රුසියානු විප්ලවයේ මේ සතිය

පෙබරවාරි 20-26: යුද්ධය සාර් තන්ත්‍රයේ අර්බුදය ගැඹුරු කරයි

2017 පෙබරවාරි 20

1916-17 ශීත සෘතුවේදී, නැගෙනහිර පෙරමුනේ ඇවිලෙන ලෝක යුද්ධය, දෙවන සාර් නිකොලස්ගේ හමුදා බිඳ වැටීමේ අද්දරටම ඇද දැමීය. රුසියානු අධිරාජ්‍යයේ යුද හානි, මිලියන හයක් දෙනා මරුමුවට පත්කර, තුවාල කර, අතුරුදහන් කර හෝ යටත්කර ගනු ලැබීම ලෙස සටහන් විය. හමුදාවට කෙරෙන සැපයුම් බෙහෙවින්ම අසතුටුදායක විය. මුලුමනින්ම පාහේ ගොවි හමුදාවක්වූ එය ලත් හානි පිලිබඳව දැක්වූ නොසැලකිල්ල, අදක්ෂ බල ලත් හමුදා නිලධාරීන්ට එරෙහි කැරලි පැනනැංවීය. සමාජ නොසංසුන්තා පැන නංවමින් රුසියාවේ, ජර්මනියේ හා ඇමරිකාවේ පවා ආහාර මිල වේගයෙන් ඉහල නැංගේය.

පෙබරවාරි 20දා නිව් යෝර්ක් නගරය: මෑන්හැටන්හි පාන් ඉල්ලා හටගත් කැරලි

නිව් යෝර්ක්හි සාගත පෙලපාලියක්

ඇමරිකානු ධනපති ක්‍රමය යුරෝපයේ යුද්ධයෙන් ඉමහත් ලාභ ඉපයීම රට තුල පාරිභෝගික මිල ගනන් අහස උසට නංවත්දී, සාගත කැරලි මාලාවක් පැන නගුනි. නිව් යෝර්ක් නගරයේ නැගෙනහිර කොටසෙහි, “අපේ ලමයින්ට දෙන්ට අපට කෑම දියල්ලා” යනුවෙන් කෑගැසූ කාන්තාවන් ද ඇතුලු දහස් ගනන් විරෝධතා දැක්වූහ. බෲක්ලීන්හි දහස් ගනනක් පාන් ඉල්ලා කැරලි ගැසූහ. විරෝධතා ඉක්මනින්ම ෆිලඩෙල්ෆියා හා බොස්ටන් කරා ද පැතිර ගියේය.

පැරනි කැලැන්ඩරයට අනුව පෙබරවාරි 10, නව දින වකවානු අනුව පෙබරවාරි 23 පෙට්‍රෝග්‍රෑඩ්: බොල්ෂෙවිකයෝ පෙට්‍රෝග්‍රෑඩ් වැඩවර්ජනය කැඳවති

යුද්ධයේ මුල් අවධිය තුල ඩූමා සභාවේ සිය නියෝජිතයා අත්අඬංගුවට ගැනීමේ සංවත්සර විරෝධතාවේදී බොල්ෂෙවිකයෝ පෙට්‍රෝග්‍රෑඩය තුල මහ වැඩවර්ජනයක් කැඳවුම් කලහ. කම්හල් කිහිපයකින් පමනක් වර්ජනයට සහාය පල විය. ඔවුන් ද වැඩි දිනක් වර්ජනය ගෙන ගියේ නැත. ගොවීන් වෙත නැඹුරුව සිටි සමාජ විප්ලවවාදී පක්ෂයේ නායක වික්ටර් චර්නොව්ට අනුව, වර්ජනයේ සීමිත සාර්ථකත්වය “කම්කරුවන්ගේ මන්දගාමී සහයෝගය හා තමන්ගේ ශක්තිය ගැන දේශපාලන පොලිසියට විශ්වාසය ගෙන දුන්නේය.”

රුසියාවේ සාර්ස්කොයේ සෙලෝ, පෙබරවාරි 23 (පැරනි පෙබරවාරි 10): ඩූමාවේ නායකයා සාර් හමුවෙයි

මිකායෙල් රොඩ්සියන්කෝ

රුසියානු ඩූමා සභාවේ සභාපති මිකායෙල් රොඩ්සියන්කෝ, සාර් නිකොලස්ගේ සාස්කොයේ සෙලෝහි මාලිගයට පැමින, සාර්ගේ කැබිනට්ටුවේ වෙනස්කම් හා සමාජ කලබැගෑනිය වැලැක්වීම සඳහා ඩූමාවට වැඩි බලතල ද ඉල්ලා සිටියේය. සාර් තන්ත්‍රය ගලවා ගැනීමට වෑයම් කල, ඔක්තෝබර්වාදියෙකු ද ව්‍යවස්ථාමය අරාජකවාදියෙකු ද වූ රොඩ්සියන්කෝට අනුව නිකොලස්, මෙම කන්නලව්ව කෙරෙහි දැක්වූයේ “මුරන්ඬු” ආකල්පයකි.

පසුව රොඩ්සියන්කෝ සාර් වෙත අනතුරු අඟවමින් මෙසේ ලිවීය: දැන් රුසියාවේ තත්වය ව්‍යසනකාරීය... අඩුම තරමින් තෙමසක් ගතවන තුරු ආහාර වෙලඳපොලේ දැඩි හිඟයක් අපට බලාපොරොත්තු විය හැකිය, සමස්ත රුසියාවම දුර්භික්ෂයක් කරා ලඟාවෙමින් ඇත. ඉන්ධන පිලිබඳ තත්වය ද ශුභදායක නැත. දැන් මධ්‍ය ම රාත්‍රියට ආසන්නය, ජනතාවගේ ප්‍රශ්න වලට ආමන්ත්‍රනය කිරීම කල් ප්‍රමාද වී හා බලාපොරොත්තු සුන් වීමට ආසන්නය.”

ලියොන් ට්‍රොට්ස්කි

ට්‍රොට්ස්කි පසුව මෙසේ ලියයි: දෙවන නිකොලස් ට තම මුතුන්මිත්තන්ගෙන් උරුම වූයේ දැවැන්ත අධිරාජ්‍යයක් පමනක් නොවේ; ඔහු විප්ලවයක් ද උරුම කර ගත්තේය. එහෙත් අධිරාජ්‍යයක් තියා පලාතක් හෝ දිස්ත්‍රික්කයක් පාලනය කිරීමේ හැකියාව ඔවුන් ඔහුට උරුම නොකලේය. තම රජමැදුරේ දොරටුවට ලං ලංව ගලා ආ ඓතිහාසික රලගෙඩි වලට ප්‍රති විරුද්ධව යොදාගැනීම සඳහා රොමනොව් රජ පරපුරේ අන්තිමයාට උරුමව තිබුනේ මුග්ධ උදාසීනය විතරකි. ඔහු ගේ විඥාන ය ද ඔහුගේ යුගය ද අතර විනිවිද පෙනෙන සුලු එහෙත් කිසිසේත්ම විදගෙන යා නොහැකි කිසියම් අතර මැදි දෙයක් පැවතුනාක් මෙනි. තර්කනය අතර්කනය බවට පරිවර්තනය වීම ‘Vernunft wird Unsinn’ යන ජර්මන් වචන වලින් හැඳින්වෙන ග’තේ ගේ වාක්‍යය, කාලාතික්‍රාන්ත, සංස්ථා තුලින් ‘තර්කනය’ ඉවත්කර දැමීම ද ඓතිහාසික අපෝහක යේ අපුද්ගල මහදෙවියා (ජුපිටර්) විසින් ඒවා රකින්නන් අසාර්ථකත්වයට භාජනය කිරීම ද පිලිබඳ මෙම චින්තාව ම ප්‍රකාශිත කරයි. රොමනොව් වරුන්ගේ භූමිකා වක ලිඛිතය සකසන ලද්දේ, ඓතිහාසික නාටකයේ පොදු වර්ධනය විසිනි. නලුවන්ට බාරවූයේ නිරූපනයේ සුක්ෂමාංගයන් පමනි. නිකොලස්ගේ මෙන්ම ලුවිගේ ද අවාසනාව මුල්බැස තිබුනේ, ඔවුන්ගේ කේන්දර වල නොවේ; නිලධරවාදී-කුලවල රාජ්‍යත්වයේ ඓතිහාසික කේන්දරයේ ය. ඔවුන් දෙදෙනාම ප්‍රධාන වශයෙන්ම සහ අන් සියල්ලටත් වඩා, පරම රාජතන්ත‍්‍රයේ බඩපිස්සන් වූ හ. ඔවුන්ගේ සදාචාරාත්මක හීනත්වය පැනනැගුනේ, ඔවුන් රාජ පාරම්පරාවල පරිහානිගත අන්තිමයන් වීම තුලිනි. (උපුටාගැනීම්, රුසියන් විප්ලවයේ ඉතිහාසය වෙලුම් 1 පරිච්චේද 4 සහ 6 )

පෙබරවාරි 23, බර්ලිනය: සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව යුද වියදම් වලට එකඟවෙයි.

