර් (1901-1959) විසින් නායකත්වය දෙන ලදී. ‘උරුමය’ ප්‍රකාශයට පත්වීමට ඉහතදී, හතරවැනි ජාත්‍යන්තරය තුල ට්‍රොට්ස්කි-විරෝධී සංකල්ප වර්ධනයෙහි ලා මෙම කන්ඩායමෙහි තීරනාත්මක කාර්යභාරය අඩුවැඩි වශයෙන් අමතකව ගොස් තිබින. වෙබර් විසින් ලියන ලද ලේඛන පිලිබඳ හැදෑරීමකින් තොරව, ඉන් යම් කලෙකට පසුව මතුව ආ මෝරෝ - ගෝල්ඞ්මන් විපක්ෂයේ සම්භවයන් හා ආස්ථානයන් වටහා ගැනීම නොකලහැක්කක් වේ. අයිකේඩීයේ දේශපාලනය මෙම වෙලුමේ 8 වන පරිච්ඡේදයෙහිදී පරීක්ෂා කෙරේ. එහෙත් ෆීලික්ස් මෝරෝ (1906-1988) හා ඇල්බට් ගෝල්ඞ්මන් (1897-1960) යනු, කැනන් අතින් සිය දේශපාලනයේ ගෙල සිඳ ගනු ලැබීමේ ජීවිත පූජාව විසින්, ට්‍රොට්ස්කිවාදයට විනාශයේ ශාපය උදාකරන ලද අනාගතවක්තෘන් දෙදෙනෙකු ලෙස උසස් කොට දැක්වීමේ (මා විසින් ඉක්මනින්ම සඳහන් කෙරෙනු ඇති) මෑත කාලීන ප්‍රයත්න සැලකිල්ලට ගත් කල, අයිකේඩීයේ දුර්මුඛ, පරාජිතවාදී හා ප්‍රති-මාක්ස්වාදී ඉදිරි දර්ශනයේ ලුහුඬු සම්පින්ඩනයක් සැපයීම අත්‍යවශ්‍ය වේ.

අයිකේඩීය 1941 ඔක්තෝබරයේ දී, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය, දේශපාලන දවල් හීනයකැයි ප්‍රතික්ෂේප කල නිවේදනයක් ප්‍රකාශයට පත් කලේය. යුරෝපයේ ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනවල අර්ථය වූයේ කම්කරු පන්තිය 1948 ට පෙර යුගයේ කොන්දේසි කරා ආපසු ඇද දමා තුබූ බවයි. නූතන ලෝකය සමාජවාදය කරා ඉදිරියට යනු වෙනුවට ම්ලේච්ඡත්වය කරා ප්‍රතිගමනය වෙතැයි එය අවධාරනය කලේය. මෙකී ප්‍රතිගමනය, මාක්ස්වාදී පක්ෂයක නායකත්වය යටතේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවල නව උද්ගමනයක් ඇතිවීමත් සමඟ ආපසු හැරවිය හැකි දේශපාලන පරාජයන්හි තාවකාලික ප්‍රතිවිපාකයක් නොව, නොවැලැක්විය හැකි ක්‍රියාවලියක් ලෙස වටහා ගත යුතුව ඇත. ආපස්සට හැරවිය නොහැකියැයි අයිකේඩීය විශ්වාස කල නාසීන්ගේ යුද ජයග්‍රහනය ලෝක ඉතිහාසයේ නව අවධියක් සනිටුහන් කලේය.

සිර ගෙවල්, නව සුලු ජන කුප්පායම්, බලහත්කාරීව ශ්‍රමය උදුරා ගැනීම, ගාල් කඳවුරු පමනක් නොව යුද-සිරකරුවන්ගේ කඳවුරු පවා, හුදෙක් සංක්‍රමනීය දේශපාලනික - යුදමය සංස්ථාපනයන් පමනක් නොවේ. ඒවා ඒ තරමටම, නව වහල් රාජ්‍යයක් වර්ධනය කිරීමේ දිශාවට කෙරෙන වර්ධනයක් හා අත්වැල් බැඳ ගත්, මානව වර්ගයා අතර සැලකිය යුතු ප්‍රතිශතයකගේ ස්ථිරසාර ඉරනම බවට පත්වීමට අරමුනු කෙරුනු, නව ආර්ථික සූරාකෑමේ ආකාරයන් ද වේ.12

සමාජවාදය සඳහා සටන, ඓතිහාසික ප්‍රතිගමන ක්‍රියාවලියක් හරහා “ජාතික නිදහස සඳහා වන පරිශ්‍රමයක්” මඟින් අවලංගු කරනු ලැබ තිබිනැයි “නිබන්ධන තුනේ” කන්ඩායම එදා නිගමනය කලේය.13 ඉන්පසුව, 1943 දී ලියන ලදුව, (1940 භේදයෙන් පසුව ෂැට්මන්වාදී සුලුතරය විසින් සමාග්‍රහනය කරන ලද) නිව් ඉන්ටර්නැෂනල් සඟරාවේ 1944 ඔක්තෝබරයේ පල වූ ලේඛනයකින් අයිකේඩීය, දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීමට එරෙහි අරගලයකින් ලෙනින් විසින් වර්ධනය කොට තුබූ සහ, 1917 බෝල්ශෙවික් මූලෝපාය ගොඩනැඟීමට පදනම් කර ගැනුනු, අධිරාජ්‍යවාදී යුගය පිලිබඳ ඓතිහාසික විශ්ලේෂනය නිශ්චිතව ප්‍රතික්ෂේප කලේය. එය තිරසරව කියා සිටියේ මෙසේය:

ප්‍රථම ලෝක යුද්ධය හා ඒ අවස්ථාවේ පැවැති රාජ්‍ය සම්බන්ධතා ජාලයේ සම්පූර්න ග්‍රහ පිහිටීම දෙස ආපසු බැලූ විට අප විසින් හඳුනාගනු ලැබිය යුත්තේ, පලමු ලෝක යුද්ධය, එය ඇවිල යාමට බල පෑ සියලු කාරක සම්බන්ධතා තිබියදී වුව, ධනේශ්වර ක්‍රමයේ ඓතිහාසික අවාසනාවකට වැඩි දෙයක් නොවූ බවයි; එය, ඓතිහාසික අවශ්‍යතාවයේ රාමුව තුල, ඓතිහාසිකව අවශ්‍යවීමට පෙරාතුව ධනේශ්වර ක්‍රමයේ බිඳවැටීම කරලියට ගෙන ආ අහඹු සිදුවීමක් බවයි.14

එහෙත් ලෝක යුද්ධය අහම්බයක් වී නම්, දෙවැනි ජාත්‍යන්තරයේ බිඳවැටීම, ඔක්තෝබර් විප්ලවය ජය ගැනීම හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීම ද එපරිද්දෙන්ම අහඹු සිදුවීම් විය යුතුය. ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් සූත්‍රගත කල පරිදි විසිවන සියවසේ විප්ලවවාදී මාක්ස්වාදී මූලෝපායයේ සමස්ත වෛෂයික පදනමම ඔවුන් විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබින.

අයිකේඩීය විසින් දෘඩ පද යොදා ගනිමින් සූත්‍රගත කරන ලද්දේ එහි දේශපාලන අසාරදර්ශනයයි. කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස පැවතීම කම්මුතු වී ඇතැයි එය නිවේදනය කලේය. එය “විසන්ධි කොට, කුඩා අංශුවලට කඩා දමා, භේදභින්න කොට, එහි විවිධ ස්ථර එකිනෙකාට එරෙහිව පිහිටුවා, දේශපාලනිකව දිරිය බල සුන් කොට, ජාත්‍යන්තරව හුදෙකලා කොට හා පාලනය කොට...” තිබිනි.15 ධනේශ්වර ක්‍රමය කුනුවෙමින් පැවැති නමුදු කම්කරු පන්තියට එය පෙරලා දැමිය නොහැකිය. “මාක්ස්වාදය මුලුමනින්ම වරදවා වටහාගැනීමකින්” පැනනැඟුනු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ “වඩාත්ම සුලභ දෝෂය” සමන්විත වූයේ, “ධනේශ්වර ක්‍රමයේ නිශේධනය හුදෙක් නිර්ධන පන්තියේ කර්තව්‍යය ලෙස පමනක් වටහා ගැනීමෙන්යැ”යි අයිකේඩීය තරයේ කියා සිටියේය. විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තියේ නොහැකියාව ඉදිරියේ එකම දේශපාලන විකල්පය වනුයේ “ශතවර්ෂාධික කාලයක් පැරනි” ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන කරා පෙරලා යාම යැයි අයිකේඩීය නිවේදනය කලේය.16 යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා හතරවැනි ජාත්‍යන්තරය කල කැඳවීමට එය විරුද්ධ විය:

යුරෝපය “සමාජවාදී රාජ්‍ය” තුල තමා එක්සත් කර ගැනීමට සමත්වීමට පෙර, පලමුව එය ස්වාධීන හා ස්වතන්ත්‍ර රාජ්‍ය බවට තමා විසංයුක්ත කර ගත යුතුය. ඒ වූ කලී, මුලුමනින්ම භේදභින්න කෙරුනු, වහල්භාවයට පමුනුවනු ලැබූ, ආපස්සට හෙලනු ලැබූ ජනයා හා නිර්ධන පන්තිකයන් යලිත් තමා ජාතියක් ලෙස පිහිටුවා ගැනීම සම්බන්ධ කාරනයකි.....

(අප ඉදිරියේ ඇති) කර්තව්‍යය පහත දැක්වෙන ආකාරයෙන් අපට සූත්‍රගත කල හැකිය: විනාශ මුඛයට ඇද දමා ඇති වර්ධනය යලි ගොඩනැඟීම, (කම්කරු ව්‍යාපාරය ද ඇතුලුව) ධනේශ්වර පන්තියේ සියලු ජයග්‍රහන යලි අත්පත් කර ගැනීම, ඉහලම අර්ථසිද්ධීන් කරා එලඹීම හා ඒවා උත්කෘෂ්ඨත්වයට නැංවීම....

කෙසේවෙතත්, වඩාත්ම බලගතු දේශපාලන ප්‍රශ්නය වන්නේ කාර්මික ධනපති ක්‍රමයේ වසන්ත සමය සහ විද්‍යාත්මක සමාජවාදය පිලිබඳ ශතවර්ෂාධික කාලයක් පැරනි ගැටලුවයි. - එනම්, දේශපාලන නිදහස අත්පත් කර ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය (රුසියාව ද සඳහා) තහවුරු කිරීම යන ජාතික විමුක්තිය සඳහා අත්හල නොහැකි පූර්ව කොන්දේසි හා කම්කරු ව්‍යාපාරය ගොඩනැඟීමයි.17

දේශපාලන දිනදර්ශනය 1848 ට පූර්ව යුගය කරා ආපසු පෙරලා, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන අත්හැර දැමීමටත්, ජාතික ස්වාධිපත්‍යය හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය කරා ආපසු හැරී ඒමටත් තමන් කල කැඳවීම සියලු රටවල් සඳහා අදාල වේ යැයි අයිකේඩීය අවධාරනය කලේය.

උචිත සංශෝධන සහිතව [ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික විමුක්තිය පිලිබඳ] මෙම ගැටලුව - චීනය හා ඉන්දියාව ද, ජපානය හා අප්‍රිකාව ද, ඔස්ටේ්‍රලියාව හා කැනඩාව ද, රුසියාව හා එංගලන්තය ද; කෙටියෙන් කිවහොත් සමස්ත යුරෝපයට, උතුරු හා දකුනු ඇමරිකාවට ආදී වශයෙන් වූ - සමස්ත ලෝකයටම පවතින එකකි. බලගතු තීව්‍රතාවයකින් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික ප්‍රශ්නය නොපවතින රටක් කොතැනකවත් නැත, දේශපාලනිකව සංවිධානය වූ කම්කරු ව්‍යාපාරයක් කොතැනකවත් නැත.18

යොදා ගත යුතු ප්‍රධාන සටන්පාඨය විය යුත්තේ “ජාතික නිදහස” යැයි අයිකේඩීය ප්‍රකාශ කලේය.

මෙමඟින් අප කීමට අදහස් කරන්නේ මෙයයි: ජාතික ප්‍රශ්නය යනු, කම්කරු ව්‍යාපාරය යලි ගොඩනැඟීමේ හා සමාජවාදී විප්ලවයේ මූලෝපායික සංක්‍රමනීය ලක්ෂ්‍යය බවට අවශ්‍යයෙන්ම පත්වන්නා වූ එකී ඓතිහාසික ආඛ්‍යානයන් අතරින් එකකි. ඓතිහාසිකව අත්‍යවශ්‍ය මෙම ආඛ්‍යානය නොහඳුනන හා එය භාවිතා කරන සැටි නොදන්නා කවරෙකු වුව, මාක්ස් - ලෙනින්වාදය ගැන කිසිවක් නොදනී; කිසිවක් වටහා නොගනී.19

ඇත්තෙන්ම කිවහොත් ලෙනින් හා ට්‍රොට්ස්කිගේ වැඩ පිලිවෙල ප්‍රතික්ෂේප කරමින් සිටියේ අයිකේඩීයයි. ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සඳහා සටන ධනවාදය පෙරලා දැමීමේ අරගලයෙන් වෙන් කිරීම මඟින් ඇඟවූයේ නොනවතින විප්ලවයේ න්‍යාය හා වැඩ පිලිවෙල සම්පූර්නයෙන්ම අතහැර දැමීමකි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි නොනවතින විප්ලවයේ න්‍යාය මඟින් අවධාරනය කරන්නේ, “ධනේශ්වර වර්ධනය කල් පමා වූ රටවල දී ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සහ ජාතික විමුක්තියේ කර්තව්‍යයන්ට පරිපූර්න හා තථ්‍ය විසඳුමක් ලබා ගත හැක්කේ, පීඩිත ජාතියේ නායකයා ලෙස, අන් සියල්ලටත් වඩා එහි ගොවි ජනයාගේ නායකයා ලෙස නිර්ධන පන්තියේ ආඥාදායකත්වය පිහිටුවීම මඟින් පමනක්” බවයි.20

අඩු වර්ධනයක් සහිත රටවල දී ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සමාජවාදී ඉල්ලීම් කෙරෙන් වෙන් කරන අතරතුරම, ලෝක ධනවාදයේ දියුනු මධ්‍යස්ථානයන්හි දී ජාතික විමුක්තියේ ධනේශ්වර වැඩපිලිවෙලකට පන නල පිඹීමට හා සමාජවාදය සඳහා සටන අකාලයේ කෙරෙන්නක් ලෙස ප්‍රතික්ෂේප කිරීමට දැරුනු අයිකේඩීයේ ප්‍රයත්නයන්ගෙන් පිලිබිඹු වූයේ, දේශපාලනික දිරිසුන්භාවයේ ව්‍යාධීය මට්ටමකි. අයිකේඩී නායක ජෝසෙෆ් වෙබර්ගේ ආධාරකරුවන් හා මිතුරන් පසුකලෙක සිහිපත් කල පරිදි, යුරෝපය පුරා නාසි පාලනය වසර පනහක් නොවේනම්, අඩුම තරමින් වසර තිහක් දිගටම පවතිනු ඇත යන මතය 1940 ගනන්වල මැද දී ඔහු නිරතුරුව ප්‍රකාශ කලේය.21

ෂැට්මන්වාදීහු අයිකේඩීයේ ආස්ථානය සාදරයෙන් පිලිගැනීමට ද එය ප්‍රවර්ධනය කිරීමට ද ඉදිරිපත් වූහ. ඔක්තෝබර් විප්ලවය අකාලයේ සිදුකෙරුනක් ලෙස නිෂ්ප්‍රභා කල අයිකේඩීයේ විතර්ක, සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස නොපිලිගැනීමේත්, අධිරාජ්‍යවාදයට එරෙහිව සෝවියට් සමුහාන්ඩුව ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමේත් ඔවුන්ගේ ආස්ථානයන් සමඟ මුලුමනින්ම අනුරූප විය.

අයිකේඩීය හතරවැනි ජාත්‍යන්තරයෙන් වෙන් කල ඔවුන්ගේ දිරිසුන් ඉදිරිදර්ශනය අවසානයේදී සමාජවාදී කම්කරු පක්ෂය තුල සහයෝගය සොයා ගත්තේ, 1944 දී ඒ තුල නිශ්චිත විපක්ෂ කන්ඩායමක් ලෙස ඉස්මතු වූ මොරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවයේ රූපාකාරයෙනි. ‘උරුමය’ ලිවීමට පෙර මෙම දකුනට යමින් සිටි ප්‍රවනතාවය සාවද්‍ය ලෙස හඳුන්වා දී තුබුනේ, ලෝක යුද්ධයෙන් ඉක්බිති සමයේ දේශපාලන තතුවලට කැනන් විසින් දක්වන ලද ආධානග්‍රාහී, වැරදි තොරතුරු මත පදනම් වූ හා යථාරූපී නොවූ ලෙස සලකන ලද ප්‍රතිචාරයට ඉදිරිපත් වූ වඩාත් දුරදිග දක්නා විකල්පයක් ලෙසය. එය 1944 දී ඉස්මතු විය. එහි ප්‍රමුඛ නායකයෝ දෙපල හතරවැනි ජාත්‍යන්තරය හා ඇමරිකානු පක්ෂය තුල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තුබූ අය වූහ. ට්‍රොට්ස්කිගේ නීතිඥයා ලෙස සේවය කල ඇල්බට් ගෝල්ඞ්මන්, 1937 දී ඩිවේ කොමිසම හමුවේ ට්‍රොට්ස්කි නියෝජනය කලේය. 1941 දී ස්මිත් පනත යටතේ පැවැත්වූ නඩු විභාගවලදී රාජද්‍රෝහී චෝදනා එල්ල වූ එස්ඩබ්ලිව්පී සාමාජිකයන් වෙනුවෙන් ගෝල්ඞ්මන් පෙනී සිටියේය. ඔහු ද විත්තිකරුවන් අතරින් එක් අයෙකු වූ අතර, වැරදිකරුවන් බවට තීන්දු කරනු ලදුව සිර ගෙට යැවුනු පක්ෂ සාමාජිකයන් දහඅට දෙනා අතරට ඔහු ද ඇතුලත් විය. එස්ඩබ්ලිව්පීයේ දේශපාලන කමිටු සාමාජිකයෙක් වූ ෆීලික්ස් මොරෝ, තම ඍැඩදකමඑසදබ ්බා ක්‍දමබඑැර-ඍැඩදකමඑසදබ සබ ීච්සබ (ස්පාඤඤයේ විප්ලවය හා ප්‍රතිවිප්ලවය) නම් පොත නිසා සුප්‍රකට වූ, කැපී පෙනෙන සමාජවාදී මාධ්‍යවේදියෙකු විය. 1941 නඩු විභාගය අවසානයේ සිපිරි ගෙයි ලනු ලැබූ පක්ෂ සාමාජිකයන් අතරට ඔහු ද ඇතුලත් ව සිටියේය. මොරෝ-ගෝල්ඞ්මන් පිලේ තවත් වැදගත් සාමාජිකයෙකු වූයේ 1930 ගනන්වල දී ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම් ලෙස කටයුතු කලා වූත්, දෙවැනි ලෝක යුද්ධ සමයේ නිල වශයෙන් හතරවැනි ජාත්‍යන්තරයේ ලේකම් ලෙස කටයුතු කලා වූත් ෂෝන් වොන් හෙයනූර් (1912-1986) ය.

අප රක්නා උරුමය කෘතිය මොරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවයේ ආස්ථානයන් විස්තරාත්මකව විමර්ශනය කරයි. කෙසේවෙතත්, උරුමය කෘතිය ප්‍රකාශයට පත් වූ කාලයෙන් පසු ගත වූ කාලය තුල, 1986-87 සමයේ දී මට ලබා ගත නොහැකිව තිබූ එස්ඩබ්ලිව්පී අභ්‍යන්තර සාකච්ඡා බුලටීනයන් පරිශීලනය සඳහා ලබා ගත හැකිවීම හේතුවෙන්, මොරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවය කෙතෙක් දුරට අයිකේඩීයේ තර්කවලින් ආභාෂය ලැබී ද යන කරුන සම්බන්ධයෙන් වඩාත් පරිපූර්න ඇගයීමක් කල හැකිව ඇත. 1942 දී මොරෝ, ගෝල්ඞ්මන් හා (මාක් ලෝරිස් යන නමින් ලියූ) වොන් හෙයනූර් ද “නිබන්ධන තුනේ” යෝජනාව මඟින් ඉදිරිපත් කෙරුනු තර්කවලට විරුද්ධ වී ඇත. එහෙත් 1943 අවසාන භාගයේ ඔවුන්ගේ ආස්ථානයන් රැඩිකල් වෙනසකට භාජනය වී ඇත. ඊලඟ තෙවසර තුල එස්ඩබ්ලිව්පීය හා හතරවැනි ජාත්‍යන්තරය තුල ඇති වූ දේශපාලන අරගලයේ දී මෝරෝ තර්ක කලේ, හතරවැනි ජාත්‍යන්තරය යුරෝපයේ සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙලට ආශක්තව සිටීම නිසා, දෙවැනි ලෝක යුද්ධය අවසානවීමෙන් අනතුරුව පැවැති තතු යටතේ එය දේශපාලනිකව අනදාල බවට පත් කොට ඇතැයි යනුවෙනි. යුරෝපයේ - විශේෂයෙන්ම ප්‍රන්සයේ හා ඉතාලියේ - සිදුවීම්වලට වඩාත්ම ගතානුගතික හා පරාජකවාදී ආකාරයකින් අර්ථකථන සපයමින් මොරෝ-ගෝල්ඞ්මන් කන්ඩායම අවධාරනය කලේ, සමාජවාදී විප්ලවයට මොනයම්ම හෝ අවකාශයක් නොමැති බවයි. ඔවුන් කියා සිටියේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවකින් යුත් විවිධ ධනපති සංවිධාන සමඟ හවුල් වෙමින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සඳහා වූ ව්‍යාපාරයක් බවට තමා පරිවර්තනය කර ගැනීමෙන් තොරව හතරවැනි ජාත්‍යන්තරයට වෙනත් ශක්‍ය දේශපාලන විකල්පයක් නොවූ බවයි.

හතරවැනි ජාත්‍යන්තරය ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ උපාංගයක් බවට පරිවර්තනය කිරීමට පෙරකදෝරුකම් කරන අතරම මොරෝ, ගෝල්ඞ්මන් හා වොන් හෙයනූර් එස්ඩබ්ලිව්පීය විසින් සෝවියට් සංගමය ආරක්ෂා කරනු ලැබීම ද ප්‍රතික්ෂේප කලෝය. 1943 මාර්තු තරම් පසු කාලයක දී මෝරෝ මෙසේ ලියා තිබින:“ලෝකය පුරාම මහා ජනකායයෝ රතු හමුදාවන්හි ජයග්‍රහනයෙන් ප්‍රමුදිත වී සිටිති. වටකුරු න්‍යායකින් තොරව වුව, සෝවියට් ජයග්‍රහන තමන්ගේ ද ජයග්‍රහන වන බැව් ඔවුහු කොයිහැටිවෙතත් මූලික පන්ති පක්ෂපාතිත්වයකින් යුතුව වටහා ගනිති. කම්කරු රාජ්‍යය හා එහි ධනේශ්වර ‘අනුචරයන්’ අතර පවතින විලක්ෂනයක් පිලිබඳව ඔවුහු ඉඳුරා දැනුවත්ව සිටිති.”22 එහෙත් ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී දකුනට යන්නන්ටම නෛසර්ගික වූ ලොමු දැහැගන්වන සුලු වේගයකින් මෝරෝ එහි මුලුමනින් පිලිමල් දෘෂ්ටිය කරා දෝලනය විය. 1946 දී නාසීන් පරදවා සෝවියට් හමුදා ලැබූ ජය, යුරෝපාකරයේ ජනයා රැඩිකලීකරනය කිරීමට දායක වීය යන්න පිලිබඳ එස්ඩබ්ලිව්පීයේ අවධාරනය හෙලා දුටු ඔහු, “සෝවියට් සංගමය ආරක්ෂා කිරීම සඳහා අප ලබා දුන් සියලු හේතූන් වියැකී ගොස් ඇතැ”යි තර්ක කලේය.23

ඉහතදී සෝවියට් සංගමය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනු ලදුව, මේ වනවිට එම ප්‍රතික්ෂේපය “කොමියුනිස්ට් ඒකාධිපතිවාදයට” එරෙහිව ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ අරගලයට පලකෙරෙන පූර්න සහායක් බවට වේගයෙන් පරිනාමනය වෙමින් පැවති, ෂැට්මන්වාදීන් සමඟ දේශපාලනිකව යලි එකමුතුවීම සඳහා මෝරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවය කැඳවීමක් කලේය. හතරවැනි ජාත්‍යන්තරය හා එස්ඩබ්ලිව්පීය බලගතු ලෙස හා නිවැරදි ලෙස මොරෝ හා ගෝල්ඞ්මන්ගේ දිරිසුන් ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කලේය.

යුරෝපයේ සිදුවීම් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු “නිවැරදි මාවතක්” පිලිබඳ තර්කවල පරිනාමය, හුදු වියුක්ත බුද්ධිවිෂයක අනුශාසනා සම්බන්ධ කාරනයක් නොවීය. පශ්චාත්-යුද දේශපාලන අර්බුදයේ ප්‍රතිවිපාක අවිනිශ්චිතව පැවැති, වඩාත්ම ගලා යන සුලු හා අස්ථායී තත්වයක් තුල ට්‍රොට්ස්කිවාදීහු එම තත්වයේ විප්ලවවාදී විභවයට පරිපූර්න ප්‍රකාශනයක් ලබා දීමට තැත් කලහ. ඔවුන් තම කටයුතු පදනම් කලේ ධනපති ක්‍රමයේ ප්‍රතිස්ථාපනය නොවැලක්විය හැකිය යන නිගාමී උපකල්පනයක් මත නොවේ. හිට්ලර් බලයට ඒමට පෙර පැවැති බැරෑරුම් හෝරාවන්හි දී, තත්ත්වය “අපේක්ෂාවිරහිත”දැයි ට්‍රොට්ස්කිගෙන් අසන ලදී. ඔහු පිලිතුරු වශයෙන් කීවේ, එම වචනය විප්ලවවාදීන්ගේ වාග්මාලාවේ නොමැති බවයි. “අරගලය එය තීරනය කරනු ඇතැ”යි ට්‍රොට්ස්කි නිවේදනය කලේය. පශ්චාත් යුදකාලීන යුරෝපයේ පැවැති කැලඹීම හා අවුල්ජාලය මධ්‍යයේ විප්ලවවාදී අභිප්‍රාය “අපේක්ෂාවිරහිත” බවත්, ධනපති ක්‍රමයේ පුනස්ථාපනය නොවැලැක්විය හැකි බවත් කියාසිටියවුන්හට ද දිය යුතුව තුබුනේ එම පිලිතුරමය. ඉදින් මොරෝ හා ගෝල්ඞ්මන්ගේ උපදෙස් පරිදි ඔවුන් කල්තබා පරාජය පිලිගත්තාහු නම්, ට්‍රොට්ස්කිවාදීන් ධනේශ්වර පුනස්ථාපනයට ආධාරකාරී වූ එක් සාධකයක් බවට පත් වනු ඇත.

කොයි ලෙසින් සැලකුවත්, දෙවැනි ලෝක යුද්ධයේ අවසාන අදියරවල හා එහි ක්ෂනික ඉක්බිත්තේ යුරෝපයේ හා ජාත්‍යන්තරව පැවැති වෛෂයික තත්වය පිලිබඳ මෝරෝගේ විශ්ලේෂනය, ලෝක ධනවාදය මුහුන දෙමින් සිටි අර්බුදයේ ගැඹුර හා එහි පරිමානය අතිශයින්ම අවතක්සේරු කලේය. 1947 දී මාෂල් සැලැස්ම හඳුන්වා දීමෙන් පසු යුරෝපයේ ධනවාදය අවසානයේ ස්ථාවර වීය යන නිසැක සත්‍ය කරුන විසින්, ලෝක යුද්ධය අවසානයට පත් වෙමින් පැවතියදී හතරවැනි ජාත්‍යන්තරය ඉදිරිපත් කල ඉදිරි දර්ශනය අවලංගු කෙරුනේ නැත. බටහිර හා මධ්‍යම යුරෝපයේ ධනේශ්වරය එහි ෆැසිස්ට්වාදී කෲරකම්වලින් මුලුමනින්ම අපකීර්තියට පත්ව දේශපාලන බිඳවැටීමකට මුහුනපා සිටි තතු තුල, බලය අල්ලා ගැනීමට කම්කරු පන්තියට පැවැති විභවය කෙතෙක් වීද යත්, ඒවා සමඟ සැසඳීමේ දී පලමුවන ලෝක යුද්ධයෙන් පසු ඉදිරිපත් වූ එවන් අවස්ථා හුදු අඟුටුමිට්ටෙකු සේ පෙනී යනු ඇත. ප්‍රන්සයේ ද ඉතාලියේ ද කම්කරු ජනයා සන්නද්ධව, ධනපති පන්තිය සමඟ අවසාන ගනුදෙනු බේරා ගැනීමක් සඳහා නොමඳ උද්‍යෝගයකින් හා අපේක්ෂාවකින් යුතුව පසු වූහ. ප්‍රශ්නය වූයේ විප්ලවවාදී තත්වයක් “වෛෂයික වශයෙන්” නොපැවතීම නොවීය. මහජනයාගේ මනෝභාවයන් අත්‍යන්ත ලෙස සටන්කාමීව ඇති බැව් සියලු ශූර ධනේශ්වර මූලොපායාඥයන්ට ප්‍රත්‍යක්ෂව තිබින. පසුකලෙක එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා බවට පත් වූ ඩීන් ඇචසන් මෙම අර්බුදය විස්තර කලේ, “බයිබලයේ උත්පත්ති කථාවේ පලමුවන පරිච්ඡේදයේ දැක්වෙන තතු වලට ද වඩා ඇතැම් ආකාරයන්ගෙන් බැරෑරුම්” තත්වයක් ලෙසය.24 ජනාධිපති රූස්වෙල්ට්ගේ විශේෂ සහකාර හැරී හොප්කින්ස් වෙත යැවූ මෙමෝපතකින් ඇචසන්, යුරෝපාකරය පුරා වහා සිදුවන්නට යන මහා රුධිර ගලනයක් පිලිබඳව අනතුරු ඇඟවීය. “නිදහස් කොට ගත් රටවල ජනයා ලෝකයේ වඩාත්ම ගිනිගන්නා සුලු ද්‍රව්‍යය වෙතැ’යි ද, .... ඔවුන් ප්‍රචන්ඩ හා කලබලකාරීයැ”යි ද ඔහු ලියා යැවීය. යුරෝපය ස්ථාවර කිරීමේ මං සොයා නොගතහොත් උත්සන්න වන “කැලඹිලිකාරීත්වය හා නොසන්සුන්බව”, “ආන්ඩු පෙරලා දැමීම කරා” මඟ පෑදිය හැක.25

මාෂල් සැලැස්මේ හා සීතල යුද්ධයේ ප්‍රභවයන් පිලිබඳව මෑතකදී පල කෙරුනු පොතක ඉතිහාසඥ බෙන් ස්ටීල් මෙසේ ලියයි:

මහජනයාට ද දේශපාලන වෙනස අවශ්‍ය විය. යුරෝපය පුරා කොමියුනිස්ට් පක්ෂ ධනවාදයට රැඩිකල් විකල්පයක් ලබාදීම පිලිබඳ ප්‍රතිඥා දෙමින් සිටියෝය. ඉතිහාසය ඔවුන්ගේ පැත්තේ බැව් පෙනෙන්නට තිබින. සෝවියට් සංගමය යුද්ධයෙන් ජයග්‍රහනය කර සිටි අතර දැන් එය අවිවාදිත ලෙසම, එම මහාද්වීපයේ වඩාත්ම බලගතු රට විය. 1945-1946 කාල පරිච්ඡේදයේ දී කොමියුනිස්ට්වරු ඉතාලියේ දී ඡන්දවලින් සියයට 19 ක් ද, (කොමියුනිස්ට් පක්ෂයේ මොනෝ පෙකලා අගමැති ධුරයට පත්) ෆින්ලන්තයේ දී සියයට 24 ද, ප්‍රන්සයේ දී සියයට 26 ක් ද ලබා ගත්තෝය. තවද, 1949 ට පෙර ජර්මනිය (බටහිර) තුල කිසිදු ජාතික මැතිවරනයක් නොපැවතුනු නමුදු, ඇතැම් ප්‍රාදේශීය මැතිවරනවලදී කොමියුනිස්ට්වරු සියයට 14 දක්වා ඡන්ද ලබාගත්හ. සමාජවාදීන් සමඟ එකට ගත් කල ඉතාලියේ මුලු වාමාංශික ඡන්ද ප්‍රතිශතය සියයට 39 ක් ද, ප්‍රන්සයේ දී එය සියයට 47 ක් ද විය. විප්ලවවාදී වම ඉතාලියේ පාලනය ගැනීමට නියමිතව සිටිතැයි බොහෝ දෙනා විශ්වාස කලෝය. ජර්මනියේ සෝවියට් කලාපවල වාමාංශික පක්ෂ ඒකාබද්ධ වීම වඩාත් පුලුල් යුරෝපයක් සඳහා අච්චුවක් වන සෙයක් පෙනෙන්නට තිබින.26

කම්කරු පන්තිය රඳවා තබා ගැනීමේ, බලගතු කැරලිකාරී ආවේගයන් මැඩ පැවැත්වීමේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයටත් භීතියෙන් මුසපත් යුරෝපයේ ප්‍රභූන්ටත් ධනේශ්වර පාලනය ගලවා ගැනීමට අවශ්‍යව තුබූ කාලය ලබාදීමේ දී තීරනාත්මක සාධකය වූයේ, අන් සියල්ලටම වඩා, ස්ටැලින්වාදී පක්ෂවල නායකත්වයයි. ඉතාලියේදී ස්ටැලින්වාදී නායක පල්මිරෝ ටොලියත්තිගේ කාර්යභාරය තීරනාත්මක විය. එම වකවානුව පිලිබඳ මෑත කාලින අධ්‍යයනයක මෙසේ පල වෙයි:

පීසීඅයිය (පාර්ටිටෝ කොමියුනිස්ටා ඉටැලියානෝව) නව බලපෑමක් යොදමින් ස්වයංසිද්ධ ක්‍රියාකාරිත්වයන් වලකා ලීමට කටයුතු කරනු ඇතැයි යන ස්ටැලින්වාදී නායකත්වයේ විශ්වාසය නොතැන්හි රැඳවූවක් නොවීය. පැවැති කැලඹිලිකාරී හා පුපුරා යන සුලු පවා තතු තුල, ප්‍රතිරෝධයේ කාල පරිච්ඡේදයේ දී පක්ෂය තුල නිරතුරුව මතුව ආ විප්ලවකාරී පෙලඹවීම් බොහෝදුරට පාලනය කොට රඳවා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ ටොලියත්ති වෙතය. උතුරු ඉතාලිය නිදහස් කර ගැනීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, සිවිල් යුද්ධයක් ඇතිවීම වැලැක්වීමෙහි ලා ඔහු ඉටු කල කාර්යභාරය අවතක්සේරු නොකල යුතුය. ප්‍රතිරෝධයේ දිනවලදී පක්ෂය තුලින් නිරතුරුව යලියලිත් මතු වෙමින් පැවැති විප්ලවකාරී ආවේශය දමනය කලේ, ටොලියත්තිගේම ප්‍රයත්නයන්ට පින්සිදුවන්නටය.27

විප්ලවවාදී ලෙස ධනපති රාජ්‍යය පෙරලා දැමීම සඳහා පීසීඅයි සාමාජිකත්වයෙන් මතු වූ ඉල්ලීම්වලට එරෙහිව ටොලියත්තිගේ විරුද්ධත්වය පිලිබඳ සුවිශද වාර්තාවක් ඉතිහාසඥ පෝල් ජින්ස්බෝර්ග් ගෙන එයි:

සැලර්නෝ කරා සම්ප්‍රාප්ත වීමෙන් පසු ටොලියත්ති, ඒකාන්ත විශ්මයක් හා යම් විරුද්ධත්වයක් ද මධ්‍යයේ, ආසන්න අනාගතයේ පක්ෂය අනු යා යුතු යැයි ඔහු අදහස් කරන මූලෝපාය සිය සහෝදරවරුන්ට සංක්ෂිප්තව දැක්වීය. කොමියුනිස්ට්වරුන්, රාජාන්ඩුව කෙරේ නිරතුරුව ප්‍රකාශිත සිය විරුද්ධවාදීත්වය කලකට අත්හිටුවිය යුතුයැයි ඔහු පැවසීය. ඒ වෙනුවට ඔවුන්, ඒ වනවිට ඉතාලියේ සැලර්නෝවලට දකුනින් පිහිටි සියලු ප්‍රදේශ පාලනය කරමින් සිටි රාජකීය ආන්ඩුවට එකතු වීමට සියලු ෆැසිස්ට් විරෝධී බලවේග නම්මා ගත යුතු විය. ආන්ඩුවට එක්වීම එම කාල පරිච්ඡේදයේ අන් සියල්ලටම ඉහලින් පිහිටි අභිප්‍රාය - එනම්, නාසීන් හා ෆැසිස්ට්වරුන් ඉදිරියේ ජාතික එකමුතුව - සාක්ෂාත් කිරීමේ පලමු පියවරයැයි ටොලියත්ති තර්ක කලේය. කොමියුනිස්ට්වරුන්ගේ ප්‍රමුඛ පරමාර්ථය විය යුතුව තිබුනේ සමාජවාදී විප්ලවයක් නොව, ඉතාලිය නිදහස් කර ගැනීමයි. 1944 ජූනියේ පක්ෂය සඳහා ඔහු ලියූ උපදෙස්වල ටොලියත්ති මෙය නිශ්චිතව දැක්වීය: ‘අපට අවශ්‍ය කැරැල්ල, සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී අර්ථයෙන් සමාජ හා දේශපාලන පරිවර්තන පැටවීම අරමුනු කොට ගත් එකක් නොවන බව සෑමවිටම සිහි තබා ගන්න. ඊට වඩා එහි අරමුන වන්නේ ජාතික විමුක්තිය ජය ගැනීම හා ෆැසිස්ට්වාදය විනාශ කිරීමයි. නිදහස් මහජන ඡන්ද විමසීමක් හා ව්‍යවස්ථාදායක මන්ඩලයක් මඟින් ඉතාලිය විමුක්ත වූ කල්හි, අනෙකුත් සියලු ගැටලු හෙට දින මහජනයා විසින් විසඳනු ලැබෙනු ඇත.’

මෙම අවසාන ඡේදය, ඉතාලිය තුල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කිරීම සඳහා ටොලියත්තිගේ කැපවීම හෙලිදරව් කරන්නකි. ටිටෝට මෙන්, නිර්ධන පන්තියේ ආඥාදායකත්වය සිය පක්ෂයේ කෙටි-කාලීන අරමුන බවට පත්කර ගැනීමේ අභිප්‍රායක් ඔහුට නොතිබින. එමෙන්ම පූර්ව-ෆැසිස්ට් සමයේ පැවැති ආකාරයේ පාර්ලිමේන්තු තන්ත්‍රයක් සරල ලෙස යලි ස්ථාපනය කිරීම ද ඔහුගේ අභිප්‍රාය නොවීය.28

ප්‍රන්සයේ දී, කොමියුනිස්ට් පක්ෂය හා ස්ටැලින්වාදීන් නායකත්වය දුන් සීජීටීය මඟින් පාලනය වූ වෘත්තීය සමිති ද ඊට නොදෙවෙනි ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරයක් ඉටු කලෝය. කොමියුනිස්ට් පක්ෂය ප්‍රන්ස ධනපති ක්‍රමය පෙරලා දැමීමට නැඹුරුවන්නේ නම්, එකී තර්ජනය ගෙන ඒමට තරම් ප්‍රමානවත් බලයක් එය සතුව තුබූ බව හඳුනා ගත් ඇමරිකානු රාජ්‍ය දූතයෝ එහි ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂනය කලෝය. ස්ටැලින්වාදීහු එක්සත් ජනපදයේ උපායට කර දුන්හ:

ජාත්‍යන්තර සංහිඳියාවේ හා අභ්‍යන්තර දේශපාලන සන්ධානගතවීමේ කොමියුනිස්ට් පක්ෂයේ මූලෝපාය අනුයමින්, සීජීටීයේ නායකයෝ හා තනි තනි කොමියුනිස්ට් පාක්ෂිකයෝ 1945 සිට 1947 දක්වා ඇමරිකානු නිලධරයන් සමඟ සම්බන්ධතා වගාදිගා කර ගත්හ. සීජීටීයේ කොමියුනිස්ට් පාක්ෂික නිලධාරීන් ඇමරිකානුන්ට අත පුරවා තොරතුරු ලබා දුන් අතර, ඉන් බොහොමයක් දිරි ගන්වන සුලු ඒවා විය. සමාජවාදය කරා ක්ෂනික සංක්‍රමනයක් අපේක්ෂා නොකල සීජීටීය, ප්‍රතිරෝධය සඳහා වූ ජාතික කවුන්සිලයේ සීමාසහිත අරමුනුවලට සහාය දුන්නේය. සීජීටීය කුඩා ව්‍යාපාරවල ආරක්ෂකයා වූ අතර, ඉහල නිෂ්පාදනයක් සඳහා වූ සටන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිෂ්ඨාව ලෙස පැවතුනි. “අපේ ජනතාව විසින් පාලනය කෙරෙන” කම්හල් හෝ වරායවල කිසිදු වර්ජනයක් ඇති නොවනු ඇත.29

යටත්විජිත සියල්ලම පාහේ සිසාරා ඇවිල ගිය අධිරාජ්‍ය-විරෝධී අරගලවල ප්‍රසාරනය වෙමින් පැවැති රැල්ල මඟින් වැඩි දුරටත් තීව්‍ර කෙරුනු යුරෝපයේ පැවැති පුපුරනසුලු තත්ත්වයේ සන්දර්භය තුල හතරවැනි ජාත්‍යන්තරය තුල සිය වැඩපිලිවෙල හා උද්ඝෝෂන ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වලට සීමා කරගත යුතුය යන මෝරෝගේ බලකිරීම සේවය කල හැකිව තිබුනේ එකම අභිමතාර්ථයකට පමනෙකි. ඒ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය ස්ටැලින්වාදීන් විසින් පාවාදෙනු ලැබීමට හා ධනවාදයේ ප්‍රතිස්ථාවරකරනයට ට්‍රොට්ස්කිවාදීන්ගේ සහාය ලබාදීම විනා අනෙකකට නොවේ.

2014 දී “විප්ලවවාදී කාල පරිච්ඡේදයක මූලෝපාය හා උපායන්: එ.ජ. ට්‍රොට්ස්කිවාදය හා යුරෝපා විප්ලවය, 1943-1946” මැයෙන් සයන්ස් ඇන්ඞ් සොසයිටි ජර්නලයේ පල කෙරුනු නිබන්ධයකින් මෝරෝ-ගෝල්ඞ්මාන් ප්‍රවනතාවය මුලු වැර යොදා ආරක්ෂා කිරීමට ඉතිහාසඥයන් වන ඩැනියෙල් ගයිඩෝ හා වෙලියා ලුපරෙලෝ ඉදිරිපත් වී ඇත. එම නිබන්ධයේ මාතෘකාව ප්‍රශ්නකාරී එකකි; මන්දයත්, ගයිඩෝ හා ලුපරෙලෝ විසින් අනුමැතිය දෙනු ලබන මෝරෝගේ තර්කයේ සාරය වනුයේ, විප්ලවවාදී තත්වයක් නොපැවැත්තේය යන්න වන හෙයිනි. එස්ඩබ්ලිව්පීය හා හතරවැනි ජාත්‍යන්තරය, ”අද දින ‘වෛෂයිකව විප්ලවවාදී‘ තත්වයක් පවතින බවට වන සංකල්පයේ සෑම අංශුමාත්‍රයක්ම” බැහැර කර දැමිය යුතුය යන මෝරෝගේ ඉල්ලීමට අනුමැතිය දෙමින් ඔවුහු එය උපුටා දක්වති.30 හතරවැනි ජාත්‍යන්තරය තුල විවාදය පිලිබඳව ඔවුන් සම්පාදනය කරන පක්ෂග්‍රාහී වාර්තාව මෝරෝගේ ප්‍රති-මාක්ස්වාදී හා දුර්මුඛ ඉදිරිදර්ශනය අනුමත කරයි:

ඇත්තෙන්ම මෝරෝ තර්ක කලේ, විප්ලවය යනු “සමාජ ක්‍රියාවලියේ වෛෂයික කර්තව්‍යයක්” නොවන බවට හා, යුරෝපයේ පැවැති තතු පලමු ලෝක යුද්ධ අවසානයේ පැවැති තතුවලට කිසිසේත් සංසන්දනය කල නොහැකි බවටය. “අප 1917-1923 යුගය පුනරාවර්තනය කරන්නේ නැතැ”යි මෝරෝ අනතුරු හැඟවීය. 1945 තත්වය “ඊට වඩා බෙහෙවින් පසුගාමිය”; මක්නිසාදයත්, විප්ලවකාරී මහජනයාට බෝල්ශෙවික් විප්ලවය හා තුන්වැනි ජාත්‍යන්තරය වැනි රාශිකරන නිමිත්තක් නොමැති තතු තුල, විප්ලවවාදී පක්ෂවල වර්ධනය අතිශය මන්දගාමී වූ අතර, එබැවින් සමස්ත ක්‍රියාදාමය බෙහෙවින් වැඩි කාලයක් දිග්ගැසෙනු ඇත.31

එහෙත් බෝල්ශෙවික් විප්ලවය හා තුන්වැනි ජාත්‍යන්තරය මතු වී ආවේ කොතැනින්ද? ලෙනින් හා ට්‍රොට්ස්කි 1917 වර්ෂය පුරාම නියැලී සිටියේ මෙන්ෂේවිකයන් ද, තත්වය විප්ලවවාදී නොවන බව හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිලිවෙලේ සීමාවන්ගෙන් ඔබ්බට යාමේ ශක්‍යතාවයක් නොමැති බව කියා සිටි බෝල්ශෙවික් පක්ෂය තුලම සිටියවුන් ද සමඟ නිර්දය අරගලයකය. වෛෂයික තතු තුල ගැබ් වූ විප්ලවවාදී ශක්‍යතාවය පූර්න ලෙස ප්‍රකාශයට පත්වීම කරා ගෙන ඒමට බෝල්ශෙවිකයෝ සටන් කලෝය. මෝරෝගේ පරාජකවාදයට යටින් පැවැති අඩපන කරන සුලු හා ස්වයං-විසංවාදී විතන්ඩවාදය, ගයිඩෝ හා ලුපරෙලෝ කිසිසේත් සඳහන් නොකරති. තත්වය වෛෂයිකව විප්ලවකාරී නොවන හෙයින් සමාජවාදී විප්ලවය සඳහා සටන් කිරීම නොකල හැක්කකි. එහෙත් තත්වය විප්ලවකාරී නොවන්නේ විප්ලවවාදී ක්‍රියාකාරිත්වය සඳහා “රාශිකරන නිමිත්තක්”නොමැති හෙයිනි.

න්‍යායික ස්ථාවරයක සිට සලකා බැලූ කල, ගයිඩෝ හා ලුපරෙල්ලෝ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති තර්කවල අලුත් යමක් නොමැත. ඔවුන් බොහෝදුරට අනුයන්නේ, දශක හතරකට ඉහතදී පල වූ නිබන්ධන දෙකක් මඟින් ඉදිරිපත් කොට තිබුනු, ට්‍රොට්ස්කිවාදය පිලිබඳ අවශ්‍යයෙන්ම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී වූ විචාරයකි: එනම්, ජෙෆ් හොජ්සන්ගේ “ට්‍රොට්ස්කි හා දෛවවාදී මාක්ස්වාදය” නම් 1975 නිබන්ධනය හා පීටර් ජෙන්කින්ස්ගේ “ට්‍රොට්ස්කිවාදය මංමුලා වූයේ කොතැනකදී ද: දෙවැනි ලෝක යුද්ධය හා යුරෝපා විප්ලවය” නම් 1977 නිබන්ධනයයි. බොහෝදුරට එඩුවාර්ඞ් බර්න්ස්ටීන්ට සමාන හඬකින් හොජ්සන් කියාසිටියේ, නිර්දය ආර්ථික ප්‍රකෘතියේ, ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමේ, අන්තර්-අධිරාජ්‍ය යුද්ධවල හා සමාජවාදී විප්ලවයේ අවධියක් ලෙස යුගය පිලිබඳව ට්‍රොට්ස්කිට පැවැති සංකල්පය මූලිකවම සාවද්‍ය බවයි. ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරයට පවරා දුන්නේ, අර්බුදය පිලිබඳ අතිශයෝක්තියට නංවන ලද හා යථාරූපී නොවූ අවධාරනයකි. මෝරෝ මෙම සාවද්‍ය ඉදිරි දර්ශනයට අභියෝග කලේයැයි හොජ්සන් ලිවීය:“එහි ප්‍රතිඵලයක් ලෙස, මෝරෝ හා අන්‍යයෝ එස්ඩබ්ලිව්පීයෙන් පන්නා දමන ලදහ.”32

හොජ්මන් අනුයමින් ජෙන්කින්ස් ද හතරවැනි ජාත්‍යන්තරයේ “විප්ලවවාදී විනාශකාරිත්වයට” අභියෝග කිරීම සම්බන්ධයෙන් හා “යුරෝපයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්‍යතාවය හා කම්කරු පන්තිය මධ්‍යයේ පවතින ප්‍රතිසංස්කරනවාදී අදහස්වල ශක්තිය අවතක්සේරු කිරීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල පවතින සංගත ප්‍රවනතාවයක්” පිලිබඳ මුල් කාලයේම විචාරයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෝරෝ ප්‍රශංසාවට ලක් කලේය.33 සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපාරයක් බවට තමා පරිවර්තනය කර ගැනීමට අසමත් වූ හෙයින් ට්‍රොට්ස්කිවාදය “මංමුලා වීයැ”යි ජෙන්කින්ස් නිගමනය කලේය.

