රුසියානු විප්ලවයේ මේ සතිය

මාර්තු 13-19: සාර් නිකොලස් රජකම අත්හැර යයි

2017 මාර්තු 13

1613දී රොමානෙව්ලා මොස්කෝවේ බලයට පත් වන අවධියේ එංගලන්තයේ (බ්‍රිතාන්‍යයේ) ස්ටුවර්ට් රාජවංශයේ පාලනය ද ප්‍රන්සයේ කපේටියන් රාජවංශයේ පාලනය ද පැවතියේය. රුසියාවේ සංස්කෘතික හා ආර්ථික පසුගාමිත්වයේ උරුමක්කාරයන් වූ රොමානොව්ලා, එංගලන්ත සිවිල් යුද්ධයේ තුවක්කු බටවල ද ප්‍රන්ස විප්ලවයේ ගිලටිනයට ද යටවී සිය යුරෝපීය එදිරිවාදීන් බිඳ වැටීමෙන් පසුව ද බොහෝ කාලයක් පැවතුනහ. ඔවුහු නැපෝලියන්ගේ හමුදාවන් හමුවේ ද මාලිගා කුමන්ත්‍රන හා ඝාතනයන් හමුවේ ද නොනැසී පැවතියහ. ඔවුහු සියලු විප්ලවවාදී තර්ජන නිර්දය ලෙස පාගා දැමූහ. ඔවුන්ගේ හමුදා 1848 නැඟෙනහිර යුරෝපයේ විප්ලවයන්ගේ ලේ වලින් නැහැවී සිටි අතර ඔවුන්ගේ කොසැක් හා බ්ලැක් හන්ඩ්‍රඩ්ස්වරු (chernosotentsy ලෙස ද හඳුන්වන, 1905 විප්ලවයෙන් පසුව ක්‍රියාත්මකවූ අන්ත දක්ෂිනාංශික හා මහා රුසියානු ජාතිකවාදී සංවිධානයක්) රුසියානු යුදෙව්වන්ට එරෙහිව මෙන්ම අධිරාජ්‍යය තුල සියලු විරුද්ධවාදීන්ට එරෙහිව ද රුදුරු මර්දනයක් ගෙන ගියහ.

රොමානොව්ලා ලෙනින්ගේ වැඩිමහල් සොහොයුරු ඇලෙක්සැන්ඩර් ඉලීච් උල්යානොව් ද ඇතුලු විප්ලවවාදීන් රැසක් පෝරකයට යැවූ අතර තවත් දහස් ගනනක් සයිබීරියාවට හෝ විදේශයන්ට පිටුවහල් කලහ. ඔවුන් අතර ලෙනින්, ට්‍රොට්ස්කි හා රුසියානු මාක්ස්වාදයේ පියා ලෙස හඳුන්වන ජියෝජි ප්ලෙකානොව් ද වූහ. මේ අයුරින් දෙවන සාර් නිකොලස්ට, ලෝකයේ භූමි ස්කන්ධයෙන් හයෙන් එකක් විශාල අධිරාජ්‍යයක් හා ලෝකයේ විශාලතම හමුදාව උරුම විය. එහෙත් සදාකාලික හා බලගතු යයි පෙනී ගිය මෙම රජ පෙලපත එනම් රොමානොව් රාජාන්ඩුව, 1917 මෙම සතිය වන විට තවදුරටත් නොපවතිනු ඇත.

මෙය වනාහි 1917 පෙබරවාරි විප්ලවයේදී පෙරලා දැමුනු සාර්ගේ ආඥාදායකත්වය පෙන්නුම් කරන සාර්ගේ සිට ලෙනින් දක්වා යන වාර්තා චිත්‍රපටයේ කොටසකි. එම චිත්‍රපටය මේරිං ප්‍රකාශන වෙතින් මිලට ගත හැකිය.

මාර්තු 13 (පැරනි දින දර්ශනයට අනුව පෙබරවාරි 28) පෙට්‍රොග්‍රෑඩය: පෙට්‍රොග්‍රෑඩ් හා රුසියානු ජනතාවගේ පෙට්‍රොග්‍රෑඩ් කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව විසින් කැඳවන ලදුව, පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව හා ඩූමා සභාව විසින් තාවකාලික ආන්ඩුව පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ කරයි.

Call by the Petrograd Soviet of Workers’ Deputies to the population of Petrograd and Russia

පෙට්‍රොග්‍රෑඩයේ සැබෑ බලය දැන් රැඳී ඇත්තේ කම්කරු නියෝජිතයින්ගේ පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව අතය. එය ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා පෙට්‍රොග්‍රෑඩයේ හා රුසියානු ජනතාවට කැඳවුම් කරයි. "පැරනි තන්ත්‍රය තීරනාත්මක ලෙස පෙරලා දමා පාලනය ජනතාව අතට පත්කල යුතුය." සෝවියට් රාජ්‍යය, එනම් "රුසියාවේ ගැලවීම රැඳී ඇත්තේ මෙහිය. ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාව වෙනුවෙන් වන අරගලය සාර්ථක ලෙස පරිපූර්නත්වයට පත්කිරීමට ජනතාව තමන්ගේම බල සංස්ථා නිර්මානය කල යුතුය."

විප්ලවවාදී නැඟිටීම මධ්‍යයේ ධනේශ්වර පර්යාය පවත්වා ගැනීමේ උත්සුකයෙන් සෝවියට් සභාවේ මෙන්ෂෙවික් නායකයෝ හා ඩූමා සභාවේ ලිබරල්ලු නව ආන්ඩුව පිහිටුවීමේ උමතු සාකච්ඡා පටන් ගත්හ. ඩූමාව හා සෝවියට් සභාව යන දෙකේම සාමාජිකයෙකු වන එම්. අයි. ස්කොබෙලෙව් යන මෙන්ෂෙවිකයා මේ කවයන් තුල පවතින ව්‍යාකූලත්වයේ ස්වභාවය පසුව මෙසේ විස්තර කලේය. "සිදුවීම් පුදුමාකර ලෙස වර්ධනය වෙද්දී අපට විප්ලවයේ තවදුර ජයග්‍රහන පිලිබඳ පැහැදිලි දැක්මක් ඇතිකරගත නොහැකිය. මේ දින තුන තුල සිදුවීම් විසින් අප රවුමේ දුවවා ඇත. එබැවින් රාජ්‍යාධිකාරය පිලිබඳ ප්‍රශ්නය මත භේදයක් ඇතිවීම වලක්වා, සැබෑ සටනකට යාම පලදායී බවක් අප සිතන්නේ නැත. අපට විප්ලවයේ සමස්ත පරිමාව දැකගත නොහැකිය, එසේම පෙට්‍රොග්‍රෑඩයේ පාලනය අප සතු ද යන්න පවා අපි නොදන්නෙමු."

මාර්තු 14 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 1) පෙට්‍රොග්‍රෑඩය: පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව අංක 1 ආඥාව නිකුත් කරයි.

පිහිටුවාගෙන සුලු වේලාවකට පසුව ඩූමා කමිටුව උත්සාහ කලේ, පෙට්‍රොග්‍රෑඩයේ සිටි සෙබලු ඔවුන්ගේ සේනාංක වෙත ආපසු යවා ඔවුන් නැවතත් මිලිටරි විනයට යටත් කිරීමටය. මෙම උත්සාහය කැරලිකාර සෙබලුන් කෝප ගැන්වීය. ඔවුන් කියා සිටියේ මිලිටරිය ප්‍රතිසංස්කරනය සඳහා ඩූමා සභාව නියෝගයක් පැනවිය යුතු බවය. එක් වාර්තාවකට අනුව, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සෙබලු, "එසේ නම් එය අපිම ලියන්නෙමු!" යයි කියා සිටියහ.

සෙබලුන්ගේ ඉල්ලීම පරිදි පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව, "නියෝග අංක 1" නිකුත්කරයි, ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, "පෙබරවාරි විප්ලවයේ වැදගැන්මකට ඇති එකම ලියවිල්ලය." "ද්වන්ධ බලය" පිලිබඳ සංසිද්ධිය ගෙනහැර දක්වමින් පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව, ඩූමා කමිටුවේ තීන්දු අභිභවනය කිරීමේ බලය අවධාරනය කරයි."නියෝගයක්" ලෙස මිස හුදු යෝජනාවක් ලෙස නිකුත් නොකිරීමෙන් සෝවියට් සභාව සොල්දාදුවන්ට උපදෙස් දුන්නේ, සෝවියට් සභාවේ නියෝගයන්ට පටහැනි ව ඩූමා කමිටුවේ කිසිදු නි‍යෝගයකට යටත් නොවන ලෙසය. සියලු දේශපාලන කරුනු සම්බන්ධයෙන් ද සෝවියට් සභාවේ උපදෙස් විශේෂයෙන්ම පිලිපැදිය යුතු බව සෙබලුන්ට දැනුම් දුන්නේය.

ආඥාව මඟින්, සෑම මිලිටරි සේනාංකයක්ම තමන්ගේම කමිටු පත්කරගෙන සියලු අවි ආයුධවල පාලනය සියතට ගන්නා ලෙස සෙබලුන්ගෙන් නැවියන්ගෙන් ඉල්ලා සිටියේය. නිලධාරීන්ට කිසිදු අවියක් ලබා ගැනීම තරයේම තහනම් විය. අවසානයේදී විප්ලවයට සම්බන්ධවූ ජනතාවන්ගේ නව්‍යවූ ගර්වය ප්‍රකාශිත වූයේ, මිලිටරි නායකයින් සිය සහායකයින්ට අමතන විට පාවිච්චි කල "උඹ" රුසියානු බසින් "ටි" (“ti”) යන නිග්‍රහශීලී නොනිල යෙදුම අහෝසි කිරීමෙන්, හමුදා භටයින් රාජකාරියේ නොයෙදෙන කල නිලධාරීන්ට "උතුමානනි" යනුවෙන් අමතා ආචාර කිරීම අවසන් වේය යන අපේක්ෂාවෙනි.

"නිර්භය ආඥාව සෝවියට් සභාවන්ට එරෙහි ධනේශ්වරයේ ප්‍රධාන තර්කය බවට පත්වූ" බව ට්‍රොට්ස්කි සටහන් කරයි. ජර්මානු හමුදා පරාජය කිරීමට පැවති ප්‍රමුඛ බාධකය වූ බවට ද එයට චෝදනා එල්ල විය.ඉතිහාසඥ රෙක්ස් වේඩ්ට අනුව අංක 1 ආඥාව, "විප්ලවයේ වඩාත්ම වැදගත් ලියවිල්ලක් බව සනාථ විය. එය මිලිටරි සම්බන්ධතාවන්හි පුලුල් වෙනස්කම් සිදු කලේය. අනෙක් අතට එය, පසුව එලඹි මාසවල දේශපාලන බලය පිලිබඳව ද රුසියානු හමුදාවේ ඉරනම පිලිබඳව ද දැවැන්ත ඇඟවුම් දරා සිටියේය."

මාර්තු 15 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 2) පෙට්‍රොග්‍රෑඩය: නිකොලස් පෙරලා දැමේ, තාවකාලික ආන්ඩුව පිහිටුවනු ලබයි

සාර් බලයෙන් පහ කල බව දැක්වෙන විදුලි පනිවිඩ අනුරුව

දෙවන සාර් නිකොලස් පෙරලා දැමේ, "පිහිටුවීමට යෝග්‍ය බව සලකන ලද මූලධර්ම අනුව ජනතාවගේ නියෝජිතයින් සමඟ එක්සත්ව, සාමයෙන් පාලනය ගෙන යාම පිනිස" කිරුල මහාදිපාද මිකායෙල් ඇලෙක්සැන්ඩ්‍රොවිච්ට පැවරේ.

