අසමානත්වයෙන් උපන් ඛේදවාචකය: චිකාගෝ නිවාස ගින්නෙන් ලමයි දහදෙනෙක් මියයති

A tragedy born of inequality: Ten children die in Chicago house fire

2018 අගෝස්තු 29

සමස්ත ලෝකයට ම දැක ගැනීමට සමාජ ජීවිතයේ යතාර්ථය හෙලිදරව් කරන ඛේදවාචක පවතී. වයස මාස තුනේ සිට අවුරුදු 16 දක්වා ලමුන් 10දෙනෙකු මරා දමමින්, චිකාගෝ නිවසක් හරහා හමා ගිය බියකරු ගින්න, එවැනි එක් සිද්ධියකි.

මේ වන විට ගින්නෙන් ඇති වූ තුවාලවලින් ලමුන් දෙදෙනෙකු රෝහලේ දී මිය ගොස් ඇත. අනෙක් අටදෙනා ක්ෂනිකව ම මරා දැමුනේ, චිකාගෝවේ ලිට්ල් විලේජ් අසල්වාසයේ සැක්‍රෙමන්ටෝ පටු මගේ ඔවුන් රැඳී සිටි නිවස ගින්නෙන් දැවී යද්දී ය.

මායා අල්මරාස්, මාස තුනයි; ලෝනා අයාලා, අවුරදු තුනයි; ඒරියල් ගාර්සියා, 5; ජිඔවානී අයාලා, 10; සේවියර් කොන්ට්‍රරොස්, 11; නාතන් කොන්ට්‍රරොස්, 13; ඒඩ්‍රියන් හර්නන්ඩෙස්, 14; සීසර් කොන්ට්‍රරොස්, 15; හා වික්ටර් මෙන්ඩෝසා 16; ලෙස ලමුන් හඳුනා ගෙන ඇත. ලමුන් පවුල් කීපයකට අයත් අතර පවුල් දෙකක් ඥාතීහු වෙති.

ගින්න විනාස කර ඇත්තේ, “ල විලිටා” නමින් ප්‍රසිද්ධ, ප්‍රධාන වසයෙන් දුප්පත් කම්කරුවන් හා සංක්‍රමනිකයන්ගේ ලිට්ල් විලේජ් නම් අසල්වාසය යි. අග්නි ජාලාව ද බලවත් මානසික පීඩා ඇති කරවන එහි විපාක ද චිකාගෝව පුරා ගිගුම් දී ඇත්තේ ඇමරිකාවට ආවේනිකවූ ජම්ම දරිද්‍රතාව හා සමාජ අසමානතාවේ මානව වියදමේ ප්‍රකාශනයක් ලෙස ය.

ගින්නේ හේතුව විමර්ශනය කෙරෙමින් තිබෙන අතර, ජීවිත හානි වලකා ගැනීමට ඉඩ තිබුනු, ක්‍රියාකාරී දුම් පරීක්ෂක උපකරන එම නිවසට නො තිබූ බව ප්‍රසිද්ධ කාරනයකි. “බේරෙන්න ඉඩ තිබුනා” යැයි ගිනි නිවන නිලධාරී ලැරී ලැන්ග්ෆෝර්ඞ් පැවසී ය. “ගින්න ඇති වුනේ පිටිපස්සේ, ඉස්සරහට යන්න හොඳටම ඉඩ තිබුනා. ඔවුන් අවදි වෙලා සිටියා නම්, නැත්නම් කවුරු හරි ඔවුන් අවදි කලා නම් ඔවුන්ට පැන ගන්න තිබුනා”

නිවාස පේලියේ පදිංචි කරුවෙකු වන ජෝන් නැමත්තා මෙසේ පැවසී ය: “මට කිසිම දුම් අනතුරු ඇඟවීමක් ඇහුනේ නෑ. ගිවි නිවන හමුදාවට එන්න විනාඩි 30ක් විතර ගත වුනා. මේක ගෝල්ඞ් කෝස්ට් වාගේ පොහොසත් අසල්වාසයක වුනා නම්, ගිනි නිවන අය ඉක්මනින්ම එන්න ඉඩ තිබුනා විතරක් නෙවෙයි ඔක්කොම බේරා ගනියි. හැබයි පොහොසත්තු මෙතන ගැන උනන්දු නෑ. ඒක බොහෝ කාලෙක ඉඳලා අතහැරලා වගේම ගරහලා.”

