කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ මත්ස්‍ය අපනයනය කඩා වැටේ

චීනයෙන් පරිබාහිරව ජපානය, යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය තුල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරීමත් සමග රටවල් ගනනාවක පාරිභෝගික ඉල්ලුම පහල වැටෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ මත්ස්‍ය අපනයනය හීන වී ටූනා (කෙන්දා) මත්ස්‍ය  මිල ගනන් පහල යමින් තිබේ. රුපියල් 800 ට එහා පැවති ටූනා මාලු කිලෝවක් රුපියල් 400 ට පමන බැස ඇති අතර ඉස්සන්, දැල්ලෝ වැනි අනෙක් අපනයන මත්ස්‍ය වර්ගවල ද මිල පහල බැසීමේ තර්ජනයට මුහුන දී සිටී. 

පසුගිය සතිය තුල ලංකාවේ මුහුදු ආහාර අපනයනය සියයට 35 කින් පහත වැටී ඇතැයි අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ ප්‍රකාශ කරයි. යුරෝපා මහද්වීපය තුල ලංකාවේ මාලු අපනයනයේ ප්‍රධාන ගැනුම් කරුවා වන ඉතාලිය තුල වෛරසය ව්‍යාප්ත වීම ඇතුලු කරුනු හේතුවෙන් ඉදිරි කාර්තුව තුල මත්ස්‍ය ආහාරවල මිල සියයට 25 කින් පහත වැටෙනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ. මේ වසරේ දෙවන කාර්තුව තුල තේ, පොල්, රබර්, ඇඟලුම් සහ සැකසු ආහාර ද්‍රව්‍ය යන ලංකාවේ ප්‍රධාන අපනයන සියයට 25 කින් හෙවත් ඩොලර් මිලියන 750 කින් පහත වැටෙනු ඇති බව ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

මාලු මිල පහල දැමීිමට විරෝධය පල කල දික්ඕවිට ධීවරයන්ගේ උද්ඝෝෂනය

මහා පරිමානයෙන් මාලු අපනයනය කරන සමාගම් හා විදේශ ධීවර සමාගම් විසින් ලංකාවේ ටූනා මත්ස්‍ය මිල ගනන්, ධීවර ආම්පන්න හා ඉන්ධන මිල ගනන් පාලනය කරන තත්වය හමුවේ අඛන්ඩව බැට කමින් සිටින බහුදින යාත්‍රා ධීවරයන්ගේ ජීවනෝපායන්ට මාලු මිල ගනන් පහල බැසීමෙන් දරුනු පහරක් එල්ල කෙරෙමින් තිබේ. පසුගිය  03 දා කොලඹ දික්ඕවිට වරාය ඉදිරිපිට, විදේශ නැව් ලංකාවේ මුහුදු සීමාවේ කරන මසුන් මැරීම නතර කරන්නැයි ද රජය මැදිහත් වී මාලු සඳහා ස්ථාවර මිලක් නියම කරන්නැයි ද ඉල්ලා බහු දින යාත්‍රා ධීවරයෝ විරෝධතාවක නිරත වූහ. 

විරෝධතාවයට හලාවත, තොඩුවාව, මාරවිල, වෙන්නප්පුව, කොච්චිකඩේ හා මීගමුව යන ධීවර ගම්මානවල ධීවර කම්කරුවෝ, ධීවර කාන්තාවෝ 7,00 ක් පමන සම්බන්ධ වී සිටියහ. වරාය ඇතුලත විරෝධතාවයේ යෙදීම වැලැක්වීම සඳහා පොලීසිය කැඳවූ ආන්ඩුව වරාය ඇතුලත සේවය කරන කාර්මික ශිල්පීන්, ධීවර යාත්‍රා මුරකරුවන්ට සහ යාත්‍රාවලට විවිධ සේවා සපයන ශිල්පීන්ට වරායෙන් පිටතට ඒමට නොදී ගේට්ටු වසා දැමුවේ ය. 

විරෝධතාකරුවන් තවදුරටත් ප්‍රකෝපවීම වලකනු වස් දික්ඕවිට වරායේ විදේශ නැව් සඳහා වෙන් කොට ඇති පහසුකම්වලින් යුක්ත වූ කොටසේ ඒ වනවිට රඳවා තිබූ විදේශ නැව් ඈත දියඹට ගෙන ගියේ නාවික හමුදාවේ ඩිංගි බෝට්ටුවල ආරක්ෂාව යටතේ බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ වරාය ධීවර කම්කරුවෝ ප්‍රකාශ කලහ.   

ධීවර අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ බහුදින ධීවර බෝට්ටු 4,000 ට වැඩි සංඛ්‍යාවක් තිබේ. සාමාන්‍ය බහුදින යාත්‍රාවක ධීවර කම්කරුවෝ හය හත් දෙනෙක් රැකියාවේ නිරතව සිටිති. පහර වැදී සිටින ධීවර පවුල් ගනන ලක්ෂයකට ආසන්න ය. අයිස් කර්මාන්ත ශාලා, මාලු අලෙවි මධ්‍යස්ථාන හා අපනයන මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා ආදි වශයෙන් ධීවර කර්මාන්තය ආශ්‍රිත තවත් සිය ගනනක් වූ රැකියාවල නිරත කම්කරුවෝ ප්‍රහාරයට ලක්ව සිටිති. 

එම්. ශාන්ත තම බිරිඳ සමග දික්ඕවිට පැවති මාලු මිල පහල දැමීිමට විරෝධය පල කල උද්ඝෝෂනයේදී

දෙදරු පියෙකු වන එම්. ශාන්ත බහුදින ධීවර යාත්‍රාවක කම්කරුවෙකි. වසර ගනනක් රැකියාවේ නිරත වූවත් නිවස නිසි ආකාරව සාදාගත නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කලේ ය. “වයස අවුරුදු 17 ක් වන මගේ ලොකු පුතා ගිය දෙසැම්බර් මාසයේ මූදු ගිහිල්ලා නත්තලට ෂර්ට් එකක්වත් මිල දී ගන්න සල්ලියක් නැති වුනා. වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වුනොත් අපිට කර කියා ගන්න දෙයක් නැති වෙයි. ඒ නිසා මේක නවත්තන්න ලෝක මහජනයා එකතු වෙන්න ඕනා” යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

මාසයක් මූදු යන්න යන වියදම් වෙන් කරලා ඉතිරි ආදායමෙන් සියයට 50 ක් මුදලාලිට වෙන් වී ඉතිරි සියයට පනහ කම්කරුවන් අතර බෙදී යන බැවින් මාසයක් මූදේ නිදි වරමින් කොතරම් මහන්සි වූවත් ධීවර කම්කරුවන්ට අතට ලැබෙන්නේ සොච්චමක් බව ඔහු ප්‍රකාශ කලේ ය. 

පසුගිය පෙබරවාරී 16 දින වෙන්නප්පුව ප්‍රදේශයේ දී ධීවරයන් දෙසියයක් පමන සහභාගී වූ රැස්වීමක් ඇමතූ ධීවර නියෝජ්‍ය ඇමති සනත් නිශාන්ත, ධීවරයන් හය දෙනෙකුට ජනාධිපති හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමට පොරොන්දු විය. ඒ මත,  ඒ දිනවල පැවැත්වීමට තිබූ විරෝධතාවයක් ධීවර වෘත්තීය සමිති විසින් නවතා දැමුවේ ය. ජනාධිපති සමග සාකච්ඡාවෙන් පලක් නොවූ බව ධීවරයෝ පවසති. 

පසුගිය සතියේ විරෝධතාවය සංවිධානය කර තිබුනේ බහුදින යාත්‍රා නියාමකවරුන්ගේ සංගමයත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයත් විසිනි. මේවන විට සමිති නායකයන් ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද සමග පැවති සාකච්ඡාවෙන් පසු යෝජනා 5 ක් ඉදිරිපත් කොට තිබේ. විදේශ නැව් ලංකාවේ ලියාපදිංචි නොකිරීම, ආනයනික මත්ස්‍ය වර්ග සඳහා කිලෝවකට රුපියල් 150 ක බද්දක් පැනවීම, ධීවර සංස්ථාව මගින් ඍජුවම මසුන් මිලදී ගැනීමේ ක්‍රමයක් ඇති කිරීම හා බහුදින යාත්‍රාවලට වීඑම්එස් තාක්ෂනය ලබා ගැනීමට බලපත්‍ර නිකුත් කිරීම ඊට ඇතුලත් වේ.   

ආන්ඩුව ධීවරයන්ට දෙන පොරොන්දු ලඟ එන මහ මැතිවරනය දිනා ගැනීමේ ඡන්ද ගුන්ඩු බව ධීවරයෝ ප්‍රකාශ කරති. තවද උද්ඝෝෂනය පැවති දින හසු වූ මත්ද්‍රව්‍ය තොගයක් ධීවර යාත්‍රාවක ගෙනවිත් තිබෙන බවට සාවද්‍ය ප්‍රචාරයක් කරමින් ධීවර විරෝධතාවය සියලුම මාධ්‍ය විසින් යට ගැසූ බවට ධීවරයෝ චෝදනා කලහ. 

ආන්ඩුව සහ එහි ඇමතියෙක් වන සනත් නිශාන්ත සිදු කරන ප්‍රකාශ ධීවරයෝ හෙලා දුටුවහ. තොඩුවාව කුඩාමඩුවැල්ල "මඩුකුමාරී" ධීවර ප්‍රජා ශාලාවේ රැස්වීමක් ඇමතූ ඔහු "ධීවරයන්ගේ ප්‍රශ්නයට විසඳුම ධීවරයන් විසින් නැව් මිලදී ගැනීම" බවත් ආන්ඩුව ඒ සඳහා කෝටි ගනනින් නය සම්පාදනය කරන බවත් ප්‍රකාශ කොට තිබේ. 

ධීවර යාත්‍රා හිමියෙක් වන ටයිටස් ලෝසවෙඅ ට මෙසේ ප්‍රකාශ කලේ ය: "මුහුන දී තිබෙන ගැටලු විසඳා ගැනීමට නොහැකිව සිටින අපිට නැව් ගැනීමට යෝජනා කිරීම විහිලුවක්. නය දුන්නට ගෙවන්නේ කොහොමද අපි. කොරොනා වෛරසයේ බලපෑම සැල වූ වහාම මිල පහල දැම්මා, නමුත් මාලු මිල දී ගැනීම නතර කරන්නේ නෑ" යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය අපනයන සමාගම් වන ග්ලෝබල් සී ෆුඩ්ස්, ට්‍රෝපික් ෆෝසන් ෆුඩ්ස්  වැනි සමාගම් සතුව මාලු ටොන් ලක්ෂ ගනනින් ගබඩා කල හැකි දැවැන්ත සහ ඍන 60 උෂ්නත්වයේ මාලු ගබඩා කල හැකි ශීතාගාර පවතී. කොරෝනා වෛරසය අවස්ථාවේ පමනක් නොව විවිධ ස්වභාවික ආපදා හුවා දක්වා මාලු මිල පහල හෙලන්නේ මේ සමාගම් බව ධීවරයෝ චෝදනා කරති. එමෙන්ම විදේශ ධීවර නැව්වලට වරාය පහසුකම් දී විශාල ලෙස මසුන් මැරීමට අවසර දීම සම්බන්ධයෙන් බලයට පත් ප්‍රධාන ධනපති පක්ෂ දෙකටම ඔවුහු චෝදනා නගති. 

සුරංග නම් ධීවර කාර්මිකයා සිය රැකියාවේ දුෂ්කරතා මෙසේ පැහැදිලි කලේ ය: “අපිට මාලු මිල පහල දැමීම දරුනුම ප්‍රශ්නයක්. මාසයක් විතර මූදේ රස්සා කරන්න යන වියදම් විශාලයි. ඇමට යොදා ගන්න දැල්ලෝ, වේක්කයො, ලින්නෝ සහ සාලයෝ කිලෝ එකක් රුපියල් 400 ක් විතර වෙනවා. ඇම් කිලෝ 2000 ක් විතර ඕනා. ඩීසල් ලීටර් 9,000 ක් විතර ඕනා. ලීටරයක් දැන් 104 යි. අයිස් හොන්ඩරයක් රුපියල් 330 යි. හොන්ඩර 500 ට වැඩිය යනවා. වතුරත් අපි සල්ලිවලට අරන් යන්නේ. කෑම වියදම් එක්ක එක ගමනකට අපිට ලක්ෂ 22-25 විතර යනවා. මිල 400 දක්වා බැස්සීම නිසා වියදම් වූ මුදලවත් පියව ගන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ“. 

ධීවර වෘත්තීය සමිති හා ආන්ඩුවේ බොරු පොරොන්දු පිලිබඳව කිසිදු විශ්වාසයක් නැතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ය. 

සුක්කානම් බෝට්ටු යනුවෙන් හැඳින්වෙන තරමක් කුඩා බෝට්ටුවක වැඩ කරන ධීවරයෙකු පැවසුවේ මෙම උද්ඝෝෂනය සිදුවන විට තමන් මුහුදේ සිටි බවයි. 

ඔහු පැවසුවේ තමන් අල්ලන මාලු  උස්වැටකෙයියාව (වත්තලට සමාන්තරව මුහුද දිශාවෙහි පිහිටා ඇත) පලාතේ මුදලාලිලාට අලෙවි කරන බවත්, පිටරට නැව් මෙම ප්‍රදේශයට ඇවිත් කොම්පැනි වලට මාලු අලෙවි කරන විට දේශීය බහු දින ධීවර නැව්වල මාලු මිල අඩු වන බවත් මෙය ලංකාවේ හැම ධීවරයාටම බලපාන බවත් ප්‍රකාශ කලේ ය. 

උද්ඝෝෂනයට ප්‍රතිචාරයක් ලෙස, පිටරට නැව් පැමිනීමට බාධා කරන බවට ආන්ඩුව ප්‍රකාශ කල නමුත් පසුගිය දිනවල ද ලොකු නැව් කිහිපයක් පැමිනි බව ඔහු පැවසුවේ ය. දික්ඕවිට වරාය විදේශ සමාගම්වල නැව් සඳහා පමනක් වෙන් කිරීමටත්, ලංකාවේ බහුදින ධීවරයන් සඳහා වෙන්නප්පුව ප්‍රදේශයේ අලුතින් ඉදිවන වරාය වෙන් කිරීමටත්, සැලසුමක් තිබෙන බවට රාවයක් තිබෙන බව තවත් ධීවරයෙක් ප්‍රකාශ කලේ ය. 

වෛරසය බලපෑම ලංකාවට සීමා වී නැත. වෛරසයේ බලපෑම ජාත්‍යන්තරව හදිසි තත්වයක් ලෙස තිබිය දී, ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල ධනපති නායකයෝ, රෝගය පැතිරීම වැලැක්වීමට, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට සහ රැකබලා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා නොදෙන තතු තුල, බිලියන සංඛ්‍යාත කම්කරු පීඩිත මහජනයා ඉමහත් විනාශයකට අභිමුඛව සිටිති. 

Loading