රුසියානු විප්ලවයේ මේ සතිය

මැයි 1-7: පෙට්‍රොග්‍රෑඩය තුල අප්‍රේල් අර්බුදය පැනනැගේ

2017 මැයි 1

සාර්ගේ රහස් ගිවිසුම් වලට අනුකූලව, “තීරනාත්මක ජයග්‍රහනයක් ලබන තුරු ලෝක යුද්ධයෙන් ඉවත් නොවන බවට පොරොන්දු වෙමින්,” තාවකාලික ආන්ඩුවේ විදේශ ඇමතිගේ රහස් විදුලි පනිවිඩයක් පෙට්‍රොග්‍රෑඩයේ පුවත්පත්වල පලවිය. කම්කරුවන් හා සෙබලුන් ඊට ප්‍රතිචාර වශයෙන් පැවැත්වූ දැවැන්ත ආන්ඩු විරෝධී පෙලපාලි වලින් අප්‍රේල් අර්බුදය ඇවිල ගියේය.

තාවකාලික ආන්ඩුව වටේ රොදබැඳගත් මෙන්ෂෙවිකයින්, සමාජ විප්ලවවාදීන්, ජනතාවාදීන් හා අනෙකුත් දේශපාලන ප්‍රවනතා තියුනු ලෙස අපකීර්තියට පත්විය. මංමුලාසහගතව, අස්ථාවරව හා ජනතා සහාය අහිමිවී ගිය තාවකාලික ආන්ඩුව බිඳවැටීමේ අද්දර වැනුනි.

බොල්ශෙවිකයන්ට වැඩෙන ජනතා සහායක් හිමි වුන ද පක්ෂය ඇතුලතින් බෙදී පැවතුනි. රැඩිකල් කොටස වහාම සන්නද්ධ නැගිටීමක් කැඳවුම් කල යුතු බව කියා සිටිය ද දක්ෂිනාංශික “පැරනි බොලේශෙවිකයෝ” පවතින තත්වය තුල ගැලී සිටියහ. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ සාරය උකහා ගනිමින් ලෙනින්, පන්ති රේඛා පැහැදිලි කර ගැනීමටත් පක්ෂය මූලෝපායිකව බලය අල්ලා ගැනීම මත දිශානුගත කිරීමටත් තීරනාත්මක, සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුව කැඳවීමට සටන් වැදුනි.

මේ අතර රුසියානු නැගිටීම්වල බලපෑම යුරෝපය පුරා ප්‍රකාශ වුනේ, පෙලපාලි, කැරලි හා නැගිටීම් ලෙසය.

මැයි 3 (පැරනි අප්‍රේල් 20) පෙට්‍රොග්‍රෑඩය: මිලියුකොව්ගේ රහසිගත විදුලි පනිවිඩය ප්‍රසිද්ධියට පත්කෙරේ

පවෙල් මිලියුකොව්

තාවකාලික ආන්ඩුවේ විදේශ ඇමති පවෙල් මිලියුකොව් විසින් සහචර අධිරාජ්‍යවාදී ආන්ඩු වෙත යැවූ රහසිගත විදුලි පනිවිඩය, පෙට්‍රොග්‍රෑඩ් පුවත්පත්වල පල කෙරේ. මැයි 1 (පැරනි අප්‍රේල් 18) දා දරන සටහන, ”‘තීරනාත්මක ජයග්‍රහනයක් ලබන තුරු ලෝක යුද්ධයෙන් ඉවත් නොවන බවට පොරොන්දු විය.’ ‘තාවකාලික ආන්ඩුව...අපගේ මිතුරන් කෙරෙහි ඇති බැඳීමට මලුමනින්ම කැප වන බව අමුතුවෙන් කිව යුතු නොවේ’” යයි එය පැවසීය. රුසියානු කම්කරුවන් හා සෙබලුන්ගේ පිටුපසින් නිකුත්වූ මෙම රහස් පනිවිඩය, අපකීර්තිමත් යුද්ධය පවත්වාගෙන යාම පිලිබඳ පොරොන්දුවක් පමනක් නොවීය. “අපගේ මිතුරන් කෙරේ ඇති බැඳීමට මුලුමනින්ම කැපවීම” ඇඟවුම් කරන්නේ, බලයෙන් පහකරන ලද සාර් විසින් අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සමග, අල්ලාගත් ප්‍රදේශ ඈඳාගැනීම හා බෙදීමට ඉඩ සැලසෙන පරිදි අත්සන් තබා ඇති රහසිගත ගිවිසුම් වලට කැපවන බවය.

එදිනම ප්‍රව්ඩා පත්‍ර ය මුද්‍රනය කල බලගතු ප්‍රකාශයනයක් තුල ලෙනින් සඳහන් කලේ, “කඩදාසි කුට්ටම මේසය මත ඇත, අද දිනයේ පුවත්පත්වල පලවූ සටහන ගැන ගුච්කොව් හා මිලියුකොව්ට නයගැති වීමට අපට සෑම හේතුවක්ම තිබේ, දැන් වනතෙක් පෙට්‍රොග්‍රෑඞ් තාවකාලික ආන්ඩුව කෙරේ විශ්වාසය තබන ලෙස ආයාචනා කල, නරොද්නිකයන්, මෙන්ෂෙවිකයන් හා අන් අය නියෝජනය කරන කම්කරු සෙබල සෝවියට් සභා විධායක කමිටුවේ බහුතරයට නියම දඬුවම ලැබී ඇත” යනුවෙනි.

මිලියුකොව් “වංචනික” යයි හෙලාදකින අයට ලෙනින් පැවසුවේ, “ප්‍රශ්නය එය නොවේ, ප්‍රශ්නය ගුච්කොව්, මිලියුකොව් හා අනෙක් අය, ධනපතියන්ගේ කථිකයන් වීමයි. විදේශ භූමි භාගයන් අල්ලා ගැනීම ධනපතියන්ට අවශ්‍යයි. ඔවුන්ට අලූත් වෙලඳපොලවල්, ප්‍රාග්ධනය ආයෝජනය සඳහා අලුත් තැන්, දස දහස් ගනන් තම පුතුන්ට ලාභදායක රැකියා සලසාගත හැකි නව අවස්ථා යනාදිය සැලසේ. කාරනය, රුසියානු ධනපතීන්ගේ මේ මොහොතේ අවශ්‍යතා, බ්‍රිතාන්‍යයෝ හා ප්‍රන්ස ධනපතියන්ගේ අවශ්‍යතා සමග කරට කර සිටීමයි. බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස ධනපතීන් සමග ඇතිකරගත් සාර්ගේ ගිවිසුම්, රුසියානු ධනපතීන්ගේ තාවකාලික ආන්ඩුවට වටිනා කමක් ගෙනදෙන කරුන එය පමනක්ම වන්නේ එබැවිනි.”

“කම්කරුවනි සෙබලුනි, ඔබ දැන් හඬනගා කිව යුත්තේ, රට තුල පැවතිය යුත්තේ එක් බලයක් පමනි, එනම් කම්කරු සෙබල නියෝජිතයන්ගේ සෝවියට් සභාය, අතලොස්සක් ධනපතියන්ගේ ආන්ඩුව වන තාවකාලික ආන්ඩුව එයට ඉඩදී පැත්තකට විය යුතුය” යනුවෙන් ලෙනින් අවසන් කලේය.

දහස් ගනන් සෙබලු “මිලියුකොව් එපා” යයි ද ධනපති ඇමතිවරු අස්වනු යයි ද හඬනගමින්, පෙට්‍රොග්‍රෑඩයේ මරින්ස්කි මාලිගයේ තාවකාලික ආන්ඩු පරියංකයෙහි ගමන් ගත්හ. සෙබලු සාර්ගේ රහස් ගිවිසුම් සාර්ථක කර දීම පිනිස, අධිරාජ්‍යවාදී යුද්ධයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කලහ. ෆින්ලන්ත සේනාංකයේ, මොස්කව් සේනාංකයේ, 180 වන සේනාංකයේ හා දෙවන බෝල්ටික් නාවික බලඇනියේ සෙබලුන් හා නාවිකයින්, පෙලපාලි වලට සම්බන්ධ විය.

බොල්ශෙවිකයන්ට, පෙට්‍රොග්‍රෑඩයේ කම්කරු පන්තික දිස්ත්‍රික්කවල කාර්ය බහුල විය. ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද තුල විස්තාරනය වූ අදහස් වඩ වඩාත් සහාය දිනාගත්තේය. නිදසුනක් වශයෙන් එම විදුලි පනිවිඩයේ සටහන් පලවූ දිනයේ පෙට්‍රොග්‍රෑඩ් ඉලෙක්ට්‍රෝ-ටෙක්නිකල් සේනාංක කමිටුව සම්මත කල යෝජනාවක් කියා සිටියේ, “මිත්‍ර” පාක්ෂික ආන්ඩුවලට තාවකාලික ආන්ඩුව යැවූ පනිවිඩය සාකච්ඡා කිරීමෙන් පසුව අප තීරනය කලේ, මෙම සටහන පෙන්නුම් කරන්නේ, තාවකාලික ආන්ඩුව සන්ධානයේ අධිරාජ්‍යවාදී රටවල පමනක් නොව, ජර්මානු හා හංගේරියානු ආන්ඩුවල ද කීකරු සේවකයෙක් බවයි, මක්නිසා ද යත්, සාමය වෙනුවෙන් අරගල කරන ජර්මානු කම්කරුවන්ගේ ගෙල සිර කිරීමට ද එය උදව් කරන බැවිනි.”