බර්ලිනර් ටැජිබ්ලාට් පත්‍රයේ සිරස්තලයකින් තවත් යුද වියදම් වෙනුවෙන් එකඟත්වය නිවේදනය කරයි

ජර්මනියේ එස්පීඩී හෙවත් මහජන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, නව යුද වියදම් වලට එකඟ විය. රයික් මාක් බිලියන 15ක්වූ එය, එතෙක් ජර්මානු ආන්ඩුවට අනුමතවූ විශාලතම නය මුදලයි. එයත් සමග 1914 පටන් යුද්ධය වෙනුවෙන් වියදම මාක් බිලියන 79ක් වී ඇත.

එම තීන්දුව ගනු ලැබුවේ, දස දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත බිලි ගත්, ජර්මානු ඉතිහාසයේ අතිශය විනාශකාරී “දුර්භික්ෂයේ ශීත සෘතුව” මධ්‍යයේය. ඊලඟ දිනයේදී දැඩි ඉන්ධන හා දැව හිඟය නිසා, ජර්මානු අගනුවර වන බර්ලිනයේ සියලු පාසැල් වසා දැමුනි.

පක්ෂයේ යුද ගැති පිලිවෙතට වඩ වඩාත් විරුද්ධත්වය පෑ එස්පීඩීයේ සුලුතරයට නායකත්වය දුන් පක්ෂ නියෝජිත ජොර්ජ් ලෙඩිබෝ, ඡන්දය ආන්ඩුව කෙරෙහි “විශ්වාසය පල කිරීමක්” බව පවසමින් රයිස්ටෑග් විවාදයේදී යුද වියදම් ප්‍රතික්ෂේප කලේය. යුද වියදම් වෙනුවෙන් එකඟවන පක්ෂය “මේ ආන්ඩුවේ යුද අරමුනු සඳහා වගකිව යුතු වන අතර එම අරමුනු සාක්ෂාත් කර ගැනීමේදී ආන්ඩුව අවශ්‍යයෙන්ම යොදාගනු ලබන උපායන් සම්බන්ධයෙන් ද වගකිවයුතු වන්නේය”යි ඔහු තර්ක කලේය.

මේ අනුව 1914දී, දෙවන ජාත්‍යන්තරයේ විශාලතම හා වඩාත්ම බලපෑම් සහගත පක්ෂය වූ ජර්මානු එස්පීඩීය, යුද වියදම්වල ට එකඟ වීමෙන්, පලමුවන ලෝක යුද්ධයට පාර කපන මුඛ්‍ය ක්‍රියාකලාපයක් ඉටු කලේය. 1915දී සිය ජූනියස් පැම්ෆ්ලට් යන ලිපිය තුල රෝසා ලක්සම්බර්ග්, “වඩාත්ම බිහිසුනු රූටායාම, වඩාත්ම ප්‍රචන්ඩ කඩා වැටීම” ලෙස මෙම ඓතිහාසික පාවාදීම විස්තර කලාය. “අධිරාජ්‍යවාදයේ සේවය සඳහා මෙතරම් පරිපූර්නව කරබදුවූ වෙනත් නිර්ධන පන්ති සංවිධානයක් තිබුනේ නැත.”

ව්ලැඩිමීර් ලෙනින්

ලෙනින් ස්විට්සර්ලන්තයේ සිට “සමාජ දේශප්‍රේමයට” එරෙහිව ලිවීය. “එය තමන්ගේම රට තුල සූරා කෑමට ලක්වන ජනතාව තුල, ධනේශ්වරය පිලිබඳ විශ්වාසය ඇතිකර වීම සඳහා උත්සාහ දැරීමටත්, තම අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති පිලිබඳ යථාර්තය වසං කිරීමට ප්‍රෝඩාකාරී වැකි දෙසීමටත් ධනපති පන්තියට අවස්ථාව උදාකර දෙයි.”

