කොරෝනා වසංගතයට ධනවාදයේ විනාශකාරී ප්‍රතිචාරය

මෙම ලිපිය 2020 මාර්තු 4 දින ඉංග්‍රීසියෙන් පල විය.

එක්සත් ජනපදය තුල රෝගය ශීඝ්‍රයෙන් පැතිරීමෙන් හා ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් භයානක ලෙස රෝගාතුර වන බවට විද්‍යාඥයින් විසින් කරනු ලබන අනතුරු ඇඟවීම්වලින්, කොරෝනා ව‍ෛරසය විසින් ඇති කෙරෙන අන්තරාය අවතක්සේරු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයන් යටපත් කෙරෙමින් තිබේ.

එක්සත් ජනපදය තුල සති ගනනාවක් තිස්සේ වෛරසය හඳුනා නො ගෙන පැතිරී ඇති බව දැන් පිලිගෙන තිබේ. ප්‍රාන්ත 16 ක කොරෝනා වෛරස් රෝගීන් සිටින බව තහවුරු වී ඇති අතර පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇත. කැලිෆෝනියා, වොෂිංටන් හා නිව්යෝක් ප්‍රාන්ත “නොදන්නා සම්භවයක්” ඇති “ප්‍රජා පැතිරීම්” අනාවරනය කර ගෙන ඇත යි යන්නෙහි අදහස වන්නේ රට පුරා සිය ගනනක් හෝ දහස් ගනනක වත් පුද්ගලයන්  ආසාදනයට ලක් වී ඇති බව යි.

ජනගහනය මුලුල්ලෙහි වසංගතය පැතිරීම හෙලිදරව් කර ඇත්තේ, වසංගතයේ ව්‍යාප්තියට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට වන එක්සත් ජනපදයේ බියකරු නොසූදානම යි. අවම වශයෙන් දශක දෙකක පමන කාලයක් විද්‍යාඥයින් විසින් මේ ආකාරයේ සිදුවීමක් නොවැලක්විය හැකි නම්, බොහෝ දුරට සිදු වීමට ඉඩ ඇති බව, අනතුරු අඟවා තිබුන ද, මධ්‍යම ආන්ඩුවේ හා ප්‍රාන්ත බලධාරීන් ප්‍රතිචාර දක්වමින් සිටින්නේ අසංවිධිත හා අකාර්යක්ෂම ගැලවිජ්ජා වලිනි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 පෙබරවාරි 26 වන බදාදා වොෂිංටන්හි ධවල මන්දිරයේ බ්‍රැඩි ප්‍රෙස් මාධ්‍ය සාකච්ඡා ‍‍කේන්ද්‍රෙය් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව පිටත්ව යන අතරතුර මාධ්‍යවේදීන්ට කතා කරමින්. ‍සෙසු අය වම් කෙලවරේ සිට : සෞඛ්‍ය හා මානව ‍‍‍සේවා දෙපාර්තමේන්තුවේ සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ අංශ‍‍යේ සහකාර ලේකම් රොබට් කැඩ්ලෙක්, රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන‍යේ අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් සහ උප ජනාධිපති මයික් පෙන්ස් (AP ඡායාරූපය / Evan Vucci)

මේ වන විට, වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ආසාදනය විය හැක්කේ කාට ද යන්න තීරනය කිරීම සඳහා පරීක්ෂන ක්‍රියාත්මක කිරීමට මනා සම්බන්ධීකරන ජාතික මට්ටමේ උත්සාහයක් ආරම්භ වී නොමැත. චීනය මිලියන ගනනක් අත්හදා බලා ඇති අතර, එක්සත් ජනපදය අත්හදා බලා ඇත්තේ කීප සියයක් පමනි.

පුද්ගලයන් හා සෞඛ්‍ය කම්කරුවන් තමන් හා තම රෝගීන් සඳහා ඉතා දැඩි ලෙස කොරෝනා වෛරස් පරීක්ෂාවක් අපේක්ෂා කරන නමුත්, ඔවුන්ගේ ඉල්ලීම් නැවත නැවතත් අහේතුකව ප්‍රතික්ෂේප කර ඇති බවට සමාජ මාධ්‍යවල බොහෝ වාර්තා ඇත. මෙය දැනටමත් වැලක්විය හැකි පැතිරීම් හා මරන පෙලකට හේතු වී තිබේ. බටහිර වෙරල තීරයේ ආපදා කම්කරුවන් හා සෞඛ්‍ය කම්කරුවන් දුසිම් ගනනක් රෝගාතුර වී ඇත.

දශක ගනනාවක් තිස්සේ, ඩෙමොක්‍රටික් මෙන් ම රිපබ්ලිකානු ආන්ඩු, සම්පත් හිඟයෙන් පෙලී ඇති, රෝග පාලන මධ්‍යස්ථාන ඇතුලු මහජන සෞඛ්‍ය යටිතල පහසුකම්වලට ක්‍රමානුකූල ලෙස මුදල් සපයා නොමැත.

දශක ගනනාවක් තිස්සේ ඩෙමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකානු අනුප්‍රාප්තික පරිපාලනවල අරමුනු වී ඇති මෙම ක්‍රියාවලිය, මූල්‍ය කතිපයාධිකාරය වෙත ධනය අඛන්ඩව ඉහලට යලි බෙදා හැරීම සමග වෙන් කල නො හැකි සේ බැඳී ඇත. 

පසුගිය සතියේ මාධ්‍ය තුල කොරෝනා වෛරස් වසංගතය පිලිබඳ  ආවරනය  ප්‍රධාන වශයෙන් සංකේන්ද්‍රනය කෙරී ඇත්තේ කොටස් වෙලඳ පොල මත එහි බලපෑම පිලිබඳ සමපේක්ෂනය කෙරෙහි බව සඳහන් කල යුතු ය. ට්‍රම්ප් පරිපාලනයේ නායකත්වය අනුගමනය කරමින්, මාධ්‍ය වඩාත් උත්සුක වී ඇත්තේ මිනිස් ජීවිතවලට වඩා කොටස් වටිනාකම් කෙරෙහි කොරෝනා වෛරසයේ බලපෑම ගැන ය. 

මෙම අමානුෂික දෘෂ්ටිය සඳුදා එහි වඩාත්ම භයානක ප්‍රකාශනය අත්පත් කරගත්තේ, වෝල් වීදියේ ආයෝජකයින් එක්සත් ජනපදය පුරා වසංගතය පැතිරීම පිලිබඳ දරුනු අනතුරු ඇඟවීම් නො වැදගත් යැයි අතහැර දැමූ අවස්ථාවේ දී ය. ඉතා ආසන්න මහබැංකු අනුපාත කප්පාදුවක් පිලිබඳ නිවේදනය ඩව් ජෝන්ස්  සාමාන්‍ය ඒකක 1000 ට වඩා ඉහල නැංවී ය.

2008 මූල්‍ය අර්බුදයේ සිට, පාලක ප්‍රභූව තෙමේ ම පසක් කර ගෙන ඇත්තේ, කොටස් වටිනාකම් ඉහලට තල්ලු කරන, පොලී අනුපාත කප්පාදු මගින් සාර්ථක ලෙස ජයගත නො හැකි ගැටලුවක් ලෝකයේ නැති බව යි. ධනපති   පන්තිය විසින් සිදුවීම් ඇගයීමට ලක් කරනු ලබන්නේ වෙලඳ පොල මත මෙන්ම   ඇමරිකානු ජීවිතයේ ආධිපත්‍යය දරන, කතිපයාධිකාරයේ ධනසම්භාරය  මත  ඒවායේ බලපෑම අනුව ය.

පසුගිය මාසය තුල කොරෝනා වෛරසයට දැක් වූ ප්‍රතිචාරය මීට වඩා වෙනස් නො වේ. ප්‍රභූ පැලැන්තියේ ආකල්පය පහත පරිදි සාරාංශගත කල හැකි ය: “මිලියන ගනනක් මිය යා හැක, නමුත් එක්සත් ජනපද මහබැංකුව පොලී අනුපාත අඩු කරන නිසා ඩව් හා නස්ඩැක් අගයන් ඉහල යාවි. ජයවේවා!”

මහබැංකුවේ පදනම් අංක 50 ක පොලී අනුපාත කප්පාදුවට ප්‍රතිචාර දැක්වීමට වෙලඳපොල අසමත් වූ විට, මාධ්‍ය පන්ඩිතයන්ගේ මනෝභාවය අඳුරු වූයේ, විශාල පිරිසක් මිය යා හැකි බව ඔවුන් වටහා ගත් නිසා නො ව, සෞඛ්‍ය අර්බුදය ආයෝජන කාන්ඩ (portfolios) මත විශාල බලපෑමක් ඇති කල හැකි යැයි විචාරකයින් සැක කිරීමට පටන් ගත් හෙයිනි.

මෙම අර්බුදය ඇමරිකානු ධනවාදී පද්ධතිය කෙතරම් කුනු වී ඇත් දැ යි ලොවට පෙන්වා දෙමින් තිබේ. වසංගතයට ප්‍රතිචාර දැක්වීමට හා රෝගය පාලනය කිරීම, ඵලදායී වෛද්‍ය ප්‍රතිකාර සංවිධානය කිරීම හා ජීවිත බේරා ගැනීමට අවශ්‍ය සියලු සම්පත් බලමුලු ගැන්වීමට හදිසි පියවර ගත යුතු ය.

එහෙත් මෙම අර්බුදය විසඳීමට වෛද්‍ය ප්‍රතිචාරයක් පමනක් නො ව, දේශපාලන විසඳීමක් ද අවශ්‍ය වේ.

කොරෝනා වෛරස් වසංගතය, උදාහරන කීපයක් පමනක් සඳහන් කරන්නේ නම්, ගෝලීය උෂ්නත්වය ඉහල යාම, එක්සත් ජනපදයේ හා ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි, පුවර්ටෝ රිකෝ හි වූ භූමිකම්පාවට වූ සාපරාධී නොසැලකිලිමත් ප්‍රතිචාරයට අතිරේක ව, සමාජ අර්බුද  සඳහා සූදානම් වීම හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා වන ධනවාදයේ නොහැකියාව තව දුරටත් ප්‍රදර්ශනය කිරීමකි. 

මානව වර්ගයාගේ අනාගතය රඳා පවතින්නේ ධනවාදය අවසාන කිරීම හා ඒ වෙනුවට සමාජවාදය ප්‍රතිස්ථාපනය කිරීම මත ය.

Loading