සාර් නෙරපා හැරීම නිවේදනය කල විදුලි පනිවිඩය මෙසේ පවසයි: "පෙට්‍රාග්‍රෑඩයේ විප්ලවය! සාර් නෙරපා හැරේ! ජනතාව හා හමුදාව සාමය ඉල්ලයි!" තවදුරටත් එය තාවකාලික ආන්ඩුවක් පිහිටුවීම, විප්ලවවාදීන් ආන්ඩුවේ ඇමතිවරු අත්අඬංඟුවට ගැනීම, "අගනුවර සේනාංකවල 30,000ක් සෙබලු විප්ලවයේ පැත්තට ගොස් තිබෙන" බව නිවේදනය කරයි.

ඩූමා කමිටුව හා සෝවියට් සභාවේ මෙන්ෂෙවික් නායකයෝ, තාවකාලික ආන්ඩුවේ සංයුතිය දැනුම් දෙති. කම්කරුවන් පෙට්‍රොග්‍රෑඩයේ බලය අතැතිව සිටිය ද නව ඇමතිවරු බොහොමයක් පත් වුනේ ධනේශ්වර ලිබරල් කැඩෙට් පක්ෂයෙනි. ල්වොව් කුමරු අගමැති ලෙස ප්‍රකාශ කෙරුනි. භාෂනයේ හා මාධ්‍යයේ නිදහස, වැඩවර්ජනය කිරීමට ඇති අයිතිය, සර්වජන ඡන්දය හා දැඩි මිලිටරි විනයක් පවත්වාගැනීම පිලිබඳ මූලධර්මයන්ට අනුකූලව වැඩ කරන බව තාවකාලික ආන්ඩුව ප්‍රකාශ කරයි.

මාර්තු 15 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 2) සූරිච්: ලෙනින් විප්ලවය ගැන දැන ගනියි

විප්ලවකාරී රුසියාවට පෙරලා පැමිනීමට පෙර ලෙනින් හා ඔහුගේ බිරිඳ වාසය කල නිවසෙහි එල්ලා ඇති ඵලකය.

"ඔබ ප්‍රවෘත්ති ඇහුවේ නැද් ද?" පිටුවහලේ සිටි ලෙනින්ගේ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර අංක 14 දරන ස්පීගල්ගසිහි පිහිටි නිවසේ සෝපානය නඟිමින් මොයිසි බ්‍රොන්ස්කි ලෙනින්ගෙන් විමසීය. "රුසියාවේ විප්ලවය හටගෙන." විස්තර සොයාගැනීම පිනිස ලෙනින් බ්‍රොන්ස්කි පසෙකට කැඳවීය. එදින සවස ලෙනින් ලිව්වේ "එය දැවැන්තය" යනුවෙනි. "ජර්මානුවන් බොරු නොකියන්නේ නම් එය සිදුවී තිබේ."

පසු දිනයේ ලෙනින්, එවකට නෝර්වේ රටෙහි සිටි ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායිට උපදෙස් දුන්නේ, පෙට්‍රෙග්‍රෑඩයේ පක්ෂය වෙත උපදෙස් ලියා දන්වන ලෙසයි: "අපගේ උපාය-පූර්න අවිශ්වාසයයි. තාවකාලික ආන්ඩුවට කිසිදු සහායක් නැත. සියල්ලටත් වඩා කෙරන්ස්කි කෙරේ විශ්වාසය නොතබනු. එකම සහතිකය ලෙස නිර්ධන පන්තිය සන්නද්ධ කරනු." ලෙනින්ගේ බිරිඳ හා සහෝදරියකවූ නඩෙස්ඩා කෘප්ස්කායා පසුව එය මෙසේ සිහිපත් කලාය, "පෙබරවාරි විප්ලවය පිලිබඳ පලමු ප්‍රවෘත්තිය කන වැටුනු පලමු මිනිත්තුවේ සිටම ඉලීච් රුසියාවට පෙරලා යාමට උන්නදු විය."

දෙදිනකට පසුව මාර්තු 17දා ලෙනින් සිය විප්ලවය පිලිබඳ ප්‍රවාද කෙටුම්පත් කරයි. ඔහුට ලැබුනු තොරතුරු ඉතා සීමිත වූයේ නමුත්, සාර් පෙරලා දැමීමෙන් පසුව කම්කරු පන්තිය මුහුනපාන මූලික ප්‍රශ්න ඔහු සටහන් කලේය:

නව ආන්ඩුවට, රුසියානු ජනතාවට හා යුද්ධය මඟින් අපට බැඳුනු ජාතීන්ට සාමය, පාන් හෝ පූර්න විමුක්තිය ලබා දිය නොහැකිය. එබැවින් කම්කරු පන්තිය, සමාජවාදය හා සාමය සඳහා සිය සටන ඉදිරියට ගෙනයා යුතුය. මේ සඳහා නව තත්වය ප්‍රයෝජනයට ගනිමින් එය හැකිතාක් පුලුල් ලෙස ජනතාවට පැහැදිලි කල යුතුය. නව ආන්ඩුවට ජනතාවට සාමය ලබා දිය නොහැකිය, මක්නිසා ද යත්, එය නියෝජනය කරන්නේ ධනපතියන් හා ඉඩම් හිමියන් බැවිනි, එය ගිවිසුම් හා මූල්‍ය වගකීම් තුලින් ඉංග්‍රීසි හා ප්‍රන්ස ධනපතියන්ට බැඳී සිටින බැවින්ය. පලමුව අති මහත් බහුතරය වන ගොවි ජනතාව, ගොවි කම්කරුවන් හා පීඩිතයින් මත ද දෙවැනුව, යුද්ධයට සම්බන්ධ සියලු රටවල විප්ලවවාදී කම්කරුවන් සමඟ සන්ධානයක් මත ද රැඳී සිටිනා කම්කරුවන්ගේ ආන්ඩුවකට පමනක් ජනතාවට සාමය, පාන් හා විමුක්තිය ලබාදිය හැකිය.

මාර්තු 15 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 2) නිව් යෝර්ක්: ට්‍රොට්ස්කි විප්ලවය ගැන දැන ගනියි

ස්ථානය, නොවි මීර් කාර්යාල පිහිටා තිබුනු වත්මන් නිව් යෝර්ක් ගොඩනැඟිල්ලයි

‍ට්‍රොට්ස්කි නිව් යෝර්ක්හි ශාන්ත මාක් පෙදෙසේ රුසියානු සංක්‍රමනිකයන්ගේ නොවි මීර් පුවත්පත් කාර්යාලය තුලදී මාර්තු 15 බ්‍රහස්පතින්දා සාර් පෙරලා දමන ලද බව දැනගත්තේය. කෙනත් ඩී ඇකර්මන්ට අනුව, ඔහුගේ "පලමු ප්‍රතික්‍රියාව, සිය බිරිඳ හා සහෝදරිය වූ නතාලියාට දුරකථනයෙන් කථාකිරීමයි. නතාලියා ඔවුන්ගේ දරුවා වන සර්ගේ සමඟ මෙම අවස්ථාව සැමරුවාය. "දරුවා නැඟී සිට ඇඳ මත නටන්ට පටන්ගත්තේය." සහෝදරවරු තවත් දහස් ගනනක් සමඟ ආපසු යාමේ සැලසුම් සකස් කිරීමට පටන් ගත්හ. පසුව ට්‍රොට්ස්කි සිහිපත් කල පරිදි, "අප පලමු බෝට්ටුවෙන්ම ආපසු යෑමට උත්සුක වීමු" පිටුවහලේ සිටි අය ආපසු යැවීම පිනිස ඇමරිකානු කම්කරුවෝ ඩොලර් ලක්ෂ ගනනක් එකතු කලහ.

ලෙනින්ට බොහෝ සමාන අයුරින් ට්‍රොට්ස්කි ද දුටුවේ සාර් පෙරලා දැමීම විප්ලවයේ ආරම්භය පමනක් වන බවයි. මාර්තු 16දා නොවි මීර් හි පල කල ඔහුගේ ලිපිය මෙසේ සටහන් කරයි. සාර්වාදය පමනක් නොව යුද්ධය ද විරේක කිරීම අවශ්‍යය. විප්ලවයේ දෙවන රැල්ල රොඩ්සියන්කොලාගේ හා මිලියුකොව්ලාගේ ද හිස් වලට උඩින් ගලා යයි. ඔවුන් පර්යාය යථා තත්වයට පත්කිරීමට හා රාජාන්ඩුව සමඟ සම්මුති ගැසීමට වෙහෙසෙයි. විප්ලවයේ ගැඹුරෙන්ම එය තමන්ගේ බලය මතුකර ගනියි. ජනතාවගේ විප්ලවවාදී අවිය ජයග්‍රහනය කරා ගමන් කරයි. ප්‍රධාන සටන් හා ඒවායේ ප්‍රධාන ගොදුරු ඉදිරියේ වැටී ඇත. එවිට පමනක් පරිපූර්න හා අව්‍යාජ ජයග්‍රහනය සාක්ෂාත් කෙරෙනු ඇත." ට්‍රොට්ස්කි නිව් යොර්ක් ටයිම්ස් පත්‍රයට පවසන්නේ, නව තාවකාලික ආන්ඩුව "විප්ලවවාදීන්ගේ ඕනෑ එපාකම් හෝ අරමුනු නියෝජනය නොකරයි" එය පවතිනු ඇත්තේ "කෙටි කාලයකට" ය.

ඇකර්මන් මෙසේ ලියයි: "ඒ සතිය පුරාම ට්‍රොට්ස්කි, පුවත්පත් තීරු හා කථා රැල්ලක් හරහා විප්ලවයේ අසම්පූර්නත්වය පිලිබඳ එම පනිවිඩයම නිකුත් කලේය. මාර්තු 16දා බීතෝවන් ශාලාවෙන් ආරම්භ කරමින් ඔහු දහස් ගනනක් සෙනඟ ඇමතීය. දින කිහිපයකට පසුව, ලිනොක්ස් ශාලාවේ පැවති 2000ට වැඩි පිරිසක් සහභාගී වූ රැලියකදී ට්‍රොට්ස්කි රුසියානු බසින් ද අනෙක් අය ඉංග්‍රීසි, ජර්මානු හා පින්ලන්ත භාෂා වලින් කථා කරනු ඇසිය හැකි විය. එම රැස්වීමට බ්‍රිතාන්‍යයේ එම්11සී ඔත්තු අංශයේ ඒජන්තයෙක් ද සාර්වාදී ඔක්රානා රහස් පොලිසියේ කැසිමීර් පිලිනාස් ද සහභාගී වී තිබුනි. ඔවුන්ගේ කටයුත්ත ට්‍රොට්ස්කි නිරීක්ෂනය කිරීම හා හැකි නම් ඔහු රුසියාවට යලි ගමන් ගැනීම අවහිර කිරීමය.

මාර්තු 13 ඇම්ස්ටර්ඩෑම් හා බර්ලිනය: ජර්මනියේ නොසංසුන්තා වැඩී යයි

1917 මුල් මාසවල ඒර්ෆුට් නඟරයේ ටියුනිප් සඳහා සලාක කාඩ්පතක්. "සියල්ලට ආහාර ආදේශකයක් ලෙස" ටියුනිප් පත්වේ. එය ජෑම්, සුප්, ස්ටූ, "ස්ට්‍රෙච්" පාන් නිෂ්පාදනයට යොදාගත් අතර මස් වෙනුවට ආදේශකයකි.

