ඩව් ජෝන්ස්, වලසාගේ වෙලඳපල ඉමට ඇතුලු වීමත් සමඟ වෝල් වීදියේ කොටස්විකුනා දැමීම යලි පටන්ගනී

මෙම ලිපිය 2020 මාර්තු 12 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

කොරෝනා වෛරසය දිගින් දිගටම පැතිර යද්දී, වෝල් වීදියේ ඩව් ජෝන්ස් දර්ශකය 11දා ඒකක 1,465 ක් එනම් සියයට 5.9 කින් පහත වැටුනි. එය වලස් (බෙයා) වෙලඳපොලක් බවට පත් කරමින්, වාර්තාගත ඉහලම මට්ටමට වඩා සියයට 20 න් පෙබරවාරි 12 වනදා පහත වැටී තිබේ.

2009 මාර්තු මාසයේ ආරම්භ වූ ගොන් (බුල්) වෙලඳපොලේ නැඟීම අවසන් වී ඇත.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ඊයේ සවස ජාතිය අමතා කල විසකුරු ජාතිකවාදී කථාවෙන් අනතුරුව වෙෙලඳපොලවල් අද දවස තුල තවත් පහත වැටුනි. ඔහු කොරෝනා වෛරසය චීනයෙන් පිටවන “විදේශීය වෛරසයක්” ලෙස හංවඩු ගැසූ අතර එය එක්සත් ජනපදය තුල “වැපිරෙන” තෙක් බලා සිටීම ගැන යුරෝපයට දොස් පැවරීය.

එක්සත් ජනපදයේ කිසිදු නව සෞඛ්‍ය සේවා මුලපිරීමක් ගැන සඳහන් නොවූ කතාවේ කේන්ද්‍රීය මාතෘකාව තුල,  යුරෝපයට දින 30 ක සංචාරක තහනමක් පනවනු ලැබින.

මයිකල් ගලියුසී වෙලෙන්දා 2020 මාර්තු 11 බදාදා නිව්යෝර්ක් කොටස් වෙලඳපොලේදී

එවැනි පියවරයන්ගේ ආර්ථික බලපෑම් ගනනය කල නොහැකි අතර, ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ වෙලඳපලවල් තියුනු ලෙස පහත වැටීමෙන් ඊට ප්‍රතිචාර දැක්වීය. එක්සත් ජනපදය සඳහා අනාගත තොග දර්ශක ද පහත වැටුනි.

10දා ඇති වූ නැඟීමෙන් පසුව 11දා කඩාවැටීමේ ගාමක බලය,  ගෝලීය කොරෝනා වෛරස් අර්බුදය ගැඹුරු වීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරසය පැතිරීම ගෝලීය වසංගතයක් (pandemic) ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, එහි “පැතිරීම හා බරපතලකම” පිලිබඳව “දැඩි සේ කනස්සල්ලට පත්ව සිටින” බවත් “නොසැලකිලිමත් කමේ භයානක මට්ටම්” වෙත අවධානය යොමු කරන බවත්ය.

යුරෝපයේ නරක අතට හැරෙන තත්වය පෙන්නුම් කරමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ බර්ලිනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවකට “ආසාදනය වන” බවයි.

එක්සත් ජනපදයේ එන්බීසී ප්‍රවෘත්ති සේවය, මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් පැවසුවේ, එක්සත් ජනපදයේ මිලියන 70 සිට මිලියන 150 දක්වා ජනතාවකට ආසාදනය විය හැකි බව, කොන්ග්‍රසයේ සහ ශ්‍රේෂ්ඨාධිකරනයේ වෛද්‍ය බ්‍රයන් මොනාහාන් සෙනෙට් කාර්ය මන්ඬලයේ සංවෘත රැස්වීමකට කියා ඇති බවයි.

අලුතින් කොටස් විකුනා දැමීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ, සති අන්තයේ දියත් කරන ලද තෙල් මිල යුද්ධයේ කොටසක් ලෙස, සෞදි අරාබි තෙල් අමාත්‍යංශය දිනකට බැරල් මිලියන 12 සිට මිලියන 13 දක්වා නිෂ්පාදනය ඉහල නැංවීමට නියෝග කිරීමයි.

මෙම සතිය ආරම්භයේ දී සියයට 25 ක කඩාවැටීම හමුවේ, කෙටි මිල ඉහල යාමකින් පසුව තෙල් මිල යලි පහත වැටුනි.

තෙල් නිපදවන ප්‍රධාන රටවල් තුනක් වන ඇල්ජීරියාව, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රට වෙලඳපල ගැටුම නැවැත්වීමේ මාර්ගයක් සෙවීම සඳහා සාකච්ඡා පැවැත්වීමට උත්සාහ දරන බව වාර්තා වේ. තෙල්  බැරලයක මිල ඩොලර් 35 දක්වා පහත වැටී ඇති අතර එය ඊටත් වඩා අඩු විය හැකි බවට අනාවැකි පලවේ.

අනෙකුත් තෙල් නිපදවන රටවල් මෙන්ම මෙම රටවල් ද ආර්ථික පසුබෑම හේතුවෙන් එම රටවල රාජ්‍ය අයවැය අර්බුදයකට මුහුන දී සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, සාකච්ඡා සඳහා ඉදිරිපත් ව ඇති රටවල් තුනට, ඔවුන්ගේ අයවැය තුලනය කිරීම සඳහා පිලිවෙලින් තෙල් බැරලයකට ඩොලර් 92, 59 සහ  68 ක  මිලක් අවශ්‍ය වේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල්  මෙසේ පැවසීය. “මෙම සමහර රටවල සෞඛ්‍ය හෝ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට මුදල් යෙදවීම පවා කල නොහැකි වනු ඇත. තෙල් ප්‍රධාන ආදායම් මාර්ගය වන මෙම රටවල ස්ථාවරත්වයට එය අභියෝගයක් විය හැකිය.”

තෙල් මිල පහත වැටීමේ ප්‍රධාන බලපෑම එල්ල වන්නේ, දියුනු ආර්ථිකයන්ගේ, විශේෂයෙන් එක්සත් ජනපදයේ, මූල්‍ය වෙලඳපොලවලටය.

පසුගිය දශකය තුල තෙල් හා ගෑස් සමාගම්, මිල පහත වැටෙන්නේ නැත යන පදනම මත ෂෙල් තෙල් නිෂ්පාදනය පුලුල් කිරීම සඳහා මුදල් යෙදවීමට, අතිශය අඩු පොලී අනුපාතයන්ගෙන් වාසි ලබා ගත්තේ ය.

දැන් ඔවුන් මුලුමනින්ම බංකොලොත් වීමේ හෝ නය පැහැර හැරීමේ තත්වයකට මුහුන දී සිටී. එයින් සැලකිය යුතු ප්‍රමානයක් ආයෝජන ශ්‍රේනියට වඩා අඩු අගයක් පෙන්වන නැතිනම් ඊනියා සුන්බුන් බැඳුම්කර තත්වයට පත්ව ඇත. එවැනි පැහැර හැරීම් පුලුල්ව පැතිර ගියහෝත් එයින්, නය වෙලඳපොලවල වඩාත් පුලුල් අර්බුදයක් ඇති කල හැකිය.

 ප්‍රමුඛ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ට්‍රම්ප් සමඟ 11දා පැවති ධවල මන්දිර රැස්වීමකදී, සිටිගෘප් ප්‍රධාන විධායක නිලධාරී මයිකල් කෝබට්, බැංකු ක්‍රමය යහපත් බවට සහතික කලේය.

“මෙය මූල්‍ය අර්බුදයක් නොවේ. බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් මට්ටමක පවතින අතර උදව් කිරීමට අපි මෙහි පැමින සිටිමු.”

තම පරිපාලනයට පාලනය කර ගත හැකිය යන මුසාව පවත්වා ගැනීමට උත්සාහ කරමින් ට්‍රම්ප්, කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීමට පියවර නොගැනීම පිලිබඳව රැස්වීමේදී වාර්තාකරුවෙකු ඇසූ ප්‍රශ්නයෙන්  කෝපයට පත්ව  “ඒ සීඑන්එන්හි බොරු ප්‍රවෘත්ති” යයි පැවසීය.

කලබැගෑනිය තවමත් මූල්‍ය අර්බුදයක් ඇති කර නොතිබිය හැකි නමුත් සමහර සමාගම්වල කොටස් වටිනාකමෙන් සියයට 40 සහ 50 දක්වා ප්‍රමානයක් අහිමි වී ඇති තත්වය යටතේ සියලු දර්ශකයන් පෙන්වන්නේ, එම දිශාව ය.

සීග්‍ර කඩාවැටීම පෙන්වන්නේ, පසුගිය දශකය තුල කොටස් මිල ගනන් තුලට ලාභ මුදල්  පොම්ප කිරීම නිසා, සැබෑ වටිනාකමට ඇතුලත් වන්නේ  කුමන මිල ද යන්න තීරනය කිරීමට පදනමක් නොමැති බවයි.

කඩා වැටීම තවදුරටත් වේගවත් විය හැකිය. යූබීඑස් ග්ලෝබල් වෙල්ත් මැනේජ්මන්ට් හි ප්‍රධාන ආයෝජන නිලධාරි මාක් හේෆෙල් මෙසේ අදහස් දැක්වීය: “කැලඹිලි සහිත වෙලඳපල තත්ත්වයන්හි එක් අවදානමක් වන්නේ, ද්‍රවශීල අවශ්‍යතා සපුරාලීම සඳහා වත්කම් විකුනා දැමීමට කෙරෙන බල කිරීමයි.”

