වෘත්තීය සමිති විසින් දුම්රිය අරගලය කඩාකප්පල් කිරීම: කම්කරු පන්තියට බරපතල පාඩමක්

2018 සැප්තැම්බර් 4

“වැටුප් විෂමතා ඉවත් කිරීම” ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත අගෝස්තු 29 වෙනිදාට නියමිතව තිබු දුම්රිය සේවක වැඩවර්ජනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුන් පොරොන්දුවක් පිලිගෙන වෘත්තීය සමිති විසින් යලිත් වතාවක් නතර කෙරුනි. එය ධනපති ආන්ඩුවේ අවශ්‍යතාවයට අනුව දුම්රිය කම්කරුවන්ගේ අරගලය යටපත් කිරීමට සමිති නිලධරය විසින් දැනුවත් ව ම කරන ලද ද්‍රෝහී පාවාදීමකි.

තමන් “පුද්ගලිකව මැදිහත් වී” මාස දෙකක් තුල දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා පිලිබඳ ගැටලුවට විසඳුමක් දෙන බවට ජනාධිපති සිරිසේන අගෝස්තු 27 වෙනිදා පොරොන්දු විය. එවන් පොරොන්දු දුසිමකට වඩා අනුප්‍රාප්තික ආන්ඩු විසින් 2006 සිට දුම්රිය වෘත්තීය සමිති වලට දී ඇත. පසුගිය වසර 12 තුල ම, දුම්රිය කම්කරුවන්ගේ වැටුප් සටන එවන් ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට වෘත්තීය සමිති විසින් පාවදෙනු ලැබුනි. පසුගිය දෙසැම්බර් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමනක් දුම්රිය කම්කරුවන්ගේ අරගලය වෘත්තීය සමිති විසින් සිව් වතාවක් නතර කෙරුනි.

දුම්රිය සේවක ඉල්ලීම් කැබිනට්ටුවට ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට කැබිනට් අනුකාරක සභාවක් විසින් දුන් පොරොන්දුවක් හුවා දැක්වූ වෘත්තීය සමිති, දෙසැම්බර් මාසයේ 6 වෙනිදා ආරම්භ කර ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා නියෝග සහ මර්දනය නොතකා දින 7 ක් පැවති වර්ජනය නතර කලහ. ජුලි මාසයේ 30-31 දෙදිනක වර්ජනය දුම්රිය සමිති සංධානය විසින් අත්හැර දැමුනේ කැබිනට් අනුකාරක සභාවේ යෝජනා පරිදි සතියක් ඇතුලත දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් ලබා දෙන බවට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා දුන් පොරොන්දුවක් පිලි ගනිමිනි.

සරත් අමුනුගම කමිටුවේ යෝජනා අගෝස්තු 14 වෙනිදා කැබිනට්ටුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති සිරිසේන 12වෙනිදා දුන් පොරොන්දුව මත අගෝස්තු 8 වෙනිදා ආරම්භ කල වර්ජනය සමිති නායකයෝ එදිනම නතර කලහ. වර්ජනය නතර කිරීම සඳහා කෙසේ හෝ සාකච්චාවක් ලබා දෙන ලෙස සමිති ඇවිටිලි කල බව නියෝජ්‍ය ප්‍රවාහන ඇමති අසෝක අබේසිංහ මාධ්‍යට ප්‍රකාශ කර තිබුනි. ඉන් පැහැදිලිවන්නේ දුම්රිය කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සඳහා පාලක පන්තිය සමග නිරන්තර කුමන්ත්‍රනයක වෘත්තීය සමිති යෙදී සිටි බවය.

මෑත විරෝධතා උද්ඝෝෂන වලදී දුම්රිය සමිතිවල මුලික ඉල්ලීමක් වී ඇති සරත් අමුනුගම කමිටුවේ නිර්දේශ කැබිනෙට්ටුව ට ඉදිරිපත් කිරීම උගුලකි. එහි මුලික නිර්දේශයක් වන්නේ දුම්රිය කම්කරුවන්ගේ “වැටුප් ප්‍රශ්න විසඳීමට නම්” එය ස්වාධීන පාලක මංඩලයක් යටතට පත් කර දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ-රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කිරීමය. එය දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීම දිසාවට ගන්නා මුල් පියවර වනු ඇත.

