කොරෝනා වසංගතය සහ ගෝලීය සමාජීය වෛද්‍ය විද්‍යාවේ අවශ්‍යතාවය

මෙම ලිපිය 2020 පෙබරවාරි 27 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

චීනයේ වුහාන් හි පසුගිය දෙසැම්බරයේ ආරම්භ වූ කොරෝනා ව්‍යාප්තිය, ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වී ඇත්තේ එම එයින් ජනනය විය හැකි මහා විනාශය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධීකරනය වූ ප්‍රතිචාරයක් ඉල්ලා සිටිමිනි. රෝගය මිලියන ගනනකගේ ජීවිත බිලිගැනීමට ඇති අවකාශය වළක්වා ගැනීම සඳහා වෛද්‍ය හා කාර්මික සම්පත් ගෝලීය වශයෙන් සැලසුම් සහගතව හා තාර්කිකව යෙදවීම අත්‍යවශ්‍ය වේ.

2020 පෙබරවාරි 26 වන බදාදා දකුනු කොරියාවේ සෝල් හි බස් ගරාජයකදී කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂිත ඇඳුම් පැලඳ සිටින කම්කරුවන් විෂබීජ නාශක ඉසිති. (AP Photo/Ahn Young-joon)

 නියුමෝනියාවට හේතුවන බෝවනසුලු, ප්‍රතිකාර කළ නොහැකි මෙන්ම මාරාන්තික විය හැකි වෛරස ව්‍යසනයන්ගේ අන්තරාය ගැන දශක ගනනාවක් පුරා දැනුවත්භාවයක් පැවතුනි. 2002-2004 දී සාස් වෛරසය ප්‍රධාන වශයෙන් චීනයේ ද, 2012-2014 දී ම’ස් වෛරසය ප්‍රධාන වශයෙන් සෞදි අරාබියේ ද, එකිනෙකට වෙනස් කොරෝනා වෛරස් දෙකක් ලෙස කලාපීය ව්‍යාප්තීන්ට හේතු විය. කෙසේ වෙතත්, පුද්ගලයන් 8,000 කට ආසාදන වූ සාස් රෝගය ජීවිත 774 ක්ද, වසර 2 ක් තුළ 2,519 කට ආසාදනය වූ ම’ස් ජීවිත 886 ක්ද බිලිගෙන තිබියදී අතර, අධික ලෙස ස්පර්ශයෙන් බෝවන වුහාන් හි කොරෝනා වෛරසය (සාස් -සී.ඕ.වී-2) ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ 81,296 ක් ආසාදනය කරමින්, යන්තම් මාස දෙකකදී 2,770 ක් මරනයට ගොදුරු කරමිනි.

නැගෙනහිර ආසියාවේ පමනක් නොව යුරෝපයේ හා මැදපෙරදිග රටවල ද විශාල වශයෙන් පැතිර යන රෝගය ඉතාලියේ 383 ක් ද අවම වශයෙන් ඉරානයේ 139 ක් ද ආසාදනයට ගොදුරු කර ඇත. ආසාදනය වීමේ සිද්ධි 78,073කට සීමා කරමින් රෝගය පැතිරීම සැලකිය යුතු ලෙස මන්දගාමී කිරීමට චීනය සමත් වී ඇත්තේ මිලියන සිය ගනනක් ජනයා අගුලු ලා සිර කරමින් සහ එහි ආර්ථිකයෙන් වැඩි කොටසක් වසා දමමින් දරදඬු පියවර කරා යොමුවෙමිනි. කෙසේ වෙතත්, අප සිටින්නේ ගෝලීය වසංගතයක ආරම්භක අවධියේ පමනක් බව පැහැදිලිය.

මුලදී, එක්සත් ජනපදයේ (එජ) සහ ජාත්‍යන්තරව බලධරයෝ නව වෛරසය අවතක්සේරු කිරීමට උත්සාහ කළහ. ඊයේ පවා, තම කොටස් ආයෝජනවලට වඩා වැඩි යමක් නොබලන මූල්‍ය වංශාධිපතිත්වයේ පුළුල් කොටස් වෙනුවෙන් කතා කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,

ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් “වෙලඳ පොලවල් සන්ත‍්‍රාස කිරීමට උත්සාහ දරමින් කැරෝනා වයිරස් (ඔහු එය වැරදියට ලියූවේ එසේය) හැකි නරකම ආකාරයට මවා පෙන්වන” බවට මාධ්‍යයන්ට බැන වැදුනේය. ඒවාගේ ම ඔවුන්ගේ වැඩ බැරි, වැඩකට නැති ඩිමොක‍්‍රටික් සගයින්ගේ කයිවාරු විතරය, කරන දෙයක්නැත. ඇමරිකාව යහතිනි!”

බදාදා රාත්‍රියේ ට්‍රම්ප් වැල්වටාරම් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලබා දුනි. ඔහු විකල්පයක් ලෙස රෝගයේ බරපතලකම අවතක්සේරු කරමින්, තම ප්‍රතිචාරය ගැන තමාවම සහ තම රජය නිර්ලජ්ජිතව ප්‍රශංසා කළ අතර ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් හෙළා දුටුවේය.

මෙවැනි නූගත් හා වගකීම් විරහිත අදහස් තිබියදීම, මෙම කොරෝනා වෛරසය ඉතා භයානක හා මාරාන්තික රෝගයකි. තවදුරටත් ප්‍රතිකාර නොලබන රෝගීන් 33,129 න් සියයට 8 ක් (2,770) මරනයෙන් අවසන් වී ඇත. තවමත් රෝගය සමඟ පොරබදමින් සිටින රෝගීන් 48,167 න් 8,867 ක් (සියයට 18 ක්) බරපතල හෝ අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති. ඔවූන්ට දැඩි සත්කාර හා කෘතිම වාතාශ්‍රය සහ ඔක්සිජන් ලබා දීමත්, කැපවූ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවධානයත් අවශ්‍ය වේ.               

එපමනක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) උපදේශක සහ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉරා ලෝන්ගිනි බ්ලූම්බර්ග් නිවුස් මාධ්‍යයට පැවසුවේ වසංගත රෝග විද්‍යා ආකෘතීන් පෙන්වා දෙන්නේ වෛරසය පාලනය කිරීම සඳහා ආක්‍රමනශීලී පියවර නොමැතිව ලෝකයේ තුනෙන් එකක්” දක්වා රෝගය වැළඳිය හැකි බවයි. මෙය ලොව පුරා රෝහල් - දියුණු ධනපති රටවල පවා - මිලියන ගනනක් බලාපොරොත්තු සුන්ව රෝගාතුර වූ, අධික ලෙස ස්පර්ශක බෝවන රෝගීන්ගෙන් පිරී ඉතිරී යා හැක.

මෙම අන්තරාය වඩාත් බරපතල වන්නේ මැදපෙරදිග හා අප්‍රිකානු රටවලට රෝහල්වලය. මන්දයත් මේවාහි ඉහළ තාක්‍ෂනයක් නොමැත, නැතහොත් දශක ගනනාවක අධිරාජ්‍යවාදී වාඩිලෑම්, සිවිල් යුද්ධ හෝ - ඉරානය සම්බන්ධයෙන් ගත්කල - පළිගැනීමේ එජ හා යුරෝපීය සම්බාධක මගින් විනාශයට පත්ව ඇති හෙයිනි ඒ.

වසංගතයෙන් මානව වර්ගයා විනාශ වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කෙරුනු ප්‍රතිචාරයක් අත්‍යවශ්‍ය වේ. රෝගීන් හුදකලා කිරීමට, රෝග පැතිරීමේ වේගය සීමා කිරීමට සහ ආසාදනයෙන් නියුමෝනියාව වැළඳෙන රෝගීන්ට දැඩි සත්කාර සැපයීම සඳහා අවශ්‍ය සම්පත් කැප කිරීම ලෝකයේ සෞඛ්‍ය පද්ධතියට ඉතා වැදගත් වේ. අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය උපකරන නිෂ්පාදනය හා භාවිතය මූල්‍ය වෙලඳපොලවල නියෝගයට සහ ලාභ චේතනාවට හෝ අධිරාජ්‍යවාදී යුද ප්‍රතිපත්තිවලට යටත් කළ නොහැක.

නවීන විද්‍යාව විසින් රෝගයට එරෙහිව වෛද්‍ය විද්‍යාවට අතිමහත් බලයක් සහිත මෙවලම් ලබා දෙයි. 1918 උන වසංගතය මෙන් පෙර පැවති ගෝලීය වසංගත වලට වඩා බොහෝ වෙනස් විය නොහැක. වසංගතයෙන් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළදී අපට වෛරසය පිළිබඳ විශාල දැනුමක් ලැබුනි: එහි අභ්‍යන්තර ජානමය ආර්එන්ඒ කේතය, එහි පිටත කවචයේ ස්වරූපය සහ මිනිස් සිරුර තුළ එය ඉලක්ක කරන සෛල හා ප්‍රතිග්‍රාහක කුමක්ද, යන්න. එක්සත් ජනපදය, චීනය සහ යුරෝපය ඇතුළුව ජාත්‍යන්තරව බහුවිධ කණ්ඩායම් එන්නත් නිපදවීම සඳහා තරඟ වදින අතර ලබන වසරේ මුල් භාගය වන විට ඒවා සායනිකව පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වේ.

චීනයේ සායනික අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ මැලේරියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙන ක්ලෝරෝක්වීන් හෝ උන රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙන ෆැපිලාවිර් වැනි ඖෂධ ද කොරෝනා වෛරසය අවහිර කර සුව වීම වේගවත් කළ හැකි බවයි.

ඒ අතරම, වසංගතය ධනවාදයේ විනාශකාරී අතාර්කිකත්වය හෙලිදරව් කරයි: එය මානව වර්ගයා කොරෝනා වෛරසය සඳහා නුසූදානමකට ගොදුරු කරමින් දශක ගනනාවක් පුරා ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් නිර්මානය කරන ලද සම්පත් හා ධනය අපතේ යවා ඇත.

අධික ලෙස බෝවන ස්පර්ශක, ප්‍රතිකාර කළ නොහැකි හා මාරාන්තික විය හැකි නියුමෝනියාව ඇති කරන කොරෝනා වයිරසයන්හි අවදානම වසර 20 කට ආසන්න කාලයක් පුරා දන්නා කරුනකි. සාස් සහ ම’ස් වසංගතයෙන් පසුව, 2017 එකෝහෙල්ත් එලයන්ස් විසින් කරන ලද පර්යේෂනයකින් හෙළි වූයේ ආසියානු වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය විය හැකි කොරෝනා වෛරස් සිය ගනනක් ඇති බවයි. එසේ වුවද, ප්‍රධාන පෞද්ගලික ආයෝජකයින්ගේ ලාභ අවශ්‍යතාවන්ට එන්නත්, වෛරස් ඖෂධ සහ ආරක්ෂිත ආම්පන්න නිෂ්පාදනය යටත් කිරීමත් සමඟ මහා වසංගතයක අවදානම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිවක් සූදානම් නොවීය.

වෛද්‍ය හා කාර්මික යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම සඳහා දැවැන්ත සම්පත් අවශ්‍ය වූ අතර, ඒ වෙනුවට 2008-2009 ඇමරිකාවේ සහ යුරෝපයේ සුපිරි ධනවතුන් සඳහා වූ බැංකු ඇපදීම් මගින් මෙන්ම ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමන වැනි එජ -නේටෝ යුද්ධ සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් අපතේ යැවිනි. ඇමරිකාව පුරා නගරවල රෝහල් වසා දමන ලද අතර, යුරෝපා සංගමය විසින් පැනවුනු කප්පාදු මඟින් සෞඛ්‍ය සේවා වැටුප් හා කාර්ය මණ්ඩල සංඛ්‍යාවන් අරටුවටම කප්පාදු කෙරිනි.

එවැනි ප්‍රතිපත්ති මගින් ගෝලීය වසංගතයකට සූදානම් වීම සඳහා පවතින තාක්ෂනය තාර්කිකව භාවිතා කිරීම වළක්වා ඇතිවා පමනක් නොව, දැන් වසංගතයට ප්‍රතිකාර කිරීම සඳහා හදිසි පියවරන් කපා හරිනු ලැබ තිබේ.

මැද පෙරදිග කොරෝනා වයිරස් වසංගතයේ කේන්ද්‍රස්ථානය වන ඉරානය මේ පිළිබඳ පැහැදිලිම නිදර්ශනය සපයයි. පළමුවෙන්ම 2012 දී ද පසුව 2018 දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එජය ඉවත් වීමෙන් පසුව ද ඉරානයට එරෙහි එජ හා යුරෝපීය සම්බාධක මගින් වැදගත් ඖෂද සඳහා ප්‍රවේශය කපා හැරුනු තතු යටතේ සිය ගනනක් ඉරාන වැසියෝ රෝගාතුර වී ඇති අතර රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

පසුගිය වසරේ ඉරාන වෛද්‍යවරයෙක් ඇමරිකාවේ ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ සෑම පුද්ගලයින් 20 දෙනෙකුගෙන් අවම වශයෙන් 10 දෙනෙකුටවත් අවශ්‍ය ඖෂධ නොමැති බව අප පැවසිය යුතුය.යනුවෙනි. කොරෝනා වයිරස් ආසාදිත රෝගීන්ගේ සංකූලතා හා මරනයට බොහෝවිට හේතුවන ඇදුම, දියවැඩියාව සහ පිළිකා වැනි කිහිපයක් ඇතුලු බොහෝ තීරණාත්මක තත්වයන් සඳහා ඖෂධ හිඟයන් ඇත. මෙයට එක් හේතුවක් වන්නේ එජ භාණ්ඩාගාරය ඉරානයට වෛද්‍ය සැපයුම් අපනයනය කරන ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව පළිගැනීම් ලෙස නඩු පැවරීමයි.

පසුගිය වසරේ අත්ලාන්තික් කවුන්සිලයේ චින්තන පර්ෂදයක් සඳහන් කළේ ඉරානයේ “2012–2013 දී ඖෂධවල මිල සියයට 50-75 කින් වැඩි වූ බවයි. ආර්ථික පසුබෑමක් හා විරැකියාව ඉහළ යාමත් සමඟ ඉරාන රෝගීන්ට දැරිය හැකි මිලකට ඖෂධ ලබා ගැනීම අඩු විය. 2013 දී ඉරානයේ සිදු කරන ලද ක්ෂේත්‍ර පර්යේෂනයන්ට අනුව, ඇදුම, පිළිකා සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත අසාධ්‍යය රෝගීන් ඖෂධ හිඟය හෝ මිල ඉහළ යාම සමඟ පොරබදමින් සිටියහ. ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිළිකා රෝගීන් ප්‍රතිකාර නතර කර ඇති බව මෙම පර්යේෂනයෙන් තවදුරටත් අනාවරනය විය.  

අද ඉරානය කොරොනා වයිරස් වසංගතයකට ඇද වැටෙමින් පවතින අතර එය පර්සියානු ගල්ෆ් රටවලට පමනක් නොව අසල්වැසි රටවල් වන ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ද ව්‍යාප්ත වෙමින් පවතී. මෙම රටවල දශක ගනනාවක එජ-නේටෝ සම්බාධක, බෝම්බ හෙලීම් සහ හමුදා වාඩිලාගැනීම් හේතුවෙන් සෞඛ්‍ය යටිතල පහසුකම් විනාශ වී තිබේ.

මිලියන ගනනකගේ ජීවිත අනිශ්චිතව පවතින හෙයින්, කොරෝනා වයිරසයට එරෙහි තීරණාත්මක සටනේ තීරන අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ මූල්‍ය වංශාධිපතියන්ට භාර දිය නොහැක. ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කළ යුතු අතර, වසංගත තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය වශයෙන් ඩොලර් බිලියන සිය ගනනක් වැය කළ යුතු අතර, වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මානව වර්ගයාගේ විද්‍යාත්මක හා කාර්මික සම්පත් සම්පූර්නයෙන්ම බලමුලු ගැන්විය යුතුය.

Loading