ඉදිරිදර්ශන

ඩෙමොක්‍රටික් පක්ෂය සැන්ඩර්ස්ට එරෙහිව රුසියානු මැදිහත්වීම පිලිබඳ අපවාද නගයි

මෙම ලිපිය 2020 පෙබරවාරි 24 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

නෙවාඩා ප්‍රාන්ත පක්ෂ සාමාජික ඡන්දයේ දී බර්නි සැන්ඩර්ස්ගේ ජයග්‍රහනය ඩෙමොක්‍රටික්  පක්ෂ සංස්ථාපිතයේ මෙන් ම ඩෙමොක්‍රටික්  පක්ෂයට ගැති නිව්යෝක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් පත්‍ර සහ සීඑන්එන් හා එම්එස්එන්බීසී රූපවාහිනී මාධ්‍ය ආයතනවල සෑන්ඩර්ස්  විරෝධී උමතුව උග්‍ර කර තිබේ. මෙය 2020 මැතිවරනයේ දී සෑන්ඩර්ස්ගේ අපේක්ෂකත්වයට සහය දැක්වීම සඳහා රුසියානු මැදිහත්වීම පිලිබඳ ගොතන ලද චෝදනාවල නව වටයක රූපාකාරක් ගෙන ඇත.

මෙම ප්‍රබන්ධය ඉරිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ විස්තාරනය කර ඇත්තේ, මිලිටරි බුද්ධි අංශවලට අවශ්‍ය ඕනෑම කතාවක් පුවත්පතේ පා කර හැරීම සඳහා එකී පුවත්පතේ වඩාත්ම විශ්වාසදායක ලඝුලේඛකයා වන ඬේවිඞ් සැන්ගර් විසිනි. “අරාජකත්වය ඇති කිරීමට යත්න දරමින් මොස්කව් එක්සත් ජනපදය තුල තම ලන්සු තබයි” යන මාතෘකාව යටතේ සැන්ගර්, 2020 මැතිවරනයේ දී සෑන්ඩර්ස් උපකල්පිත රුසියානු සහයෝගයේ ප්‍රතිලාභියා ලෙස සලකයි.

සැන්ගර්ට කූට “විශ්ලේෂන” පිලිබඳ දිගු වාර්තාවක් ඇත. ඔහුගේ කර්තෘ නාමය  යටතේ පලවෙන කතන්දර සාමාන්‍යයෙන් පදනම් වී ඇත්තේ නම් නො කල ඔත්තුසේවා මූලශ්‍රයන් මත ය. සැන්ගර් විශ්ලේෂනයක කැපී පෙනෙන ලක්ෂනය වන්නේ එය සාමාන්‍යයෙන් හඳුනාගත හැකි සත්‍ය කරුනු පදනම් කර නො ගැනීම යි. ඔහු දුර්වල ලෙස ගොඩනගන කථාවස්තූන් සහිත තුන්වන මට්ටමේ ඔත්තු කථා ලියූ කලකිරුනු ලේඛකයෙකුට වඩා පහල මට්ටමේ වාර්තාකරුවෙකි.

බර්නි සැන්ඩර්ස් සිකුරාදා ලාස් වේගාස් හි ස්ප්‍රින්ග්ස් ප්‍රෙසර්ව් හි පැවති මැතිවරන ප්‍රචාරක රැලියකදී කථා කරයි ඤඒපී ඡායාරූපය / පැට්රික් සෙමන්ස්කි%

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සෑන්ඩර්ස්ට සහාය දක්වන බවට හෝ ඔහුගේ උද්ඝෝෂනයට සහාය වීමට කිසිවක් කර ඇත යි යන තර්කයට සහය දැක්වීම සඳහා හෝ සැන්ගර් මෙම නවතම ත්‍රාස කථාව තුල කිසිදු කරුනක් ඉදිරිපත් නො කරයි.