ගින්න හට ගත් ගොඩැනැගිල්ල වසර 100ට වඩා පැරනි ය. මෙම දේපලට කුලී නිවසියන්ගේ පැමිනිලි හා නගර ගොඩනැගිලි නීති මාලාව උල්ලංඝනය කිරීමේ ඉතිහාසයක් ඇති අතර, පසු ගිය වසර තුන තුල පරීක්ෂන හතකින් හතරක් අසමත් වී ඇත. නගර වාර්තා අඟවන්නේ පලිබෝධකයන්ගේ සිට අන්ත නොසැලකීම හා ජරාවාස වීම දක්වා කඩ කිරීම් පෙල ගැසී ඇති බව යි. ඉතාමත් මෑත පැමිනිලි කිරීම්වලට අනතුරුදායක විදුලි ගැටලු ඇතුලත් වුනි.

ලිට්ල් විලේජ් බොහෝ දෙනා දුප්පත් කම්කරුවන් වන, සංක්‍රමනික පවුල් පරම්පරා ගනනාවකගේ නිවස විය. මෙම අසල්වාසයට ඇත්තේ ඩොලර් 35,000ක් තරම් වන මධ්‍යස්ත වාර්ෂික කුටුම්භ ආදායමකි. නිවැසියන්ගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ නිල දරිද්‍රතා රේඛාවට පහලිනි.

ගින්නෙන් පසු දිනවල නීති උල්ලංඝනය කිරීම් හා නො සැලකිලිමත් වීම පිලිබඳ වාර්තා මතු වීමත් සමග, වරද පවුල් මත පැටවීමට නිලධාරීහු උත්සාහ කලහ. චිකාගෝ නගර කවුන්සිලයේ ලතින් ප්‍රජා කොට්ඨාස ප්‍රධානී මෙන් ම ඩෙමොක්‍රටික් නගරාධිපති රාහ්ම් එමානුවෙල්ගේ කිට්ටු ආධාරකරුවෙකු ද වන, දොලෙස්වැනි කොට්ඨාසයේ නගර සභික, ජෝර්ජ් කාර්ඩෙනාස්, ඒබීසී ප්‍රවෘත්ති ජාලයට මෙසේ පැවසී ය: “මාස තුනක ලදරුවෙක්, අවුරුදු 16ක කෙනෙකුට බාර දීලා ...ඔවුන් මොනවද හිතලා තියෙන්නේ.”

ඉලිනොයිස් ප්‍රාන්තයේ ලමා හා පවුල් සේවා පිලිබඳ දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශිකා ඇලිසැන්ඩ්‍රා කාල්ඩෙරොන් තහවුරු කලේ තම ඒජන්සිය ලමුන් නොසලකා හැරීමේ චෝදනාව විමර්ශනය කරමින් සිටින බව යි.

සඳුදා උදේ, කාර්ඩෙනාස් සන්ඬේ ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡාවක දී ගෙවල් හිමියන්ගෙන් සමාව අයැද සිටියේ ය. ඔහු ගොඩැගිල්ලේ ඇතැම් ගැටලු විසඳීම ගැන පැහදිලි කලේ ය, .“ඔබලාට මිනිස්සු ඉවත් කරන්න වෙනවා. අයිතිකාරායා වැඩිදියුනු කරන්න කාලය බලාපොරොත්තු වෙනවා. මේ පැහර හැරීම් හරිගස්සන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්න ඕනෑ.”

ඩෙමොක්‍රටික් පක්ෂය හා කම්කරු පන්තිය බෙදන සමාජ අගාධය එයයි.

