රාජපක්ෂ ආන්ඩුව තම මිලිටරීකරන වැඩපිලිවෙල වේගවත් කිරීමට කොරෝනා වසංගතය ගසා කයි

වසංගත රෝග විද්‍යා අංශයේ මාර්තු 17 දෛනික තත්ත්ව වාර්තාවට අනුව දැනට ශ්‍රී ලංකාව තුල, කොරෝනා වෛරසයෙන් ආසාදිත රෝගියෝ 28 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති. දැනට රෝහල් 16ක 212 දෙනෙක් අධීක්ෂනය යටතේ සිටිති. 

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ “ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාද ව ලබා දීමට අපට පුලුවන්. ඒ සඳහා රජයට නිසි වැඩපිලිවෙලක් තිබෙන බව මම අවධාරනය කරන්න ඕන” යැයි ප්‍රකාශ කලේ ය. ඔහු මෙම ප්‍රකාශය කලේ ලංකාවෙන් තෙවැනි කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග උත්සන්න වූ කලබලකාරී භාන්ඩ තොග මිල දී ගැනීම් මධ්‍යයේ ය. 

කෙසේ වෙතත් ආන්ඩුවේ මෙම "සූදානමේ" සැබෑ තතු කවරේ ද යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධරයෙකු වන හරිත අලුත්ගේ මාර්තු 13 වැනි දා මාධ්‍ය හමුවක දී පල කල අදහස්වලින් නිරාවරනය වෙයි. 

කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන රෝගීන් අන් අයගෙන් වෙන් කර ගෙන ප්‍රතිකාර කල යුතු බව සඳහන් කල ඔහු, අයිඩීඑච් රෝහලේ එම පහසුකම ඇත්තේ රෝගීන් 18 දෙනෙකුට පමනක් බවත් ඒ මොහොතේදිත් රෝගීන් 9 දෙනෙකු ගෙන් එම කාමර පිරී පවතින බවත් සඳහන් කලේ ය. 

පොලොන්නරුව, වවුනියාව ආදි ප්‍රධාන නගර කීපයකට ම යැපෙන්නට සිදුව ඇත්තේ අනුරාධපුර රෝහලේ සෞඛ්‍ය පහසුකම් මත වුවත්, එම රෝහලේ වෙන් කිරීමේ පහසුකම ඇත්තේ රෝගීන් හතර දෙනෙකුට පමනි. “කරාපිටිය තත්ත්වය මීට වඩා කනගාටුදායකයි. රිජ්වේ ආර්යා ලමා රෝහලේ ඇති එක ම කාමරයෙත් ප්‍රතිසංස්කරන කටයුතු සිදු වෙමින් පවතිනවා.” යැයි ඔහු සඳහන් කලේ ය.

කලුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මන්ඩලයට ඇති මුඛ ආවරන ප්‍රමානවත් නොවන බව ද ඔහු පැවසීය. සමස්ත සෞඛ්‍ය සේවාවට ම ඉදිරි සති දෙකක කාලය තුල ඖෂධ ඉල්ලුමේ සීඝ්‍ර ඉහල යාමට මුහුන දීමට ප්‍රමානවත් ඖෂධ නොමැති බවත්, ලෝක පරිමාන ව වර්ධනය වී ඇති ඖෂධ හිඟ තත්ත්වය තවත් බරපතල වී ඇති බවත් අලුත්ගේ සඳහන් කලේ ය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදනය වැඩි දියුනු නොකිරීම මෙයට ප්‍රධාන හේතුවක් වශයෙන් ඔහු  සඳහන් කලේ ය. 

“බාහිර පරිසරයට විෂ බීජ මුදාහැරීම හැකි තරම් අවම වන විදිහට කාමර තාක්ෂණිකව නිර්මානය වෙන්න ඕනෑ. එහෙම එක කාමරයක්වත් ලංකාවේ නැහැ.”  ජෛව ආරක්ෂිත රසායනාගාර නොමැතිකමින් වෛද්‍යවරුන්, හෙදියන්, රසායනාගාර ශිල්පීන් මුහුන දී ඇති අවදානම ගැන ද අලුත්ගේ සඳහන් කලේ ය. 

හිඟ පහසුකම් සපයා ගැනීමට සිදු ව ඇත්තේ වෙනත් සෞඛ්‍ය සේවාවන් වල වියදමිනි. අලුතින් පිහිට වූ වකුගඩු රෝහලේ පහසුකම්වලින් අනුරාධපුර රෝහලේ අඩුපාඩු පියවා ගැනීමට එකඟත්වයක් ඇති වී තිබේ. “අනික් රෝගී සේවාවවන් හි බරපතල කඩා වැටීමක් නොවන පරිදි” මෙ වැනි සැලසුම්වලට යාම අත්‍යවශ්‍ය ව තිබෙන බව ඔහු සඳහන් කලේ ය.

ගෝලීය වසංගතයක් ඉදිරියේ කම්කරු-පීඩිත මහජනතාවට උරුම වී ඇත්තේ,  වසංගතයකට කිසිසේත් ප්‍ර‍මානවත් නොවන එවන් සෞඛ්‍ය සේවාවකි. මෙම තත්වය වනාහි, පසුගිය දශක කීපය තුල නිදහස් සෞඛ්‍ය සේවය ක්‍ර‍මානුකූලව කප්පාදු කිරීමේ ඝෘජු ප්‍ර‍තිඵලයකි. අනුප්‍රාප්තික ආන්ඩුවල පිලිවෙත වූයේ සීමිතව හෝ පැවති මහජන සෞඛ්‍ය සේවය විනාශ කරමින්, පෞද්ගලික රෝහල් සහ රක්ෂන සමාගම්වලට ලාබ ගැරීමේ අවස්ථාවන් විවර කර දීමයි.

ඉහත පිලිවෙත් වලට එරෙහිව කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට පරම ලෙසින්ම සතුරු අලුත්ගේ ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලධාරි නඩය ද, සෞඛ්‍ය සේවය මුහුන දී ඇති මෙම විනාශකාරී තත්වයට වගකිව යුතුය. 

1988 සිට 2017 දක්වා සෞඛ්‍ය සේවයට රජයෙන් වියදම් කොට ඇත්තේ දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක මධ්‍යන්‍ය අගයකි. 2012 ලෝක බැංකු වාර්තාවන්ට අනුව ලංකාවේ සමස්ත සෞඛ්‍ය වියදමින් සියයට 54 කට දායක වී ඇත්තේ පෞද්ගලික අංශයයි. 1990 දී සියයට 84 ක සිට එන්න එන්න ම සෞඛ්‍ය වියදම් සඳහා රාජ්‍ය අංශයේ දායකත්වය කැපී පෙනෙන හැකිලී යාමක් පෙන්නුම් කර ඇත.

මෙවන් තත්ත්වයක් තුල ප්‍රශ්නය එකිනෙකට නොපෑහෙන සමාජ පන්ති දෙකක ගැටලුවක් වශයෙන් නග්න ව ඉස්මතු වී ඇත. “කොරෝනා වෛරසයට සමාජ-දේශපාලනික නැගිටීම් ඇති කිරීමේ සහ අරාජිකත්වය මුදා හැරීමේ හැකියාව ඇත” යනුවෙන් දි අයිලන්ඩ් කතුවැකිය මාර්තු 12 වැනි දා සඳහන් කලේ මෙම උත්සුකයෙනි.

අප්‍ර‍මානවත් සේවාවන් සහ අනෙකුත් සමාජ-ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පැන නැගිය හැකි මහජන විරෝධයන් තලා දැමීමේ අරමුනෙන් රෝග ව්‍යාප්තිය මර්දනය කරන සිවිල් සම්බන්ධීකරන වැඩකටයුතුවල ප්‍ර‍ධානත්වය මිලිටරියට ලබා දී ඇත. ආරක්ෂක මාන්ඩලික ප්‍රධානියා සහ යුද හමුදාපති වන ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානියා බවට පත්කොට තිබේ.  

එය, සමස්ත සමාජය මිලිටරීකරනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ වඩාත් ඉහල පියවරකි. මහජනතාව එදිනෙදා පරිභෝජනයේදී  මිල දී ගත යුතු භාන්ඩ ප්‍රමානයන් සීමා කිරීමේ අධිකාරිත්වය ද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා විසින් පවරාගෙන ඇත.

මාර්තු 12 වැනි දා, සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේ පැවසීය: “ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් රටේ භාරකරුවන් වන බව අප නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ නායයෑම්, ගංවතුර හෝ වෙනත් හදිසි අවස්ථාවකදී මෙන්ම ජාතික ආපදාවන්හිදී මැදිහත් වූ පලමු තැනැත්තා අප බව ඔබ මතක තබා ගත යුතුය. ඇතැම් විට, කලක් විදේශගතව සිටි අය මේ දේවල් නොදැන සිටිය හැකිය.” 

දෙරන අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී ඔහු මෙය යුද හමුදාවේ තවත් මානුෂීය මෙහෙයුමක් යැයි සඳහන් කලේ ය. “මානුෂික මෙහෙයුම" යැයි නම් කෙරුනේ, වර්ගවාදී යුද්ධයේ අවසන් සටන් මෙහෙයුමයි. 40,000 කට අධික සිවිල් වැසියන් අමුඅමුවේ මරා දැමුනු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්මත් ගනන් බලා ඇති එම මෙහෙයුමේ "මානුෂීය ස්වභාවය" උතුරු-නැගෙනහිර දෙමල කතා කරන පීඩිත මහජනතාව හොඳින්ම දනී. “මානුෂීය මෙහෙයුම" යනු  එම අපරාධයන්හි කුරිරුබව සිංහල කම්කරුවන්ගෙන් වසන් කිරීමට ගොතන ලද වංචාකාරී නාමයකි.

රෝග ව්‍යාප්තිය වැලැක්වීමට හෝ සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනයට මුදල් වෙන් කිරීම ගැන පාලක පංතිය තුල කවර හෝ සාකච්ඡාවක් නැත. ඒ වෙනුවට දැක ගත හැක්කේ ආන්ඩුව තම වගකීම උපරිමයෙන් ඉටු කරන බවට බේගල් දෙසා බාමින්, "වගකීම් විරහිත ව" හැසිරෙන බවට මහජනතාවට චෝදනා කරන ආකාරයයි.

මාර්තු 13 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති රාජපක්ෂ කොරෝනා මර්දනයට සෙසු රටවලටත් පෙර “ටාස්ක් ෆෝස් එකක් (කාර්ය සාධක බලකායක්) හැදුවේ තමන්” බවට උදම් අනා, “රජයක් හැටියටත් ඒ වගේ ම ජනතාවටත් විශාල වගකීමක් තියෙනවා” යැයි මහජනතාවට වගකීම පැවරුවේය.

නිරෝධායන ආඥාපනත බලාත්මක කර ඇත. මේ යටතේ  රෝගය "දැනුවත් ව බෝ කරන්නන්" වරෙන්තු නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය. එමෙන් ම පොලිසිය සමාජජාල තුල සංසරනය වන පෝස්ටු ගැන ඇස ගසා ගෙන සිටිති. දැනටමත් අසත්‍ය තොරතුරු ප්‍ර‍චාරය කිරීමේ චෝදනාව මත තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත.

මෙවන් වසංගත ව්‍යසනයකට සූදානම්ව නොසිටීම හේතුවෙන් ආරම්භයේදීම නිරෝධායන පියවරයට යා ගත නොහැකි ව සිටි ආන්ඩුව, ඉතාලියේ සිට සහ දකුනු කොරියාවේ සිට පැමිනි 2000 කට ආසන්න පිරිසක්, නිවෙස්වල සිට ම ස්වයං නිරෝධායනයකට ලක් වන්නැයි උපදෙස් දෙමින් පිටත් කර යැවීය. වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත ව ඇති රටවල සිට පැමිනෙන අය නිරෝධායනයකට ලක් කල යුතු බවට වෛද්‍යවරුන් දිගින් දිගට ම ආන්ඩුවට කල අනතුරු ඇඟවීම් නොතකා හල ආන්ඩුව, දැන් එම පිරිස් හඹාගොස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇත. මාධ්‍ය විසින් ඔවුන් අපරාධකරුවන් ලෙස චිත්‍ර‍ය කරයි.

යුදහමුදාව පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේත්, මඩකලපුව පූනානි හි පෞද්ගලික විශ්ව විද්‍යාලයේත් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ඇටවීමට කටයුතු කලේ ය. මූලික සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති වූ මඩකලපුව විශ්ව විද්‍යාලයේ එම පහසුකම් කඩිමුඩියේ සපයා ගැනීම් ගැන හමුදාපති කල ප්‍රකාශය මෙම නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය එලිදරවු කරන්නකි. නිරෝධායන මධ්‍යස්ථානවලට ඇඳ, මෙට්ට, කොට්ට වශයෙන් සපයා ඇත්තේ හමුදා සෙබලුන් භාවිතා කල ඒවා ය. 

නිරෝධායන පහසුකම් ලබා දීමට රුපියල් 7 500ක් අය කර ගැනීමට තීරනය කෙරී තිබුන ද දැවැන්ත විරෝධයක් හමුවේ එය හකුලා ගැනීමට සිදු විය. එම මධ්‍යස්ථානවලට ගිය අය ඒවායේ ඇති අඩු පහසුකම්වල ස්වභාවය හෙලිදරවු කරමින් තොරතුරු ෆේස්බුක් ගිනුම් හරහා ප්‍රචාරය කල හ. 

මෙම විරෝධතාවන්ට වහා කඩා පැන්න හමුදාපති සිල්වා  “තමන් රට වෙනුවෙන් දින ගනන්, සති ගනන් හා ගස් ගල් යට නිදා සිටි හමුදාවක්” බවත් එවන් කැප කිරීම් හමුවේ මෙ බඳු විරෝධතා හෙලා දැකීය. “අපගේ කුඩා ආර්ථිකය සමඟ” සැපයිය හැකි පහසුකම්වලින් සෑහිය යුතු බව පවසමින් ආන්ඩුව මේ කටයුතු සඳහා වැය කරන සොච්චමට මහජනතාව අනුගත කරවීමේ පොලිස්කාරකමක ද ඔහු යෙදුනේ ය.

