ඉදිරිදර්ශන

ජූලියන් අසාන්ජ්ගේ බොරු නඩුව ඇරඹේ

මෙම ලිපිය 2020 පෙබරවාරි 25 දින ඉංග්‍රීසි බසින් පල විය

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කල යුතුදැයි නීර්නය කිරීමේ පලමු දිනය වූ පෙබරවාරි 24දා, සිදුවෙමින් පවත්නේ අසාන්ජ්ගේ ජීවිතය හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යන දෙකට ම තර්ජනය කරන නෛතික විකෘතියක් වන බවට සැකයක් ඉතිරි කලේ නැත.

දේශපාලනික ව අභිප්‍රේරිත චෝදනාවලට ලක්වන පුද්ගලයන් උදර්පනය කිරීම වලකන බ්‍රිතාන්‍ය නීතිවලට අනුව, අසාන්ජ් එක්සත් ජනපදයට භාරදෙන ලෙස ට්‍රම්ප් පරිපාලනය ඉදිරිපත් කර ඇති අයදුම්පත විනාඩි කිහිපයක් ඇතුලත ප්‍රතික්ෂේප කල හැකි ව තිබුනි.

එක්සත් ජනපදයේ යුද අපරාධ හා රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරවු කල කාන්දු වූ තොරතුරු 2010 දී හා 2011 දී විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කිරීම අරබයා, අසාන්ජ්ට ඔත්තු බැලීම පිලිබඳ බහුවිධ චෝදනා ඉදිරිපත් කරනු ලැබ ඇත. රාජ්‍යය විසින් එහි අපරාධකාරීත්වය හෙලිදරවු කල පුද්ගලයන්ට මේ සා පරිමානයේ නග්න ආකාරයක දේශපාලනික අභිප්‍රේරනයකින් යුතු ව චෝදනා නැගීමට උත්සාහ දැරූ අවස්ථාවක් ගැන සිතාගත නො හැක.

නඩුව විසිකරනු වෙනුවට විනිසුරු වැනේසා බැරේස්ටර් කලේ, “ආන්ඩුවට හෙලිදරවු කල හැකි ව නො තිබුනු දුෂ්කර හෝ අසීරු තොරතුරු හෙලිදරවු කිරීම ගැන ඔහුට (අසාන්ජ්ට) චෝදනා එල්ල නො කෙරේ” යනුවෙන් එක්සත් අධිකරන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නීතිඥ ජෙම්ස් ලුවිස් කල අවධාරනය පිලිගැනීම යි.

 “ජාතික ආරක්ෂාවට සම්බන්ධ ලේඛන අවසරයකින් තොර ව ලඟ තබාගැනීම, ඒවාට ප්‍රවේශ වීම හා පාලනය කිරීම, ඒවා අන්තර්ජාලය මත පලකිරීම මගින්...සිතාමතා හා නීති-විරෝධී ලෙස එවන් ලේඛන සන්නිවේදනය කිරීම, බෙදාහැරීම හා ඒවා ලැබීමට අයෝග්‍ය පුද්ගලයන් වෙත සම්ප්‍රේශනය කිරීමට සැලැස්වීම හා එසේ සැලැස්වීමට උත්සාහ කිරීම” ගැන අසාන්ජ්ට චෝදනා කරන චෝදනා විසින් ම මෙම අතාර්කික හා සිත් පිත් නැති බොරුව ඛන්ඩනය කරනු ලැබේ. 

එනම්, ඇමරිකානු ආන්ඩුවේ මිලිටරිය ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද්ධවල දී සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කර තිබීම පෙන්වූ නිසා, එය “අසීරුතාවට“ පත්කිරීම හේතුවෙන් “ආන්ඩුව විසින් හෙලිදරවු නො කර තිබෙනු ඇත්තා වූ ලේඛන” පලකිරීම අරබයා අසාන්ජ්ට චෝදනා නගනු ලැබේ.

පෙබරවාරි 24 දින ආරම්භක ප්‍රකාශයන් තුල පෙර නිමිති පලකල පරිදි, එක්සත් ජනපද නඩුව කේන්ද්‍රගත වන්නේ, ලේඛන පලකරනු ලැබීමට පෙර ඒවා තුල අන්තර්ගත වූ ඇමරිකානු ආන්ඩුවේ, මිලිටරි ඔත්තුකරුවන්ගේ හා චරපුරුෂයන්ගේ නම් විකිලීක්ස් විසින් සංස්කරනය නො කලේ ය යන චෝදනාව වටා ය. ලේඛන තුල නම් සඳහන් වන “අවදානමට ලක් වී ඇති මිනිසුන් සිය ගනනක්” එක්සත් ජනපද ඒජන්සි විසින් හඳුනාගෙන තිබුනු බව ලුවිස් කියා සිටියේ ය. එය සමහර නම් “අලුත් ස්ථානයක පිහිටුවා” තිබුනු බවත් අනෙකුත් නම් පසුව “අතුරුදන් ව තිබුනු” බවත් ඔහු අවධාරනය කලේ ය. අසාන්ජ් “හිතාමතා ම” මහජනයා අන්තරායේ හෙලා තිබුනු බව ලුවිස් උසාවියට කීවේ ය.

තොරතුරු හෙලිකල චෙල්සී මැනිංට එරෙහි ව ද එම චෝදනාව ම නගන ලද අතර, විකිලීක්ස් වෙත තොරතුරු සම්ප්‍රේෂනය කිරීම පිලිබඳ ඇයගේ මිලිටරි නඩුවේ දී එය ඛන්ඩනය කොට හෙලාදකින ලදී. 

කාන්දු වූ ලේඛන පලකිරීම හේතුවෙන් හානියට ලක්වූ කිසිදු පුද්ගලයෙක් පිලිබඳ “සුවිශේෂී උදාහරනයක් මා සතුව නැත” යි, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු විමර්ශනය අධීක්ෂනය කර තිබුනු ඔත්තු සේවා නිලධාරී බ්‍රිගේඩියර් ජනරාල් රොබට් කාර් 2013 දී දිවුරා පිලිගත්තේ ය. මැනිංගේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස ඝාතනය වී යයි කාර් මුල දී නම් කල එක් පුද්ගලයෙකුගේ නම නඩුවේ නිල වාර්තාවෙන් කටුගා ඉවත් කරන ලද්දේ, ලේඛන තුල එම පුද්ගලයාගේ හඳුනාගැනීම වත් කර නො තිබුනු නිසා ය.

ඒ හා සමාන ව “විකිලීක්ස් මගින් අනාවරනය කිරීම හේතුවෙන් සිදු වූ අතුරුදන් වීමක් ගැන එක්සත් ජනපදයට සාධනය කල නො හැකි” බව බ්‍රිතාන්‍ය උසාවියේ දී ලුවිස් පෙබරවාරි 24දා පිලිගත්තේ ය. තව ද අසාන්ජ් ව නියෝජනය කල රාජ්‍ය නීතිඥ එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් පෙන්වා දුන්නේ “විකිලීක්ස් සංස්කරනය නො කරමින් ලේඛන පලකලේ අනෙකුත් අය විසින් ඒවා පලකිරීමෙන් පසුව පමනක්” බවයි.

එහෙත් අසාන්ජ් අපරාධයක් සිදුකලේ ය යන ව්‍යාජ අවධාරනය මත උදර්පන නඩු විභාගය ඉදිරියට ඇදේ. සත්‍යය නම්, ඔහු කලේ අව්‍යාජ ජනමාධ්‍යවේදීන් හා ප්‍රකාශකයන් සිදුකිරීම පිලිබඳ ආඩම්බර වී ඇති දෙයකි. වොෂින්ටනයේ හා අනෙකුත් තැන්වල බලයේ සිටින්නන් මහජනයාගෙන් සැඟවීමට උත්සාහ කරන අපරාධකාරීත්වය පිලිබඳ සාක්ෂි ඔහු විසින් සම්පාදනය කලේ ය. ප්‍රකාශකයෙකු ලෙස ඔහුගේ ක්‍රියාවන් එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධනය යටතේ ඓතිහාසික ව ආරක්ෂා කරනු ලැබ තිබේ.

අසාන්ජ් ව කුරිරු ලෙස ලුහු බඳිනු ලැබ තිබෙන්නේ, ඔහු එක්සත් ජනපද ආන්ඩුව සහ අධිරාජ්‍යවාදී යුද්ධ හා රාජ්‍යතාන්ත්‍රිකත්වයේ යථාර්ථය පිලිබඳ විනාශකාරී හෙලිදරවු කිරීමක් කල නිසා ය යන්න ලෝක මහජනයාගෙන් සැඟවීම, ලන්ඩනයේ දැනට සිදුවෙමින් පවතින -හා එක්සත් ජනපදයේ සූදානම් කෙරෙමින් පවතින- නෛතික විකෘතියට කල නො හැක.

අත්අඩංගුවට ගෙන, අපහාස කොට, වධ බන්ධන පමුනුවා වසර 35ක සිර දඬුවමකට යටත් කරන ලද චෙල්සී මැනිං, 2017 දී ඇයගේ දඬුවම කප්පාදු කරනු ලැබීමට පෙර සිර කුටියක වසර හතක් ගතකලා ය. අන්තර්ජාලය මත විකිලීක්ස් වාරනය කරන ලද අතර, ව්‍යාජ ලිංගික අපචාර චෝදනා ගැන අසාන්ජ්ට මඩ ගසන ලදී. තමන් ස්වීඩනයට උදර්පනය කිරීම නඩු දමා වැලැක්වීම පිනිස දිග්ගැස්සුනු සටනක් දියත් කිරීමට ඔහුට බලකෙරුනි. ස්වීඩන නඩුව බොරු සමූහයක්ය යන සාක්ෂි බ්‍රිතාන්‍ය උසාවි නො තකා හැරීමත්, අසාන්ජ් තම රටේ පුරවැසියෙක් නිසා ඔහු ව ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන ඕස්ට්‍රේලියානු ආන්ඩුව මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලය තුල දේශපාලන රැකවරන සෙවීමට ද ඔහුට බලකෙරුනි.

2012 ජුනි සිට 2019 අප්‍රේල් දක්වා තානාපති කාර්යාලයේ සිටිය දී බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් ප්‍රමානවත් සෞඛ්‍යාරක්ෂනයට ප්‍රවේශය හා ඍජු සූර්යාලෝකයට ප්‍රවේශය ද ඔහුට අහිමි කෙරුනි. වෛද්‍ය විශේෂඥයන් අනවරත ශාරීරික අපයෝජන හා “මානසික වධ බන්ධන” ලෙස නම් කර ඇති දේවල් නො තකා ඔහු ජීවත් වුනි. දැන් ක්‍රමානුකූල ව ලේඛනගත කෙරී ඇති ලෙස, ඔහු හා තානාපති කාර්යාලය ආරක්ෂා කිරීම පැවරී තිබෙන යූසී ග්ලෝබල් නමැති ආරක්ෂක සමාගම, යථාර්ථයේ දී කර ඇත්තේ එක්සත් ජනපද ආන්ඩුව වෙනුවෙන් ඔහු පිලිබඳ ව  ඔත්තු බැලීම යි. ඔහුගේ නෛතික නියෝජිතයන් සමග කරන ලද සාකච්ඡා ද ඇතුලු වඩාත් ම රහසිගත සාකච්ඡා යූසී ග්ලෝබල් විසින් තැටිගත කොට සීඅයිඒ වෙත භාර දුන්නේ ය.

ජාත්‍යන්තර නීතියට ප්‍රතිකූල ව යමින්, රැකවරනය දීම බිඳ දැමීමට ට්‍රම්ප් පරිපාලනය ඉක්වදෝර ආන්ඩුවට තර්ජනය කොට අල්ලස් දුන්නේ ය. පොලීසිය විසින් ඇදගෙන ගොස් ම්ලේච්ඡ කොන්දේසි යටතේ බෙල්මාෂ් උපරිමාරක්ෂිත බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින අසාන්ජ්, උදර්පන නඩුවේ ආරම්භය අපේක්ෂාවෙන් පසුවේ. අසාන්ජ්ට එරෙහි ව මහා ජූරියක් ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මැනිං යලි සිරගත කරනු ලැබ ඇත.

විකිලීක්ස් ප්‍රකාශකයා මත අත තැබීමට එක්සත් ජනපදය දරන උත්සාහය ප්‍රතික්ෂේප කිරීම පිනිස බ්‍රිතාන්‍ය ආන්ඩුවට හා උසාවියට පවතින අවකාශය අති මහත් මෙන්ම අන්තර්-පරිවර්තනීය වේ. එය හරියට ම, ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට හා ජනමාධ්‍යවේදියෙකුට එරෙහි ව ම්ලේච්ඡ වෛරය අවසන් කරන ලෙස විධානය කිරීම සඳහා, තම රාජ්‍යතාන්ත්‍රික හා නෛතික බලතලවල සමස්ත බර සමගින් මැදිහත් වීමට ඕස්ට්‍රේලියානු ආන්ඩුවට පවතින අවකාශය මෙනි. 

ඇමරිකානු රාජ්‍යයේ ක්‍රියාකාරකම්, නීතියෙන් පලායන නමුත් තමන්ට එරෙහි සාක්ෂි සම්පාදනය කල ජනයා දඩයම් කරන මිනීමරුවෙකුගේ ක්‍රියාකාරකම් සමග සන්සන්දනය කල හැක. මැනිං විසින් කාන්දු කොට විකිලීක්ස් විසින් පලකරන ලද ලේඛන මගින් හෙලිදරවු කෙරුනු මහා මිනීමැරීම් හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රන හේතුවෙන් කිසිදු දේශපාලනඥයෙකුට, මිලිටරි නිලධාරියෙකුට හෝ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට එරෙහි ව නීතිය කිසිදා ක්‍රියාත්මක කොට නැත. ඒ වෙනුවට ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං බන්ධනාගාර කුටිවල සිටින අතර, එක්සත් ජනපද මධ්‍යම බන්ධනාගාර පද්ධතියේ අඳුරුතම කොනෙහි වසර 175ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීමේ හැකියාවට අසාන්ජ් මුහුන දෙයි.

ලොව පුරා මිලියන ගනන් ජනයා හා සංවිධාන දුසිම් ගනනක් අද දින අසාන්ජ් හා මැනිංගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ හඬ නගති. බලගතු ජාත්‍යන්තර ව්‍යාපාරයක් හටගැනෙමින් තිබේ. එහෙත් එම ව්‍යාපාරය, අතීතයේ දී පන්ති යුද සිරකරුවන් හා රාජ්‍ය අවනඩුවලට ගොදුරු වූවන් නිදහස් කරගැනීමට දියත් කල ශ්‍රේෂ්ට අරගලවල පාඩම් උකහාගෙන ඒවා මත පදනම් විය යුතු ය. ඔවුන් ව නිදහස් කිරීමට චෝදකයන්ට බලකරනු ඇත්තේ කම්කරු පන්තියේ මහජන දේශපාලන බලමුලුගැන්වීමක් පිලිබඳ භීතිය පමනි.

විකිලීක්ස් විනාශ කිරීමට අධිෂ්ටානවත් ව සිටින ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය පසෙක තැබුවත්, එක්සත් රාජධානියේ අගමැති බෝරිස් ජොන්සන් හා ලේබර් පක්ෂ නායකත්වය සහ ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් හා ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බේනීස් වැනි දේශපාලන නායකයන්ගේ නො පවතින ප්‍රජාතන්ත්‍රවාදී හා සදාචාරාත්මක මූලධර්මයන්ට ආයාචනා කිරීම මගින් අසාන්ජ් හා මැනිංගේ නිදහස දිනාගත නො හැක.

ඒ වෙනුවට අසාන්ජ්ගේ ආරක්ෂාව කම්කරු පන්තියේ වැඩෙන අරගල මත පදනම් කරනු ලැබිය යුතු ය. ලෝකය පුරා කම්කරුවන් වැඩෙන වැඩ වර්ජන හා දේශපාලන විරෝධතා රැල්ලක නිමග්න ව සිටින අතර, අසාන්ජ් හා අනෙකුත් සියලු පන්ති යුද සිරකරුවන් නිදහස් කරනු ඇත්තේ මෙම සමාජ බලවේගය යි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමාජ සමානතාව සඳහා වන අරගලයෙන් වෙන් කල නො හැකි බව කම්කරුවන් අවබෝධ කරගත යුතු ය. පෙබරවාරි 22දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා පැවති සමාජවාදී සමානතා පක්ෂයේ රැලියක දී කථිකයෙක් ප්‍රකාශ කල පරිදි: “අවංක තොරතුරු හා කතාකිරීමේ නිදහස නැත්නම් අප සතුව කිසිදු ප්‍රශ්නයක් පිලිබඳ හඬක් නො තිබෙනු ඇත.”

අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ඉස්මතු වන ව්‍යාපාරය, සමාජ අසමානතාවට, ෆැසිස්ට්වාදයේ හා ආඥාදායකත්වයේ තර්ජනයට සහ වැඩෙන යුද අන්තරායට එරෙහි කම්කරු පන්තිය තුල වැඩෙමින් පවතින මහා ව්‍යාපාරය බලමුලුගැන්වීමට එහි ශක්තිය යොමුකල යුතු ය. ලන්ඩනයේ සිදුවෙමින් පවතින නෛතික ප්‍රයෝගය අවසන් කල හැකි, අසාන්ජ්ගේ ක්ෂනික හා කොන්දේසි විරහිත නිදහස තහවුරු කල හැකි බලය වන්නේ කම්කරු පන්තියේ යෝධ ශක්තිය යි.

කතෘ විසින් අනුමතකරන ලිපි:

පිටුවහල් කිරීමේ නඩු විභාගයට පෙරාතුව ජූලියන් අසාංජ් සඳහා වැඩෙන සහයෝගය

ජූලියන් අසාන්ජ් ජාත්‍යන්තරව දඩයම් කිරීම

Loading