සෞඛ්‍ය සේවා පද්ධතිය අර්බුදයක පවතින බවට වැඩිදුර ආරංචි පැතිර යද්දී කොරෝනා වෛරසය රුසියාවට කඩා වදියි

මෙම ලිපිය 2020 මාර්තු 03 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

රටේ දහස් ගනනක් ලමුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ජලය, තාපය හා අපද්‍රව්‍ය පද්ධති නොමැති බව ෆෙඩරල් විගනනයකින් හෙලිවූ වූ දිනයේම ඉතාලියේ සිට ආපසු පැමිනි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව පරීක්‍ෂනයකින් හෙලිවී ඇති බව මොස්කව්හිදී අනාවරනය විය.

කොරෝනා වෛරසය ගෝලීයව පැතිර යද්දී රුසියාව, සිය පලමු සිද්ධිය එරට අගනුවරදී  ප්‍රකාශයට පත් කලේය. මෑතකදී ඉතාලියේ සිට පැමිනීමෙන් හා රටේ උතුරේ හිම ක්‍රීඩා චාරිකාවකින් පසුව ආපසු පැමින සතියකට පසු මාර්තු 1 වන දින පුද්ගලයෙකු පරීක්‍ෂා කිරීමේදී මෙය සොයාගනු ලැබින.  පෙබරවාරි 27 වන දින ඔහු රෝග ලක්ෂන සහිතව ප්‍රාදේශීය රෝහලකට ගිය අතර පසුව මොස්කව්හි බෝවන රෝග ඒකකයකට මාරු කරනු ලැබීය. මෙම කාරනයේදී ආන්ඩුවේ චර්යාව සම්බන්ධයෙන්  විවේචන එල්ලවී ඇත. මෙම පුද්ගලයා මුලින් වෙනත් රෝගීන් සමඟ විවෘත වාට්ටුවක තබා ඇති අතර, ඔහුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තුන්වන පරීක්ෂනයෙන් පසුව හෙලි වීමෙන් පසුව පමනක් හුදකලා කර තබා ඇත. 

ඔහු රුසියාවට ආපසු පැමිනි ගුවන් යානයේ සිටි සෙසු මගීන් දැන් නිවෙස්වල නිරෝධායනය කරනු ලැබේ. වෛරසය පිලිබඳ පුලුල්ව පැතිර යන බිය පෙන්නුම් කරමින්,  කාන්තාවක් ගැසෙටා.රු පුවත්පතට පැවසුවේ, නිරෝධායනය නිවේදනය කිරීම සඳහා තම නිවසට පැමිනි හදිසි වෛද්‍ය නිලධාරීන් තමන් විස්තර කලේ “මියගිය මිනිසුන්” ලෙස බවයි.

බීජිනය බලා යන අතරතුර මොස්කව් ගුවන් තොටුපල හරහා ගමන්ගත් ඉරාන වැසියන් දෙදෙනෙකු ද දැන් කොවිඩ්-19 ආසාදිතයන් බව පරීක්ෂන වලදී හෙලිවී ඇත. මොස්කෝව, පාසල් පිහිනුම් තටාක වසා දමා  පුලුල් ක්‍රීඩා ඉසව් නතරකර ඇත. සඳුදා වන විට මොස්කව්හි විසි හතර දෙනෙකු කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි රෝහල් ගත කර තිබේ.

බෙලරුස්, ආර්මේනියාව, ජෝර්ජියාව සහ අසර්බයිජානය ඇතුලු කලින් සෝවියට් සංගමයට ඇතුලත් අනෙකුත් ප්‍රාන්ත ද නව සිද්ධීන් වාර්තා කර ඇත.  දැන් ඒවායේ පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා ඇත. 2014 සිට එක්සත් ජනපදය සහ යුරෝපය විසින් ස්ථාපිත කරන ලද අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් ඇති යුක්‍රේනයේ, චීනයේ වුහාන්හි සිට පැමින දැන් නිරෝධායනය යටතේ තබා ඇති යුක්‍රේනියානුවන් රඳවා සිටින මධ්‍යස්ථානය පිටත ප්‍රචන්ඩ ක්‍රියා හටගත්තේය. විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඔවුන් රටින් පලවා හරින ලෙසයි. දියමන්ති කුමරිය  (ඩයමන්ඩ් ප්‍රින්සස්) නෞකාවේ සිටි යුක්‍රේන ජාතිකයන් විසිපස් දෙනෙකු තම ජීවිත ගැන බියෙන් ආපසු සිය රටට පැමිනීම ප්‍රතික්ෂේප කර තිබේ. දියමන්ති කුමරිය නෞකාවේ මගීන් 700 කට අධික සංඛ්‍යාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර මේ වන විට සිව් දෙනෙකු මියගොස් තිබේ.