මේ සතිය මුල ෆිනෑන්ෂල් ටයිම්ස් හි පල වූ ලිපියක, ප්‍රධාන බැංකුවල කොටස් අගයේ තියුනු පහත වැටීමක් පෙන්නුම් කරමින්, තෙල් මිල පහත වැටීමේ බලපෑමෙන් ඒවා නිදහස් නොවන බව සඳහන් කලේය. තෙල් හා ගෑස් සමාගම් විසින් නිකුත් කරනු ලැබූ, බැඳුම්කර නය පැහැර හැරීම් ඉහල යනු ඇත.

“ඔටෝනොමස් රිසර්ච්ට අනුව එක්සත් ජනපද බැංකු තෙල් කර්මාන්තයට සෘජුවම නිරාවරනය වීම සියයට 2 ක් පමනක් වුවත්, අනෙකුත් ක්ෂේත්‍රයන්ට වක්‍රව නිරාවරනය වී තිබෙන ප්‍රමානය සැලකිය යුතු ය.”

වෙනත් වචන වලින් කිවහොත්, 2008 මූල්‍ය අර්බුදයට සමාන තත්වයක් තිබිය හැකිය.

බැලූ බැල්මට පෙනී ගියේ, අවමුඛ උකස් බුබුල කෙලින්ම බැංකුවලට සම්බන්ධ නොවුන බවකි. මෙම අර්බුදය මුලින්ම මතුවූ විට ෆෙඩරල් මහ බැංකු සභාපති බෙන් බර්නාන්කේ පැවසුවේ එයට පැටලැවී ඇත්තේ ඩොලර් බිලියන 50 ක් පමනක් බවයි. 2007 මැයි මාසයේදී ඔහු කොන්ග්‍රසයට පැවසුවේ “සෙසු ආර්ථිකය හෝ මූල්‍ය පද්ධතිය තුලට උතුරා යෑමක් බලාපොරොත්තු  නොවන” බවයි.

එහෙත්, අවමුඛ උකස් වෙලඳපොලට පාදක වූ සංකීර්න මූල්‍ය විධිවිධාන අනාවරනය වීමට පටන් ගත් කල, බැංකු ගැඹුරින්ම ඊට පැටලී තිබුන බව පැහැදිලි විය.

කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් සහ ලොව පුරා අවපාතය වර්ධනය වීම වෙලඳපල පහත වැටීමට තුඩුදෙන අතර, එම සිදුවීම් දාමයේ එලියෙන් බලන විට, එමඟින් සැබෑ ආර්ථිකයට තවත් පහරක් එල්ල වනු ඇතැයි යන වැඩෙන කනස්සල්ලක් දැන් පවතියි.

ගෝල්ඩ්මන් සැක්ස් පවසා ඇත්තේ, වෙලඳපල තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් “සැබෑ ආර්ථිකය සහ මූල්‍ය ආර්ථිකය යන දෙකම ආතතියේ උග්‍ර සලකුනු  ප්‍රදර්ශනය කරන” බවත්ය.

ප්‍රධාන ගෝලීය ආයෝජකයින්හි ප්‍රධාන මූලෝපායඥ සීමා ෂා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ “මෙය කෙටිකාලීන කම්පනයක සිට දීර්ඝ කාලීන හා විනාශකාරී පසුබෑමක් කරා පරිනාමය නොවන” බව සහතික කිරීම සඳහා ප්‍රබල සම්බන්ධීකරන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ලොව පුරා ආන්ඩු සහ මූල්‍ය බලධාරීන් මුහුන දෙන ගැටලුව නම්, ඔවුන් අතීතයේ දී භාවිතා කල ප්‍රතිපත්ති ලීවරවලින් කිසිදු බලපෑමක් ඇති කල නොහැකි වීමයි.

ලිබරල් අගමැති ස්කොට් මොරිසන්ගේ ඕස්ට්‍රේලියානු ආන්ඩුව විසින් උත්තේජක පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ද සිඩ්නි කොටස් වෙලඳපොල  වලසාගේ වලෙඳපොල කරා වේගයෙන් ලුහුටා ගියේය. 

එංගලන්ත බැංකුව සිදු කල සියයට 0.5 ක හදිසි පොලී අනුපාත කප්පාදුවට ද එවැනිම  ප්‍රතිචාරයක් 11දා පල විය. ලන්ඩනයේ ෆුට්සි 100 දර්ශකය දිනය අවසානයේ සියයට 1.4 කින් පහත වැටුනි.

සිය මූලික අනුපාතය සියයට 0.25 දක්වා පහත හෙලීම නිවේදනය කරමින් බැංකුව කියා සිටියේ, එක්සත් රාජධානියේ වර්ධනය පිලිබඳ තත්වයේ  “කැපී පෙනෙන පිරිහීමක්” සිදුවී ඇති බවත් මූල්‍ය වෙලඳපොල පිලිබඳ අවිනිශ්චිතතා  “අන්ත මට්ටම්” කරා ලඟා වී ඇති බවත් ය. ඉදිරි මාස කිහිපය තුල ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය “ද්‍රව්‍යමය වශයෙන් දුර්වල වීමට” ඉඩ ඇති බව එහි සඳහන් ය.

Loading