දුම්රිය අරගලය ධනපති ආන්ඩුවේ බොරු පොරොන්දු මත මෙලෙස එක දිගට කඩාකප්පල් කර පාවා දීම එම කම්කරුවන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තියට ම බරපතල පාඩමකි: එය නම්, කම්කරුවන්ට වෘත්තීය සමිති තුලින් තමන්ගේ ඉල්ලීම් හා අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් ගෙන යා නොහැකි බවයි. මෑත මාස කිහිපය පමනක් ගත්ත ද එය කම්කරු පන්තියේ පොදු අත්දැකීම බවට පත්ව ඇත.

අප්‍රේල් මාසය පුරා පැවති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 20,000 කගේ වර්ජනය සමිති විසින් නතර කෙරුනේ කිසිම මූලික ඉල්ලීමක් හෝ දිනා නොගනිමිනි. දින දහසයක් ගතවූ තැන, 24,000 ක් තැපෑල් සේවකයන්ගේ වර්ජනය සමිති විසින් නතර කෙරුනේ ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යට කරමිනි. ජල, විදුලිය, වතු ආදී අනෙකුත් තැන්වල කම්කරුවන් අත්වින්දේ ද මෙම තත්වයමයි.

සමිති විසින් මෙලෙස අරගලවලට ඇබ ගැසීම සිදුකර ඇත්තේ කම්කරුවන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි වලට එරෙහි බරපතල ප්‍රහාරයක් ආන්ඩුව විසින් සුදානම් කෙරෙන තත්ත්වයක ය.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල ලංකාවේ පාලක පන්තිය මුහුන දී සිටින්නේ නය කන්දකට යටවීමකට හා ආර්ථික පසුබෑමක් කරා ලුහුටා යාමකට ය. එම කොන්දේසි තුල ආන්ඩුව යෙදී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග වලට අනුව රාජ්‍ය ආයතන පුදගලීකරනය හා ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය වියදම් කැපීමේ කොටසක් ලෙස වැටුප් සහ රැකියා කප්පාදුව නිර්දය ලෙස ක්‍රියාවට දැමීම උත්සන්න කිරීමක ය.

දුම්රිය හා තැපැල් දෙපාර්තමේන්තු, ජලසම්පාදන හා විදුලිබල මන්ඩල හා තෙල් සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීම හා රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් කප්පාදු කිරීම හෝ මුලුමනින් ම ප්‍රතික්ෂේප කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසිකිරීම එම සැලසුම් වලට සම්බන්ධ ය.

සමාජ අයිතීන්ට කෙටීමේ මෙම වැඩපිලිවෙලට එරෙහිව මතු වන කම්කරුවන්ගේ හෝ දුගීන්ගේ කවර ඉල්ලීමක් හෝ ප්‍රතිරෝධයක් ඉවසීමට පාලක පන්තිය සුදානම් නැත. එවන් විරුද්ධත්වයන් මැඩීම සඳහා ආන්ඩුව අධිකරනය, අත්‍යාවශ්‍ය සේවා නියෝග හා ආරක්ෂක හමුදාවන් සහ මැර බලකායන් මෙහයවමින් පන්ති යුද්ධයේ විධික්‍රමයන් ක්‍රියාවට දමමින් සිටියි.

“වැඩ වර්ජනය කරන පලියට” වැටුප් වැඩි කල නොහැකි බවට මුදල් ඇමති මංගල සමරවීර තර්ජනය කලේය. “බෙදුම්වාදය පරාජය කල විදිහට” එනම්, කුරිරු ජනඝාතක වර්ගවාදී යුද්ධය ගෙන ගිය ආකාරයට “වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ද, එනම් කම්කරු පන්තියේ අරගල ද මර්දනය කල යුතු බවට තරුන කටයුතු හා දක්ෂින සංවර්ධන ඇමති සාගල රත්නායක දුම්රිය වර්ජනයට එරහිව බිරුසන් දුන්නේය.

