ආන්ඩුව තරුනයන්ට රැකියාදීමේ සම්මුඛ පරීක්ෂනවලට මිලිටරිය කැඳවයි

රටපුරා දිලිඳු පවුල්වල රැකියා විරහිත තරුන තරුනියන් ලක්ෂයකට රැකියා දීමේ නමින් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව යටතේ දියත් කල “බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය” (බසකාසාබ) සඳහා තරුන තරුනියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂන පසුගිය සතියේ අවසන් විය. 

ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක මාන්ඩලික නිලධාරීවරයෙකු සභාපතිත්වය දැරූ ත්‍රිපුද්ගල සම්මුඛ පරීක්ෂන මන්ඩලයේ සෙසු සාමාජිකයන් ත්‍රිවිධ හමුදාවේ හෝ සිවිල් ආරක්ෂක බලකායේ මිලිටරි නිලධාරීන්ගෙන් සමන්විත විය. රැකියා අපේක්ෂිතයන්ගේ ලිපි ගොනුවක් වෙනම රැස් කර ඇති මිලිටරි නිලධාරීන්, පවුලේ දිලිඳුකම හා අධ්‍යාපන සුදුසුකම් පිලිබඳව ග්‍රාම නිලධාරීන් විසින් ලබා දී තිබු සහතික තිබියදී, ඒ පිලිබඳව සොයා බැලීම සඳහා යයි පවසමින් අපේක්ෂකයන්ගේ නිවෙස්වලට ද ගමන් කිරීමට නියමිත ය. මිලිටරියේ මැදිහත්වීම හා රැකියා ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිලිබඳව උතුරු-නැගෙනහිර දෙමල කතා කරන තරුනයන් ඇතුලුව රැකියා අපේක්ෂිත තරුනයන් පුදුමයට හා භීතියට පත්කර තිබේ. 

පෙර නොවූවිරූ මෙම මැදිහත්වීම, සමස්ත දිවයිනම මිලිටරීකරනය සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන සැලසුම්වල කොටසකි. මිලිටරිය, වෙනම ලිපි ගොනු පවත්වා ගැනීම හා නිවෙස්වලට ගොස් අධීක්ෂනය කිරීමේ එල්ලය වන්නේ මිලිටරියට අවශ්‍යය කොටස් තෝරා බේරා ගැනීමයි. මිලිටරිය යටතේ පුහුනුව ලබන මෙවන් බලකායක් ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි සටනට ඇදෙන කම්කරු පන්තියට එරෙහිව භාවිතයට ගැනීම ආන්ඩුවේ එල්ලය බව මේ මස 03 දා සමාජ මාධ්‍ය වෘත්තීය සංසදය අමතා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න කල ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. "හමුදාමය හා සිවිල් බලයන් ඒකාබද්ධ කිරීමේ සැලැස්මක්" රජය සතුව ඇති බවත්, "ආපදා තත්වයන්, සේවක වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවයන් පාලනය සඳහා හමුදාව සිවිල් අයවලුන් හා එක්ව මූලිකත්වය ගන්නා" බවත් එහි දී ගුනරත්න ප්‍රකාශ කලේය. "වර්ජන මගින් රටේ ආර්ථිකයට හානි වන" බවත් එවා "දේශපාලනික න්‍යාය පත්‍රයක් යටතේ සිදු කිරීම" වැරදී බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. 

ත්‍රිවිධ හමුදාවේ මාන්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල හා 2007 දී වැඩබලන හමුදාපති ධුරයේ සිට විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් නන්ද මල්වආරච්ච් ඉහත කාර්ය සාධක බලකායේ අධ්‍යෂක ලෙස පත් කොට තිබේ. සම්මුඛ පරීක්ෂන පමනක් නොව මාස 06 ක පුහුනුව හා රැකියා ලබාදීම යන කටයුතු සියල්ල ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂනය යටතේ සිදු කෙරේ.

අනෙක් අතින් සම්මුඛ පරීක්ෂනයේ දී අපේක්ෂකයන් වෙත ලකුනු ලබා දීමේ පටිපාටිය මගින් හෙලිදරව් කෙරෙන්නේ, ආන්ඩුවේ මෙම වැඩපිලිවෙල ඉදිරි මහ මැතිවරනය ඉලක්ක කොට ගත් ඡන්ද ගසාකෑමේ ව්‍යාපෘතියක් ද වන බවයි.   

සාමාන්‍ය පෙල විභාගය අසමත් වී තිබීම, පවුලේ දුප්පත්කම වැනි කරුනු තරුනයන් තෝරා ගැනීමේ දී විශේෂ සුදුසුකම් බව ප්‍රකාශ කර තිබේ. වාර්තාවන අන්දමට යාපනය ප්‍රදේශයේ පමනක් සම්මුඛ පරීක්ෂනයට පැමිනි සංඛ්‍යාව 37,400 කි. නිල සංඛ්‍යාලේඛනවලට වඩා රටපුරා ගම්බද විරැකියාව කෙතරම් බරපතල ද යන්න පිලිබඳව එය එක් සාධකයකි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2019 දෙවන කාර්තුවේ සමීක්ෂන වාර්තාවලට අනුව වයස අවුරුදු 20-29 අතර තරුන විරැකියාව සියයට 15.1 කි. උසස් පෙල හා ඉන් ඉහලට අධ්‍යපනය ලැබූවන්ගේ විරැකියා ප්‍රතිශතය 9.5 කි. අධ්‍යාපන කප්පාදුව හා දුප්පත්කම හේතුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වන මෙන්ම අධ්‍යාපන සුදුසුකම් ඇති රටපුරා දහස් ගනනක් තරුන තරුනියෝ මහා සමාගම්වල, වතු හා වෙලඳසැල්වල රුපියල් 15,000 කවත් අඩු මාසික වැටුප් යටතේ දරුනු සූරාකෑමකට ලක්ව සිටිති. 

මේ තත්වය තුල ආන්ඩුවේ උත්සාහය දහස් සංඛ්‍යාත විරැකියා තරුනයන් අතරින් කොටසක් තම පාලනය යටතේ රුවා ගනිමින් එම කොටස් “රට ගොඩනැගීමේ” නමින් ලාභ ශ්‍රම සූරාකෑම සඳහා වන ශ්‍රම තටාකයක් ලෙස භාවිතා කිරීමයි. 

සුරක්ෂිත රැකියාවක් සෙවීමේ බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂනවලට සම්බන්ධ වූ දහස් ගනන් තරුන තරුනියන්ගේ අපේක්ෂාව සහ ආන්ඩුවේ අරමුන එකිනෙකට ප්‍රතිවිරෝධීය

 ලකුනු ලබා දීමේ නිර්නායක කිහිපයක් මෙසේ ය. 

* සමෘද්ධි සහනාධාර ලබන පවුලක සාමාජිකයෙකු වුවත්, පවුලේ වෙනත් අයෙකු රැකියාවක (රජයේ හෝ සේවක අර්ථ සාධක හිමි රැකියාවක්) නිරත වන්නේ නම් එම තරුනයාට ලකුනු 15 න් 07 ක් අහිමි වෙයි. 

* සමෘද්ධි සහනාධාරය නො ලබන එහෙත් එය ලැබීමට සුදුසු පවුලක වූවත් පවුලේ වෙනත් අයෙකු රැකියාවක නිරත වන්නේ නම් එවැනි තරුනයෙකුට ද තවත් ලකුනු 15 ක් අහිමි වෙයි. 

* පවුලේ සමස්ත මාසික ආදායම රුපියල් 5,000 ට අඩුනම් ලකුනු 10 ක් හිමිවන අතර ලකුනු දෙකක් හෝ ලැබීමට පවුලේ මාසික ආදායම රුපියල් 25,000 ට අඩු විය යුතු ය. 

තරුනයෙකුට රැකියාවක් යනු සමාජමය අයිතියක් මෙන්ම තම අනාගතය සම්බන්ධ දැවෙන අවශ්‍යතාවයකි. පවුලේ ආදායම හා පවුලට හිමිවන සොච්චම් සහනාධාර මත තරුනයෙකුගේ රැකියාව තීරනය කිරීම මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට 300-350 ක් පමන වන සේ බඳවා ගන්නා මෙම තරුනයින් වඩු, පෙදරේරු, ධීවර, කෘෂිකාර්මික හා වනවගා වැනි අංශ ගනනාවක රැකියා සඳහා පුහුනු කරන බවත් මේ වසරේ ඔක්තෝබර් මස රජයේ හා අදාල වෙනත් ආයතනවල පුරප්පාඩු සඳහා ඔවුන් බඳවා ගන්නා බවත් ආන්ඩුව ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් පුහුනු කාලයේ දී රුපියල් 22,500 ක දීමනාවක් ද බඳවා ගැනීමෙන් පසු රුපියල් 35,000 වැටුපක් හිමිවන මෙම රැකියා, විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියා බවට පත් වන්නේ වසර 10 ක සේවා කාලයකින් පසුව බව ආන්ඩුව පවසයි. 

වසර ගනනාවක් පුරා රැකියා සොයමින් සිටි උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිලිවෙල තරුනයන් දහස් ගනනක් රස්තියාදුකොට හෙම්බත් කිරීමේ ව්‍යාපෘතියකි. 45,584 ක් වන උපාධීධාරීන් සඳහා පත්වීම් ලිපි ලබා දීම ප්‍රමාද කල ආන්ඩුව හිතාමතාම එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා කල් ඇදීය. පෙබරවාරි 28 සිට තැපැල් කර ඇති පත්වීම් ලිපි තවමත් බොහොමයක් උපාධිධාරීන්ට ලැබී නැත. වසරක පුහුනුවකට යටත් කෙරෙන උපාධිධාරීන් හට පුහුනු කාලයේ දී ලබා දෙන බව පවසන්නේ රුපියල් 20,000 ක සොච්චමකි. මහ මැතිවරනය පැවැත්වෙන අප්‍රේල් 25 පසුවන තෙක් එම පුහුනුව නතර කරන බව දැන් නිවේදනය කර තිබේ. 

ආර්ථික සංවර්ධන නිලධාරී වැනි තනතුරු සඳහා බඳවා ගැනෙන මෙම උපාධිධාරීන්ට හට සියලු දීමනා සහිතව ලැබෙන මුලු වැටුප රුපියල් 35,000 ක් පමන වේ. එවැනි වැටුපක් ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට කිසිසේත් ප්‍රමානවත් නොවේ. අනෙක් අතින් 2016 සිට රජයේ සේවයට කෙරෙන බඳවා ගැනීම් සඳහා විශ්‍රාම වැටුප කප්පාදු කර තිබේ. පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු, රුපියල් 20,000 ට වැඩි වැටුප් ලබන බොහොමයක් උපාධිධාරීහු තමන් කරමින් සිටින (ස්ථීර හෝ අනියම් වේවා) රැකියාවෙන් ඉවත්වී රජයේ රැකියාව භාර ගන්නවාද? නැද්ද? යන උභතෝකෝටිකයට මුහුන දී සිටිති.  

දෙමල ජනතාවයට එරෙහිව දියත් කල වර්ගවාදී යුද්ධයේ දී මෙන්ම, 1971 දී හා 1989-90 කාලපරිච්ඡේදයේ දී විරැකියාව ඇතුලු‍ රුදුරු ජීවන කොන්දේසිවලට එරෙහිව පැනනැගි තරුන නැගිටීම්වල දී ගම්බද තරුනයන් දහස් ගනනින් මිලේච්ඡ ආකාරයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොලඹ පාලක පන්තියට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි. 

වර්ධනය වන ආර්ථික අර්බූදය මධ්‍යයේ කම්කරු පන්තියේ බලගතු සටන් පුපුරා යන තතු යටතේ ආන්ඩුවේ එල්ලය වනුයේ “දිලිදුකම තුරන් කිරීම හා තරුනයන්ගේ විරැකියා ගැටලුව විසඳීම” නොව කම්කරු පන්තියටත් තරුනයන්ටත් එරෙහි සමාජ ප්‍රතිවිප්ලවයක් දියත් කිරීම සඳහා ආඥාදායක පාලනයක් වෙත ගමන් කිරීමයි. 

ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදයට ඍජුව සම්බන්ධිතව වැඩිවන වෙලඳ ශේෂ හිඟය හා අය-වැය හිඟය හමුවේ ලංකාවේ නය අර්බූදය දිනෙන් දින ඉහල යමින් තිබේ. ඒ තත්වය හමුවේ ආන්ඩුවේ එකම පිලිවෙත වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමයි. දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 7 ක් වන පවතින අය-වැය හිඟය ලබන වර්ෂය වන විට 3.5 ක් දක්වා කප්පාදු කිරීම ජාමූඅට පොරොන්දු දී සිටින ආන්ඩුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සුභසාධන තවදුරටත් කප්පාදු කිරීම හා කම්කරු පීඩිත මහජනයා මත බදුබර තීව්‍රකර ධනපති ආයෝජකයන් සඳහා සහන පිට සහන පිරිනමමින් සිටී.

අර්බූදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පැටවීම සඳහා විධායක ජනාධිපති බලතල මුලුමනින් අතට ගැනීම සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ගෝඨාභය රාජපක්ෂගේ එල්ලයයි. ඒ සඳහා ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් හා මිලිටරිය ඉහලට ඔසවාලන දේශප්‍රේමයක් සමග අනාගත් සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් ආන්ඩුව අරඹා තිබේ. කම්කරු පන්තියට එරෙහි පාලක පන්තියේ සහායක බලයන් මිලිටරිය යටතේ ආන්ඩුව ගොඩනගන්නේ මේ තත්වය තුලයි.      

අධ්‍යාපනය, සුරක්ෂිත රැකියා ඇතුලු තරුනයන්ගේ අනාගතය අලලා ගත් දැවෙන ගැටලු ධනපති ක්‍රමය යටතේ විසඳිය නොහැක. තරුනයන්ට සුරක්ෂිත රැකියා නිර්මානය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු දැවෙන සමාජ අවශ්‍යතා සඳහා බිලියන ගනන් මුදල් වැය කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස විදේශ නය අහෝසි කරමින්, මහා බැංකු, සමාගම් හා වතු කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. ඒ සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) වටා ඒකාබද්ධ වන්නැයි අපි සියලු හිතන මතන තරුනයන්ට කැඳවුම් කර සිටිමු. 

Loading