කොරෝනා වෛරසයෙන් ලංකාව තුල දැවැන්ත සමාජ ඛේදවාචකයක් නිර්මානය කෙරෙන ලකුනු

නවීන් දේවගේ
10 මාර්තු 2020

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති වුවද, සැඟ වී පැතිර යන එම රෝගය එකවර මතුව ව්‍යාප්තවීමේ අවදානම දැඩිව පවතී.  අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් පසුගිය දශක කීපය පුරා ගෙනගිය රුදුරු කප්පාදු වලින් ලංකාව තුල පැවති සීමිත මහජන සෞඛ්‍ය පහසුකම් පවා විනාශයට පත්කොට ඇති තතු තුල එවැන්නක් සිදුවුවහොත්, ලක්ෂ සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාව එහි ගොදුරු බවට පත් කෙරෙන දැවැන්ත සමාජ ඛේදවාචයක් නිර්මානය වනු ඇත. 

ලොවපුරා ධනපති ආන්ඩුවල නරුම නොතැකීම නිසා, රෝගය බෝ වූ ප්‍රභවය සොයා ගත නොහැකි ව දැන් නොයෙක් තැන්වලින් රෝගීන් වාර්තා වන්නේ නිරෝධායන ක්‍රියාමාර්ගයන් ඵලරහිත කරවමිනි. 

ලංකාවෙන් වාර්තා වූ එක ම කොරෝනා වෛරස් ආසාදිතයා චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට පැමිනි සංචාරක කාන්තාවක වීමත්, ඇය සම්පූර්න සුවය ලබා පිට ව යාමත්, එ තැන් පටන් තව ම රෝගියෙකු වාර්තා නොවීමත් ගැන ලංකාවේ ආන්ඩුව උදම් අනයි. මාර්තු 6 වැනි දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් අමතමින් ජනාධිපති රාජපක්ෂ “රජය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුන දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැ” යි ප්‍රකාශ කලේ ය. 

නිරෝධායනයෙන් රෝගය වලක්වා ගත හැකි යයි එම කමිටුව යෝජනා කල ද රෝගය පැතිර යාමක දී ප්‍රතිකාර කිරීමට රෝහල්වල යටිතල පහසුකම් පුලුල් කිරීමක් සහ ඒ සඳහා දැවැන්ත ලෙස අරමුදල් යෙදවීමක් අවශ්‍ය කෙරේ. ලංකාව පසුගිය වසරේ සෞඛ්‍යයට වෙන් කල, දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2 ක් වන රුපියල් බිලියන 237ක සොච්චම හැර, මෙම අවදානම් අවස්ථාවට මුහුනදීමට ප්‍ර‍මානවත් මුදලක් රාජපක්ෂ ආන්ඩුව මෙතෙක් වෙන්කොට නොමැත. 

ජනාධිපතිගේ නිර්දේශ මත කොරෝනා වෛරසය මැඩ පැවැත් වීම ගැන ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන් සමඟ පැවැත් වූ හමුවක දී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍ර‍කාශ කලේ,  “බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ රුපියල් බිලියන 120 ක් මේ වසරේ ඖෂධ සඳහා වෙන් කිරීමට සිදු ව ඇති බවත් එය රටක් වශයෙන් සතුටු විය හැකි තත්ත්වයක් නොවන” බවයි.  වන්නිආරච්චි සතුටු නොවන්නේ එම මුදල ප්‍ර‍මානවත් නොවන නිසා නොව, එවන් සොච්චමක් හෝ මහජනතාව වෙනුවෙන් වැය කිරීමට ඇය ඇතුලු ධනපති පාලක පන්තිය බලාපොරොත්තු නොවන බැවිනි.

පාලක පන්තිය සෞඛ්‍ය සේවාවන්ට අත්කර දී ඇති ඉරනම  ඩෙංගු රෝගය සම්බන්ධ තතුවලින් පෙන්වා දෙනු ඇත. ප්‍රධාන පෙලේ රජයේ රෝහලක නේවාසික වාට්ටුවක වුව දැඩි තදබදයක් තිබෙන අතර ප්‍රතිකාර කිරීමට සිටින්නේ ද දිගු සේවා මුරවලින් හෙම්බත් කරනු ලැබූ සීමිත කාර්ය මන්ඩලයක් පමනි. මහජන සෞඛ්‍ය සේවයේ කඩා වැටීමට අනුෂංගික ව පුලුල් වන සහ නවීකරනය වන පෞද්ගලික සෞඛ්‍ය සේවය තුල අය කෙරෙන ඉහල ගාස්තු හේතුවෙන්, කම්කරු-පීඩිත මහජනතාවගෙන් අතිමහත් බහුතරයකට එහි දොරවල් වැසී ඇත.

දැනට රෝහල් 17ක් සීරුවෙන් තබා ඇති බව නිවේදනය කෙරුනත් ඒවායේ විශේෂ ප්‍රතිකාර පහසුකම් සහ ප්‍රමානවත් දැඩි සත්කාර සේවා පහසුකම් නොමැත. තවමත් කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් නොමැති තතු තුල, ශරීරය ප්‍රතිශක්තිකරනයක් ගොඩ නංවා ගන්නා තෙක් රෝගියාගේ රෝග ලක්ෂනවලට ප්‍රතිකර්ම යෙදීමට සිදුව ඇත. 

කොරෝනා වෛරසය පෙනහලු ආසාදනය කරවන නිසා බොහෝ විට ශ්වසන අපහසුකම්වලට පිලියම් යෙදීමට අවශ්‍ය වන දැඩි සත්කාර වෛද්‍ය උපකරන අවශ්‍ය කෙරේ. රෝගය මහා පරිමානයෙන් පුපුරා යාමකට මුහුන දීමට අවශ්‍ය කෙරෙන්නේ මෙම පහසුකම් කඩිනමින් ඉහල නැංවීමයි. නමුත් යථා තත්ත්වය නම් කොලඹ අයිඩීඑච් උන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පවා ඇත්තේ සීමිත සම්පත් ප්‍රමානයක් වීමයි. 

දකුනු ආසියාවේ ම රෝගය හඳුනා ගැනීමේ පීසීආර්(polymerase chain reaction) පරීක්ෂනය ඇත්තේ ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේ පූනේහි පමනක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවත්, එම පරීක්ෂන කට්ටල ඇත්තේ කොලඹ වෛද්‍ය පර්යේෂන ආයතනයේ පමනි. එයද ඉතාම සීමිත ප්‍රමානයක් පමනි.

මෙම පරීක්ෂන කට්ටලයක මිල රුපියල් 10500 ක් තරම් ඉතා ඉහල බැවින් ඒවා භාවිත කිරීම සීමා කිරීමට දැඩි නිර්නායක පනවා ඇත. දැනට කෙරෙන්නේ කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන රෝගීන් වෙනත් රෝග සඳහා පරීක්ෂා කර රෝගය හඳුනා ගත නොහැකි නම් අධීක්ෂනය යටතේ නිරෝධායනය කිරීමයි. උන රෝගය අසාධ්‍ය වුවහොත් කොලඹ උන රෝහලට මාරු කර එවනු ලැබේ.

ප්‍රමානවත් නිරෝධායන පහසුකම් නොමැති වීම බරපතල ගැටලුවක් ලෙස ඉස්මතු වී ඇත. කොලඹ උන රෝහලේ නිරෝධායන පහසුකම් ඇත්තේ රෝගීන් දස දෙනෙකුට පමනි. හැඳල පැරනි ලාදුරු රෝහල මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර නිරෝධායන කටයුතු සඳහා සූදානම් කෙරෙමින් පවතින බව ආන්ඩුව පවසයි. නමුදු ඒවා කිසිසේත්ම ප්‍ර‍මානවත් නොවනබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ප්‍ර‍කාශයන්ගෙන්ම පැහැදිලි වෙයි. 

දකුනු කොරියාවේ, ඉතාලියේ සහ මැදපෙරදිග රැකියාවේ නියුක්තව සිට ලංකාවට පැමිනෙන කම්කරුවන්ට ඔහු උපදෙස් දෙන්නේ සති දෙකක් තම නිවෙස්වලම රැඳී සිටිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ අධීක්ෂනය යටතේ ස්වයං-නිරෝධායනයක යෙදෙන ලෙසයි. 

මාර්තු 5 දිණමිණ වාර්තා කරන ආකාරයට, සතියකට පමන පෙර කාල සීමාව තුල ඉතාලියේ සහ දකුනු කොරියාවේ සිට    1800ක් පමන දෙනා ශ්‍රී ලංකාවට පැමින ඇත. 

කොරෝනා වෛරසයේ ගෝලීය බලපෑම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වන බවට ලකුනු සෑම අතින්ම පහල වී ඇත. 

වෛරසය පැතිරයාමේ ප්‍ර‍තිඵලයක් ලෙස ලෝක ආර්ථිකය මන්දගාමීවීම හේතුවෙන්, පසුගිය දෙසතිය තුල පමනක්, රුපියල් බිලියන 19.6 ක දැවැන්ත මූල්‍ය කන්දරාවක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගලාගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත සහ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ, විදේශිකයන් බොහොමයක් විසින් තමා මිලදී ගත් ශ්‍රී ලංකාවේ භාන්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් ආපසු භාර දී ඒවායේ වටිනාකම් වලට අදාල මූල්‍යය මෙලෙස ලංකාවෙන් ඉවත්කර ගෙන ඇති බවයි.  

කම්කරුවන් තම රැකියා සහ ජීවන මාධ්‍ය අහිමි වීමේ තර්ජනයකට ද මුහුන පා ඇත. චීනයෙන් ආනයනය කරන ලද ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබී යාම හෝ සැපයුම අඩාල වීම නිසා ඇඟලුම් කර්මාන්තශාලා 50ක් පමන හෝ ඊට වැඩි ප්‍රමානයක් තාවකාලික ව වැසී යාමේ තර්ජනයකට ලක් ව ඇත. 

නමුත් කර්මාන්ත හිමිකරුවන් සහ ආන්ඩුව කනස්සලු වන්නේ අර්බුදයට මුහුන දී සිටින කම්කරුවන් ගැන නොවේ. ශ්‍රී ලංකා අපනයන ඇඟලුම්කරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලඛානි පවසා සිටියේ සෙසු සියල්ලට ම වඩා ප්‍රධාන ගැටලුව වනු ඇත්තේ ෆැක්ටරිවල වැඩ නතර වන තත්ත්වයක් තුල සමස්ත නිෂ්පාදන වියදමෙන් සියයට 30 ක් පමන වන ශ්‍රම වියදම් දරන්නට වීම ගැනයි.

අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ පිහිටි ටීජේ ලංකා ආයතනයේ කම්කරුවෙක් තම සහෝදර කම්කරුවන් මුහුන දී සිටින තත්වය මෙසේ පැහැදිලි කලේය: "අපේ ආයතනය සම්පූර්නයෙන්ම රෙදි නිෂ්පාදනය කරන ආයතනයක්. විශේෂයෙන්ම එහි නිෂ්පාදනය කරන්නේ ක්‍රීඩා ඇඳුම් සඳහා භාවිතා කරන පොලියෙස්ටර් වර්ගයේ රෙදි ඊට අවශ්‍ය නූල් වර්ග හා ඉන්දියාවෙන් සහ චීනයෙන් ගෙන්වනවා. මේ දිනවල චීන ආනයන නැවතිලා තියෙන්නේ. අපේ ආයතනයට ලැබෙන නූල් වර්ගත් නැවතිලා තියෙන්නේ."

කාන්තා කම්කරුවන්ගේ අතිකාල වැඩ ප්‍ර‍මානය අඩකින් කපා දමා ඇති බැවින් නිශ්පාදනයේ අඩාල වීමක් ඇති බවට සැක කරන බව ඔහු පැවසීය. එම අතිකාල කපා දැමීමෙන් ඔවුනගේ මාසික ආදායම තුනෙන් පංගුවකින් පමන පහල වැටී ඇතිබව ඔහු පෙන්වා දුන්නේය.

නිෂ්පාදනය ගෝලීයකරනය වීමේ තතු තුල ශ්‍රම සංචලනය යටතේ ලංකාවේ කම්කරුවෝ ලක්ෂ ගනනින් මැදපෙරදිග රටවලත්, ඉතාලියේත් දකුනු කොරියාවේත් සේවය කරති. එ මෙන් ම බහුල වශයෙන් චීන, ඉන්දියානු කම්කරුවෝ ලංකාවේ සේවය කරති. වහල් ශ්‍රම කොන්දේසි යටතේ වැඩ කරන සංක්‍රමනික කම්කරුවෝ කම්කරු පන්තියේ වැඩියෙන් ම අන්තරායන්ට නිරාවරනය වන පිරිසක් වෙති.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මැදපෙරදිග රටවල, ඉතාලියේ, දකුනු කොරියාවේ සිටින කම්කරුවන් මුහුන පා ඇති සමාජ සෞඛ්‍යමය ගැටලුවලට වඩා බලධාරීන්ගේ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ එම කම්කරුවන් ඉවත් කර ගැනීමෙන් ලාභ ශ්‍රම සැපයුම්කරුවෙකු ලෙස ලංකාවට ඇති ස්ථානය අහිමි වේ ය යන බියයි. ලංකාවට වැඩිම විදේශ විනිමය ලැබෙනුයේ විදේශයන්හි රැකියාවල නියුතු කම්කරු බලකාය හරහා ය. 

රෝගය ව්‍යාප්ත වෙමින් පවතින රටවල සේවයේ යෙදෙන ශ්‍රී ලාංකික කම්කරුවන් සහ ඔවුනගේ පවුල් මුහුන දී සිටින්නේ ඉතා දුක්ඛිත තත්වයකටයි. 

දකුනු කොරියාවේ සේවයේ නියුතු අම්බලන්ගොඩ, පරගහතොට සුමීර දිනෙත් ගේ භාර්යාව වන නිලූෂා කුමාරි මෙසේ පැවසුවාය: "මෙම වෛරසය පිලිබඳ ආරංචිය ලත් මොහොතේ සිට ගෙදර අප සැවොම බයෙන් සහ කනස්සල්ලෙන් පසු වෙනවා. එයා අපි බය වෙන නිසා වැඩි විස්තර කියන්නේ නැහැ.නමුත් සුමිත් ලංකාවට එන්න කැමති නැහැ. ඊට හේතුව යම් විදියකින් රෝගයේ බලපෑමක් ඔහුට වී ඇත්නම් දරුවන්ට සහ පවුලේ අයට අනතුරක් වේය කියා ඔහු සිතනවා. ඒ වාගේම ගෙදර ආවොත් ඒ ආරංචිය නිසා ලමයින්ට පාසැල් යාමට පවා බාධා ඇතිවිය හැකිය කියා ඹහු සිතනවා."

සෞඛ්‍ය අවදානමක් පැවතියත් නිවාඩු ගැනීම දුෂ්කර වීම, රෝහල් වලින් සංක්‍රමනික කම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම ආදිය ඔවුන් මුහුන දෙන  දුෂ්කරතා අතර වෙයි. 

කොරියානු රැකියා ලබා ගැනීමට විරැකියාවෙන් බැට කන තරුනයන් අතර ඉහල තරගයක් පවතින අතර තම රැකියාව අහිමි වේ ය යන බිය නිසා ම කැමැත්තකින් තොර ව වුව ඇතැම් කම්කරුවන් රැඳී සිටීමට තීරනය කර ඇත. 

යුරෝපයේ, විශේෂයෙන් ම ඉතාලියේ කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ මාලු අපනයන වෙලඳපොල කඩා වැටීමෙන් ධීවරයෝ ද දැඩි දුෂ්කරතාවකට මුහුන දී සිටිති. යුරෝපය ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය අපනයන වෙලඳපොලයි. ජාත්‍යන්තර ගමන් දැඩිලෙස සීමාවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය ද දරුනු පසුබෑමකට ලක් ව ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත අය වැය පරතරය අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට වලිකන ආන්ඩුව අපනයන කඩා වැටීම, සංචාරක කර්මාන්තය කඩා වැටීම සහ ඍජු විදේශ ආයෝජන අහිමි ව යාම හමුවේ  උග්‍ර‍වී ඇති ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම ආන්ඩුවේ පිලිවෙතයි.

මාර්තු 6 වැනි දා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කලේ ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කර ගත නොහැකි මට්ටමක් පැමිනය හොත් රෝග නිරෝධායන සහ වැලැක්වීමේ ආඥාපනතේ දැඩි ක්‍රියාමාර්ග බලාත්මක කිරීමට සිදු වනු ඇති බව යි. සෞඛ්‍ය සේවාවන් කප්පාදු කරන පාලක පන්තියට වසංගත රෝග ව්‍යාපතියක් වැලැක් වීමට පීඩක නීතිවලට යාම හැර අන් විකල්පයක් ඇත්තේ ද නැත.

"කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!" යන මැයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත් කල ප්‍ර‍කාශයේ සදහන් වන පරිදි, "වත්මන් අර්බුදය යලි වතාවක් ප්‍රදර්ශනය කරන්නේ ධනවාදය යල්පැනගිය ආර්ථික පද්ධතියක්  මෙන් ම මානව ප්‍රගතියට ද බාධාවක් බව යි."

"මෙම වසංගතය හා ගෝලීය උනුසුම් විමේ  විනාසකාරී ගම්‍යයන් විසින් මතු කෙරෙන අනතුර සනාත කරන්නේ ධනේශ්වර පද්ධතිය  ලෝක සමාජවාදයට ඉඩ දිය යුතු බව යි."