ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය, ජර්මානු දක්ෂිනාංශික අන්තවාදී ජෝග් බාබරොව්ස්කිට අරමුදල් සැපයුවේ ඇයි?

මෙම ලිපිය 2020 පෙබරවාරි 22 දින ඉංග්‍රීසියෙන් පලවිය

මීට වසරකට පමන පෙර 2019 අප්‍රේල් 3 දා,        “සංක්‍රමන අවධියේ ආඥාදායකත්වයන්” යන මාතෘකාව යටතේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සම්මන්ත්‍රනයක් සඳහා බර්ලිනයේ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝග් බාබරොව්ස්කිට ආරාධනා කර තිබීම ගැන කනස්සල්ල පල කරමින් මම, මහාචාර්ය ඩෙබොරා කැප්ල් වෙත ලිපියක් යැවීමි. මෙම කටයුත්ත සංවිධානය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල කැප්ල්, එවකට ප්‍රින්ස්ටන් විසින් වෙන් කරන ලද ඩොලර් 300,000 ක පර්යේෂන ප්‍රදානයක් බාබරොව්ස්කි සමඟ බෙදා ගනිමින් සිටියාය.

මම මෙසේ ලිවීමි:

මහාචාර්ය බාබරොව්ස්කි ජර්මනියේ වඩාත් ප්‍රමුඛ, දක්ෂිනාංශික සංශෝධනවාදී ඉතිහාසඥයින් අතරට ගැනෙන බව, සම්මන්ත්‍රනය / සමුලු‍ව සංවිධානය කිරීමේ දී සහ ඒකාබද්ධ පර්යේෂන ව්‍යාපෘතියක් සංවිධානය කිරීමේදී, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය දැන සිටියේ ද? ඔහු විවෘතවම දිවංගත මහාචාර්ය අර්නස්ට් නොල්ටේගේ අදහස් දරා සිටින  අයෙකි. නෝල්ටේගේ නාසි අපරාධ සාපේක්ෂකරනය, 1980 දශකයේ අග භාගයේ සුප්‍රසිද්ධ  “හිස්ටෝරිකර්ස්ට්රයිට්” ඇවිලවීය.

බාබරොව්ස්කි, චාන්සලර් මර්කල්ගේ සංක්‍රමන ප්‍රතිපත්තිවල ද ප්‍රමුඛ විරුද්ධවාදියෙකි. මෙම විෂය පිලිබඳ ඔහුගේ අන්ත දක්ෂිනාංශික අදහස්, නව-ෆැසිස්ට් ජර්මනිය සඳහා විකල්පයේ (ඒඑෆ්ඩී) විදේශීක භිතිකාව නීත්‍යානුකූල කිරීමට උපකාරී වී තිබේ. සංක්‍රමන පිලිබඳ බාබරොව්ස්කිගේ ප්‍රකාශ, බ්‍රෙට්බාට් නිවුස් හි නිතිපතා පල වී ඇති අතර, ඊටත් වඩා භයානක ලෙස,  ප්‍රමුඛ ඇමරිකානු නාසි වෙබ් අඩවිය වන ඬේලි ස්ටෝමර්හි පල කෙරේ ...