කෙසේ වෙතත් සමාජවාදියෙකුගෙන් ඉල්ලා සිටින්නේ, ඊට වඩා වෙනස් දෙයකි: එනම්, “තමන්ගේම ධනේශ්වරයේ සැබෑ ප්‍රතිපත්ති පිලිබඳ කිසිදු මිත්‍යාවකට ඉඩ නොතබා, නිර්දය ලෙස ඒවා හෙලිදරව් කිරීමය.” (“මධ්‍යස්ථ භාවයේ ආරක්ෂාව” යන 1917 ලියන ලද ලිපියෙන් උපුටා ගැනින, ස්විස් “සන්නද්ධ මධ්‍යස්ථ භාවය” පිලිබඳව)

1917 පෙබරවාරි 24, ලන්ඩන්: සිමර්මන් විදුලි පනිවිඩය ඇමරිකාව යුද්ධයේ අද්දරට ඇද දමයි

සිමර්මන් විදුලි පනිවිඩය විකේතනය කෙරේ

මගදී අල්ලා ගෙන විකේතනය කල සිමර්මන් විදුලි පනිවිඩය එක්සත් රාජධානියේ ඇමරිකානු තානාපති වෝල්ටර් හයින්ස් පේජ් ට පෙන්වයි. ඒ වන විට නිල වශයෙන් මධ්‍යස්ථව සිටි නමුත් වඩ වඩාත් එක්සත් රාජධානිය හා ප්‍රන්සය සමග සන්ධානගත වෙමින් සිටි එක්සත් ජනපදයට එරෙහි යුද්ධයට මෙක්සිකෝව ඈදා ගැනීමට විදුලි පනිවිඩය තුල ජර්මනිය උත්සහ දරයි. ඒ ඊට හිලව් වශයෙන් නිරිත දිග ඇමරිකාව මෙක්සිකෝවට යලි බාර දීමේ පොරොන්දුවට මතය.

ජර්මනිය, ඇමරිකාවෙන් බ්‍රිතාන්‍ය යුද යන්ත්‍රයට කෙරෙන සැපයුම් කපා හැරීමේ නිර්බාධිත සබ්මැරීන් යුද්ධයක් දියත් කිරීම, පෙබරවාරි 1දා විදේශ ලේකම් ආතර් සිමර්මන්ගේ විදුලි පනිවිඩයෙන් විස්තර කෙරින. විල්සන් පාලනය, තම මිතුරන් සන්නද්ධ කරමින් හා අරමුදල් සපයමින් විවෘතවම ඔවුන් වෙත නැඹුරු වෙමින් කටයුතු කරද්දී, ඇමරිකානු මධ්‍යස්ථ භාවය දැන් ප්‍රබන්ධයක් බවට පත්වෙයි.

ඇමරිකාව මධ්‍යස්ථව පවත්වා ගැනීම බර්ලිනයේ බලාපොරොත්තුව බව සිමර්මන් ලියයි. එහෙත් එය අසාර්ථක වුවහොත්, ජර්මනිය විසින් අරමුදල් සපයනු ලබන මිලිටරි සන්ධානයකට ඔහු ඇරයුම් කරයි. විප්ලවවාදී පැන්චෝ විල්ලා හබා ආ ජෙනරාල් ජෝන් පර්ෂිං යටතේ සිටි ඇමරිකානු හමුදාව ඉවත්ව යනු මෑතකදී අත් දුටු මෙක්සිකෝව, 1846-48 කාලයේ මෙක්සිකානු-ඇමරිකානු යුද්ධයේදී එරටට අහිමිවූ භූමි භාගයෙන් විශාල පදාසයකට යලි උරුමකම් කියනු ඇත. විදුලි පනිවිඩය ජපානය සමග සන්ධානයක හැකියාව පිලිබඳව ද ඇඟවුම් කරයි.

1917 පෙබරවාරි 25දා බර්ලිනය: ජර්මානු කර්මාන්තකරුවෝ චාන්සලර් වරයාට ඉල්ලා අස්වන ලෙස බල කරති

තියෝබෝල්ඩ් වොන් බෙත්මන්-හොල්වෙග්

ජර්මනියේ ප්‍රමුඛ කර්මාන්තකරුවෝ, යුද්ධයට නායකත්වය දීමට අසමත් බවට චෝදනා කරමින් චාන්සලර් තියෝබෝල්ඩ් වොන් බෙත්මන් හොල්වෙග්ට ඉල්ලා අස්වන ලෙස බල කරති.