ගයිඩෝ හා ලුපරෙලෝ ද සාරය වශයෙන් ගත් කල එම නිගමනයටම එලැඹුනේ, මෝරෝ හා ගෝල්ඞ්මන් පරාජය කිරීම නිසා, “එස්ඩබ්ලිව්පී නායකත්වය හා හතරවැනි ජාත්‍යන්තරයේ යුරෝපා ලේකම් මන්ඩලය විසින් ඊට අනුකූල ලෙස අනුයන ලද පිලිවෙත්වල; එනම්, ට්‍රොට්ස්කිවාදය ශත වර්ෂයේ වැඩි කොටසක් පුරා දේශපාලන බෙලහීනත්වයට හෙලීමට ආධාරකාරී වනු ඇති පිලිවෙත්වල, ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කවර හෝ බැරෑරුම් විශ්ලේෂනයක් ඇතිවීම අවහිර කෙරුනු බවට” තර්ක කරමිනි.34 “දේශපාලන බෙලහීනතාව” යන්නෙන් ගයිඩෝ හා ලුපරෙලෝ සැබැවින්ම අදහස් කලේ කුමක්ද? ඔවුන්ගේ විතර්කයේ රාමුව තුල එහි අර්ථය විය හැක්කේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදී සංවිධානයක දේශපාලන ව්‍යක්තිය හා වැඩ පිලිවෙල යොදා ගත යුතුව තිබූ බැව් පමනෙකි. ධනේශ්වර පාර්ලිමේන්තුවාදයේ රාමුව තුල ආනුභාවය අත්පත් කර ගැනීම මඟින් එය “දේශපාලන බෙලහීනත්වයෙන්” වැලකී සිටිය යුතු ව තිබින.

1940 දී, සුලුතර කන්ඩායමේ විතර්ක විශ්ලේෂනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කරයි:“ෂැට්මන්ට සොච්චම් දෙයක් - එනම්, ඔහුගේ පන්ති ආස්ථානය - අත හැරී ඇත.”35 එම “සොච්චම”ම ගයිඩෝ ලුපරෙලෝ නිබන්ධනයේ ද අත හැරී ගොස් තිබින. මෝරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවයේ සැබෑ පන්ති ස්වභාවය පිලිබඳ - එනම්, වෛෂයික සමාජ-දේශපාලන ගමන් පථය පිලිබඳ - කවර හෝ සලකා බැලීමක් කොහෙත්ම දක්නට නොතිබින. මෝරෝ හා ගෝල්ඞ්මන් කථා කරන්නේ කවර පන්තියක උත්සුකයන් වෙනුවෙන්ද? නිබන්ධය එම අවශ්‍යම ප්‍රශ්නයට කිසිසේත් යොමු නොවේ. විශේෂයෙන්ම වසර ගනනාවක් පුරා මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ භාරදූර විද්වත් කටයුතුවල නියුක්තව සිට ඇති මහාචාර්ය ගයිඩෝ සම්බන්ධයෙන් සැලකූ කල මෙය කනගාටුදායක මඟ හැරී යාමකි. සාමාන්‍යයෙන් හෘදය සාක්ෂ්‍යයට අනුව කටයුතු කරන මෙම විද්වතා ඔහුගේ නිබන්ධනයේ ජෝසෆ් වෙබර්ගේ “නිබන්ධන තුන” හා අයිකේඩීය පිලිබඳව දක්වා ඇත්තේ ලුහුඬු සඳහනක් පමනක් වන අතර, ෆීලික්ස් මෝරෝ මත එහි තීරනාත්මක බලපෑම කෙරේ ඔහු අවධානය යොමු නොකරයි. ඊට ද වඩා ආරක්ෂා නොකලැකි දේ වන්නේ මෝරෝ, ගෝල්ඞ්මන් හා වොන් හෙයනූර්ගේ දේශපාලන පරිනාමය කෙරේ ගයිඩෝ දක්වන නොසැලකිලිමත් ආකල්පයයි.

මෝරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවයේ සියලු ප්‍රමුඛ නියෝජිතයෝ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය අත්හැර යමින්, සමාජවාදී දේශපාලනය හැර පියා, දේශපාලනිකව තියුනු ලෙස දකුනට හැරුනෝය. පැහැදිලිවම මෙම පරිනාමය තාර්කිකව වර්ධනය වූයේ කන්ඩායම් අරගලය තුල ඔවුන් ඉදිරිපත් කොට තුබුනු ආස්ථානයන්ගෙනි. ඔවුහු සියල්ලෝම අඩුවැඩි වශයෙන් ජේම්ස් බර්න්හැම්ගේ ගමන්මඟ අනුගමනය කලෝය. වොන් හෙයනූර් හතරවැනි ජාත්‍යන්තරය අත්හැර දමා, සෝවියට් සංගමය “වහල් රාජ්‍යයකැ”යි හෙලා දැක, සමාජවාදී දේශපාලනය සමඟ ඔහුගේ වූ පෞද්ගලික සම්බන්ධතාවය අවසන් කල අතර සුප්‍රකට ගනිතඥයෙක් බවට පත් වූයේය. ගෝල්ඞ්මන් එස්ඩබ්ලිව්පීය හැර දමා කෙටි කලක් ෂැට්මන්වාදී ව්‍යාපාරයට බැඳී සිටි අතර, වැඩි කල් නොයවාම මාක්ස්වාදය ප්‍රතික්ෂේප කලේය. 1946 දී එස්ඩබ්ලිව්පීයෙන් නෙරපා දැමීමෙන් ඉක්බිති මෝරෝ සමාජවාදී දේශපාලනය අත්හැර දමා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ශීතල යුද්ධයට සහයෝගය දුන් අතර, ගුප්ත සාහිත්‍යය ප්‍රකාශයට පත් කරන ධනවත් ප්‍රකාශකයෙක් බවට පත්විය.

1976 නොවැම්බරයේ දී, ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් පර්යේෂනයේ යෙදී සිටින අතරතුර, මම ෆීලික්ස් මෝරෝ හමුවීමි. ඒ වනවිට 71 වස් වියැති වූ ඔහු නිව්යෝර්ක් නගරාසන්න ප්‍රදේශයක වාසය කලේය. 1943-46 කන්ඩායම් අරගලය සිහිපත් කරමින් මෝරෝ, තමන් අතර වූ සියලු දේශපාලන වෙනස්කම් තිබියදී ම එක් තීරනාත්මක කරුනක් සම්බන්ධයෙන් කැනන් නිවැරදි වූ බව පිලිගත්තේය. මෝරෝ තවදුරටත් සමාජවාදී විප්ලවයක ශක්‍යතාවය ගැන විශ්වාස නොකලේය. තමා නෙරපා හැරීමට ප්‍රථම එස්ඩබ්ලිව්පී සාමාජිකත්වය අමතා කල අවසාන කථාවේ දී ඔහු, තමන් කිසිදා පක්ෂයෙන් වෙන් කල නොහැකියැයි කියා සිටි බැව් මෝරෝ සිහිපත් කලේය. එහෙත් රැස්වීම් ශාලාවෙන් පිටතට ආ පසුව, තම ජීවිතයේ අවධියක් නිමා වූ බව හා තමන් යලි කිසි දිනෙක සමාජවාදී දේශපාලනය තුල ක්‍රියාකාරී නොවනු ඇති බව මෝරෝ දැන සිටියේය. ඔහුට මුලුමනින්ම පාහේ දැනී ගියේ තමා කිසි දිනෙක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සාමාජිකයෙකුව නොසිටි සෙයකි. ඔහුට අතීතය පිලිබඳ යම් කනගාටුවක් ඇත්දැයි මම මෝරෝගෙන් ඇසීමි. එකක් පමනකැයි ඔහු පිලිතුරු දුන්නේය: “මගේ පොත, ස්පාඤ්ඤ විප්ලවය හා ප්‍රතිවිප්ලවය කෘතිය, සඳහා කර්තෘ භාග ලබා ගැනීමට මා කතිකා කල යුතුව තිබිනි.”

මැක්ස් ෂැට්මන් ගැන කියන්නේ නම්, 1950 වන විට ඔහු සැබැවින්ම ප්‍රති-කොමියුනිස්ට්වාදීන් වන ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති නිලධරයේ උපදේශකයෙකු විය. 1960 ගනන්වලදී ෂැට්මන් සීඅයිඒය විසින් සංවිධානය කෙරුනු 1961 කියුබාවේ බේ ඔෆ් පිග්ස් ආක්‍රමනයට ද, වියට්නාමයේ ඇමරිකානු ආක්‍රමනයට ද සහයෝගය දුන්නේය.

ෂැට්මන්, මෝරෝ, ගෝල්ඞ්මන් හා වොන් හෙයනූර්ගේ දේශපාලන පරිනාමය වඩාත් පුලුල් සමාජ ක්‍රියාවලියක කොටසක් විය. ශීතල යුද්ධ වාතාවරනය, පශ්චාත් යුද කාලීන යුරෝපා ආර්ථිකයේ ප්‍රති-ස්ථායීකරනය හා කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය නිලධාරීවාදී ගෙල සිර කිරීමට පාත්‍රවීම යන කරුනු වාමාංශික සුලු ධනපති බුද්ධිමතුන්ගේ දේශපාලන දෘෂ්ටිය කෙරේ බලපෑවේය. සාන්දෘෂ්ඨිකවාදයට ඉඩ දී මාක්ස්වාදය ඉවත් විය. පෙර කල සමාජ ක්‍රියාවලින් කෙරේ වූ යොමුවීම දැන් පෞද්ගලික ප්‍රශ්න පිලිබඳ පූර්ව නියුක්තියකින් විස්ථාපනය විය. දේශපාලන සිදුවීම් පිලිබඳව මනෝවේදී දෘෂ්ටි කෝනයකින් කෙරෙන අර්ථ නිරූපන වෙනුවෙන් විද්‍යාත්මක ඇගයීම අතහැර දමන ලදී. ආර්ථික සැලසුම්කරනයේ විභවයන් මත පදනම් වූ අනාගතය පිලිබඳ සංකල්පනය, මනෝරාජික දවල් සිහිනවලට ඉඩ දී පසෙකට විය. කම්කරු පන්තිය ආර්ථික වශයෙන් සූරාකනු ලැබීම පිලිබඳව වූ උත්සුකයන් හීන වී ගියේය. පන්ති පාලනයේ හා ආර්ථික ක්‍රමයේ ප්‍රයුක්තීන් කෙරෙන් වෙන් කොට ගත් පාරිසරික ප්‍රශ්න පිලිබඳ පූර්ව නියුක්තීන් ප්‍රමුඛත්වයට නැඟ ගත්තේය.

අයිකේඩී නායකයාගේ පරිනාමය බුද්ධිමය “ප්‍රතිගමනයේ” සමාජයීය වශයෙන් නිර්නිත ක්‍රියාවලිය විදහා දක්වන්නකි. ජෝසෆ් වෙබර් නොමැඩගත් අවමානයෙන් යුතුව පහත දැක්වෙන ලෙස ලියු එකී හතරවැනි ජාත්‍යන්තරය හා පැවැති සම්බන්ධකම් දෙපලු කර දැමීමට අයිකේඩීය කටයුතු කලේය. 1946 ඔක්තෝබර් 11 දාතම දරන ලිපියකින් වෙබර් මෙසේ කියා සිටියේය: “හතරවැනි ජාත්‍යන්තරය මිය ගොස්ය, තව ද, එය කවදාවත්ම පැවතුනේ නැත.” එය සාවද්‍ය පදනමක් මත ඉදි වී තිබිනැයි ද, එහි ලේඛන හදාරනු ලැබෙන්නේ ඒවා “දේශපාලන සාක්ෂරතාව නොමැත්තන්” සඳහා ලියන ලද පරිද්දෙනැයි ද ඔහු කියා සිටියේය.36 ඉක්මනින්ම මාක්ස්වාදී දේශපාලනයෙන් මුලුමනින් බිඳී වෙන් වූ වෙබර්, සෝවියට් සංගමය යනු රාජ්‍ය ධනවාදී සමාජයකැයි හෙලා දුටු අතර, අවසානයේ අර්ධ-අරාජකවාදී පාරිසරික මනෝරාජ්‍යවාදයේ අනාගත වක්තෘවරයෙකු බවට පත් විය.

ඔහුගේ ප්‍රධාන ශ්‍රාවකයන් අතරින් කෙනෙකු වූයේ සමාජවාදී කම්කරු පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන, 1971 දී තමා ලියූ ඡදිඑ-ීජ්රජසඑහ ්බ්රජයසිප (පශ්චාත්-විරලභාවයේ අරාජකත්වය) නම් කෘතිය ජෝසෙෆ් වෙබර්ට පිලිගැන්වූ මරේ බුක්චින් (1921-2006)ය. මාක්ස්වාදයේ කර්කශ විරුද්ධවාදියෙකු බවට පත්ව සිටි බුක්චින්, “මෙම කෘතිය තුල වර්ධනය කෙරෙන යුටෝපියානු ව්‍යාපෘතියේ දල සැලසුම් වසර විස්සකට ද වඩා ඉහත දී සූත්‍රගත කොට” තිබීම සම්බන්ධයෙන් සිය උපදේශකයාට ස්තුති කලේය.37 ධනපති ජාතිකවාදී කුර්දිෂ් කම්කරු පක්ෂයේ (පීකේකේ) නායක අබ්දුල්ලා ඕඛලන් තුර්කි ආන්ඩුව විසින් අල්ලා 1999 දී සිරගත කෙරුනු කල්හි, බුක්චින්ගේ ලේඛන ඔහුගේ අවධානයට පාත්‍ර විය. බුක්චින්ගේ ලේඛන තුලින්, “ප්‍රජාතන්ත්‍රවාදී සන්ධීයවාදය” සඳහා වූ තමාගේම යෝජනාවන් හා සැසඳෙන අදහස් සොයා ගන්නට ඕඛලන් සමත්විය. බුක්චින් අභාවප්‍රාප්ත වූ කල්හි පීකේකේය, “විසිවැනි සියවසේ විශිෂ්ඨතම සමාජ විද්‍යාඥයන් අතරින් කෙනෙකු” ලෙස ඔහුට ගෞරව පුද කලේය.38

දේශපාලනය පාලනය කරනු ලබන්නේ පන්ති උත්සුකයන්හි තර්කනය විසිනි. මේ වූ කලී, දේශපාලන කන්ඩායම් ආත්මීය උපමානයන්හි පදනම මත තක්සේරු කිරීමට යොමු වන්නන් - විශේෂයෙන්ම ශාස්ත්‍රාලීය උගතුන් - විසින් නිරතුරුව අමතක කර දමනු ලබන මූලික සත්‍යයකි. තවදුරටත්, ඔවුන්ගේ විචාර බුද්ධිය - ප්‍රධාන කොටම එය අවස්ථාවාදීන් හා විප්ලවවාදීන් අතර මතභේදයක් ඇගයීම සම්බන්ධ කරුනක් වූ කල්හි - ඔවුන්ගේම අප්‍රකාශිත දේශපාලන පක්ෂග්‍රාහීත්වයන්ගේ බලපෑමට නතුවෙයි. සුලු ධනපති ශාස්ත්‍රඥයෙකුට සාමාන්‍යයෙන් අවස්ථාවාදීන් විසින් අධිවාචනය කෙරෙන ප්‍රතිපත්තීන්, විප්ලවවාදීන් ඉදිරිපත් කරන පිලිවෙත්වලට වඩා ”යතාර්ථවාදී” සේ පෙනී යයි. එහෙත් පිවිතුරු දර්ශනවාදයක් නොපවතින්නේ යම්සේ ද, එපරිද්දෙන්ම පිවිතුරු දේශපාලනයක් ද නොපවතී. තමන් විසින් පෙරදකින ලද්දේ හෝ නොවූව ද, දේශපාලන වැඩපිලිවෙලකට වෛෂයික ප්‍රතිවිපාක පවතී. අධි-ඓතිහාසික ජාතික විමුක්තියක් හා සාර්වත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක් පිලිබඳ අයිකේඩී වැඩ පිලිවෙල සමාජවාදයට සතුරු වූ, පරිබාහිර පන්ති උත්සුකයන්හි ප්‍රකාශනයක් බවට 1940 ගනන්වල දී හතරවැනි ජාත්‍යන්තරය ද එස්ඩබ්ලිව්පීය ද නිවැරදිව හඳුනා ගත්හ.

ඔවුන්ගේ නිබන්ධනය අවසානයේ ගයිඩෝ හා ලුපරෙලෝ මෙසේ ලියති:“හතරවැනි ජාත්‍යන්තරයේ අර්බුදය ඇරඹුනේ, නිරතුරුව විවාද කෙරෙන පරිද්දෙන්, 1953 දී මයිකල් පැබ්ලෝගේ ‘ගැඹුරු ප්‍රවේශවාදී‘ උපායයන් නිසා ඇවිල ගිය මතභේදය සමඟ නොව, ඊට දස වසරකට ඉහත 1943 දී මුසෝලිනි ඇද වැටීමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ වර්ධනය වූ නව තත්ත්වයට සරිලන සේ තම උපායන් අනුගත කර ගැනීමට එස්ඩබ්ලිව්පී නායකත්වයට පැවැති නොහැකියාව සමඟය...” 39 මෙම තර්කයේ අර්ථය නම්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, 1940 ගනන්වල දී තමා විසුරුවා හල යුතුව තිබූ බවයි. යතාර්ථවාදී නොවන විප්ලවවාදී වැඩ පිලිවෙලක් දරා සිටීමේ එහි වැරදි සංකල්ප මත පදනම් වූ ප්‍රයත්නයන් එය “දේශපාලන බෙලහීනත්වයේ” ශාපයට ඇද දැමූ අතර, හතරවන ජාත්‍යන්තරය තුල පසුකාලීන අර්බුදවල ප්‍රභවය වූයේ එයයි. ගයිඩෝ හා ලුපරෙලෝ විසින් යෝජනා කෙරෙන නව ආඛ්‍යානයේ අරමුන වන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ අර්බුදවල වගකීම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දිය කර දැමීමට මං සෙවූවන් කෙරෙන් ඉවතට ගෙන එය ආරක්ෂා කිරීමේ මං සෙවූවන්ගේ කර මත පැටවීමය.

සිය මහත් දේශපාලන කීර්තියට හේතු වන පරිදි ජේම්ස් පී. කැනන්, බර්න්හැම් හා ෂැට්මන්ගේ මාවත අනුයමින් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය යටතේ “ප්‍රජාතන්ත්‍රවාදයට” යටත් විය යුතුයැයි උපදෙස් දුන් මෝරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවයට එරෙහිව ට්‍රොට්ස්කිවාදයේ ලෝක විප්ලවවාදී ඉදිරි දර්ශනය ආරක්ෂා කලේය. මෙකී යටත්වන්නන්ට එරෙහි අරගලයෙන් ඉක්බිති හතරවැනි ජාත්‍යන්තරයට තවත්, ඊට නොඅඩු ලෙස බියකරු, ප්‍රති-ට්‍රොට්ස්කිවාදී සංශෝධනවාදයේ සැඟවුනු හා කල් පවත්නා ආකාරයකට මුහුන දීමට සිදුවිය. ඒ, 1940 ගනන්වල අග භාගයේ හා 1950 ගනන්වල මුල්භාගයේ මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් ඉදිරිපත් කෙරුනු ක්‍රියාමාර්ග හා උපායයන් සමඟ බැඳුනු ප්‍රති-ට්‍රොට්ස්කිවාදී සංශෝධනවාදයටය.

ඒවායේ වැඩ පිලිවෙල හා අනුස්ථාපනය කෙතෙක් වෙනස් වුව, 1940 හා 1953 අතරතුර හතරවැනි ජාත්‍යන්තරය තුල මතු වූ සංශෝධනවාදයේ ප්‍රමුඛ ආකාරයන් දෙක (බර්න්හැම්- ෂැට්මන් හා පැබ්ලෝ - මැන්ඩෙල්) යටින් පැවැති ඓතිහාසික සංකල්ප අතර සැලකිය යුතු බැඳීමක් පැවතින. 1940 ගනන්වල හා 1950 ගනන්වල පැවැති ජාත්‍යන්තර සමාජ හා දේශපාලන තතු තුල, ෂැට්මන්වාදීන් හා (“නිබන්ධන තුනේ” කන්ඩායම ද, මෝරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවය ද) තරමක් පසු කලෙක මතු වූ පැබ්ලෝවාදී සංශෝධනවාදය ද සම්බන්ධ කල අවශ්‍යම දේශපාලන සංකල්පය වූයේ, කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ප්‍රතික්ෂේප කිරීමයි. මෙකී ප්‍රතික්ෂේපය අත්පත් කර ගත් නිශ්චිත රූපාකාරයෝ එකිනෙකින් වෙනස් වූහ. සෝවියට් සංගමය, නව පාලක පන්තියක් බවට පත් වීමේ ක්‍රියාවලියේ පසුවන - හෝ දැනටමත් එසේ පත් වී ඇති - නිලධාරී ප්‍රභූවක් මඟින් පාලනය කෙරෙන නව ආකාරයක “සාමූහිකවාදී” සමාජයක් නියෝජනය කරතැයි ෂැට්මන් හා බර්න්හැම් සමපේක්ෂනයෙහි යෙදුනාහ. ෂැට්මන්වාදී න්‍යායෙහි ප්‍රභේද්‍යයක් වූයේ සෝවියට් සංගමය “රාජ්‍ය ධනවාදයේ” රූපාකාරයක් වූ බවයි. “නිබන්ධන තුනේ” කන්ඩායම එලැඹි, පසුව මෝරෝ-ගෝල්ඞ්මන් ප්‍රවනතාවය විසින් ද අනුයන ලද නිගමනය වූයේ, සමාජවාදී විප්ලවය යනු ඓතිහාසිකව අසාර්ථකත්වය හිසේ කොටා ගත් එකක් බවයි.

1940 ගනන්වල අවසාන භාගයේ මතු වූ පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ සංශෝධන හරහා ට්‍රොට්ස්කිවාදය අතහැර දැමීම, නොගැඹුරු සාටෝප වාම අලංකාරෝක්තිවලින් ආවරනය කොට ඉදිරිපත් කෙරිනි. එහෙත් ඔවුන්ගේ ඉදිරිදර්ශනය තුල, සමාජවාදය ගොඩනැඟීමේ ප්‍රධාන බලවේගය වූයේ කම්කරු පන්තිය නොව ස්ටැලින්වාදී නිලධරයයි. පැබ්ලෝවාදී න්‍යාය ෂැට්මන්වාදී න්‍යායේ අමුතුම අපවර්තනයක් විය. ෂැට්මන්වාදීන් ස්ටැලින්වාදී තන්ත්‍රය නව ආකාරයක සූරාකෑමේ “නිලධාරිවාදී සාමූහිකවාදී” සමාජයක උත්පාදකයා ලෙස හෙලා දුටු අතර, පැබ්ලෝවාදී ප්‍රවනතාවය දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති නැගෙනහිර යුරෝපයේ ගොඩනඟන ලද නිලධරවාදී ස්ටැලින්වාදී තන්ත්‍රයන් හඳුන්වා දුන්නේ ධනපති ක්‍රමයේ සිට සමාජවාදී ක්‍රමය කරා ඓතිහාසිකව සංක්‍රමනයවීමේ අත්‍යවශ්‍ය ආකෘතිය ලෙසය. මේ සියලු ප්‍රවනතාවයෝ, එකඑකක් තමාගේම ක්‍රමයට, තම දේශපාලන ඉදිරිදර්ශනය පදනම් කලේ, කම්කරු පන්තියේ විප්ලවවාදී නොවන කාර්යභාරය මතය. එය ඓතිහාසික ක්‍රියාවලියේ තීරනාත්මක තබා, ක්‍රියාකාරී හෝ බලවේගයක් බවට පත් වීම අහෝසි වී ඇත.

පැබ්ලෝවාදී සංශෝධනවාදය යටින් පැවැති - යමෙකු නෂ්ඨාපේක්ෂාව ලෙස පවා විස්තර කිරීමට ඉඩ ඇති - අසාරදර්ශනය, 1951 තුන්වැනි ලෝක සම්මේලනයට පෙරාතුව වර්ධනය කෙරුනු එහි “යුද-විප්ලව” න්‍යාය තුල තම පරිසමාප්ත ප්‍රකාශනය අත්පත් කර ගත්තේය. “අපේ ව්‍යාපාරය සඳහා වෛෂයික සමාජ යථාර්ථය සමන්විත වන්නේ ඉඳුරාම ධනේශ්වර තන්ත්‍රයෙන් හා ස්ටැලින්වාදී ලෝකයෙනැ”යි පැබ්ලෝවාදී ලේඛනය නිවේදනය කලේය. සමාජවාදය සඳහා සටන මෙම කඳවුරු දෙක අතර ඇතිවන යුද්ධයක ආකාරය අත්පත් කර ගනු ඇති අතර, ස්ටැලින්වාදී පද්ධතිය එයින් ජයග්‍රාහකයා ලෙස මතු වනු ඇත. තාප-න්‍යෂ්ටික යුද්ධයක අලු මතින් නැගෙමින් ස්ටැලින්වාදීන් - දැනටමත් නැගෙනහිර යුරෝපයේ පවතින ඒවාට සමාන වූ - “විකෘති කම්කරු රාජ්‍ය” බිහි කරනු ඇති අතර, ඒවා ශතවර්ෂ ගනනාවක් පවතිනු ඇත. මෙම විස්මයාකාර හා අශෝභන සිද්ධිදාමය තුල කම්කරු පන්තියට හෝ හතරවැනි ජාත්‍යන්තරයට කිසිදු ස්වාධීන භූමිකාවක් නොතිබින. ස්ටැලින්වාදී පක්ෂ තුලට ඇතුලු වී ඒවා තුල වාම බලපෑම් කන්ඩායම් ලෙස කටයුතු කිරීමට එහි කේඩරයන්ට උපදෙස් දෙන ලදී. මෙම දියකරහැරීම්වාදී ඉදිරි දර්ශනය ස්ටැලින්වාදී පක්ෂ තුලට ඇතුලුවීමට පමනක් සීමා නොවීය. මෙම වෙලුමේ 15 වන පරිච්ඡේදයේ පැහැදිලි කෙරෙන පරිදි:

ස්ටැලින්වාදයට අනුගතවීම නව පැබ්ලෝවාදී දැක්මේ ප්‍රමුඛ විශේෂාංගයක් විය. එහෙත් එය එහි සාරාත්මක ගුනාංගය ලෙස දැකීම දෝෂයක් වනු ඇත. පැබ්ලෝවාදය වූයේ (සහ වන්නේ) ඉහල සිට පහලටම දියකරහැරීම්වාදයයි: එනම්, සමාජවාදී විප්ලවය තුල නිර්ධන පන්තියේ නායකත්වය ද, කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරයේ සවිඤ්ඤානක උද්ධීරනය ලෙස හතරවැනි ජාත්‍යන්තරයේ තථ්‍යාකාරයෙන්ම ස්වාධීන වූ පැවැත්ම ද නොපිලිගැනීමයි. යුද-විප්ලව න්‍යාය, ප්‍රධාන දියකරහැරීම්වාදී නිබන්ධනයේ විස්තාරනය සඳහා ආරම්භක පසුතලය සැපයීය: ඒ අනුව, හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවන් ක්‍රියාත්මක වූ රටවල් තුල සියලු ට්‍රොට්ස්කිවාදී පක්ෂ එකී රටවල කම්කරු හෝ මහජන ව්‍යාපාරයේ ආධිපත්‍යය ඉසුලූ කවර හෝ දේශපාලන ප්‍රවනතාවයන් තුලට දිය වී යා යුතු විය.

1953 නොවැම්බරයේ ඇති වූ භේදය සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල වඩාත්ම තීරනාත්මක සිදුවීම් සමඟ එක පෙලට සිටී. පරදු තැබී තුබුනේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ - එනම්, සමාජවාදය සඳහා අරගලයේ සමස්ත උරුමයෙහි සවිඥ්ඥානක හා දේශපාලනිකව සංවිධිත ප්‍රකාශනයේ - චිරපැවැත්මට කිසිසේත් අඩු දෙයක් නොවේ. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි වඩාත්ම තීරනාත්මක මොහොතේ කැනන්ගේ “විවෘත ලිපිය”, විසිවන සියවසේ විප්ලව හා ප්‍රතිවිප්ලවයන්ගේ මූලෝපායික පාඩම්වලින් උකහා ගැනුනු ට්‍රොට්ස්කිවාදයේ පදනම් මූලධර්ම ව්‍යක්ත ලෙස පුනර්-ප්‍රකාශනය කලේය. හතරවැනි ජාත්‍යන්තරය දිය කර දැමීම යනු, අධිරාජ්‍යවාදයටත්, ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ, ධනපති ජාතිකවාදී පක්ෂ හා සංවිධානවල එහි නියෝජිතයන්ටත් එරෙහි දේශපාලනිකව සංවිධිත මාක්ස්වාදී විපක්ෂයේ අවසානය වනු ඇතිව තිබින. මේ වූ කලී සමපේක්ෂනාත්මක තර්කමාත්‍රයක් නොවේ. එය ඓතිහාසික සත්‍යයකි. තථ්‍ය වශයෙන්ම සෑම මහාද්වීපයකම රටවල් රාශියක, පැබ්ලෝවාදයේ දියකරහැරීම්වාදී පිලිවෙත් ක්‍රියාවට නැංවූ තැන්වලදී, එහි ව්‍යසනකාරී ප්‍රතිවිපාක පරීක්ෂා කර බැලීමෙන් එහි සත්‍යාසත්‍යභාවය සනාථ කර ගත හැකිය.

සෝවියට් සංගමයේ ඉරනම සැලකිල්ලට ගත් කල, පැබ්ලෝවාදී නායකයන්, ස්ටැලින්වාදී තන්ත්‍රයන් කම්මුතු වී යන තෙක්ම නිලධාරිවාදී ස්වයං-ප්‍රතිසංස්කරනය පිලිබඳ න්‍යායට ආසක්තව සිටි බව සිහිපත් කල යුතුය. ජාත්‍යන්තර කමිටුව, 1986 තරම් ඉහත දී, මිඛායෙල් ගෝර්බචොෆ් බලයට පත්වීම හා ඔහුගේ පෙරස්ට්‍රොයිකා ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැංවීම විසින් සෝවියට් සංගමයේ ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීමෙහි ලා අවසාන සූදානම් කිරීම් සනිටුහන් කෙරෙන බවට අනතුරු හඟවන අතරතුරදී, පැබ්ලෝවාදීහු ඔහුගේ ප්‍රතිගාමී ප්‍රතිපත්ති සමාජවාදය දෙසට තැබූ තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස හඳුන්වමින්, ඒවාට කීර්ති ප්‍රශංසා පිදූහ. 1988 දී අර්නස්ට් මැන්ඬේල් ගොර්බචොෆ් පිලිබඳව විස්තර කලේ “විශිෂ්ඨ දේශපාලන නායකයෙකු” ලෙසය. ගොර්බචොෆ්ගේ පිලිවෙත් ධනවාදයේ පුනස්ථාපනයට මඟ හෙලි කරතැයි යන අනතුරු ඇඟවීම “අභූතයෙකැ”යි බැහැර කරමින් මැන්ඩෙල් නිවේදනය කලේ, “ස්ටැලින්වාදය හා බ්‍රෙශ්නෙව්වාදය නිසැකවම අවසානය කරා පැමින ඇති” බවයි. “සෝවියට් ජනයාට, ජාත්‍යන්තර නිර්ධන පන්තියට, සමස්ත මනුෂ්‍ය වර්ගයාට හොඳ සැනසුම් සුසුමක් හෙලිය හැකිය.”40

මැන්ඩෙල්ගේ අන්තේවාසික බ්‍රිතාන්‍ය පැබ්ලෝවාදී තරික් අලි ගොර්බචොෆ් තන්ත්‍රයේ පිලිවෙත් සම්බන්ධයෙන් උද්‍යෝගයට පත් වූයේ ඊට ද වඩා නිර්බාධිත ආකාරයෙනි. 1988 දී ප්‍රකාශයට පත්, ඍැඩදකමඑසදබ ත්‍රදප ්ඉදඩැථ උයැරු සි එයැ ීදඩසැඑ ඹබසදබ ඨදසබටරෑ (ඉහලින් කෙරෙන විප්ලවය: සෝවියට් සංගමය යන්නේ කොහේද?) නම් සිය කෘතිය තුල අලි, පැබ්ලෝවාදයේ නෛසර්ගික විශේෂාංග ගනනාවක් - ස්ටැලින්වාදී නිලධරයට දක්වන අසීමිත සහයෝගය, විකාරරූපී දේශපාලන අවස්ථාවාදය හා දේශපාලන යථාර්ථය හඳුනාගැනීමට ඇති පරිපූර්න නොහැකියාව - සම්මිශ්‍ර කලේය. තම පූර්විකාව තුල අලි, එම පොතේ නිබන්ධනය සම්පින්ඩනය කොට දක්වා ඇත:

ගොර්බචොෆ් සෝවියට් ප්‍රභූව තුල ප්‍රගතිශීලී, ප්‍රතිසංස්කරනවාදී ධාරාවක් නියෝජනය කරන බවටත්, ඔහුගේ වැඩ පිලිවෙල සාර්ථක වුවහොත් එමඟින් ලොව පුරා සමාජවාදීන්ට හා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඉමහත් ප්‍රතිලාභ අත්වන බවටත් ‘ඉහලින් කෙරෙන විප්ලවය’ කරුනු ගෙන හැර දක්වයි. ඇත්තෙන්ම කිවහොත්, ගොර්බචොෆ්ගේ මෙහෙයුමේ පරිමානය, දහනව වන සියවසේ ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ - ඒබ්‍රහම් ලින්කන්ගේ - ප්‍රයත්නයන් සිහිපත් කරවයි.41

පෙනී යන පරිදි, ගොර්බචොෆ් ඒබ්‍රහම් ලින්කන්ගේ මට්ටමට ඔසොවා තැබීම මඟින් ස්ටැලින්වාදය කෙරේ තමන්ගේ ශ්‍රද්ධාවේ සමස්ත පරිමානය ප්‍රමානවත් ලෙස ප්‍රකාශයට පත් නොවීයැයි තාරික් අලි කනස්සල්ලට පත් සේය; “සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහල සාමාජිකයෙකු වූත්, සිය දේශපාලන ධෛර්යය විසින් රට පුරා වැදගත් සංකේතයක් බවට පත් කරන ලද්දා වූත් බෝරිස් යෙල්ට්සින්” වෙත ඔහු සිය වෙලුම යටහත් පහත්ව පිලිගැන්වීය.42

සෝවියට් සංගමය අවසාන වශයෙන්ම වනසා දැමීමේ ප්‍රමුඛ වාස්තු විද්‍යාඥයන් දෙපල - මිඛායෙල් ගොර්බචොෆ් හා බෝරිස් යෙල්ට්සින් - වෙත පල කෙරුනු පැබ්ලෝවාදීන්ගේ නොසැඟවූ සහයෝගය, පැබ්ලෝවාදයේ ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳ ප්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික තහවුරුවක් ද, අධිරාජ්‍යවාදයේ මෙම අනර්ථකාරී සුලු ධනපති දේශපාලන ඒජන්සියට එරෙහිව ජාත්‍යන්තර කමිටුව දශක ගනනාවක් පුරා ගෙන ගිය අරගලයට යුක්තිකරනයක් ද සම්පාදනය කලේය.

* * *

1988 දී අප රක්නා උරුමය ප්‍රකාශයට පත් තැන් පටන් මේ දක්වා ලෝකය අත්දුටුවේ ප්‍රගාඪ ආර්ථික, තාක්ෂනික හා සමාජයීය වෙනස්කම් රැසකි - පුපුරන සුලු දේශපාලන වර්ධනයන් ගැන කියනුම කවරේද? සෝවියට් සංගමය විසුරුවා හැරීම මඟින් - පශ්චාත් සෝවියට් අධිරාජ්‍යවාදී විජයග්‍රහනවාදයේ කිරුලු පලන් දිනයේ ප්‍රතිඥා දුන් පරිදි “ඉතිහාසයේ අවසානය” තිබියේවා - සාමයේ නව අවධියක් හෝ උදා කෙරුනේ නැත. ලෝකය “අර්බුදයක” පවතිතැයි පැවසීම තතු අඩුවෙන් පැවසීමකි. වඩාත් උචිත වන්නේ එය “අවුල් ජාලයක්” ලෙස විස්තර කිරීමයි. පසුගිය සියවස් කාල අනවරත යුද්ධයෙන් විනාශයට පත් විය. දිනෙන්දින ලෝක ගෝලයේ වඩවඩාත් විශාල භූමි ප්‍රදේශයන් අධිරාජ්‍යවාදී භූදේශපාලන සංඝට්ටනයේ දිය සුලිය තුලට ඇද ගැනෙමින් පවතී. 1991න් පසු තමා ලෝකය පාලනය කරනු ඇතැයි යන අපේක්ෂාවන් ව්‍යර්ථ වී ගිය එක්සත් ජනපදයට, කිසිදා නොවූ විරූ පරිමානයක සාහසික නොසැලකිල්ලකින් යුතුව සිය යුදමය මෙහෙයුම් උත්සන්න කිරීමට සිදු වී ඇත. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේ ව්‍යසනයෙන් මතුව ආ පරිද්දෙන්, අධිරාජ්‍යවාදී ලෝක පර්යායයේ පදනම් ම බිඳී වැටෙමින් තිබේ. රුසියාව හා චීනය සමඟ වොෂින්ටනයේ ගැටුම් තීව්‍රවෙමින් පැවතීම මධ්‍යයේ පවා, එක්සත් ජනපදය හා එහි ප්‍රධාන අධිරාජ්‍යවාදී “හවුල්කරුවන්”- විශේෂයෙන් ජර්මනිය - අතර දේශපාලන සබඳතා වේගයෙන් පිරිහී යමින් ඇත.

ආර්ථික පෙරමුනේ දී ධනේශ්වර ක්‍රමය එක් අර්බුදයක සිට තවෙකක් කරා කොර ගසමින් ගමන් කරයි. 2008 ආර්ථික බිඳවැටීමේ බලපෑම් තවමත් ඉක්ම ගොස් නැත. බිඳවැටීමේ ප්‍රධාන දායාදයව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුල දරා සිටිය නොහෙන මට්ටම් කරා ලඟා වී ඇති, තීව්‍රවෙමින් පවත්නා සමාජ අසමානතාවයයි. කුඩා ප්‍රභූවක් තුල සම්පත්, විශ්මය දනවන මට්ටමකින් සංකේන්ද්‍රනයවීම ලෝක ප්‍රපංචයක් වී ඇති අතර, ධනපති ආන්ඩුවල වැඩෙන දේශපාලන අස්ථායීභාවයට යටින් පවතින්නේ එයයි. ලෝකයේ සෑම කොටසකම පන්ති ගැටුම් උග්‍ර වෙමින් ඇත. ධනේශ්වර නිෂ්පාදනයේ හා මූල්‍ය ගනුදෙනුවල ගෝලීයකරනය ජාත්‍යන්තර කම්කරු පන්තිය පොදු අරගලයකට ඇද ගනිමින් සිටී.

වෛෂයික තතු විප්ලවවාදී පන්ති අරගලයේ අතිවිශාල ප්‍රසාරනයක් සඳහා ආවේගය සම්පාදනය කරමින් සිටී. එහෙත් මෙම වෛෂයික ආවේගයන් දේශපාලනිකව සවිඥානක ක්‍රියාකාරීත්වය බවට පරිවර්තනය කල යුතුය. කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අතිශය වැදගත් ගැටලුව මෙහිදී පැන නඟී.

ලෝක ධනපති ක්‍රමයේ අපරිමිත අර්බුදය පවතිද්දීම, ධනේශ්වරයේ ඉහලම ස්ථරයන් තුල පොදුවේ පවත්නා දේශපාලන වියවුල තිබියදීම, ඉදිරි මාවතක් සොයා ගැනීම සඳහා දැරෙන කම්කරු පන්තියේ ප්‍රයත්න අවහිර කරනු ලැබ ඇත්තේ, ස්වකීය බලපෑම එම ව්‍යාපාරය මැඩ පවත්වා ගැනීම හා එය පීලි පැන්නවීම සඳහා යොදවන පක්ෂ හා සංවිධාන මඟිනි. එසේ වුව, පසුගිය දශක දෙකේ අත්දැකීම් ඒවායේ ලාංඡනය බහුජන විඥානය තුල තබා ඇත. නිල “සමාජවාදී” පක්ෂවල බංකොලොත්භාවය පුලුල්ව හඳුනා ගනු ලැබ ඇත. එහෙත් සමාජ ප්‍රශ්නවලට වඩාත් රැඩිකල් ප්‍රවිෂ්ටයක් ගැනීමට ප්‍රතිඥා දෙන - ග්‍රීසියේ සිරිසාව වැනි - නව සංවිධාන කරා මහජනයා හැරෙත්ම, ඔවුන්ගේ පොරොන්දුවල හිස් බව වහා හෙලිදරව් වෙයි. යුරෝපා සංගමයට එරෙහි බහුජන විරෝධතා රැල්ලක් මත බලයට ගෙන එනු ලැබ, තම ආධාරකරුවන්ට දුන් සෑම ප්‍රතිඥාවක්ම ප්‍රතික්ෂේප කිරීමට සිරිසාවට ගත වූයේ මාස කිහිපයක් පමනෙකි. ඉදින් ස්පාඤ්ඤයේ පොදෙමොස්වරුන් වේවා, බි්‍රතාන්‍යයේ කෝබින් වේවා, එක්සත් ජනපදයේ සැන්ඩර්ස් වේවා බලයට පත් වූයේ වී වුව, ප්‍රතිඵලය නොවෙනස් වනු ඇත.

විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම තවමත් කම්කරු පන්තිය අබිමුව පවතින ප්‍රමුඛ ඓතිහාසික කර්තව්‍යය ව පවතී. මෙම දැවැන්ත කර්තව්‍යයට උර දිය හැක්කේ, අසූ වසරක කාල පරාසයක් පුරා විහිදෙන හතරවැනි ජාත්‍යන්තරයේ සමස්ත ඓතිහාසික අත්දැකීම සමාග්‍රහනය කොට ගෙන ඇති ජාත්‍යන්තර පක්ෂයකට පමනෙකි. එහි සමස්ත ඉතිහාසය පිලිබඳ දේශපාලනිකව සංගත හා ස්ථාවර වාර්තාවක් සම්පාදනය කල හැක්කේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පමනෙකි. එහි භාවිතය මුල් බැස ඇත්තේ, ලෝක සමාජවාදී විප්ලවය සඳහා ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලයේ න්‍යායික හා දේශපාලනික උරුමය දැනුවත්ව ආරක්ෂා කිරීම තුලය. අප රක්නා උරුමය කෘතිය යලි පලකිරීම, ධනේශ්වර අර්බුදයෙන් රැඩිකලීකරනය වන කම්කරුවන් හා තරුන ජනයාගේ නව පරපුරකට, හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය, වැඩ පිලිවෙල සහ සම්ප්‍රදායයන් තුල විප්ලවවාදී අධ්‍යාපනය ලබා දීම සඳහා දායක වනු ඇතැයි යන්න මගේ අපේක්ෂාවයි.

ඩේවිඩ් නෝර්ත්

ඩෙට්‍රොයිට්

2018 ජූනි 20

සටහන්

1. බ්‍රිතාන්‍ය ශාඛාවේ අවස්ථාවාදී පරිහානිය පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයක් කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද? 1973-1985 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය (කම්කරු මාවත ප්‍රකාශන, 2003) කෘතියට අඬංඟු වේ. එය 1986 Fourth International 13 වෙලුම, අංක 1හි පල විය. කවිප සමඟ භේදයේ සියලු ප්‍රධාන ලේඛන 1986 Fourth International 13 වෙලුම, අංක 2හි ඇත.

2. අප රක්නා උරුමය - දෙවන කොටස (කම්කරු මාවත ප්‍රකාශන- 1993) 317-18 පිටු බලන්න.

3. වර්කර්ස් ලීගයේ ලිපි ලේඛන, 1986 ත්‍Fourth International3 වෙලුමේ අංක 2හි The ICFI Defends Trotskyism 1982-1986, හජාජාක ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි, 1982-1986 යනුවෙන් පල විය.

4. කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්, Collected Works එකතුකල කෘති, මොස්කව් ප්‍රගති ප්‍රකාශකයෝ, 1990, වෙලුම් 26 389 පිට.

5. ලියොන් ට්‍රොට්ස්කි, “A Letter to James P. Cannon,” (ජේම්ස් පී කැනන් වෙත ලිපියක්) In Defense of Marxism (ලන්ඩන් නිව් පාක් පබ්ලිකේෂන්ස්, 1971)1

6. එම 1-2 පිට

7. “The USSR in War,” සෝවියට් සංගමය යුද්ධයේ In Defense of Marxism :ලන්ඩන් නිව් පාක් පබ්ලිකේෂන්ස්, 1971), පිටු 1-2.

8. ජේම්ස් බර්න්හැම් හා මැක්ස් ෂැට්මන්,“Intellectuals in Retreat, විද්වතුන්ගේ පසුබැසීම The New International, වෙලුම. 5, නො. 1, ජනවාරි 1939. වෙතින් බාගතහැක.

9. ට්‍රොට්ස්කි, In Defense of Marxismමාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා පිටු...257-258

10. එම 261 පිට

11. මා එම පාඨය ආස්‍රයෙන්: “සෑම සන්සුන් සුලු ධනේශ්වරයෙක්ම හිට්ලර් බවට පත්විය නොහැකි විය. එහෙත් හිට්ලර්ගේ අංශුවක් සෑම අවිනිශ්චිත සුලු ධනේශ්වරයකම පැවතී තිබේ.” : ලියොන් ට්‍රොට්ස්කි, “What is National Socialism?,”“ජාතික සමාජවාදය යනු කුමක් ද?”The Struggle Against Fascism in Germany, ජර්මනිය තුල ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය (නිව් යෝර්ක් : පාර්ත්ෆයින්ඩර් ප්‍රෙස්, 1971) 523 පිට.

12. The National Question in Europe: Three Theses on the European Situation and the Political Tasks,” යුරෝපයේ ජාතික ප්‍රශ්නය :යුරෝපයේ තත්වය ගැන ප්‍රවාදයන් තුන සහ දේශපාලන කර්තව්‍යයෝ, 1941 ඔක්තෝබර් 19 දාතමය. Fourth International හතරවන ජාත්‍යන්තරය, 1942 දෙසැම්බර් සංස්කරනය, පිටු 370-372 : වෙතින් බාගතහැක.

13. එම.,

14. ධනපති ම්ලේච්චත්වය ද සමාජවාදය ද “Capitalist Barbarism or Socialism,” The New International (Vol. 10, no. 10), ඔක්තෝබර් 1944) අවධාරනය මුල් ලේඛනයේ. වෙතින් ලබාගත හැක.

15. එම

16. එම, අවධාරනය මුල් ලේඛනයේ

17. එම, අවධාරනය මුල් ලේඛනයේ

18. එම, අවධාරනය මුල් ලේඛනයේ

19. එම, අවධාරනය මුල් ලේඛනයේ

20. ලියොන් ට්‍රොට්ස්කි, The Permanent Revolution නොනවතින විප්ලවය, අවධාරනය මුල් ලේඛනයේ

21. Marcel Van Der Linden, “The Prehistory of Post-Society Anarchism: පශ්චාත් සමාජ අරාජිකවාදීන්ගේ පූර්ව ඉතිහාසය : Josef Weber and the Movement for a Democracy of Content (1947–1964),” Anarchist Studies, 9 (2001), p. 131.

22. ෆීලික්ස් මොරෝ “The Class Meaning of the Soviet Victories, සෝවියට් ජයග්‍රහනවල පන්ති අර්ථය ත් ,” Fourth International, Vol. 4, no. 3, March 1943, www.marxists.org/archive/morrow-felix/1943/03/soviet.htm වෙතින් ලබාගත හැක.

23. එස්ඩබ්ලිව්පීයේ අභ්‍යන්තර ලියවිලි, Vol. 8, no. 8, July 1946, පි. 28.

24. The Marshall Plan: Dawn of the Cold War මාර්ෂල් සැලැස්ම : සීතල යුද්ධයේ උදාව (New York: Simon & Schuster),පි. 26.

25. එම පිටු 18-19

26. එම 19-20 පිටු.

27. එලීනා අගරෝසි සහ වික්ටර් සස්ලාව්ස්කි,Stalin and Togliatti: Italy and the Origins of the Cold War ස්ටැලින් සහ ස්ටොග්ලියාටි: ඉතාලිය සහ සීතල යුද්ධයේ මූලයෝ (වොෂින්ටන් ඩීසී, වුඞ්රෝ විල්සන් සෙන්ටර් ප්‍රෙස්, 2011), 95 පිට.

28. පෝල් ගින්ස්බෝර්ග්, A History of Contemporary Italy: 1943 – 80 සමකාලීන ඉතාලියේ ඉතිහාසය: 1943 – 80 (පෙන්ගුවින් බුක්ස් ලිමිටඞ්. කින්ඞ්ලේ සංස්කරනය) 43 පිට.

29. ඉර්වින් එම් වෝල් The United States and the Making of Postwar France, 1945– 47 එක්සත් ජනපදය සහ පශ්චාත් යුද ප්‍රන්සය 1945-47 (Cambridge, Cambridge University Press, 1991), p. 97.

30.Daniel Gaido and Velia Luparello ඩැනියෙල් ගයිඩො සහ වේලියා ලුපරෙල්ලෝ, , “Strategy and Tactics in a Revolutionary Period: U.S. Trotskyism and the European Revolution, 1943–1946,” Science & Society, විප්ලවවීය අවධියේ මූලෝපාය සහ උපායය : එ.ජ. ට්‍රොට්ස්කිවාදය සහ යුරෝපානුු විප්ලවය 1943-1946Vol. 78, no. 4, October 2014 504 පිට.

31. එම, 503 පිට

32. Geoff Hodgson ජ්‍යොෆ් හොජ්සන්, Trotsky and Fatalistic Marxism ට්‍රොට්ස්කි සහ භෞතිකවාදී මාක්ස්වාදය ( (Nottingham: Spokesman Books, 1975) පි. 38

33. පීටර් ජෙන්කින්ස්, Where Trotskyism got lost: The restoration of European democracy after the Second World Warට්‍රොට්ස්කිවාදය මංමුලා වූයේ කොතැනකදී ද: දෙවැනි ලෝක යුද්ධය හා යුරෝපා විප්ලවය (Nottingham: Spokesman Books, 1977). වෙතින් ලබා ගතහැක

34. ගයිඩෝ සහ ලුපරෙල්ලෝ , පි. 508

35. ට්‍රොට්ස්කි, In Defense of Marxism මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා පිට.131.

36.ජෝසප් වෙබර් Dinge der Zeit, Kritische Beiträge zu Kultur und Politik (Hamburg: Argument, 1995), p. 21, (පරිවර්තනය, ඩේවිඩ් නෝර්ත්).

37. මරේ බුචින් , Post-Scarcity Anarchism, (Montreal: Black Rose Books, 1986)

38. Joris Leverink ජෝරිස් ලෙව්රින්ක් “Murray Bookchin and the Kurdish Resistance,” ROAR magazine, August 9, 2015, වෙතින් ලබා ගතහැක

39.ගයිඩෝ සහ ලුපරෙල්ලෝ, පි. 508.

40. අර්නස්ට් මැන්ඩෙල් , Beyond Perestroika පෙරස්ට්‍රොයිකාවෙන් ඔබ්බට (London: Verso Books, 1989), p. xvi.

41. තරික් අලි, Revolution From Above: Where is the Soviet Union Going? ඉහලින් විප්ලවය: සෝවියට් සමූහාන්ඩුව කොයිබට ද? (Surry Hills, Australia: Hutchinson, 1988)

42. එම.,

Share this article: