ගුරුවරු දෙලක්ෂයක් වැඩ වරති

රට පුරා රජයේ ගුරුවරුන් හා විදුහල්පති වරුන් දෙලක්ෂයකට වැඩි පිරිසක් 26දා වැඩ වර්ජනය කලහ. දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති සිය වැටුප් ප්‍රශ්න හා අයහපත් සේවා කොන්දේසි වලට විසඳුම් සපයන ලෙසට හා නිදහස් අධ්‍යාපන කප්පාදුව නතර කරන ලෙසට ඔවුහු බල කලහ.

ගුරුවරුන්ගේ විරෝධතා පෙලපාලිය

වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන, ලංකා ගුරු සේවා සංඟමය (සීටීඑස්යූ), ලංකා ගුරු සංඟමය ඇතුලු‍ සමිති දුසිම් ගනනක සන්ධානයක් විසින් වර්ජනය කැඳවනු ලැබුවේ, ගුරුවරුන් අතර ඇති කෝපය වාෂ්පකර දැමීමටය.

පෙබරවාරි 14 දින කොලඹදී පැවති විරොධතතා රැලියකදී, අඛන්ඪ වැඩවර්ජනයක් කැඳවන බවට කයිවාරු ගැසූ මෙම සමිති නායකයෝ බදාදා එය එක් දින ලෙඩ නිවාඩු වර්ජනයකට සීමා කලහ. ධනපති රාජ්‍යයට ගැට ගැසී ඇති වෘත්තීය සමිති, ධනපති පාලනයට අභියෝගයක් විය හැකි පන්ති අරගලයේ නැඟීමට සතුරුය.

 කැකෑරෙමින් පවතින සමාජ කෝපය පෙන්නුම් කල මෙම වර්ජනය, නොවැම්බරයේදී අත්තනෝමතික ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරට පැනනැඟි, විශාලතම වර්ජනය විය. පසුගිය තෙමසක කාලය තුල වතුකරයේ හා කහටගහ පතලේ වර්ජන පැනනැඟු‍නි. රාජපක්ෂ ආන්ඩුව විසින් දොට්ට දමන ලද 15000ට අධික කම්කරුවෝ සිය රැකියා යලි ලබාදෙන ලෙසට බල කරමින් කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොකඩවා විරෝධතා දක්වමින් සිටිති. 

සටන්කාමී කම්කරුවන් බෙදීම පිනිස කොලඹ දේශපාලන සංස්ථාපිතය, දෙමල හා මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල වර්ගවාදී ප්‍රචාරයක් අවුලු‍වාලමින් සිටියි. මෙම ප්‍රචාරයට සමගාමීව දෙමල ධනපති පක්ෂ ද ජාතිකවාදී උද්ඝෝෂනයක් දියත් කර ඇත.

කෙසේ වෙතත්, මෙම වාර්ගික බෙදුම්කරනය කපාගෙන, රජයේ පාසැල් ගුරුවරුන්ගෙන් සියයට 90ක් පමන 26දා වර්ජනයට ක්‍රියාශීලී ලෙස එක්  විය. යුද්ධයෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර, වතුකරයේ හා දිවයිනේ අවශේෂ සියලු‍ ප්‍රෙද්ශවල රජයේ පාසැල් මුලු‍මනින්ම පාහේ වසා දැමුනි.

සියලු‍ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගුරුවරු 3000ක් පමන, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා පෙලපාලි දැක්වූහ.

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන ගුරුවරු

ශාස්ත්‍රාලිකයින්ට පහරදීම පිනිස පොලිස් භටයින් සිය ගනනක්, ජල විදින රථ, බැටන් පොලු‍ හා කඳුලු‍ ගෑස් වලින් සන්නද්ධ කර සීරුවෙන් සිටුවා තිබුනි. අමාත්‍යාංශයේ පිවිසුම හරහා යොදා තිබුන බාධක ඉවත් කිරීමට ගුරුවරුන් උත්සාහ කල අවස්ථාවේ දී පොලිසිය ඔවුන්ට අඩන්තේට්ටම් කලේය.

යාපනයේදී ගුරුවරුන් සිය ගනනක් විරෝධතා දැක්විය. වව්නියාවේ දී සිසුහු දෙමව්පියෝ ද ගුරු විරෝධතාකරුවන්ට එක්වූහ.

යාපනයේ ගුරුවරුන්ගේ විරෝධතාව

ගුරු අරගලය, කප්පාදුවට හා රාජ්‍ය මර්දනයට විරුද්ධව 2018 න් ආරම්භවී  නැගෙමින් එන ජාත්‍යන්තර පන්ති අරගලයේ  කෙටසක් වෙයි. ඇමරිකවේ, කැනඩාවේ, ප්‍රන්සයේ, පෝලන්තයේ, ආර්ජන්ටිනාවේ හා අසල්වැසි ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගුරුවරු, නිදහස් අධ්‍යාපනය සුරැකිම, යහපත් වැටුප් හා ජීවන තත්වයන් වෙනුවෙන් විරෝධතා හා වර්ජන වලට එලඹුනහ.

පසුගිය වසරේ දිවයිනෙහි ගුරුවරු, සැප්තැම්බරයේ පැවති දෙදින වැඩ වර්ජනය ද ඇතුලු‍ අරගල මාලාවකට එක්වූහ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවෘත ආයතනයක් කරමින් මේ වසරේ ජනවාරියෙහි සිට අතුරු දීමනාවක් ගෙවන බවට මුදල් අර්බුදයෙන් පෙලෙමින් සිටි පසුගිය ආන්ඩුවේ පච යෝජනාව පිලිගනිමින් සමිති, දින පහක වර්ජනය අත්හිටුවා එය දෙදින වර්ජනයක් බවට සිඳවූහ.

සංවෘත සේවාවක් පිහිටුවීමෙන් ආන්ඩුවට, රජයේ ගුරුවරුන් අනෙකුත් රජයේ සේවකයින්ට විරුද්ධව පිහිටුවා, ඔවුන් අතර  එක්සත්කම බිඳ ඉඩ සැලසේ.

ගුරුවරුන් බලමුලු‍ ගැන්වීමට කිසිවක් නොකර, අරගලය කඩාකප්පල් කිරීම පිනිස සියලු‍ දේ කිරීමට සමිති වගබලාගත්හ. සමිති විසින්, සමහර පාසැල්වල ගුරුවරුන්ට දැන්වීමක් පවා යවනු ලැබුවේ නැත. රටේ ගුරු කම්කරුවන්ගෙන් බහුතරයක්, සමිතිවල කටයුතු කෙරෙහි වන කලකිරීම නිසා ඒවාට බැඳී නැතත්, වර්ජනයට එක්ව සිටියහ. 

නිදහස් අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල, රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 6ක් දක්වා වැඩිකිරීම ද 2016 පටන් අහිමි කල සිය විශ්‍රාම දීමනා යලි ලබාදීම හා ගුරු වෘත්තියට බාධාකාරී වන අමතර වැඩ පැටවීම අහෝසි කිරීම ගුරුවරුන්ගේ මුල් ඉල්ලීම් වලට, ඇතුලත් විය.

මනාව ගනන් බලා සමිති සන්ධානය මෙවර වර්ජනයේදී, අනෙකුත් ඉල්ලීම් අතහැර, පසුගිය ආන්ඩුව පොරොන්දුවූ අතුරු දීමනාවට අරගලය සිඳවනු ලැබින. පුලු‍ල් ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ආන්ඩුව සමඟ ගැටුමකට යාම වලක්වා ගැනීමට සමිති වලට අවශ්‍ය විය.

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධාතවයේ යෙදෙන ගුරුවරුන්ට එරෙහිව මැදිහත් වන පොලීසිය

රාජපක්ෂ ආන්ඩුව බලයට පත්වීමෙන් පසුව, අලු‍තින් වැඩ භාරගත් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම, දීමනාව ගෙවන බවට පොරොන්දුවී පසුව එය අකුලා ගත්තේය. ආන්ඩුව ගුරුවරුන්ගේ ඉල්ලීමට සහාය දෙන නමුත්, ඊලඟ ආන්ඩුව පිහිටුවා අයවැය සම්මත කර ගන්නා තෙක් බලාසිටිය යුතු බව 26දා ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

ඊලඟ  සතියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ  මැතිවරනයක්  පැවැත්වීම  රාජපක්ෂගේ සැලසුම ය.  සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ නායක්ත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදෙන ජනාධිපති, එමඟින් සිය පාලනය සවිමත් කරගැනීමට අපේක්ෂා කරයි.  කම්කරුවන්ගෙන් පල වන ඕනෑම ප්‍රතිරෝධයක් මැඩපවත්වා, ගැඹුරු ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීම ඔහුගේ ඉලක්කයයි.

වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය ගැන ගුරුවරුන් අතර වැඩෙමින් තිබෙන අසංතෘප්තිය ගැන දැනුවත් සීඑස්ටීයූ ලේකම් මහින්ද ජයසිංහ, විරෝධතා දැක්වූ ගුරුවරුන් හමුවේ යලි යලිත් කියා සිටියේ, තමන් “කිසිවිටෙකත් අරගල පාවාදී නැති“ බවයි.

වසන්ත ධර්මසිරි නමැති අධ්‍යාපන වෘත්තිකයන්‍‍ගේ සංගමයේ නායකයෙක් මෙසේ කිවේය:  “අපිට බෑ ‍‍මේ මැති ඇමතිලා කියන බොරුව හැමදාම සමාජගත කරන්න. අපි සූදානම් නෑ ඔය බොරු‍වේ ප්‍රචාරකයන් ‍වෙන්න“. යනුවෙනි. ඔහු කෙසේ ප්‍රතික්ෂේප කල ද, අරගල පාවාදීමේදී සමිති විසින් කරනු ලබන්නේ හරියටම ඒ දෙයයි.

සමිති නායකයින් කෙරෙහි සතුරුකම පෙන්වමින් විරෝධතාකරුවෝ මෙසේ කෑගැසූහ. “කථා ඇති, ඊලඟ ක්‍රියාව මොකක් ද?”‍

අමාත්‍යාංශ ගේට්ටුව වෙත දිවගිය ගුරුවරුන් කන්ඩායමක් සමිති නායකයින්ට මෙසේ කෑගැසුවෝය. “අපට අවසන් පිලිතුරක් අවශ්‍යය. අපිට විසඳුමක් නැතිව ආපසු යා නොහැකියි. අපට බොරු කථා ඇතිවෙලා. අඛන්ඩ වැඩ වර්ජනයකට යමු.”

සීටීයූ නායක ස්ටැලින් පැවසුවේ, අමාත්‍යාංශ නිලිධාරීන් තමන් සාකච්ඡාවකට කැඳවා ඇති නුමුත්, “අපි සාකච්ඡාවන්ට සූදානම් නෑ. අපි ඊලඟ මාසයේ 23දා සිට දින පහක වැඩ වර්ජනයක් කැඳවනවා.” 

“එය ප්‍රමාද වැඩි” යයි පවසමින් ගුරුවරු ඊට විරෝධය පල කලහ. “හෙටම වැඩවර්ජනයක් පටන් ගන්ට වුනත් අපි ලෑස්ති” යයි සමහර ගුරුවරු කෑගසූහ.

කැකෑරෙන විරුද්ධත්වයේ අනතුරු ඇඟවීම මධ්‍යයේ  සමිති නායකයෝ, විරෝධතාව අවසන් කලහ. බොහෝ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් බැහැරව  නොගියේය. එක් අයෙක් සමිති නායකයින්ගෙන් විමසුවේ, ඔවුන් වර්ජනය මසකින් ප්‍රමාද කරන්නේ මන් ද යනුවෙනි.

සීටීඑස්යූ ලේකම් වහාම ඔහු වෙත පැමින “අපි තීන්දු ගන්නේ සියලු‍ වෘත්තීය සමිතිවල එකඟත්වය ඇතුවයි. ඔබ එයට විරුද්ධ නම් සමිතියෙන් අස් වන්න” යයි තර්ජනය කලේය.

ජයසිංහගේ පට්ට නිලධාරිවාදී ක්‍රියාවෙන්, සමිතිවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය එලිදරව් විය. පසුව, මූන බේරාගැනීමට උත්සාහ කරමින් සමිති නිලධරය, තමන් මාර්තු 16දාට වැඩවර්ජනය කැඳවන බව නිවේදනය කලහ.

ව්‍යාජ වාම පෙසප නායකත්වය දරන, ඒකාබද්ධ ගුරු සේවා සංඟමය තවත් තුච්ඡ ක්‍රියාකලාපයක් ඉටු කලේය. අනෙකුත් සමිතිවල ක්‍රියාවන්ට පෙරාතුව එම ස්ථානයේදීම ඔවුන්,  සාමාජිකයන් 100ගේ පමන සහභාගිත්වයෙන් වෙනම උද්ඝෝෂනයක්  පැවැත්වීය.  ඔවුන්  අමාත්‍යාංශ පරිස්‍රයට ඇතුලුවීමට උත්සාහ කල අවස්ථාවේ පොලිසිය බලය යොදා එය වැලැක්වූහ.

ජේටීඑස්යූ නිලධරය, “ව්‍යාජ අතුරු දීමනාව” හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව “සංවෘත සේවාවක්” ලෙස පිලිගනිමින් අනෙකුත් සමිති, ගුරුවරුන්ගේ ඉල්ලීම් පාවාදී ඇතැයි චෝදනා නැගූහ. කෙසේ වුව ද ජේටීඑස්යූවට, බලයේ සිටින ආන්ඩුවලට තවත් බලපෑම් දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. 

ප්‍රකාශයක් අතැතිව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම ගුරුවරුන් අතර උද්ඝෝෂනය කලේය. සටන්කාමිත්වය පමනක් සෑහෙන්නේ නැති බවත්, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්වූ දේශපාලන ක්‍රියාමාර්ගයක් ගුරුවරුන්ට අවශ්‍ය වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

සසප ප්‍රකාශය මෙසේ කියා සිටියේය: “ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුප් සහ දරුවන්ට ගුනාත්මක අධ්‍යාපනයක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුලු‍ සමස්ත නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම සඳහා සටන් වැදීමට ගුරුවරුන් අතර ඇත්තේ දැඩි අධිෂ්ඨානයකි.

“නමුත්, අධිෂ්ඨානය පමනක් ප්‍රමානවත් නොවේ. මෙම අරගලයේදී තමා මුහුන දී සිටින යථා අභියෝග පැහැදිලිව හඳුනා ගනිමින්, ඒවා ජයගැනීමේ මූලෝපායක් වර්ධනය කර ගැනීමත්, එම මූලෝපාය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නව සංවිධාන රූපයන් ගොඩනගා ගැනීමත්, අත්‍යවශ්‍ය වෙයි.

“‍මේ සඳහා අති මූලික බාධාව වනුයේ වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී භූමිකාව යි.”‍

එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේ සඳහන් විය: “‍ලෝක අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුවේ නය අර්බූදය දිනෙන් දින උග්‍ර කෙරෙමින් පවතී. මේ වසරේ ගෙවිය යුතු නය පොලී වාරිකය පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් තරම් විශාල මුදලකි. දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක් මට්ටමේ තිබෙන අය-වැය හිගය අඩකින් කප්පාදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සපථ වී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු‍ සුභසාධන ද,          රැකියා හා වැටුප් ද තවදුරටත් කප්පාදු කිරීම දැනටමත් අරඹා තිබේ.

“ලෝක ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර පරාජය කිරීමට නම්, ධනපති ආන්ඩු වලට එරෙහිව පමනක් නොව, ලෝක ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ල කරගත් දේශපාලන සටනක්, අත්‍යවශ්‍ය සහ අනිවාර්ය කෙරී ඇත.”‍

ධනපති ක්‍රමයට ගැටගැසුන වෘත්තීය සමිති වලින් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස ප්‍රකාශයෙන් කැඳවුම් කර ඇත. එසේම එය, අරගලය ශක්තිමත් කිරීම පිනිස දෙමාපියන් හා සිසුන්ගේ සහාය ගෙනුකර ගනිමින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය ද ඇතුලු‍ අනෙකුත් කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් ද කැඳවුම් කරයි. මෙම අරගලය සමාජවාදී පිලිවෙත් සඳහා වන සටනට බද්ධ කල යුතුය.

ප්‍රකාශය මෙසේ සමාප්ත කර ඇත: “සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සටන් වදින්නේ, ධනේශවරයේ සෑම කොටසකින්ම ස්වාධීනව, සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමටය. එහි එල්ලය, ඉන්දු උපමහාද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංඟමයක කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.”‍

Loading