රුසියානු විප්ලවයේ මේ සතිය

අප්‍රේල් 10-16: ලෙනින් ෆින්ලන්ත දුම්රියපලට ලඟාවෙයි

2017 අප්‍රේල් 10

ලෙනින් 100 වසරකට පෙරාතුව 1917 අප්‍රේල් මාසයේ මේ සතියේ පෙට්‍රොග්‍රෑඩයේ ෆින්ලන්ත දුම්රියපලට පැමිනීම, ලෝක ඉතිහාසයේ අතිශයින් නාටකාකාර සිදුවීමකි. මේ දක්වා ඇතිකර තිබෙන පෙර නොවූ විරූ විනාශය හා දුක්පීඩාවන්හි පසුබිමක ලෙනින් පෙට්‍රොග්‍රෑඩයට ලඟා වූයේ, බොල්ශෙවික් පක්ෂය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පිහිටුවා ගැනීමේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුවය. මෙම අස්ථානය, අන් සියලු දේශපාලන ප්‍රවනතාවන්හි පමනක් නොව ඔහුගේම පක්ෂය තුල නායකත්වයේ කොටසකගේ ආස්ථානයන්ට ද වෙනස්ය.

පෙබරවාරි නැඟිටීම්වලින් පසු අවධියේ, පෙට්‍රොග්‍රෑඩයේ ජ්‍යෙෂ්ඨ බොල්ශෙවික් නායකයින් ගනනාවක්, තාවකාලික ආන්ඩුවට හා අධිරාජ්‍යවාදී යුද්ධය පවත්වාගෙන යාමේ පිලිවෙත් වලට අනුගතවීම දෙසට වන නැඹුරුවක් පෙන්නුම් කලහ. මේ අතර ලෙනින්ගේ චින්තනය ආකර්ෂනය වුනේ, ලියොන් ට්‍රොට්ස්කි සමඟ අනන්‍යවූ ආස්ථානයන් දිසාවට හා “නොනවතින” හෝ “නිර්බාධිත” ජාත්‍යන්තර විප්ලවය පිලිබඳ න්‍යාය වෙතය. මානව ශිෂ්ඨාචාරයේ අනාගත ගමන් මග තුලනය වෙමින් තිබුනේ, බෝලර් තොප්පියක් හිසලා, හොඳින් ඇඳ පැලඳගත්, ඕනෑම මොහොතක අත්අඩංඟුවට ගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් දුම්රියෙන් බසින අයෙකු මත යයි පැවසීම අතිශයෝක්තියක් නොවන්නේය.

අප්‍රේල් 10, සූරිච්: ලෙනින් පෙට්‍රොග්‍රෑඩය බලා යාම පිනිස දුම්රියට ගොඩවෙයි

ලෙනින්, ඔහුගේ බිරිඳ නඩෙස්ඩා කෘප්ස්කායා ද ඉනේසා ආමන්ඩ්, ග්‍රිගෝරි සිනෙවියෙව්, කාල් රඩෙක් හා තවත් විප්ලවවාදීන් 27ක් හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින් අප්‍රේල් 10දා, සූරිච්හි දුම්රියට ගොඩවුනේ ජර්මනිය හරහා ගොස් පෙට්‍රොග්‍රෑඩයට ලඟාවීමටය. දුම්රිය සින්ජෙන් ඔෆෙන්බර්ග්, මැන්හෙයිම්, ෆ්‍රැන්ක්ෆර්ට්/මේන්, බර්ලින් හා බර්ජෙන් පසුකර සැබ්නිට්ස් කරා ලඟාවෙයි. බොල්ශෙවික කාල් රඩෙක් පසුව ගමන විස්තර කලේ මෙලෙසය:

“ඉලිච් ගමන පුරාම වැඩ කලේය. ඔහු කියෙව්වේය, සිය පොතෙහි සටහන් ලිවීය, ඒ අතර සංවිධානාත්මක ප්‍රශ්න කෙරෙහි ද සිත යොමු කලේය....ෆ්‍රැන්ක්ෆර්ට්හි දුම්රිය බොහෝ වේලාවක් නතර කර තිබුනි. මිලිටරිය විසින් දුම්රිය වේදිකාව මුද්‍රා තබා තිබුනි. හදිසියේම මුරවැට බිඳ ජර්මානු සෙබලු වේගයෙන් අප වෙත පැමිනියහ. සාමයට ලැදි රුසියානු විප්ලවවාදීන් ගමන් කරමින් සිටින බව ඔවුන්ට අසන්නට ලැබී ඇත. ඔවුන් සෑම එකෙක්ම බියර් ජෝගුවක් දෑතින්ම ඔසවාගෙන සිටියේය. ඔවුන් කුතුහලයෙන් යුතුව අපෙන් ඇසුවේ සාමය උදාවනවා ද ඒ කවදා ද යනුවෙනි. ජර්මානු ආන්ඩුව නම් තත්වය පිලිබඳව අසන්නට නොකැමති බොහෝදේ මෙම මනෝගතියෙන් අපට දැනගත හැකි විය.”

ජර්මනිය හරහා ගමන් කරනවා හැර වෙනත් විකල්පයක් ලෙනින්ට නොතිබුනි. ප්‍රන්සය, රුසියාව, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ඇතුලු මිත්‍ර පාක්ෂිකයින් විසින් සියලු ජාත්‍යන්තරවාදීන් අපලේඛනගත කර තිබුන අතර ඔවුන්ගේ භූමිය තරනය කිරීම වලක්වා තිබුනි. නිව් යොර්ක්හි සිට නෝර්වීජියානු නැවකින් රුසියාවට පැමිනීමට උත්සාහ කල ට්‍රොට්ස්කි, හැලිෆැක්ස්හිදී බ්‍රිතාන්‍ය විසින් සිරගත කරනු ලැබීම විප්ලවවාදීන්ට අනතුරු ඇඟවීමක් විය.

කෙසේ වුව ද සති හා මාස ගනනකට පසුව, ජර්මානු ආන්ඩුව සමඟ ඇතිකරගත් එකඟතාවක් අනුව, ලෙනින් ජර්මනිය හරහා රුසියාවට පැමිනීම, ඔහු ජර්මානු පාලනයේ “ඒජන්තයෙකු” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කල බොල්ෂෙවික්වාදයේ සතුරන් විසින් ගෙන ගිය ප්‍රචාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය.

දේශපාලනිකව ඊටත් වඩා බොරුවක් තවත් නොවීය. ගමන පටන්ගැනීමට පෙරාතුව සකස් කල ඒකාබද්ධ ප්‍රකාශනයේ ලෙනින් හා අනෙකුත් විගාමිකයන් පවසා සිටියේ: “රුසියානු ජාත්‍යන්තරවාදීන් දැන් රුසියාවට යන්නේ, අනෙකුත් රටවල ද විශේෂයෙන්ම ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ කම්කරු පන්තියට තමන්ගේ ආන්ඩු වලට විරුද්ධව නැඟී සිටීමට උදව් වනු පිනිස එහි (රුසියාවේ) විප්ලවය සඳහා කටයුතු කරන්නටය.”

