මෝදි ආන්ඩුව ඉන්දියානුවන් මිලියන ගනනක් කොරෝනා වෛරසයට ගොදුරු වීමට හැර දමයි

මෙම ලිපිය මාර්තු 9 දා ඉංග්‍රීසි බසින් පල විය.

කොරෝනා වෛරසයේ පැතිරී යාම පිලිබඳ මහජන උත්සුකය වැඩෙද්දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව මිලියන ගනනක් වසංගතයට ගොදුරු වීමට ඉඩහරිමින් සිටී. මාර්තු 5දා ගසියාබාද්හි වැසියෙක් ආසාදනය වී ඇතැයි සොයාගැනීම හා මාර්තු 3දා ඉතාලි සංචාරකයන් 16 දෙනෙක් රෝග විනිශ්චයට ලක් කිරීම ඇතුලු ව, රට තුල තහවුරු වූ ආසාදිතයන් ගනන 30 දක්වා ඉහල ගොස් තිබේ. මධ්‍යම ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය හාෂ් වර්ධන්ට අනුව මේ දක්වා 27,000ක් ජනයා ප්‍රජා පරීක්ෂාව යටතේ තබා ඇත.

වෛරසය ලමුන් අතර පැතිර යාම වැලැක්වීමේ “ආරක්ෂක පියවරක්” ලෙස, නව දිල්ලි අගනුවර ප්‍රාදේශීය බලධාරියෝ කලාපයේ සියලු ප්‍රාථමික පාසල් මාර්තු 31දා දක්වා වසා තැබීමට නියෝග කර තිබේ.

විශේෂයෙන් ම නව දිල්ලිය, මුම්බායි, කල්කටා හා චෙන්නායි වැනි සැලසුමකින් තොර නගර ඇතුලු ව ඉන්දියාවේ පවතින අධික ජනඝනත්වය හා නිදහස් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධතිවල තැති ගන්වනසුලු තත්තවය හේතුවෙන්, මෙම ප්‍රතිකාර කල නො හැකි, මාරාන්තික වෛරසය ක්ෂනික ව පැතිරී යාමේ අවදානමට ඉන්දීය ජනගහනය මුහුන දෙයි. කම්කරුවන් සහ ගම්බද හා නාගරික දුගීන් අතර එය වඩාත් ම විනාශකාරී බලපෑම ඇති කරනු ඇත. රටෙහි සුපිරි ධනවතුන් හා ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වලට පුද්ගලික රෝහල්වල මිල අධික ප්‍රතිකාර දරාගත හැකි අතර, බොහෝ කම්කරුවන්ට රජයේ රෝහල්වල පිහිට පැතීමට සිදු වේ.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි රජයේ ගාන්ධි ආරෝග්‍යශාලාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරන ජනයාට වෙන් කර ඇති සෝපානයක් ඇතුලත සිටින ඉන්දියානු සෝපාන ක්‍රියාකරුවෙක් (ඒපී ඡායාරූපය/ ඒ. මහේෂ් කුමාර්)

එහෙත් ලොව පුරා අනෙක් ආන්ඩු මෙන් මෝදිගේ හින්දු-අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව ද වසංගතයට විරුද්ධ ව සටන් කිරීමේ අකමැත්ත හා නො හැකියාව මුලුමනින් ප්‍රදර්ශනය කර ඇත. අන්තරාය පහත හෙලීමේ කුහක උත්සාහයක් දරමින් මෝදි ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් කලේ ය: “බිය වීමේ අවශ්‍යතාවක් නැහැ.”

ආන්ඩුවේ ප්‍රතිචාරය අවධාරනය කරන්නේ, අනුප්‍රාප්තික ජාතික හා ප්‍රාන්ත ආන්ඩු විසින් දරිද්‍ර කොන්දේසිවලට ඇද දමනු ලැබ ඇති, මිලියන ගනන් වැඩකරන ජනයාගේ ඉරනම කෙරෙහි සමස්ත ඉන්දීය පාලක ප්‍රභූවේ අවඥා සහගත හා මුග්ධ ආකල්පය යි. මිලියන 800කට අධික ඉන්දියානුවෝ දිනකට එක්සත් ජනපද ඩොලර් 2ට අඩු ආදායමකින් යැපෙති.

 “සැලකිලිමත් වීමට කාලයයි” යන ශීර්ෂයෙන් යුතුව ඔක්ස්ෆෑම් සංවිධානය සිදු කල අධ්‍යයනයට අනුව, සමාජයේ ඉහල බිලියනපතියන් 63 දෙනෙකුගේ ධනය 2018-19 මූල්‍ය වර්ෂය සඳහා වූ වාර්ෂික අයවැයට වඩා විශාල ය. ඉන්දියානු ජනගහනයේ පහල සියයට 70ට අයත් මිලියන 953ක් ජනයාගේ ආදායම මෙන් හතරගුනයකට අධික ධනයක් ඉහල ම සියයට 1 භුක්ති විඳී.

මෙම සුවිසාල සමාජ ධ්‍රැවීකරනයට හා ඉන්දියානුවන් දහස් ගනනක් හෝ මිලියන ගනනක් රෝගයට ගොදුරු වීමේ අන්තරායට ඉන්දියානු දේශපාලන සංස්ථාපිතය යෝධ වගකීමක් දරයි. ලෝකයේ අනෙක් ආන්ඩු මෙන් මෝදි ආන්ඩුව ද කොරෝනා වෛරසය පැතිර යාමට එරෙහි ව සටන් වැදීමේ නාමයෙන් චීනය, ඉතාලිය, ඉරානය, දකුනු කොරියාව හා ජපානය වැනි ගැඹුරින් ම රෝගය බලපා ඇති රටවලින් පැමිනෙන්නන්ට වීසා අත්හිටුවීම වැනි ජාතිකවාදී දේශසීමා පාලන පියවරයන් ක්‍රියාවට දමා ඇත. 

වෛරසය පැතිර යාම නැවැත්වීමේ ආරක්ෂක පියවරක් ලෙස සියලු රටවලින් පැමිනෙන මගීන් ව ගුවන් තොටුපොලවල දී පරීක්ෂා කරන බව සෞඛ්‍ය ඇමති වර්ධන් නිවේදනය කර තිබේ. “කොරෝනා වෛරස ප්‍රශ්නයට ඇති සූදානම හා එයට දැක්විය යුතු ප්‍රතිචාරය විමර්ශනය කිරීම” සඳහා පැවති අන්තර්-අමාත්‍යංශ රැස්වීමකින් අනතුරු ව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කල ප්‍රකාශයක් තුල, මේවා “අපගේ සූදානමේ මට්ටම වැඩි දියුනු කිරීම පිනිස වන වැදගත් වෙනස්කම්” යයි මාර්තු 4දා මෝදි ආන්ඩුව කයිවාරු ගැසුවේ ය.

 “ප්‍රාන්ත ආන්ඩු සමග හවුල් ව ... රටෙහි විවිධ ප්‍රදේශවල යෝග්‍ය පරීක්ෂන, හුදකලාකරන හා නිරෝධායන පහසුකම් විවෘත කිරීම ක්ෂනික ව ක්‍රියාත්මක කිරීමට තීරනය” කල බව ප්‍රකාශය අවධාරනය කරයි. එහෙත් මෙම සෞඛ්‍යාරක්ෂන ව්‍යාපෘතීන්ට වෙන් කරනු ඇත්තේ කවර මුදල්දැයි පිලිබඳ ව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශය මුලුමනින් ම මුනිවත රැකී ය.

මෝදි ආන්ඩුවේ කියාපෑම් කවරක් වුවත්, බොහෝ සෙයින් අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂන පහසුකම් ගොඩනැගීම සඳහා වන ක්ෂනික වැඩසටහනක් දියත් කිරීම වැනි කිසිදු අර්ථාන්විත පියවරක් ගන්නා බවට සංඥාවක් නැත. නවතම වාර්ෂික අයවැයෙන් බීජේපී ආන්ඩුව සෞඛ්‍යය සඳහා ඩොලර් බිලියන 9.7ක සොච්චමක් වෙන්කලේ, ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 66ක යෝධ මුදලක් වෙන් කරමිනි. සිය ප්‍රතිගාමී භූ-දේශපාලනික අවශ්‍යතා හා චීනයට තර්ජනය කිරීම ඉලක්ක කරගනිමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සන්ධානයක් වර්ධනය කරගැනීම ලුහුබැඳීමේ දී ඉන්දීය පාලක ප්‍රභූව පෙන්වන උද්‍යෝගයට විපරීත ව, වැඩකරන ජනයාගේ හා ගම්බද දුගීන්ගේ සෞඛ්‍යය කෙරෙහි දක්වන කුදුමහත් නො තැකීම මෙමගින් අවධාරනය කරයි.

අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වල අතිශය උන්තාවකින් පෙලෙන ඉන්දියාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට, සාපේක්ෂ ව වැලැක්විය හැකි රෝග සමග වත් සටන් වැදිය නො හැක. තමිල් නාඩුවේ වෙල්ලෝර්හි ප්‍රමුඛ පෙලේ වෛරස විශේෂඥයෙක් වන වෛද්‍ය ජේකොබ් ජෝන් මාර්තු 4දා Scroll.In වෙත දුන් සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ: “ක්ෂය රෝගය, මැලේරියාව හෝ කොලරාව වැනි එකිනෙකට වෙනස් රෝග අධීක්ෂනය කිරීමට අප සතුව වෙන් වෙන් විශේෂිත වැඩසටහන් නැහැ.”

ඉන්දියාවේ එච්1එන්1 ඉන්ෆ්ලුඑන්සාවෙ (2009-2010) මරන රේට්ටුව, එහි ගෝලීය රේට්ටුව වන සියයට 0.1 මෙන් 50 ගුනයක් හෙවත් සියයට 5ක් පමන වන්නේ ය යන්න උපුටා දක්වමින් ඔහු පැහැදිලි කලේ, ඵලදායී ලෙස රෝග අධීක්ෂනය කොට ප්‍රතිකාර කිරීමට අසමත් වීමෙහි අර්ථය වන්නේ බොහෝ රෝගීන් මිය යන බවයි. වර්තමානයේ ගෝලීය කොරෝනා වෛරස මරන රේට්ටුව සියයට 3ක් වෙද්දී, ඉන්දියාවේ සැලකිය යුතු පරිදි ඉහල මරන රේට්ටුවක් විනාශකාරී විපාක ජනනය කල හැක.

ඉන්දියාවේ වෛද්‍යවරයෙකුට රෝගීන්ගේ අනුපාතය 1ට 1,457ක් වන අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත අනුපාතය වන 1ට 1,000ට වඩා සැලකිය යුතු ලෙස අඩු ය. 2019 ජාතික සෞඛ්‍ය සංක්ෂිප්ත වාර්තාවට අනුව, ආන්ඩුවේ රෝහල් හා සායන මත රඳා සිටින ග්‍රාමීය ප්‍රදේශවල ජනයා අතර මෙම අනුපාතය ඇඟ කිලිපොලා යන 1ට 10,926 දක්වා ඇද වැටේ. “ග්‍රාමීය ප්‍රදේශවල සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැඹුරු හිඟයක් පවතිනවා” යි ඉන්දියාවේ මහජන සෞඛ්‍ය පදනමේ සභාපති වෛද්‍ය ශ්‍රීනාත් රෙඩ්ඩි කීවේ ය.

ඉන්දියාවේ බිලියන 1,380ක යෝධ ජනගහනයක් සිටින අතර, ලියාපදිංචි හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් සිටින්නේ මිලියන දෙකකට යන්තම් වැඩි (2,048,979) පිරිසකි. කොරෝනා වෛරසය වැනි සුලඟෙන් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආසාදන පාලනය කිරීමේ පුහුනුව ද ඔවුන්ගෙන් බොහෝ දෙනාට අවශ්‍ය වනු ඇත.

අනතුරුදායක තත්ත්වයේ සිටින කොරෝනා වෛරස රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉන්දියාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සතුව ඇති තරම් හදිසි ප්‍රතිකාර ඒකක නැත. “සියයට 5ක කොරෝනා වෛරස රෝගීන්ට අවශ්‍ය කරන හදිසි ප්‍රතිකාරක ඇඳන් ඉන්දියාව තුල ප්‍රමානවත් පමනින් නැත” යි කර්නාටක ප්‍රාන්තයේ මනිපාල් වෛරස විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. අරුන්කුමාර් කීවේ ය.

ශල්‍ය මුහුනු ආවරනවල මිල ගනන් දැනටමත් අහස උසට නගිමින් තිබෙන්නේ, ඉහල යන ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි සැපයීමට නිෂ්පාදකයන් අසමත් වන නිසා ය. “හදිසි අවස්ථාවල දී පාවිච්චි කිරීම සඳහා ලෝක පරිමාන ව ආන්ඩු මෙම පුද්ගලාරක්ෂක භාන්ඩ ගබඩා කොට තබා ගන්නවා. ඉන්දියාව තුල එවන් ක්‍රමයක් නැහැ” යි සියලු ආහාර හා ඖෂධ බලපත්‍ර දරන්නන්ගේ පදනමේ (ඒඑෆ්ඩීඑල්එච්එෆ්) ජාතික සභාපති අබේ පාන්ඩේ කීවේ ය. ඉන්දියාව තුල විශාල පරිමානයෙන් ශල්‍ය මුහුනු ආවරන නිපදවන්නන් නැත. කර්මාන්තය මත ආධිපත්‍යය දරන මධ්‍යම මට්ටමේ සමාගම් දුසිම් කිහිපයක් දිනකට ආවරන 20,000ත් 100,000ත් අතර නිෂ්පාදන ධාරිතාවක් සතු වන අතර, එය ක්ෂනික විශාල ඉල්ලුමකට සෑහෙන්නේ නැත.

 “ඔබගේ දෑත් නිතර සෝදන්න” වැනි “සියල්ලන් සඳහා වන මූලික ආරක්ෂක පියවරයන්” සහිත උපදෙස් නිකුත් කරන ආයතනයක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සීමා වෙතත්, ඉන්දියාවේ ජනයාගෙන් බොහෝ කොටස්වලට එය පවා දුෂ්කර ය.

එක්සත් රාජධානියේ පදනම් වන පුන්‍යාතනයක් වන වෝටර්ඒඩ් විසින් 2018 දී නිකුත් කල වාර්තාවකට අනුව, මිලියන 163ක් (සියයට 12ක්) ජනයාට නිවසට සමීප ව පිරිසිදු ජලයට ප්‍රවේශය නැත. 2030 වසර වන විට ඉන්දියාවේ සියයට 50ක ජල හිඟයක් තිබෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ. 2016-17 වන විට ඉන්දියාව පුරා ගම්මාන 19,000කට ම පාහේ ස්ථීර ජල සැපයුමක් නො තිබුනු බව පානීය ජලය හා සනීපාරක්ෂාව අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි. මිලියන ගනන් ඉන්දියානුවන්ට කොරෝනා වෛරස පැතිරී යාම කොතරම් අන්තරායකාරීදැයි මෙමගින් අවධාරනය කරයි.

2018-19 වසරවල ඩොලර් බිලියන 87ක් වූ ඉන්දු-චීන වෙලඳාම මත වසංගතයේ බලපෑම හේතුවෙන් රැකියා මිලියන ගනනක් අනතුරට මුහුන දෙයි. ප්‍රතිජීවක, පොහොර, ඇඟලුම් හා මෝටර් රථ වැනි ඉන්දියානු කර්මාන්ත ගණනාවක් චීනයෙන් එන සැපයුම් මත රඳා සිටින අතර, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සිදුවන ඕනෑම දීර්ඝ-කාලීන සැපයුම් බාධනයකට ඉන්දියාව මත දුරදිග යන ආර්ථික විපාක ජනනය කල හැක.

චීනයෙන් ආනයනය කරන අවශ්‍ය අමුද්‍රව්‍ය බාධනය වීම ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයට දැනටමත් බලපා ඇත. තමන්ගේ විවෘත අවසරයකින් තොර ව ඖෂධ වර්ග 26ක් හා ප්‍රතිජීවකවල අඩංගු ද්‍රව්‍ය අපනයනය කිරීම නවත්වන ලෙස මාර්තු 3දා ආන්ඩුව මෙම කර්මාන්තයට නියෝග කලේ ය. ඉන්දියාවේ සාපේක්ෂ ව මිල අඩු ඖෂධ මත රැඳී සිටින ශ්‍රී ලංකාව වැනි අනෙක් රටවලට මෙය දරුනු ලෙස බලපානු ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය ඉන්දියාවෙන් එන ඖෂධ බොහෝ සෙයින් භාවිතා කරයි. මෙහි දී ද බොහෝ සෙයින් බලපෑමට ලක්වන්නන් වනු ඇත්තේ, තම මූලික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ආන්ඩුවේ රෝහල් මත යැපී සිටින, මෙම රටවල අතිමහත් බහුතර වැඩකරන ජනයා හා ගම්බද දුගීන් ය.

Loading