ශ්‍රී ලංකාවේ ආන්ඩුව, සමාගම් සහ වෘත්තීය සමිති වතු කම්කරුවන් මත කුරිරු වැටුප් ගිවිසුමක් පැටවීමට කුමන්ත්‍රනය කරති

එම්. දේවරාජා
29 පෙබරවාරි 2020

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීමේ කඩතුරාව යටතේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, වැවිලි සමාගම් සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සමග කුමන්ත්‍රනය කරන්නේ,  නිර්දය සූරාකෑමේ වැඩ සම්මතයන් පැනවීමටය. මේ සම්බන්ධ ගිවිසුම මාර්තු 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ගේ පිටුපසින් සූදානම් වෙමින් තිබේ.

ජනාධිපතිවරන ව්‍යාපාරය අතරතුර ගෝඨාභය රාජපක්ෂ, සීඩබ්ලිව්සී ආධාරයෙන් වතු කම්කරු ඡන්ද ගසාකෑමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින්,   වැටුප් වැඩි කිරීමට පොරොන්දු විය . කලින් පැවති ආන්ඩුව කෙරෙහි ජනතාව අතර පැවති විරුද්ධත්වය ගසාකෑම පිනිස ජීවන කොන්දේසි වැඩිදියුනු කරන බවට ඔහු දුන් ව්‍යාජ පොරොන්දුවල කොටසකි මේ. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2005-2014 පාලන කාලය තුල ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කල ඔහුගේ කුරිරුකම්  දැන සිටි කම්කරුවෝ, බොහෝ දුරට ඔහුට විරුද්ධව ඡන්දය දුන්හ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි මිලිටරි ප්‍රහාර ඔහුගේ ප්‍රධානත්වයෙන් ගෙනගිය අතර එය,  අහිංසක දෙමල සිවිල් වැසියන් මරා දැමීමටත් කම්කරුවන් හා දුගී ජනතාවට එරෙහිව මර්දනයක් දියත් කිරීමටත් තුඩු දුන්නේය.

මාර්තු මාසයේ මුල් හරියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරනයකට සූදානම් වන රාජපක්ෂ, නැවත වරක් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ කථාව පෙරට ගෙන ඇත. 

පසුගිය මාසයේදී ඔහු,  මාර්තු 1දා සිට කම්කරුවන්ගේ වටුප් වැඩිකරන ලෙස සමාගම් වලින් ඉල්ලා සිටියේය. රාජපක්ෂ යෝජනා කරන වැඩිකිරීම,  2018 දෙසැම්බරයේ ලක්ෂ ගනනක් කම්කරුවන් සම්බන්ධවූ දින 11ක් තිස්සේ ඇදී ගිය වැඩ වර්ජනය ද ඇතුලුව එම වසරේ හටගත්  විරෝධතා මාලාව තුල කම්කරුවන් ඉදිරිපත් කල ඉල්ලීම් සමග කිසිදු සම්බන්ධයක් නැත. 

කම්කරුවන්  ඉල්ලා සිටියේ එවක පැවති මූලික වැටුප වූ රුපියල් 500 දෙගුන කරන ලෙසයි. එහෙත් අනෙකුත් වෘත්තීය සමිති වල ද සහාය ඇතිව කම්කරු කොංග්‍රසය විසින් අරගලය පාවා දෙනු ලැබින. ඔවුන් සමාගම් විසින් යෝජනා කරන ලද රුපියල් 200 ක වැටුප් වැඩිවීමක් සහ රුපියල් 50 ක දීමනාවට එකඟ විය. මෙම ගානට විශ්‍රාම වැටුප් අරමුදලට  වෙන් කරන රුපියල් 105 ද එකතු කර සමාගම් ව්‍යාජ ලෙස පැවසුවේ, තමන් රුපියල් 855 ක දෛනික වැටුපක් ගෙවන බවයි. දැන් රාජපක්ෂ උත්සාහ කරන්නේ එම මුදලට, අමතර රුපියල් 145 ක් එකතු කිරීමටයි.

සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් කයිවාරු ගැසුවේ “අපට කල හැකි දේ අපි කියන්නෙමු. අපි කියන දේ කරන්නෙමු” යනුවෙනි. මෙය සම්පූර්න බොරුවකි. කම්කරුවන්ගේ වැටුප දරිද්‍රතා මට්ටමේ තබා ගැනීම සඳහා තොන්ඩමාන් සහ ඔහුගේ සීඩබ්ලිව්සීය වෙනත් ධනපති ගැති වෘත්තීය සමිති සමඟ යලි යලිත් පෙරමුන ගත්තේය. 

ප්‍රාදේශිය වැවිලි සමාගම් (ආර්පීසී) ඕනෑම වැටුප් වැඩි කිරීමකට විරුද්ධ වෙති. හේලීස් වතු කලමනාකරන අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි පෙබරවාරි 16දා සන්ඩේ ඔබ්සවර් පත්‍රයට පැවසුවේ, ආර්පීසීය “නව වැටුප් රටාව” පිලිබඳව විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි. එය පදනම්ව ඇත්තේ, පලදායිතාව ඉහල නැංවීම  හා කම්කරුවන් දැන් භුක්ති විඳින සුලු සමාජ ප්‍රතිලාභ පවා කපාදැමීම මතය.

 නව යෝජනාව ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “මෙම නව වැටුප් රටාව අනුව මසකට කම්කරුවෙකුට  දින 10 වැඩ ලබාදෙන බවට සහතික වන අතර අනෙක් දින සඳහා වැටුප්, පලදායිතාව පදනම් කරගත් ක්‍රමයකට ගෙවනු ඇත. ”

මෙම සැලැස්මට අනුව, දින 10 හැර ඉතිරි දින 15 සඳහා ද සමාගම් විසින් ඔවුන් බඳවා ගනු ලබන්නේද යන්න කම්කරුවන්ට සහතික නොවේ. පෙර ගිවිසුම් වලට අනුව වර්තමානයේ සමාගම් මසකට දින 25 ක් වැඩ ලබාදීමට - අවම වශයෙන් පොතේ හැටියටවත් බැඳී සිටී. නව සැලැස්ම අනුව මෙම දින 25 පාලිත වැඩ ක්‍රමය අහෝසි කරනු ලැබේ .

එසේම කම්කරුවන්ට මේ දින 15 සඳහා විශ්‍රාම වැටුප්, -සේවක අර්ථසාධක  සහ සේවා යෝජකයන්ගේ බාර අරමුදල් ගෙවීම් ලැබෙන්නේ නැත.

තේ කර්මාන්තය තුල කුඩා වතු හිමියන් අනුගමනය කරන්නේ මේ ක්‍රමයයි. මේ අනුව වැවිලි සමාගම්, නෙලන දලු කිලෝවකට රුපියල් 40 බැගින් ගෙවීමේ පදනම මත විශ්‍රාමික  කම්කරුවන් කුලියට ගෙන ඇත. කම්කරුවෙකු දිනකට රුපියල් 1000 උපයා ගැනීමට නම් දලු කිලෝ 25 නෙලිය යුතුය, එය කල නොහැකි දෙයකි.

රාජදුරෙයි අවධාරනය කලේ, “ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන පිරිවැය ඉන්දියාව සහ කෙන්යාව වැනි තරඟකරුවන්ට වඩා වැඩිය. අපට තරඟ කිරීමට අවශ්‍ය නම් අප පිරිවැය අනුව තරඟකාරී විය යුතුය.” ඒ කියන්නේ රැකියා කප්පාදුව සහ වැඩ කොටස වැඩි කිරීමෙන් ශ්‍රම පිරිවැය අඩු කළ යුතුය යන්නයි.

වැටුප් වැඩි කිරීමට සමාගම් දක්වන දැඩි ප්‍රතිරෝධය හමුවේ, වතු කර්මාන්ත අමාත්‍යවරයා වන රමේෂ් පතිරන හෙලි කලේ, අන්තර්කාලීන ආන්ඩුව, වතු කම්කරුවන්ට අවම වැටුප වශයෙන් රුපියල් 1000ක් ගෙවීම පිනිස කෙටි කාලයකට රාජ්‍ය භාන්ඬාගාරය ආර්පීසීට සහාය දක්වන බවයි. 

පතිරන පැවසුවේ, “අපි ඒ කාරනය ගැනත් සොයා බලනවා, එහෙත් ඔවුන් ආකෘති තුනක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව සමාගම් විසින් වගා කරන්නා, පලදායිතාව පදනම් කරගත් දිරිගැන්වීම් සහ ආදායම් බෙදා ගැනීමේ ආකෘති” යෝජනා කර තිබෙනවා.

මෙයින් අදහස් කරන්නේ ආන්ඩුව විසින් භාන්ඩාගාර මුදල් උපයෝගී කරගනිමින් ව්‍යාජ වැටුප් වැඩිවීමක් “තාවකාලික” ලෙස ලබා දීමට අදහස් කරන බවයි. ඒ අතරම ආන්ඩුව, වැඩ තොගය වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සහ සොච්චම් සුභසාධන සහන කප්පාදු කිරීමට අදාල සමාගම්වල වැඩ රටාව ක්‍රියාත්මක කිරීම පිලිබඳව සමාගම් හා සමිති සමඟ සාකච්ඡා කරමින්  සිටින බවයි.

සූරාකෑම වැඩි කරන මෙම වැඩ රටා ක්‍රියාත්මක කිරීම පිනිස ගිවිසුමක් හොර රහසේ සූදානම් කිරීමේ තර්ජනයට කම්කරුවන් මුහුනපා සිටී. 

2016 සහ 2019 ජනවාරි මාසයේදී අත්සන් කරන ලද අවසන් සාමූහික ගිවිසුම් දෙකෙහිදී, සීඩබ්ලිව්සී මෙහෙයවීම යටතේ වෘත්තීය සමිති “ආදායම් බෙදා ගැනීමේ ආකෘතිය” ක්‍රියාත්මක කිරීම සඳහා වතු සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූහ .

මෙම ක්‍රමය යටතේ කම්කරුවෙකුට තේ පඳුරු 1000 ක් පමන වෙන් කෙරේ. ඒ යටතේ වැඩකිරීමටත්, වතු සමාගම් සතු කර්මාන්තශාලාවලට අස්වැන්න ලබා දීමටත් ඔවුන් බැඳී සිටියි. සමාගම් යෙදවුම් සහ උපකරන සපයයි. යෙදවුම් සඳහා වියදම්, කාර්යාලීය වියදම් සහ ලාභය සඳහා කොටසක් අඩු කිරීමෙන් පසුට ඉතිරි “ආදායම” කම්කරුවාට ලැබේ. මෙම අභූත “ආදායම් බෙදාගැනීම” සමාගම්වල යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ එලෙසිනි.

 මෙම ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන සමහර වතුවල,  ජීවත් වීම සඳහා කම්කරුවාගේ මුලු පවුලම කඹුරනු ලැබුවත්  පලක්වී නැති බව සඳහන්වේ. ඔවුන් මේ ක්‍රමයට විරුද්ධ වූ අතර සමහර වතුවල කම්කරුවන් විසින් වෙන් කරන ලද ඉඩම් කැබැල්ල ආපසු ලබා දී පැරනි ක්‍රමය තෝරා ගත්හ.

පලදායිතාව ඉහල නැංවීම සඳහා  වෙනත් ක්‍රම ද වතුකරයේ අත්හදා බලයි. රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී දෙසතියක් ගතවන්නට ද මත්තෙන්, නොවැම්බර් 29 වැනි දා, 5,000 කට වැඩි කම්කරුවන්, ඩිජිටල් බර කිරන යන්ත්‍ර හා ඩිජිටල් හැඳුනුම්පත යොදාගැනීමේ ව්‍යායාමයට විරුද්ධව වැඩ නතර කලේය. නව ක්‍රමවේදය අනුව කලමනාකරනයට, වැඩ කරන කාලය තුල කම්කරුවාගේ සෑම ඉරියව්වක්ම නිරීක්ෂනය කල හැක. (බලන්න: වැඩ තීව්‍ර කිරීමට එරෙහිව හා වැඩි වැටුප් ඉල්ලමින් වතුකම්කරුවන් දහස්ගනනක් වර්ජනය කරති -2019 දෙසැම්බර් 5 )

දශක ගනනාවක් තිස්සේ, වැවිලි සමාගම්, තැරැව්කාර සමාගම් සහ ජාත්‍යන්තර දැවැන්ත සිල්ලර වෙලඳ සමාගම්  ලාභ මිරිකා ගැනීමට හැකි වන පරිදි මිල හා පිරිවැය හසුරුවයි. මීට පෙර  බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් කම්කරුවන අමානුෂික ලෙස සූරාකනු ලැබීය. ජාත්‍යන්තර ආර්ථික පසුබෑමකට මුහුණ දෙන තතු යටතේ ලාභය සඳහා තල්ලුව තීව්‍ර වී ඇත. කෙන්යාව, දකුනු අප්‍රිකාව, චීනය, ඉන්දියාව, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල වතු කම්කරුවන් ජාත්‍යන්තරව එකට බැඳුනු සමාගම් යටතේ සමාන සූරාකෑමේ තත්වයන්ට මුහුන දී සිටිති .

අනෙක් අතට, දරිද්‍රතා වැටුප් පවත්වා ගෙන යන අතරතුර කම්කරුවන්ගේ ජීවන කොන්දේසි පහත හෙලනු ලැබේ.  මහ බැංකු වාර්තාවකට අනුව, වත්මන් ජීවන වියදම් කොන්දේසි යටතේ,  හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට, රුපියල් 50, 000 ක මුදලක් අවශ්‍යය. කෙසේ වෙතත්, වැවිලි කම්කරු පවුලකට උපයා ගත හැක්කේ මෙම මුදලෙන් හතරෙන් එකක් පමනකි. 

තීව්‍ර සූරාකෑම ක්‍රියාත්මක කිරීම සඳහා වන වැටුප් ගිවිසුම කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. කම්කරුවන්ට යහපත් වැටුපක්, වැටුප් සහිත වෛද්‍ය නිවාඩු, වඩා හොඳ විශ්‍රාම වැටුප් ක්‍රමයක්, නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා අවශ්‍ය වේ.

ඔවුන් සිය වැටුප් සහ අනෙකුත් පහසුකම් පිලිබඳ තීරන ගැනීම සමිති අතට පත්  නොකල යුතුය.  සමාගම්වල සහ රජයේ සෘජු නියෝජිතයන් බවට සමිති පත්ව ඇත.

කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතු අතර සමිති නිලධරය සේවා ස්ථානවලින් හා නිවාස ප්‍රදේශවලින් බැහැර කළ යුතුය . ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමඟ එක්වී සිය රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත.

ඇබොට්ස්ලෙ වතු කම්කරුවෝ, 2018 වැටුප් අරගලයේ උණුසුම මැද ක්‍රියාකාරී කමිටුවක් ගොඩනඟා ගැනීම පිනිස එවන් මූලිකත්වයක් ගත්හ. 

සමාජවාදී ප්‍රතිපත්තිවලට සහ කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් කිරීමේ වඩා පුලුල් අරගලයේ කොටසක් ලෙස, සියලුම විශාල වතු කම්කරු පාලනය යටතේ  ජනසතු කිරීම සඳහා මෙම අරගලය මෙහෙයවිය යුතුය. මෙය සමාජවාදී සමානාත්මතා පක්ෂය විසින් සටන් වදින ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා වන අරගලයේ කොටසකි.  

කතුවරයා මෙම ලිපි ද නිර්දේශ කරයි:

ශ්‍රී ලංකා ජනාධිපති වතු කම්කරුවන්ට ලබා දුන් ව්‍යාජ වැටුප් වැඩි වීම

2020 ජනවාරි 30