ජර්මානු ආන්ඩුව ගනන් බැලුවේ, ලෙනින් ඇතුලු අනෙකුත් විප්ලවවාදීන්ට මාර්ගය සලසා දීමෙන්, තමන්ගේ යුද අරමුනු වලට රුකුලක් ලැබෙනු ඇත කියාය. ඔවුන් රුසියාව සමඟ කෙසේ හෝ වෙනම සාමයක් ඇතිකර ගැනීමට උත්සාහ කලේ, නැඟෙනහිර පෙරමුනේ සටන් වැදී සිටින හමුදා බටහිර පෙරමුනට මාරු කිරීම සඳහා ඉන් ඉඩ ලැබෙන නිසාය. මේ අරමුන වෙනුවෙන් රුසියාව තුල “හැකි දැවැන්තම විනාශය” සිදුකිරීමට ඔවුන්ට අවශ්‍යව තිබුනි. එමඟින් රට කැඩී බිඳී ගොස් “සාමය සඳහා ඇවිටිලි” කිරීමට සිදුවන තැනට ගෙන ඒමයි. එහෙත් ජර්මානු පාලක මඬුල්ලේ ගනන් බැලීම් වලට ප්‍රතිවිරුද්ධව ඔක්තෝබර් විප්ලවය, ලෝක ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවීමට මඟ සැලසුවා පමනක් නොව, ජර්මනියේ කම්කරුවන් හා හමුදා භටයින් ද දිරිමත් කරමින්, 1918 නොවැම්බරයේ ජර්මානු විප්ලවයට තුඩු දුන් අතර එය කයිසර්ට පලා යාමට බල කරමින් 1වන ලෝක යුද්ධයට ජර්මනියේ සම්බන්ධය නිමාවකට ගෙනාවේය.

අප්‍රේල් 10දා පෙන්සිල්වේනියාවේ චෙස්ටර්, වෙඩිබෙහෙත් කම්හලක පිපිරුමකින් කම්කරුවන් 133ක් මිය යයි

ඇමරිකානු මාධ්‍යය, ව්‍යසනය ජර්මානු කුමන්ත්‍රනයක් සේ පෙන්වීමට උත්සාහ කරයි

ඇමරිකාව 1 ලෝක යුද්ධයට අවතීර්නවී දින ගනනකට පසුව පෙන්සිල්වේනියාවේ චෙස්ටර් ආසන්නයේ එඩිස්ටෝන් වෙඩිබෙහෙත් කම්හලේ පිපිරුමකින් 133ක් මිය ගියේය. විපතට පත්වූවන්ගෙන් අඩකගේ පමන සිරුරු සමූහ මිනීවලක මිහිදන් කිරීමට සිදුවූයේ (සිරුරු) හඳුනාගත නොහැකි වූ බැවින්ය. වැඩි දෙනෙක් කාන්තාවන් හා ගැහැනු ලමුන් වූ ඔවුන් සේවයෙහි යොදවා තිබුනේ කම්හලේ F ගොඩනැඟිල්ලේය. නොදන්නා හේතුවක් නිසා එහි ටොන් 18ක කලු කුඩු වර්ගයක් ගිනි ගත්තේය. එකිනෙකට බැඳුනු පිපිරීම් වැලක් නිසා සැතපුම් 10ක් දුර පිහිටි ගොඩනැඟිලි ද දෙදරුම් කෑවේය. අසල ගබඩාකර තිබුනු තවත් ටොන් 50ක කලු කුඩු තොගයක් ගිනිගැනීම වැලකී ගියේ ඇතිවූ ගිනි ජාලාව පාලනය කිරීමට දරන ලද බලවත් උත්සාහය නිසාය.

කම්හල් කොන්දේසි නොසලකා හැරීම පිලිබඳ සැකය දුරු කිරීම සඳහා අයිතිකරු වහාම පිපිරීමේ චෝදනාව එල්ල කිරීමට උත්සාහ කලේ, ජර්මානු කඩාකප්පල්කාරීන්ටය. සමාගමේ හිමිකරු සැමුවෙල් එම් වොක්ලේන්, ව්‍යසනය “කිසියම් පිටස්තරයෙකුගේ” වැඩක් බව වාර්තාකරුවෙකුට පැවසීය. බොහෝ දුරට ඉඩ තිබුනේ, මූනිස්සම් කොපු නිපදවීමට ගන්නා උපකරනවලට යොදාගත් විදුලි රැහැන්වල දෝෂයක් නිසා සිදුවූ බව යයි එක් සේවකයෙක් පැවසීය.

1916 කම්හල විවෘත කලේ, මිත්‍ර පාර්ශවයට අවි විකිනීමෙන් ලාභ සූරාකෑම පිනිසය.

අප්‍රේල් 11 ප්‍රන්සයේ බුලිකෝට්: ප්‍රථම බුලිකෝට් සටනෙන් බරපතල හානි

1917 බුලිකෝට්හි තුවාලකරුවන් ගෙන යාම බාර ඔස්ට්‍රේලියානුවන්

දෙදිනකට කලින් දියත් කරන ලද බ්‍රිතාන්‍යයේ අරාස් ආක්‍රමනයට සහාය පිනිස ඕස්ට්‍රේලියානු සෙබලු බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ ද සහාය ඇතිව බුලිකෝට් ප්‍රහාරය දියත් කලේය. කඩිමුඩියේ සැලසුම් කල මෙහෙයුම විනාශයක් විය. කිසිදු ප්‍රගතියක් නොලැබූ මිත්‍ර පාර්ශවයේ විපතට පත් සංඛ්‍යාව 3000ට අධික විය.

ඔස්ට්‍රේලියාවේ සිව්වන සේනාංකය කාලතුවක්කු පිටුබලය රහිතව ජර්මානු පෙරමුනු වලට ප්‍රහාර එල්ල කල අතර ඒවාට ආධාරක වශයෙන් යෙදවූ යුද ටැංකි 12 එක්කෝ කඩා වැටුනා නැත්නම් සතුරු පෙරමුනු වෙත ලඟාවීමටත් පෙර විනාශ කරනු ලැබින. බටහිර පෙරමුනේ බිඳ වැටෙන බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස ආක්‍රමනයට ආධාරක වශයෙන්, ඕස්ට්‍රේලියානු හමුදා මැයි මාසයේ මුල යලිත් බුලිකෝට් සටනට ඇද දමනු ලබන අතර එය ඊටත් වඩා රුදුරු සටනක් වනු ඇත. සටන් දෙකේ ප්‍රතිපලය ඕස්ට්‍රේලියානු විපත් සංඛ්‍යාව 10,000 ඉක්මවීමය. එම නගරය සෙබලු අතර ප්‍රසිද්ධියට පත් වුනේ "ලේ බේසම" ලෙසය. බුලිකෝට්හි දෙවන සටනින් මිත්‍ර පාක්ෂිකයන්ගේ හානි 18,000ක් ද ජර්මානුවන්ට සිදුවන හානිය 11,000 ද වනු ඇත. එයින් කිසිදු මූලෝපායික වාසියක් අත්වනු නැත.

අප්‍රේල් 11 රියෝද ජැනීරෝ: බ්‍රසීලය ජර්මනිය සමඟ රාජ්‍යතාන්ත්‍රික බැඳීම් කපා දමයි

සිතියමෙන් පෙන්වන්නේ 1911 දකුනු බ්‍රසීලයේ ජර්මානු ජනගහනයයි

බ්‍රසීලයේ වෙලඳ යාත්‍රා ගනනාවක් ජර්මානු යූ බෝට්ටු විසින් ගිල්වා දැමීම හා දින කිහිපයකට මත්තෙන් ඇමරිකාව යුද ප්‍රකාශ කිරීම හමුවේ වැනසෙස්ලාව් බ්‍රාකස්ගේ ආන්ඩුව, ජර්මනිය සමඟ රාජ්‍යතාන්ත්‍රික බැඳීම් අවසන් කරන බව නිවේදනය කලේය. ජර්මන් විරෝධී ප්‍රචාරනයේ රැල්ලක් හමුවේ අප්‍රේල් 5දා පරාන යන බඩු නැව ගිල්වීම, එම දකුනු ඇමරිකානු රාජ්‍යය පුරා පැවති විශාල ජර්මානු සංක්‍රමනික ජනගහනයේ ව්‍යාපාරික හා සංස්කෘතික සංවිධාන වලට ප්‍රහාර එල්ල කිරීමට තුඩු දුන්නේය. එසේම ජර්මානු සම්භවයක් සහිත අගමැති ලව්රෝ මුලර් ඉල්ලා අස්විය යුතු බවට ද ඉල්ලීම් මතුවිය.