මැයි 3දා බටහිර පෙරමුන: ප්‍රන්ස සොල්දාදුවන් අතර කැරැල්ලක් හටගනී

කැරැල්ල කාලයේ වර්ඩුන්හි ඝාතන

නිවෙලි ප්‍රහාරයේ විනාශකාරී බිඳ වැටීමෙන් පසුව ප්‍රන්ස සෙබලු, පෙරමුනේ නියෝග පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීමට පටන් ගනිති. චෙමින් ඩෙස් ඬේම්ස් කොටසට පහර දීමේ නියෝගය පැහැර හැරීමට ප්‍රන්ස දෙවන සේනාංකය මූලිකත්වය ගත්තේය. කැරැල්ල ඉක්මනින්ම පසුපෙල දක්වා පැතිර ගිය අතර කලින්ම ප්‍රහාරය නතර කිරීමට ප්‍රන්ස මිලිටරියට බල කෙරුනි. ජර්මානු පෙරමුනු බිඳ දමමින් යුද්ධය නිමාකරන බවට පොරොන්දුවූ ජෙනරාල් රොබට් නිවේලි, මැයි 15දා රාජකාරියෙන් ඉවත් කෙරුනි.

මැයි අවසන් වන විට කැරැල්ල, සේනාංක 21ක් දක්වා පැතිර ගොස් තිබුනි. ප්‍රහාරක මෙහෙයුම අවසන් කරන ලෙසත් වෙනත් ඉල්ලීම් මතු කරන ලෙසත් ඉල්ලීම පිනිස සෙබලු නියෝජිතයන් පත්කර ගැනීමට පටන්ගෙන තිබුනි. 1917 අවසානය වන විට වාර්තාගත මට්ටමකින් සෙබලුන් 27,000ක් ප්‍රන්ස හමුදාව අතහැර ගොස් තිබුනි.

යුද්ධය පවත්වාගෙන යාම කෙරෙහි පලවන විරුද්ධත්වය පිලිබිඹු කලේ, රුසියානු විප්ලවයේ බලපෑමයි. අනෙක් අතට එය යුරෝපයේ ජනතාව අතර සාමය සඳහා පැතිරෙමින් තිබුනු ඉල්ලීම්වල ප්‍රකාශනයක් විය. මේ මනෝභාවයට පලමුවෙන් ප්‍රතිචාර දැක්වූයේ ප්‍රන්ස හමුදාවන්ට සහාය වනු පිනිස යොදවා තිබුනු රුසියානු සේනාංක දෙකකි. සැලකිය යුතු රුසියානු සොල්දාදුවන් පිරිසක් සාමය වෙනුවෙන් ඡන්දය දීමෙන් පසුව නිවෙලි මෙහෙයුමට ඔවුන් සහභාගී වුනේ අදිමදි කරමිනි. දැන් ප්‍රන්ස සෙබලුන් ද එයම අනුගමනය කරන්නට පටන් ගත් අතර රතු කොඩි වනමින් ජාත්‍යන්තර ගීය වැනි විප්ලවවාදී ගීත ගායනා කලේය.

උසස් නිලධාරීන් කෙරෙහි පැවති ගැඹුරු වෛරය නිසා ද කැරලි පැතිර ගියේය. තුන් වසරක යුද්ධය අවධියේ සිදුවූ ලේවැකි සංහාරයට ප්‍රන්ස සෙබලුන් දොස් නැගුවේ ඔවුන්ටය. 1917 මුල, පූර්ව යුද අවධියේ සටන් කල හැකි වයසේ පිරිමි ජනගහනය වූ මිලියන 20න්, මිලියනයක් තරම් ප්‍රන්ස සෙබලු යුද්ධයේදී මිය ගොස් තිබුනි. මෙයට 1914, 306,000ක් ද 1915, 337,000ක් ද 1916, 217,000ක් ද 1917 මුල් මාසවල සිදුවූ 121,000ක් ද හානි ඇතුලත්ය.

බ්‍රිතාන්‍ය හමුදා අතර ද ආතතිය නගිමින් තිබුනි. හමුදාව හැර යන බ්‍රිතාන්‍ය සෙබලූන්ට නිතර එතැන්හිම වෙඩි තබනු ලැබීය. යුද්ධයේ අවසන් වසරෙහි අන නොපිලිපදින සංඛ්‍යාවේ වැඩිවන ප්‍රවනතාවක් ඇතිව තිබුනි.

කැරලි වලට දැක්වූ ප්‍රතිචාරයේදී මිලිටරි බලධාරීන් ආන්තික නිර්දය බවක් පෙන්විය. ඒ අතර දේශපාලන බලධාරීහු, යුද්ධය කෙරෙහි පුලුල් විරුද්ධත්වයක් අවුලුවනු ඇතැයි යන බිය කරනකොට ගෙන ප්‍රවෘත්ති වාරනය කිරීමට වගබලාගත්හ. ජූනියේදී තොග පිටින් අත්අඩංගුවට ගැනීම් හා නඩු විමසීම් ඇරඹුනි. මිලිටරි නඩු විමසීම් 3427ක් සිදුව තිබුනි. ඉන් 2878 දෙනෙක් බරපතල වැඩ හා 629 දෙනෙක් මරන දඬුවමට මුහුන දුන්නේය. 43 දෙනෙක් ඝාතනය කරනු ලැබින.

කැරලි පිලිබඳ ප්‍රවෘත්ති වාරනය කෙතරම් සාර්ථකවී ද යත් කැරැල්ලේ සම්පූර්න පරිමාව පිලිබඳ තොරතුරු එලිවීමට වසර 50ක් ගතව තිබුනි. ඒ 1967 ලේඛනාගාර තොරතුරු ඉතිහාසඥයින් අතට පත්වීමට පටන්ගත් පසුවය.

මැයි 4 (පැරනි අප්‍රේල් 21): පෙට්‍රොග්‍රෑඩයේ “අප්‍රේල් අර්බුදය” පටන් ගනී

1917 අප්‍රේල් මාසයේ සෙබලුන්ගේ පෙලපාලියක්

රුසියාව පලමුවන ලෝක යුද්ධයට කැපවන බව ප්‍රකාශිත මිලියුකොව්ගේ සටහනට ප්‍රතිචාර වශයෙන් බොල්ශෙවිකයෝ, සාමය හා “සියලු බලය සෝවියට් සභාවලට” යන සටන්පාඨ යටතේ මහජන පෙලපාලි කැඳවූහ! බොල්ශෙවිකයන්ගේ කැඳවුම අනුව පෙලපාලි වලට, පැවති කොන්දේසි යටතේ ලක්ෂයක් පමන කම්කරුවන් හා සෙබලුන් සහභාගී විය.

පෙට්‍රෝග්‍රෑඞ් සෝවියට් සභාවේ මෙන්ෂෙවික් නායකයෝ තාවකාලික ආන්ඩුව නගාසිටුවීමට වැඩ කලහ. මිලියුකොව්ගේ සටහන පිලිබඳව “පැහැදිලි කිරීමක්” ඉල්ලා සිටි තතු හමුවේ මැයි 4දා , මෙන්ෂෙවික් නායකයින් කියා සිටියේ “පැහැදිලි කිරීම” ගැන තමන් සෑහීමකට පත්වන බවත්, “සිදුවීම නිමාවකට” පත්ව ඇති බවත්ය.

ලෙනින් තාවකාලික ආන්ඩුවට හා යුද්ධයට අනුගත වීම කරා යොමුවූ බොල්ශෙවික් පක්ෂයේ දක්ෂිනාංශය සමග පොරබදමින්, පක්ෂයේ පීටර්ස්බර්ග් කමිටුවේ සාමාජිකයින් ද ඇතුලූ රැඩිකල් අතිධාවනකාරී කොටස සමග ද සටන් වැදුනි. බොල්ශෙවික් පෙලපාලි වලට සහභාගී වූ දැවැන්ත ජනකාය දැකීමෙන් උද්දාමයට පත් මෙම කන්ඩායම, සන්නද්ධ අරගලයකින් ආන්ඩුව පෙරලා දැමීම හා “තාවකාලික ආන්ඩුව භංග වේවා” යන සටන් පාඨය ද මතු කලහ.

ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදීන් හෙවත් කැඩෙට්වරු, “තාවකාලික ආන්ඩුව කෙරේ පූර්න විශ්වාසය” හා “කයිසර්ගේ කුලීකාරයෙකු වන ලෙනින් භංගවේවා” යන සටන් පාඨ සහිතව විරුද්ධ පෙලපාලි සංවිධානය කලහ. ගැටුම් හා විපත් ද ඇති විය. ධනේශවර පුවත්පත්, සිවිල් යුද්ධයක් අවුලුවන බවට බොල්ශෙවිකයන්ට චෝදනා නැගූහ.

මැයි 5 (පැරනි අප්‍රේල් 22), බොල්ශෙවික් මධ්‍යම කාරක සභාව වහාම ආන්ඩුව පෙරලා දැමීම සඳහා කරන කැඳවුම හෙලා දකින යෝජනාවක් සම්මත කලේය. නැගී එන සහයෝගය තිබියේවී නමුත් බොල්ශෙවිකයින් ඇතුලතින් බෙදී සිටි අතර, ඔවුන් පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව තුල සුලුතරයක් විය.

මැයි 5 සියැටල්: අයිඩබ්ලිව්ඩබ්ලිව් නායකයා ගොතන ලද එවරට් ඝාතනයට වරදකරු කරයි

එවරට්හිදී පොලිස් මැරයින් විසින් ඝාතනය කරන ලද ෆීලික්ස් බැරන්ගේ අවමගුල

ලෝක කාර්මික කම්කරු සංවිධානයේ නායක තෝමස් ට්‍රේසි, ගොතන ලද නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරනයේ ජූරි සභාවක් විසින් වරදකරු කරන ලදී. එය සිදුවූයේ 1916 නොවැම්බර් 5දාය. කුලීකරුවන් ලෙස වැඩ කල, සංගම් විරෝධී සුපරීක්ෂාකාරීන්ගේ කල්ලියක් විසින් අයිඩබ්ලිව්ඩබ්ලිව් සාමාජිකයින් අඩුම තරමින් පස් දෙනෙක්වත් වෙඩි තබා මරා දමනු ලැබීය. ධනවාදය අහෝසි කරන ලෙස කියා සිටි සටන්කාමී සමිතියක් වන අයිඩබ්ලිව්ඩබ්ලිව්, එවරට් වෙත පැමිනියේ වැඩවර්ජිත ෂින්ගල් කම්කරුවන්ගේ හා කථනයේ නිදහස් අයිතියේ ආරක්ෂාව සඳහාය. ප්‍රාදේශීය පොලිසිය හා සමාගමේ මැරයින් සමිති සාමාජිකයින්ට පොරෝ මිටි වලින් පහර දීමෙන් පසුව, 1916 ග්‍රීෂ්මයේ හටගත් කම්කරු අරගලය තුල අයිඩබ්ලිව්ඩබ්ලිව් මැදිහත්වීම තහනම් කෙරුනි.

ඝාතනයෙන් පසුව ට්‍රේසි හා අයිඩබ්ලිව්ඩබ්ලිව්හි සාමාජිකයින් 73ක් අත්අඩංගුවට ගනු ලැබින. ඒ සුපරීක්ෂකයින් දෙදෙනෙකු වෙඩි තබා මරුමුවට පත් කිරීමේ චෝදනා යටතේය. සැබෑ වශයෙන් ඝාතනය සිදුවෙද්දී ඔවුන්ගේ පිටුපසට වෙඩි වැදී තිබුනේ, තමන්ගේම කල්ලිය අතිනි. ට්‍රේසි වරදකරු කිරීමෙන් පසුව අයිඩබ්ලිව්ඩබ්ලිව් සාමාජිකයින්ට එරෙහි චෝදනා අස්කරගත් අතර පසුව ඔවුන් සිරගෙයින් නිදහස් කරන ලදී.

මැයි 5 ස්ටොක්හෝම්: ස්වීඩනයේ පාන් කැරලි

ස්වීඩනයේ ආහාර කැරැල්ලක් [මූලාශ්‍රය: ලෝක යුද්ධය පිලිබඳ හාපර්ගේ සිතුවම් පුස්තකාලයෙනි (Harper’s Pictorial Library of the World War)]

පැය ගනන් පෝලිම්වල තැපීමෙන් පසුව අර්තාපල් තොග අවසන්වී ඇති බව දැනුම්දීමත් සමග ස්ටොක්හෝම්හි කම්කරු පන්තික නිවහන් ප්‍රදේශයන්හි කාන්තාවෝ කැරලි ගැසූහ. ස්වීඩනයේ අගනුවර පුරා එදින කැරලි පැතිර ගියේය. කාන්තාවෝ පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහරදී තුවාල සිදුකලහ.

කාන්තාවන්ට සලාක කාඩ්පත් නොලබා බේකරි වලින් එලියට බසින්නට සිදුවීම නිසා එදිනම ගොතෙන්බර්ග්හි කැරලි හටගත්තේය. වෙලෙන්දන් පාන් විකිනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔවුන් පාන් පැහැරගත් අතර වෙලඳසැල් වලට හානි සිදුකලේය. කැරලි මස් කඩ වලට ද පැතිර ගියේය. නගර දෙකෙහිදීම ආරක්ෂකයින් කඩු වලින් පහර දුන් අතර දුසිම් ගනනක් තුවාල ලදහ. නැතිනම් අත්අඩංගුවට පත් විය. නෝර්කිපිංහි ද ආහාර පෙලපාලි පැවති බව වාර්තා විය.

ස්වීඩනය යුද්ධය තුල යුදවාදී පාර්ශවයක් නියෝජනය නොකලේය. එහෙත් දැවැන්ත යුද්ධය මධ්‍යයේ, ආහාර ද ඇතුලූ අත්‍යවශ්‍ය භාන්ඩ මිල පිම්මේ ඉහල නැගීමත් සමග ධනපතීන් අතට ගලා ආ ලාභ ඉහල නැංවීය. එම තත්වය “මධ්‍යස්ථ” ස්කැන්ඩිනේවියානු රටවල පන්ති ආතතිය පුපුරන සුලු මට්ටම් කරා ඉහල නැංවීය.

මැයි 6 (පැරනි අප්‍රේල් 23) පෙට්‍රොග්‍රෑඩය, කම්හල් කමිටුවල බලතල කැපීමට තාවකාලික ආන්ඩුව නීති පනවයි

මොස්කෝවේ කම්කරුවන් පැය 8 වැඩ දිනය ඉල්ලා පැවැත්වූ පෙලපාලියක්

සාර් පෙරලා දැමීමත් සමග රුසියාව පුරා පෞද්ගලික හා රාජ්‍ය කර්මාන්තයන්හි කම්හල් කමිටු පිහිටුවන ලදී. ඒවා පැය 8 වැඩ දිනය සඳහා පෙරමුන ගත් අතර සමහර කම්හල්වල කලමනාකාරිත්වය පවා සියතට ගත්හ. කම්හල් කමිටු පිලිබඳ නීති සම්පාදනය කිරීමෙන් තාවකාලික ආන්ඩුව බලාපොරොත්තු වුනේ, ඒවායේ වැඩෙමින් ඇති අනුහස සීමා කිරීමය.

රතු පෙට්‍රොග්‍රෑඩය නම් සිය කෘතියේදී ඉතිහාසඥ ස්ටීවන් ඒ. ස්මිත් සඳහන් කරන්නේ, “ආන්ඩුවේ ඉලක්කය වූයේ, ඒවා ආයතනගත කර, ඒවායේ සටන්කාමිත්වය මැඬීම පිනිස ඒවා වානිජ්‍ය පරිශ්‍රයේ හාම්පුතුන් හා කම්කරුවන් අතර අතරමැදි කටයුත්තේ යෙදෙන නියෝජිත ආයතන ලෙස නීතිගත කිරීමටය...එහෙත් කම්කරුවෝ නව නීති මගින් සිය දෑත් ගැටගැසීම සඳහා ඉඩදීමට සූදානම් නොවූහ.”

කම්හල් කමිටු නිරතුරුවම වෘත්තීය සමිතිවල කාර්ය ද ඉටුකල අතර සමහර කර්මාන්තවල ඒවායේ බලය ඉනුත් ඔබ්බට ගමන් කලේය. විශේෂයෙන්ම යුද ව්‍යායාමයට සම්බන්ධ රාජ්‍ය කම්හල්වල කමිටු, කම්හල් කලමනාකරනය ද සියතට ගත්හ. පූර්වයෙන් වැඩ වර්ජනයන්ට සහභාගී වීම නිසා හෝ යුද්ධයට විරුද්ධ වීම නිසා රැකියාවලින් දොට්ට දැමූ කම්කරුවන්, කමිටු විසින් යලි සේවයේ පිහිටුවන ලදී. සේවකයින් රැකියා වලට බඳවා ගැනීම හා සේවය අත්හිටුවීමේ ක්‍රියාවලිය පිලිබඳ පාලනය සියතට ගැනීම, පෙබරවාරි විප්ලවයෙන් පසුව විප්ලවවාදී කම්කරුවන් විසින් ඉදිරිපත් කල පලමු හා වඩාත් වැදගත් ඉල්ලීම විය.

මැයි 6, වොෂින්ටනය: “කඩාකප්පල්කාරීන්” ගැන ගොම්පර්ස්, පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවට අනතුරු අඟවයි

ගොම්පර්ස්ගේ කේබල් පනිවිඩය පිලිබඳව, නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ පලවූ සිරස්තල වාර්තාවක්

ඇමරිකානු කම්කරු සංගමයේ සභාපති සැමුවෙල් ගොම්පර්ස්, දෙරටේම කම්කරුවන් “කෛසර්වාදයට” හා “පරමාධිපත්‍යයට” එරෙහිව අවසන් ජයග්‍රහනය තෙක් යුද්ධය ගෙන යා යුතු බව අවධාරනය කරමින්, ඇමරිකානු කම්කරු පන්තිය වෙනුවෙන් බව පෙනීයන පරිදි, පෙට්‍රොග්‍රෑඞ් සෝවියට් සභාව වෙත විදුලි පුවතක් යවයි.

ක්ෂනික අරමුන යුද්ධය කෙරෙහි කම්කරු පන්තිය පාන විරුද්ධත්වය නීති විරෝධී කිරීම වූ අතර, ලිපිය නිකුත් කලේ පෙට්‍රොග්‍රෑඩයේ අප්‍රේල් අර්බුදයට ප්‍රතිචාර වශයෙනි. ඇමරිකාව යුද්ධයට ඇතුලු වීමත් සමග කම්කරුවන්ගේ වැඩවර්ජන හා වැටුප් ඉල්ලීම් මැඬීමට පිලින දුන් ගොම්පර්ස්, “කෛසර්වාදීන්ගේ හා පාලක පන්තියේ අවශ්‍යතාවන්ට අනුකූලව කුමන්ත්‍රනකාරී සාමයක් ඇතිකිරීමට පාතාලයේ කුමන්ත්‍රනයක යෙදී සිටින්නේ යයි ජර්මානු සමාජවාදීන්” හෙලාදුටුවේය. ඔහු රුසියාවේ නව ධනපති ආන්ඩුව ඇමරිකානු ආන්ඩුව පසෙකින් පිහිටුවා “ලෝකයේ ශ්‍රේෂ්ඨතම ප්‍රජාතන්ත්‍රවාදයන් දෙක” ලෙස හුවාදැක්වූ අතර තාවකාලික ආන්ඩුවට විරුද්ධවූ සමාජවාදීන් “කෛසර් ගැති ප්‍රචාරකවාදීන්” ලෙස හෙලාදුටුවේය.

ගොම්පර්ස්ගේ විදුලි පනිවිඩය නිකුත්වී දෙදිනකට පසුව බ්‍රිතාන්‍යයේ ලේබර් නායකයින් වන විල් තෝනි හා ජේම්ස් ඕ ග්‍රෑඩි පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවට පැමිනියේය. ඔවුන් රුසියානු මෙන්ෂෙවිකයින්ගෙන් හා එස්ආර් වරුන්ගෙන් ඉල්ලා සිටියේ, “පරමාධිකාරයට” විරුද්ධව දිගටම යුද්ධය පවත්වාගෙන යන ලෙසටය.

මැයි 7 (පැරනි අප්‍රේල් 24) පෙට්‍රොග්‍රෑඩය: නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කැඳවුම් කරමින් ලෙනින් සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුව විවෘත කරයි

පෙබරවාරි විප්ලවය අවධියේ මොස්කෝවේ විප්ලවවාදී සෙනඟ

බොල්ශෙවික් පක්ෂය පුරා කම්පන රැලි නැංවූ, ලෙනින්ගේ “අප්‍රේල් ප්‍රවාද” එලිදක්වා දින ගනනකට පසුව, සාර් පෙරලා දැමීමෙන් පසුව පලමු සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුව පෙට්‍රොග්‍රෑඩයේදී පැවැත්වෙයි. එයට සාමාජිකයින් 80,000ක් නියෝජනය කරන නියෝජිතයෝ 151ක් සහභාගී වෙති.

සමුලුව පැවැත්වුන මැයි 7-12 අතර කාලයේ ලෙනින්, පක්ෂය ප්‍රති දිශානුගත කිරීම සඳහා ගෙන ගිය උද්ඝෝෂනයට ද අප්‍රේල් ප්‍රවාද සඳහා ද සැලකිය යුතු සහායක් දිනා ගත්තේය. පූර්වයෙන් ට්‍රොට්ස්කි සමග අනන්‍යව පැවති ආස්ථානයන් කරා තමාගේම ක‍්‍රමයෙන් පැමිනි ලෙනින්, විප්ලවයේ ඊලඟ අදියරට, එනම්, රාජ්‍ය බලය සෝවියට් සභා වෙත මාරු කිරීම, සඳහා පක්ෂය සූදානම් විය යුතු බවට වාද කලේය. ඒ අවස්ථාවේ බොල්ශෙවිකයින් සෝවියට් සභාව තුල සුලුතරයක් වීමේ කාරනයෙන් ලෙනින් දුර්මුඛ නොවීය.

ලෙනින්ට අනුව බොල්ශෙවිකයින්ගේ කාර්යය, පවතින තත්වයට අනුගතවූ සියලු සුලු ධනපති හා අවස්ථාවාදී ප්‍රවනතාවන්ට ද තාවකාලික ආන්ඩුවට ද යුද්ධයට ද විරුද්ධව, පැහැදිලි, ස්වාධීන හා ජාත්‍යන්තරවාදී පිලිවෙතක් ඉදිරිපත් කල යුතු විය. ඒ අවස්ථාවේ ජනතාව අතර පවතින අස්ථාවර හා ව්‍යාකූල මනෝගතිය කුමක් වුවත් ලෙනින් අවධාරනය කලේ, පක්ෂය සත්‍යය පැවසිය යුතු බවයි. ඒ අනුව කම්කරුවන් සංවිධානය කර, සන්නද්ධ කර රට පුරා සෝවියට් සභා ගොඩනැගිය යුතු බවයි.

එසේම මේ මාසයේ: ජර්මානු කලාකරු ජෝර්ජ් ග්‍රොස් චිත්‍ර වලින් යුද්ධය අමතයි

1917 මැයි මාසයේ ජෝර්ජ් ග්‍රොස්ගේ “පිපිරීම” චිත්‍රය [මූලාශ්‍රය: නිව් යෝර්ක්හි නූතන කලා කෞතුකාගාරය (Museum of Modern Art, New York)]

1914දී ජර්මන් චිත්‍ර ශිල්පි ජෝර්ජ් එරන්ෆ්‍රිඩ් ග්‍රොස් (1893-1956) පෙරමුනට යැවීමෙන් ගැලවිය හැකිය යන බලාපොරොත්තුවෙන්, බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට පෙර මිලිටරි සේවයට බැඳුනි.

1915දී නාසාරන්ධ්‍රස ඉදිමීමේ රෝගයට ශල්‍ය-කර්මයක් කිරීමෙන් පසුව ඔහු, සේවයට නුසුදුසු යයි මිලටරි සේවයෙන් මුදාහරින ලදී. පසුව ඔහු මෙසේ පැවසීය: මට නම් යුද්ධය “භීෂනයකි. අංගඡේදනයකි, ව්‍යසනයකි.” එවක පැවති අන්ධ දේශානුරාගයට හා ජර්මානු ස්වෝත්තමවාදයට එරෙහිව විරෝධය පලකිරීම සඳහා 1916දී ඔහු සිය නාමය ඇන්ග්ලිකානු සංස්කරනයක් ලෙස ජෝර්ජ් ග්‍රොස් ලෙස වෙනස් කලේය. 1917 ජනවාරියේදී ඔහු යලිත් බලහත්කාරයෙන් මිලිටරියට බඳවාගත් නමුත් දෙදිනකට පසුව මානසික අබාධයකට ලක් විය. ඔහු විෂාධියෙන් හා භ්‍රාන්තියෙන් පෙලුනි. ඔහු මානසික රෝහලේ පසුවන කාලයේ වෛද්‍ය නිලධාරියෙකුට පහර දුන්නේය. ප්‍රකට මනෝ වෛද්‍යවරයෙකු වූ මැග්නස් හර්ෂ්ෆෙල්ඩ් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මිලිටරි සේවයට නුසුදුසු බවට තීරනය කල අතර 1917 අප්‍රෙල් මාසයේ මුදාහරින ලදී. ඉන් කෙටි කාලයකට පසුව ඔහු පිපිරීම කෘතිය චිත්‍රයට නැගීය, එය යුද්ධයේ විනාශය පිලිබඳ රූපනයකි.

ඔහු ඩඩා නම් ව්‍යාපාරයට බැඳී එහි නියු ජඩෙන්ඞ් (නව යෞවනය) යන සඟරාවෙහි කාව්‍ය හා සිතුවම් සකස් කලේය. 1918/19 ජර්මානු විප්ලවය අවධියේ ඔහු මාක්ස්වාදී ස්පාටකස් ලීගයට බැඳුනි.

1920 පල කල “දෙවියන් අප සමගයි” (Gott mit uns, ජර්මානු අධිරාජ්‍යයේ ආදර්ශ පාඨය) යන ලිතෝ මුද්‍රනයේ පිටකවරයෙහි ඔහු, මිලිටරියේ සිටියදී ලැබුනු තම අත්දැකීම් විස්තර කලේය. තමන්ගේම සොල්දාදුවන්ට හා සිවිල් වැසියන්ට ඔවුන් සැලකූ අමානුෂික මෘගත්වය පිලිබඳ අවඥා සහගත ස්වභාවයක් එම රූ සටහන් වලින් දිස් විය. වසරකට පසුව ග්‍රොස් හා ඔහුගේ ප්‍රකාශනකරු වීලන්ඩ් හර්ස්ෆෙල්ඩි, මිලිටරියට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රීක්මාර්ක් 300ක් දඩ ගැසීය.