ශ්‍රී ලංකාවේ ආන්ඩුව මිලිටරිය ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ යෝජනාවලින් ඉවත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ආන්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  (යූඑන්එච්ආර්සී) විසින් 2015 දී සම්මත කරන ලද යෝජනාවෙන් සහ ඊට අදාලව පසුගිය වසරේ සම්මත කරන ලද  යෝජනාවකින් ඉවත්වීමට තීන්දු කලේය. එය අර්ථභාරී  දේශපාලන පියවරකි. එහි දේශපාලන අරමුන වනාහි බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය තුල දී කරන ලද කිසිදු  යුද අපරාධයක් සම්බන්ධව විමර්ශනයක් නොකර මිලිටරිය  නිදහස් කර ගැනීමය.

රාජපක්ෂ බලයට  පත්වූයේ ධනපති පන්ති පාලනයට එරෙහිව  වැඩෙන බරපතල සමාජ විරුද්ධත්වයක් මධ්‍යයේ ය. සටන්කාමී කම්කරු  පන්තියට මුහුනදීමේ දී  සිය  ප්‍රධාන බල පදනම ලෙස ඔහු යැපෙන්නේ මිලිටරිය මතය.  

රාජපක්ෂ ම ත් හිටපු හමුදා කර්නල් වරයෙකු මෙන් ම, ඔහුගේ වැඩිමහල් සොහොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2005-2014 පාලන කාලය තුල  යුද්ධයේ අවසන අදියරේ දී ආරක්ෂක ලේකම්වරයා ද වූයේ ය. යුද්ධයේ අවසන් සති කිහිපය තුල  දී ඉවක් බවක් නැතිව කල වෙඩි තැබීම්  වලින් දස දහස් ගනන් සිවිල් ජනයා මරා දැමුනි. හමුදාවට භාර වූ බොහෝ දෙනෙක් අතුරුදහන් වූහ. මිලිටරියට අමතරව රාජපක්ෂ ට ද යුද අපරාධ පිලිබඳ චෝදනා එල්ල කෙරී ඇත.  

යෝජනාවලින් ඉවත්වීම පිලිබඳ තීන්දුව කැබිනට් මන්ඩලය විසින් පෙබරවාරි 17 වෙනිදා අනුමත කරන ලදී. පෙබරවාරි 26 වෙනිදා විදේශ කටයුතු පිලිබඳ ඇමති දිනේෂ් ගුනවර්ධන ජිනීවාහි පැවති යුඑන්එච්ආර්සී රැස්වීමේ දී යෝජනාවලින් ඉවත්වීමේ ආන්ඩුවේ තීන්දුව නිවේදනය කලේ ය.   

එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පාලන තන්ත්‍ර මාරුවකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කොට 2015 ජනවාරි මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයේ පිහිටුවීමෙන්  පසු කොලඹ සහ වොෂින්ටනයේ සම- අනුග්‍රහය සහිතව එම වසරේ ඔක්තෝබර් මාසයේ දී යෝජනාව සම්මත කෙරුනි. 

මානව හිමිකම් ආරක්ෂා කිරීම හෝ යුද අපරාධ පිලිබඳව අව්‍යාජ විමර්ශනයක් කිරීමේ  කිසිදු අභිප්‍රායක් වොෂින්ටනයට නැත. මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට සහ යුද්ධයට වොෂින්ටනය ආධාර අනුබල දුන්නේ ය. එහෙත් චීනයේ වැඩෙන ආනුභාවයට වල කැපීම පිනිස ගනු ලබන ආර්ථික සහ වෙලඳ පියවරයන් ට හා ආක්‍රමනකාරී මිලිටරි සැලසුම් වලට හතුරු වන ආකාරයට  චීනය සමග ඔහු සමීප සම්බන්ධකම් පවත්වාගෙන යාම ගැන එක්සත් ජනපදය විරුද්ධ විය.

බලයට පත්වීමෙන් පසු සිරිසේන සහ අගමැති වික්‍රමසිංහගේ නායකත්වය සහිත ආන්ඩුව එක්සත් ජනපදයට සහ එහි සහකරු ඉන්දියාවට පක්ෂග්‍රාහී වන ආකාරයට ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත මාරු කලේ ය. කොලඹ ආන්ඩුව එහි හමුදාව, චීනයට එරෙහිව යොමු කෙරුන එක්සත් ජනපද පැසිෆික් කොමාන්ඩ් හමුදා ඛන්ඩය  සමග ඒකාබද්ධ කිරීම ද ආරම්භ කලේ ය. 

මහින්ද රාජපක්ෂ තන්ත්‍රයට පීඩනය යෙදීම පිනිස  කලින්  එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල  යෝජනා ඉදිරිපත් කල වොෂින්ටනය පසුව පීල්ල මාරු කලේ ය. මිලිටරිය කොක්කෙන් ගලවා හැරීමට  ආන්ඩුවට ඉඩසලසමින් යුද අපරාධ පිලිබඳව ඊනියා දේශීය පරීක්ෂනයක් තහවුරු කිරීමේ යෝජනාවට එය සම-අනුග්‍රහය දැක් වී ය. දෙමල ධනේශ්වර  පක්ෂ එක්සත් ජනපද ගැති කොලඹ ආන්ඩුව සමග  ගැලතීම සඳහා, යෝජනාව, "සංහිඳියාව" සහ ව්‍යවස්ථාමය සංශෝධන ඉල්ලා සිටියේ ය.

යූඑන්එච්ආර්සී  යෝජනාවලින් ඉවත්වීම නිවේදනය කරමින්,     " බලය බෙදීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව චෝදනා ලත් හමුදා සාමාජිකයන් පිලිබඳ නඩු විමසීම සඳහා දෙමුහුන් අධිකරනයක් ස්ථාපිත කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය  වැලක්වීමේ පනත සංශෝධනය කිරීම සහ  අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමේ" එහි නියමයන් වර්තමාන ව්‍යවස්ථාවේ රාමුවෙන්  පරිබාහිර බව රාජපක්ෂ ආන්ඩුව සඳහන් කලේ ය. 

යෝජනා මගින්  "රටතුල වෙනස්කම් සඳහා පනවා ඇති නියෝග ,....ජාතික උත්සුකතාවයන් යටපත් කිරීම සහ බුද්ධි අංශ දුර්වල කිරීම ඇතුලුව ආරක්ෂාව සම්මුති ගස්සන" බව ගුනවර්ධන එක්සත් ජාතීන්ගේ සංවිධානයට  ප්‍රකාශ කලේ ය.  

ආන්ඩුවට මානව හිමිකම් ගැන යම් සැලකිල්ලක් ඇති බවක්  ව්‍යාජ ලෙස ඇඟවීම සඳහා පසුගිය කොමිසන්  වල වාර්තා විමර්ශනය කොට පියවර ගැනීම පිනිස රාජපක්ෂ ජනාධිපති කොමිසමක් පත්කරනු ඇති බව  ඔහු සඳහන් කලේ ය. 

මෙම ප්‍රකාශයන් විසින් ඇඟවුම් කරනු ලබන්නේ  විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කිරීමේ ව්‍යවස්ථාමය වෙනස්කම කිරීම හා මිලිටරියට සුදු හුනු ගාමින්  ත්‍රස්තවාදය වැලැක්වීමේ රුදුරු පනත පවත්වාගෙන යාමේ රාජපක්ෂගේ ආඥාදායක අරමුනු ය. 

"දෙමුහුන් අධිකරනයක් ස්ථාපිත කිරීම හෝ ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ සහභාගිත්වය සහිත දේශීය පරීක්ෂනයක්" යුද අපරාධ පිලිබඳව කවර හෝ විමර්ශනයක් දියාරු කිරීමට යුඑන්එච්ආර්සී විසින් යෝජිත ලිහිල් පියවරයන් ය. 

ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී රාජපක්ෂ සහ ඔහුට සහයෝගය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ)  පසුගිය ආන්ඩුව මෙම යෝජනාවලට එකඟවීම මගින් හමුදාව සහ රට "පාවාදුන්" බව ප්‍රචාරය කිරීම පිනිස එය  පාවිච්චි කල අතර ඉන් ඉවත් වන බවට පොරොන්දු විය.

එලඹෙන මහ මැතිවරනයට සූදානම්වීම සඳහා ද රාජපක්ෂ මෙම පියවර උපයෝගි කරගෙන ඇත. ඔහුට හිමි විධායක බලතල පාවිච්චි කරමින්  එහි කාලය ඉක්මීමට මාස හයකට පෙරාතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ඔහු සඳුදා රාත්‍රියේ නිකුත් කලේ ය.

ආඥාදායක පාලනයක් ශක්තිමත් කරගැනීම .පිනිස රාජපක්ෂ සහ ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතර බලයක් සඳහා ඔට්ටු  අල්ලමින් සිටිති. රටේ "ස්වෛරීත්වය" ආරක්ෂා කිරීම සහ "හමුදාව රැකගැනීම" සඳහා  යූඑන්එච්ආර්සී යෝජනාවලින් ඉවත්වීම සම්බන්ධව  ගෙන යන  එහි ප්‍රචාරයේ එක් ප්‍රධාන කාරනාවක් වනු ඇත්තේ  ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් තුලින් චන්ද බෙදීමය. 

යූඑන්එච්ආර්සී යෝජනාවලින් ඉවත්වීමේ තීන්දුව රාජපක්ෂ ආන්ඩුව විසින් ගනු ලැබුවේ එක්සත් ජනපදය විසින් හමුදාපති ලුතිනන් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව සංචාරක තහනමක් පනවා දින දෙකකට පසුවය. සිල්වා "ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුල දී නීති විරෝධී ඝාතනවලට සම්බන්ධවීම" නිසා එම තීන්දුව ගත්  බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කලේ ය. [ලින්ක්: එක්සත් ජනපදය  ශ්‍රී ලංකාවේ හමුදාපති මත සංචාරක තහනමක් පනවයි 2020 පෙබරවාරි 19]

ලෝකයේ ප්‍රධානතම මානව හිමිකම් උල්ලංඝනය කරන්නා වන එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාකිරීම ගැන මොනම කැක්කුමක්වත් නැත. හමුදා ප්‍රධානියා  මත පනවන ලද සංචාරක තහනම  එක්සත් ජනපදය හා චීනය අතර තුලනය වීමට  කොලඹ ආන්ඩුව දරන කවර හෝ උත්සාහයක් වොෂින්ටනය නො ඉවසන බවට හා ඔහුට එරෙහි යුද අපරාධ චෝදනා පාවිච්චි කරන බවට ජනාධිපති රාජපක්ෂට කල අනතුරු ඇඟවීමකි.  

දිවයිනට නිදහසේ ඇතුලුවීමට ඉඩ සලසන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා)  රාජපක්ෂ ආන්ඩුව අලුත් නොකිරීම ගැන වොෂින්ටනය සැලකිලිමත් ය.  වොෂින්ටනයට එහි අනුහස ශක්තිමත් කර ගැනීමට අවකාශ සලසන  සහශ්‍ර  සහයෝගිතා අභියෝග ගිවිසුම (එම්සීසී) අත්සන් නොකිරීම සම්බන්ධයෙන් ද එය උත්සුකය.  

ශ්‍රී ලංකා ආන්ඩුවේ මෑත ක්‍රියාව සම්බන්ධව එක්සත් ජනපදය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත. කෙසේ නමුත්, යූඑන්එච්ආර්සී මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ  සහ සෙසු ප්‍රධාන බලයන් කොලඹ ආන්ඩුව යෝජනාවෙන් ඉවත්වීම පිලිබඳව "උත්සුකතාවයන්" ප්‍රකාශ කොට ඇත. යෝජනාවෙන් ඉවත්වීමේ ආන්ඩුවේ තීරනය ගැන ඇය කනගාටුවට පත්වන බව මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත. 

"සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය" සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව "යම් ප්‍රගතියක්" ලබා තිබෙන බව බැෂෙලේ පවසයි. "නෛතික මුක්තිය සම්බන්ධව දැඩිව කටයුතු කිරීමට සහ ආයතනික ප්‍රතිසංස්කරන කිරීමට අසමත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීමට උත්තේජනය සපයනු ඇති" බව ඇය සඳහන් කර ඇත.

බැෂෙලේ ගේ ප්‍රකාශය සාවද්‍යය. යුද්ධයෙන් ඉරිතලාගිය උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල ජනතාව තවමත් ජීවත් වන්නේ හමුදා වාඩිලා ගැනීම යටතේ ය.  

යුද අපරාධකරුවන් ට එරෙහි නඩු ඉවත්කර ගැනීමේ ක්‍රියාවලියක ආන්ඩුව නිරතව සිටී. උදාහරන  වශයෙන්; 2008-2009 වසර වල දී කප්පම් ලබා ගැනීම සඳහා තරුනයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව  හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩ  සහ තවත් 13 දෙනෙකුට විරුද්ධ චෝදනා ඉවත් කරන ලෙස ආන්ඩුව අධිකරනයට සහ පොලීසියට පීඩනය යොදමින් සිටී. 

එමෙන් ම, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධාන නිල තල වලට  වි‍ශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරමින් පරිපාලනය මිලිටරීකරනය කරයි. 

යූඑන්එච්ආර්සී තුල ශ්‍රී ලංකාව  පිලිබඳ ඊනියා කේන්ද්‍රීය කන්ඩායම  (Core Group) "ආන්ඩුව යෝජනාව පිලිබඳ එහි ප්‍රවිෂ්ටය වෙනස් කිරීම ගැන ගැඹුරින් ම බලාපොරොත්තු සුන්කරගත් බවත් උත්සුක වන බවත්" සඳහන්කරමින්  ජිනීවා රැස්වීමේ දී ප්‍රකාශයක් නිකුත් කර ඇත. කන්ඩායමට අයත් රටවල් "ප්‍ර‍ගාඪ ලෙස යෝජනාවට කැපවී සිටින"  බව එය වැඩි දුරටත් සදහන් කර ඇත. 