1 ලෝක යුද්ධය, ලෝකය සමඟ පැවති බ්‍රසීල ආර්ථික හා දේශපාලන සම්බන්ධතා ද වෙනස් කලේය. එරට යුද්ධයට පිවිසුනේ කෝපි මත බෙහෙවින් රඳා පැවති නිර්යාත ආර්ථිකයක් ලෙසය. බ්‍රිතාන්‍ය නාවික අවහිර කිරීම් ද සමඟ යුද ආම්පන්න සඳහා නැව් වල වැඩි ඉඩකඩක් ලබා ගැනීම පිනිස ලන්ඩනය කෝපි ආනයනය තහනම් කිරීම ද හේතුකොටගෙන, බ්‍රසීලයේ යුරෝපීය වෙලඳපොලවල් අවහිර වීමෙන්, ඇමරිකාව සමඟ එරට ආර්ථික සම්බන්ධකම් දැඩි විය. ඒ අතරම ආර්ජන්ටිනාව හා චිලිය ද සමඟ බ්‍රසීලය, මෙක්සිකානු විප්ලවයේදී ඇමරිකානු මැදිහත්වීමත් සමඟ බටහිර අර්ධගෝලයේ වැඩෙන ඇමරිකානු ආධිපත්‍යයට හරස් කැපීමේ කොටසක් ලෙස “ඒබීසී ගිවිසුම” ඇතිකර ගත්තේය. යුද්ධය විසින් නිර්මානය කල උද්ධමනය ද රටේ ප්‍රථම ප්‍රධාන කම්කරු සංවිධාන හා එරට නැවුම් කාර්මික කම්කරු පන්තියේ වැඩවර්ජන පෙරට ගෙනාවේය.

අප්‍රේල් 11-16 (පැරනි මාර්තු 29- අප්‍රේල් 3) පෙට්‍රොග්‍රෑඩය: කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ සෝවියට් සභාවල සමස්ත රුසියානු සමුලුව

සෝවියට් සභාවල සමස්ත රුසියානු සමුලු නියෝජිතයෝ: ඉදිරි පෙල වාඩිවී සිටින අය, වමේ සිට දකුනට: කේ. ඒ. ග්වොස්ඩෙව්, වී. එන්. ෆිලිපොව්ස්කි, එන්. ලූ කපෙලින්ස්කි, ලූ එම් ස්ටෙක්ලොව්, බී. ඕ. බොග්ඩනොව්, එම්. එන්. ස්කොබෙලෙව්, ජී. වී. ප්ලෙකනොව්, එන්. එස්. ස්කෙයිඩ්සෙ, අයි. ජී. සෙරෙටෙලි.

සාර් පෙරලා දැමීමෙන් පසුව පෙට්‍රොග්‍රෑඩයේ පැවැත්වෙන සෝවියට් සභාවල සමස්ත රුසියානු නියෝජිත සමුලුව ඒ වර්ගයේ පලමු එක විය. එය, සෝවියට් සභා 139ක, හමුදා හයක හා හමුදා ඒකක 40ක නියෝජිතයින්ගෙන් සැදුම් ලද්දේය. එහි වඩාත්ම වැදගත් යෝජනාව යුද්ධය සම්බන්ධ එකය. සෝවියට් සභාවල විධායක කමිටුව වෙනුවෙන් එය ඉදිරිපත් කලේ, ජොර්ජියානු මෙන්ෂෙවිකයෙක් වූ ඉරාක්ලි සෙරෙටෙලිය. එය තාවකාලික ආන්ඩුව විසින් පූර්වයෙන් නිකුත් කරන ලද “යුද අරමුනු පිලිබඳ ප්‍රකාශනයට” සහාය දැක්වීය. සෙරෙටෙලිගේ මූලික තර්කය වූයේ, දැන් ආන්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර ආසක්තයන් ප්‍රකාශයට පත්කරන, යුද අරමුනු ප්‍රතික්ෂේප කරන තතු තුල, යුද්ධයේ ස්වභාවය වෙනස්වී ඇති අතර දිගටම විප්ලවය ආරක්ෂා කරන බවයි. යෝජනාව මෙසේ පවසයි:

විප්ලවයේ වැඩිදුර ජයග්‍රහන වැලැක්වීමට දරන සියලු උත්සාහයන්ට අතිශයින්ම තීරනාත්මක ප්‍රතිරෝධය දක්වද්දී, විප්ලවවාදී රුසියාවේ අතිශයින් දිරිමත් ආසක්තයන් හමුවේ, පිටතින් කෙරෙන කුමන හෝ මැදිහත්වීමකින් කම්කරු-සෙබල නියෝජිතයන්ගේ සමුලුව, දේශයේ පෙරමුන සවිමත් කිරීම වෙනුවෙන්, ජාතික දිවියේ සෑම ක්ෂේත්‍රයක් තුලම රටේ සියලු ජීවමාන බලවේග රුසියානු ප්‍රජාතන්ත්‍රය තුල බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටියි.

ලෙව් කමනෙව් විසින් හඳුන්වා දුන් බොල්ශෙවික් යෝජනාව ප්‍රතික්ෂේප විය. අවසානයේදී නියෝජිතයින් 325 දෙනාගෙන් අතිමහත් බහුතරය සෙරටෙලිගේ යෝජනාව අනුමත කලහ. කමනෙව්ගේ බොල්ශෙවික් යෝජනාවට පක්ෂව නියෝජතයින් 57 දෙනෙක් ඡන්දය දුන් අතර 20ක් ඡන්දය දීමෙන් වැලකුනහ.

තවත් යෝජනාවකදී සෝවියට් සභාව, තාවකාලික ආන්ඩුවට සිය කොන්දේසි සහිත සහයෝගය ප්‍රකාශ කලේය. යෝජනාව තර්ක කල පරිදි එය, “රුසියානු ප්‍රජාතන්ත්‍රයේ” අවශ්‍යතා මුලුමනින්ම පාහේ නියෝජනය කරයි. එසේම යෝජනාව, තාවකාලික ආන්ඩුවේ කටයුතු හා තීන්දු පාලනය කල යුතු බව ද කියයි.

මේ පිලිවෙත සමඟ සෝවියට් විධායක කමිටුව, තාවකාලික ආන්ඩුව සමඟ සිය සන්ධානය දිගටම පවත්වාගෙන යාමටත්, ඒ මත පීඩනය යෙදීමෙන් විප්ලවයේ අරමුනු ඉටුකරගත හැකි බවටත්, වැඩකරන ජනතාව අතර මතයක් ගොඩනැඟීමට අවශ්‍යයෙන්ම වෑයම් කරයි. පෙට්‍රොග්‍රෑඩයේ ව්‍යවස්ථා සම්පාදක මන්ලඩලයක් වහාම කැඳවිය යුතු යයි තුන්වන යෝජනාවෙන් කියා සිටී. අනෙකුත් යෝජනාවන්ගෙන්, පැය අටේ වැඩ දිනයක්, රැකියා විරහිතයින් සඳහා රක්ෂන ක්‍රමයක් හඳුන්වා දීම, සෙබලුන්ගේ අයිතීන් රැකීම වැනි කම්කරු අයිතීන් පිලිබඳව අවධානය යොමු කරයි.

කමනෙව්, නෝගින් හා සෙව්රුක් ඇතුලු සමුලුවේ බොල්ශෙවික නියෝජිතයෝ, සෝවියට් සභාව තුල පැවති ආරක්ෂනවාදී මනෝගතියට කැපී පෙනෙන පරිදි අනුගත වෙමින් සිටියහ. රුසියානු නගර දුසිම් ගනනක බොල්ශෙවික් සංවිධාන වෙනුවෙන් කථාකල සෙව්රුක්, සෙරටෙලිගේ යුද යෝජනාවට ප්‍රසිද්ධියේම සිය සහයෝගය පල කරන තරම් දුර ගියේය.