වෛරසය පැතිර යාමේ උත්සුකතාවන් මතු කරමින් ආන්ඩුව ප්‍රසිද්ධ හා පෞද්ගලික රැස්වීම් සහ සියලු උත්සවවලට සති දෙකක කාලයකට පොලිස් තහනමක් පනවා ඇත; පාසල්, පෙර පාසල්, උසස් අධ්‍යාපන ආයතන නිවාඩු දී ඇත. 

එහෙත්, ආන්ඩුව මහ මැතිවරනය නියමිත දිනට ම පවත්වන බව පවසයි. රාජපක්ෂගේ ඉලක්කය පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගෙන ඒකාධිපති ව්‍යවස්ථාවක් තහවුරුකර ගනිමින් රුදුරු පන්ති යුද්ධයක් ක්‍රියාවට දැමීමයි. ජනාධිපතිවරනයෙන් බලය ලබා ගත් විගස පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අනියම් ආකාරයකට බහුතර ආන්ඩුවක් පිහිටු විය හැකි දැයි මාන බැලූ ඔහු, ව්‍යවස්ථාවෙන් අවසර ලද විගස මාර්තු 1 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. 

ගෝලීය ව නිර්මානය කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර ද නිශ්චිතව ම පියවා ගැනෙන්නේ කම්කරු පීඩිත මහජනතාව මතිනි. කොරෝනා වෛරසය ඇති කල ගෝලීය ආර්ථික පසුබෑමේ පසුබිම මැද වුව, “මහ මැතිවරනයෙන් පසු ලංකාව අත්පත් කර ගන්නා දේශපාලන ස්ථාවරත්වයේ පදනම” මත 2020 වසරේ දී 3.5ක ආර්ථික වර්ධන වේගයක් අත් කර ගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කලේ ය.

පුපුරා යා හැකි සමාජ අරගල ගැන උත්සුක වන ධනපති මාධ්‍ය අටුවාකරුවෝ එම අරගල සමහන් කර ගන්නා ආකාරය ගැන සංස්ථාපිතයේ පක්ෂවලට උපදෙස් දෙති. මාර්තු 15 රාවය කතුවැකිය මෙසේ පවසයි: “ඉදිරියේ දී මුහුන දීමට නියමිත ආර්ථික අර්බුදය හා ආහාර අර්බුදය ගැන ජනතාවට වැටහෙන ආකාරයට කරුනු පැහැදිලි කර ඒ සඳහා විකල්ප විසඳුම් වැඩපිලිවෙලක් මහජන සහභාගීත්වයෙන් යෝජනා කිරීම පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරියේ වගකීමකි.” 

කොරෝනා වැලඳිය හැකි බැවින් උද්ඝෝෂන පෙලපාලි යාම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කලේ ය. පාර්ලිමේන්තුව යලි කැඳවනවා නම් කොරෝනා සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට තමන් සම්පූර්න සහයෝගය දෙන බවට ඔහු ප්‍රකාශ කලේ ය. ජවිපෙ ජාතික වැඩපිලිවෙලක් තුල ඒකාබද්ධ ව වැඩ කිරීමේ තම උත්සුකය පල කර ඇත. පෙසප ආන්ඩුවට වගකීම් සහගත ව වැඩ කරන මෙන් උපදෙස් ලබා දී ඇත. මෙම සියලු නඩ බියපත්ව සිටින්නේ මහජන නැගිටීමක් සම්බන්ධයෙනි.

ගෝලීය සැපයුම් ජාල අඩාල වීමෙන් දැනටමත් කම්කරු පවුල් දසදහස් ගනනින් ආර්ථික ව අනාථ වෙමින් සිටිති. ඇඟලුම් කම්හල් විශාල ගනනක්  තාවකාලික ව වසා දමා ඇත. ඉතාලිය සහ දකුනු කොරියාවේ සිට එන සංක්‍රමනික කම්කරුවන් ඇතැම් විට පැමිනෙන්නේ තම රැකියා අවස්ථා අවදානමක හෙලා ගනිමිනි.

ගෝලීය පරිමාන වසංගතයක් නිර්මානය කරමින් වේගවත් වන වෛරසයේ ව්‍යාප්තිය සහ එයින් පැන නංවා ඇති අනෙකුත් සමාජ-ආර්ථික ප්‍ර‍ශ්න ජය ගත හැක්කේ ජාත්‍යන්තර කම්කරු පංතිය විසින් ආරම්භකත්වයක් ගන්නා ගෝලීය සම්බන්ධීකරනයක් තුලින් පමනි. 

Loading