කැනඩාව, ජර්මනිය, උතුරු  මැසෙඩෝනියාව, මොන්ටෙනීග්‍රෝ  එක්සත් රාජධානිය මෙම හර කන්ඩායමට ඇතුලත් වේ. තම උත්සුකතාව පලකරමින් ප්‍රන්සය වෙන ම ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙම සියලුම රටවල් එක්සත් ජනපදය සිදුකල  තන්ත්‍ර මාරු මෙහෙයුමට   සහයෝගය දුන්හ. කොලඹ නැවත  වරක් චීනය දෙසට ඇදීයාම වැලැක්වීම සඳහා එක්සත් ජනපදය සහ මෙම ප්‍රධාන බලයන් යුද අපරාධ පිලිබඳ චෝදනා පාවිච්චි කරන බවට කරන මෙම ප්‍රකාශයන් අනතුරු ඇඟවීමකි.

මෙම තර්ජනයන්  වටහාගත්  විදේශ ඇමති ගුනවර්ධන  යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කලත් ආන්ඩුව යූඑන්එච්ආර්සී සමග එක්ව කටයුතු කිරීම දිගටම කරන බවට නැවත නැවතත් බැෂලේ  පැවසීය.

යූඑන්එච්ආර්සී යෝජනා ගෙන ඒමට මුලික භූමිකාවක් ඉටුකලේ ප්‍රධාන විපක්ෂය වන  එක්සත් ජාතික පක්ෂය (එජාප) යි. එය ආන්ඩුවේ තීරනය ගැන මුලුමනින් ම නිහඬය. ඒ එජාපයට ද මිලිටරියේ සහ සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් වල සහයෝගය අවශ්‍ය නිසාය. 

ආන්ඩුවේ තීරනය හෙලා දුටු ඉලන්කෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) නායක එම්. ඒ. සුමදිරන් යෝජනාවේ නියමයන් ක්‍රියාවට දැමීමට ආන්ඩුවට පීඩනය යොදන ලෙස යූඑන්එච්ආර්සී යෙන් ඉල්ලා සිටියේ ය. අයිටීඒකේ යනු දෙමල ජාතික සංධානයේ ප්‍රධාන පාර්ශවකරුවෙකි. අයිටීඒකේ උත්සුක වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පොරොන්දු වූ ඊනියා සංහිදියාවක දී, සීමිත බලය බෙදීමකින් දෙමල ප්‍රභූවට ලබා ගැනීමට පවතින අවස්ථාවන් අහිවීම කෙරෙහිය.

අනුප්‍රාප්තික ආන්ඩුවලට එල්ල වූ අඛන්ඩ සමාජ විරුද්ධත්වයට සහ වැඩෙන ආර්ථික ප්‍රශ්න වලට  මුහුන  දී සිටින රාජපක්ෂ ආන්ඩුව උත්සාහ කරන්නේ දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව  වාර්ගික උත්සන්නියක් අවුලුවාලීම සමග ඒකාබද්ධ කරන යූඑන්එච්ආර්සී යෝජනාවෙන් ඉවත්වීම සම්බන්ධ ප්‍රචාරනය තුලින් වැඩකරන ජනතාවගේ  සමාජ කෝපය අපසරනය කිරීමට සහ ඔවුන් ව බෙදීමට ය.

රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී  පත්වීමන් පසු ගත වූ මාස තුන තුල  කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අරගල ගනනාවක්  පැන නැගුනි. වතුකරයේ සහ කහටගහ පතල් කම්කරුවන්ගේ වර්ජන සහ පසුගිය සතියේ 200000 ගුරුවරුන්ගේ  එක්  දින ලෙඩ නිවාඩු විරෝධතාව ඊට ඇතුලත් විය. රාජපක්ෂ ආන්ඩුව විසින් රැකියා වලින් නෙරපන ලද 15,000 ක පමන කම්කරුවෝ ඔවුන්ගේ රැකියා යලි ලබා දෙන ලෙස ඉල්ලමින් අඛන්ඩ උද්ඝෝෂනයක යෙදී සිටිති.

මෙම අරගල ඇඟවුම් කරන්නේ ශ්‍රී ලංකාව තුල වර්ධනය වන සමාජ පිපිරීම්වල  තත්වය යි. ඉහල යන සමාජ ආතතීන්ට විරුද්ධව ක්‍රියාත්මක වන සෑම රටකම පාලක පන්තීන් මෙන් ම රාජපක්ෂ ද ගමන් කරමින් සිටින්නේ ආඥාදායක පාලනයක් තහවුරු කිරීමේ දිසාවටය.

Loading