අප්‍රේල් 12 (පැරනි මාර්තු 30): එස්තෝනියාවේ ස්වෛරී පාලන ඒකකයක් පිහිටුවයි

ලිවෝනියා, එස්තෝනියා හා කොවරලන්ත පාලන ඒකකයන් දැක්වෙන 1898 සිතියම

පැරනි සාර් අධිරාජ්ය තුල වාර්ගික එස්තෝනියානුන්, අධිරාජ්ය වාදී පරිපාලන ඒකක දෙකක් අතර බෙදා තිබුනි. ඒවා එස්තෝනියානුන්ගේ ගවනරේට්ස් (guberniyas) හා ලිවෝනියානුන්ගේ ගවනරේට්ස් යනුවෙන් හැඳින්වින.

වාර්ගික සුලුතරයේ ජාතික ස්වයංනීර්නය සඳහා මහජන ඉල්ලීමට සහනයක් ලෙස තාවකාලික ආන්ඩුව, අප්‍රේල් 12දා ගවනරේට්ස් දෙක එස්තෝනියාවේ ස්වෛරී ගවනරේට් ලෙස එක් කලේය. එස්තෝනියානු පලාත් මන්ඬලය හෙවත් මාපොව්හි වෙනුවෙන් පැවැත්වූ සර්වජන ඡන්දය මත පදනම්වූ මැතිවරනයේ ප්‍රතිපල වශයෙන් බොල්ශෙවිකයෝ ආසන 62න් පහක් දිනාගත්හ.

අප්‍රේල් 14 සූරිච්: ඇපොලිනයර්, මැරිනෙට්, කොකොෂකා හා අනෙක් අයගේ වැඩකටයුතු සහිතව ඩැඩයිස්ට්ස් පවත්වන ලද උත්සවයක්

ඩැඩයිස්ට්ස්ගේ දෙවන සොයිරී වැඩසටහන, සූරිච්

අලුතෙන් පිහිටුවාගත් ඩැඩායිස්ට් ප්‍රවනතාවේ දෙවන සොයිරීය සූරිච්හි ගැලරි ඩඩාවේ පැවතියදී එයට ඇලුම් කල කලාකරුවන්. එම ව්‍යාපාරය මතුව ආවේ 1916දීය. කන්ඬායම යුද්ධය කෙරෙහි මෙන්ම එය නිර්මානය කල සමාජය කෙරෙහි ද පිලිකුල දැක්වුහ. සම්ප්රනධායික තර්කනය හා තර්කාන්විත බව නොතකා කලාකරුවෝ "කලා විරෝධයෙන් ප්‍රතිචාර දැක්වූහ.

සොයිරිය, ට්‍රිස්ටන් සාරාගේ හැඳින්වීමක් ද හෑන්ස් හියසුර් හා මාර්සෙල් සුල්ස්බර්ග්ගේ සංගීතයෙන් ද රචකයන්ගේ රඟදැක්වීමෙන් ද බ්ලේසී සෙන්ඩ්රාතස්, ගුයිලඋමි ඇපොලිනයෙර්, ජැකොබ් වෑන් හොඩිස්, ඇල්බට් ඉරෙන්ස්ටේන් හා චිත්‍ර ශිල්පි වසිලි කැන්ඩිස්කිගේ ගීත ගානයයෙන් ද ෆියුචරිස්ට් ෆිලිපෝ මැරිනෙට්ට් හා කලා විචාරක හේවර්ත් වැල්ඩෙන්ගේ කොටස් කියවීමෙන් ද භාවමය චිත්‍ර ශිල්පි ඔස්කා කොකොෂ්කා ගේ ස්ෆින්ක්ස් හා ස්ට්‍රෝචමන් (1907) කෙටි නාට්‍යයේ රඟදැක්වීමෙන් ද සමන්විත විය.

එක් විවේචකයෙක් කිවූ පරිදි "සූරිච් ඩඩා සොයිරීස්, ඩාඩා කැපීපෙනෙන ජාත්‍යන්තර සංසිද්ධියක් ලෙස මතුවීමේ ප්‍රධාන සිදුවීම විය. එතැන් පටන් එය යුරෝපීය කලාව වර්ධනය වීමේ ඉතිහාසය තුල ප්‍රසිද්ධියට පත්ව තිබුනි."

බොහෝ කලාකරුවන්ගේ ඉරනම 20 වන සියවසේ ඛේදවාචක හා ව්‍යසනයන් ගැන කථා කරයි. 1 ලෝක යුද්ධයෙන් ලත් තුවාල වලින් දුබලවී සිටි ප්‍රන්සකාරයෙකු වූ ඇපොලිනායර් 1918 ප්‍රන්ස උන වසංගතයට ගොදුරුවී මරනයට පත් විය. ජර්මානු-යුදෙව් වෑන් හොඩිස් නාසි වධකාගාරයකදී මිය ගියේය. ජර්මානුවෙකු වූ වැල්ඩන් හිට්ලර්ගේ ග්‍රහනයෙන් මිදී සෝවියට් සංඟමය වෙත පලා ගිය අතර ස්ටැලින්වාදීන්ගේ සිර ගෙයක් තුල 1941දී මිය ගියේය. ඔස්ට්‍රියානුවෙකු වූ අරෙන්ස්ටේන් නිව් යෝර්ක් නගරයේදී 1950 මියගියේ දිලින්දෙක් ලෙසය.

රිචඩ් හියුල්සෙන්බෙක් කවියා පසුව පැවසූ පරිදි සූරිච් පොලිසිය, “ශ්‍රේෂ්ඨ විප්ලවයක් සූදානම් කරමින් සිටි දේශපාලඥයෙකුට අපගේ පැවැත්ම නිසා බාධාවක් නොවන බවට උනන්දුවෙන් වග බලාගත්තේය. මා සඳහන් කරන්නේ අපගේ අසල්වැසියාව සිටි ලෙනින් ගැනය.”

අප්‍රේල් 14 ශාන්ත ලුවිස්: ඇමරිකානු සමාජවාදී පක්ෂය යුද්ධයට එරෙහි ජාත්‍යන්තර යෝජනාව අනුමත කරයි

1917 අප්‍රේල් 7-14 දක්වා ශාන්ත ලුවිස් හි පැවති ඇමරිකානු සමාජවාදී පක්ෂයේ හදිසි සමුලුවේ කටයුතු පිලිබඳ නිල වාර්තාව

ඇමරිකාව 1 ලෝක යුද්ධයට අවතීර්න වීමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු සමාජවාදී පක්ෂය (එස්පීඒ) මිසෝරිහි ශාන්ත ලුවිස්හිදී අප්‍රේල් 7-14 අතර කාලයේ හදිසි සමුලුවක් පැවැත්වීය. එය ඇමරිකානු පක්ෂයේ හයවන සමුලුවයි. ආරම්භක සමුලුව 1901දී පැවැත්වුනි. යුරෝපීය නියෝජිතයින් ගනනාවක් ද ඇතුලුව ඇමරිකාවේ සෑම දෙසකින්ම පැමිනි නියෝජිතයෝ 200ක් ඊට සහභාගී වූහ.

සමුලුව ආරම්භයේදී නියෝජිතයින් 15න් සමන්විත කමිටුවක් පත්කරගන්නා ලදී. එහි කාර්යය වූයේ, යුද්ධය හා මිලිටරිවාදය ගැන යෝජනාවක් කෙටුම්පත් කිරීමය. දින ගනනාවකට පසුව කමිටුව, කන්ඬායම් තුනකට බෙදී ගියේය:

  • සාමාජිකයින් 11න් යුත් මධ්‍ය ම බහුතරය, යුද විරෝධී ජාත්‍යන්තරවාදී ආස්ථානයක් ගත්තේය.
  • එක් සාමාජිකයෙක් සහිත දක්ෂිනාංශික සුලුතරය, ඇමරිකාව ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට සහාය දැක්වීය.
  • සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් වාමාංශික සුලුතරය , බහුතරයේ වාර්තාවට සැලකිය යුතු කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී සංශෝධන ගෙනාහ.