නම් නොකල “ඔත්තුසේවා විශ්ලේෂකයින්”, “බාහිර ප්‍රවීනයන්”, හා “විශ්ලේෂකයින්” හැරුනු විට සැන්ගර් වර්තමාන හා හිටපු බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වයි. රුසියාව පිලිබඳ හිටපු ජාතික බුද්ධි අංශ නිලධාරි ද, මේ වන විට  ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක මෙන්ම, පුටින්ගේ ලෝකය: රුසියාව බටහිරට එරෙහි ව හා සෙස්සන් සමග යන ග්‍රන්ථයේ කතුවරිය වන ඇන්ජෙලා ස්ටෙන්ට් ද ඔවුන් අතර වේ. ඇය සෑන්ඩර්ස් ගැන ඇත්ත වශයෙන් ම කිසිවක් නො කියයි.

වික්ටෝරියා නුලන්ඞ් ද උපුටා දැක්වේ. ඈ කයිවාරු ගැසූ පරිදි, යුක්රේනයේ වික්ටර් යානුකොවිච්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ ආන්ඩුව අස්ථාවර කර, නෙරපා හැරීමට  ඩොලර් බිලියන 5ක් වූ එක්සත් ජනපද ප්‍රයත්නය තුල,  2014 දී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල නූලන්ඞ්, මැතිවරනවල විදේශ කඩාකප්පල් කිරීම පිලිබඳ විශේෂඥවරියකි.

“දේශපාලනය රැඩිකලීකරනය කරන මෙන් ම එක්සත් ජනපදයේ කේන්ද්‍රීය අදහස් හා එක්සත්කමට හානි කරන ඕනෑම චරිතයක් පුටින්ගේ රුසියාවට හොඳය” යනුවෙන්  පැවසීමට වඩා සැන්ගර්ගේ කතන්දරයට සහය දැක්වීමට කිසිදු සාක්ෂියක් නූලන්ඞ් ඉදිරිපත් නො කරයි. වෙනත් වචන වලින් කිවහොත්, පුටින්ගේ පන්දමෙකු ලෙස සෑන්ඩර්ස් ක්‍රියා කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රතිපත්ති සීඅයිඒ අනුග්‍රහය දක්වන ඩෙමොක්‍රටික්  පක්ෂ අපේක්ෂකයින්ගෙන් වමේ වන බැවිනි.

සැන්ගර්, “බදු හා වෛද්‍ය රැකවරනය වැනි රජයේ වැඩසටහන් විශාල ලෙස ව්‍යාප්ත කිරීම ක්” සඳහා වන සෑන්ඩර්ගේ සහයෝගය තුල පුටින්ගේ බලපෑම සොයා ගන්නේ, මෙය ඇමරිකානු සමාජය මොස්කව්වලට වාසිදායක අයුරින් බෙදන බව පවසමිනි.

දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සයිබාරක්ෂන හා යටිතල පහසුකම් ආරක්ෂා  ඒජන්සියේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් ද සැන්ගර් විසින් නම් කර ඇත. සැන්ගර්ස් “2016 දී ඔවුන් කල වැරදිවලින් ඉගෙන ගනිමින්, රුසියානු ක්‍රියාකාරීන් වඩාත් පරෙස්සම් සහගත වන්නේ කෙසේ දැයි ලේඛනගත කිරීම තුල” ඔහුගේ(ක්‍රෙබ්ගේ) කාර්යභාරය උපුටා දක්වයි. මෙම රුස්කි (රුසියානු)ඒජන්තයින් කොතරම් දරුනු ලෙස දක්ෂ ද යත්, ඔවුහු ඇමරිකානු මැතිවරන මෙහෙයවීමේ තම ද්‍රෝහී උපාමරුවල සියළු ම සලකුනු සාර්ථකව සඟවති.

සැන්ගර්ගේ මවා ගත් ලෝකය තුල, රුසියානු මැදිහත්වීම පිලිබඳ සාක්ෂි නොමැති වීම ම එහි නොමග යැවීම පිලිබඳ සාක්ෂියකි. ඔහුගේ කතන්දරය සෙනෙට් සභික ජෝශප් මැකාතිගේ “අතිමහත් කුමන්ත්‍රනයක්” පිලිබඳ කොමියුනිස්ට් විරෝධී ආයාචනාවල අද දවසේ අනුවාදයකි.

පුටින්ගේ අඬුවලින් කිසිම ඇමරිකානුවෙක් ආරක්ෂා නොවේ. රුසියාව “ෆෙස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍යවල සැක නොකරන ඇමරිකානුවන්ට වැරදි තොරතුරු සපයමින් සිටී. වේදිකාවල කුමන්ත්‍රන න්‍යායන් සහ පදනම් විරහිත ප්‍රකාශයන්ගේ බීජ වැපිරීම මගින් රුසියානුවන් බලාපොරොත්තු වන්නේ සෑම දිනම ඇමරිකානුවන් එම අසත්‍යයන් තමන්ගේ ගිනුම් වලින් නැවත සම්ප්‍රේෂනය කරනු ඇති” බව යැයි සැන්ගර් කියා සිටියි. 

භාෂනයේ  නිදහස පැවතීම ගැන කනගාටුවෙන් යුතු ව ඔහු නිගමනය කරන්නේ, “නො දැනුවත්වම පවා රුසියානු කතන්දර ගිරවුන් මෙන් කියවනවා විය හැකි, සැබෑ ඇමරිකානුවන්ගේ වචන තහනම් කිරීම වඩා දුෂ්කර ය” යනුවෙනි.

රුසියානු විරෝධී ආඛ්‍යානවලට  ඇමරිකානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වඩාත් දුෂ්පූර්වනිමිති සහිත ඇඟවුම් තිබේ. නිව්යෝක් ටයිම්ස් ඇඟවුම් කරන්නේ එක්සත් ජනපදය තුල ඕනෑම සමාජ අතෘප්තියක්, හා විශේෂයෙන් ම වඩා  වැඩි වන සමාජ අසමානතාව පිලිබඳ වැඩෙන කෝපය ප්‍රකාශ කිරීම  “රුසියානු කථා පෙල ගිරවුන් මෙන් කියවීම” ලෙස නීති විරෝධී කර, නීතියේ රැකවරන අහිමි කල හැකි බව යි.

සෑන්ඩර්ස් රුසියානු සහයෝගයේ ප්‍රතිලාභියා බවට ඔත්තුසේවා ඒජන්සි විසින් කරන ලද ප්‍රකාශ ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ ප්‍රමුඛ පුද්ගලයින් විසින් භාරගෙන තිබේ. ඔබාමා ධවල මන්දිරයේ හිටපු මාන්ඩලික ප්‍රධානී මෙන් ම චිකාගෝවේ හිටපු නගරාධිපති රාම් එමානුවෙල්, ඉරිදා ඒබීසී නිවුස්  හි “මේ සතිය” සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා සිටියේ ඩෙමොක්‍රටික් ජනාධිපති තරඟයේ ‍සෑන්ඩර්ස්ගේ නැගීම, ට්‍රම්ප් නැවත තේරී පත්වීම සහතික කිරීම සඳහා පුටින් හා ට්‍රම්ප් විසින්, විය හැකි දුර්වලම ප්‍රතිවාදියා තෝරා ගැනීම පිලිබඳ කාරනයක් බව යි.

මෙම ප්‍රතික්‍රියා “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය” යන ලේබලය යටතේ සෑන්ඩර්ස් ඉදිරියට දමන දුර්වල මෙන් ම මුලුමනින්ම නිෂ්ක්‍රීය අනුවාදයේ දී පවා ඩෙමොක්‍රටික්  නායකත්වයේ පාර්ශ්වයෙන් සමාජවාදය කෙරෙහි ඇති දැඩි වෛරයේ හුදු ප්‍රකාශනය නො වේ. ආර්ථික අසමානතාව ගැන එහි අවධාරනය සහ ප්‍රකෝටිපතියන් හා සංගත ඇමරිකාවට එරෙහි මහජන සතුරුකමට ආයාචනා කිරීමේ සෑන්ඩර්ස් උද්ඝෝෂනය, ඩෙමොක්‍රටික්  නායකත්වයේ දේශපාලන න්‍යාය පත්‍රය බිඳ දමනු ඇත.