අරගලය මැඩලමින් පන්ති පාලනය ශක්තිමත් කිරීම පිනිස ආඥාදායක පාලනයක අවශ්‍යතාවය ගැන ධනපති දේශපාලන සංස්තාපිතය හා මාධ්‍ය තුල විවෘත සාකච්චාවක් ආරම්භ වී ඇත.

වෘත්තීය සමිතිවල භූමිකාව වී ඇත්තේ පාලක පන්තියේ මෙම ආර්ථික හා දේශපාලන ප්‍රහාරයන්ට කම්කරු පන්තිය යටත් කිරීම ය. ඒවා අද ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ, ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ ඍජු උපකරන බවට පත් වී තිබේ. වෘත්තීය සමිතිවල මෙම පරිහානිය සහ දක්ෂිනාංශික පරිවර්තනයේ මූලයන් ඇත්තේ ධනවාදයේ ගෝලීයකරනය තුලය. ධනපති පාලක පන්තිය සමග කේවලය මගින් කම්කරු පන්තිය සඳහා ආර්ථික ප්‍රතිසංස්කරන දිනා ගැනීමේ වෘත්තීය සමිතිවල ජාතිකවාදී ක්‍රියාමාර්ග ගෝලීයකරනය තුල මුලුමනින්ම අවලංගු වී ඇත.

වෘත්තීය සමිති වර්ජන හා විරෝධතාවයන් අද කැඳවුම් කරන්නේ හුදෙක් ම, ධනපති පාලක පන්තියේ හා හාම්පුතුන්ගේ ප්‍රහාර කෙරෙහි කම්කරු පන්තිය තුල පවතින කැකෑරෙන කෝපය වාෂ්ප කිරීමේ සහ ඔවුන්ගේ අරගල කඩාකප්පල් කිරීමේ ව්‍යයාමක් ලෙස ය. එය ශ්‍රී ලංකාවෙත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියේ පොදු අත්දැකීම බවට පත්ව තිබේ.

ඇමරිකාවේ ගුරුවරුන්ගේ, ජර්මනියේ කාර්මික කම්කරුවන්ගේ , ප්‍රන්සයේ දුම්රිය කම්කරුවන්ගේ සහ නවසීලන්තයේ හෙද සේවකයන්ගේ අරගලවල සිට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යයන, ජලසම්පාදන, තැපැල් හා දුම්රිය කම්කරුවන්ගේ අරගලවල දී වෘත්තීය සමිතිවල භූමිකාව වුයේ එම අරගල කඩාකප්පල් කිරීමය.

දුම්රිය හා අනෙකුත් තැන්වල කම්කරුවන් මෙම යථාර්තයට මුහුන දිය යුතුය. කම්කරුවන්ට තම අයිතීන් සඳහා සටන් කිරීමට නව සංවිධාන අවශ්‍ය ය. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සමිති නිලධරය වැද්ද නොගනිමින්, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම, ආයතනයකම, වත්තකම, කම්කරු නිවහන් පෙදෙසකම ගොඩනගා ගැනීම මගින් තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට පියවර ගත යුතුය.

කම්කරුවන් පන්තිය මුහුන දී සිටින්නේ ධනපති පාලක පන්තියේ පන්ති යුද්ධයට හා ආඥාදායක පාලන සැලසුම්වලට එරෙහි දේශපාලන අරගලයකටය. මෙම ක්‍රියාකාරී කමිටු එම අරගලය සඳහා කම්කරුවන් එකමුතු කරන්නාවූත් දුගීන්ගේ හා තරුනයන්ගේ සහාය දිනා ගන්නාවූත් මාධ්‍යය වනු ඇත.

කම්කරු පන්තියට ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ ධනපති පාලක පන්තියේ ප්‍රහාර පරාජය කර තම අයිතීන් තහවුරු කර ගත හැක්කේ, ධනපති පන්ති පාලනය අහෝසිකරන, පුද්ගලීකරනය නතරකරන හා මුලික ධනපති කර්මාන්ත සහ බැංකු කම්කරු පාලනය යටතට ගෙන, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්ව සැලසුම් ගත සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් මගින් පමනි.

මෙම ක්‍රියාමාර්ගයට හා කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසපට සම්බන්ධ වෙමින් එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන මෙන් කම්කරුවන්ගෙන් සහ තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්.ඒ. සුනිල්

Share this article: