ඉදිරිදර්ශන

එක්සත් ජනපද-යුරෝපා ගැටුම මියුනිච්හි දී පුපුරා යයි

මෙම ලිපිය 2020 පෙබරවාරි 18 දින ඉංග්‍රීසි බසින් පලවිය

56වන මියුනිච් ආරක්ෂක සම්මේලනය මත ආධිපත්‍යය දරන ලද්දේ, අධිරාජ්‍යවාදී බලයන් ලෝකය යලි විජිතකරනය කරගැනීම සඳහා නව පොර වැදීමක් සහ ”මහා-බල ගැටුම" සඳහා වන සූදානම්වීම්වල පුනර්ජීවනය මධ්‍යයේ නැටෝ සංවිධානයෙහි බිඳ වැටීමක් විසිනි.

ඍජු ප්‍රකාශයක් කරමින්, සම්මේලනයට ඉදිරිපත් කල ආරම්භක වාර්තාව පැහැදිලි කලේ “ප්‍රධාන රාජ්‍යයන් අතර යුද්ධය අතීතයේ දෙයක් වීම අවශ්‍ය නො වන” බව යි. ඊට විපරීත ව, “වඩා තියුනු මහාබල තරඟය ආපසු පැමිනීම යුද්ධය යලි විය හැක්කක් බවට වඩ වඩා පත්කල හැක."

ජර්මනියේ මියුනිච් ආරක්ෂක සමුලුව අතරතුර එක්සත් ජනපද නියෝජිත පිරිස සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වන කොංග්‍රස් කතානායිකා නැන්සි පෙලෝසි, ඩී-කාලිෆ්, මැද. 2020 පෙබරවාරි 16 ඉරිදා. (ඒපී ඡායාරූපය/ජෙන්ස් මේයර්)

“අප දැන් සිටින්නෙ, අප පහල තීව්‍රතාවේ ගැටුමින් ඉවත් ව යලි වතාවක් ඉහල තීව්‍රතාවේ යුද්ධයට සූදානම් විය යුතු මහා බල තරඟයේ යුගයකැ” යි නියෝජිතයන් ඇමතූ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් අනතුරු ඇඟවී ය.

යුද්ධවලට සූදානම් වීමේ අවශ්‍යතාව ගැන අධිරාජ්‍යවාදී බලයන් අතර විශ්වීය එකඟතාවක් පැවතුනු අතරතුර, ඒ හා සමාන ව සිත්ගන්නාසුලු දෙය වූයේ ඉලක්කයන් කවරක්දැයි යන්න අරබයා පවතින බෙදීම් ය.

මෙම අධිබලැති වටපිටාව තුල, එක්සත් ජනපදය හා යුරෝපය අතර දීර්ඝ කාලයක් තිස්සේ කැකෑරෙන ආතතීන් හා අර්බුදයන් පුපුරා මතුපිටට පැමිනියේ, පශ්චාත් යුද ඉතිහාසයේ වොෂින්ටනය හා එහි නැටෝ සගයන් අතර පලල් ම බෙදීම් හෙලිදරවු කරමිනි.

සම්මේලනයේ ආසන්නතම සන්දර්භය වූයේ, හුවාවි විදුලි සංදේශ සමාගම තම රටවල් තුල ජංගම දුරකථන යටිතල පහසුකම් ගොඩනැගීම තහනම් කරන ලෙස එක්සත් ජනපදය කල ඉල්ලීම් ප්‍රන්සය, ජර්මනිය හා වඩාත් මෑත දී බ්‍රිතාන්‍යය විසින් ප්‍රතික්ෂේප කිරීම යි.

එක්සත් ජනපද නිලධාරීන් කල කතා මාලාවක දී ඔවුහු ඔවුන්ගේ නැටෝ සගයන් ව එක්සත් ජනපදයේ චීන-විරෝධී අක්ෂයට බද්ධ කරගැනීම පිනිස බියවැද්දීමට හා රවටා ගැනීමට උත්සාහ කල හ. ආරක්ෂක ලේකම් එස්පර්ගේ තර්ජනයන් සමග, කොංග්‍රස් කතානායිකා නැන්සි පෙලෝසිගේ සදාචාරකරනයන් හා “බටහිර ජයග්‍රහනය කරමින් සිටිනවා” යි ප්‍රකාශ කල රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ හිස් විජයග්‍රාහිතාවාදයන් ඒකාබද්ධ කරනු ලැබී ය.

එක්සත් ජනපදය හා එහි නැටෝ සගයන් අතර බෙදීම් කොතරම් තීව්‍ර ද යත්, හුවාවි සමාගම ඩිජිටල් “ආඥාදායකත්වය” අපනයනය කරමින් සිටින බවට එක්සත් ජනපද කොංග්‍රස් කතානායිකා නැන්සි පෙලෝසිගේ කියාපෑමට අභියෝග කරමින් චීන රාජ්‍යතාන්ත්‍රිකයෙක් ප්‍රශ්නයක් නැගූ විට, මුලු ශාලාව ම අත්පොලසන් හඬින් පිරී ගියේ ය.

ට්‍රම්ප් රුසියාවට එරෙහි ව ඇති තරම් ආක්‍රමනශීලී නො වී යයි යන පදනම මත ඔහු ව ධුරයෙන් ඉවත් කිරීමට ගත් අසාර්ථක උත්සාහයෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, පෙලෝසි හා කොංග්‍රස් ඔත්තු සේවා කමිටු සභාපති ඇඩම් ස්කිෆ්ගේ පෙනී සිටීම, “පෙන්ටගනයේ ඉහල ම තැකීම: මහජන චීන සමූහාන්ඩුව” යි එස්පර් සඳහන් කල දෙය අරබයා එක්සත් පෙරමුනක් නියෝජනය කලේ ය.

 “ජනාධිපති ට්‍රම්ප්ගේ චීන ප්‍රතිපත්තිය සමග” එකඟ වන්නේදැයි විමසූ විට “ඒ සම්බන්ධයෙන් අප අතර එකඟතාවක් පවතිනවා” යි පෙලෝසි පිලිතුරු දුන්නා ය.

පුපුරනසුලු බෙදීම්වලින් ඔබ්බේ, සමස්ත සමුලුව අරක්ගෙන තිබුනේ ප්‍රගාඪ අසහනයක් හා අර්බුදයේ වටපිටාවක් විසිනි. සමුලුවේ සභාපති වුල්ෆ්ගැං ඉෂිංගර් විසින් ඉදිරිපත් කල ආරම්භක ප්‍රකාශය, “බටහිර සත්‍ය වසයෙන් ම මුහුන දී සිටින්නේ ගැඹුරු අර්බුදයකට” යි කියා සිටියේ ය.

සමුලුවේ තේමාව වූයේ “නිර්බටහිර කම”යි. අර්බුදයන්ගේ සමස්ත පරාසයක් වෙලා ගැනීමට ආරම්භක වාර්තාව විසින් “බටහිර” පිලිබඳ ස්පෙන්ග්ලේරියානු රාමුගත කිරීමේ උපක්‍රමයක් යොදාගත්තේ ය. එනම්, ඇමරිකානු ආධිපත්‍යයේ පිරිහීම, එක්සත් ජනපදය හා යුරෝපය අතර ගැටුම්වල වැඩීම, ෆැසිස්ට්වාදී දක්ෂිනාංශයේ නැගීම හා ජාත්‍යන්තර සම්මතයන්හි බිඳවැටීම යි.

 “ඉරාන ගනුදෙනුවේ හෝ නෝඩ් ස්ට්‍රීම් 2 නල මාර්ගයේ අනාගතයේ සිට නැටෝ ආරක්ෂක වියදම් හා අන්තර්-අත්ලාන්තික වෙලඳ අසමතුලිතතාවන්” දක්වා වූ සමස්ත පරාසයක ගැටලු කේන්ද්‍ර කරගනිමින් “බටහිර ඇතුලත පවතින නො එකඟතාවන් හා භේදයන්” ගැන වාර්තාව කතා කලේ ය.

සත්‍ය වසයෙන් ම, සමුලුව පැවතීගෙන යද්දී පවා, එක්සත් ජනපදය යුරෝපා ගුවන් යානා මත නව බදු නිවේදනය කලේ, රුසියාව සමග ස්වාභාවික වායු නල මාර්ගයක් ගොඩනැගීමට ජර්මනිය කර තිබූ සැලසුම් අත්හැර දැමීමට ජර්මනියට බලකල එක්සත් ජනපද සම්බාධකවල සාර්ථකත්වය පිලිබඳ ව එක්සත් ජනපද බලශක්ති ලේකම් ඩෑන් බ්‍රවුයිලෙට් පුරසාරම් දොඩද්දී ය.

හුවාවි අරබයා වූ ගැටුමේ වැදගත් කම එතුල තිබිය දී ම, එය වනාහි බොහෝ අංශවලින් අතිමූලික බෙදීම් සඳහා වූ වරපත්‍රයකි. පලමු ලෝක යුද්ධයට පෙරාතු සමයේ දී මෙන් ම, “බලවැයික්කි” නමැති විජිතවාදී භාෂාව යොදාගනිමින් ප්‍රධාන බලයන් ලෝකය යලි බෙදාගැනීමට පොරවැදී සිටී.

ෆොරින් අෆෙයාර්ස් සඟරාවේ මෑත පලවූ ලිපියක් මෙසේ පෙන්වා දුන්නේ ය: “ඒකධ්‍රැවියත්වය අහවර අතර, ඒ සමග ම අනෙක් ජාතීන් එක්සත් ජනපදය නායකත්වය දෙන ජාත්‍යන්තර පර්යායක් තුල ඔවුන්ට පැවරී ඇති ස්ථානය සරල ව ම ගනු ඇත යි යන මායාව ද අහවර ය. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, අද්‍යතන ලෝකය තුල බලවැයික්කි තිබෙන බවත්, එහෙත් ඒ සියල්ල ඇමරිකානු වැයික්කි නො වන බවත් යන යථාර්ථය පිලිගැනීම අවශ්‍ය ය.”

යුරෝපීය නායකයන් සෑම කෙනෙක් ම ඔවුන්ගේ ප්‍රතිපදානයන්හි දී පැහැදිලි කලේ කයිසර් විල්හෙල්ම් විස්තර කල ලෙස තමන්ටත් “සතුටු විය හැකි තැනක්“  ලබාගැනීමට ඔවුන්ට පවතින අභිලාෂය යි.

 “යුරෝපය අනාගතයේ දී එහි ශක්තිය පෙන්විය යුතු ව ඇත” යි ජර්මානු විදේශ ඇමති හයිකෝ මාස් කීවේ ය. “ඉරාක, සිරියානු, ලිබියානු, යුක්‍රේන හා සහෙල්” වැනි අර්බුදයන් විසඳීමට “මිලිටරිමය ලෙස ද ඇතුලු ව වඩ වඩා සම්බන්ධ වීමට ජර්මනිය සූදානම්” බව ඔහු නිගමනය තුල සඳහන් කලේ ය.

1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව, පලමු ගල්ෆ් යුද්ධයෙන් පටන්ගෙන, නග්න මිලිටරි බලය යොදාගෙන ලෝකය ප්‍රතිසංවිධානය කිරීම එක්සත් ජනපදය විසින් ඇරඹී ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඒ සමයේ ලියූ ලෙස ගල්ෆ් යුද්ධය සලකුනු කලේ:

ලෝකය අධිරාජ්‍යවාදීන් අතර යලි බෙදාගැනීමක ආරම්භය යි. පශ්චාත් යුද සමයේ අවසානයෙහි අර්ථය වන්නේ පශ්චාත්-විජිත සමයේ අවසානය යි. අධිරාජ්‍යවාදී ධනේශ්වරය “සමාජවාදයේ අසාර්ථකත්වය” ප්‍රකාශයට පත්කරද්දී, තවමත් වචනවලින් නැතත් ක්‍රියාවෙන් ප්‍රකාශයට පත්කරන්නේ ස්වාධීනත්වයේ අසාර්ථකත්වය යි. සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් මුහුන දෙන ගැඹුරු වන්නා වූ අර්බුදය, මූලෝපායික සම්පත් හා වෙලඳපොලවල් මත පාලනය තහවුරු කරගැනීමට ඔවුන්ට බලකරයි. යම් අංශකයක දේශපාලන ස්වාධීනත්වය ලඟාකරගෙන තිබෙන පැරනි යටත් විජිතයන් යලි යටත් කරගනු ලැබිය යුතු ය. ඉරාකයට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරය මගින් අධිරාජ්‍යවාදය පෙන්වා දෙන්නේ, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති පසුගාමී රටවල් මත අබාධිත ආධිපත්‍යය පුනස්ථාපනය කිරීම එහි අභිප්‍රාය බව යි.

ලෝකය යලි අල්ලා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන උත්සාහය යෝධ මානව ව්‍යසනයක් නිර්මානය කර ඇතුවා පමනක් නො ව, එය එක්සත් ජනපදයටත් විනාශයක් ගෙන දී ඇත. ෆොරින් අෆෙයාර්ස් සඟරාවේ මෑත ම සංස්කරනය පැහැදිලි කරන පරිදි:

එක්සත් ජනපද පිලිවෙත් සකසන්නන් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ 1992 දී පෙන්ටගනයේ සැලසුම්කරුවන් ඉදිරිපත් කල පදනම වටා සම්මාදම් වී ඇත: එක්සත් ජනපදය කවර වර්ගයක මිලිටරි ආධිපත්‍යයක් නඩත්තු කරගත යුතු ද යත්, එය සගයන් හා හතුරන් යන දෙගොල්ලන් ම වොෂින්ටනයේ අධිකාරයට තර්ජනය කිරීමෙන් එක ලෙස වැලැක්විය යුතු ය. එම ආධිපත්‍යය ක්ෂනික ව ම එහි ම අවසානය බවට පත් විය. හුදු ආරක්ෂාව වෙනුවට ආධිපත්‍යය සඳහා උත්සාහ කිරීම විසින් ප්‍රමුඛත්වයේ මූලෝපාය එක්සත් ජනපදය යටිකුරු සර්පිලයකට ඇද දැමී ය. ඇමරිකානු ක්‍රියාවන් එදිරිවාදීන් හා හතුරන් ජනනය කල අතර, ඔවුන් ප්‍රමුඛත්වය ලුහුබැඳ යාම වඩ වඩා අනතුරුදායක බවට පත්කලේ ය.

එක්සත් ජනපදයේ ලේවැකි යුද්ධ මාලාව එක් ව්‍යසනයකින් පසු තවෙකක් නිර්මානය කර තිබුන ද ලාක්ෂනික උද්ධච්චකමින් යුතු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මෙම අර්බුදයෙන් බේරීමේ උපක්‍රමය ලෙස නව යුද්ධ හා නව තර්ජනයන් දැක ගනී.

අධිරාජ්‍යවාදී බලයන්ගේ නියෝජිතයන් ලෝක යුද්ධය සඳහා ඔවුන්ගේ සූදානමෙහි නග්නත්වය පිලිබඳ කතා පැවැත්වීම, මානව වර්ගයා මුහුන දෙන යෝධ අන්තරායන් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වන නව මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි භාවය ප්‍රකාශයට පත්කරයි.

Loading