මහාචාර්ය බාබරොව්ස්කිගේ අදහස් හා සම්බන්ධ මතභේද පිලිබඳව ඔබ හෝ මෑත  සම්මන්ත්‍රනයට / සමුලුවට සහභාගී වූ අයගෙන් කිසිවෙකු හෝ දැනුවත්ව සිටියේ දැයි  දැන ගැනීමට මම කැමැත්තෙමි. මෙහි ගැටලුව වන්නේ, හුදෙක් මහාචාර්ය බාබරොව්ස්කිගේ පෞද්ගලික දේශපාලන මත පිලිබඳව පමනක් නොවේ. ඒ වෙනුවට, නාසි අපරාධ යුක්ති සහගත කරමින්, සිය ජීවිතයේ අවසාන දශක තුන ගත කල අර්නස්ට් නොල්ටේ ආරක්ෂා කිරීම, බාබරොව්ස්කිගේ ඓතිහාසික න්‍යායික ව්‍යාපෘතියේ අනිවාර්ය අංගයකි. හොලොකෝස්ට් ඇතුලු නාසි ම්ලේච්ඡත්වය, සෝවියට් සංගමය විසින් හිට්ලර් තන්ත්‍රය මතට බලහත්කාරයෙන් පටවන ලද දේ කෙරෙහි දැක්වුන ප්‍රතිචාරයක් යැයි නොල්ටෙ-බාබරොව්ස්කි සංකල්පය තුල කේන්ද්‍රීය වේ. මහාචාර්ය බාබරොව්ස්කිගේ අදහස්වල අන්ත දක්ෂිනාංශික ස්වභාවය සහ භයානක ඇඟවුම්      සිතාගැනීම පවා දුෂ්කරය. ඓතිහාසික වාර්තාවේ මුසාකරනය ඒ සඳහා  බලපා ඇත්තේ සුලු‍පටු ලෙස නොවේ යයි ද ඊට  එකතු කල යුතුය. ඒවා මෑත සම්මන්ත්‍රනයට / සමුලුවට සහභාගී වූ විද්වතුන්ගේ අවධානයට ලක් නොවී ම  සම්මත විය. සම්මන්ත්‍රනය / සමුලුව අතරතුර මහාචාර්ය බාබරොව්ස්කිගේ අදහස් කිසියම් අවස්ථාවක අභියෝගයට ලක්වුනාද?

මහාචාර්ය කැප්ල් මගේ ලිපියෙන් නඟන ලද ප්‍රශ්න වලට පිලිතුරු දීම කෙසේ වෙතත් එය ලැබුනු බව පවා පිලිගත්තේ නැත. ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) සමඟ දේශපාලනිකව සම්බන්ධ වී සිටින, සංක්‍රමනිකයන් හෙලා දැකීම සහ නාසි අපරාධ යුක්ති සහගත කිරීම වැනි ඔහුගේ ප්‍රසිද්ධ ක්‍රියාකාරකම්, ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය නීත්‍යානුකූල කරන බුද්ධිමය වාතාවරනයක් වගා කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙන, පුද්ගලයකු සමඟ පවත්වන සහයෝගීතාව සහ ඔහුට දුන් මූල්‍යමය ආධාරයේ අරමුන කප්ලේ හෝ විශ්ව විද්‍යාලය විසින් පැහැදිලි කරනු ලැබුවේ නැත. සම්මන්ත්‍රනයේ න්‍යාය පත්‍රය හා කටයුතු පිලිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර නොමැත. එසේම “සංක්‍රමන අවධියේ ආඥාදායකත්වයන්”  පිලිබඳ ව්‍යාපෘතියේ විද්වත් බලාපොරොත්තු සහ අරමුන පිලිබඳ පැහැදිලි කිරීමක් ද කර නැත.

ජර්මනියේ පවතින භයානක දේශපාලන තත්වය සැලකිල්ලට ගන්නා කල, මහාචාර්ය කැප්ල් සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය, එහි සිසුන්ට, විද්වත් ප්‍රජාවට සහ පුලුල් මහජනතාවට, බාබරොව්ස්කි සමඟ එහි ඇයි හොඳයිකම් පිලිබඳව පැහැදිලි කිරීමට බැඳී සිටියි. ඒඑෆ්ඩීයේ වේගයෙන් වර්ධනය වන දේශපාලන අනුහස සහ පෙබරවාරි 19 තරම් මෑතදී හනාවු හි පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කිරීම නිදසුන් සම්පාදනය කරන පරිදි, යුදෙව්-විරෝධී හා සංක්‍රමන විරෝධී ප්‍රචන්ඩත්වය පුපුරා යාම, බාබරොව්ස්කිගේ සංක්‍රමන විරෝධී ප්‍රකාශවල ඇඟවුම් ඕනෑවටත් වඩා පැහැදිලි කරයි.  බාබරොව්ස්කිට ඉලක්කම් හයක පර්යේෂන ප්‍රදානයක් ලබා දී ප්‍රින්ස්ටන් වෙත ආරාධනා කරන විට, හිට්ලර් වෙනුවෙන් ක්ෂමාලාප නැගීම සහ සංක්‍රමනිකයන් යුරෝපීයයන්ගේ      “ආදරනීය සියල්ල” පැහැර ගන්නා බවට කරන ගිනියම් ප්‍රකාශ නොසලකා හරින්නට මනාප වූයේ ඇයි? අප්‍රේල් 3 වන දින ලිපියෙන් මම, බ්‍රැට්බාට් හි ලිපිවලට ද බාබරොව්ස්කිගේ සංක්‍රමන-විරෝධී බැනවැදීම් පල කරන නව-නාසි ඬේලි ස්ටෝර්මට ද ඇති සම්බන්ධතා සපයා ඇති අතර, හොලකෝස්ටයට ඇති හිට්ලර්ගේ වගකීමෙන් ඔහු මුදා හැරීමට දරන උත්සාහය විදහා දැක්වෙන ඩර් ස්පීගල් පත්‍රයේ ලිපියට ද ඇති සම්බන්ධකම් කැප්ල්ට සම්පාදනය කර ඇත්තෙමි. 

පසුගිය අප්‍රේල් මාසයේ මගේ ලිපිය ප්‍රකාශයට පත් කල දායින් පසුව, පසුගිය වසරේ ප්‍රින්ස්ටන් සම්මන්ත්‍රනයට සහභාගී වූ තවත් අයෙකු පිලිබඳ නව හා කරදරකාරී තොරතුරු මතු වී තිබේ.

නැගෙනහිර යුරෝපීය අධ්‍යයන සඳහා වන හුම්බෝල්ට් විශ්වවිද්‍යාල ආයතනයේ පර්යේෂන සහකාර තනතුරක් දරන ෆාබියාන් තූනමන් සමඟ බබරොව්ස්කි මහතා ද විය.

1998 දෙසැම්බර් 19 දිනැති අන්තර්ජාල වාර්තාවකට අනුව, ජර්මනියේ නව-නාසි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (නැෂනල් ඩිමොක්‍රැටිස් පාර්ටෙයි ඩොයිෂ්ලන්ඞ්) විසින් සංවිධානය කරන ලද හැනෝවර් හි පැවති උද්ඝෝෂනයකට ෆාබියාන් තූනමන් නම් පුද්ගලයෙක් ප්‍රසිද්ධියේම සහභාගී වී ඇත. 1939 සිට 1945 දක්වා කාලය තුල නාසි හමුදාව විසින් සිදු කරන ලද යුද අපරාධ හෙලිදරව් කරන ලද ප්‍රදර්ශනයකට විරෝධය දැක්වීම සඳහා මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනි.

මෙම උද්ඝෝෂනයට නාසීන් 170 ක් සහභාගී වූ බව වාර්තාවේ සඳහන් වන අතර, විශේෂයෙන් හඳුනාගෙන ඇති නව නාසිවාදීන් අට දෙනා අතර ෆාබියාන් තූනමන් සහ ඔහුගේ සහෝදර ලූකස් ද සිටිති. මෙයින් ඇඟවෙන්නේ, ඔවුන් දෙදෙනා ප්‍රමුඛ දක්ෂිනාංශික අන්තවාදීන් වන අතර නව නාසි ක්‍රියාකාරකම් අධීක්‍ෂනය කරමින් සිටි ෆැසිස්ට් විරෝධීන්ට හොඳින් හුරු පුරුදු අය බවයි. මෙම වාර්තාවේ නම් කර ඇති අනෙක් පුද්ගලයින්, පසු කාලීනව දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වයේ ප්‍රධාන සිදුවීම්වලට සම්බන්ධ වූ අයයි.

මෙම වාර්තාව සනාථ කිරීම සඳහා, නැගෙනහිර යුරෝපීය ඉතිහාස ආයතනයේ උපාධිධාරී ශිෂ්‍යයෙකු සහ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වූ සාමාජිකයෙකු වන ස්වෙන් වර්ම්, 2019 දෙසැම්බර් මාසයේදී විශ්ව විද්‍යාල පරිපාලනයට ලිපියක් යවමින්, 1998 වාර්තාවේ නම් කර ඇති ෆාබියාන් තූනමන් බාබරොව්ස්කිගේ මඟ පෙන්වීම යටතේ වැඩ කරන පුද්ගලයාම ද යන්න විමසීය. 

විශ්ව විද්‍යාල ප්‍රකාශක හාන්ස්-ක්‍රිස්ටෝෆ් කෙලර්, ගනන් බලන ලද සංශයවාදයකින් පිලිතුරු දුන්නේ,  මේ පිලිබඳව කිසිදු තොරතුරක් තමා සතුව නොමැති බවටයි.

වර්ම් මහතා 2020 ජනවාරි මාසයේදී කෙලර් මහතාට සහ විශ්ව විද්‍යාල සභාපති සබීන් කුන්ස්ට් වෙත දෙවන ලිපියක් ද යවමින් ඔහුගේ ප්‍රශ්නයට නිසැක පිලිතුරක් ඉල්ලා සිටියේය. ඔහු මෙසේ ලිවීය:

මෙය ඉතා බරපතල කාරනයකි. එබැවින් මම ඇසිය යුතුය: විශ්ව විද්‍යාල කලමනාකාරිත්වය කිසියම් උත්සාහයක් ගෙන තිබේද? නැත්නම් නැගෙනහිර යුරෝපීය ඉතිහාස අධ්‍යයනාංශයේ දැනට සේවය කරන තූනමන් මහතා හැනෝවර්හි නාසි කටයුතු පිලිබඳ වාර්තාවේ සඳහන් කර ඇති තූනමන්ම ද යන්න තීරනය කිරීමට කිසියම් උත්සාහයක් ගැනීමට අදහස් කර තිබේද? මෙම වාර්තාව සත්‍යද නැද්ද යන්න තීරනය කිරීමට ඔබට අපහසු නොවනු ඇත.

කෙලර් මහතා දෙවන වරටත් විනිවිද පෙනෙන ලෙස මග හැර යන ආකාරයෙන් පිලිතුරු දුන්නේය.

පුද්ගලයින් සම්බන්ධ කාරනා පිලිබඳව, නීතිමය හේතූන් මත තෙවන පාර්ශවයන්ට තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීමට හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයට හැකිය. අපි ඔබේ තීරනය ඉල්ලා සිටිමු. සෘජු පිලිතුරක් ලබා දීම විශ්ව විද්‍යාලය ප්‍රතික්ෂේප කිරීමෙන්, නව නාසි උද්ඝෝෂකයෙකු ලෙස හඳුනාගෙන ඇති ෆාබියාන් තූනමන්, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල සම්මන්ත්‍රනයට බාබරොව්ස්කි සමඟ සහභාගී වූ ෆාබියාන් තූනමන් එකම කෙනාය යන්න පිලිබඳව ඉතිරි කරන්නේ මඳ සැකයකි.

ඇත්ත වශයෙන්ම, 1998 වාර්තාවෙන් හඳුනාගෙන ඇති නව-නාසි ෆාබියාන් තූනමන් ඇගේ සම්මන්ත්‍රනයට සහභාගී වූ පුද්ගලයාම දැයි මහාචාර්ය කැප්ලේ සැක පහල කරන්නේ නම්, ප්‍රින්ස්ටන්, හම්බෝල්ට් විශ්ව විද්‍යාලය හා තූනමන් මහතාට කථාකර  ඒ පිලිබඳව නිසැක පිලිතුරක් මඟින් පැහැදිලි කර දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. 

වර්ම් මහතාගේ විමසීම්වල ඇඟවුම් සහිත අනුපිලිවෙලක් තිබේ. 2020 ජනවාරි 30 වන දින ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආසනයක් සඳහා උද්ඝෝෂනය කරමින් සිටියදී වර්ම්ට නීත්‍යානුකූලව පල කර තිබූ  තම මැතිවරන පෝස්ටර් බිත්තියෙන් නීතිවිරෝධී ලෙස ඉරා දමන  බාබරොව්ස්කි හමුවිය. මෙම විනාශකාරී ක්‍රියාවෙන්, සිසුන්ගේ කටයුතුවලට විශ්වවිද්‍යාල කාර්ය මන්ඩලය මැදිහත් වීමට එරෙහි නීති විවෘතව උල්ලංඝනය කලේය. ඒඑෆ්ඩී බලපෑමේ වර්ධනයට විරුද්ධ වීමේදී වර්ම් ඉටුකල මුඛ්‍ය භූමිකාව සහ මහාචාර්යවරයා විසින් මෙහෙයවන      නැගෙනහිර යුරෝපීය ඉතිහාස ආයතනය නව නාසිවාදීන්ට සුරැකුම් ස්ථානයක් සපයන්නේද යන්න තීරනය කිරීමට ඔහු දැරූ උත්සාහය ගැන බාබරොව්ස්කි පැහැදිලිවම කෝපයට පත්ව සිටියේය. උද්ඝෝෂනයට අදාල පෝස්ටර් විනාශ කිරීම නවත්වන ලෙස වර්ම් බාබරොව්ස්කිගෙන් ඉල්ලා සිටි විට, ඔහු ඔහුට ශාරීරිකව පහර දුන්නේය. මෙම සම්පූර්න සිදුවීම වීඩියෝ ගත කර යූ ටියුබ් හි පල කරන ලද අතර  එය 22,000 වාරයකට වඩා නරඹා ඇත.

මෙම වීඩියෝවේ  පටිගත කර ඇති ආකාරයට පෙනී යන පරිදි සිසුවෙකුට දරුනු ලෙස පහර දුන් ඕනෑම ප්‍රින්ස්ටන් මහාචාර්යවරයකු වහාම විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරෙනු ඇත. ඔහුගේ හෝ ඇයගේ රැකියාව අහිමි වන අතර බොහෝ දුරට අපරාධ චෝදනාවලට ලක් වේ. එහෙත් ජර්මනියේ පවතින වර්තමාන දේශපාලන වාතාවරනය තුල ඒඑෆ්ඩී විසින් කෙතරම් අනුහසක් පතුරවාගෙන ඇත් ද යත්, විශ්ව විද්‍යාලය පෙන්වා දී ඇත්තේ, බාබරොව්ස්කිට තරවටු කිරීමට පවා අදහස් නොකරන බවයි. 

විශ්ව විද්‍යාලයේ සභාපති සබීන් කුන්ස්ට් ප්‍රකාශ කලේ බාබරොව්ස්කිගේ ක්‍රියාවන්ට ඇය “මානව මට්ටමින්” අනුකම්පා කරන බවයි. බාබරොව්ස්කි අමනාප  වේ යයි කුන්ස්ට පවතින බිය, ප්‍රබල දක්ෂිනාංශික ජාලයන් සමඟ ඔහුගේ සමීප සම්බන්ධතාවයට සාක්ෂි සපයයි. මෙම සම්බන්ධතා ජර්මනියේ අන්ත දක්ෂිනාංශය පිලිබඳ බලයලත් අධ්‍යයනයක ලේඛනගත කර ඇත. ස්වේන් වර්ම්ට පහර දී දින කිහිපයකට පසුව බාබරොව්ස්කි, සභාග ආන්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග වේදිකාවකට නැඟු‍න අතර, ඒඑෆ්ඩීයේ අන්ත දක්ෂිනාංශික වැඩ සටහනේ සැලකිය යුතු කොටස් යොදා ගනිමින් එය සතුටු කිරීමට වේදිකාවේ උත්සාහයක් දරා ඇත.

ප්‍රින්ස්ටන් බාබරොව්ස්කිට  කල ආරාධනය මඟින් ඔහුට, “හිට්ලර් දරුනු නොවේ” සහ “අවුෂ්විට්ස් ගැන කිසිවක් දැන ගැනීමට හිට්ලර්ට අවශ්‍ය වුනේ  නැත” යන වඩාත් මෑතකදී ඔහු කල ප්‍රකාශය නිදසුන්කොට දක්වන පරිදි, නාසි ගැති ඓතිහාසික සංශෝධනවාදය ඉදිරියට ගෙනයාම සඳහා වූ බුද්ධිමය වශයෙන් වංචනික උත්සාහයන් මගින් අත්කර ගැනීමට නොහැකි, ජාත්‍යන්තර කීර්තියක් ලබා දුන්නේය. 

එපමනක් නොව, බාබරොව්ස්කිගේ ෆැසිස්ට් දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි ඇති සතුරුකම සැලකිල්ලට ගත් විට, කැප්ල්-බබරොව්ස්කි පර්යේෂන ව්‍යාපෘතියේ මාතෘකාව වන “සංක්‍රමන අවධියේ ආඥාදායකත්වයන්” පිලිබඳ අධ්‍යයනය අස්ථාවර හා සැක කටයුතු ය. මහාචාර්යවරයාගේ දක්ෂිනාංශික අන්තවාදී අදහස් හොඳින් දන්නා හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය සෙනෙට් සභාව (ඇකඩමිෂර් සෙනෙට්) විසින්         “විකල්පයක් ලෙස ආඥාදායකත්වය” යන ප්‍රකෝපකාරී මාතෘකාව සහිත සමාන ව්‍යාපෘතියක් සඳහා අරමුදල් ලබා ගැනීමට බාබෙරොව්ස්කි දැරූ උත්සාහය ප්‍රතික්ෂේප කරන ලදී. අරමුදල් සඳහා ඔහුගේ අයදුම්පත විගනනය කිරීම සඳහා විශ්වවිද්‍යාලය විසින් පවරා ඇති ස්වාධීන බාහිර විශේෂඥයින් ඔහුගේ ව්‍යාපෘතිය විනාශකාරී විවේචනයට ලක් කලේය.

දක්ෂිනාංශයේ දේශපාලන ඝාතන සහ වෙනත් සාපරාධී ප්‍රචන්ඩ ක්‍රියා බහුලව සිදුවෙමින් පවතින ජර්මනියේ නාසිවාදය යලි හිස ඔසවමින් සිටින මොහොතක,  බාබරොව්ස්කි වැනි අය සඳහා ප්‍රින්ස්ටන් ලබා දෙන මූල්‍යමය ආධාර සහ සහයෝගීතාව, බුද්ධිමය වශයෙන් වගකීම් විරහිත සහ දේශපාලනිකව ගර්හිතය.

ප්‍රින්ස්ටන් තවමත් ජෝග් බාබරොව්ස්කි සමඟ ඇති සම්බන්ධතාවයේ ස්වභාවය පැහැදිලි කර නැත . එය තවමත් සිදුවන්නේ ද? පර්යේෂන ව්‍යාපෘතියක් සඳහා ඩොලර් 300,000 ක් වෙන් කිරීම සැලකිය යුතු මූල්‍ය සම්පත් වැය කිරීමකි. මෙම ව්‍යාපෘතියේ විෂය පථය කුමක්ද? හරියටම මුදල් යොදවන්නේ කුමක් සඳහාද? අරමුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් බාබරොව්ස්කිට  ඇති පාලනය කුමක්ද? මෙම ව්‍යාපෘතියේ ෆාබියන් තූනමන්ගේ භූමිකාව කුමක්ද?

 අවසාන වශයෙන්, ජෙනරාල් පිනෝචෙට් යටතේ චිලියේ පැවති තත්වයට සමාන ඒකාධිපති පාලනයක් සඳහා සමකාලීන යුක්තිකරනයක් ගොඩනැගීමට බාබරොව්ස්කි ගත් උත්සාහයන්, වර්තමාන එක්සත් ජනපද සහ ජාත්‍යන්තර දේශපාලන තත්වයන්ට අදාල යයි තමන් විශ්වාස කරන්නේ මන්දැයි ප්‍රින්ස්ටන් පැහැදිලි කල යුතුය.