විවාදය හා සාකච්ඡාවෙන් පසුව බහුතරයේ වාර්තාව සමුලු නියෝජිතයින් විසින් පිලිගන්නා ලදී. තරඟකාරී වාර්තාවන්ට ඡන්දය මෙලෙසින් පල විය, 140ට 5ට 31 වශයෙනි.

“යුද්ධය හා සමාජවාදී පක්ෂය” යන මැයෙන් පසුව ප්‍රකාශයට පත්වූ බහුතරයේ වාර්තාව ආරම්භ වුනේ මෙලෙසිනි: “වත්මන් උග්‍ර අර්බුදය හමුවේ එක්සත් ජනපදයේ සමාජවාදී පක්ෂය, ජාත්‍යන්තරවාදී මූලධර්මයට ද ලොව පුරා කම්කරු පන්තික සහෝදරත්වය පිලිබඳව ද සිය බැඳීම ගාම්භීර ලෙස යලි තහවුරු කරමින් , එක්සත් ජනපද ආන්ඩුව විසින් දැන් ප්‍රකාශ කරන ලද යුද්ධය කෙරෙහි තම අශමනීය විරුද්ධත්වය පල කරයි."

ජර්මනියට එරෙහි ඇමරිකානු යුද්ධය පිලිබඳ සුවිශේෂී ප්‍රශ්නය මත යෝජනාව පිලිබඳ අවසාන කෙටුම්පත, වාමාංශික සුලුතරයේ වාර්තාවෙහි අන්තර්ගත පහත සඳහන් භාෂාව උපයෝගී කර ගත්තේය: “ජර්මනියට එරෙහි එක්සත් ජනපදයේ යුද්ධය, ඇමරිකානු අයිතීන් හෝ ඇමරිකානු 'ගෞරවය' ආරක්ෂා කිරීමේ ඉල්ලීමක් ලෙස වුවත් යුක්තිසහගත කල නොහේ. ජර්මානු ආන්ඩුවේ සීමාවකින් තොර සබ්මැරින යුද්ධයේ පිලිවෙත කෙතරම් නිර්දය වුවත් එය ඇමරිකානු ජනතාවගේ අයිතීන් ආක්‍රමනය කිරීමක් නොවේ. එය වනාහි, යුරෝපයේ යුදවැදී සිටින රටවල අපගේ සහෝදරයින්ගේ ලේ හා දුක් පීඩවන්ගෙන් ලාභ උපයා ගැනීමට ඇමරිකානු ධනවාදීන් නිශ්චිත කන්ඬායමකට අවස්ථාව සලසාලන මැදිහත්වීමක් පමනි.”

පසුව යථාවත් කරන ලද බහුතරයේ වාර්තාව හා දක්ෂිනාංශික සුලුතරයේ වාර්තාව, එස්පීඒ සාමාජිකයින්ගේ මත විමසුමට ඉදිරිපත් කරන ලදී. සාමාජිකත්වය අති මහත් බහුතරයකින්, එනම් අටට එකක් හෙවත් 22,345ට 2752ක් වශයෙන් හදිසි සමුලුවේ ජාත්‍යන්තරවාදී ආස්ථානය තහවුරු කලේය.

ශාන්ත ලුවිස් හදිසි සමුලුවට සූදානම් වෙද්දී ඇමරිකානු සමාජවාදී පක්ෂය අභ්‍යන්තර අර්බුදයෙන් ඉරිතලා තිබුනි. පක්ෂය සිව් වසරකටත් වැඩි කාලයක් තිස්සේ ජාතික සමුලුවක් පවත්වා නොතිබුනි. 1912 පටන් පක්ෂ සාමාජිකත්වය සියයට 30ත් වැඩියෙන් පහත වැටී තිබුනි. අවස්ථාවාදයට හා මාක්ස්වාද විරෝධී ආස්ථානයන්ට එරෙහි දෘෂ්ටිමය හා දේශපාලන අරගලයක යෙදීගත් ලෙනින්වාදී වර්ගයේ පක්ෂයක් එම ව්‍යාපාරයට නොතිබුනි. එය යුද්ධ අර්බුදයේ බලපෑම යටතේ කෑලි වලට කැඩී යමින් තිබුනි. ඉතිහාසඥයින් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද බොහෝ විස්තර වලින් පෙන්නුම් කලේ, පක්ෂයේ වාමාංශය 1917 ආරම්භයේ පටන් කෙටි කලක් නිව් යෝර්ක් නඟරයේ නැවතී සිටි අවධියේ ට්‍රොට්ස්කිගේ බලපෑමට සැලකිය යුතු තරම් නතුවී පැවති බවයි.

සිය ලියවිලි, කථා හා සාකච්ඡා තුලින් ට්‍රොට්ස්කි, යුද කාලයේ ඇමරිකාවේ මෙන්ම ජාත්‍යන්තර සමාජවාදී ව්‍යපාරයේ පක්ෂ තුල මතුවූ යුදගැති, සාමවාදී හා ජාතිකවාදී දේශපාලනයට විරුද්ධ විය.

ජනවාරි 13දා නිව් යොර්ක් වෙත පැමිනීමෙන් දින ගනනක් තුල ට්‍රොට්ස්කි, ඒපීඒහි වාමාංශික සාමාජිකයින් 20ගේ කන්ඬායමක් හා තවත් විප්ලවවාදී සංක්‍රමනිකයන් සමඟ රැස්වීමකට මැදිහත් විය. “වාමාංශික සමාජවාදීන් සඳහා ක්‍රියාකාරී වැඩපිලිවෙලක්” සාකච්ඡා කිරීමට කැඳවා තිබූ රැස්වීම, ඇමරිකාව තුල සිමර්වෝල්ඩ් වමේ ක්‍රියාමාර්ගය ප්‍රචාරය කිරීම පිනිස දෙසතියකට වරක් න්‍යායික සඟරාවක් ප්‍රසිද්ධ කිරීම පටන්ගන්නට උප කමිටුවක් පිහිටුවීමට තීරනය කලේය. මෙම ජනවාරි රැස්වීමට පැමින සිටි අය අතර ලුවි බොවුඩන් ද විය. ඊට තෙමසකට පසුව ශාන්ත ලුසියාහි පැවති හදිසි සමුලුවේ යුද්ධය හා මිලිටරිවාදය පිලිබඳ කමිටුවේ යෝජනාව තුල වාමාංශික කන්ඬායමේ නායකයා වූයේ ඔහුය.

ඉහත සඳහන් සාකච්ඡා වලින් පසුව එලිදැක්වූ පන්ති අරගලය නම් සඟරාව 1917 මැයි මාසයේ සිට, 1919 ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන තෙක් පල කරන ලදී. ලුඩ්විග් ලෝර්, ලුවී බොව්ඩින් හා ලුවී ෆ්රැකයිනා විසින් සංස්කරනය කරන ලද පන්ති අරගලය, වී අයි ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග්, ෆ්‍රාන්ස් මේරිංග් හා ජාත්‍යන්තර මාක්ස්වාදයේ ප්‍රමුඛ පුද්ගලයින්ගේ ලියවිලිවල ඉංග්‍රීසි පරිවර්තන නිතිපතා පල කලේය.

එස්පීඒහි අප්‍රේල් හදිසි සමුලුව පැවැත්වෙන විට නිව් යෝර්ක් නගරය හැරගොස් සිටිය ද ට්‍රොට්ස්කි නියෝජනය කල කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය හා ඔහුගේ නොනවතින විප්ලවයේ න්‍යාය, ලෝක යුද්ධය හා 1917 රුසියානු පෙබරවාරි හා ඔක්තෝබර් විප්ලව සම්බන්ධයෙන් ගත්කල, එස්පීඒහි වාමාංශයේ යොමුව තුල වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කලේය.

අප්‍රේල් 15 බර්ලිනය: කම්කරුවෝ වැඩවර්ජන තීන්දු ගනිති

පසුව ජර්මනියේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බැඳී නාසීන්ට ප්‍රතිරෝධය දැක්වූ, විප්ලවවාදී කම්කරුවෙක් වූ ඔස්කා හිප්පේ වමේ වාඩිවී සිටින අතර ඒ ලඟ ඔහුගේ බිරිඳ ගර්ට්‍රඩ්. හිටගෙන සිටින්නේ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් වූ බිල් හා ජීන් බ්‍රස්ට්ය.

සතියකට පාන් ග්‍රෑම්ස් 1350 වෙනුවට 450ක් දීම ඇතුලු අද දිනයේ පටන් ක්‍රියාත්මක වන ආහාර සලාකය කැපීමේ අර්ථයෙන් ගත් කල, විවිධ කම්හල්, විශේෂයෙන්ම වෙඩි බෙහෙත් හා අවි කම්හල් තුල, රැස්වීම් පැවැත්වින. කම්කරුවෝ ඊලඟ දිනයේ පටන් වැඩ වැරීමක් පටන් ගන්නට තීන්දු කලේය.

පසුව ජර්මනියේ වාමාංශික විරුද්ධ පක්ෂයට සම්බන්ධවූ හා අවි හා වෙඩි බෙහෙත් කම්හලක වැඩ කරමින් සිටි ඔස්කා හිප්පේ, තම මතක සටහන් තුල මෙසේ ලිවීය:

බර්ලිනය තුල, කම්හල්වල කම්කරු ක්‍රියාකාරීන් හා සහකරුවන් අතර ස්පාටකස් ලීගයේ අනුහස වැඩෙමින් තිබුනි. එහෙත් ( ස්පාටකස් ලීගයේ) නායකත්වයට කම්හල් තුල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හෝ කම්කරුවන්ගේ බහුතරයක් දිනාගැනීමේ බලාපොරොත්තුවක් තබාගත නොහැකි විය.

තවමත් විශාල බලපෑමක් ඇති කලේ සමාජ ප්‍රජාතන්ත්‍රී, විශේෂයෙන්ම එහි වාමාංශයයි. හිටවූ පැලෑටිය දලුලා වැඩෙමින් තිබුනි. කම්කරුවන් තවදුරටත් නැලවිය නොහැකි විය. යුද පෙරමුන අතහැර යන සංඛ්‍යාව වැඩිවෙමින් තිබුනි. බර්ලිනයේ 30,000ට වැඩි සංඛ්‍යාවක් පෙරමුන අතහැර ගොස් තිබුනු බවට ගනන් බැලින.

යූඑස්පීඩී හෙවත් ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය ද සමඟ එක්ව ස්පාටකස් ලීගය, වාචිකව හා පත්‍රිකා වශයෙන් යුද විරෝධී ව්‍යාපාරය කම්හල් තුලට ගෙන ගිය අතර කම්කරුවන් ඊට සාධනීය ප්‍රතිචාර දැක්වීය. කම්හලවල සටන් කමිටු පිහිටුවන ලදී. පලමුවෙන් ඔවුන් ආන්ඩුවෙන් කල ඉල්ලීම් මේවාය: යුද්ධය නතර කරනු, හොඳ ආහාර සපයනු, කෙටි වැඩ දිනයක්. කම්කරුවන් දිනකට පැය 11 වැඩෙහි නිරතවිය. ආන්ඩුව ප්‍රතිචාරයක් නොදැක්වීය. වෘත්තීය සමිති නායකත්වය කම්කරුවන් රැවටීමට උත්සාහ කලහ. එහෙත් කම්කරුවන් සංසුන් කිරීමට අසමත් විය. (ඔස්කා හිප්පේ, und unsere Fahne ist rot (අපේ ධජයේ පාට රතුය) 1979 හැම්ර්ග්, 17 පිටුව)

සැලසුම් කල වර්ජනයට ඔන්න මෙන්න කියා තිබියදී, වෘත්තීය සමිති තුල ප්‍රතිරෝධය දැක්වීමේ ව්‍යාපාරයෙහි විප්ලවවාදී කම්කරු නායකයෙක් වූ රිචඩ් මුලර් අත්අඩංඟුවට ගෙන අනිවාර්ය හමුදා සේවයට පිටත්කර හැරුනි. ඔහුගේ බොහෝ සහෝදරයින් සිතන පරිදි සමිති නායකයෝ ඔහු හෙලා දුටුවහ. එය කම්කරුවන් අතර කෝපය තවත් වැඩි කලේය.

අප්‍රේල් 16 (පැරනි අප්‍රේල් 3) පෙට්‍රොග්‍රෑඩ්: ලෙනින් පෙට්‍රොග්‍රෑඩයේ ෆින්ලන්ත දුම්රියපලට ලඟාවෙයි

ශාන්ත පීටර්ස්බර්ගයේ ප්‍රදර්ශනයට තබා ඇති ලෙනින් ෆින්ලන්ත දුම්රියපලට පැමිනි දුම්රිය එංජිම

අවසානයේ අප්‍රේල් 16දා ෆින්ලන්ත රජයේ 293 වන දුම්රිය ෆින්ලන්ත දුම්රියපලට ලඟාවූ අතර ලෙනින් බෝලර් තොප්පියක් ද සහිතව මනාව ඇඳ පැලඳගෙන වේදිකාවේ පෙනී සිටියේය. බොල්ශෙවික් නායකයා හා ඔහුගේ සහෝදරවරු ඕනෑම තත්වයකට සූදානම්ව සිටියහ. එතැන්හිම අත්අඩංඟුවට ගතහොත් කථාවක් පැවැත්වීමට පවා ලෙනින් සූදානම්ව සිටියේය.

පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවට පිටුවහලේ සිට පැමිනෙන විප්ලවවාදීන් පිලිගැනීමේ සම්ප්‍රධායක් තිබුනි. කෝන්තර සහිතවම සෝවියට් සභාවේ මෙන්ෂෙවික් හා සමාජ විප්ලවවාදී නායකයෝ, ලෙනින්ට පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කලහ. ලෙනින් දුම්රියෙන් බසිනවාත් සමගම ඔහු වෙත රතු රෝස මල් කලඹක් පිලිගැන්වුනි. ලෙනින් දුම්රිපලේ විවේකාගාරයට ගමන්ගත් අතර එහිදී ඔහුට මෙන්ශෙවික් නායක නිකොලායි චෙකිඩ්සේ හමු විය. නොසංසුන් විලාසයකින් ලෙනින් පිලිගත් ඔහු ඒ පිටටම ප්‍රහාරයක් ද එල්ල කලේය. ඔහු විප්ලවය ආරක්ෂාකිරීමේ "එකමුතුව" පිලිබඳ සටන් පාඨය මතු කලේය. ඒ වනාහි තාවකාලික ආන්ඩුවට හා යුද්ධයට සහාය දීම වෙනත් ලෙසකින් පැවසීමකි. ලෙනින් චෙකිඩ්සේ නොතකා හරිමින් ඔහුගේ කථාව අවසන් වනතෙක් බලා සිටියේය.

පසුව ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. “පෙබරවාරි විප්ලවය වාචාල, බෙලහීන හා තවමත් තරමක් අඥාන වූ නමුත් චින්තනය හා අධිෂ්ඨානයෙන් සෘජු ලෙස ප්‍රශ්නය විසඳීමේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව පැමිනි මිනිසා පිලිගනු ලැබුවේය.”