ඩෙමොක්‍රටික්  පක්ෂ සංස්ථාපිතයට දිගු කලක් තිස්සේ අවශ්‍ය වී ඇත්තේ ට්‍රම්ප්ට එරෙහි 2020 මැතිවරන ව්‍යාපාරය තම ‍රුසියානු විරෝධී උද්ඝෝෂනයේ දිගුවක් ලෙස ගෙන යාමට ය. එම උද්ඝෝෂනය ම්‍යුලර් වාර්තාව සකසා ඊට පසු රුසියාව සමග එහි  යුද්ධය සඳහා යුක්‍රේනයට මිලිටරි ආධාර ප්‍රමාද කිරීම වෙනුවෙන් දෝෂාභියෝගය නිර්මානය කලේ ය. එය සෙනෙට් සභාවේ දී අවසන් වුයේ ඔහු නිදොස් කරමිනි. ”‍සියලු‍ මාර්ග ගමන් කරන්නේ රුසියාවට”‍ යි පුනුරුච්ඡානය කිරීමේ දී කොංග්‍රස් මන්ඩල කතානායිකා නැන්සි පෙලෝසි කිසිසේත් වෙහෙසට පත්වන්නේ නැතිවාක් මෙනි.

ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝජිතයෙකු හෝ පන්දම්කාරයෙකු යන ප්‍රකාශය මත 2020 ජනාධිපති අපේක්ෂකයා කේන්ද්‍රගත කිරීමට මෙන් ම මොස්කව්වල මැදිහත්වීමට එරෙහිව  “අපගේ” බුද්ධි අංශවල සහ “අපේ” රාජ්‍ය තාන්ත්‍රිකයින් හා ජනරාල්වරුන්ගේ ආරක්ෂකයින් ලෙස ඩෙමොක්‍රටිකයින් ඉදිරිපත් කිරීමට ඩෙමොක්‍රටික් පක්ෂයට අවශ්‍ය වී ඇත. 

ට්‍රම්ප් නෙරපා හැරීමේ එවැනි උද් ඝෝෂනයක් සාර්ථක වන අවස්ථාවක දී, ප්‍රතිඵලය ඉදිරිපත් කෙරෙනු  ඇත්තේ ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් අතර විවෘත යුද්ධයක අපේක්ෂාව තර්ජනය කරමින්, රුසියාවට මෙන්ම චීනයට ද එරෙහිව මිලිටරි උත්සන්න කිරීම සඳහා වූ ජනවරමක් ලෙස ය. කෙසේ වෙතත්, ප්‍රතිඵලය කුමක් වුවත්, රුසියානු විරෝධී උමතුව කෙරෙහි යොමු වූ ව්‍යාපාරයක් ඇමරිකාවේ වැඩිවෙමින් පවතින සමාජ ආතතීන් මැඩපැවැත්වීමට හා කම්කරු පන්තිය තුල කැකෑරෙන කෝපයේ දේශපාලන ප්‍රකාශනය අවහිර කිරීමට උපකාරී වනු ඇත.

සෑන්ඩර්ස්ගේ නැගීමට පක්ෂ සංස්ථාපිතය දැක්වූ ප්‍රතිචාරය අවධාරනය කරන්නේ ඩෙමොක්‍රටික්  පක්ෂය පාලනය කරනු ලබන්නේ ඔත්තුසේවා අංශ හා මූල්‍ය ප්‍රභූන් විසින් මිස ප්‍රාථමික ප්‍රාන්ත මැතිවරන (primaries)  හා පාක්ෂික ඡන්ද විමසීම් (caucuses) වල දී ඡන්දය දෙන මිලියන සංඛ්‍යාත ජනතාව නොවන බව යි. ඩෙමොක්‍රටික්  පක්ෂය යනු ධනවාදී පක්ෂයක් මෙන් ම ඇමරිකාවේ පැරනිතම පක්ෂය වේ.එය මාධ්‍ය ප්‍රචාරය හා කැත උපක්‍රමවල සිට සම්පූර්න ප්‍රචන්ඩත්වය දක්වා, තම සන්තකයේ ඇති සියළු ක්‍රමවේද යොදා ගනිමින්, පාලනය කිරීමට හා මෙහයවීමට පාලක පන්තිය සටන් කරනු ඇති ආයතනයකි. 

ඩෙමොක්‍රටික්  පක්ෂ සංස්ථාපිතයේ ප්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ සෑන්ඩර්ස්ගේ දේශපාලන මූලෝපායේ බංකොලොත් භාවයයි. සමාජ වෙනස්කම් සඳහා වාහනයක් ලෙස සෑන්ඩර්ස් විසින් හඳුන්වන පක්ෂය පහලින් එන සෑම මහජන අභියෝගයක් ම යටත් කිරීම හා විනාස කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට, දේශපාලනික යකඩ සැට්ටයකි.

ඔහුගේ වෙනස් නොවන සුලු‍ භාවිතය මෙන්ම, රුසියානු ඇම දීම් පිලිබඳ තමන්ට එරෙහි වේගවත් ප්‍රහාරයට සෑන්ඩර්ස් ප්‍රතිචාර දක්වා ඇත්තේ, රුසියාව සත්‍ය වශයෙන්ම එක්සත් ජනපද දේශපාලනයට සැලකිය යුතු මැදිහත්වීමක නිරත වී ඇති බවට ඇති පදනම් විරහිත චෝදනාව වලංගු කරමිනි. ඒ අතරම, ඔහු තම නව “පෙරමුනු ධාවකයා ” තත්වයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ,  ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ බිය සැක දුරු කිරීමට උත්සාහ කරමිනි. 

සීබීඑස් “මිනිත්තු 60” වැඩසටහනේ ඉරිදා රාත්‍රියේ තම සම්මුඛ සාකච්ඡාවේ දී , ඔහු තම ව්‍යාපාරය “විප්ලවය” ඉල්ලා සිටින බවට කල යෝජනාව අවතක්සේරු කලේ, එම සටන් පාඨය කෙරෙහි අවධානය යොමු කිරීමට තමාට අවශ්‍ය නැති බව පවසමිනි. 

ඔහු සාකඡ්චා කල මාධ්‍ය වේදියා වන ඇන්ඩර්සන් කූපර්ට කියා සිටියේ තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් මිලිටරි බලය යෙදවීමට “නියත වශයෙන්ම” කැමැත්තෙන් සිටින බවත් “ලෝකයේ හොඳම හමුදාව අප සතුව ඇති” බවටත් පුරසාරමකි.

ඔහු රැඩිකල් දේශපාලන වෙනසක දූතයෙකු ලෙස සලකන ඔහුගේ බොහෝ ආධාරකරුවන් කලකිරීමට පත් කරමින් සැන්ඩර්ස් දැනටමත් සහන හා ගැලපීම් කරමින් සිටී. මහජන විරෝධය ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල තබා ගැනීමට ඔහු දැරූ උත්සාහයේ නොවැලැක්විය හැකි ප්රතිපලය මෙයයි. ඩිමොක්රටික් පක්ෂය වෙනස් කරන බවට ඔහු ප්රකාශ කරන අතරම ඩිමොක්රටික් පක්ෂය ඔහුව වේගයෙන් වෙනස් කරමින් සිටියි.

ඩෙමොක්‍රටික්  පක්ෂයේ කුමන්ත්‍රනවලට සැබෑ පිලිතුර වන්නේ පක්ෂ දෙකට ම මෙන් ම  සමස්ත ධනවාදී පද්ධතියට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීමේ අරගලය යි. සිය මැතිවරන ව්‍යාපාරයේ දී සමාජවාදී සමානතා පක්ෂය සහ එහි අපේක්ෂකයින් වන ජෝසප් කිෂෝර් සහ නොරිස්සා සැන්ටා කෘස් කම්කරු පන්තිය හා තරුනයින් තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමේ අරගලයේ පෙරමුන ගෙන සිටිති.

Loading