ඉදිරිදර්ශන

හැනාවු සමූල ඝාතනයෙන් පසු:

ජර්මනියේ දක්ෂිනාශික භීෂනය නවත්වනු!

මෙම ලිපිය 2020 පෙබරවාරි 21 දින ඉංග්‍රීසියෙන් පලවිය.

දක්ෂිනාශික අන්තවාදී ත්‍රස්තවාදියෙක් බදාදා රාත්‍රියේ ජර්මනියේ හෙසේ ප්‍රාන්තයේ හැනාවු නගරයේ දී පුද්ගලයින් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ ය. ඔහු තවත් හය දෙනෙකුට තුවාල සිදු කල අතර ඉන් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලැබී ය. සංහාරය සිදු වූයේ සංක්‍රමනිකයන් නිතර පැමිනෙන ගඩුගුඩා තැබෑරුම් (හූකා බාර්) දෙකක දී ය. පසුව පොලිස් නිලධාරීහු තුවක්කුකරු සමග ඔහුගේ මව ඔහුගේ නිවස තුල මියගොස් සිටිනු දුටුවෝ ය.

චූදිත තුවක්කුකරු ටොබියාස් ආර්, හැනාවූහි හැදීවැඩුනු අතර ‍බේරුත්හි ආර්ථික විද්‍යාව අධ්‍යයනය කලේය.ඔහු ඔන්ලයින් මගින් ප්‍රකාශයට පත් කල, තම වරද පිලිගන්නා පිටු 24 ක ලියවිල්ලක, ආර් “ගැඹුරු වර්ගවාදී  දෘෂ්ටියක්” පෙන්වූ බව විමර්ශනය කරමින් සිටින සමූහාන්ඩු අභිචෝදක පීටර් ෆ්‍රෑන්ක් මාධ්‍යයට පැවසී ය.

ලියවිල්ල තුල, කතුවරයා ම තමන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු බව ප්‍රකාශ කලේ ය. අනාගත යුද්ධයකදී සමස්ත රාජ්‍යයන් ම “මුලුමනින්ම විනාශ කිරීම” යුක්තියුක්ත වනු ඇද්ද යන්න ඔහු සලකා බලයි. ඔහු ජර්මානුවන්ගේ කුමන කොටස “ශුද්ධ අභිජාත මෙන් ම අගනා” දැ යි අනුමාන කරන අතර ඇඩොල්ෆ් හිට්ලර්ට වඩා ඉදිරියට යන ජන සංහාර සඳහා සැලසුම් සකස් කරයි. ආසියාවෙන් අඩක්, උතුරු අප්‍රිකාවේ විවිධ ජනයා සහ ඊස්රායලය ඇතුලුව ජනගහනය අතුගා දැමිය යුතු යැයි සිතන ප්‍රාන්ත දුසිමකට අධික සංඛ්‍යාවක් ඔහු ලැයිස්තුගත කරයි.

හැනාවූ නගරයේදී ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් පෙබරවාරි 20වැනි දා බර්ලිනයේ බ්‍රැන්ඩන්බර්ග් ගේට්හි පැවති අනුස්මරනයකදී ඉටිපන්දම් හා මල් බිම තබා තිබූ අයුරු[Credit: AP Photo/Markus Schreiber]

විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව අනුව බලන කල, හැනාවු සමූහ ඝාතනය, දක්ෂිනාංශික අන්තවාදීන් විසින්ම සිදු කෙරුනු, 1980 ඔක්තෝබර් ෆෙස්ට් බෝම්බ ප්‍රහාරයෙන් පසු ජර්මනියේ සිදු වූ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය යි. එය ජර්මනියේ මිනීමරු දක්ෂිනාංශික අන්තවාදී ප්‍රහාර මාලාවක නවතම අවස්ථාව පමනි:

■2000  හා  2006 අතර කාලය තුල ජාතික සමාජවාදී රහස් ත්‍රස්ත කන්ඩායම සංක්‍රමනිකයන් නව දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කලහ;

■2016 ජූලි 22 වන දින 18 හැවිරිදි දක්ෂිනාංශික අන්තවාදී ඬේවිඞ් සොන්බෝලි මියුනිච්හි දී පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කලේ ය;

■2019 ජුනි 2 වන දින පොලීසිය දැන සිටි නව නාසිවාදියෙක් හෙසේ හි කාසෙල්  දිස්ත්‍රික් සභාපති වෝල්ටර් ලුබ්කේ ඝාතනය කරන ලදී;

■2019 ඔක්තෝබර් 9 වන දින, යොම් කිප්පූර් ශුද්ධ දිනයේ යාඥාවකට සහභාගී වූවෝ  70 දෙනෙක් සමූහ ඝාතනයකින් දිවි ගලවා ගත්හ; යුදෙව් ධර්මාශ්‍රමයට ඇතුලු වීමට අසමත් වීමෙන් පසු ස්ටීවන් බැලියට් නම් තුවක්කුකරු තමන් පසු කර යන්නන්  දෙදෙනෙකුට වෙඩි තැබී ය.

■පසුගිය සති අන්තයේ දී රට පුරා මුස්ලිම් පල්ලිවලට එකවර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයෝ දොලොස් දෙනෙක් පොලීසිය විසින් රඳවා ගනු ලැබූහ.

ආන්ඩුව හා පාර්ලිමේන්තු පක්ෂවල නියෝජිතයෝ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ භීතිය හා අවිශ්වාසය ප්‍රකාශ කලහ. මොන කුහකකමක්ද! මෙම ප්‍රහාරය ගැන කිඹුල් කඳුලු සලන දේශපාලනඥයන් ම දක්ෂිනාංශික අන්තවාදී ත්‍රස්තවාදය සඳහා දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන වාතාවරනයක් නිර්මානය කර තිබේ. අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්ප (ඒඑෆ්ඩී) පක්ෂය දක්ෂිනාංශික ත්‍රස්තවාදීන්ගේ දේශපාලන හස්තය ලෙස ක්‍රියා කරන්නේ නම්, දේශීය ඔත්තු සේවය එහි රාජ්‍ය හස්තය ලෙස ක්‍රියාත්මක වන්නේ, මහා සභාග ආන්ඩුව විසින් බලය පවරනු ලදුව යි. හැනාවු හි ප්‍රහාරය සිදු වූයේ, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ප්‍රථම වතාවට, අන්ත දක්ෂිනාංශික පක්ෂයක් වන ඒඑෆ්ඩීයට ලබා දුන් ඡන්දය යොදා ගනිමින් අසල්වැසි රාජ්‍යයක් වන තුරින්ගියා හි ප්‍රධාන අමාත්‍යවරයකු බලයට පත් කිරීමෙන් සති දෙකකට පසුව යි. 

නිව්යෝක් ටයිම්ස්  පවා සඳහන් කල පරිදි, මෙය නියෝජනය කලේ අන්ත දක්ෂිනාංශයට “විශිෂ්ට ජයග්‍රහනයකි.” “මාධ්‍යමිකයින් හා අන්ත දක්ෂිනාංශිකයෝ  සංක්‍රමන පිලිබඳ විෂය කරුනු බෙදාහදා ගනිති. වාමාංශය තුල පොදු සතුරෙකු ලෙස ඔවුන් දකින දේ ඔවුහු බෙදා ගනිති. දැන්, දශක ගනනාවකට පසු,  පලමු වතාවට ඔවුහු ආන්ඩුකාරවරයකු පවා බෙදා ගනිති” යි පුවත්පත අදහස් දැක්වී ය.

වයිමර් ජනරජයේ අවසාන වසරවල මෙන් නොව, ෆැසිස්ට් ව්‍යාපාරයක් සඳහා අද ජර්මනියේ මහජන සහයෝගයේ පදනමක් නොමැත. ජනගහනයෙන් අති බහුතරය, සියල්ලටම වඩා තරුනයින්, ඒඇෆ්ඩී දේශපාලනඥයන් දෙස බලන්නේ පිලිකුලෙන් හා කෝපයෙනි. දක්ෂිනාංශික අන්තවාදී පක්ෂය වැඩි වැඩියෙන් රඳා පවතින්නේ, ඔවුන්ගේ ඡන්දදායකයින් හා සාමාජිකයන් බොහෝ දෙනෙකු ඇද ගනු ලැබ ඇති මිලිටරිය, පොලීසිය හා රාජ්‍ය සංවිධාන මත මෙන් ම ඒඑෆ්ඩී නායකත්වයේ බහුතරයක් පැමිනි, ස්ථාපිත පක්ෂ මත ය. ජර්මානු දේශපාලනය තුල එය ප්‍රමුඛ පක්ෂය ලෙස  නැගී ඒම පාලක ප්‍රභූව සම්බන්ධ දේශපාලන කුමන්ත්‍රනයක ප්‍රතිඵලයකි.

2017 දී මහා සභාගය ඉදිරියට ගෙනයාමට එය ගත් තීරනයත් සමඟ, එස්පීඩීය  දැනුවත්ව ඒඑෆ්ඩී නිල විපක්ෂය බවට පත් කිරීමට තීරනය කලේ, පසුගිය ෆෙඩරල් මැතිවරනයේ දී එය සියයට 12.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමනක් ලබා සිටිය දී ය. එතැන් පටන් අන්ත දක්ෂිනාංශික පක්ෂය ප්‍රධාන පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක නායකත්වය සඳහා පත් කිරීම ඇතුලු ව, පාර්ලිමේන්තුවේ කටයුතුවලට පූර්න ලෙස ඒකාබද්ධ කෙරී ඇත. මහා සභාගය විසින් ඒඑෆ්ඩීයේ  සරනාගත ප්‍රතිපත්තිය අනුගමනය කර ඇති අතර, මිලිටරිවාදය හා, සමාජ ශුභසාධන වියදම් හා කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ට පහර දීමේ  න්‍යායපත්‍රයක් හඹා යමින් සිටී.  මේවා පැටවිය හැක්කේ, මහජන  ප්‍රතිරෝධය බිඳ දැමීම සඳහා ඒඑෆ්ඩීගේ සහාය ඇති, ෆැසිස්ට් ක්‍රමවේද ඔස්සේ පමනකි. 

ඒ අතරම, ඒඑෆ්ඩීයට ඔත්තු සේවාවල සහාය හා උපදෙස් ලැබේ. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා වූ ෆෙඩරල් කාර්යාලයේ (වර්ෆසුන්ග්ස්චුට්ස්) හිටපු සභාපති හාන්ස්-ජෝර්ජ් මාසන්, දැන් විවෘත ඒඑෆ්ඩී ආධාරකරුවෙකි. තොරතුරු දැන ගැනීමේ ජාලයක සහය ඇතිව, වර්ෆසුන්ග්ස්චුට්ස් මිලිටරිය හා පොලීසිය සමඟ සබඳතා ඇති අන්ත දක්ෂිනාංශික ජාලයන් මෙහෙයවා ආධාර කරනු ලැබේ. මෙම තොරතුරු සපයන්නෝ  දුසිම් ගනනක් ජාතික සමාජවාදී රහස් සංවිධානය (එන්එස්යූ) වටා පමනක් ක්‍රියාකාරී වෙති.

මහා සභාගය හා එහි ඔත්තුසේවා ඒජන්සි අංශ අන්ත දක්ෂිනාංශයේ වර්ධනයට අනුබල දී  එයට නිදහස් පාලනයක් ලබා දෙන අතර, ඔවුහු වමට එරෙහිව දැඩි අරගලයක් කරති. 2018 සිට මහා සභාග වර්ෆසුන්ග්ස්චුට්ස් වාර්තාව සමාජවාදී සමානාත්මතා පක්ෂය (සොසාලිස්ටිස් ග්ලීචයිට්ස්පාර්ටෙයි) “සෝදිසි කල යුතු දෙයක්” ලෙස ලැයිස්තුගත කර ඇත්තේ එය ඒඒෆ්ඩීය, ජර්මානු අධිරාජ්‍යවාදය සහ එහි දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රතිසන්ධානගත කල නො හැකි අරගලයක් දියත් කරන අතර ධනවාදී විරෝධී, සමාජවාදී වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටින බැවිනි.

දෘෂ්ටිවාදාත්මක ව, විශ්ව විද්‍යාල තුල  ක්‍රමානුකූලව ඉතිහාසය නැවත ලිවීම සහ නාසීන්ගේ අපරාධ සුලු කොට තැකීම මගින් ඒඑෆ්ඩී හා අනෙකුත් අන්ත දක්ෂිනාංශික ජාලයන් සඳහා මාවත සකසා ඇත. මේ සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත්තේ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝග් බාබරොව්ස්කි ය. ඔහු කියා සිටියේ හිට්ලර් “දරුනු නොවන” බවත් “අවුෂ්විට්ස් ගැන කිසිවක් දැන ගැනීමට ඔහුට අවශ්‍ය නොවූ” බවත් ය. බාබරොව්ස්කි දක්ෂිනාංශික අන්තවාදී ජාලයක කොටසක් වන අතර, ආඥාදායකත්වයන් “විකල්ප පර්යායන්” ලෙස ප්‍රශංසා කරන අතර, සරනාගතයින්ට එරෙහි ත්‍රස්ත ප්‍රහාර “සාපේක්ෂව හානිකර නො වේ ” යැයි විස්තර කරයි.

සති තුනකට පෙර, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍ය යෝ සංවිධානයේ මැතිවරන පුවරු මහාචාර්යවරයා විසින් ඉරා දමන ආකාරය ශිෂ්‍යයෙකු  දුටු අවස්ථාවේ දී, බාබරොව්ස්කි එම විශ්ව විද්‍යාල සිසුවාට ශාරීරිකව පහර දුන්නේ ය. මෙම සිදුවීම වීඩියෝවේ පටිගත කෙරී තිබුන ද, හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ සභාපතිනී,  සබීන් කුන්ස්ට් (එස්පීඩී) දක්නාංශික අන්තවාදී මහාචාර්යවරයාව ආරක්ෂා කල අතර ඔහුගේ හැසිරීම තේරුම් ගත හැකි බව ඇය පැවසුවා ය. ෆෙඩරල් ආන්ඩුව ද බාබෙරොව්ස්කිට සහාය දී තිබේ. මෙම තත්වයන් යටතේ, හනාවූ වැනි දක්ෂිනාංශික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර සිදුවිය හැකිවා පමනක් නොව, නො වැලැක්විය හැකි ය. ඒවා සියලු පක්ෂවල සහාය ඇතිව මහා සභාගය විසින් නායකත්වය දෙනු ලබන සරනාගත විරෝධී උද්ඝෝෂනය  මෙන්ම නොයෙකුත් කොමියුනිස්ට් විරෝධී හා මිලිටරිවාදයේ ප්‍රතිඵලයකි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ජනගහනය අතර වැඩෙන සමාජ හා දේශපාලන ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා නැවත වරක් ජර්මනියේ දේශපාලන බලවේගයක් ලෙස ෆැසිස්ට්වාදය නැවත ස්ථාපිත කිරීමයි.

හනාවු තුවක්කුකරු “හුදකලා වෘකයෙකි” යන නිල මන්ත්‍රය විකාරයකි. අන්ත දක්ෂිනාංශික ජාලයන් පොලීසිය, හමුදාව සහ බුද්ධි අංශ සමඟ සමීප සබඳතා භුක්ති විඳින, අතර දස දහස් ගනනක් නම් සහිත මරන ලැයිස්තු පවත්වා ගෙන යන අතර කිසිදු බාධාවකින් තොරව ඒවාට ක්‍රියාත්මක විය හැකි ය.

ලූබ්කේ ඝාතනයෙන් පසුව, හුදකලා වෘකයෙකුගේ න්‍යාය අන්ත දක්ෂිනාංශික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය මැඩපැවැත්වීමට උපකාර කලේ ය. චූදිත මිනීමරුවා වන, අපරාධ වාර්තාවක් සහිත නව නාසි ස්ටෙෆාන් අර්න්ස්ට් හා ඔහුගේ සහචරයා වන මාකස් එච්. වසර ගනනාවක් අන්ත දක්ෂිනාංශික දේශපාලනයට සම්බන්ධ වූ අතර වර්ෆසුන්ග්ස්චුට්ස් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව දැන් ප්‍රසිද්ධ කරුනකි. මේ පිලිබඳව පැහැදිලි බවක් ලබා දිය හැකි ලිපිගොනු වසර 40 ක් තිස්සේ අගුලු දමා ඇත.

තුරින්ගියා හි සිදුවීම් වලින් පසුව, ලෝසවෙඅ තම “අනතුරු ඇඟ වේ! දේශපාලන කුමන්ත්‍රනය හා ජර්මනියේ ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය ”නම් තම ඉදිරිදර්ශනය තුල මෙසේ අනතුරු ඇඟවූයේ ය:      “ජර්මනියේ දේශපාලන තත්වය යුරෝපීය, ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවධානය ඉල්ලා සිටී. 20 වන සියවසේ ඉතිහාසයේ අලෝකයෙන් බලන විට,  ජර්මනියේ නව නාසිවාදයේ පුනර්ජීවනය කෙරෙහි උදාසීන ආකල්පයක් අනුගමනය කල නො හැකි ය.”

මෙම අනතුරු ඇඟවීම දින කිහිපයකින් තහවුරු කර ඇත. “ලොව පුරා දේශපාලන රැඩිකලීකරන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී. මහජනයා කම්පාවට පත් කර ඇති, ජර්මනියේ තුරින්ගියා හි සිදුවීම් මෙම ක්‍රියාවලිය වේගවත් කරනු ඇත” යන අප කල නිගමනය හනාවු ප්‍රහාරයෙන් සනාථ වේ. සමාජවාදී සමානාතා පක්ෂය (ජර්මානු) අන්ත දක්ෂිනාංශයට එරෙහි විරෝධතා පුලුල්  කිරීම හා පැහදිලි දේශපාලන ඉදිරිදර්ශනයකින්   සන්නද්ධ කිරීම ඉල්ලා සිටී. මහා සභාගය, රාජ්‍ය සංවිධාන හා අන්ත දක්ෂිනාංශයේ දේශපාලන කුමන්ත්‍රනය අවසන් කිරීමට කාලය එලඹ ඇත. වර්ෆසුන්ග්ස්චුට්ස් කාර්යාලය විසුරුවා හැරිය යුතු අතර, වාමාංශික කන්ඩායම් සෝදිසි කිරීම හා හිංසා කිරීම වහාම නතර කල යුතු ය. ආක්‍රමනශීලී මිලිටරිවාදී විදේශ ප්‍රතිපත්තියක් වෙත ජර්මනිය නැවත හැරීම නවතනු! ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා!

Loading