ශ්‍රී ලංකාවේ චීන බලපෑමට වල කැපීම සඳහා, එක්සත් ජනපදය හා ජපානය වෑයම දැඩි කරයි

US and Japan increase efforts to undercut Chinese influence in Sri Lanka

රොහාන්ත ද සිල්වා විසිනි, 2018 සැප්තැම්බර් 3

එක්සත් ජනපදය හා ජපානය ඉන්දියානු හා පැසිෆික් සාගර කලාපයන්හි චීන බලපෑමට එරෙහිව සිය භූ-දේශපාලනික හා මිලිටරි උපාමාරු වලට ශ්‍රී ලංකාව වඩාත් තදින් ගැටගසා ගැනීමට දරන ප්‍රයත්නය ඉහල නංවා ඇත. පසුගිය මාසයේ ජපාන ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු මෙරටට පැමිනි අතර ඇමරිකානු නාවික හමුදා කන්ඩායමක් සිය ශ්‍රී ලංකා සහචරයින් සමඟ ඒකාබද්ධ අභ්‍යාසය පවත්වන ලදී.

ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනොරි ඔනොදේරා අගෝස්තු 20දා කල තෙදින නිල සංචාරයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන හමුවිය. ජපන් ආරක්ෂක ඇමතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිනි ප්‍රථම අවස්ථාව මෙයයි.

ඔනොදේරාගේ ලංකා සංචාරය සිදුවුයේ ඉන්දියාවට ගොස් ආරක්ෂක ඇමති නිර්මලා සීතාරාමන් සමග මිලිටරි සබඳතා වැඩිදියුනු කිරීම පිලිබඳ සාකච්ඡා කිරීමෙන් පසුවය. චීනයට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ මූලෝපායික හවුල්කාරිත්වයක් සඳහා ටෝකියෝ හා නව දිල්ලිය දෙපලටම කොලඹ වඩාත් සමීපව ඒකාබද්ධ කර ගැනීමට අවශ්‍යවී ඇත.

ජපානය චීනයට එරෙහිව එක්සත් ජනපදය සමඟ පෙල ගැසී සිටින අතර, ආසියා-පැසිෆික් කලාපය තුල ටෝකියෝවේ අධිරාජ්‍යවාදී ආසක්තයන් හා අභිලාෂයන් සම්බන්ධයෙන් දකුනු ආසියාතික රටවල් සමග, විශේෂයෙන්ම ඉන්දියාව සමග සිය සම්බන්ධතා ශක්තිමත් කරයි.

එක්සත් ජනපදය, ජපානය හා ඉන්දියාව යන රටවල් තුනම, බෙයිජිනය සමග, විශේෂයෙන්ම හම්බන්තොට වරාය 99 අවුරුද්දක කල් බදු පදනම යටතේ චීනයට පැවරීම සම්බන්ධව සිය උත්සුකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. මෙම ගිවිසුම අනුව හම්බන්තොට වරාය මිලිටරි අරමුනු සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ආන්ඩුවේ ප්‍රකාශ කිරීම් නොතකා වොෂින්ටනය, ටෝකියෝ හා නව දිල්ලිය පවසන්නේබෙයිජිනය එය නාවික වරායක් ලෙස භාවිතා කල හැකි බවයි.

ඔනොදේරා අගෝස්තු 22 දා ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය පිහිටා ඇති ත්‍රීකුනාමලය වරාය වෙත ගොස් විශේෂ නාවික හමුදා බලඇනි නිරීක්ෂනය කලේය. ආරක්ෂක ඇමතිගේ සංචාරය අවස්ථාවේ,මෙම ස්වාභාවික ගැඹුරු වරායේ ජපන් යුද නෞකාවක් නැංගුරම් ලා තිබුනි. 2008 වසරේ සිට වර්ධනය වන මිලිටරි සබඳතා සලකුනු කරමින්, ජපන් නාවික යාත්‍රා 66 ක් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී ඇත.

ත්‍රීකුනාමල සංචාරයෙන් අනතුරුව ඔනොදේරා හම්බන්තොට වරාය නිරීක්ෂනය කරමින්, ජපානයේ එන්රච්කේ රූපවාහිනියට පවසා ඇත්තේ, වරාය “මිලිටරිමය අරමුනු සඳහා යොදා නොගතයුතු” බව යි. එය චීන බදු ගිවිසුම පිලිබඳව ටෝකියෝවේ කනස්සල්ල පිලිබඳ තවත් ඇඟවුමකි.

ඔනොදේරා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් දින පහකට පසුව ජපන් විදේශ කටයුතු අමාත්‍ය කසුයුකි නකනේ දින තුනක සංචාරයක නිරත විය. ඔහු රනිල් වික්‍රමසිංහ හමුවූ අතර, වෙරල ආරක්ෂාව සඳහා ජපානය පරිත්‍යාග කරන ලද යාත්‍රා දෙකක් නැව්ගත කිරීමේ උත්සවයට සහභාගි විය.

ජපාන තානාපති කාර්යාලය කියා සිටියේ, “ඩොලර් මිලියන 11 ක් විටිනා ජපානයේ සාදන ලද බෝට්ටු”, සෙවීම් හා මුදාගැනීම්, “තෙල් පිරිපහදු කලමනාකරනය හා මුහුදු ජලයට තෙල් මිශ්‍රවීමෙන් ඇතිවන දූෂනය පාලනය” සහ “නාවික ආරක්ෂක හැකියාවන්” සඳහා මෙහෙයුම් වලදී යොදා ගත හැකි බවයි. එය ජපාන-ශ්‍රී ලංකා ”නාවික ආරක්ෂණ ශක්‍යතා සංවර්ධන” යන, ඩොලර් මිලියන 16.5 ව්‍යාපෘතියේ කොටසකි.

අගෝස්තු 23 දා, යූඑස්එස් ඇන්කොරේජ් යන එක්සත් ජනපදයේ නාවික යාත්‍රාවක් හා නාවික කාර්යසාධන ඒකකයක් ත්‍රීකුනාමලයට පැමිනියේය. ටොන් 25,000 ක් බර, මීටර් 208 ක් දිග සහ මීටර් 32 ක් පලල, මුහුදේ මෙන්ම ගොඩබිම මෙහෙයුම් සඳහා ද යොදාගත හැකි නෞකාව, 600 ක නාවික හමුදාවකින් යුක්ත වන අතර හමුදා භට පිරිස් යුද කලාප වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත.

දැවැන්ත නෞකාව යොදාගෙන ත්‍රීකුනාමලයේ නැගෙනහිර වෙරල තීරයේදී, අගෝස්තු 30 වන දින එක්සත් ජනපද-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා සෝදිසි සහ අත්අඬංඟුවට ගැනීමේ මෙහෙයුම් සහ ආරක්ෂක හමුදා අභ්‍යාස පවත්වන ලදී. යූඑස්එස් ඇන්කොරේජ් හමුදා අනදෙන නිලධාරී ඩෙනිස් ජැකෝ සහ අනෙකුත් එක්සත් ජනපද හමුදා නිලධාරීන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර නාවික විධානයේ අනදෙන නිලධාරි රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රොබට් හිල්ටන් විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන් විය. “ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගනිමින්, ගුවන් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් අත්හදා බැලීමට අප තුල මහත් උනන්දුවක් පවතියි. එක්සත් ජනපදයේ සහ හවුල්කාර මිලිටරි හා මානුෂීය සංවිධාන වලට අවශ්‍ය වූ විට උපකරන හා වෙනත් ද්‍රව්‍ය ඉක්මනින් සහන සැපයීම් ලබාදීම මීට ඇතුලත්ය. “ගුවන් සේවා සැපයුම් මධ්‍යස්ථානය” එක්සත් ජනපද මිලිටරිය හා කොලඹ ආන්ඩුව අතර වැඩෙන ඒකාබද්ධතාවයේ කොටසකි.

එක්සත් ජනපදයේ 7වන ප්‍රහාරක කන්ඩායමේ කාර්යසාධන ඒකක සහකාර ප්‍රධානී කොමදෝරු කේ. මැකීව් මෙසේ පැවසීය. “දේශීය මෙහෙයුම් සඳහා සහාය වන සේවාවන් සාර්ථකව යොදාගනිමින් අනාගත කටයුතු සඳහා ක්‍රියාවලිය ප්‍රමිතිගත කිරීම, ඉහල උපයෝජ්‍ය ආපදා ප්‍රතිසාධනය සඳහා දරන ප්‍රයත්නයට තීරනාත්මක සැපයුම් ඇතුලත් වනු ඇත.”

මහා පරිමාන මිලිටරි බලමුලු ගැන්වීම සඳහා එක්සත් ජනපදය, ජපානය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන අතර ප්‍රතිවාදී බලවතුන්ට එරෙහි බාධක සැපයුම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනේ.

25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නාවික හමුදා කන්ඩායමක් ප්‍රථම වරට එක්සත් ජනපදයේ “පැසිෆික් සාගර කලාප” අභ්‍යාස සඳහා හවායි හා දකුනු කැලිෆෝනියාවෙහි ජූනි හා අගෝස්තු අතරතුරදී සහභාගී වූ බව වාර්තා වේ. ලොව විශාලතම ජාත්‍යන්තර මුහුදු යුද අභ්‍යාසයේ ද්විවාර්ෂික ඉසව්වට සහභාගිවූවන් අතර එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිපික් බලකාය සහ අනෙකුත් ඒකක ගනනාවකි. එක්සත් ජනපද චතුර් පාර්ශවීය හවුල්කරුවන් වන ඉන්දියාව, ජපානය හා ඕස්ටේ්‍රලියාවට අමතරව අභ්‍යාසයට, ඊස්රායලය හා වියට්නාමය ඇතුලු තවත් රටවල් ගනනාවක් සහභාගී වූහ. චීනය බැහැර කර තැබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව සමග ඉන්දියානු ආර්ථික හා ආරක්ෂක සබඳතා ද ශක්තමත් කර ඇත.නවදිල්ලිය හම්බන්තොට වරාය අසල දකුනු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සඳහා කොලඹ සමග කල්බදු ගිවිසුමක් ඉල්ලා සිටින අතර ත්‍රීකුනාමලයේ මූලෝපායික ස්ථානගත වීමක් ද අපේක්ෂා කරයි.

2012 දී ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය ආරම්භ කරන ලද අතර, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීම සඳහා එක්සත් ජනපදය පාලන තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුමක් දියත් කොට, සිරිසේන ජනාධිපති ලෙස පත්වනතෙක් එය සම්පූර්නයෙන් ක්‍රියාත්මක නොවීය. නව දිල්ලියේ පිටුබලය ද සහිතව එක්සත් ජනපදය, ජනාධිපති ඔබාමාගේ චීන-විරෝධී “ආසියාවට හැරීම” සමඟ පෙලගැසෙමින්, චීන බැඳීම් නතර කරන ලෙස ඉල්ලා සිටියේය. 2015 දී බලයට පත්වීමෙන් පසු සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව එක්සත් ජනපද- ඉන්දීය ගැති විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමීය.

කෙසේ වෙතත් බරපතල මූල්‍ය ගැටලුවලට මුහුනපා සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, මූල්‍ය සහයෝගය හා ආයෝජන සඳහා බීජිනයවෙත හැරී තිබේ. චීනයට හම්බන්තොට වරාය බදු දීම සඳහා ඩොලර් බිලියන 1.1 ක මුදලක් ලබාගෙන ඇති අතර චීනය දැනට එහි ප්‍රධාන ආයෝජකයා වේ. පසුගිය මාසයේ චීන ජනාධිපති ෂී ජින්පින්, දිවයිනේ සිය බලපෑම වැඩි කිරීමට සැලසුම් කරමින්, ඩොලර් මිලියන 295 ක ප්‍රදානයක් ලබා දී තිබේ.

වොෂිංටනයේ ආක්‍රමනශීලී දේශපාලන හා මිලිටරි පියවරයන්ට එරෙහිව වඩ වඩාත් ආක්‍රමනශීලීව සටන් කිරීම සඳහා බෙයිජිනය එහි "එක් මාවතක්,එක් තීරුවක්" ව්‍යාපෘතියට මුලපිරීම වේගවත් කර ඇති අතර, මැදපෙරදිග හා අප්‍රිකාව වෙත මුහුදු මාර්ග ආරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටවල වරාය පහසුකම් ස්ථාපිත කිරීම ඊට ඇතුලත් වේ. දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිය, යුරේසියානු කලාපය මෙන්ම අප්‍රිකාවත්, ගොඩබිමෙන් හා මුහුදින් සම්බන්ධ කිරීම අරමුනු කරයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයට එරෙහි වෙලඳ යුද්ධයේ පියවර පෙරට ගෙන යමින් මිලිටරි ගැටුම සඳහා සූදානම් වන තත්වයේදී, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද හා ජපානයේ මිලිටරි ක්‍රියාකාරකම් ප්‍රසාරනය තුඩු දෙනු ඇත්තේ භූ-දේශපාලන ආතතීන් තීව්‍ර කිරීමටය.

Share this article: