ට්‍රම්ප් මෝදිට ප්‍රසංශා කරද් දී ඔහුගේ ආධාරකරුවෝ දිල්ලිය වාර්ගික ප්‍රචන්ඩත්වයේ ගිල්වති

මෙම ලිපිය 2020 පෙබරවාරි 26 දින ඉංග්‍රීසියෙන් පල විය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා අහමදාබාද් හි පැවති රැලියක දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බොහෝ ගරු බුහුමන් දැක් වූ අතර, ඉන්දියානු සංචාරයේ ඉතිරි පැය 36 ක කාලය තුල “තම රට වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කරන මෙම සුවිශේෂී නායකයාට” දිගට ම ප්‍රශංසා කලේ ය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 පෙබරවාරි 25 වෙනි අඟහරුවාදා ඉන්දියාවේ නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ කතා කරයි (AP Photo/Alex Brandon)


ට්‍රම්ප් එසේ කල ද, මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආන්ඩුව විසින් හඹායනු ලබන ෆැසිස්ට්තාලයේ, හින්දු අධිපතිවාදී ප්‍රතිපත්තිවල දරුනු ප්‍රතිවිපාක ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ වීදිවල ලේ වගුරවමින් තිබේ.

ප්‍රාදේශීය භාරතීය ජනතා පක්ෂ නායකයින්ගේ උසිගැන්වීම මත හින්දු ස්වෝත්තමවාදීන්ගේ කල්ලි, “ජායි ශ්‍රී රාම්” නැතහොත් “රාම් (හින්දු දෙවියන්) දිගුකල් දිනේවා” යැයි මතුරමින් සඳුදා හා අඟහරුවාදා ඊසාන දිග දිල්ලියේ ප්‍රචන්ඩකාරී ලෙස හැසුරුනහ. ඔවුහු මුස්ලිම්වරුන්ට පහර දුන් අතර මුස්ලිමුන්ට අයිති ව්‍යාපාර කොල්ල කා ගිනි තැබූහ.

 “කලහයට මැදි වූ ඊසානදිග දිල්ලියේ අසල්වාසයකින් පසු අසල්වාසයක, අඟහරුවාදා උදේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා එක් කතන්දරයක් රඟ දැක්වුනි, පොලු හා මුගුරුවලින් සන්නද්ධ තරුනයින්ගේ කන්ඩායම්, සටනකට අර අදිමින්, මුස්ලිම්වරුන්ට අයත් වෙලඳසැල් සහ නිවාසවලට ගිනි තබමින් සිටියහ. නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස හිටගත් හෝ වෙනතක් බලා සිටි, නැත්නම් ඔවුන් වඩාත් ම අවශ්‍ය වූ වේලාවේ අතරුදහන් වූ පොලීසියේ නාසය යට සියල්ල සිදුවූ” බව  ඉන්දියන් එක්ස්ප්‍රෙස් පත්‍රය පැවසී ය.

අඟහරුවාදා සවස් වන විට, දිල්ලියේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුළු 13 දෙනෙකු වාර්ගික ප්‍රචන්ඩත්වයෙන් මියගොස් ඇති අතර, බොහෝ දෙනෙක් රෝහල් ගත කර තිබුනි.

බීජේපී හා  දීර්ඝ කාලයක් ත්ස්සේ බීජේපියේ දෘෂ්ටිවාදාත්මක උපදේශකයා ලෙස සේවය කර ඇති අන්තරායකාරී හින්දු ස්වෝත්තමවාදී සංවිධානය වන ආර්එස්එස්(රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග්) හි ප්‍රාදේශීය නායකයෝ දැන් දිල්ලිය අවුල් කරමින් තිබෙන  වාර්ගික ප්‍රචන්ඩත්වයට සෘජුව ම වැරදිකරුවෝ ය. භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනතට (සීඒඒ) විරෝධය දක්වන අයට එරෙහිව ඔවුහු සති ගනනාවක් තිස්සේ ප්‍රචන්ඩත්වය අවුස්සමින් සිටියහ. සීඒඒ විරෝධී විරෝධතා මැඩපැවැත්වීම සඳහා අසල්වැසි උත්තර් ප්‍රදේශ් හි භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත ආන්ඩුව විසින් සිදුකරන ලද මාරාන්තික ප්‍රචන්ඩත්වයට ප්‍රශංසා කිරීමට මෙන්ම “ඔවුන්ට වෙඩි තියපල්ලා” යැයි ඝෝෂා කිරීමට තම ආධාරකරුවන් මෙහෙය වීම ද මෙයට ඇතුලත් ය.

ඉරිදා භාරතීය ජනතා පක්ෂ නායක කපිල් මිශ්‍රා ඊසානදිග දිල්ලියේ සීඒඒ හිතවාදී ප්‍රතිප්‍රහාරයක් බලමුලු ගැන්වූ අතර, ඉදිරි දින තුන ඇතුලත සියලුම සීඒඒ විරෝධී විරෝධතාකරුවන් අගනුවර වීදිවලින් ඉවත් නො කරන්නේ නම්, තමා හා තම  ආධාරකරුවන් එය කරනු ඇත යි දිල්ලි පොලිසියට “අවසන් නිවේදන” නිකුත් කලේ ය. ක්ෂනිකව ප්‍රචන්ඩ ගැටුම් පැතිරුනි.

නමුත් මිශ්‍රා යනු නො වැදගත් මැරයෙකි. දිල්ලියේ මුස්ලිම් ජනගහනය මත දැන් සිදුවන කුරිරුකම් සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ “සැබෑ මිතුරා” මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව සෑම අර්ථයකින්ම එහි සැබෑ කතෘන් ලෙස දේශපාලනික වශයෙන් වග කිව යුතු ය.

තියුනු ආර්ථික පසුබෑමක් මධ්‍යයේ, ඉන්දියාවේ විරැකියා අනුපාතය මෑතකදී අවුරුදු 45 ක ඉහල මට්ටමකට ලඟා වූ අතර, කම්කරු විරෝධතා හා වැඩ වර්ජන රැල්ලක් පැතිරී යද්දී, මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂය නිර්දය ලෙස හින්දු වර්ගවාදය අවුස්සමින් සිටිති. ඔවුන්ගේ පරමාර්ථය තුන් ආකාර ය: ඔවුන්ගේ හින්දු ස්වෝත්තමවාදී ආධාරකරුවන් නැගී එන සමාජ විරෝධයට එරෙහිව කම්පන හමුදා ලෙස බලමුලු ගැන්වීම; වර්ධනය වන ජනතා  කෝපය සහ අපේක්ෂා භංගත්වය ප්‍රතිගාමිත්වය පිටුපස හැරවීම; හා කම්කරු පන්තිය බෙදීම.

පසු ගිය අගෝස්තු මාසයේ දී මෝදි ආන්ඩුව, ඉන්දියාවේ එකම මුස්ලිම් ප්‍රාන්තය  වන ජම්මු හා කාශ්මීරය එහි අර්ධ ස්වයං පාලන තත්වයෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇති අතර, එතැන් පටන් තහනම් කලාපයකට සමාන ලෙස මර්දනයට ලක් කෙරී ඇත.

භාරතීය ජනතා පක්ෂය හා එහි දක්ෂිනාංශික හින්දු සහචරයින් විසින් දියත් කරන ලද දශක ගනනාවක ප්‍රචන්ඩකාරී උද්ඝෝෂනයකට අවනත වෙමින්, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය, භාරතීය ජනතා පක්ෂයේ ඉහල පෙලේ නායකයින්ගේ උසිගැන්වීම මත, 1992 දී හින්දු ජාතිවාදීන් විසින් කඩා බිඳ දමන තුරු පැවති, 16වැනි සියවසේ බබ්‍රි මස්ජිඩ් නම් මුස්ලිම් පල්ලිය තිබූ තැන හින්දු රාමා දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදි කරන ලෙස මෑතක දී මෝදි  ආන්ඩුවට නියෝග කලේ ය.

පසුගිය දෙසැම්බරයේ පාර්ලිමේන්තුව හරහා කඩිමුඩියේ ගෙන ආ මුස්ලිම් විරෝධී සීඒඒ පනත, නාමික වශයෙන් අනාගමික ඉන්දියාවේ ප්‍රථම වතාවට ආගම පුරවැසිභාවය තීරනය කිරීමේ නිර්නායකයක් බවට පත් කරයි. එපමනක් නොව, එය “නීති විරෝධී සංක්‍රමනිකයන්” සෝදිසි කර අල්ලා ගැනීමේ නාමයෙන්, දුප්පත් මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීම, බිය වැද්දීම හා නෙරපා හැරීම සඳහා නීතිමය යාන්ත්‍රනයක් ස්ථාපිත කරයි.

කෙසේ වෙතත්, මෝදි හා ඔහුගේ ආන්ඩුව කම්පනයට පත් කරමින් , සීඒඒ පනත මුහන දී ඇත්තේ,සියලු ආගමික-නිකායික, කුල හා වාර්ගික - භාෂාමය බෙදීම් හරහා ඉන්දියානු කම්කරුවන්, සිසුන් සහ වෘත්තීයවේදීන් එක්සත් කර ඇති, ජාතික පරිමාන මහජන විරෝධතාවකට යි.

භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව හා ඉන්දීය පාලක පන්තියේ ලොකුම භීතිය වන්නේ, සීඒඒට  එරෙහි මහජන විරෝධය, කැරලිකාර කම්කරු පන්තියක නායකත්වය සමග අන්තර්ඡේදනය වී එය යටතට යනු ඇත යන්න යි. භාරතීය ජනතා පක්ෂයේ කප්පාදු පියවර, ආයෝජක ගැති “ප්‍රතිසංස්කරන” හා එහි මුස්ලිම් විරෝධී සීඒඒ පනතට විරෝධය දැක්වීම සඳහා ඉන්දියාව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් දොට්ට බැසීම  අත්දුටු, පසුගිය ජනවාරියේ පැවති එක්දින මහා වැඩ වර්ජනයෙන් දැනටමත් එවැනි වර්ධනයක් පුරෝකථනය කෙරී ඇත.

සිය සංචාරය අවසානයේ හා ඒ වන වන විටත් ඉන්දීය අගනගරයේ සැලකිය යුතු කොටසක් ප්‍රචන්ඩත්වයෙන් පීඩා විඳිමින් සිටිය දී, දිල්ලියේ පැවති මාධ්‍ය හමුවක දී ට්‍රම්ප් මෝදිගේ ආරක්ෂාවට පැන්නේ ය. ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටවල් දුසිම් භාගයක පදිංචිකරුවන්ට එක්සත් ජනපදයට සංචාරය කිරීම තහනම් කිරීම මගින් නිල වශයෙන් ප්‍ර‍කාශයට පත්වන, තම මුස්ලිම් විරෝධී මතවාදයේ එල්බ සිටින එක්සත් ජනපද ජනාධිපති, ආගමික ඉවසීමට කැප වූවෙකු ලෙස මෝදිට ප්‍රශංසා කලේ ය. “අගමැතිවරයා කිව්වේ මිනිසුන්ට ආගමික නිදහස ලබා ගැනීමට ඕනෑ කියලයි” ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. “ඔවුන් ඒකට වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ”

ට්‍රම්ප් සෑම විටම එය කරන්නේ වඩාත් රලු ලෙස හා නිර්ලජ්ජිත ලෙස යි. සත්‍යය පැවසුවහොත්, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය, එනම් ඩිමොක්‍රටික් මෙන් ම  රිපබ්ලිකන් යන පක්ෂ දෙක එක හා සමානව, පෙන්ටගනය හා මාධ්‍ය සියල්ලම මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ඉතා වැදගත් සගයෙකු ලෙස පසසන  අතර, එහි නොයෙකුත් අපරාධ කැපී පෙනෙන ලෙස නො සලකා හැර, වසන් කර හා  අවතක්සේරු කර තිබේ.

මෙයට හේතුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනයට එරෙහි සිය සාහසික මිලිටරි මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව වැදගත් යැයි සැලැකීම යි. න්‍යෂ්ටික සන්නද්ධ ඉන්දියාවට ලෝකයේ සිව්වන විශාලතම මිලිටරි අයවැය ඇති අතර චීනය සමඟ දීර්-මතභේදාත්මක දේශ සීමාවක් බෙදා හදා ගන්නවා පමනක් නොව, භූගෝලීය වශයෙන් එය ඉන්දියානු සාගර මුහුදු මංතීරුවල අනසක පවත්වයි. චීන ආර්ථිකයට ඉන්ධන සපයන තෙල්වලින්වැඩි කොටස ප්‍රවාහනය කරන එම මං තීරු, යුරෝපය, අප්‍රිකාව, මෙන් ම මැද පෙරදිගට යැවෙන එහි අපනයන සඳහා ප්‍රධාන  ප්‍රනාලය ලෙස සේවය කරයි.

මෝදි යටතේ ඉන්දියාව වොෂිංටනයේ චීන විරෝධී යුද මෙහෙයුමේ පෙරටුගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ. නවදිල්ලිය එක්සත් ජනපද යුද නැව් හා යුද ගුවන් යානා සඳහා සිය වරාය සහ කඳවුරු විවෘත කර ඇති අතර, දකුනු චීන මුහුදේ ආරවුල පිලිබඳ එක්සත් ජනපදයේ ස්ථාවරය ගිරවෙකු මෙන් කියවන අතර වොෂිංටනයේ ප්‍රධානියාගේ ආසියා ශාන්තිකර සහචරයන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික හා ත්‍රෛයිපාර්ශ්වික සහයෝගීතාව පුලුල් කර තිබේ.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ට්‍රම්ප් තමා සහ මෝදි “සිව්පාර්ශ්වීයආරම්භකත්වය පුනර්ජීවනය කරන්නේ කෙසේද” යන්න ගැන උනන්දු විය. එනම්, එක්සත් ජනපද නායකත්වය යටතේ ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව එක්සත් කරන නේටෝ විලාසිතාවේ චීන විරෝධී සන්ධානයක් ඇති කර ගැනීම යි.

ෆැසිස්ට්තාලයේ ප්‍රකෝටිපතියෙකු වන “ඇමරිකාව පලමුව” පිලිවෙතේ සංක්‍රමන විරෝධී එක්සත් ජනපද ජනාධිපතිට හින්දු ස්වෝත්තමවාදී, අධිපතිවාදී මෝදි සමඟ අව්‍යාජ දේශපාලන බැඳීමක් ඇති බවට සැකයක් නැත.

ට්‍රම්ප්ගේ ඉන්දියානු සංචාරයේ ගිනි අවුලුවන භූ-මූලෝපායික අරමුනු ඉක්මවා යන්නා වූ ද  පසුගිය දින දෙකේ දිල්ලියේ වාර්ගික කෝපය මගින් ඉස්මතු කර තිබෙන්නා වූ ද වැදගත් දේශපාලන කාරනා මෙය පෙන්වා දෙයි. 

සෑම තැනකම අර්බුදග්‍ර‍ස්ත ධනේශ්වර ප්‍රභූහු කම්කරු පන්තිය බිය ගැන්වීම, අවමංගත කිරීම හා බෙදීම අරමුනු කරගනිමින් අන්තවාදී, වාර්ගික හා ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය කරති.

•ජර්මනියේ ජාතික ආරක්ෂක සංවිධානයේ බලගතු කන්ඩායම් හා දේශපාලන සංස්ථාපිතය අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා වික්ලපය(ඒඑෆ්ඩී) ජාතික පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට පරිවර්තනය කිරීමට කුමන්ත්‍රනය කර තිබේ.

•ප්‍රන්සයේ දී, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, නාසි සහයෝගිතාකරුවෙකුවූ මාෂල් පෙටේන් පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන ඇත්තේ, පොලිස් ප්‍රචන්ඩත්වය හා මෑත දී “සාමාන්‍ය තත්වයට ගෙන ආ” හදිසි නීති පියවරයන් පුලුල් සමාජ කප්පාදු පැනවීමට යොදා ගැනීමත් සමගිනි.

•සිංහල ප්‍රභූ පැලැන්තියේ 30 වසරක දෙමල විරෝධී යුද්ධයේ අවසාන අදියර මෙහෙයවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට එරෙහි නැගී එන විරෝධය මැඩපැවැත්වීමේ අරමුනින් බෞද්ධ ස්වෝත්තමවාදය අවුස්සයි.

2018 සිට ලොව පුරා පැතිරී ඇති වැඩ වර්ජන හා දැවන්ත ආන්ඩු විරෝධී රැල්ල පෙන්නුම් කර ඇත්තේ කම්කරු පන්තිය චලනය වන විට,  එය එසේ කරන්නේ සියලු වාර්ගික, ජනවාර්ගික, කුලවාදී හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ රේඛා හරහා කම්කරුවන් එක්සත් කරන පන්තියක් ලෙස බවයි.

මෙය එක්සත් ජනපදය තුල මෙන්ම ඉන්දියාව තුල ද සත්‍යයකි.

එහෙත් කම්කරු පන්තියේ වෛෂයික එක්සත්කම, ලොව පුරා කම්කරුවන්ගේ පොදු පන්ති අවශ්‍යතා පැහදිලි කරන හා ධනවාදයට එරෙහි ගෝලීය ප්‍රහාරයක් බවට ඔවුන්ගේ අරගලය හැරවීමේ සටන දේශපාලනිකව තහවුරු කරන සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මගින් දේශපාලනිකව සම්මිශ්‍රනය කල යුතු ය.

මේ සඳහා ජාතිකවාදයට, වර්ගවාදයට, වාර්ගික දක්ෂිනාංශය හා අන්ත දක්ෂිනාංශයට එරෙහිව නිර්දය අරගලයක් අවශ්‍ය වේ. එහෙත් මෙය වෘත්තීය සමිති නිලධරයේ ආර්ථික ජාතිකවාදී වැඩපිලිවෙලට එරෙහිව හා වාර්ගික, ස්ත්‍රී පුරුෂ භාවය හා ඉහල මධ්‍යම පාන්තික අනන්‍යතා දේශපාලනයේ සියලු රූපාකාරයන්ට එරෙහි සටනකි. අවසානයට සඳහන් කෙරුනු අය ඉහල සියයට 10 අතර ධනය යලි බෙදාහැරීමට උත්සාහ කරන අතර සමාජ සමානතාව හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ දී වැඩ කරන ජනතාවගේ පන්ති එකමුතුව කෙරෙහි දැඩි ලෙස සතුරු ය. මන්ද එය ඔවුන්ගේ වරප්‍රසාදවලට තර්ජනයක් බව ඔවුන් පිලිගන්නා බැවිනි.

ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියෙන් ලොව පුරා කම්කරුවන් එක්සත් වී ඇති අතර නූතන විදුලි සංදේශන හරහා ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමට හැකිවීමත් සමඟ කොමියුනිස්ට් ප්‍රකාශනයේ මුරපදය වන, “ලෝකයේ කම්කරුවනි එක්වව්” යන්න සාක්ෂාත් කර ගැනීම සඳහා කොන්දේසි මීට පෙර කිසි විටෙකත් මෙතරම් යෝග්‍ය නොවී ය. නමුත් එසේ කිරීමට නම්, අන්ත දක්ෂිනාංශික ජාතිකවාදය, වර්ගවාදය හා ජනවාර්ගිකවාදය හෝ විෂකුරු ව්‍යාජ වාම අනන්‍යතා දේශපාලනය වැනි ප්‍රතික්‍රියාවන් වමනය කරන කුනු වූ සමාජ පර්යායේ කෝපාවිෂ් ප්‍රතිරෝධය ජය ගත යුත්තේ දේශපාලන අධ්‍යාපනය හා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මගිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සමාජවාදී සමානතා පක්ෂ කැපවී සිටින්නේ මෙම කර්තව්‍යයට ය.

Loading