කථා කිරීමට අවස්ථාව ලැබුනු පසුව ලෙනින්, චෙකිඩ්සේට පිටුපස හරවා ඔහු පිලිගැනීමට රැස්ව සිටි සෙනඟ ඇමතීය:

“ප්‍රිය සහෝදරවරුනි, සෙබලුනි, නාවිකයිනි කම්කරුවනි! මම විප්ලවය ජයග්‍රහනය කරා ගෙන ගිය ඔබට මෙන්ම ලෝක පරිමාන කම්කරු පන්තික හමුදාවේ පෙරටු බලඇනිය වීම සම්බන්ධයෙන් ඔබට ආචාර කිරීමට කැමැත්තෙමි.... කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධය යුරෝපය පුරා සිවිල් යුද්ධය ආරම්භ කරමින් ඇත... අපගේ සහෝදර කාල් ලිබ්නෙක්ට් කැඳවූ පරිදි ජනතාව තම අවි තමන්ගේ ධනපති සූරාකන්නන්ට එරෙහිව අමෝරන වේලාව දුර නැත. .. ලෝක පරිමාන සමාජවාදී විප්ලවය දැනටමත් හිස ඔසවමින් තිබේ... ජර්මනිය කැකෑරෙමින් ඇත... දැන් සිට කුමන දිනක හෝ සමස්ත යුරෝපීය ධනවාදයම කඩාවැටෙනු ඇත. ඔබ විසින් සාක්ෂාත් කරනු ලැබූ රුසියානු විප්ලවය මඟ සූදානම් කරමින් නව යුගයක් උදාකරනු ඇත. ලෝක පරිමාන සමාජවාදී විප්ලවය දිගුකල් දිනේවා!”

පිටත කම්කරුවන්, නාවිකයින් හා සෙබලුන් ලෙනින්ගේ නම කියමින් කෑගැසූහ. ලෙනින් එලිමහනට පැමිනි විගස බයිනේත්තු සවිකල තුවක්කු අතැතිව සෙබල කන්ඩායම් ද තූර්යවාදක කන්ඬායම් ද මාර්සෙලයිසේ (ජාත්‍යන්තර ගීතය) ගායනා කලහ.

ලෙනින් සෙනඟ අමතා මෙසේ පැවසීය: “තාවකාලික ආන්ඩුව දී ඇති පොරොන්දු ඔබලා විශ්වාස කරන්නේ ද නැද් ද යන්න නොදැනම මම ඔබට ආචාර කරමි. එහෙත් මනරම් ලෙස ඔවුන් ඔබ අමතද්දී ද ඔබට බොහෝ දෑ පෙරොන්දු වෙද්දී ද ඔවුන් ඔබ හා සමස්ත රුසියානු ජනතාවම රවටනු ලබන බව මම විශ්වාස කරමි. ජනතාවට සාමය අවශ්‍යය, ඔවුන්ට පාන් අවශ්‍ය ය, ඔවුන්ට ඉඩම් අවශ්‍යය. එහෙත් ඔවුන් ඔබට දී ඇත්තේ යුද්ධයයි, සාගින්නයි, පාන් නොවේ, ඉඩම් හිමියන්ට තවමත් ඉඩම් තබාගැනීමට ඉඩදී ඇත...අප සටන් කල යුත්තේ සමාජ විප්ලවය සඳහාය, නිර්ධනීන්ගේ පූර්න විමුක්තිය සාක්ෂාත් කරන තෙක් අවසානය දක්වාම අප සටන් වැදිය යුතුය. ලෝක පරිමාන සමාජවාදී විප්ලවය දිගුකල් දිනේවා!”

සෙනඟ සිය කර මතින් ලෙනින් ඔසවාගෙන ගොස් පිටත නතරකර තිබූ සන්නද්ධ රථයක් මතට ඔසවා තැබූහ. රැස්වූ නාවිකයෝ තවත් කථාවක් ඉල්ලා සිටියෝය. දැන් කරුවල වැටිලාය, රථය මත නැඟී සිටින ලෙනින් වෙත සෝදිසි විදුලි පහන් එල්ල කර තිබුනි. තාවකාලික ආන්ඩුව මිලිටරි වාහන පෙලපාලි වලට ගෙනයාම තහනම් කිරීමට උත්සාහ දරනු ලැබේ. එහෙත් මේ තහනම බොල්ශෙවිකයින් විසින් නොතකා හැරින. වීදිය දෙපස සන්නද්ධ කම්කරුවන් පෙලගැසී සිටියදී ලෙනින්ගේ සන්නද්ධ රථය වීදිය හරහා ජයග්‍රාහී පෙලපාලියක ගමන් ගත්තේය. ලෙනින්ගේ රථයෙහි හැරෙන්නට අනෙක් රථවාහනවල විදුලිය අඩවන් කර තිබුනි. කෘප්ස්කායා පසුව සිහිපත් කල පරිදි, “විප්ලවයේ අවධිය තුලින් ගමන් නොකල අයට එහි ගරු ගාම්භීර ලස්සන සිතාගත නොහැකිය.”

බොල්ශෙවික් ප්‍රව්ඩා පුවත්පත මෙසේ වාර්තා කරයි: “වීදියේ සන්නද්ධ රථයක් උඩ නැග සිටින ලෙනින් සහෝදරයාට, විප්ලවවාදී රුසියානු කම්කරුවන් හා විප්ලවවාදී රුසියානු හමුදාව විසින් අචාර පුද කරයි. ඔහුට සාර්වාදී ආඥාදායකත්වයෙන් රුසියාව නිදහස් කර ගැනීමට හැකිවුනා පමනක් නොව, ජාත්‍යන්තර පරිමාවකින් සමාජ විප්ලවයක් ආරම්භ කර රුසියානු කම්කරුවන් ගන්නා එඩිතර පියවර දෙස සමස්ත ලෝකයේම කම්කරුවන් බලාපොරොත්තු සහගතව බලගා සිටින තත්වයක් ද උදා කිරීමට හැකි විය. සෙනඟ එකා වන්ව රථය පිටුපස රැස්වීම පැවැත්වෙන ෂෙසින්කායා මන්ඳිරය වෙත් ගමන් ගත්හ.”

ෂෙසින්කායා මන්ඳිරයේ වැසූ දොරවල් පිටුපස සිට ලෙනින්, ඉවසිලි සහගතව පිලිගැනීමේ කථාවල් අසා සිටීමෙන් පසුව, තමා නොසිටියදී, තාවකාලික ආන්ඩුව ආරක්ෂා කිරීම හා අධිරාජ්‍යවාදී යුද්ධය පවත්වාගෙන යාම පිලිබඳව වැනෙමින් සිටි, කමනෙව්, ස්ටැලින් හා මුරනොව් වැනි බොල්ශෙවික් නායකයින්ට පැය දෙකක් තිස්සේ රුදුරු ප්‍රහාරයක් එල්ල කලේය. “එවන් ප්‍රෝඩාවක හවුල්කරුවෙකු වූයේ නම් අපේ පක්ෂය, සදහටම නින්දාවට පත්ව දේශපාලනිකව මිය යනු ඇතැයි” ලෙනින්, රුසියාවට එන අතරතුර ලිවීය. “සමාජ දේශප්‍රේමයට යටත්වනවාට වඩා මම, කවරෙකු ද යන්න නොතකා අපගේ පක්ෂයේ ඕනෑම අයෙකුගෙන් වහාම බෙදී වෙන්වීම තෝරා ගනිමි.”

“මෙම අමුතු ආගන්තුකයා, එම අවස්ථාවේ කස පහරක් ලෙස ශබ්ද නංවමින්, එම ප්‍රේක්ෂකයන් මත මුදාහරින ලද අධිෂ්ඨානශීලී දිය දහරාව හමුවේ, අවසන් ශුභ පැතුම් වල දෝංකාරය මකා දැම්මේ නැත” යයි ට්‍රොට්ස්කි තම රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල ලිවීය. “ඔහුගේ සමීපතමයන් තුල පවා ලෙනින්ගේ කථාවෙන් ඇතිකල ආරම්භක හැඟීම, තැතිගැන්මකි. මාසයක කාලයක් තිස්සේ නොගිනිය හැකි තරම් පුනරුච්ඡාරනය කෙරුනු, නොනැමෙන සුලු දැඩි ස්වාභාවයක් පෙන්නුම් කල, පිලිගත් සියලු සූත්‍ර, ප්‍රේක්ෂකයින් හමුවේ එකකට පසුව අනෙක ලෙස පුපුරා ගියේය. කැලඹීමට පත්ව සිටි චෙකිඩ්සේගේ හිසට උඩින් දුම්රියපලේදී දමාගැසූ ලෙනින්ගේ කෙටි පිලිතුර, බොල්ශෙවික්වාදයේ පෙට්‍රොග්‍රෑඩ් ක්‍රියාධරයන් සෘජු ලෙස ඇමතීමක් වූ දෙපැයක කථාවක් බවට මෙහිදී වර්ධනය කෙරුනි.”

අප්‍රේල් 16දා බර්ලින්-ලිප්සිග්: ජර්මනියේ ප්‍රධාන වැඩවර්ජන රැල්ලක ආරම්භය

අප්‍රේල් වැඩවර්ජන අවධියේ ජර්මානු කාන්තා පෙලපාලියක්

බර්ලිනයේ කම්හල් 319ක දෙලක්ෂයක් කම්කරුවෝ වැඩ වරති. ඒ නොසෑහෙන ආහාර සලාකයට හා විප්ලවවාදී කම්කරු නායක රිචඩ් මුලර් අත්අඬංඟුවට ගැනීමට විරෝධය පෑමටය. විශාල පෙලපාලි වලින් ඔවුහු වීදි හරහා ගමන් ගත්හ. එක් පත්‍රිකාවක ස්පාටකස් ලීගය මෙසේ ලිවීය: “රුසියානු කම්කරු පන්තිය ඔබට දිදුලන නිදසුනක් සම්පාදනය කර ඇත! ඔවුන් කල දේ කිරීමට පෙරට යන්න...ඔබගේ ඉරනම ඔබ අතට ගන්න!”

වැඩවර්ජනය සංවිධානය කරනු ලැබුවේ, ලෝහ කම්කරුවන් අරටුව ලෙස සිටි විප්ලවවාදී කම්කරු නායකයින් විසිනි. බර්ලිනයේ කැසිරර් කම්හලේ ආයුධ මුවාත්කරන්නෙකු වූ කාල් රෙට්ස්ලාව් සිය මතක සටහන්වල සඳහන් කලේ, වෘත්තීය සමිති වැඩවර්ජනය වැලැක්වීම සඳහා කල හැකි සියල්ල කල බවයි. එය “පිලිගත් ව්‍යවස්ථාවට පටහැනිය.” කෙසේ වෙතත් වර්ජනය ආරම්භවූ අතර සමිති නිලධරය වහාම උත්සාහ කලේ, එය හැකි ඉක්මනින් නතර කිරීමේ අටියෙන් නායකත්වය අල්ලා ගැනීමටය.

කාන්තාවන් වැඩවර්ජනය තුල අසාමාන්යම වැඩ කොටසක් ඉටු කලහ. ඔවුන්ට ගෙදරදොර වැඩ හා ලමුන් බලාගැනීම පමනක් නොව, කම්හල් වලින් ඉවත් කර අනිවාර්ය යුද සේවයට යැවූ මිනිසුන් වෙනුවට බරපතල වැඩවල යෙදීමට ද බල කෙරුනි.

ලිප්සිග්හි 30,000 කම්කරුවෝ වැඩ වරති. ඔවුහු විවිධ දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කලහ. ඊට කම්කරු කමිටු පිහිටුවීම ද ඇතුලත්ය. එසේම ඔවුහු, “ඈඳාගැනීම් රහිත සාමය, පුවත් වාරනය අවසන් කිරීම, යුද නීතිය අවසන් කිරීම, වැඩකිරීමට ඇති බාධා ඉවත් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා සර්වජන ඡන්දය” ද ඉල්ලා සිටියහ. එක් රැස්වීමකදී කම්කරුවෙක්, රුසියානු කම්කරුවන් පෙන්නුම් කල නිදසුන අනුගමනය කරන ලෙස වර්ජකයින්ට කියා සිටියේය.

ප්‍රන්සයේ සොයිසන්ස් හා රීම්ස්, අප්‍රේල් 16: නිවෙලි ආක්‍රමනය දියත් කෙරේ.

අගල් තුල යුද්ධය , ඔටෝ ඩික්ස් විසිනි (1932)

නිවේලි ප්‍රහාරයේදී ප්‍රන්ස හමුදාවේ සේනාංක 19ක්, කිලෝ මීටර් 80ක් දිග බටහිර පෙරමුනේ ජර්මානු ස්ථාන වෙත ප්‍රහාර එල්ල කලහ. මෙහෙයුම සැලසුම් කල, 1916 දෙසැම්බරයේ පටන් ප්‍රන්ස හමුදාවේ ආඥාපති ලෙස කටයුතු කල, ජෙනරාල් නිවේලි කියා සිටියේ, ජර්මානු ආරක්ෂක වලලු බිඳ දමා ප්‍රහාරයෙන් පැය 48ක් තුල යුද්ධය නිමාවකට පත්කරන බවය.

ප්‍රන්ස හමුදා පෙරමුනට 35,000ක් සෙනගාල යටත් විජිත සෙබලුන් ද රුසියානු හමුදා සේනාංක දෙකක් ද එකතු විය. ඔවුන් සටනට මැදිහත්වීම සඳහා කැමති වුනේ, සාමය ඇති කල යුතු යයි කියා සිටි රුසියානු විප්ලවයෙන් ආවේශ ගැන්වූ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින තතු තුල, නොකැමැත්තෙනි.

සටනේ පලමු දිනය ප්‍රන්ස හමුදාවට විනාශකාරී විය. ඔවුන්ගෙන් අඩුම තරමින් 40,000ක් විපතට පත් විය. කිසිදු භූමිභාගයක් අත්කර ගැනීමකින් තොරවම පාහේ එය සිදු විය. මහා පරිමානයෙන් යුද ටැංකි යොදාගැනීමේ උත්සාහය ව්‍යවර්ත විය. පලමු දිනයේම ඉන් 150ක් විනාශ විය. නිවේලිට පැවතුනේ තවමත් ආරක්ෂක වලල්ල බිඳ දැමිය හැකිය යන අදහසයි. අප්‍රේල් 20දා දක්වාම ඔහු පෙරට යන ලෙසට අන දුන්නේය. එදින ආක්‍රමනයේ පලමු වටය අවසන් වුනි.

දින පහකට පසුව නිවේලි තනතුරෙන් ඉවත් කරන ලදී. ප්‍රහාරය මැයි 9දා වන තෙක් ගෙන යන ලදී. ඒ වන විට ප්‍රන්ස හමුදා සෙබලු 187,000ක් හා ජර්මන් භටයින් 168,000ක් ජීවිතක්ෂයට පත්ව තිබුනි.

ප්‍රන්ස සෙබලුන් මිලියන 1.5ක් මියගොස්, තුවාල ලබා හෝ සිරකරුවන් බවට පත්වූ තෙවසරක පමන කටුක යුද්ධයකින් පසුව, මෙම අසාර්ථක ආක්‍රමනය, අප්‍රේල් අවසානයේ කැරලි ගැසීමට පටන්ගත් ප්‍රන්ස හමුදා අතර නොසංසුන්තා තවත් උග්‍ර කලේය.