නැටෝවේ තර්ජන හමුවේ රුසියාව, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාස දියත් කරයි

Amid NATO threats" Russia launches largest war games since World War II

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි ,2018 සැප්තැම්බර් 1

මේ සැප්තැම්බරයේදී ලක්ෂ සංඛ්‍යාත රුසියානු, නැටෝ හා චීන හමුදා, යුරේසියාව පුරා වර්ධනය වන යුද අභ්‍යාස සඳහා මෙහෙයවනු ලැබේ. දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට විශාලතම රුසියානු හා යුරෝපීය යුද අභ්‍යාස පැවැත්වෙන්නේ, න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමක අන්තරාය සෘජුවම මතු කෙරෙන වැඩී යන මිලිටරි ආතතීන් මධ්‍යයේය.

දශක ගනනාවකින් මෙපිට රුසියාවේ විශාලතම නාවික බලඇනි අද දිනයේ මධ්‍යධරනී මුහුදු කලාපයට යොදවනු ලබන අතර එය දින අටක නාවික-ගුවන් අභ්‍යාසවල යෙදෙනු ඇත. ඊට යුද නැව් 25ක් හා ප්‍රහාරක ගුවන් යානා 30 යොදාගනු ලැබේ. මහාද්වීපික න්‍යෂ්ටික ප්‍රහාර සඳහා යොදාගත හැකි ටීයූ-160 මූලෝපායික බෝම්බ හෙල යානා ද ඊට ඇතුලත් වනු ඇත. අභ්‍යාසය පැවැත්වෙන සීමාව අවහිර කරනු ඇති බවත්, “නාවික හා ගුවන් ගමන් සඳහා අනතුරුදායක” බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සැප්තැම්බර් 11දා රුසියාව හා චීනය එක්ව නැගෙනහිර රුසියාවේ අන්තර්-බයිකල් කලාපයේදී වොස්ටොක් 18 හෙවත් “නැගෙනහිර-18” අභ්‍යාසය පවත්වයි. වොස්ටොක්-18 ප්‍රමානයෙන් සෝවියට් සංඟමය දෙවන ලෝක යුද්ධයෙන් මොබ පවත්වා ඇති විශාලතම යුද අභ්‍යාසය වන 1981 සාපෑඞ්-81 ද ඉක්මවා යනු ඇත. ඊට රුසියාවේ පැත්තෙන් සෙබලු ලක්ෂ තුනක් ද ගුවන් යානා 1000ක් ද යුද රථ 36000ක් ද යොදවනු ලබන අතර චීනය පැත්තෙන් සෙබලු 3200ක්, ගුවන් යානා 30ක් හා යුද රථ 900ක් යොදවනු ඇත. මොන්ගෝලියානු හමුදා භටයින් ද ඊට සහභාගී වේ.

සැප්තැම්බර් 3දා, 32270ක නැටෝ හමුදා භට පිරිස් රුසියානු දේශසීමාවේ රැපිඞ් ට්‍රයිඩන්ට් 2018 යුද අභ්‍යාසයට සම්බන්ධවේ. සීතල යුද්ධයේ අවසානයෙන් මෙපිට යුරෝපය තුල පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාසය විය හැකිය. මෙය 2018 ට්‍රයිඩන්ට් ජන්ක්චර් යලිත් රුසියානු දේශසීමාවේ නෝර්වේ රාජ්‍යයෙහි ඔක්තෝබර් 25 සිට නොවැම්බර්7 දක්වා පැවැත්වෙන අභ්‍යාසයේ පූර්ව රංඟනයක් පමනි. එයට නැටෝ සෙබලුන් 40000ක්, ප්‍රහාරක ගුවන් යානා 130ක් හා යුද නැව් 70ක් යොදා ගැනේ. එහි මුදුන වන්නේ, සෙබලු 8000ක්, යුද ටැංකි 100ක් හා සන්නද්ධ රථ 2000ක් යොදවන, පෙර නොවූ විරූ ජර්මානු සහභාගිත්වයයි.

මෙම යුද අභ්‍යාසයන්හි මහා පරිමානය සෑම තැනකම වැඩකරන ජාතාවට අනතුරු ඇඟවීමකි. ජනතාවගේ පිටුපසින්, මහ බලවතුන්ගේ අගනගරයන්හි රාජ්‍ය හා මිලිටරි නායකයින්, ලෝකයේ බිලියන සංඛ්‍යාත මිනිසුන් හා පෘතුවි තලයම විනාශ කරන යුද්ධ සැලසුම් කරති. මෙම යුද අභ්‍යාස, දශක ගනනක් තිස්සේ ඇමරිකාව ප්‍රමුඛ නැටෝවේ යුද්ධ මඟින් නිර්මිත විවිධ ජ්වලන කේන්ද්‍රයන්හි ආතතීන් නව මුදුනකට පැමිනීමකි. මෙහිදී, නැටෝව හා රුසියාව ද චීනය ද අතර සෘජු ගැටුමක් බවට පත්වීමේ අනතුර ගැන විවෘතව සාකච්ඡා කෙරේ.

“ලෝකය මෙතෙක් දැක නැති ගින්දර හා කෝපය” පිලිබඳ ට්‍රම්ප්ගේ තර්ජනය එල්ලවූ, එනම් න්‍යෂ්ටික යුද්ධයක්, රුසියාවේ නැගෙනනහිර දේශසීමාවේ පිහිටි උතුරු කොරියාව සමඟ ඇමරිකානු සාකච්ඡා ඇනහිට ඇති අතර දැන් වොෂින්ටනය අනතුරු අඟවා ඇත්තේ දකුනු කොරියාව තුල මිලිටරි අභ්‍යාස යලි පටන් ගන්නා බවටය. පසුගිය වසරේ පැවති මෙම අභ්‍යාසයට 23000ක ඇමරිකානු සෙබලුන් ද තුන් ලක්ෂයක දකුනු කොරියානු සෙබලුන් ද සහභාගී විය. මෙය පැවැත්වුනේ උතුරු කොරියාව ඉලක්ක කෙරුනු “පෙරලොප්” ප්‍රහාර පුහුනු කටයුතු සමඟය.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙන්, සිරියාවට එරෙහිව ප්‍රකෝප නොකරන ලද බෝම්බ දැමීමේදී එය යුක්තිසහගත කිරීමට වොෂින්ටනය, ලන්ඩනය හා පැරිසිය විසින් යොදාගනු ලැබූ කඩතුරාව වැනි, සිරියාවේ ඉඞ්ලිබ් නඟරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට බ්‍රිතාන්‍ය ඔත්තු සේවා කටයුතු කරමින් සිටින බවට රුසියාව අනතුරු අඟවා ඇත. එය සිරියානු ආන්ඩුවේ කර මත පටවා එරටට පහර දීම සඳහා යොදාගැනීමේ හැකියාව ගැන රුසියාව සොයා බලමින් සිටී. “ගින්දර සමඟ සෙල්ලම් නොකරන මෙන්, අපගේ බටහිර සහකරුවන් වෙත අපි අනතුරු අඟවා ඇත්තෙමු” යයි එරට විදේශ ඇමති සර්ජි ලැව්රොව් පැවසුවේ, යූඑස්එස් රොස් නම් ඇමරිකානු ගයිඩඞ් මිසයිල් නාෂක නෞකාව මධ්‍යධරනී මුහුදට ලඟාවෙමින් තිබියදීය. එය රුසියානු නාවික සේනාංකයට මුහුනලා රඳවනු ඇත.

යුක්‍රේනයේ රුසියාව පිටුබලය දෙන ඩොනෙට්ස්ක් මහජන සමූහාන්ඩු බෙදුම්වාදී නායක ඇලෙක්සැන්ඩර් සකාචෙන්කෝ 31දා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගියේය. රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ මෙය, කියෙව්හි නැටෝ පිටුබලය ලබන ආන්ඩුව විසින් කරන ලද ඝාතනයක් බවය.

සියල්ලටත් වඩා යුද අනතුරට වගකිව යුත්තේ, ඇමරිකාව ද බටහිර යුරෝපීය අධිරාජ්‍යවාදීන් ද ය. ස්ටැලින්වාදීන් විසින් 1991දී සෝවියට් සංඟමය බිඳ දමනු ලැබීමෙන් පසුව සියවස් කාලක් පුරා ඔවුන් යුරේසියාවේ ආක්‍රමනික මිලිටරි මැදිහත්වීම් උත්සන්න කලේය. යුගෝස්ලාවියාවේ සිට ඉරාකය හා සිරියාව දක්වා ද ඇෆ්ගනිස්ථානය හා ඉන් එපිටට යුද්ධ පුලුල් කර ඇත. වොෂින්ටනය සිය පිරිහෙන ගෝලීය ආධිපත්‍යය පිරියම් කර ගැනීමට වෑයම් කරද්දී, මෙම යුද්ධ වලින් මිලියන සංඛ්‍යාත මිනිස් ජීවිත හා සමස්ත සමාජයන්ම විනාශ කරන ලදී.

තමන් ගෙනයන්නේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්ය” යන ව්‍යාජය අතහැර, ඉලක්කයන් ලෙස චීනය හා රුසියාව නම් කරමින්, නව ජාතික ආරක්ෂක මූලෝපායක් ප්‍රකාශයට පත්කල ජනවාරියේ පටන් රුසියාවට හා චීනයට එරෙහි වොෂින්ටනයේ තර්ජන විවෘත තලයකට පැමින තිබේ. එම ලේඛනය ඉදිරිපත් කරමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, “දැන් ඇමරිකානු ජාතික ආරක්ෂාව පිලිබඳ මූලික යොමුව ත්‍රස්තවාදය නොව, මහ බලවතුන්ගේ තරඟය” වන බව පවසන අතර, “එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුත් ලෝක පර්යායට තර්ජනය කරන, චීනය හා රුසියාව ‘සංශෝධනවාදී බලවතුන්” ලෙස හංවඩු ගැසීය.

ලෝකය පුරා ඇමරිකානු මිලිටරි කටයුතු වැඩි දියුනු වෙමින් තිබියදී එරට ජාතික ආරක්ෂක මූලෝපායට ප්‍රතිචාර වශයෙන් සිය අභ්‍යාස පැවැත්වෙන බව මොස්කෝව හා බීජිනය පවසා ඇත. රුසියානු රාජ්‍ය මාධ්‍ය, විදෙස් ප්‍රතිපත්ති විචාරක මාර්ක් ස්ලෙබෝදා උපුටා දැක්වීය. යුද අභ්‍යාස වොෂින්ටනයට යවන සංඥාවක් බව ඔහු පැවසීය. එසේම, “ඔවුන්ගේ ජාතික ආරක්ෂක මූලෝපායට මෙන්ම එක්සත් ජනපද හා නැටෝව දකුනු චීන මුහුදේ, තායිවාන් සමුද්‍ර සන්ධියේ හා රුසියාවේ බටහිර දේශසීමාවේ ස්ථාවර හමුදා රැඳවුම් වලට ද දක්වන ප්‍රතිචාරයකි.”

ස්ලෙබොදා කෙලින්ම කියා සිටියේ, මොස්කෝව හා බීජිනය ඒකාබද්ධ මිසයිල් ආරක්ෂක අභ්‍යාස සැලසුම් කරමින් සිටින බවත් ඒවා විභව ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වන සූදානමක් බවත්ය. “ඔවුන් පෙර දකිනු ඇත්තේ, එක් රටක් වෙලාගත් මූලෝපායික න්‍යෂ්ටික ගැටුමක් නිරායාසයෙන්ම දෙරටම සම්බන්ධවන ගැටුමක් වන බවයි.”

චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව මිලිටරි අභ්‍යාස, “දෙරට අතර මූලෝපායික මිලිටරි හවුල්කාරිත්වය ශක්තිමත් කරමින්, මිලිටරියන් දෙක අතර මිත්‍රත්වය හා සහායෝගිතාව ගැඹුරු කරමින්, ආරක්ෂක තර්ජනයන්ට මුහුන පෑමේදී දෙරටේ ඒකාබද්ධ හැකියාව තවදුරටත් නඟා සිටුවන බවයි.”

රුසියා-චීන මිලිටරි අභ්‍යාසයන්ගේ පරිමාව, අධිරාජ්‍යවාදී රටවල පාලක පන්තියේ මිලිටරි මූලෝපායඥයින්ට අනතුරු ඇඟවීමක් වී ඇති බව පෙනේ. මොස්කෝව හා බීජිනය තමන් න්‍යෂ්ඨික යුද්ධයක මුව විටේ පවතින්නේ යයි අවංකවම විශ්වාස කරන බවක් ඉන් ඇඟවේ.

ජාත්‍යන්තර මූලෝපායික අධ්‍යයනය නමැති ලන්ඩන්හි බුද්ධි මන්ඬලයේ ප්‍රකට මූලෝපායඥයෙක් වන ෆ්‍රන්සුවා හේස්බර්ග් ද පැරිස් මූලෝපායඥයෙක් ද ට්වීටර් පනිවිඩ වලින් කියා සිටියේ, “මෙම නව අභ්‍යාසය, කීර්තිය නංවා ගැනීමට ප්‍රයෝජනවත් වන අරමුනට වඩා දුරට විහිදේ. එයට රුසියාවේ ක්‍රියාශීලී මිලිටරි සේවයේ යෙදී සිටින්නන්ගෙන් සියයට 30ක් සම්බන්ධ වන අතර රුසියාවේ ආරක්ෂක වියදම් දැඩි පීඩනයකට හසුව තිබෙන තත්වයකදී සිදුවේ. මෙයින් පැහැදිලි වන්නේ, පුලුල් පරිමානයේ යුද්ධයක් ඉහලම හැකියාවකින් යුක්ත යයි සැලකෙන බවකි.”

බ්‍රසල්ස්හි නිදහස් විශ්වවිද්‍යාලයේ ජොනතන් හොල්ස්ලැග් චීන මෝනිං පෝස්ට් පත්‍රයට පැවසුවේ, අභ්‍යාස “නිවර්තනයක් පිලිබඳ සංඥාවක්” බවයි. ඔහු මෙසේ ද පැවසීය.“මොස්කෝව හා බීජිනය අතර තවමත් බොහෝ අවිශ්වාසයන් පැවතුනේවී නමුත් මොස්කෝව දකින්නේ, චීනය සමඟ වැඩකරනවා හැරෙන්නට තමන්ට අන් විකල්පයක් නොමැති බවය. විශේෂයෙන්ම එක්සත් ජනපදය සමඟ සම්බන්ධතා අස්ථාවරව තිබියදී හා බටහිර සම්බාධකවල බලපෑම අවම කිරීමට චීනයේ මූල්‍ය සහයෝගය නැතිවම බැරිව තිබේ.”

මොස්කෝවේ හා බීජිනයේ ප්‍රතිපත්තිය මුල්බැස ඇත්තේ දෙරටේම පශ්චාත් සෝවියට් කතිපයාධිකාරයේ බංකොලොත් ජාතිකවාදය තුලය. ඔවුන්ට අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමයට විරුද්ධව කිසිදු ඉදිරි මාවතක් ඉදිරිපත් කල නොහැකිය. මෙම තන්ත්‍රයන්ට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී මනෝ භාවයන් ඇමතීමේ මොනම හැකියාවක් හෝ ඇත්තේ නැත. ඔවුන් දෝලනය වන්නේ, බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවිය යුතු අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ යුද්ධයේ අවදානමත්, ඇමරිකාව හා මොස්කෝව හඳුන්වන සිය “බටහිර හවුල්කරුවන්” ගෙන් ගිවිසුමක් ඉල්ලා සිටීමත් අතරය.

ට්‍රම්ප් යුරෝපයට එරෙහිව වෙලඳ යුද්ධයේ තර්ජනය එල්ල කරද්දී මොස්කෝවට, නැටෝව භේද කර යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වොෂින්ටනයට එරෙහිව පෙලගස්වා ගැනීමේ සුලු බලාපොරොත්තුවක් ඇත. සත්තකින්ම බර්ලිනය, වොෂින්ටනය බැහැරකර යුරෝපීය සංඟමය මිලිටරීකරනයේ සැලසුම් තුල සිට සිය ප්‍රධාන හවුල්කරුවා වන ප්‍රන්සය ද තුර්කියද ඇතුලත් කරගත්, සිරියාව සම්බන්ධයෙන් රුසියාව යෝජනා කර තිබෙන සාකච්ඡාවලට සිය සූදානම පෙන්වා ඇත. කෙසේ වෙතත් මෙම සැලසුම බංකොලොත්ය. නැටෝ යුද අභ්‍යාස පෙන්නුම් කර තිබෙන ආකාරයට එය, රුසියාව ඉලක්ක කරගෙන සිය මිලිටරි යාන්ත්‍රනය තර කිරීම පිනිස යුරෝ බිලියන සිය ගනනක් කොල්ලකෑමේ යුරෝ රටවල සැලසුම් වලට රුකුලකි.

20වන සියවස ආරම්භයේදී එදිරිවාදී ධනපති ආන්ඩු යුද්ධයේ මුවවිට වැනුනු ආකාරයටම මෙවර ද එය යුද්ධය දෙසට තල්ලු වෙමින් සිටී. මෙවර නම් එය න්‍යෂ්ටික යුද්ධයකි. මෙම තල්ලුව කම්කරු පන්තියේ දැනුවත් මැදිහත්වීමකින් තොරව නතර කල නොහේ. ප්‍රමුඛ අනතුර නම්, මහා ජනකායන් අවදානමේ ක්ෂනික බව පිලිබඳව නොදැනුවත් වීමය. ධනපති විරෝධී හා අධිරාජ්‍ය විරෝධී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරු පන්තියේ යුද විරෝධී ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි භාවය ලෝසවෙඅ විසින් අවධාරනය කරන්නේ මේ නිසාය .

Share this article: