එක්සත් ජනපද කොරෝනා වෛරස් රෝගීන් 500 ඉක්මවද්දී, ඉතාලිය මහා නිරෝධායන ව්‍යාපාරයක් ආරම්භ කරයි

මෙම ලිපිය 2020 මාර්තු 9 දින ඉංග්‍රීසියෙන් පල විය.

කොරෝනා වෛරසය හේතුවෙන් මිලියන 16 ක ජනතාවක් බලහත්කාරයෙන් නිරෝධායනය කරන්නා වූ ඉතාලිය, එහි උතුරු ප්‍රදේශය  දැන් මුලුමනින්ම පාහේ අඩස්සියේ තබා ඇත. 20,000 ක් විශ්‍රාමික වෛද්‍ය සේවකයින්ට නැවත සේවයට වාර්තා කරන මෙන් ඉතාලි ආන්ඩුව දැනුම්දී  තිබේ. රටේ දකුනේ සම්පත් හිඟ  ප්‍රදේශවල කොරෝනා වෛරසයේ බලපෑම විනාශකාරී වනු ඇතැයි, ඉතාලි බලධාරීහු උත්සුක වෙති.

යුරෝපය සහ එක්සත් ජනපදය පුරා, සම්මන්ත්‍රන, සංගීත සංදර්ශන, ක්‍රීඩා ඉසව් සහ අත්‍යවශ්‍ය නොවන සංචාර සීමා කිරීම සහ වසා දැමීම ක්‍රියාත්මක වේ. 8දා සවස වන විට එක්සත් ජනපදයේ නවතම කොරෝනා වෛරස් රෝගීන් 500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රාජ්‍ය හා ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන සහ රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) පවසයි. නවතම කොරොනා වෛරසය  සහ කෝවිඩ් -19 නම් රෝගය නිසා ගෝලීය වශයෙන් 3,500 කට අධික පිරිසක් මිය ගොස් 105,000 කට වඩා වෛරසය ආසාදනය වී ඇත.

චීනයේ ආචාර්ය ජින් ලී සහ ෂැංහයි හි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ ඔහුගේ සගයෝ, සරල පසුගාමී ආකෘතියක් භාවිතා කරමින්, සෑම දින 19 කට වරක් දස ගුනයක වර්ධන වේගයක් අත්කර ගැනීමත් සමඟ, කොවිඩ් -19 නව ආසාදනයේ ගෝලීය ප්‍රවනතාව විෂම ජාතීය වනු ඇතැයි ගනන් බලති. සොයා නොගත් නිර්මාතෘ (රෝග කාරකයා) හෝ මුල්ම  අවස්ථාවේ රෝගීන් 34 ක් පමන වූ බවට ඔවුන් ගනන් බලා ඇත. මෙම පුද්ගලයෝ චීනයෙන් පිටතට ආසාදනය අපනයනය කලහ. ජනවාරි 21 සිට පෙබරවාරි 28 දක්වා කාලය තුල ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) වෙබ් අඩවියෙන් බාගත්  දත්ත පදනම් කරගෙන ෂැංහයි කතුවරුන්ගේ ප්‍රතිපල අන්තර්ජාලය තුලින් ප්‍රකාශයට පත් කරන ලදී.

තවත් සිදුවීම් ආනයනය කෙරෙමින් ඇති බව තමන් දකින බව පවසන චීනය,  මාර්තු පලමු සතිය තුල නව ආසාදන 1,400 ක් පමනක් වාර්තා කර ඇති අතර, දකුනු කොරියාව, ඉතාලිය සහ ඉරානය, චීනය අභිබවා යමින් අනතුරුදායක අනුපාතයකින් නව රෝගීන් වාර්තා කර තිබේ. ස්පාඤ්ඤය, ජර්මනිය සහ ප්‍රන්සය ඇතුලු යුරෝ කලාපයේ හදවතෙහිම ඒ හා සමාන සිද්ධීන් හටගෙන තිබේ. මෙම වසංගතයේ නව පෙරමුනු රටවල් බවට පත්ව තිබෙන්නේ, ස්කැන්ඩිනේවියානු රටවල්ය.

අනුග්‍රහය:WSWS

චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත කොවිඩ් -19 වාර්තා වූ පලමු සිද්ධිය, 2020 ජනවාරි 13 වන දින තායිලන්තයේ සිදු වූ බව, පරියේෂනාගාර වාර්තා පදනම් කරගෙන, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මාර්තු මාසයේ පලමු සතිය අවසන් වන විට, රටවල් හා ප්‍රදේශ 100 කට අධික සංඛ්‍යාවක ආසාදන රෝගීන් වාර්තාවී ඇති අතර, ඇන්ටාක්ටිකාව හැර සෑම මහද්වීපයකටම එය බලපා ඇත.

පෙබරවාරි 18 සිට මාර්තු 2 දක්වා චීනයෙන් පිටත රෝගීන් සංඛ්‍යාව 999 සිට 10,288 දක්වා ඉහල ගියේය. වර්ල්ඩ්මීටර් විසින් සපයන ලද සංඛ්‍යාත්මක තොරතුරු වලින් පෙනී යන්නේ, එම රටෙන් පිටත කොවිඩ් -19 හි නව අවස්ථා සඳහා ලඝුගනක වක්‍රය රේඛීයව ඉහල යන බවයි. මෙයින් ගම්‍ය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාවගේ යම්හෝ සැලකිය යුතු මැදිහත්වීමක් නොවුනහොත්, මාර්තු මැද භාගය වන විට චීනයෙන් බැහැර සිදුවීම් 100,000 ක් වනු ඇති බවත්, අප්‍රේල් පලමු සතිය වනවිට එය මිලියනය ඉක්මවිය  හැකි බවත් ය.

2009 දී එච් 1 එන් 1 සූකර උන සමඟ ද ඒ හා සමාන වේගවත් පැතිරීමක් දක්නට ලැබුනි. කෙසේ වෙතත්, එච් 1 එන් 1 වසංගතය සහ මෙය අතර ඇති වෙනස, රෝගයේ බරපතලකම වන අතර, මාරාන්තික බවෙන් එච් 1 එන් 1, 100 ගුනයකින් අඩුය. ආසාදිත වූවන් බිලියන 2 න් 500,000 ක් පමන සූකර උන රෝගයෙන් මිය ගියහ.

කොවිඩ් -19 හා සම්බන්ධව, මාරාන්තික අනුපාතය සියයට 0.6 සිට සියයට 10 දක්වා පරාසයක පවතී. සමුච්චිත සිද්ධීන් සහ වාර්තා වූ මරන මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනුපාතය සියයට 3.4 ක් ලෙස මෑතකදීම නිගමනය කලේය. ඒකායන නොවන බව පෙන්වමින්, එක්සත් ජනපදය, ඉතාලිය සහ ඉරානය භයානක මාරාන්තික අනුපාත පෙන්නුම් කරන අතර දකුනු කොරියාව වඩා අඩු මරන අනුපාතයක් පෙන්වයි. ජර්මනියේ මේ වන විට රෝගීන් 951 ක් වාර්තා වී ඇති අතර කිසිදු මරනයක් වාර්තා වී නොමැත. 

වෛරසයේ උත්සන්නකම, සෞඛ්‍යාරක්ෂාව සඳහා ප්‍රවේශය, ජනතාවගේ සෞඛ්‍යය සහ පැතිර පවතින උෂ්නත්වය වැනි පාරිසරික සාධක,  රෝග ව්‍යාප්තිය පිලිබඳ වඩා නිරවද්‍යතාවක්  හෝ වෙනත් සාධක පෙන්නුම් කරන, සමහර රටවල සිදු කරන ලද පුලුල් පරීක්ෂන වලට මෙම අනුපාත සම්බන්ධද යන්න තීරනය කල යුතුය. වෛරසය සෙල්සියස් අංශක 8 කදී වඩාත් ක්‍රියාකාරී හා කාර්යක්ෂම බව පෙනේ.

චීනයේ සීඩීසී හි දත්ත වලට අනුව, මෘදු උන වැනි රෝග ලක්ෂන වලින් පෙලෙන බොහෝ පුද්ගලයින් ආසාදනයෙන් පසුවද හොඳින් සිටිනු ඇත. කෙසේ වෙතත්, දල වශයෙන් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමානයකට, රෝහල් ගත කිරීම සහ අතිරේක ඔක්සිජන්, උපකාරක සත්කාර, හෝ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීම සහ වාතාශ්‍රය ලබා ගැනීම අවශ්‍ය වේ. වැඩිහිටියන් සහ රෝගාබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයට, කොවිඩ් -19  දරුනු ලෙස ආසාදනය වීමේ  අවදානම තිබේ. එක්සත් ජනපදයේ මරන වලින් පෙන්නුම් කරන්නේ, වොෂිංටන් ප්‍රාන්තයේ කිං කවුන්ටි සාත්තු නිවාසයේ සිටින  අවදානමට ලක්විය හැකි අයට මෙයින් මාරාන්තික ප්‍රතිපල ගෙන දිය හැකි බවයි. මෑතකදී ඉතාලියේ සිට ආපසු පැමිනි වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මරන ෆ්ලොරිඩාවෙන් වාර්තා විය.

ආන්ඩු, සෞඛ්‍ය බලධාරීන් සහ විශේෂඥයින් අතර පුලුල් සහයෝගීතාවයක් තුලින් සංවිධානාත්මක හා සැලසුම් සහගත සෞඛ්‍ය සේවාවක් සැපයීමේ වැදගත්කම අතිශයෝක්තියක් නොවේ. වෛරස් ප්‍රහාරයේ  මුල් දිනවල චීනයේ අත්දැකීම් අනුව,  වුහාන්හි රෝහල් කරා රොදබැඳගෙන පැමිනි සාමාන්‍ය ජනතාව හරවා යවනු ලැබින. නව බෝවන වෛරස් ආරංචිය නිසා පීඩාවට පත් රෝගීන් පරීක්ෂා කිරීම භීතිය හා සමාජ කම්පාව ඇති කලේය. සෞඛ්‍ය සේවකයින්ගේ නුසූදානම  මෙන්ම විරල ද්‍රව්‍යමය සම්පත් ද ජනවාරි සහ පෙබරවාරි මුලදී දක්නට ලැබුනු මරන අනුපාතය ඉහල යාමට හේතු වන්නට ඇත.

සති අන්තයේ දේශපාලනය පිලිබඳ හාවඩ් කෙනඩි පාසල් ආයතනයේ පැවති සංසදයකදී, විශේෂඥ මන්ඬලයක් විසින් වර්ධනය වන වසංගතය පිලිබඳව අදහස් බෙදාහදා ගන්නා ලදී. හාවඩ් හි ටීඑච් චෑන් මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග විද්‍යාඥ මයිකල් මීනා පැවසුවේ, “අපි අඩ සියවසක් හෝ ඊට වැඩි කාලයක් තුල සටන් කල දරුනුම වෛරසය එයයි.”

බෝවන රෝග සහ මහජන සෞඛ්‍ය පිලිබඳ වාර්තාකරු හෙලන් බ්‍රාන්ස්වෙල් පැවසුවේ “එය විකාර සහගතයි, නමුත් මම පුදුමයට පත්වෙනවා. වසර ගනනාවක් තිස්සේ මෙවැනි දෙයක් සිදුවීමට ඇති හැකියාව ගැන ලියා ඇති නමුත්, එය සිදුවීම ගැන මම තවමත් තැතිගෙන සිටිමි. එය කුමක්දැයි මම නොදනිමි. ” මීට අමතරව, වෛද්‍ය මීනා ප්‍රකාශ කලේ, “සම්පූර්නයෙන්ම අවදානමට ලක්විය හැකි ජනතාවක් මෙහි සිටී. අසාමාන්‍ය ක්‍රියාමාර්ගයකින් තොරව මෙය ඉතා ඉක්මනින් ජනතාව වෙලාගෙන පැතිර යාමේ හැකියාව ඉතා ඉහලය. ” මෙය නව වෛරසයක් වන නිසා ලෝක ජනගහනය එයට මුහුන දිය හැකි ආකාරයේ ප්‍රතිශක්තියක් වර්ධනය කරගෙන නැත.

 මගී නෞකාවෙන් ඉවත් වූවන් පිලිබඳව කටයුතු කිරීමේදී ජපානය තුල මෑතදී සිදු වූ දෝෂ, පරීක්ෂන කට්ටල නිෂ්පාදනය හා බෙදා හැරීමේ ව්‍යසනය, ට්‍රම්ප් පරිපාලනයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි වාචාල ප්‍රතිචාරය වැනි දේ සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ, වේගයෙන් වර්ධනය වන වෛරස් ව්‍යාප්තියට ප්‍රතිචාර දැක්වීමේදී එක්සත් ජනපදයේ නොසූදානමයි. දැන් ප්‍රාන්ත 33 කට අධික සංඛ්‍යාවක් මෙයින් පීඩාවට පත්ව ඇත. නිව්යෝර්ක්, කැලිෆෝනියා සහ වොෂිංටන් ප්‍රාන්ත, සෞඛ්‍ය පහසුකම් පිලිබඳ දැඩි අර්බුදයක් ලෙස ඔවුන් අපේක්ෂා කරන තත්වය හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් හා සම්පත් ලබා ගැනීමට හදිසි තත්වය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සති අන්තයේ එක්සත් ජනපදයේ වාර්තා වූ රෝගීන් 451 න් 300 කට වැඩි සංඛ්‍යාවක් එම ප්‍රාන්ත තුනට අයත් වේ.

එක්සත් ජනපද සෞඛ්‍ය සේවා පද්ධතියේ වර්තමාන බිඳුනු ස්වභාවයෙන් පෙන්වන්නේ, රෝහල්වල හදිසි දෙපාර්තමේන්තු, සම්පත්, විශේෂඥයින් සහ පරිපාලන කටයුතු සම්බන්ධීකරනය හා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් කර නොමැති බවයි. සීමිත ප්‍රතිපාදන සහ හිඟ සම්පත් මත බොහෝ වෛද්‍ය පහසුකම් ක්‍රියාත්මක වන නාගරික ප්‍රජාවන්ට මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට ද පහසුකම් සැපයීමේ මූලෝපායික දිගු කාලීන  සැලැස්මක් සකස් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී.

වෛද්‍ය මීනා පවසන පරිදි, “මට මෙහි පරාජකවාදී ලෙස පෙනී සිටීමට අවශ්‍ය නැත, නමුත් අපගේ සෞඛ්‍ය සේවා පද්ධතියේ තත්වය, අප ඒ පිලිබඳ සෑම දෙයක්ම පෞද්ගලීකරනය කර ඇති ආකාරය, බොහෝ දුරට අපගේ හැකියාවට බරපතල ලෙස බලපානු ඇත. නව රෝහල් ඇඳන් හිටි හැටියේ අපට නිර්මානය කල නොහැක. අපට නිසි ලෙස පරීක්ෂන පැවැත්වීමට පවා නොහැකිය. ” චීනය ලෝකය මත පටවන ලද වෛරසය සඳහා සූදානම් වීමට සති හතරේ සිට හය දක්වා කාලයක් වත්මන් පරිපාලනය නාස්ති කල බවට සියලු විශේෂඥයෝ එකඟ වෙති. ට්‍රම්ප් පරිපාලනය සාපරාධී ලෙස නොසැලකිලිමත් වන අතර, එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා, පෞද්ගලික රක්ෂන සමාගම්, ඖෂධ සහ යෝධ සෞඛ්‍ය සේවා ව්‍යාපාරිකයින්ගේ ලාභයට යටත් කිරීම අවසාන වශයෙන් මේ තත්වයට වගකිව යුතුය.

Loading