ශ්‍රී ලංකාවේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැර ජාතික මැතිවරනයක් කැඳවයි

මෙම ලිපිය 2020 මාර්තු 6 දින ඉංග්‍රීසියෙන් පල විය

පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වීමට මාස හයකට පෙර තම විධායක බලතල යොදාගනිමින් මාර්තු 2දා පාර්ලිමේන්තුව විසුරුවා හැරි ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මීලඟ මහ මැතිවරනය අප්‍රේල් 25දා පැවැත්වෙන බව සඳුදා රාත්‍රී නිවේදනය කලේ ය.

රාජපක්ෂගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ප්‍රකාශිත ඉලක්කය වන්නේ, ව්‍යවස්ථාව වෙනස් කොට ජනාධිපතිගේ විධායක බලතල ශක්තිමත් කිරීම සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් දිනාගැනීම යි.

මාර්තු 5දා, තෝරාගත් මාධ්‍ය ප්‍රධානීන් අමතමින්, ජනාධිපතිට වර්තමානයේ පවතින බලතල “රටේ ස්ථාවරත්වයට හානිකර” බව කියා සිටි රාජපක්ෂ, ජනාධිපතිගේ විධායක අධිකාරය සීමා කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කලේ ය. පුලුල්  බලතලවලින් තොර ව තමන්ට “ජනතා අපේක්ෂාවන් ඉටුකල නො හැකි” බව ඔහු කියා සිටියේ ය.

ගෝඨාභය රාජපක්ෂ [ඒපී ෆොටෝ/එරංග ජයවර්දන]

ජනාධිපතිගේ සමහර බලතල කප්පාදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ “සමගි” ආන්ඩුව 19වන සංශෝධනය හඳුන්වා දුන්නේ ය.

ධුර කාල දෙකක සීමාව, පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාල සීමාවෙන් අවුරුදු හතරහමාරක් ගත වීමට පෙරාතුව ජනාධිපති විසින් එය විසුරුවා හැරීමේ බලය අහෝසිකිරීම, අගමැති වරයාගේ අදහස් විමසීමෙන් පසුව පමනක් කැබිනට් සාමාජිකයන් පත්කිරීම, ඉහල විනිසුරුවරුන් හා නිලධාරීන් ස්වාධීන කොමිෂන් සභා හරහා පත්කිරීම හා ජනාධිපති කැබිනට් ඇමති ධූරයක් දැරීම අහෝසිකිරීම  එබඳු බලතල ඉවත් කිරීම් අතරට අයත් ය. එහෙත්, සිරිසේන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව අතහැර දැමී ය.

මෙම සීමා කිරීම් ඉවත් කිරීම, ජනාධිපතිගේ විධායක බලතල මුලුමනින් ප්‍රතිස්ථාපනය කිරීම හා තවත් බලතල අතටගැනීම රාජපක්ෂට අවශ්‍ය ය.

පෙබරවාරි 4දා පැවති නිදහස් දින උත්සවය අමතමින් ඔහු මෙසේ කීවේ ය: “මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක‍්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා.... එය ක‍්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරනයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ". එනම්, පාර්ලිමේන්තුව හා අධිකරනය ක්‍රියා කල යුත්තේ ආඥාදායක ජනාධිපතියකුගේ ආවතේවකාර මන්ඩල ලෙස ය.

රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයෙන් ජයග්‍රහනය කලේ ඔහුට පැවති ජනප්‍රියතාවක් නිසා නො ව, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල රුදුරු ලෙස ක්‍රියාවට දැමීම කෙරෙහි පැවති මහජන විරෝධය ගසාකමිනි.

මැතිවරනයේ දී ව්‍යාජ-වාම කන්ඩායම් සහ දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු දෙමල පක්ෂ, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාස “අඩු නපුර” ලෙස ඉදිරියට දැමූ හ. මේ නිසා පැවති ආන්ඩුව කෙරෙහි විරෝධය පෑ මහජනයාගේ ඡන්ද ගසාකෑමට රාජපක්ෂට හැකිවිය. 

රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රීලපොපෙහි මැතිවරන උද්ඝෝෂනය කේන්ද්‍රගත වූයේ මුස්ලිම්-විරෝධී හඬ තැලීම්, දෙමල-විරෝධී ප්‍රචාරනය සහ මිලිටරියට හා අන්තවාදී සිංහල-බෞද්ධ කන්ඩායම්වලට ආයාචනා කිරීම් මත යි. මිලිටරිය හා ඔත්තු සේවා යාන්ත්‍රනය “දුර්වල කිරීම” ගැන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට චෝදනා කල රාජපක්ෂ, “ජාතික ආරක්ෂාව” ශක්තිමත් කිරීම සඳහා කැඳවුම් කලේ ය.

මැතිවරනයෙන් ක්ෂනික ඉක්බිත්තේ අගමැති වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස කියාසිටි අතර ඔහු ඊට වහාම එකඟවිය.  ඉන් පසු රාජපක්ෂ, ඔහුගේ වැඩිමහල් සහෝදරයා හා ශ්‍රීලපොපෙ නායකයා වන මහින්ද රාජපක්ෂ සුලුතර තන්ත්‍රයක අගමැති ධුරයට පත්කලේ ය.

නව රාජපක්ෂ තන්ත්‍රය පරිපාලනය මිලිටරීකරනය කිරීමට ක්ෂනික ව පියවර ගෙන ඇත. ඒ අනුව, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත්කිරීම ඇතුලු ව ආන්ඩුවේ මූලික තනතුරුවලට මිලිටරි නිලධාරීන් පත්කර තිබේ. සංස්ථාපිතයේ පාර්ලිමේන්තු පක්ෂ එකක් වත් මෙම පත්කිරීම්වලට විරුද්ධත්වය පලකර නැත.

අප්‍රේල් 25 මහ මැතිවරනය සඳහා උද්ඝෝෂනයේ දී රාජපක්ෂ හා ශ්‍රීලපොපෙ ඔවුන්ගේ ප්‍රජාගනවාදී ප්‍රචාරනය උත්සන්න කරමින් මිලිටරියේ සහයෝගය ගොනු කරගනු ඇත.

මෙම ප්‍රයත්නයන් සමග ගැලපෙන පරිදි, 2015 ඔක්තෝබරයේ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවෙන් තමන් ඉවත් වූ බව, රාජපක්ෂ ආන්ඩුව නිවේදනය කර තිබේ. එම යෝජනාවෙන් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මර්දනය කිරීම පිනිස යුද්ධයේ අවසන් අදියරවල දී සිදුකරන ලද යුද අපරාධ පිලිබඳ විමර්ශන පවත්වන බවට ශ්‍රී ලංකාවේ මිලිටරියට තර්ජනය කෙරෙන නිසා, ජාතික ආරක්ෂාව යටපත් වන බව ආන්ඩුව කියාසිටී.

 බලයට ආ තැන් පටන් ගතවුනු මාස කිහිපය තුල, වතු කම්කරුවන් හා කහටගහ පතල් කම්කරුවන්ගේ වර්ජන හා විරෝධතා මාලාවකටත් 200,000කට අධික ගුරුවරුන්ගේ එක් දින ජාතික වර්ජනයකටත් ජනාධිපති රාජපක්ෂගේ පාලනය මුහුන දුන්නේය. විවිධ දෙපාර්තමේන්තු හා රජයට අයත් සංස්ථාවලින් නව ආන්ඩුව විසින් නෙරපන ලද 15,000ක් පමන කම්කරුවෝ ද ද තමන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කොලඹ විරෝධතා පවත්වති.

මෙම වර්ජන හා විරෝධතා, සිරිසේන-වික්‍රමසිංහ පාලනය යටතේ වර්ධනය වූ මහජන විරෝධය අඛන්ඩව  ඉදිරියට ගමන් කිරීමකි.

සිරිසේන ජනාධිපති ධුරයට පත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය මෙහෙයවූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා ය. මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට චීනය සමග පැවති සමීප සබඳතා හේතුවෙන් ඔහු ඉවත් කොට, චීනයට එරෙහි ඇමරිකාවේ භූ-මූලෝපායික මිලිටරි තරකිරීම් පිටුපස ශ්‍රී ලංකාව පෙලගස්වා ගැනීම වොෂින්ටනයට අවශ්‍ය විය.

අලුතෙන් පත්වූ සිරිසේන-වික්‍රමසිංහ පාලනය ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත එක්සත් ජනපදය හා එහි සගයා වන ඉන්දියාව වෙතට යලි හැරවූ අතර, නව ආන්ඩුව ජාමූඅ විසින් අනවන ලද කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීම නිසා පලල් ව පැතිරුනු සමාජ විරෝධයක් ඇවිලී ගියේය.

2018 පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයෙන් ශ්‍රීලපොපෙ ජයගැනීම තුලින් විකෘත ආකාරයකට ප්‍රකාශයට පත්වුයේ නැගෙමින් පැවති මහජන කෝපයයි.  ඉන්පසුව, 1980 රාජ්‍ය අංශයේ මහා වැඩ වර්ජනයෙන් මෙපිට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ විශාලතම වර්ජන හා වි‍රෝධතා රැල්ල පැමිනියේ ය. මෙම පුපුරා යාම සිරිසේන-වික්‍රමසිංහ පාලනය ඇතුලත තියුනු බෙදීම් ජනනය කලේ ය.

දේශපාලන කුමන්ත්‍රනයකින් සිරිසේන එයට ප්‍රතිචාර දැක්වූයේ, වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරමිනි. රාජපක්ෂ කිසිදු ආකාරයකින් යලි බලයට පැමිනීමකට වොෂින්ටනය විරුද්ධ වීම හා සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථා-විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කිරීම නිසා කුමන්ත්‍රනය අසාර්ථක විය.

2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලට දැක්වූ ප්‍රතිචාරයෙන්, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම්වල ප්‍රතිගාමී කම්කරු පන්ති-විරෝධී ස්වභාවය අනාවරනය විය. ජනාධිපති සිරිසේන, වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලන නායකයන්ට හා ඔත්තු සේවා යාන්ත්‍රනයට, ප්‍රහාර සිදුවීමට පෙරාතුව අනතුරු ඇඟවීම් ලැබුනු බවට සාක්ෂි ඇතත්, මර්දනීය රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීම හා මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීම පිනිස ගසාකෑම සඳහා ඔවුන් ඒවා සිදුවීමට ඉඩහැරියේ ය.

මාර්තු 5දා පැවති තවත් රැස්වීමක දී, ශ්‍රී ලංකාවේ “ප්‍රධාන ගැටලුව ආර්ථික සංවර්ධනය” බවත් ඔහුගේ පාලනය එම ප්‍රශ්නය මත අවධානය යොමු කරන බවත් රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. මෙය වනාහි ශ්‍රී ලංකාවේ ආර්ථික පහත වැටීම  හා කඳුගැසෙන නය අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම පිනිස බරපතල ප්‍රහාර මුදාහැරීම සඳහා යොදා ගන්නා සුත්‍රයකි. 

සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපයෙන්  ඉතිරිවූ කන්ඩායම හා එහි සගයෝ මැතිවරනයට තරඟ කිරීම සඳහා ශ්‍රීලපොපෙ සමග දේශපාලන සන්ධානයකට පැනගෙන ඇත. ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රාදේශීය සංවිධායකවරුන්ගෙන් බහුතරය ශ්‍රීලපොපෙට බැඳී තිබේ.

විපක්ෂයේ සිටින එජාපය හරි මැදින් බෙදී ඇත. එහි නායක වික්‍රමසිංහ හා පක්ෂයේ “පැරනි ආරක්ෂකයෝ”, නායකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදීම කෙරෙහි විරුද්ධ වෙති. එහෙත් එජාපයේ හිටපු මන්ත්‍රීන් හා ප්‍රාදේශීය නායකයින් බහුතරයක් ප්‍රේමදාස සමග පෙලගැසී සිටියි. එජාපය ගැඹුරින් ම අපකීර්තියට පත් ව තිබෙද්දී, මෙම මන්ත්‍රීවරු ගනන් බලන්නේ, බෞද්ධ සංස්ථාපිතයේ කන්ඩායමකට සමීප ප්‍රේමදාසට ඵලදායී ලෙස සිංහල වර්ගවාදී  මැතිවරන උද්ඝෝෂනයක් දියත් කල හැකි බව ය.

තම පක්ෂය පාර්ලිමේන්තු බහුතරයක් ජයග්‍රහනය කලහොත් තමන් රාජපක්ෂ සමග වැඩකරන බව ප්‍රේමදාස මෑතක දී ප්‍රකාශ කලේ, ආඥාදායක පාලන ක්‍රමයක් කරා ජනාධිපතිවරයාගේ මාරුව සමග ඔහු එකඟ වන බවට ඉඟි කරමිනි.

දෙමල පක්ෂ කන්ඩායම් කිහිපයක ප්‍රධාන සන්ධානය වන දෙජාස ද එහි ප්‍රතිගාමී හා අප්‍රතිපත්තික උපාමාරු හේතුවෙන් දෙමල ජනයා අතර අපකීර්තියට පත්ව සිටී.

2015 දී රාජපක්ෂ ඉවත් කිරීමේ එක්සත් ජනපද තන්ත්‍ර-මාරුවට සහයෝගය දුන් දෙජාස, කොලඹ ආන්ඩුවේ හවුල්කරුවෙක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් මිලිටරි වාඩිලා ගැනීමට හා කප්පාදු වැඩපිලිවෙලට සහයෝගය දුන්නේ, යුද අපරාධ පිලිබඳ කිසිදු විමර්ශනයක් කිරීම යටගැසීමට උදවු වෙමිනි. දෙජාස හිටපු සාමාජිකයන් වන ටෙලෝ හා ඊපීආර්එල්එෆ්, දෙමල කම්කරුවන්ට හා දුගීන්ට තවත් ජාතිකවාදී උගුලක් ඇටවීමට හිටපු උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන්ගේ දෙමල ජනතා සන්ධානය සමග පෙලගැසී ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවල කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල වර්ධනය වන සමාජ විරෝධය කෙරෙහි පාලක පන්තියේ සෑම කන්ඩායමක් ම හා එහි ව්‍යාජ-වාම සගයෝ භීතියට පත්ව සිටිති.    

ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය, එජාපයේ වික්‍රමසිංහ පාර්ශවය සමග පෙලගැසී සිටින අතර, එක්සත් සමාජවාදී පක්ෂයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් යොමු කරනු ලැබ ඇත්තේ මැතිවරන පොරොන්දු ඉටුකරන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා සිටීමට යි. සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමට  මෙම සංවිධාන සතුරු ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) අප්‍රේල් 25 මැතිවරනයේ දී කොලඹ, නුවර එලිය හා යාපනය යන දිස්ත්‍රික්ක තුනට අපේක්ෂකයන් ඉදිරිපත් කරමින් තරඟ වදී. පක්ෂයේ මැදිහත් වීම පදනම් වනු ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවට හා ආඥාදායකත්වයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත යි. එලඹෙන දින කිහිපය තුල සසප සවිස්තරාත්මක නිවේදනයක් හා මැතිවරන ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.

Loading