චුදිත හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති සිරිසේන ගේ මැදිහත්වීම- වැඩකරන ජනතාවට අනතුරු ඇඟවීමක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 සැප්තැම්බර් 17

සැප්තැම්බර් 12 වෙනිදා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා ප්‍රධානින් අත් අඩංගුවට නොගත යුතු බව ප්‍රකාශ කර ඇත. වාර්තාවලට අනුව, එම කැබිනට් රැස්වීමේ සාකච්ඡා කල කිසිවක් එලිදරව් නොකිරීමට ද එහි දී “ඒකමතිකව” තීන්දු කර තිබුනත් බොහෝ තොරතුරු මාධ්‍ය වෙතට කාන්දුවී තිබේ.

සිරිසේන විසින් මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවුම් කිරීමට ආසන්න හේතුව අධිකරන නියෝගයක් යටතේ ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුනරත්න අත් අඩංගුවට ගැනීම වැලැක්වීම බව මාධ්‍ය වාර්තා වලින් පැහැදිලි වේ.

ඔහු පමනක් නොව පොදුවේ අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඔවුන් “අපහසුතාවයට පත් වන අන්දමින් කටයුතු කිරීම” ගැන එම කැබිනට් රැස්වීමේ දී ජනාධිපති සිරිසේන බරපතල ලෙස අප්‍රසාදය පල කර ඇත. “රට බේරා ගත් රනවිරුවන් ට අනවශ්‍ය ලෙස හිරිහැර කිරීම නැවැත්විය යුතු” බව ද, ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව චෝදනා ඇත්නම් ඔවුන්ව අත් අඩංගුවට නොගෙන නඩු පවරන ලෙස ද ඔහු එහි දී සඳහන් කර ඇත. කැබිනට් රැස්වීමේදී ඔහු අඟවා ඇත්තේ ඒ වන විට විදේශගත ව සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ද තම මතයට එකඟ බවයි.

මිලිටරි නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්කිරීම හා අත්අඩංගුවට ගැනීම නැවැත්වීමට සිරිසේන පසුගිය සති දෙකක පමන කාලය තුල පැවැත්වූ තුන්වන රැස්වීම මෙයයි. අගෝස්තු 28 වෙනිදා ඔහු ආරක්ෂක හා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශ ලේකම්වරුන්, මිලිටරියේ ප්‍රධානින් සහ පොලිස්පති ඇතුලු නිලධාරීන් සම්බන්ධ කරගත් රැස්වීමක් පැවැත් වූයේය. සැප්තැම්බර් 11 දා අධිකරන ඇමතිනි තලතා අතුකෝරල, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ, විදේශ ඇමති තිලක් මාරපන, නීතිපති හා පොලිස්පති ඇතුලු නිලධාරීන් සමග තවත් රැස්වීමක් පවත්වා මිලිටරියට එරෙහිව පොලීසිය ක්‍රියා කරන ආකාරය ගැන අප්‍රසාදය පල කලේය.

ආරක්ෂක නිලධාරීන්ට සහ හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පවරන ලෙසට සිරිසේන කර ඇති ප්‍රකාශය වංචනික එකකි. දැනට විභාග වෙමින් පවතින අතුරුදහන් කිරීම් සහ ඝාතන පිලිබඳ නඩුවලට වලට අදාලව අධිකරනයට අවශ්‍යව තිබෙන ත්‍රිවිධ හමුදාවල අභ්‍යන්තර තොරතුරු ලබා නොදෙන ලෙස ද අගෝස්තු 28 වෙනිදා රැස්වීමේදී ඔහු නියෝග කොට ඇත. අදාල තොරතුරු නැති විට එම නඩු නිෂ්ප්‍රභා වන බව අමුතුවෙන් කිව යුතු නැත.

සිරිසේන මොනතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී මිලිටරි ගැති මැදිහත්වීමක් කරන්නේද යන්න ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධ බවට චෝදනාවන කුරිරු අපරාධවලින් ම පෙන්නුම් කෙරේ.

තරුනයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව චුදිතයෙකු වන නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු වූ ලුතිනන් කොමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට නොහොත් නේවි සම්පත් නමැත්තාට රැකවරන ලබාදීම සහ රටින් පැනයාමට අනුබල දීම ගැන විජේගුනරත්නට චෝදනා එල්ල වී තිබේ. එය බරපතල අපරාධ චෝදනාවකි. සාක්ෂි ඇතොත්, ඔහු අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබන ලෙස අගෝස්තු 29 වෙනිදා කොලඹ මහේස්ත්‍රාත් උසාවිය නියෝගයක් නිකුත් කලේ ය.

මෙම තරුනයන් පැහැර ගැනුනේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් කාල වකවානුව වූ 2008 - 2009 වසරවල ය. කස්තුරිආරච්චිලාගේ ජෝන් රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්ව නාදන්, මොහොමඞ් සාජිත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියොන්, රොෂාන් ලියොන්, ඇන්ටනී කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් එලෙස පැහර ගෙන ගොස් අතුරුදහන් කල පාසල් සිසුන් හා තරුනයෝ ය.

ඔවුන් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන ඥාතීන්ගෙන් කප්පම් ලබා ගැනීමෙන් පසුව ඝාතනය කෙරුනු බව විශ්වාස කෙරයි. ඔවුන්ගේ මලසිරුරු කිසිවක් සොයාගෙන නැත.

හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික අධිසහායක ලුතිනන් කොමදෝරු සම්පත් මුනසිංහ සහ ලුතිනන් කොමදෝරු වරුන් වන චන්දන හෙට්ටිආරච්චි හා සුමිත් රනසිංහ ඇතුලු නාවික හමුදා නිලධාරීන් සහ සෙබලුන් දසදෙනෙකුට මෙම පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම ගැන චෝදනා එල්ල වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චන්දන හෙට්ටිආරච්චිට තවත් චෝදනාවක් එල්ල වී ඇත.

අද්මිරාල් විජේගුනරත්නට තරුනයන් පැහැරගෙනයාම ගැන චෝදනාවක් එල්ල වී නැති බවත්, ඔහුට ඇත්තේ සැකකරුවෙකුට රටින් පැනයාමට උදව් කිරීමේ චෝදනාවක් පමනක් බවත් සඳහන් කරමින් ජනාධිපති සිරිසේන කැබිනට් රැස්වීමේ දී ආරක්ෂක මන්ඩල ප්‍රධානියාට අද්වකාත්කමේ යෙදී ඇත. අපරාධයක් කල බවට සැක කෙරෙන පුද්ගලයෙකුට රැකවරන සැලසීම සහ රටින් පලායාමට උපකාර වීම බරපතල නෛතික වරදක් නමුත් සිරිසේනට එය සුලු දෙයකි.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන සැප්තැම්බර් 10 වෙනිදා විජේගුනරත්න උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි. එහෙත් එදින ම අලුයම ඔහු රටින් පිට ව ගොස් ඇත. විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුදැනුමකින් හා අනුබලයකින් තොරව එලෙස රටින් පිට විය නොහැකි බව අතුරුදහන් කෙරුනු තරුනයන් 11 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න 12 වෙනිදා කොලඹ මහේස්ත්‍රාත් අධිකනරයට ප්‍රකාශ කලා ය. ත්‍රිවිධ හමුදාවල ප්‍රධාන අනදෙන නිලධාරි වන ජනාධිපති ද ආරක්ෂක මන්ඩල ප්‍රධානියා රටින් පිටව යන බව පිලිබඳව නොදැන සිටිය නොහැක.

සිරිසේනගේ මැදිහත්වීම මධ්‍යයේ රහස් පොලීසිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද්මිරාල් විජේගුනරත්න අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොවු බවත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පමනක් බලාපොරොත්තු වූ බවත් ය.

පොලීසියේ ක්‍රියාවන් සිරිසේන ගේ උදහසට ලක්වුවත් ඇත්ත තත්වය එය නොවේ. ඉහත කී සිද්ධීන් වී දශකයක් පමන ගතවී ඇතත් පොලීසිය ඒවා යට ගැසීමේ යෙදී සිටියේ සිරිසේන ඇතුලු කොලඹ පාලකයන්ගේ අනුදැනුම ඇතුව ය. මෙම අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විවේචන හා විපතට පත්වූවන්ගේ පමනක් නොව හිතනමතන කොටස්වල අවධානය යොමුවන තත්වය තුල පොලිසියේ හා අධිකරන ක්ෂේත්‍රයේ මවාපෑම් සිදුවේ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි තිස් අවුරුදු යුද්ධයේදී උතුරු-නැගෙනහිර දෙමල ජනයා දස දහස් ගනනක් ඝාතනය කෙරුනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අනුව යුද්ධයේ අවසන් මාස වල 40,000 පමන සිවිල් ජනයා ඝාතනය කෙරී ඇත. අතුරුදහන් කෙරුන සංඛ්‍යාව අවම වශයෙන් 20,000 බව වාර්තා වේ. ඊට අමතරව, සන්ඬේ ලීඩර් කර්තෘ වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම හා තවත් අය පැහැරගෙන ගොස් පහරදීම පිලිබඳ චෝදනා ද ආරක්ෂක අංශ වෙත එල්ල වී තිබේ. මේ කිසිවක් පිලිබඳව නඩු විමසා මෙතෙක් ඒවාට වගකිවයුතු කිසිවෙකුට දඬුවම් පමුනුවා නැත.

ඒ වෙනුවට තමන් ද ඇමතිකම් දැරූ අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිදු කරන ලද අපරාධ වසන් කරන සිරිසේන ඒවාට වගකිව යුතු මිලිටරි නිලධාරීන් සහ දේශපාලකයන් ඍජුව ආරක්ෂා කරයි. යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් අධිකරනයට කැඳවීමට හෝ දඬුවමකට ලක් කිරීමට ඉඩ නොදෙන බව ට ඔහු නැවත නැවතත් සපත කර ඇත.

අපරාධ කල අයට තරාතිරම නොබලා දඬුවම් දෙන බවට පොරොන්දු වී බලයට පත් වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මහින්ද රාජපක්ෂ තන්ත්‍රය මෙන් ම යුද අපරාධකරුවන් ආරක්ෂා කරන පාලක නඩයක් බව මේ වනවිට ඇති පදමින් සනාථ වී ඇත.

කම්කරුවන්, දුගීන් හා සිසුන් සම්බන්ධයෙන් සිරිසේන ප්‍රමුඛ ධනපති පාලක පන්තිය අනුගමනය කරන්නේ මීට ඉඳුරාම වෙනස් මෘග පිලිවෙතකි. ඔවුන්ගේ අරගලවලට එරෙහිව පොලීසිය හා හදිසිනීතිය කඩා පැන්නවීමට සිරිසේන හා වික්‍රමසිංහ පැකිලෙන්නේ නැත. ගිය සතියේ සිරිසේන සරසවි සිසුන්ට අන්තවාදීන් ලෙස ගැරහුවේ ඔවුන්ට එරෙහි මර්දනය උසි ගන්වන බවට තර්ජනය කරමිනි.

තෝරාගත් මාධ්‍ය ප්‍රධානීන් ගේ රැස්වීමක් සිකුරාදා කැඳවූ සිරිසේන ලංකාවේ මිලිටරිය යුද අපරාධ චෝදනාවලින් බේරාගැනීමට තමන්ගේම විශේෂ යෝජනාවක් නොබෝ දිනකින් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිවාරයට ඉදිරිපත්කරන බව ප්‍රකාශ කලේය.

සිරිසේනගේ මෙම මෙහෙයුමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආරක්ෂක හමුදා රටේ පවතින නීතියට ඉහලින් පිහිටුවා තැබීමට පසුගිය ආන්ඩු ගෙනගිය වැඩපිලිවෙල අලුත් ඉහලකට එසවීමට සිරිසේන-වික්‍රමසිංහ පාලනය ක්‍රියාකරමින් සිටින බවයි. පසුගිය අපරාධවලින් මිලිටරිය හා පොලීසිය මුදාහැරීම අනාගත මෙහෙයුම්වලට ඒවා කැඳවා ගැනීමේ අරමුනින් කෙරෙන්නකි.

ෆෙඩ්‍රික් එංගල්ස් සහ ලෙනින් පැහැදිලිකල ආකාරයට, හමුදා, පොලීසි හා අධිකරනය ඇතුලු රාජ්‍ය යන්ත්‍රය ධනපති පන්තියේ මර්දනයේ උපකරනයන් ය. අර්බුද කාලවලදී ඒවා වැඩකරන ජනතාවට එරෙහිව නග්න මර්දනය සඳහා මුදා හරිනු ලබයි.

ගෝලීය ආර්ථික අර්බුදයෙන් ඔද්දල්වන ලංකාවේ ආර්ථික ප්‍රශ්න වලටද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා සිසුන්ගේ අරගලවලටද මුහුන දී සිටින පාලක පන්තියේ කොටස් ශක්තිමත් පාලනයක්, ස්ථාවර ආන්ඩුවක් හා ඒකාධිපති පාලනයක් අටවා ගැනීමේ විකල්ප ගැන සාකච්චා කරති. ඔවුන්ට අවශ්‍ය පොලිස් පාලනයක් තහවුරු කිරීමට ආන්ඩුවේ පැත්තෙන් සිදුවන සූදානම සිරිසේනගේ ක්‍රියාවලින් පෙන්නුම් කෙරේ.

Share this article: