ඉදිරිදර්ශන

වෝල් වීදියේ තවත් පහලට පැද්දීමක්

මෙම ලිපිය 2020 මාර්තු 6 දා ඉංග්‍රීසියෙන් පල විය.

සුපිරි අඟහරුවාදා ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරනයේදී, බොහෝකොටම, එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්ගේ ජයග්‍රහනයට සතුට පලකිරීමක්  වශයෙන් 4 දා කොටස් වෙලඳපොල ඉහල නැඟීමෙන් පසුව මිල දර්ශක යලි සියයට 3 කටත් වඩා පහත වැටීමත් සමග වෝල් වීදිය 5දා තවත් කැලඹිලි සහිත දිනයක් පසුකලේය.

වෙලඳපල පහත වැටීමත් සමග බැඳුම්කර වෙලඳපොලේ පොලී අනුපාත තවදුරටත් පහත ගියේය. වසර 10  එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ නව වාර්තාගත  සියයට 0.9 දක්වා පහත වැටුන අතර 30 වසරේ බැඳුම්කර ප්‍රතිලාභ සියයට 1.55 දක්වා පහත වැටුනි.  එය ද වාර්තාගත අඩු අගයකි.

මිල ඉහල නංවමින් හා ප්‍රතිලාභ අඩු කරමින් ආයෝජකයින් බැඳුම්කර වෙත ඇදී යාම, වෙලඳපොලවල හුදු බලාපොරොත්තුව පමනක් නොව, 3දා හදිසියේ සිදුකල සියයට 0.5ක පොලී අනුපාතය අඩු කිරීමෙන් පසුව තවදුර පොලී අනුපාත අඩුකරන ලෙස  මහ බැංකුවට බලකර සිටීමක් ද ඇඟවුම් කරයි. 

ඩව් ජෝන්ස් 5දා, ඒකක 970 න් හෙවත් සියයට 3.6 න් පහත ගිය අතර, එස් ඇන්ඩ් පී 500 සියයට 3.4 න් ද නස්ඩැක් සියයට 3.1 න් ද පහත වැටුනි. මේ සතියේ මේ දක්වා, ඩව් ජෝන්ස්  දින දෙකකදී ඒකක 1,000 කට වඩා ඉහල නැඟුන අතර දිනකදී ඒකක  800 ට වඩා පහත ගියේය. ඊයේ දිනයේ දහසකට ආසන්න පහත වැටීමක් සිදුවිය.

පැද්දීමේ ක්ෂනික හේතුව,  විරුද්ධ මත දෙකක් අතර ගැටුමයි.

එක් අතකින්, සැබෑ ආර්ථිකයට සහ මිලියන ගනනකගේ ජීවිත වලට කොරෝනා වෛරසයේ බලපෑම කුමක් වුවත්, ෆෙඩරල් සහ අනෙකුත් මහ බැංකු විසින් තව තවත් මුදල් ලබා දෙනු ඇතැයි ද මූල්‍ය ප්‍රභූන්ට දිගින් දිගටම මුදල් මිටමොලවාගත හැකි බව එයින් සහතික කරනු ඇතැයි ද සමහර කොටස් තුල ඇති  විශ්වාසයයි.  අනෙක් අතට සමහර ආයෝජකයින්, වෛරසය පැතිරීම එක්සත් ජනපදයේ සහ ලොව පුරා විශාල ආර්ථික පසුබෑමකට තුඩු දෙනු ඇතැයි බිය වෙති.

නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේ වේදිකාවෙහි ප්‍රකාශයට පත්කිරීමක් ගැන ව්‍යාපාරිකයෝ අවධානයේ (AP Photo/Richard Drew) [AP Photo/Richard Drew]

2008 පරිමානයේ හෝ ඊටත් වඩා විශාල මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරමින්,  යටින් දිවෙන ප්‍රවනතා කෙරෙහි ද ගෝලීය කොටස් වෙලඳපොලවල  අවධානය යොමුව ඇත. 

දීර්ග කාලීන මූල්‍ය මාධ්‍යවේදියෙකු වන ජෝන් ප්ලෙන්ඩර් විසින්  “ඊලඟ නය අර්බුදයේ බීජ” යන මාතෘකාවෙන් යුත් ප්‍රධාන ලිපියක් මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි ප්‍රකාශයට පත් කරන ලද අතර එය වඩාත් වැදගත් වර්ධනයන් කිහිපයක් එකට කැටිකර දක්වයි.

කොරෝනා වෛරසයේ වෙලඳපල කෙරෙහි ඇති කර ඇති කම්පනය “ගෝලීය නය වේගයෙන් ඉහල යාමෙන් සලකුනු වූ භයානක මූල්‍ය පසුබිම සමඟ සම්පාත වන” බව ප්ලෙන්ඩර් ආරම්භයේදීම පවසයි.

අන්තර්ජාතික මූල්‍ය ආයතනයට අනුව ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට ගෝලීය නය අනුපාතය සියයට 332 ට වැඩි ඉහලම මට්ටමකට ලඟා වී ඇති අතර මුළු නය ප්‍රමානය දැන් ඩොලර් ට්‍රිලියන 235 කි.

“වෛරසය දිගින් දිගටම ව්‍යාප්ත වුවහොත් එයින් ගම්‍ය වන්නේ, මූල්‍ය පද්ධතියේ ඕනෑම දුබලතාවකට, නව නය අර්බුදයක් අවුලුවාලීමේ හැකියාව ඇති බවයි” යනුවෙන් ප්ලෙන්ඩර් ලිවීය.

අඩු පොලී අනුපාත තිබියදීත්, මූල්‍ය කොන්දේසි දැඩි වී ඇති හෙයින්, දුර්වල ව්‍යාපාරික නය ගැනුම්කරුවන්ට බැඳුම්කර වෙලඳපොලවලට ප්‍රවේශ වීම වඩාත් දුෂ්කර වී ඇති බව ඔහු සඳහන් කලේය. මෙයට හේතුව, භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ පහත වැටීම පෙන්නුම් කරන පරිදි, ප්‍රධාන ආයෝජකයින් ආරක්ෂිත ස්ථාන සොයමින් පසුබැසීමයි.

ප්ලෙන්ඩර් තවදුරටත් කියා සිටියේ, 2008 සිට නය ගොඩ වැඩිවීම, බැංකු නොවන ව්‍යාපාරික අංශය තුල සංකේන්ද්‍රනය වී ඇති හෙයින් එය වැදගත් බවයි. "අතිශය අඩු හා සෘන පොලී අනුපාත සහිත ලෝකයක නය අර්බුදයක් ඇතිවීමේ අසාමාන්‍ය හැකියාව වැඩි කරමින්, වර්තමානයේ සැපයුම් දාමයන් අවහිරවීම සහ ගෝලීය වර්ධනය අඩුවීම මඟින් ඇඟවුම් කරන්නේ, අඩු ඉපැයීම් සහ නය ගෙවීමේදී ඇති වන දුෂ්කරතා ය. 

මූල්‍ය වෙලඳපොලවලට තව තවත් මුදල් ලබා ගැනීම සඳහා ෆෙඩරල් මහ බැංකුව සහ අනෙකුත් මහ බැංකු විසින් ගෙන ඇති පියවරයන්හි භයානක ඇඟවුම් ගැන ප්ලෙන්ඩර් අවධානය යොමු කලේය. මෙම “ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් මුල් මූල්‍ය අර්බුදයට දායක වූ අක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියට අනුගත වීමේ දිගු කාලීන අවදානමක් සහිත, ගෝලීය ආර්ථිකය දැන් මුහුන දී සිටින භයානක නය බර උග්‍ර කරයි.”

1980 ගෙනන්වල අග භාගයේ සිට මහ බැංකු, සියල්ලටත් වඩා ෆෙඩරල් මහ බැංකුව,  කඩා වැටෙන විට වෙලඳපොලවලට ආධාර කිරීමට ඉදිරිපත් වීමේ හා, බුබුලු පිම්බීම  අඩාල කිරීමට අසමත් “අසමමිතික මූල්‍ය ප්‍රතිපත්තියක්” අනුගමනය කලේය.  මේ තුලින් , “අධික අවදානම් දැරීමට” තුඩු දෙන තැනකට බැංකු යොමු කර ඇත.

අර්බුදය අවධියේ සිට අනුගමනය කරන ලද ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය, අසමමිතික ප්‍රවේශයේ අඛන්ඩ පැවැත්මක් හා එහි ප්‍රතිපලයක් ලෙස,  “පෙර නොවූ විරූ පරිමාන  හා දිගට පැවති අවධියක් ඔස්සේ” බැංකු ක්‍රමය යටතේ ආරක්‍ෂිත දැලක් පවත්වගැනීමට සිදුවූ බව ප්ලෙන්ඩර් පැවසීය.

ගෝලීය මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට ඇති තර්ජනය, දේපල හා උකස් නය වෙලඳපොල තුල මුල්බැස තිබූ 2008 අර්බුදයට, සමාන නොවේ. අද එය මුල්බැස  ඇත්තේ ව්‍යාපාරික අංශයයේ නය තුලය.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ මෑත වාර්තාවක දැක්වෙන පරිදි, පසුගිය වසරේ දෙසැම්බර් මස අවසානයේදී ගෝලීය මූල්‍ය නොවන ව්‍යාපාරික බැඳුම්කර තොගය මෙතෙක් වාර්තා වූ ඉහලම අගය වන ඩොලර් ට්‍රිලියන 13.5 ට නැඟී තිබුන අතර එය 2008 දෙසැම්බර් මට්ටම මෙන් දෙගුනයකි. මෙම අර්බුදය එක්සත් ජනපදයේ වඩාත් කැපී පෙනෙන ලෙස සටහන් වේ.  මූල්‍ය අර්බුදයට පෙර ව්‍යාපාරික නය ඩොලර් ට්‍රිලියන 3.3 සිට පසුගිය වසරේ ඩොලර් ට්‍රිලියන 6.5 දක්වා ඉහල ගොස් ඇති බවට ෆෙඩරල් මහ බැංකුව ගනන් බලා තිබේ.

ව්‍යාපාරික නය ඉහල යාමත් සමග එහි ගුනාත්මකභාවය අඩුවී ඇත. බීබීබී බැඳුම්කර නිකුත් කිරීම අසමාන්‍ය ලෙස වැඩී ගියේය. සුන්බුන් බැඳුම්කරයන්ට අංශකයක් ඉහලින් ඇති පහත්ම ආයෝජන ශ්‍රේනියේ බැඳුම්කර වන ඒවා, ආර්ථික පසුබෑමේ අවධියකදී පහත හෙලනු ලැබිමේ හැකියාව සහිතය. 

ප්ලෙන්ඩර් මෙසේ ලිවීය: “එය, නය ගැනීමේ පිරිවැය විශාල වශයෙන් ඉහල යාමට හේතු විය, මන්ද, බොහෝ ආයෝජකයින්  රෙගුලාසි මඟින් නියාමනය කරන හෝ ආයෝජන ශ්‍රේනියේ නොවන බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් වැලකී සිටින ස්වයං සීමා පනවාගෙන සිටින බැවිනි.”

වෙනත් වචන වලින් කිවහොත්, මූල්‍ය වෙලඳපොල කැලඹීම් හෝ අවපාත ප්‍රවනතාවල ප්‍රතිපලයක් ලෙස, ඕනෑම ප්‍රධාන පහත හෙලීමකදී, විශාල ආයෝජකයින්ට පහත වැටෙන වෙලඳපොලකට විකිනීමට බල කෙරෙනු ඇත.

ප්ලෙන්ඩර් සඳහන් කල පරිදි, නයවල ගුනාත්මක භාවයේ පිරිහීම “උත්තෝලනය වන  නය සඳහා වන ඩොලර් ට්‍රිලියන 1.3 ක වෙලඳපොලේ විශේෂයෙන් කැපී පෙනේ.” මේවා දැනටමත් විශාල වශයෙන් නයගැතිව සිටින හෝ  නය ශ්‍රේනිගත කිරීම් වලදී දුර්වල යයි නම්කර ඇති සමාගම්වලට, බැංකු සම්මේලන විසින් සකස් කර දුන් නය වන අතර, වත්කම් හෝ ඉපැයීම් සඳහා මෙම නය අනුපාත,  කර්මාන්ත සම්මතයන්ට වඩා ඉහල අගයක් ගනී. එවැනි බැඳුම්කර නිකුත් කිරීම 2017 දී ඩොලර් බිලියන 788ක් වූ වාර්තාගත ඉහලම මට්ටමකට නැඟුන අතර,  එක්සත් ජනපදය තුල ඒවායේ  මුලු වටිනාකම ඩොලර් බිලියන 564 කි.

අර්බුදයක හැකියාව පිලිබඳ තවත් සාධකයක් නම්, මෙම නයෙන් වැඩි ප්‍රමානයක් යොදවා ඇත්තේ නිෂ්පාදන හා විකුනුම් ආදායම වැඩි කිරීම සඳහා නව කර්මාන්තශාලා සහ උපකරන සඳහා නොව, ව්‍යාපාර ඒකාබද්ධයන් සහ අත්පත් කර ගැනීම් සඳහා මෙන්ම කොටස් වෙලඳපලවල තක්සේරු අගය ඉහල නැංවීම සඳහා කොටස් මිල දී ගැනීම් වලය. ව්‍යාපාර විධායකයින්ට සහ ප්‍රධාන මූල්‍ය ආයතන සඳහා මෙම ක්‍රියාවලිය තුලින් වාසනාව හා  ප්‍රතිලාභ උදාකර දුන්නේ ය.

අතිශය ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය, උදාසීනත්වය දිරිගැන්වූ තත්වයන් යටතේ, “ගුනාත්මකභාවයෙන් වඩ වඩාත් දුර්වල ව්‍යාපාරික නය විශාල වශයෙන් සමුච්චය වීම තුලින්, ඊලඟ අවපාතය උග්‍ර කිරීමට ඉඩ ඇති” බවට ප්ලෙන්ඩර් අනතුරු ඇඟවීය. මෙය “මූල්‍ය අර්බුදයන්හි පූර්ව අවශ්‍යතාවයකි.”

ව්‍යාපාරික අංශයේ අන්තරායන් වඩාත් කැපී පෙනෙන නමුත් බැංකු වලට ද ඉන් ගැලවීමක් නැත. “ආයෝජකයින්ගේ විශ්වාසය අඛන්ඩව අඩුවීම හෝ වර්තමාන අසාමාන්‍ය අවම මට්ටමේ සිට පොලී අනුපාත ඉහල යාමට පටන්ගත් අවස්ථාවකදී, වෙලඳපල පුලුල් ලෙස කඩා වැටීමේ ප්‍රතිවිපාකවලින් ගැලවීමට ඒවාට නොහැකිය. එවැනි ප්‍රතිපලයක් මගින් බැංකු, නය  පැහැර හැරීම් වැඩිවීමටත්, බැංකු පද්ධතියේ ඇපකර වටිනාකම අඩුවීමටත් මුහුන දෙනු ඇත. ”

කොරෝනා වෛරස් කම්පනය පහව ගියත් (එහෙත් එය සිදුවෙමින් පවතින බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැත) එවැනි අන්තරායන් දිගටම පවතිනු ඇත. මන්ද, මහ බැංකුවල ප්‍රතිපත්ති  “අන්තරායන් නොසලකා” ආයෝජකයින් ප්‍රතිලාභ හඹායාමට පොලඹවා ඇති බැවිනි. 

Loading