විරෝධතාවයේ යෙදුනු රැකියාවලින් දොට්ට දැමූ කම්කරුවන්ට රාජපක්ෂ ආන්ඩුව පොලීසිය යොදාා පහර දෙයි

පෙබරවාරි 24 සඳුදා රාත්‍රියේ, ගාලු‍මුවදොර “‍උද්ඝෝෂන ස්ථානයේ”‍ විරෝධතාවයේ නිරතව සිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ කම්කරුවන්ට, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මුර්ග පොලිස් ප්‍රහාරයක් එල්ල කලේය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල් ගත කෙරුනු අතර ඉන් තිදෙනෙකු කාන්තාවන් විය. 

ඉදිරිපස මාර්ගයේ බිම වැතිරී විරෝධතාවයේ  නිරතව සිටි කම්කරුවන්ට, ගැහැනුන් ද පිරිමින්ද යන්න නොතකා අමානුෂික ලෙස පහර දුන් පොලීසිය, පහර කෑමට ලක්වූවන් බිමදිගේ ඇදගෙන යන අයුරු පෙන්නුම් කෙරෙන වීඩියෝ දර්ශන මාධ්‍ය කීපයක ප්‍රචාරය විය.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව පසුගිය නොවැම්බර්-ජනවාරි කාල සීමාව තුල, රාජ්‍ය අංශයේ විවිධ ආයතනයන්හි සේවයේ නියුතුව සිටි කම්කරුවන් 15,000 ක් පමන දොට්ට දැමුවේ, පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින්, ඔවුන් “‍‍නීති-විරෝධීව”‍ රැකියා වලට බඳවාගෙන ඇති සේවකයන් ලෙස නම් කරමිනි. පසුගිය ආන්ඩුව, මැතිවරන වාසි පතා, මෙම රැකියා සම්පාදනය කොට ඇතැයි වත්මන් ආන්ඩුව චෝදනා කරයි.

ලංකා ඛනිජ ඛනිජ තෙල් සංස්ථාව, නිවාස සංවර්ධන අධිකාරිය මහජන බැංකුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතනවලත්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා පුනරුත්ථාපන, උතුරු පලාත් සංවර්ධන හා තරුන කටයුතු යන අමාත්‍යංශවලත් සේවකයන් ට මෙලෙස රැකියා අහිමිව ඇත.

මෙම කම්කරුවන් ද ඇතුලු‍ ව කම්කරු පන්තියේ විවිධ කොටස් දිනපතාම තම විරෝධය පල කිරීමට ගාලු‍මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිනෙති. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්ත්‍රාත්තු පදනමේ සිට රැකියා අහිමි වූ කම්කරුවෝ තම රැකියා නැවත ලබා දී සේවය ස්ථිර කරන මෙන් සත්‍යග්‍රහ ව්‍යාපාරවල නිරත වූහ. 

නියමිත කලට පෙර පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවීමට අපේක්ෂාවෙන් සිටින රාජපක්ෂ ආන්ඩුව, ඊට පෙර කම්කරු විරෝධය පුපුරා යතැයි බියෙන්, සුපුරුදු පරිදි ලෝටස් පාර අවහිර කරමින් පොලිස් මාර්ග බාධක යොදනු වෙනුවට විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමින විරෝධතා පැවැත් වීමටත් සාකච්ඡා ලබා දීමටත් ආරම්භයේදී කටයුතු කලේ ය. 

ආන්ඩුව පසු ව, ෂැංග්‍රිලා හෝටලයට යාබද ව, ගාලු‍ පාරට ඔබ්බෙන් පිහිටි ජනතාව නොගැවසෙන ස්ථානයක් “උද්ඝෝෂන ස්ථානය” ලෙස නම්කර, පොලිසිය ලවා විරෝධතාකරුවන් එතැනට කොටු කිරීමට පියවර ගත්තේ, අවශේෂ කම්කරුවන්ගේ අවධානය සහ සහයෝගය එම විරෝධතාවයන්ට යොමුවීම වැලැක්වීමේ අරමුනෙනි.

පෙබරවාරි 19 වන දා විරෝධතාවයේ යෙදෙන කම්කරුවන් හමු වීමට ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් එම ස්ථානයට යන විට ද, නිවාස සංවර්ධන අධිකාරියේ කම්කරුවන් 150 දෙනෙක් පමන සත්‍යග්‍රහයේ යෙදී සිටියහ.

ඔවුන් වට කරමින් විස්සක තිහක පමන පොලිස් භට කන්ඩායමක් වලල්ලක ආකාරයෙන් සිටි අතර, පොලිස් රථවාහන සහ පොලිස් යතුරු පැදි නිරන්තරව එම ස්ථානයෙන් ඔබ මොබ යමින් තිබුනි. ඊනියා උද්ඝෝෂන ස්ථානය පිටුපසට වන්නට තවත් පොලිස් ඛන්ඩයක් සීරුවෙන් තබා තිබෙනු දැක ගත හැකි විය.

නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකරන සහකාර, කාර්යාල කාර්ය සහායක, සහභාගීත්ව සංවර්ධන නිලධාරි, වැඩසටහන් සහායක සහ ශ්‍රමික ආදි නොයෙක් අංශවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ 2582 දෙනෙකුගේ සේවය අවලංගු කර ඇති බව ජනවාරි 13 වැනි දා, වාචික ව දැනුම් දී ඇත. ඔවුන්ගේ දෙසැම්බර් මාසයේ වැටුප ද අත්හිටුවා ඇත. මේ කම්කරුවෝ වසර දෙකේ සිට හතර හමාර දක්වා සේවා කාල සම්පූර්න කල අය වෙති.

මෙම කම්කරුවන් ජනාධිපති පුද්ගලික ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සමග සාකච්ඡා පවත්වා ඇතත් ඉන් කිසිම ප්‍රතිඵලයක් අත් ව නැත. ඇත්තෙන් ම ආන්ඩුව මෙම බොරු සාකච්ඡා ලබා දෙන්නේ කම්කරුවන්ට එරෙහි රුදුරු මර්දනයක් දියත් කරන තෙක් කල් මැරීමට පමනි.

දින 180 ට වැඩි සේවා කාලයක් සම්පූර්න කල කම්කරුවන් ස්ථිර කල යුතු බවට 2014 දී චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කම්කරුවෝ පැවසූහ. එහෙත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය ජනාධිපතිවරන සමය වන තෙක් ඔවුන්ගේ රැකියා ස්ථිර කිරීම ඇද ගෙන ආවේ ය. අනතුරු ව, ජනාධිපතිවරන සමයේ දී ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට යාමේ දී මැදිහත් වූ මැතිවරන කොමිෂන් සභාව එය අත්හිටුවා ඇත. 

අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත කම්කරුවන් එම ස්ථානයේ දිවා රෑ නොතකා රැඳී සිටියි. මුහුදු වෙරලට ආසන්නව පිහිටා ඇති එම ස්ථානයේ රාත්‍රියේ අධික සීතලකුත් දවල් කාලයේ අධික උෂ්නයකුත් පවතී. ඔවුහු උද්ඝෝෂන ස්ථානයේ ම තැනක ආහාර පාන උයා පිහා ගනිති. දෛනික පිරිසුදු වීම් සඳහා කිලෝමීටරයක් දුරින් පිහිටා ඇති පිටකොටුවේ නාන ලිං වෙතට යාමට ඔවුන්ට සිදු ව ඇත. මේ තරුන තරුනියෝ බොහෝ දෙනෙක් කොලඹ නගරයට දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන අය වෙති.

හම්බන්තොට ප්‍රදේශයේ සිට රැකියාවට පැමින රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කලමනාකරන සහායක තනතුරෙහි සේවය කල වයස අවුරුදු 27ක තරුනයෙක් මෙම රැකියා අහිමි කිරීමත් සමග තමන් මුහුන දී ඇති අර්බුදය විස්තර කලේ ය.

“2017 දී, වයස අවුරුදු 25 දී, ගොඩක් බලාපොරොත්තු ඇතිව ජීවිතය ගොඩ නගා ගන්න මේ රැකියාවට සම්බන්ධ වුනේ. දවසට රුපියල් 500 කට වැඩට ඇවිත් ස්ථිර කරයි කියන බලාපොරොත්තුවෙන් බොහෝ ම දුකක් විඳගෙන වැඩ කලා.”‍

කලින් විවිධ රැකියාවල නියැලී ඇති ඔහු, සුරක්ෂිත     රැකියාවක් සොයා ගැනීමේ අරමුනින් රජයේ රැකියාවන්ට අයදුම්පත් යොමුකොට ඇත. “අයදුම්පත්‍ර දානවා, විභාගවලට ලියනවා. නමුත් ඊට පස්සෙ කිසිම දැනුම් දීමක් නෑ. අන්තිමට මේකට අයදුම් කලාම සම්මුඛ පරීක්ෂනයට කැඳවලා රස්සාව ලැබුනා.”

තම මව, පියා සහ බාල සොහොයුරා ඇතුලු‍ තම පවුල ජීවත් වූයේ තම වැටුපෙන් බවත්, දෙසැම්බර් මස සිට තම වැටුප නොලැබෙන බැවින් ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ඔහු පැවසීය. 

“‍දැන් හැම තැනට ම නය වෙලා අමාරුවෙන් ජීවත් වෙන්නෙ. අයියා වෙන ම පවුලක් වෙලා වඩු වැඩින් ජීවත් වෙනවා. මේ ටිකේ හැකි පමනින් උදවු කලේ එයා. නමුත් බිරිඳයි දරුවො දෙන්නටයිත් එයා වියදම් කරන්න ඕන. මල්ලි ටයිල් වැඩ කරමින් හිටියෙ. දැන් මේ ඇති වෙලා තියෙන ආර්ථික වශයෙන් කිසිම දෙයක් කර ගන්න බැරි තත්ත්වයත් එක්ක හරි හමන් රැකියාවක් හොයා ගන්නත් බැරි නිසා මල්ලි පසු ගිය මාසයේ හමුදාවට බැඳෙන්න සම්මුඛ පරීක්ෂනයට ගියා.”

තමාගේ හදිසි ආර්ථික අවශ්‍යතාවන් මොනවාදැයි ඔහු විස්තර කලේ ය. ඔහුගේ පියා දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර ඒ සඳහා බේත් හේත්වලට වියදම් කිරීමටත් පසුව ගෙවීමේ ක්‍රමයට මිල දී ගත් මෝටර් සයිකලයේ නය වාරික ගෙවීමටත් ඔහුට සිදුව ඇත. තම ගම් පලාතේ ප්‍රධාන කර්මාන්තය ගොවිතැන වුවත් තමන්ට කුඹුරු නැති බව සඳහන් කල ඔහු සන්තකව ඇත්තේ නිවස පිහිටා ඇති ඉඩම් කෑල්ල පමනක් බව සඳහන් කලේ ය.

“නමුත් ජනාධිපතිවරයා කිවුවා කිසිම රැකියාවක් නැති කරන්නේ නෑ කියලා” යැයි ඔහු උපහාසාත්මකව පැවසී ය. “අවුරුදු 28 දී ජීවිතයේ හැම දෙයක් ම ආයේ මුල ඉඳන් ම පටන් ගන්න වුනා වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ.”

කොලඹ විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටිය දී ආර්ථික දුෂ්කරතාවන් නිසා එය අත්හැර දමා මෙම රැකියාවට සම්බන්ධ වූ තරුනියක් අවසානයේ තමාට උපාධිය පමනක් නොව රැකියාවත් අහිමි වී තමන් පිලිතුරු සෙවීමට උත්සහ කල ආර්ථික ප්‍රශ්න පමනක් ම ඉතිරි වී ඇති බව ප්‍රකාශ කලා ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කම්කරුවන් 167 දෙනෙකුට කිසිදු දැනුම් දීමකින් තොරව ම නොවැම්බර් 18 වැනි දා සේවයට පැමිනි විට උදෑසන ගේට්ටුවෙන් සේවා ස්ථානවලට පිවිසීම අවහිර කර ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ශ්‍රමිකයෙකු වශයෙන් කටයුතු කල කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක තරුනයෙක් රැකියාවෙන් නෙරපනු ලැබීමෙන් පසු තමන් මුහුන දී සිටින කොන්දේසි සම්බන්ධයෙන් විස්තර කලේ ය

මෙම රැකියාවට පැමිනීමට මත්තෙන් ආයෝජන කලාපවල සහ පෞද්ගලික අංශයේ විවිධ රැකියාවල කලින් කලට යෙදුනු ආකාරය ඔහු විස්තර කලේ ය. ඔහු කටුනායක ආයෝජන කලාපයේ නොරාටෙල් නම් ආයතනයකත් පසු ව වරායේ පෞද්ගලික ආයතනයක කන්ටේනර් ලෑෂින් කරන්නෙකු වශයෙනුත් කටයුතු කර ඇත. දුෂ්කර වැඩ කොන්දේසි සහ කිසිසේත් ප්‍රමානවත් නොවන වැටුප්වල යහපත් වෙනසක් අපේක්ෂාවෙන් නොයෙක් රැකියා සොයමින් තම තරුන ජිවීතය ගත කිරීමට ඔහුට සිදු ව ඇත. 

මෙම රැකියාව තෝරා ගැනීමට හේතුව වශයෙන් ඔහු සඳහන් කලේ පෞද්ගලික අංශයේ කම්කරුවන්ට කවර හෝ ආකාරයේ සුරක්ෂිත බවක් නොමැති නිසා සුරක්ෂිත රැකියාවක් අපේක්ෂාවෙන් රජයේ රැකියාවට අයදුම් කල බව ය. 

මව, පියා සහ බාල සහෝදරයා වශයෙන් ඔහුගේ පවුලේ හතර දෙනෙකි. ඔහුගේ බාල සොහොයුරා පොල්ගහවෙල ආයෝජන කලාපයේ සේවයේ නියුතු කම්කරුවෙකි. එම වැටුප් කිසිසේත් ප්‍රමානවත් නොවන අතර පවුලේ ප්‍රධාන ආර්ථික බර උසුලන්නේ ත්‍රී රෝද රථයක් ධාවනය කරන ඔහුගේ පියා විසිනි. 

“නමුත් මොන ම ආර්ථික ආධාරයක් නැති අයත් මෙ තැන ඉන්නවා. පවුලේ එක ම හම්බුකරපු කෙනා විදියට ඉන්න තරුනයොත් මෙතැන ඉන්නවා. තිබ්බ රස්සාව දාලා අලු‍ත් රස්සාවට ආවේ. මේ ඉක්මනට රස්සා හොයා ගන්නත් බෑ. අද අපි මෙතැනට විරෝධතා දක්වන්න ආපු නව වැනි දවස. විසඳුමක් නොලැබුනොත් මාරාන්තික උපවාසයකට යන්න තමයි හිතන් ඉන්නෙ” යැයි ඔහු පැවසී ය.

තමන් සේවය කල ආයතනවල පැවති කිසිදු වෘත්තීය සමිතියක් තමන් වෙනුවෙන් ඉදිරිපත් වී නැති බව මේ කම්කරුවෝ සඳහන් කලහ.

තවත් තරුන කම්කරුවෙකු පැවසුවේ තමන්ගේ ගැටලු‍ව සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන පුබුදු ජයගොඩ සමග සාකච්ඡා කල බවයි. ධනපති “කම්කරු නීතිවලට” වලංගු බවක් සපයමින් මෙම ව්‍යාජ-වාම පක්ෂ නායකයා පවසා ඇත්තේ, සේවා කාලය ස්ථිර කිරීමට අවශ්‍ය වන දින 180 ක කොන්දේසිය සපුරා නැති බැවින්, නැවත රැකියා ලබා ගැනීමට අවාසිසහගත තත්ත්වයක් පවතින බවයි. 

රැකියා අහිමි කරනු ලැබූ කම්කරුවන් සියලු‍ දෙනා ම පාහේ වයස අවරුදු 27 - 33  වයස්වල තරුන වියේ පසුවන තරුන තරුනියෝ වෙති. මෙම අනපේක්ෂිත රැකියා අහිමි කිරීමෙන් ඔවුන්ගේ අනාගතය මුලු‍මනින්ම විනාශ කර දමා ඇත. විවාහ වන වයස්වල පසු වුව ද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආර්ථික දුෂ්කරතා නිසා ම විවාහයක් ගැන සිතීම පවා කල නොහැකි තත්ත්වයක පසු වෙති. ඔවුන්ට උපයා ගන්නා සොච්චම් වැටුපකින් තම මහලු‍ මවුපියන්ගේත් බාල සහෝදර සහෝදරියන්ගේත් වගකීම් දැරීමට සිදු ව ඇත. 

මෙලෙස තරුන කම්කරුවන් 15 000 දෙනෙකුට රැකියා අහිමි කිරීමෙන් සහ ඔවුන්ගෙන් යැපුනු තවත් දහස් ගනනකට ආර්ථික අර්බුදයකට හෙලීමෙන් රාජපක්ෂ ආන්ඩුව දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මානය කර ඇත.

තම පාක්ෂිකයන්ගෙන් පලිගැනීමට ආන්ඩුව දොට්ට දැමීම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ය. රැකියා ස්ථිර නොකර ඔවුන් ඇපයට තබා ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකුව සිටි ප්‍රේමදාස මෙම කම්කරුවන් මුහුන දී සිටින තත්වයට මූලිකවම වගකිවයුත්තෙකි. 

සත්‍ය වශයෙන් ම මෙම කම්කරුවන් මුහුන දී සිටින්නේ ලෝක ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරුතර අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට ධනපති පන්තියේ සෑම කන්ඩායමක්ම දරන රුදුරු ප්‍රයත්නයටයි. 

පුද්ගලීකරනය වේගවත් කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු‍ සුබසාධන ක්ෂේත්‍රයන් කප්පාදු කිරීම, රාජ්‍ය ආයතනයන්හි රැකියා කප්පාදු කිරීම, වැඩවේගවත් කිරීම සහ විශ්‍රාම වැටුප් ඇතුලු‍ මූලික අයිතීන් අහිමි කෙරුනු කොන්ත්‍රාත් පදනමේ රැකියා සෑම ක්ෂේත්‍රයකම ස්ථාපිත කිරීම වැනි රුදුරු පියවර වහා ක්‍රියාත්මක කරන ලෙස, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවේ පාලක පංතියට විධානය කොට ඇත.

පසුගිය ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටියේ ද, වත්මන් රාජපක්ෂ ආන්ඩුවට ක්‍රියාවට නැංවීමට බලකෙරී ඇත්තේ ද එම විධානයන් ය. එම ප්‍රහාරයන්ට එරෙහිව දිනෙන් දින වර්ධනය වන පංති අරගලතලා දැමීම සඳහා අවශ්‍ය මර්දන යන්ත්‍රය ගොඩනගා ගැනීම රාජපක්ෂ විසින් දැනටමත් ආරම්භ කොට ඇත.

සෑම රාජ්‍ය ආයතනයකම ඉහල නිලතල වලට හිටපු හමුදා නිලධාරීන් පත් කරමින් රාජපක්ෂ යෙදී සිටින්නේ, එම මර්දන යාන්ත්‍රනයේ අත්‍යන්ත අංගයක් වන රාජ්‍ය මිලිටරීකරන ක්‍රියා දාමයේ ය.

රැකියා වලින් නෙරපා හරින ලද කම්කරුවන්ට පෙබරවාරි 24 සඳුදා, ගාලු‍මුවදොර දී එල්ල කල මුර්ග පොලිස් ප්‍රහාරය, රාජපක්ෂ විසින් ක්‍රියාවට නැංවීමට නියමිත එම රුදුරු මර්දනයේ ‍පෙර ඇඟවුමකි.

Loading