වාර්තාගත වේගයකින් කොටස් වෙලඳපොල පහත වැටේ

මෙම ලිපිය 2020 පෙබරවාරි 29 දින ඉංග්‍රීසියෙන් පලවිය

ගෝලීය මූල්‍ය වෙලඳපොල කඩාවැටීම ඊයේ ද අඛන්ඩව පෙරට ගිය අතර 2008 මූල්‍ය අර්බුදයෙන් පසු නරකම සතිය එසේ අවසන් විය.

වෝල් වීදියේ වැඩ පටන් ගැනීමේදී ඩව් දර්ශකය ඒකක 600 කට වඩා පහත වැටුන අතර එය දිගටම පෙරට යමින් 1000 ට වඩා පහත ගියේය. වෙලඳාමේ අවසන් මිනිත්තු 20 තුල ඉහල යාමෙන් පසුව එය දිනය අවසානයේ ඒකක 357 කින් හෙවත් සියයට 1.38 කින් පහත වැටුනි.

පසුගිය සතියේ බදාදා වෝල් වීදියේ දර්ශක වාර්තාගත ඉහල මට්ටමකට නැඟීම සමඟ බලන කල වැටීමේ වේගය මැනිය හැකිය. ඩව් දර්ශකය 30,000  ස්පර්ෂ කරන තරම් ඉහල ගියේය. ඊයේ එය විටින් විට 25,000 සීමාවට ද වඩා පහත වැටුනි.

වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් උපුටා දක්වන ලද, තරමක් විශ්මය ජනක ආයෝජන අරමුදල් කලමනාකරුවෙකු මෙසේ අදහස් දැක්වීය: “මෙය සැබවින්ම ඉක්මන්, සැබවින්ම ගැඹුරු සහ සමහර පැතිවලින් විශ්වාස කල නොහැකි තරම්ය.”

ලියුතෝල්ඞ් සමූහයේ ප්‍රධාන ආයෝජන මූලෝපායඥ ජිම් පෝල්සන් සීඑන්බීසී ව්‍යාපාරික නාලිකාවට පැවසුවේ “පූර්න අලකලංචියක්” පවතින බවත් එය ඔහුට සිහිගන්වන්නේ 1987 ඔක්තෝබරයේ නාටකාකාර කඩාවැටීම බවත්ය.

වෝල් වීදියේ “බිය පිලිබඳ දර්ශකය” ලෙස සැලකෙන වීඅයිඑක්ස් දර්ශකය ඊයේ දිනයේදී 47 ඉක්මවා ගියේය. මෙය ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු එහි එක් ඉහලම මට්ටමකි.

නැගෙන අර්බුදය සහ සැබෑ ආර්ථිකයට එහි බලපෑම් පිලිබඳ තවත් ඇඟවුමක් වන්නේ, දස අවුරුදු එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ අඛන්ඩව පහත වැටීමයි. ආයෝජකයින් ආරක්ෂිත ස්ථාන සොයා දිවයාම නිසා ඊයේ එය වාර්තාගත සියයට 1.157 ක් දක්වා පහල ගියේය.

ෆෙඩරල් මහ බැංකු සභාපති ජෙරොම් පවෙල් විසින් කරන ලද ප්‍රකාශයකින් පසු ඊයේ පහත වැටීම කෙටි කාලයකට නතර විය. ඔහු පැවසුවේ පොලී අනුපාත තවදුරටත් අඩු කිරීම ගැන තමන් සලකා බලන බවය. එහෙත් මෙය කෙටි කාලීන වූ අතර වැටීම නැවත ආරම්භ විය.

ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රකාශය අනුව, එක්සත් ජනපද ආර්ථිකයේ මූලධර්ම “ශක්තිමත්ව පවතින අතර” කොරෝනා වෛරසය “නැගෙන අවදානම්” ඇති කරයි.  මහ බැංකුව වර්ධනයන් “සමීපව අධීක්ෂනය” කරමින් සිටින අතර “අපගේ මෙවලම් භාවිතා කර ආර්ථිකයට ආධාර කිරීම සඳහා සුදුසු පරිදි ක්‍රියා කරනු ඇත.”

මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කරනු ලැබීම බොහෝ දුරට නිශ්චිතය. සමහර විට එහි නියමිත මාර්තු රැස්වීමට පෙර පවා. අවම වශයෙන් 0.25 කින් සහ සියයට 0.50 කින් අඩු කල හැකිය. එහෙත් කොටස් වෙලඳපොලට විභව කෙටිකාලීන තල්ලුවක් ලබා දීමට අමතරව, ඕනෑම අනුපාත කප්පාදුවක් සුලු හෝ කිසිදු බලපෑමක් ඇති නොකරනු ඇත.

මෙයට හේතුව, කොරෝනා වෛරසය ආර්ථිකයට ඇති කරන අන්තරායන් සම්බන්ධ වන්නේ ඉල්ලුමේ ඌනතාවකට නොව නිෂ්පාදනය ඇන හිටීමට නිසාය.

හිටපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඔලිවියර් බ්ලැන්චාර්ඞ් කියා සිටියේ, ෆෙඩරල් මහ බැංකුව පදනම් පොලී අනුපාතය සියයට .25 කින් අඩු කිරීම  වැඩි වෙනසක් ඇති නොකරන බවයි. මක්නිසා ද යත් කොරෝනා වෛරසය නියෝජනය කරන්නේ, සැපයුම් කම්පනයක් නිසාය. එයින් කම්කරුවන් නිෂ්පාදනයෙන්  ඉවත් කෙරේ.

“අනුපාත අඩු කිරීම සංකේතාත්මක නමුත් ප්‍රයෝජනවත් නොවනු ඇත” යයි ඔහු පැවසීය.

එංගලන්ත බැංකුවේ නියෝජ්‍ය අධිපති ශ්‍රීමත් ජෝන් කුන්ලිෆ් ලන්ඩනයේ පැවති සංසදයකදී ආර්ථික විද්‍යාඥයින් අමතා පැවසුවේ, කොරෝනා වෛරසය “මුලුමනින්ම සැපයුම් කම්පනයක්” බව ඔප්පු වුවහොත් අපට ඒ පිලිබඳව කල හැකි දේ ඉතා ස්වල්ප බවයි.

ඊයේ වෝල් වීදිය තවත් පහත වැටුනේ ආසියානු හා යුරෝපීය වෙලඳපොලවල කොටස් විකුනා දැමීම් වලින් පසුවය.  පසු පසුගිය සතිය තුල ඒවා අවම වශයෙන් සියයට 10 කින් පහත වැටුනි. ස්ටොක්ස් යුරෝප් 600 දර්ශකය ඊයේ සියයට 3.5 කින් පහත වැටුනු අතර ජපාන, දකුනු කොරියානු සහ ඕස්ට්‍රේලියානු වෙලඳපොලවල් සියල්ලම සියයට 3ට වඩා පහත වැටුනි.

සෑම මූල්‍ය කුනාටුවකටම ආවේනික වූ සුවිශේෂතා ඇති නමුත් මෙය පෙන්නුම් කරන්නේ, කොටස් වෙලඳපොල පවත්වා ගෙන ගිය දිගුකාලීන යාන්ත්‍රනයන් බිඳ වැටීමට පටන් ගෙන ඇති බවයි. පසුගිය දශක තුන හා ඊට වැඩි කාලය තුල, 1987 කොටස් වෙලඳපොල කඩාවැටීම දක්වා දිවෙන, එක්සත් ජනපද මහ බැංකුව ඕනෑම සැලකිය යුතු පසුබෑමක දී වෙලඳපොලට මුක්කුවක් ලෙස ක්‍රියා කර ඇත.

එය විශාල වශයෙන් වත්කම් වටිනාකම් උද්ධමනය කරමින්, කම්කරු පන්තියේ සිට මූල්‍ය ප්‍රභූව කරා ධනය මාරු කිරීමේ ප්‍රධාන යාන්ත්‍රනය ලෙස කොටස් වෙලඳපොලට ක්‍රියාත්මක වීමේ හැකියාව ලබා දුන්නේය.

මෙම වාර්තාවට අනුව, ෆෙඩරල් මහ බැංකුව යලිත් වරක් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වනු ඇතැයි ද කෙරෝනා වෛරස් අර්බුදය සහ එහි ආර්ථික බලපෑම් බොහෝ දුරට චීනයට පමනක් සීමා විය හැකි අතර සාපේක්ෂව කෙටිකාලීන වනු ඇතැයි යන විශ්වාසයත් පැවතුනි. වසරේ ආරම්භයත් සමඟ ගෝලීය කොටස් වෙලඳපොලවල නැඟීමට යටින් පැවතුනේ මේ තත්වයයි.

වෛරසය සහ එහි ආර්ථික බලපෑම් යන දෙකම පැතිරෙමින් පවතින බව පැහැදිලි වෙමින් තිබියදීත් දින දහයකට පෙර, වෝල් වීදිය වාර්තාගත ඉහල මට්ටමකට ලඟා විය.

එතැන් සිට, එස් ඇන්ඞ් පී 500 දර්ශකය සියයට 12 කින් පහත වැටී ඇත. එය ඉතිහාසයේ වාර්තාගත ඉහලම මට්ටමේ සිට ඊනියා “නිවැරදි කිරීමේ” මට්ටම් කරා  වේගයෙන් පහත වැටී ඇති අතර, ඩොලර් ට්‍රිලියන 3.4 ක් පමන කොටස් වටිනාකම් අතුගා දැමුනි.

ෆෙඩරල් මහ බැංකුව එකී මාවතේ ඉදිරියට යාමට තීරනය කලහොත්, පොලී අනුපාත කප්පාදුවක් සහ ප්‍රමානාත්මක ලිහිල් කිරීමක් තුලින් තවදුරටත් මුදල් එන්නත් කිරීම වෙලඳපල  පිලිගන්නවා ඇත. කොරෝනා වයිරසය පැතිරීම නිසා කඩාකප්පල් වූ නිෂ්පාදන නැවත ආරම්භ කිරීම සහ ගෝලීය සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය ක්‍රියාමාර්ගවලට කිසිවක් කල නොහැකි බැවින් බලපෑම් සීමා වනු ඇත.

තව ද 2008 අර්බුදයෙන් පසු, මූල්‍ය වෙලඳපොලවල නැගීම සුරක්ෂිත කල, ඇමරිකානු හා අනෙකුත් මහ බැංකු විසින් ගනු ලැබූ එම ක්‍රියාමාර්ගම,  නය ඉහල යාමේ සහ විශේෂයෙන් ව්‍යාපාරික නයවල මුල් බැසගත් තවත් ව්‍යසනයකට කොන්දේසි නිර්මානය කර තිබේ.

පොලී අනුපාත කප්පාදුව සහ ප්‍රමානාත්මක ලිහිල් කිරීම තුලින් මූල්‍ය වෙලඳපොලවලට අතිශය ලාභ මුදල් පොම්ප කිරීමේ ප්‍රතිපලය වී ඇත්තේ, ව්‍යාපාරික බැඳුම්කරවලින් අති බහුතරයක්, ඊනියා සුන්බුන් (ජන්ක්)  බැඳුම්කර ලෙස හඳුන්වන, ආයෝජන මට්ටමේ තත්වයට වඩා අඩු මට්ටමක පැවතීම හෝ සුන්බුන් තත්වයට අංක 1ක් පමනක් ඉහලින් ඇති,  බීබීබී ශේනිය තුලට වැටීමයි. 

මෙයින් අදහස් කරන්නේ, අවපාතය හෝ සැලකිය යුතු පසුබෑමක්, දශකයකට පෙර පැවති මූල්‍ය අර්බුදයට වඩා බරපතල මූල්‍ය අර්බුදයක් ඇති කල හැකි බවයි. මේ වසරේ එක්සත් ජනපද ලාභ වර්ධනය ශුන්‍ය වනු ඇති බවටත් ගෝලීය වර්ධනය 2009 සිට අත්විඳ නැති මට්ටම්වලට වැටෙනු ඇති බවටත් දැනටමත් අනතුරු ඇඟවීම් තිබේ.

මුලුමනින්ම බලාපොරොත්තු නොවූ ආර්ථික කම්පනයකින් යුත් මෙම ඊනියා “කලු හංසයා” සිද්ධියේ නිශ්චිත ප්‍රතිපල ගැන අනාවැකි කිව නොහැකි වුවත්, එක් දෙයක් නිශ්චිතය. කොරොනා වෛරසය පැතිර යාමේ ආර්ථික හා මූල්‍යමය බලපෑම් තවදුරටත් ගැඹුරු වුවහොත්, මූල්‍ය කතිපයාධිකාරය ආරක්ෂා කිරීම සඳහා,  විධායක කමිටු ලෙස එක්සත් ජනපදයේ සහ ලොව පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය හා මූල්‍ය බලධාරීන්ගේ ප්‍රතිචාරය සමාන වනු ඇත.

තවත් රැකියා විනාශ කිරීම, වැටුප් පහත හෙලීම සහ දිගින් දිගටම සමාජ සේවා වැනසීම තුලින්, කම්කරු පන්තියේ සමාජ තත්වයන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කරනු ඇත. මෙය හුදු පුරෝකථනයක් නොවේ. එය 2008  මූල්‍ය අර්බුදයෙන් පසු ඓතිහාසික වාර්තාව තුලින් ඉස්මතු වේ. එහි ප්‍රතිවිපාකවලින් එකක් වන්නේ, නිමක් නැති කප්පාදු හේතුවෙන්, සෑම රටකම කොරෝනා වෛරස් ආසාදනයන්ට මූන දීමට සෞඛ්‍ය සේවාවන්ට ඇති හැකියාව අවම කරයි.

Loading