සිරියාවේ තුර්කි හමුදාවන්ට පහර දීමත් සමඟ යුද ආතතීන් උත්සන්න වේ

මෙම ලිපිය 2020 පෙබරවාරි 29 දින ඉංග්‍රීසියෙන් පලවිය. 

ලෝක ආන්ඩු, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නේටෝ සන්ධානය, සිරියාවේ උතුරු ඉඞ්ලිබ් පලාතේ පවතින යුද ආතතීන් සමහන් කරන ලෙසට කරන ලද ඉල්ලීම් මධ්‍යයේ, තුර්කිය සහ රුසියාව අතර පූර්න පරිමානයේ  මිලිටරි ගැටුමක තර්ජනයක් මතුව තිබේ. එය විනාශකාරී ලෝක යුද්ධයකට තුඩු දිය හැකිය. 

සොල්දාදුවන් දුසිම් තුනකගේ පමන, එක් වාර්තාවකට අනුව මියගිය අය 50 ක් පමන විය හැකි, ජීවිත විනාශ කල,  තුර්කි මධ්‍යස්ථාන වලට එල්ලවූ 27දා ප්‍රහාරයත් සමඟ සිරියානු අරාබි හමුදා ඒකකවලට එල්ලවූ පලිගැනීමේ ප්‍රහාර හමුවේ, සිරියාව තුල ප්‍රතිවිරුද්ධ අරමුනු ඇතුව ක්‍රියා කරන තුර්කිය සහ රුසියාව, ප්‍රචන්ඩ ක්‍රියා පිලිබඳව දෙන හේතු එකිනෙකට බෙහෙවින් ප්‍රතිවිරෝධී ය.

අඛන්ඩ යුද තර්ජනයේ නොවරදින සංඥාවක් ලෙස රුසියානු නාවික හමුදාව නිවේදනය කලේ, කලු මුහුදේ සිට මධ්‍යධරනී මුහුද දක්වා වන මුහුදු කලාපය වෙත  කලිබර් කෘස් මිසයිල වලින් සන්නද්ධ යුද නැව් දෙකක් 27දා නැවත එහි යවා ඇති බව ය. එසේම සන්නද්ධ ෆ්‍රිගේට් ප්‍රහාරක නැවක් දැනටමත් එහි ඇත. ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩෝගන්ගේ ආන්ඩුව, ඉඞ්ලිබ්හි යොදා ඇති 10,000 කට ආසන්න තුර්කි හමුදා සේනාංකයන්ට සෘජු තර්ජනයක් එල්ල කරමින් මෙම යුද නැව් තුන සිරියානු වෙරලට ඔබ්බෙන් ක්‍රියාත්මක වනු ඇත.

අර්ඩෝගන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිකුරාදා දුරකථනයෙන් කතා කලහ. සංවාදය පිලිබඳව ක්‍රෙම්ලිනයේ  කියවීමකට අනුව, දෙදෙනාම ඉඞ්ලිබ්හි උත්සන්න වන ගැටුම පිලිබඳව “දැඩි කනස්සල්ල පල කල” අතර “රුසියාවේ සහ තුර්කියේ ආරක්ෂක අමාත්‍යාංශ අතර වඩාත්  පලදායී සම්බන්ධීකරනයක වැදගත්කම” පිලිබඳව එකඟ වූහ.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු වාර්තා කලේ, අර්බුදය සමනය කිරීමට උත්සාහ දරමින් ජනාධිපතිවරුන් දෙදෙනා ලබන සතියේ මොස්කව්හිදී හමුවනු ඇති බවයි.

එහෙත් තුර්කි හමුදාවන්ට 26දා  එල්ලවූ ප්‍රහාරයට හේතුවූ කරුනු සම්බන්ධයෙන් ඔවුන්ගේ ආරක්ෂක අමාත්‍යාංශ විසින් ලබා දුන් තොරතුරු අතිශයින්ම පරස්පර විරෝධීය. රුසියානු හමුදා නොව සිරියානු හමුදාව විසින් මෙම ප්‍රහාරය සිදු කල බවට දෙපාර්ශ්වයම එකඟ වූ අතර, තුර්කිය එය ගුවන් ප්‍රහාරයකින් සිදුව ඇති බවට දොස් පැවරීය. (ඉඞ්ලිබ් හි බොහෝ ගුවන් ප්‍රහාරයන්ට සම්බන්ධවී ඇත්තේ රුසියාව වුවත් මොස්කෝව කියා සිටියේ තම යුද ගුවන් යානා එම ප්‍රදේශයේ පියාසර නොකල බවයි) රුසියාව පැවසුවේ  සිරියානු කාලතුවක්කු ප්‍රහාරයකින් හමුදා භටයින් මිය යන්නට ඇති බවයි. සිරියාවේදී සිදුව ඇති මරන සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සිරියාවට දොස් පැවරීමෙන් පෙන්නුම් කරන්නේ, සෘජු රුසියානු-තුර්කි ගැටුමක් වලක්වා ගැනීමට ඇති ඔවුන්ගේ අභිලාෂයයි. 

තුර්කිය තම හමුදා සිටින ස්ථානය පිලිබඳව රුසියානු මිලිටරියට දන්වා ඇති බවත්, මෙම තොරතුරු සිරියානු රජයේ හමුදාවන්ට ලබා දීම ගැන මොස්කෝව වගකිව යුතු බවත් කියා සිටියේය. “මෙම ප්‍රහාරය අතරතුර අපේ මිලිටරි ඒකක වටා සන්නද්ධ කන්ඬායම් නොසිටි බව  ප්‍රකාශ කිරීමට අවශ්‍යයි,” තුර්කි ආරක්ෂක ඇමති හුලූසි අකාර් 27දා පැවසීය.

කෙසේ වෙතත්, රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් චෝදනා කලේ, තුර්කි හමුදා, “ත්‍රස්තවාදී කන්ඬායම්වල සටන් විලාසය” අනුගමනය කල බවත්, රුසියානු හමුදාවට කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව “ඔවුන් නොසිටිය යුතු” ප්‍රදේශයකට යවා ඇති බවටත් ය. ඊනියා           “මධ්‍යස්ථවාදීන්ට“ විරුද්ධ “රැඩිකල්“ කැරලිකරුවන්, ඔවුන්ගේ බර අවි, රොකට් පද්ධති හා මෝටාර් ද සමඟ සටන් විරාමයෙන් බැහැර කල යුතු විය.

සිරියාවේ අරාබි හමුදාව සහ තුර්කි පිටුබලය ලබන මිලීෂියාවන් අතර මූලෝපායික නගරයක් වන සාරකෙබ්හි පාලනය මත කටුක සටනක් සිදුවන  සන්දර්භය තුල මෙම ප්‍රහාරය එල්ල වී ඇත.   සිරියාවේ අගනුවර වන දමස්කස් එහි දෙවන නගරය වන ඇලෙප්පෝ සමඟ සම්බන්ධ කරන ප්‍රධාන මහා මාර්ගයක් ඒ හරහා ගමන් කරයි. මේ සතිය මුලදී සිරියානු හමුදා නගරය අල්ලාගෙන සිටිය ද, ඊනියා “කැරලිකරුවන්” එය නැවත යටත් කර ගැනීමට සමත් විය.

සිරියානු ආන්ඩුව සහ එහි ප්‍රධාන සගයන් වන රුසියාව සහ ඉරානය, ඉඞ්ලිබ්හි විශාල ප්‍රදේශයක පාලනය යලි අත්කර ගැනීමට ප්‍රහාර දියත් කිරීම මඟින් මෙම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවට තුර්කිය චෝදනා කරයි. ආයුධ සන්නද්ධ ඩ්‍රෝන් යානා සහ කාලතුවක්කු වෙඩි තැබීම් ඇතුලු             “කැරලිකරුවන්ට” මිලිටරි සහාය ලබා දෙන අතරම,  “මධ්‍යස්ථයින්ගෙන්” රැඩිකලුන් වෙන් කිරීමට තුර්කිය අපොහොසත් වී ඇති බවට රුසියාව චෝදනා කරයි.

ඉඞ්ලිබ් හි ප්‍රධාන “කැරලිකාර” සටන් බලවේගය වන්නේ එක්සත් ජාතීන් විසින් ද ත්‍රස්තවාදී පෙරමුනක් ලෙස නම් කරන ලද හයාත් තහීර් අල්-ෂාම් ය. කලින් අල් කයිඩාවට බැඳී සිටි සිරියානුවෙක් විසින් මෙම සංවිධානය මෙහෙයවනු ලබයි. අයිඑස්අයිඑස් විරෝධී (ඉරාක හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය) ව්‍යාපාරය භාරව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද තානාපති බ්රොට් මැක්ගර්ක්, ඉඞ්ලිබ් පලාත විස්තර කලේ “9/11 සිට විශාලතම අල්කයිඩා ආරක්ෂිත ස්ථානය” සහ “විශාල ගැටලුවක්” ලෙස ය. තමන්ගේ පැත්තෙන් රුසියාව, ත්‍රස්තවාදය වැපිරීමට සහ තම භූමිය කපා වෙන් කර ගැනීමේ අරමුන ඇතිව ඉඞ්ලිබ්හි සංකේන්ද්‍රනය වී ඇති අල්කයිඩා සංවිධානයට සම්බන්ධ හමුදා, කොකේසස් වෙත යවනු ඇතැයි  බිය පල කරයි.

තුර්කි ආරක්ෂක ඇමති අකාර් 27දා කියා සිටියේ, තුර්කිය තම හමුදාවන්ට එල්ල කල ප්‍රහාරයට පලිගැනීම සඳහා, සිරියානු සොල්දාදුවන් 300 කට අධික සංඛ්‍යාවක් “නිහඬ” කරමින්, සිරියානු හෙලිකොප්ටර්, යුද ටැංකි සහ හොවිට්සර් කාලතුවක්කු දුසිම් ගනනක් විනාශ කර ඇති බවයි.

සිරියානු ආන්ඩුවේ ප්‍රකාශකයෙකු 27දා කියා සිටියේ, තුර්කි ප්‍රකාශයන් අතිශයෝක්තියට නංවා ඇති බවත් එය, “බිඳ වැටෙන ත්‍රස්තවාදීන්ගේ චිත්ත ධෛර්යය ඉහල නැංවීමේ උත්සාහයක්” බවත්ය.

නේටෝව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලය යන දෙපාර්ශ්වයම 27දා රැස්වී ඉඞ්ලිබ්හි ගැටුම පිලිබඳව සාකච්ඡා කලහ. තුර්කියේ ඉල්ලීම පරිදි නේටෝ රැස්වීම කැඳවනු ලැබීය.

නේටෝවේ ප්‍රතිචාරය, ශෝකය සහ සහයෝගිතාව ප්‍රකාශ කිරීමකි, නමුත් සිරියාවේ තුර්කි මෙහෙයුමට සැලකිය යුතු සහායක් නොලැබෙන බවට කල ඇඟවුමකි. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සිරියානු තන්ත්‍රය සහ රුසියානු හමුදා විසින් සිදුකරන ලද “අවිචාරවත්” ගුවන් ප්‍රහාර හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කල අතර “මෙම භයානක තත්වය” හමුවේ සියලු පාර්ශවයන් එය පැතිරයාම පාලනය කරන ලෙස ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද නේටෝ තානාපති කේ බේලි හචින්සන් සිරියාව සම්බන්ධයෙන් ගත් කල, “සියල්ල මේසය මත” ඇති බව ප්‍රකාශ කරමින් “අපි ඔවුන්ගේ අතීත සහ අනාගත මිතුරා බව එර්ඩෝගන් විසින් දැකගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි“ යයි පැවසීය. ඔවුන්  ී-400 (රුසියාවෙන් මිලට ගන්නා මිසයිල ආරක්ෂක පද්ධතීන්) අතහැර දැමිය යුතුයි. ” මෙය ඇන්කාරාවේ ඩොලර් බිලියන 2.5 ක ගනුදෙනුව පිලිබඳ සඳහනක් වන අතර, එමඟින් තුර්කිය සන්ධානයේ කක්ෂයෙන් ඉවත් වී මොස්කව් වෙත ගමන් කරන බවට එක්සත් ජනපදයෙන් සහ අනෙකුත් නේටෝ සාමාජිකයින්ගෙන් චෝදනා එල්ල වී තිබුනි.

තුර්කිය සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සහ සිරියාව සහ රුසියාව හෙලා දැකීම සඳහා මහා බි්‍රතාන්‍යයේ සහ අනෙකුත් නේටෝ බලවතුන්ගේ ඉල්ලීම පරිදි රැස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල සැසියකදී මහලේකම් ඇන්ටනියෝ ගුටරෙස් මෙසේ අනතුරු ඇඟවීය,  තව දුරටත් ඇතිවිය හැකි ඉඞ්ලිබ්හි සෘජු මිලිටරි ගැටුම් මඟින් “නාටකාකාර ප්‍රතිවිපාක“ ඇතිවිය හැකිය.  “තවත් උත්සන්න වීමේ අද්දරින් පසුබසින්න” කියා ඔහු සෑම පැත්තකින්ම ඉල්ලා සිටියේය. සටන් පාලනයකින් ඉවතට තල්ලුවී යාමේ අවදානම ගැන ඔහු මන්ඬලයට පැවසීය. “ඉඞ්ලිබ්හි සහ ඒ අවට රැඳී සිටින බලවේගවල පරිමාව සලකා බලන කල එය සැහැල්ලුවට ගත නොහැකිය.”

සිරියාව තුල අන්කාරාහි අරමුනු වලට සහාය දැක්වීම සඳහා යුරෝපීය නේටෝ බලවතුන් බ්ලැක්මේල් කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙමින් තුර්කි ආන්ඩුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, මිලියන 3.5 ක් පමන සරනාගතයින් තම රටේ සිට යුරෝපයට ඇතුලු වීම වැලැක්වීමට අන්කාරා තවදුරටත් කටයුතු නොකරන බවයි.  ඒජියන් මුහුදේ බෝට්ටුවලින් ගොස් සරනාගතයින් ග්‍රීසිය හා බල්ගේරියානු දේශසීමා කරා ගමන් කරන අයුරු රාජ්‍ය මාධ්‍ය වීඩියෝ මගින් විකාශය කරන ලදී. ග්‍රීසිය සහ තුර්කිය අතර මායිම් කලාපයට ඇතුලු වූ සිය ගනනක් සරනාගතයින් වෙත ග්‍රීක පොලිසිය “වැලැක්වීමේ” කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අතර බල්ගේරියාව නිවේදනය කලේ, හමුදා භටයන් 1000 ක් දේශ සීමාවට යවන බවයි.

සිරියානු ගුවන් කලාපය රුසියාව විසින් පාලනය කිරීම වැලැක්වීම සඳහා පේටි්‍රයට් මිසයිල බැටරි යැවීමේ ඉල්ලීම වොෂින්ටනය ප්‍රතික්ෂේප කල බව අර්ඩෝගන් ආන්ඩුව පිලිගෙන තිබේ. තුර්කි හමුදාවන්ට එරෙහි ප්‍රහාරයට දින දෙකකට පෙර, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ ඒකාබද්ධ මාන්ඬලික ප්‍රධානී  ජෙනරාල් මාක් මිලී යන දෙදෙනාම කොන්ග්‍රස් කමිටු ඉදිරියේ සාක්ෂි දුන්හ. ඔවුන් පැවසුවේ “යලි සිරියානු සිවිල් යුද්ධයේ පැටලීමට“ වොෂින්ටනයට අවශ්‍ය නොවන බවයි. පසුගිය වසරේ සිරියානු-තුර්කි දේශ සීමාවෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසුව, එක්සත් ජනපද හමුදා භටයින් 500 ක්  ඊසානදිග සිරියානු පලාතක් වන ඩියර් එසෝර් හි  රඳවා  ඇති අතර, පෙනෙන්නට ඇත්තේ, එමඟින් රටේ තෙල් බිම් පාලනය කිරීම සහ දමස්කස් ආන්ඩුවට ඔවුන්ගේ මූලෝපායික සම්පත් වෙත ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම එහි අරමුන බවයි.

සිරියාවේ ගැටුම් ඉතා ඉක්මනින් “ප්‍රධාන විවෘත ජාත්‍යන්තර මිලිටරි ගැටුමක්” දක්වා වර්ධනය විය හැකි බවට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජොසෙප් බොරෙල් එදින උදෑසන අනතුරු ඇඟවීමක් කර තිබුනි.

අර්ඩෝගන් ආන්ඩුව සිරියාව තුල කරන මිලිටරි මැදිහත්වීම, තුර්කි කම්කරු පන්තිය තුල බෙහෙවින් අප්‍රසාදයට පත්ව ඇත. යුද විරෝධී හැඟීම් බෙදා ගැනීම වැලැක්වීමේ උත්සාහයක් ලෙස එය, 26දා සවස සමාජ මාධ්‍යය තාවකාලිකව වසා දැමීමට උත්සාහ කලේය.

රුසියාව සමඟ ගැටුම උත්සන්න වේය යන අපේක්ෂාව, තුර්කි වෙලඳපොලවල ද කැලඹීම් ඇති කලේය. 27දා ආරම්භයේදීම බෝර්සා ඉස්තාන්බුල් 100 කොටස් දර්ශකය සියයට 10 කින් පහත වැටුනි. තුර්කි ලීරාවේ වටිනාකම පස්වන දිනටත් පහත වැටුනි. මෑත අවපාතයෙන්න් තුර්කිය ලබාගත් ආර්ථික ප්‍රකෘතිය, රුසියාව සමඟ ගනුදෙනු කිරීම සමඟ බැඳී ඇත. පසුගිය මාසයේ තුර්කිය සහ යුරෝපයට රුසියානු ගෑස් ගෙන එන තුර්ක්ස්ටී්‍රම් නල මාර්ගය විවෘත කිරීම ද මීට ඇතුලත්ය.

සිරියානු ගැටුම ලෝක ව්‍යසනකාරී යුද්ධයක් බවට පත්වීමේ විභවය, ආන්ඩු හෝ ව්‍යාපාරික මාධ්‍ය පිලිගැනීමට කැමතිවාට වඩා විශාල ය. පසුගිය සතියේ රුසියානු ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන ගැසටා රු හි පලවූ, එහි ප්‍රධාන මිලිටරි විශ්ලේෂක කර්නල් මිහායිල් කොඩරෙනොක්ගේ (විශ්‍රාමික) තීරුවක සඳහන් වන පරිදි,  තුර්කිය ඉඞ්ලිබ් හි භුක්ති විඳින පූර්න මිලිටරි හා පිරිස් බලයේ සුපිරි තත්වය සලකන කල රුසියාව තුර්කියෙන් ඈත් වීම,  “දේශපාලන-මිලිටරි ව්‍යසනයක්” බවට පත්වේ. ඔහුගේ නිගමනය වන්නේ: රුසියාවට ජය ගත හැකි එකම ක්‍රමය උපායශීලී න්‍යෂ්ටික අවි තර්ජනය එල්ල කිරීම හෝ භාවිතා කිරීමයි.

ඉඞ්ලිබ් වටා සංකේන්ද්‍රනය වන දැවැන්ත ආතතීන්, විශේෂයෙන් ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය  එහි පිරිහෙමින් ඇති ආධිපත්‍යය ජයගැනීමට සිය මිලිටරි බලය මත වාරුවීම තුල ප්‍රකාශයට පත්වන, ලෝක ධනවාදයේ නොවිසඳිය හැකි අර්බුදය තුල මුල්බැස ඇති, ගෝලීය පරිමාන යුද්ධයක් කරා වන තල්ලුව තීව්‍ර වීමෙහි ප්‍රතිපලයකි. න්‍යෂ්ටික බලවතුන් අතර ලෝක යුද්ධයක් කරා දිවෙන, මෙම ගැටුමේ තර්ජනයට මුහුන දිය හැක්කේ, මැද පෙරදිග හා ලොව පුරා කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.

Loading