ටෙලිග්‍රාෆ් යන නෙදර්ලන්ත පුවත්පත වාර්තා කලේ, නමූර් හා හුයි අසල ජර්මානු සෙබලුන්ගේ කැරලි, තොග පිටින් අත්අඬංඟුවට ගැනීම් වලට තුඩුදුන් අතර, "එම නඟරවල සිර ගෙවල් සාමාන්‍යයෙන් පැවතියාට වඩා හතර පස්ගුනයකින් පිරී ගියේය." උතුරු රයින්-වෙස්ට්ෆේලියාහි බාර්මන් නඟරයේ පොලිස් ප්‍රධානියා, ආහාර කැරැල්ලකදී කාන්තාවන් දමා ගැසූ ගල් වැදීමෙන් තුවාල ලැබීය.

මෙය හා 1917මාර්තුවේ ඊලඟ සතියේදී, වෘත්තීය සමිති නායකයින්ගේ විරුද්ධත්වය නොතකා ජර්මනියේ කාර්මික දිස්ත්‍රික්කවල හා බර්ලිනයේ, සාමාන්‍යයෙන් දිනකට සීමාවූ වැඩවර්ජන රැල්ලක් ඇති විය. පෙබරවාරියේ එසන්හි පිහිටි ක්‍රප්ගේඅවි නිෂ්පාදන කම්හලේ කම්කරුවන් 40000ක් පමනකගේ ද උතුරු රයින් වෙස්ට්ෆේලියාහි පතල් කම්කරුවන් 75000ක් පමනකගේ ද වර්ජන සිදු විය. වැඩවර්ජකයින් වැඩට දැක්කීම පිනිස යලි යලිත් මිලිටරිය යොදවනු ලැබීය.

1916-17 වසරවල ශීත සෘතුව, කම්කරු පන්තියේ පමනක් නොව මධ්‍යම පන්තියේ පුලුල් ස්ථරයන්ගේ ජීවන තත්වය විනාශකාරී ලෙස කඩාකප්පල් කලේය. ශීත සෘතුවේ ආන්තික ශීතල මධ්‍යයේ නෙලාගත හැකි වූයේ අල්ප අස්වැන්නකි. 1916 අවසානයේ සිට අත්‍යවශ්‍ය ආහාර ලබාගත හැකි වූයේ සලාකයට පමනි. නිල සංඛ්‍යාලේඛන වලට අනුව මාර්තුවේ අනුභව කල ආහාරවල සාමාන්‍ය කැලරි ප්‍රමානය දිනකට කැලරි 1200ක් පමනි. සාමයේ කාලපරිච්ඡේදයන්හිදී එය දිනකට කැලරි 3300ක් විය.

මෙම දැවැන්ත සමාජ අසමානතාව, පෝලිම්වල හා වැඩපොලවල දෛනික සාකච්ඡාවන්ට මාතෘකා විය. හැම්බර්ග්හි යුද කාලීන ආහාර කුස්සිවල වැඩ කල කාන්තාවන් අතර සිටි පොලිස් ඔත්තුකරුවෙක් මෙසේ වාර්තා කරයි:

සෑම දෙයක්ම පොහොසතුන්ට, දේපොල හිමියන්ට වෙන්කර තිබුනි. කැපකිරීම් කල යුතු මොහොත එලඹි වහාම මේ මහත්ම මහත්මීන්ට තවදුරටත් කම්කරු පන්තිය සොයුරු සොයුරියන් නොවීය. 'අල්ලාගෙන ඉන්න' යන මනරම් කථා වෙන්වුනේ කම්කරු පන්තියට පමනි. පාලක පන්තිය ඒ වන විටත් මුදල් මලු වලින් පිදුම් ලබා තිබුනි.

ඇමරිකානු ඔත්තුකරුවෙකුට අනුව, ජර්මනියේ කාර්මික කම්කරු පන්තිය

ආන්ඩුව කෙරේ කලකිරී බුම්මාගෙන සිටි නමුත් මුලුමනින්ම පාහේ කැරලිකාරී විය. මධ්‍යම පන්තිය දැඩි ලෙස දේශප්‍රේමීවී සිටි අතර ජර්මනිය එක්සත්ව අධිෂ්ඨානශීලීව ඇති අයුරකින් සාමාන්‍ය නිරීක්ෂකයෙකුට දිස්වූ නමුත් වැඩකරන ජනතාව අතර යුද්ධයේ බර අනතුරුදායක ලෙස නොඉවසිය හැකි තැනකට පත්වෙමින් තිබුනි. මෙම නිහතමානී මිනිසුන්ට අවශ්‍ය වුනේ කුමන මිලක් ගෙවා හෝ සාමයයි. ඔවුන් කුසගින්නේ ද ශෝකභරිතව ද මාස ගනනක් තිස්සේ වෙහෙස නොබලා වැඩ කලහ. තත්වය එන්ට එන්ටම නරක අතට හැරෙද්දී, සාමය පිලිබඳ බලාපොරොත්තු අනියමිත කලක් දරා සිටිය යුතු තැනකට සේන්දු විය.

මාර්තු 16 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 3) පෙට්‍රොග්‍රෑඩය: මිකායෙල් ඇලෙක්සැන්ඩ්‍රොවිච් මහාදිපාදවරයා රුසියාවේ කිරුල ප්‍රතික්ෂේප කරයි

ගීතය: "කම්කරුවන්ගේ මසියේස" 1917අතිශයින් ජනප්‍රිය විප්ලවකාරී ගීතයකි. ප්‍රන්ස මසියේසයේ තානයට සැකසුනු භාවගීත ලියනු ලැබුවේ 1870 ගනන්වල ප්‍රමුඛ ජනතාවාදී පීට්රි ලැව්රොව් විසිනි. පෙබරවාරි විප්ලවයේ ගීතය ලෙස, බොල්ෂෙවිකයන් විසින් 1918 සෝවියට් සමූහාන්ඩුව ස්ථාපනය කරන තෙක්ම, ජාත්‍යන්තර ගීතය පසෙකින් තමන්ගේ ගීතයක් ලෙස එය කියැවුනි.

මාර්තු 16 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 3) උදෑසන, බලයෙන් පහ කල දෙවන සාර් නිකොලස්ගේ සොයුරු, මහාදිපාද මිකායෙල් ඇලෙක්සැන්ඩ්‍රොවිච්, ඩූමාවේ හා නව තාවකාලික ආන්ඩුවේ නායකයින් හමුවෙයි. බියපත් මහාදිපාදවරයා, ඔවුන්, අධිරාජ්‍යයා ලෙස තමන්ගේ ජීවිතය ආරක්ෂා නොකරනු ඇති බව වටහා ගත් කල කිරුල ප්‍රතික්ෂේප කලේය. සියවස් තුනක මෘග හා මර්දනකාරී පාලනය අවසන් කරමින් රොමානොව් රාජ වංශය නිමා විය.

මේවන විට කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ සෝවියට් සභා රුසියාවේ සෑම ප්‍රධාන නඟරයකම පිහිටුවා තිබුනි. ද්වන්ධ බලයේ තන්ත්‍රය පිහිටුවීය. තාවකාලික ආන්ඩුව නිල වශයෙන් බලයේ සිටිය ද කම්කරුවන් නිතරම ප්‍රතිචාර දැක්වූයේ, පෙට්‍රොග්‍රෑඩ් හා ප්‍රාදේශීය සෝවියට් සභා විසින් නිකුත් කරන ලද නියෝගයන්ට ද තමන්ගේම කම්හල් කමිටුවල තීන්දු වලට ද පමනි. තමන් දේශපාලනිකව සහාය දක්වා නැති ආන්ඩුවේ නියෝග සොල්දාදුවන් නිතරම ප්‍රතික්ෂේප කලේය. නව යුද ඇමති ඇලෙක්සැන්ඩර් ගුච්කොව් පසුව හමුදා ආඥාපතීන්ගේ සමුලුවකදී මෙසේ පැවසීය: "අපට බලයක් ඇත්තේ නැත, බලය තිබෙන බව පෙනෙනවා පමනි, සැබෑ බලය රැඳී ඇත්තේ සෝවියට් සභා අතෙහිය."

කියෙව්, මාර්තු 17 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 4) : මධ්‍යම රාඩාව පිහිටුවයි

සාර් අධිරාජ්‍යයේ සිතියම

යුක්‍රේනියානු ප්‍රගතිශීලීන්ගේ මූලිකත්වයෙන් මධ්‍යම රාඩාව (කවුන්සිලය) පිහිටුවන ලදී. එයට මෙන්ෂෙවිකයන් ද යුදෙව්වාදී කම්කරු බුන්ඩ් ඇතුලු විවිධ යුක්‍රේනියානු සමාජ ප්‍රජාතන්ත්‍ර සංවිධාන මෙන්ම යුක්‍රේනියානු සමාජ විප්ලවවාදීන් ද සහාය දුන්හ. යුක්‍රේනයේ ප්‍රමුඛ ජාතික ඉතිහාසඥයෙකු, බුද්ධිමතෙකු හා දේශපාලඥයෙකු වූ මිකායිලෝ රුශ්චෙව්ස්කි දින කිහිපයකට පසුව රාඩාවේ සභාපති ලෙස තෝරා ගත්තේය. රාඩාවේ එක් ප්‍රධාන සටන්පාඨයක් වුනේ, "රුසියානු සමූහාන්ඩුවක් තුල ස්වෛරී යුක්‍රේනය දිගුකල් දිනේවා" යන්නය.

ලෙනින් විසින් ඔබින පරිදි "ජනතාවගේ සිපිරි ගෙය" ලෙස විස්තර කල අධිරාජ්‍යයේ අවශේෂ ප්‍රදේශවල පීඩිත ජනතාවගේ ජාතික විමුක්තිය පිලිබඳ උද්වේගය සඳහා, සාර් පෙරලා දැමීම යුක්‍රේනය තුල ප්‍රකාශනය වීම උත්ප්‍රේරකයක් විය. රුසියානු අධිරාජ්‍යයේ ජනගහනයෙන් සියයට 22ක් පමන කොටසක් වූ යුක්‍රේනියානුවන්, ප්‍රධානකොටම ගොවීන්ගෙන් සැදුම්ලත් අතර එහි පීඩිත ජාතීන් අතරින් විශාලම කොටස ද විය.

මාර්තු 18 (පැරනි දින දර්ශනයට අනුව මාර්තු 5) පෙට්‍රොග්‍රෑඩය: රුසියාවේ ඇමරිකානු තානාපති තාවකාලික ආන්ඩුව නිල වශයෙන් පිලිගැනීමට කැඳවුම නිකුත් කරයි

1917 විප්ලව අවධියේ රුසියාවේ ඇමරිකානු තානාපති ඩේවිඩ් ආර්. ෆ්‍රැන්සිස්

පෙට්‍රෙගෑඩ් සෝවියට් සභාව සාර් පවුල අත්අඬංඟුවට ගෙන ඔවුන්ගේ සියලු දේපොල අත්පත්කර ගැනීමට නියෝග නිකුත් කරන අතර රුසියාවේ ඇමරිකානු තානාපති ඩේවිඩ් ආර් ෆ්‍රැන්සිස් වොෂින්ටනය වෙත විදුලි පුවතක් යවමින්, වහාම තාවකාලික ආන්ඩුව පිලිගන්නා ලෙස ආන්ඩුවට කියා සිටියේය. තම පියවර පිටුපස පැවති උත්සුකයන් පැහැදිලි කරමින් ෆ්‍රැන්සිස් සිය මතක සටහන් තුල මෙසේ ලියයි:

මෙම පිලිගැනීම සිදුවිය යුතුව තිබුනේ, අපගේ රට දින පහලොවක් යනතෙක් යුද්ධයට පිවිස නොතිබුන අතර ඒ වනවිට මධ්‍යස්ථව සිටි තත්වය තුල බව සිත තබාගත යුතුය. මෙම පිලිගැනීම නිසැකවම, ප්‍රායෝගිකව ඒකමතික මහජන මතයකින් පිටුබලය ලබන, යුද්ධයට ඇතුලුවීමේ තත්වයක ඇමරිකාව පිහිටුවීමට, දැඩි බලපෑමක් ඇති කරනු ඇත. කුමන හේතුවක් නිසා හෝ යුද්ධයට යන පරමාධිකාරී රාජන්ඩුවක් සමඟ අපගේ සන්ධානගතවීම බරපතල විරුද්ධත්වයක් ජනනය කිරීම ගැන කිසිදු සැකයක් තිබිය නොහැකිය.

"පෙබරවාරි විප්ලවයට නායකත්වය දුන්නේ කවු ද?" යන්න ගැන ට්‍රොට්ස්කි

රුසියානු විප්ලවයේ ඉතිහාසය යන තම අද්වීතීය කෘතිය තුල ට්‍රොට්ස්කි, "පෙබරවාරි විප්ලවයට නායකත්වය දුන්නේ කවු ද? යන පරිච්ඡේදය තුල මෙසේ ලිවීය

ස්වයංසිද්ධ භාවයේ ගුප්ත ධර්මතාව කිසිවක් පැහැදිලි නොකරයි. තත්වය නිවැරදිව අගැයීමට හා සතුරාට පහර එල්ල කල තීරනාත්මක මොහොත නිශ්චය කිරීම පිනිස, ජනතාව හෝ ඔවුන්ගේ පෙරටු බලඇනි, ඓතිහාසික සිද්ධීන් විභාග කිරීම හා ඒවා තක්සේරු කිරීමේ තම උපමානයන් මත පිහිටා ගැනීම අවශ්‍ය කෙරුනි. වෙනත් වචන වලින් කිවහොත්, වියුක්ත ජනතාවක් නොව අවශ්‍ය කෙරුනේ, 1905 විප්ලවය තුලින් ද 1905 දෙසැම්බරයේ මොස්කව් නැඟීටීම තුලින් ද ආරක්ෂාව පිලිබඳ සෙමෙනොව්ස්කි සේනාංකයට එරෙහිව පහර දුන්නාවූ ද අත්දැකීම් තුලින් ගමන් කල, පෙට්‍රොග්‍රෑඩයේ කම්කරුවන් හා පොදුවේ රුසියානු කම්කරුවන්ය. එක දිගටම මෙම ජනතාව යනු, 1905 අත්දැකීම් ගැන සිතා බැලුවා වූ ද ලිබරලුන් හා මෙන්ෂෙවිකයන්ගේ ව්‍යවස්ථාමය මිත්‍යාවන් විවේචනය කලා වූ ද විප්ලවයේ ඉදිරිදර්ශනය උකහාගත්තාවූ ද හමුදාව පිලිබඳ ප්‍රශ්නය ගැන සියක් වාරයක් ආවර්ජනය කලාවූ ද මේ සියල්ල මධ්‍යයේ කුමක් සිදවන්නේ දැයි අවධානයේ ඇස ගසා සිටියාවූ ද තමන් නිරීක්ෂනය කල තත්වය පිලිබඳ විප්ලවවාදී නිගමනයකට එලඹ, ඒවා අනෙක් අය වෙත සන්නිවේදනය කලාවූ ද විසිර සිටි කම්කරුවන් යයි වටහා ගැනීම අවශ්‍ය විය. අවසාන වශයෙන්, සේනාංකයන්හි වැටහීමකින් යුත්, ප්‍රගතිශීලී සෙබලු නැතිනම් අඩු වශයෙන්, අතීතයේ විප්ලවවාදී උද්ඝෝෂන දෙස අවධානය යොමු කල සෙබලු සිටීම අවශ්‍ය විය.

සෑම කම්හලකම, සෑම ශ්‍රේනියකම සෑම සමාගමකම, සෑම තැබෑරුමකම, මිලිටරි රෝහලේ, මාරු මධ්‍යස්ථානවල, ජන ශුන්‍ය ගම්මානවල පවා, විප්ලවවාදී චින්තනයේ සූක්ෂම කටයුතු සිදුවෙමින් තිබුනි. හැම තැනකම , විශේෂයෙන්ම කම්කරුවන් අතරෙන්, සිදුවීම් වල අර්ථ කථකයෝ ඉස්මතු වූ හ. බොහෝ දෙනා කරුනු වීමසුවේ ඔවුන්ගෙනි . “මොනවාද තොරතුරු ?” අවශ්‍ය පිලිතුරු ලබාගත්තේ ඔවුන්ගෙනි.මෙම නයකයෝ නිරතුරුවම තමන් මතම රැඳී ගනිමින් විවිධ මාර්ග ඔස්සේ තමන්ගේ අත්වලට පැමිනි විප්ලවවාදී සාමාන්‍යකරනයන් පිලිබඳ වාර්තා කැබලි වලින් පොහොසත් වෙමින්, තමන්ට අවශ්‍යදේ කුමක්දැයි ලිබරල් පුවත්පත්වල පේලි අතරින් සොයාගත් දෑ තෙමේම අධ්‍යයනය කලහ. මොවුන් සිය අදහස් අවසානය දක්වා නිර්නය කොටගෙන නොතිබුනු නමුත් ඔවුන්ගේ පංති ඉව දේශපාලන මිනුමක් මගින් සැකසී තිබුනි; ඒවා නොනැවත ඔවුන්ගේ චින්තනය පනපෙවු අතර සිය ගමන්මග එක් දිශාවකට තරයේ යොමු කර තිබුනි. මහා ජනකාය තුලින් පෙරෙමින් ආ අනුභූති, විවේචන , ආරම්භකත්ව හා ආත්ම පරිත්‍යාග බැලු බැල්මට පෙනී ගියේ නැති එහෙත් තීරනාත්මක බවින් නොඅඩු වූ , විප්ලවවාදී ව්‍යාපාරයේ අභ්‍යන්තර යාන්ත්ත්‍රනය නිර්මානය කලේ ය.

පෙබරවාරී විප්ලවයට නායකත්වය දුන්නේ කවුරුන් විසින්ද යන ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් අපට මෙසේ දිය හැකි ය : බොහෝ දුරට ලෙනින්ගේ පක්ෂය විසින් ශික්ෂනය වූ දැනුවත් හා පනපෙවුනු කම්කරුවන් ය . එහෙත් මිට අප වහා එකතු කලයුතු දෙයක් ඇත : මෙම නායකත්වය සන්නද්ධ නැගිටීමේ ජයග්‍රහනයට සෑහුනේ වුව ද විප්ලවයේ නායකත්වය කම්කරු පන්තියේ පෙරටු බලඇනිය අතට පත් කිරීමට තරම් සෑහුනේ නැත.

එසේම මේ සතියේ: මාර්තු 15දා ඇල්බට් අයින්ස්ටයින් "විකිරනය පිලිබඳ ක්වොන්ටම් න්‍යාය සම්බන්ධයෙන්" ප්‍රසිද්ධියට පත් කරයි

ඇල්බට් අයින්ස්ටයින්

Physikalische Zeitung යන භෞතිකවිද්‍යා පුවත්පතේ අලුත් ප්‍රකාශනය වන 18 වන වෙලුම, අංක 6හි අයින්ස්ටයින් සිය “Zur Quantentheorie der Strahlung” (විකිරනය පිලිබඳ ක්වොන්ටම් න්‍යාය සම්බන්ධයෙන්) ප්‍රකාශයට පත් කරයි.

මෙම පුවත්පත පලවනතෙක්, ද්‍රව්‍යය සමඟ විකිරනයේ මූලික අන්තර් ක්‍රියාකාරිත්වය දෙකක් ලෙස සලකන ලදී: නිශ්චිත විභවයක් සහිතව ද්‍රව්‍යයට විකිරනය උරාගත හැක්කේ, වඩාත් බලසම්පන්න "කුතුහලය දනවන" තත්වයකට ඇතුලු වෙමින් හෝ කුතුහලය දනවන තත්වයක පවතින ද්‍රව්‍යයට නිශ්චිත විභවයකින් විකිරනය විමෝචනය කල හැකිය කියාය. මෙය සිතාගනු ලැබුවේ, අදාල භෞතික විද්‍යාව පිලිබඳ පූර්න පැහැදිලි කිරීමක් කියාය. භෞතික විද්‍යාව පිලිබඳ පූර්න පරීක්ෂනයකින්, "උත්තේජක විමෝචනය" ලෙස හඳුන්වන අමතර සංකල්පයක් එකතු කිරීම මඟින් විසඳිය හැකි ගනිතමය අසමතුලිතයක් ඉතිරිවන බව අයින්ස්ටයින් වටහා ගත්තේය. එහිදී ද්‍රව්‍යය කුතුහලය දනවන තත්වයකින් පසුකර යන විකිරනයට, එම පසුකර යාමේදී, අමතර විකිරන විමෝචනය උත්තේජනය කිරීමේ කිසියම් විභවයක් පවතියි.

එවකදී එය හුදෙක් පොත්තැබීම පිලිබඳ කාරනයක් ලෙස පෙනී ගියේය. එහෙත් 36 වසරකට පසුව උත්තේජනය කල විමෝචනය, වර්ධනය කල විකිරනය, MASER හෙවත් Microwave Amplification by Stimulated Emission of Radiation නිෂ්පාදනය කිරීමටත්, තවත් වසර 7කට පසුව LASER හෙවත් Light Amplification by Stimulated Emission of Radiation නිෂ්පාදනයටත් යොදා ගත්තේය. 1964 භෞතික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය, අයින්ස්ටයින්ගේ න්‍යායික නව්‍යකරනය දැන් 21 වන සියසේ තාක්ෂනය පිලිබඳ තීරනාත්මක කොටසක් වන මෙවලම් තුලට ඇතුලු කල විද්‍යාඥයින් ත්‍රිත්වයටම හිමි විය.

එසේම මේ සතියේ: මාර්තු 15 නිව් යෝර්ක් - මෙට්‍රෝපොලිටන් ඔපෙරා ශාලාවේදී කරුසෝ රිගොලිටෝ ඔපෙරාවෙහි

වෙර්දිගේ රිගොලිටෝ ඔපෙරාවේ "La donna è mobile" වෘන්ධය කරුසෝ විසින් ගායන කරයි (මෙය 1908 පටිගත කිරීමකිනි)

ප්‍රකට ඉතාලියානු තාරස්වරික එන්රිකෝ කරුසෝ, ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ගිය මෙට්‍රොපොලිටන් ඔපෙරාවේ වෙර්දිගේ රිගොලිටෝහි මැටිනි (පස්වරු) දර්ශනය පවත්වයි. නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ පවසයි, "වික්ටර් හියුගෝගේ ‘Le roi s'amuse’ ගැන වෙර්දිගේ ශෝඛාන්තය, අසාමාන්‍ය ලෙස ආකර්ෂනීය යුරෝපීය නැඟිටීම් හා සිහසුන පෙරලා දැමීමේ සැබෑ ප්‍රවෘත්ති මෙන්ම සිත්ගන්නා සුලුය."