ඇමරිකාව සමග පූර්න පරිමානයේ යුද්ධයක පැටලීම මගහැරීමට උත්සාහ කරන හොල්වෙග්, මිලිටරියේ හා ධනපති පන්තියේ වැඩෙන විරුද්ධත්වයකට මුහුනපා සිටින බව පෙත්සමෙන් පෙනී යයි. සබ්මැරීන් යුද්ධය මත ඔහු ධනේශ්වරයේ කොටස් හා ජර්මානු මිලිටරියේ ආඥාපතිත්වය සමග කටුක ගැටුමකට මැදිව සිටියි. 1917 පෙබරවාරි මුල ජර්මනිය, ඇමරිකාවට එරෙහිව, හොල්වෙග් දිගටම විරුද්ධත්වය පල කල පූර්න සබ්මැරින් යුද්ධය, ප්‍රකාශයට පත් කලේය. වඩ වඩාත් යුද්ධයෙන් හෙම්බත්ව සිටින හා සාගතයට මුහුනපා සිටින ජර්මානු ජනතාවට ආන්ඩුව කුමන මට්ටමක සහන පිරිනැමිය යුතු ද යන්න ද ගැටුමට හේතුවක් ව තිබුනි.

1917 පෙබරවාරි 26 බර්ලිනය, හැම්බර්ග් හා ඩොර්ට්මුන්ඩ්, සාගත කැරලි ජර්මනිය පුරා පැතිරේ

බර්ලින්, ඩොර්ට්මුන්ඩ් හා හැම්බර්ග් යන ජර්මනියේ ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානවල සාගත කැරලි හා වැඩවර්ජන පැතිර යමින් තිබෙන බව නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය වාර්තා කරයි. හැම්බර්ග්හි “විශාල නැව් තටාක හා මූනිස්සම් කම්හල්වල සිය ගනනක් කම්කරුවන්, මන්දපෝෂනය නිසා අසනීපව ඇති” බව එය පවසයි. ඩෝර්ට්මුන්ඩ්හි කුසගින්නේ පසුවන සිය ගනන් මිනිසුන් කඩ සාප්පු වලට කඩා වැදී ඇත. බර්ලිනයේ ඒඊජීහි 8,000ක් පමන කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා සිටිති. දින කිහිපයකට පෙර, පතල් හා ලෝහ කම්කරුවන්ගේ වැඩ වර්ජන නිසා, ජර්මනියේ වඩාත් වැදගත් කාර්මික කලාපය වන රූර්ජෙබිට් කම්පනයට පත් විය.

තත්වය පිලිබඳව නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ පවසයි. “ගැඹුරුම අර්ථයකින් තත්වය මංමුලා සහගතය. ” 1916/17 ශීත සෘතුවේ ආන්ඩුව විසින් ජර්මානු කම්කරුවන්ට වෙන් කර දුන් සාමාන්‍ය ආහාර සලාකය ලබා දුන්නේ, දිනපතා අවශ්‍ය වන කැලරි ප්‍රමානයෙන් සියයට 50ක් පමනි.

1917 පෙබරවාරි 26, නිව් යෝර්ක් නගරය. පලමුවන ජෑස් පටිගත කිරීම

“ලිවරි ස්ටේබල් බ්ලූස්” සඳහා ෂීට් මියුසික්

නිව් යෝර්ක් නගරයේ වික්ටර් ටෝකිං මැෂින් සමාගම විසින් ඔරිජිනල් ඩික්සිලෑන්ඩ් ජෑස් කන්ඩායමේ “ලිවරි ස්ටේබල් බ්ලූස්” ගීතය, පටිගත කරයි. එම ගීතය පුලුල් පරිමානව උනන්දු සහගත හා උද්වේගවත් ප්‍රතිචාරයක් ජනිත කල අතර පිටපත් මිලියනයකට වඩා අලෙවි විය. එය නිව් යෝර්ක්හි හා චිකාගෝවේ ජෑස් සංගීතඥයින්ට දැවැන්ත ඉල්ලුමක් නිර්මානය කලේය. එයට සංගීතය සැපයුවේ, නිව් ඔර්ලියන්ස්හි ජෑස් සංගීතඥයින් කන්ඩායමක් විසිනි. නික් ලාරොකා කෝනෙට් වාදනයෙන් ද එඩී එඩ්වර්ඩ්ස් ට්‍රොම්බෝවෙන් ද ලැරී ෂීල්ඩ්ස් ක්ලැරිනටයෙන් ද හෙන්රි රගාස් පියානෝවෙන් ද ටෝනි ස්පර්ගෝ ඩ්‍රම්ස් වාදනයෙන් ද දායක වූහ. ගීතයේ තරගකාරී සංස්කරනයක් රේ ලෝපස් හා ඇල්සයිඩ් නුනෙස් යන නිව් ඔර්ලියන්ස් ජෑස් සංගීතඥයින් දෙදෙනා විසින් නිකුත් කරන ලදී.