රුසියාවේ තත්වය “මුලුමනින්ම පාලනය යටතේ පවතින” බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 3දා ප්‍රකාශ කලේය. දියමන්ති කුමරිය වෙතින් ආපසු පැමිනෙන රුසියානුවන් අතර හා චීන අමුත්තන්  අතර මේ වන විටත් ආසාදනයන් කිහිපයක් වාර්තාවී තිබේ. සියල්ලන්ම දැනට යථා තත්වයට පත් ව නිදහස් කර හෝ නිරෝධායනයේ රඳවා ඇත.

පැතිරෙන වෛරසයට ක්‍රෙම්ලිනය ප්‍රතිචාර දක්වා ඇත්තේ, දේශසීමා වැසීම, ගමන් සීමා කිරීම සහ ආසියානු විරෝධී ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කිරීමෙනි. පෙබරවාරියේදී  සැතපුම් 2,600 ක් දිග චීන දේශසීමාව මොස්කෝව විසින් වසා දමන ලදී. එය දැන් චීන, ඉරාන සහ දකුනු කොරියානුවන් රට තුලට ඇතුලු වීම සීමා කර තිබේ. මෙම ප්‍රදේශවලට මෙන්ම ඉතාලියට ද සංචාර සංවිධානය නතර කල යුතු යයි ආන්ඩුව මෑතකදී නිර්දේශ කලේය. ප්‍රන්සය මොස්කව් සහ නීස් අතර දුම්රිය සේවය අත්හිටුවා තිබේ. නිරෝධායන නීති උල්ලංඝනය කල බවට චෝදනා ලැබූ විදේශිකයන් 88 දෙනෙකු පිටුවහල් කිරීමට රුසියාව කටයුතු කරමින් සිටියි. මුහුනුවර හඳුනාගන්නා මෘදුකාංඟයක් යොදාගෙන කරන පරීක්ෂන වලදී හෙලිවූවා යයි සඳහන්වේ. 

ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ, මොස්කව්හි පොදු ප්‍රවාහන බලධාරීන් “චීන ජාතිකයන්” ලෙස පෙනී යන පුද්ගලයින් රඳවාගෙන සිටින බවත්, ඔවුන්ගේ ගමන් ලියකියවිලි ඉල්ලා සිටින බවත්, ඉහල නිලධාරීන්ට මොවුන් ගැන අනතුරු ඇඟවීම් කරන බවත්, එතැනම සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකරන බවත්ය. එසේ කිරීමට ඇති එකම පදනම පුද්ගලයන්ගේ පෙනුමයි.

බොහෝ රුසියානුවන් බාහිරින් ආසියානු පෙනුමක් ඇති ජනවාර්ගික සුලුතරයන් වන බැවින් රුසියානු පුරවැසියන් ද මේ පරීක්ෂන වලට හසු වී ඇත. පසුගිය සතියේ මොස්කව් පොලිසිය චීන ජාතිකයන් ජීවත්වනවා යයි සිතන නිවාස, නේවාසිකාගාර සහ හෝටල් වැටලුවේය.  නගරාධිපති මෙම පියවර විස්තර කලේ “අප්‍රසන්න නමුත් අවශ්‍ය” බවයි.

බටහිර සයිබීරියාවේ ප්‍රධාන කාර්මික නගරයක් වන යෙකටරින්බර්ග් හි කොසැක් සුපරීක්ෂාකාරී කන්ඩායම් බොහෝ චීන ජාතිකයන් වාසය කරන අසල්වැසි ප්‍රදේශවල “මුර සංචාරයේ” යෙදෙන අතර කැස්ස ඇති අයට රෝහලට යාමට උපදෙස් දෙන අතර අනෙක් අයට මුහුනු ආවරන පලඳින ලෙස බලකරයි.

පොලීසිය යොදාගෙන කරන මෙම කටයුතු, සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට, ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ආන්ඩුව සහ රෝගාතුර වුවහොත් තමන් වෙනුවෙන් කිසිදු වියදමක් නොකරන්නාවූ ධනවතුන් විවේචනය කිරීමෙන් වැලැක්වීම පිනිස ජාතිවාදයේ සහ රුසියානු ස්වෝත්තමවාදයේ තෝතැනි ලෙස ආන්ඩුව සලකන තැන්වල බිය සහ නොසංසුන්කම ඇති කිරීම ය.

රටේ මහජන සෞඛ්‍ය පද්ධතියේ අවාසනාවන්ත තත්වය සහ දශක ගනනාවක අඩු වැටුප්, විරැකියාව, අවපීඩනය, දරිද්‍රතාවය සහ මත්පැනට ඇබ්බැහිවීම වැනි බලාපොරොත්තු සුන්වීමේ රෝග නිසා, සාමාන්‍ය රුසියානු ජනතාව අතර කොරෝනා වෛරස් තර්ජනය, විශාල වශයෙන් වැඩි වී තිබේ.

මීට දින කිහිපයකට පෙර නිකුත් කල සිත් කම්පා කරවන වාර්තාවක, ෆෙඩරල් ආන්ඩුවේ විගනන ඒජන්සිය පෙන්වාදී ඇත්තේ, රුසියාවේ ලමුන් සඳහා වන වෛද්‍ය මධ්‍යස්ථාන වලින් සියයට 33 කට ආසන්න ප්‍රමානයකට මධ්‍යම ජල සැපයුමක් නොමැති බවත්, සියයට 40 කට මධ්‍යම උනුසුම නොමැති බවත්, සියයට 52 කට උනු වතුර නොමැති බවත්, සියයට 35 කට මලාපවහන පද්ධති නොමැති බවත් සියයට 47 කට අංඟවිකලකම සඳහා පහසුකම් නොමැති බවත්ය. විමර්ශනය කරන ලද මධ්‍යස්ථාන දහස් ගනනින් සියයට 14 ක තත්වය සැබවින්ම භයානක ය. ප්‍රධාන නගරවලින් පිටත, ප්‍රමානවත් තරම් ලමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති අතර රෝගී දරුවන්ට මූලික පහසුකම්වත් ලබා දීමට රෝහල්වලට  නොහැකිවී ඇත.

එවැනි තත්වයක පවතින සෞඛ්‍ය පද්ධතියකට කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම කෙසේ වෙතත් රෝගීන්ට හරියාකාර ප්‍රතිකාරවත් කල  නොහැක. රෝගාතුර වූවන් විශාල සංඛ්‍යාවක් එවැනි පහසුකම් සොයා ඇදී ඒමට පටන් ගතහොත්, මෙම අබලන් වූ සහ අඩු සම්පත් සහිත රෝහල් ආසාදන පැතිරීමේ මධ්‍යස්ථාන බවට පත් වනු ඇත.

බටහිර සම්බාධක හා අසාර්ථක ආනයන ආදේශන ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් ලෙස, චීනයේ සහ වෙනත් තැන්වල කොරෝනා වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා පර්යේෂන වලින් පසුව  භාවිතා කරන  එච්.අයි.වී සඳහා වන ඖෂධ ඇතුලු  දැඩි ඖෂධ හිඟයක් රුසියාවේ පවතී.

ධනවාදය පුනස්ථාපනය කර වසර තිහක් ගතවීමෙන් පසුව රුසියානු ජනතාවගේ සෞඛ්‍යය පහසුකම්වල බිඳවැටීමක් සිදුව තිබේ. සමස්ත ආයු අපේක්ෂාව අවුරුදු 70 ක් වුවත් පුරුෂයින් හා ස්ත්‍රීන් අතර ඇත්තේ සැලකිය යුතු වෙනස්කමකි. පිරිමින් වයස අවුරුදු 65 න් ඔබ්බට ජීවත් වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. මත්පැන් පානය ලෝකයේ ඉහලම මට්ටමේ පවතී. පිරිමින්ගෙන් සියයට 60 ක් සහ කාන්තාවන්ගෙන් සියයට විසි දෙකක් දුම් පානය කිරීම නිසා  විශේෂයෙන් ශ්වසන ආසාදනවලට ගොදුරු වේ. ඒක පුද්ගල පදනමක් මත  සිගරට් පරිභෝජනය අතින් රුසියානුවන් දෙවැනි වන්නේ බෙලාරුස් රටට පමනි. හෘද  රෝග නිසා සිදුවන මරන අතින් රුසියාව ලෝකයේ නවවන ස්ථානයට පත්ව ඇත.

එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රමුඛ රටවල මෙන්ම රුසියානු ආන්ඩුවට ඇති ලොකුම හිසරදය, කොවිඩ්-19 ආර්ථිකයට හා පාලක පන්තියේ ධනයට ඇති කල හැකි බලපෑමයි. පසුගිය සතියේ ක්‍රෙම්ලින ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, වෛරසය රූබලයේ සහ කොටස් වෙලඳපොලේ පහත වැටීමට හේතු වී ඇති බවයි. චීනය සමඟ වෙලඳාම දිනකට රූබල් බිලියනයකින් පහත වැටේ. ආන්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තෙල් මිල ද පහත වැටී ඇත. සෑම දෙයක්ම පාලනය කර ඇති බව අවධාරනය කරමින් පුටින් පැවසුවේ, සැලකිය යුතු ගෝලීය පසුබෑමකට ඔරොත්තු දීමට තරම් රටේ සංචිත අරමුදල් ප්‍රමානවත් බවයි.

මාර්තු 2 වන දින රුසියානු මුදල් අමාත්‍යංශය යලි වරක් සහතික වීමට උත්සාහ කලේ, ආසාදනය පැතිරීම වැලැක්වීමට සහ රටේ ආර්ථික පසුබෑම කලමනාකරනයට ආන්ඩුවට පූර්න හැකියාවක් ඇති බව අවධාරනය කරමිනි.

Loading