මෙම ඛේදවාචකයේ වගකීම ඍජුව රඳා පවතින්නේ පාලක පන්තිය හා එහි දේශපාලන නියෝජිතයින් මත ය. චිකාගෝව පාලනය කෙරෙන්නේ ඩෙමොක්‍රටිකයන් විසිනි. එය බරක් ඔබාමාගේ දේශපාලනික නිජබිම වන අතර වසර ගනනාවක් එය පාලනය කර ඇත්තේ, ඔබාමාගේ හිටපු මාන්ඩලික ප්‍රධානි ද බහු මිලියන හිටපු බැංකු ආයෝජකයෙකු ද වන නගරාධිපති එමානුවෙල් විසිනි.

රිපබ්ලිකානුවන්ට අඩු නැතිව ඩෙමොක්‍රටිකයන් ද, නගරයේ ප්‍රභූවගේ ධනය පිම්බෙද්දී නිවාස හා මූලික පොදුකාර්ය පද්ධති දිරායාමට අත්හල සමාජ අසමානත්වයේ අත්‍යන්ත වර්ධනය අධීක්ෂනය කර ඇත. ඩෙමොක්‍රටිකයන් ඉලිනොයිස් ආන්ඩුකාරයා ලෙස නම් කර ඇත්තේ, ඔබාමාගේ හිටපු ප්‍රධාන අරමුදල් රැස්කරන්නා ද, හයාට් හෝටල් ධනස්කන්ධයේ උරුමක්කාරය ද වන ජේ.බී. ප්‍රිට්ස්කර් ය. නොවැම්බරයේ දී ප්‍රිට්ස්කර්, ඔහුම ද හිටපු හෙජ් අරමුදල් කලමනාකරුවෙකු වන රිපබ්ලිකානු බෘස් රෝනර්ට එරෙහිව මුහුන දෙනු ඇත.

දැනට ඔහුගේ දෙවන පාලන වාරයේ සිටින එමානුවෙල් පුද්ගලිකව හුඳුනා ගැනෙන්නේ විශේෂයෙන් ම ප්‍රාථමික පාසල් 50ක් වසා දැමීම හා ගුරුවරුන් දහස් ගනක් දොට්ට දැමීම වැනි කුරිරු ව්‍යාපාර ගැති ප්‍රතිපත්ති සමගිනි. නමුත් රජයේ අධ්‍යාපනය විනාස කිරීම කම්කරු පන්තිය මත ප්‍රහාරයේ එක් පැත්තක් පමනි.

චිකාගෝවේ ආරක්ෂා සහිත, දැරිය හැකි නිවාස සැපයීම නගරයේ නායකයන් විසින් නවතා දමා ඇත්තේ වැඩිවෙන්නා වූ පවුල් ගනනක් අනතුරුදායක, නඩත්තු නො කෙරෙන ගොඩනැගිලිවලට හරවා යැවීමට දායක වෙමිනි. පසු ගිය වසරේදී, චිකාගෝ නිවාස අධිකාරිය (සීඑච්ඒ) දැරිය හැකි නිවාස ඒකක සංඛ්‍යාව සීමා කිරීමේ දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව හෙලිදරව් වුනි. වසර ගනනාවක් සීඑච්ඒ, අදාල අරමුන සඳහා ෆෙඩරල් ආන්ඩුවේ අරමුදල් තිබීම ද නො තකා සුදුසුකම් ලත් කුට්ම්භවලට කුලී වව්චර්පත් ලබා දීම ප්‍රතික්ෂේප කලේ ය. 2007 හා 2012 අතර, එනම් 2008 උකස් අර්බුදයෙන් පසු විශාල අවශ්‍යතාවන්ගේ වසරවල දී, සීඑච්ඒ පොරොත්තු ලැයිස්තුව කුටුම්භ 91,000ට වඩා ඉහල ගියේ ය.

