විශ්ව විද්‍යාලවල සිසු දඩයම උග්‍ර කෙරෙද්දී අවිශිබම නායකයෝ උසස් අධ්‍යාපන ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලති

පසුගිය සතියක කාලය තුල රාජපක්ෂ ආන්ඩුවත්, පොලිසියත්, විශ්ව විද්‍යාල පරිපාලනයත් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි දඩයම උත්සන්න කර ඇත. විශ්ව විද්‍යාල පවත්නා විවිධ භෞතික සහ මානව සම්පත් ඌනතාවයන්ට සහ තමා මුහුන දී සිටින ආර්ථික දුෂ්කරතාවයන්ට එරෙහිව නැවත නැවතත් සටනට අවතීර්න වන පසුබිමක ආන්ඩුව මෙම ප්‍රහාරය දියත් කර ඇත. පසුගිය දින කීපය තුල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සමූහ වශයෙන් අත් අඩංගුවට ගැනීම් දෙකක් වාර්තා විය. 

ආසන්නත ම සිදු වීම නම් පසුගිය මාර්තු 1 වැනි දා වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට වේදිකාවක් තනා ගෙන සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වෙමින් සිටි අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන භික්ෂුව ඇතුලු තවත් සිසුන් 22ක් අත් අඩංගුවට ගැනීමයි. 

රුහුනු විශ්ව විද්‍යාලයේ සහ කැලනිය විශ්ව විද්‍යාලයේ දියත් කෙරී ඇති සිසු මර්දනය නවතා දැමීම, රුහුනු විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කිරීම යන ඉල්ලීම් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමති සමග සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් පෙබරවාරි 27 වැනි දා සිට ඔවුහු සත්‍යග්‍රහයේ යෙදී සිටියහ. මෙම සත්‍යග්‍රහයට අධිකරන වාරනයක් ලබා ගත් පොලිසිය, එම වාරන නියෝගයට අවනත වී විසිර නොගියේ යැයි චෝදනා කරමින් සිසුන් අත් අඩංගුවට ගත්තේ ය. 

මාර්තු 2 වැනි දින ඔවුහු අධිකරනයට ඉදිරිපත් කරනු ලැබූහ. ඇප ලබා දුනහොත් නැවතත් විරෝධතාවල යෙදිය හැකි නිසාත් අධිකරන නියෝගයට අවනත නොවෙමින් අධිකරනයට අපහාස කල නිසාත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන මෙන් පොලිසිය අධිකරනයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව  ඇප ලබා දීම ප්‍රතික්ෂේප කල අධිකරනයමාර්තු 16 වැනි දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලබා දුන්නේ ය. 

පෙබරවාරි 27 සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට විරෝධතා දක්වමින් පැමිනෙද්දී “දැනුම් දීමකින් තොරව පැමිනියා නම් නීතිය මගින් කටයුතු කරනවා” යැයි තර්ජනය කල උසස් අධ්‍යාපන ඇමති පසු ව, “කඳුලු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර නැති ව, මර්දනය, තර්ජනය නැති ව සාධාරන ලෙස මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියා කර තිබෙන ආන්ඩුවක් බව අප ඔප්පු කර තියෙනවා” යැයි පැවසීම උත්ප්‍රාසාත්මකය. 

අනෙක් සිදු වීම නම්, පසුගිය 27 වැනි දා, කැලනිය විශ්ව විද්‍යාලයේ සිසුන් 16 දෙනෙක් පෑලියගොඩ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමයි. ඔවුන්ට එල්ල කෙරුනු ලැබූ චෝදනාව නම් කැලනිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සීසීටීවී කැමරා පද්ධතියට හානි සිදු කිරීමයි. 

අත්අඩංගුවට ගනු ලැබූ සිසුන්ගෙන් 12 දෙනෙකු එදින ම පොලිස් ඇප මත මුදා හැරුනු අතර එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත භික්ෂුව ඇතුලු ඉතිරි 4 දෙනා මහර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරනු ලැබ මාර්තු 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. ඔවුන්ට එරෙහි ව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර ඇත. 

පසුගිය 24 වැනි දා, කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තම ෆේස්බුක් පිටුව හරහා නිවේදනයක් පල කරමින් සඳහන් කලේ කැලනිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ නිදහසට, සංවිධානය වීමේ අයිතියට බාධා පැනවීමට ස්ථාපනය කර තිබූ සීසීටීවී කැමරා සියල්ල ගලවා දැමූ බවයි. 

සිසුන් කීප වතාවක දී ම විශ්ව විද්‍යාල තුල සීසීටීවී කැමරා සවි කිරීමට තම විරුද්ධත්වය පල කර තිබූ අතර මේ වසරේ දී මහ ශිෂ්‍ය සංගමය ඒ සම්බන්ධව ලිපි දෙකක් පරිපාලනයට භාර දී තිබුනි. එම සිසු විරෝධය පැවතිය දී ම ප්‍රකෝපකාරී ව සීසීටීවී කැමරා ස්ථාපනය පරිපාලනය විසින් ඉදිරියට ගෙන යනු ලැබූ අතර, විද්‍යා පීඨයේ සීසීටීවී කැමරා සවි කරමින් පැවතිය දී එයට විරෝධය පල කල මහ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීහු කැමරා සියල්ල ම ගලවා දමා, ඒවා විශ්ව විද්‍යාල පරිපාලනයට භාර දීමට කටයුතු කලහ.

විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය අනුප්‍රාප්තික ආන්ඩුවල න්‍යාය පත්‍රයේ ඉහලින්ම පැවති දෙයකි. ශිෂ්‍යන්ට දේශපාලනික ව සංවිධානය වීමට ඇති අයිතිය නීති විරෝධි ආකාරයෙන් ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයක ම අහුරා දමා ඇත. සීසීටීවී කැමරා සවි කිරීම කාලයක් තිස්සේ ක්‍රියාවට දැමීමට බලා ගෙන සිටි පියවරකි. ශිෂ්‍ය විරෝධතා හමුවේ මේ කාරනය සපුරා ගැනීම දුෂ්කර ව පැවතියත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිනුම් පිත්තක් කර ගත් ආන්ඩුව කඩිනමින් විශ්ව විද්‍යලවල කැමරා සවි කිරීමට පටන් ගත්තේ ය.

දැන් මෙම ප්‍රකෝපකරනය මතින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට දැවැන්ත මර්දනයක් දියත් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය ක්‍රියා කර ඇත. කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පවසා සිටියේ අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් 16 දෙනා අතර සිද්ධිය වූ දින විශ්ව විද්‍යාලයට නොපැමිනි සිසුන් පවා සිටින බව සහ පසුගිය කාලයේ සිසුන් මුහුන දෙන ගැටලු පිලිබඳ ව ක්‍රියාකාරී වූ සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම දඩයම ක්‍රියාත්මක වන බවයි. පොලිසිය තවත් සිසුන් අත් අඩංගුවට ගැනීමට නිවෙස්වලට පවා ගොස් ඇති බව ඔහු සඳහන් කලේ ය. 

කැලනිය විශ්ව විද්‍යාල පරිපාලනය සිසුන් 25 දෙනෙකුට වසර 2 ක පන්ති තහනමක් පනවා ඇත. සීසීටීවී කැමරා නැති වීමෙන් විශ්ව විද්‍යාලය දැවැන්ත අනාරක්ෂිත තත්ත්වයකට පත් ව ඇත යන භීතිය වැපිරීමට පරිපාලනයත් ධනපති ආන්ඩුවල පන්දම් අල්ලන ආචාර්යවරුන් කීප දෙනෙකුත් පෙල ගැසී ඇත. 

කැලනිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය 27 වැනි දා, පැවැත් වූ මාධ්‍ය හමුවක දී එහි සභාපති ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන භික්ෂුව සිසුන්, ආචාර්ය මන්ඩලය සහ කාර්ය මන්ඩලය ඇතුලු 16 000කට අධික පිරිසකගේ ආරක්ෂාව ගැන ගැටලුවක් මතු වී ඇති බැවින් සීසීටීවී කැමරා පද්ධතිය නැවත සවි කර දෙන මෙන් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ ය. 

“මේවා පිටුපස ජාතික වශයෙන් ක්‍රියාත්මක වන අශිෂ්ට දේශපාලනයක් තියෙනවා. ඒකට නිසි දඬුවම් ක්‍රියාත්මක විය යුතුයි” යැයි ආචාර්යවරුන්ගේ සංගමයේ විධායක සභිකයෙකු වන ඒ.ජී. අමරසිංහ ප්‍රකාශ කලේ ය. මෙය, “ශිෂ්‍ය උද්ඝෝෂන පිටුපස අදෘෂ්‍යමාන හස්තයක් තිබේදැයි සෙවිය යුතු” යැයි උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන කල අදහස් ප්‍රතිරාවය නැංවීමකි.

මේ වන විට කැලනිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රය දින නියමයක් නොමැති ව වසා දමා, එය ශිෂ්‍යයන්ට තහනම් කලාපයක් බවට පත් කර ඇත. විශ්ව විද්‍යාලයේ බාහිර පාඨමාලාවල අධ්‍යයන කටයුතු ද නතර කෙරී ඇත. පෙබරවාරි 29 වැනි දායින් 2017/2018 අධ්‍යයන වර්ෂය අවසන් වන බැවින් නේවාසිකාගාර ද ඇතුලු ව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සියලු දෙනා එදින පෙරවරු 8ට පෙර ඉවත් විය යුතු යැයි විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ඊට පෙර දින දී නියෝගයක් පැනවීය.

ආන්ඩුවේ මර්දනීය පියවර කෙරෙහි, කැලනිය සහ රුහුනු මහා ශිෂ්‍ය සංගම්වලට දේශපාලන නායකත්වය සපයන අවිශිබමයේ ප්‍රතිචාරය වී ඇත්තේ තව තවත් බලපෑම් දැමීම සහ සාකච්ඡා ඉල්ලීමයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයට පැන වූ වාරන නියෝගය පොලීසිය විසින් නිවේදනය කල විට අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන භික්ෂුව සහ එම සංවිධානයේ ක්‍රියාකාරීන් එක හඬින් ඉල්ලා සිටියේ, “ඇමති එක්ක සාකච්ඡාවක් දෙන්න - ඇමති එක්ක සාකච්ඡාවක් දීලා ඒකෙන් විසඳුම් දෙනවා නම් අපි මෙ තැනින් යනවා” යනුවෙනි. 

ආන්ඩුව සාකච්ඡාවක් දුන්නද, එයින් ආන්ඩුවේ ප්‍ර‍හාරයන් ආපසු හැරවෙන විසඳුම් ලැබේයැයි අපේක්ෂා කිරීම ද මුලාවකි. සමස්ත ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදය හමුවේ අධ්‍යාපනය ඇතුලු සියලු සමාජ අයිතීන් අතුගා දැමීම හැර අන් විකල්පයක් ලබා දීමට ධනපති ආන්ඩු වෛෂයිකව අසමත්ය. 

රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කල අය වැය පරතරය අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට යන්නේ කම්කරු-පීඩිත මහජනතාවගේ වියදමිනි. ඒ අනුව ආන්ඩුව අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධනයට වැය කරන මුදල් කපා හරිනු ඇත. ආයෝජන සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය විවර කෙරෙන අතර, අධ්‍යාපන ආයෝජන කලාපයක් පිහිටු වීමේ සැලසුම් ආන්ඩුව දැනටමත් එලිදක්වා ඇත.

විශ්ව විද්‍යාල තුල ගෙන යමින් ඇති මර්දනය, කප්පාදු පියවරවලට එරෙහි ව නැගෙන පුලුල් මහජන විරෝධය රුදුරු ලෙස තලා දැමීම රාජපක්ෂ ආන්ඩුවේ පමනක් නොව සමස්ත ධනපති පන්තියේ ම සැලසුම් සහගත වැඩපිලිවෙලක කොටසකි. 

මර්දනයේ මෙම දේශපාලන ආර්ථිකය දිගින් දිගට ම වසන් කරන අවිශිබමය රුහුනු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය එහි උපකුලපතිගේ උන්මාදයක් නිසා සිදු වන බවට දිගින් දිගට ම තහවුරු කිරීමට උත්සාහ දරයි. 

ප්‍රහාරයට කල් ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී මුහුනක් දමා ගැනීමටත් රාජපක්ෂ ආන්ඩුව පසුගිය කාලයේ ලබාදුන් බොරු සාකච්ඡා පසු පස්සේ ශිෂ්‍යයන් රස්තියාදු කල අවිශිබමය ආන්ඩුවේ ප්‍රහාරයට සිසුන් දේශපාලනික ව සූදානම් වීම වලකාලීය.

පසුගිය ජනවාරියේ දී, පේරාදෙනියේ උපකුලපති නවක සිසුන් පිරිසක් අමතමින් එම විශ්ව විද්‍යාලය තුල ඔත්තු සපයන්නන් 34ක් හෝ 35 ක් සිටින බව සඳහන් කලේ ය. විශ්ව විද්‍යාල තුලට ආරක්ෂක අංශවල ඔත්තුකරුවන් යෙදවීම වනාහි, රුදුරු මර්දන යාන්ත්‍රනයක් තනා ගැනීමට ධනපති පාලනය දරන උත්සාහයේ බරපතල ම පියවරකි. 

විශ්ව විද්‍යාලවල සිසුන්ගේත් ආචාර්යවරුන්ගේත් දේශපාලන අයිතීන් තලා දැමීමට ගෙන යන ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා පිලිවෙත “නවක වදයට එරෙහි වීම”, “ජාතික ආරක්ෂාව” ආදී කවරාකාරයක වහන්තරාවක දවටා ගෙන ආවත් එයට සම්මුති විරහිත ව එරෙහි විය යුතු ය. 

එ ලෙස සම්මුති විරහිත ව එරෙහි විය හැක්කේ කම්කරු පන්තික ආස්ථානයක් ගැනීමෙන් පමනි. අවිශිබමයට එබඳු ආස්ථානයක් ගැනීමේ නොහැකියාව පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පසු ජාතික ආරක්ෂාව තර කිරීමේ නාමයෙන් විශ්ව විද්‍යාල තුල මිලිටරි සෝදිසිවලට තම සාමාජිකයන් කායික ව සහභාගී කරවීමෙන් පෙන්වී ය. පරිපාලනය සමග එක් ව "අන්තවාදයට එරෙහි ව ආරක්ෂාව තර කිරීමේ" විවිධ වැඩසටහන්වලට සහභාගී විය. එම ක්‍රියාවන් අවසානයේ රාජ්‍ය මර්දන හස්තය සවි ගන්වා තිබෙනවා පමනි. 

විශ්ව විද්‍යාල තුල ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමට සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය “විශ්ව විද්‍යාල තුල රාජ්‍ය ඔත්තුකරුවන් වහා ඉවත් කරනු! දේශපාලන සංවිධාන වලට විශ්ව විද්‍යාල තුල පනවා ඇති තහංචි අහෝසි කරනු!” යන මැයෙන් උද්ඝෝෂනයක් දියත් කර ඇත. 

එම උද්ඝෝෂනය නිවේදනය කරමින් සසජාතශි නිකුත් කල ප්‍ර‍කාශයේ මෙසේ සඳහන් විය: "ධනපති ක්‍ර‍මයේ පද්ධතිගත අර්බුදයෙන් ගලා එන මෙම ප්‍රහාරයන්, ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. එබැවින්, රාජ්‍ය මර්දනය පරාජය කොට අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ අරගලය, ධනපති ආන්ඩු සහ ධනපති ක්‍ර‍මය පෙරලා දැමීම එල්ල කර ගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක විය යුතුය."

එම ක්‍රියාමාර්ගය මත කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සහ ආරක්ෂක කමිටු ගොඩ නගා ගැනීමේ අරගලයට උර දෙන මෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන්, ආචාර්යවරුන්ගෙන් සහ අනධ්‍යයන කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. 

Loading