City on the Make (සිටි ඔන් ද මේක් ) නම් 2017 තම පොත තුල ඇන්ඩෘ ඩයමන්ඞ් දක්ෂ ලෙස චිකාගෝවේ සමාජ භූදර්ශනය විස්තර තරයි. ඔහු චිකාගෝ නගරය ගුනාංගීකරනය කරන්නේ, “ඩෙට්‍රොයිට් නගරය වෙත දමා ගැසූ මෑන්හැටන්වල එකතුවක්” ලෙස ය. චිකාගෝ මර්කන්ටයිල් එක්ස්චේන්ග් හා වෙලඳ මන්ඩලය මෙන් ම නොයෙකුත් ආයෝජන හා බැංකු සමාගම්වලට නිවස වන චිකාගෝව, නිව් යෝක් වැනි ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රයක අංග ලක්ෂන ඩෙට්‍රොයිට් වැනි නිර්කාර්මිකකරනයේ විනාසයන් විඳ ඇති මලකඩ තීරුවක් සමග එකාබද්ධ කර යි. නගර දෙක ම ආදර්ශයෙන් තහවුරු කරන්නේ ඇමරිකානු සමාජයේ ප්‍රධාන ලක්ෂනය වී ඇති, පසු ගිය වසර කීපයේ සමාජ අසමානත්වයේ වර්ධනය යි.

වරෙක නිෂ්පාදන කර්මාන්තයේ, එනම් මෝටර්රථ, වානේ හා මස් ඇසුරුම් කර්මාන්තවල පැවති රැකියා සිය දහස් ගනන් වෙනස් කරනු ලැබ ඇත්තේ, (කොහෙත් ම ඒවා වෙනස් කෙරී ඇත් නම්), සේවා හා සැපයුම් සංවිධාන අංශවල අඩු වැටුප් හා අර්ධකාලීන රැකියාවලිනි. නගර මධ්‍යය දෙසට සංකේන්ද්‍රනය වී පවතින්නේ ධනවත් හා ඉහල මධ්‍යම පන්තික අසල්වාසයන් ය. පහල මධ්‍යම පන්තික, කම්කරු පන්තික හා දරිද්‍රාපන්න අසල්වාසයන් වඩ වඩා ඈත දුර ප්‍රමානයන්ට පැතිරෙමින් තිබෙන්නේ කම්කරු පන්තික හා දුප්පත් කුට්ම්භ උප නගර හා අවට කෝරලවලට තල්ලු වෙමිනි.

කම්කරු පන්තික ප්‍රදේශ අරමුදල් හිඟයෙන් පෙලෙන අතර, මහජන අරමුදල් වලින් ඩොලර් මිලියන 175ක් ලැබෙනු ඇත යි අපේක්ෂා කෙරෙන, දැනට වියදම ඩොලර් මිලියන 500ක් යැයි ඇස්මේන්තු කෙරෙන, සවුත් සයිඞ්වල ඔබාමා ජනාධිපති කේන්ද්‍රය වැනි පුහු ආටෝප ව්‍යාපෘතිවලට සීමාවක් නැති සම්පත් වෙන් කෙරේ.

චිකාගෝ නගරයේ තතු ප්‍රකාශ කරන්නේ එක්සත් ජනපදය පුරා සමාජ සම්බන්ධතාවන්ගේ ස්වභාවය යි. එනම්, දේශපාලන පක්ෂ දෙකම පාලනය කරන්නා වූ ද සුරාකෑම හා අතිමහත් බහුතරය දරිද්‍රතාවට ඇද දැමීම මගින් සිතා ගත නො හැකි ගනන් සමුච්චයනය කර ගෙන ඇති සංගත හා මූල්‍ය කතිපයාධිකාරිය විසින් ආධිපත්‍යය දරන්නා වූ ද සමාජයකි, ආරක්ෂාකාරී නිවාස හා ක්‍රියාකාරී දුම් පරීක්ෂක උපකරන වැනි නූතන ජීවිතයේ ඉතාමත් මූලික අවශ්‍යතාවන්, අපේක්ෂා කල හැකි පරිදි බියකරු ප්‍රතිවිපාක සමග ලාභ අල්තාරය මත කැප කරන සමාජයකි. දරිද්‍රතාව හා නිල නො තැකීමේ ප්‍රතිඵල වන ලමුන් දහදෙනෙකුගේ අනවශ්‍ය මරන ඇමරිකානු ධනවාදයේ කැත මුහනත වන්නේ ය.

ක්‍රිස්ටීන් බෙටිනිස්

Share this article: