යුරෝපය වසංගතයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වන අතර කොරෝනා වෛරසය එක්සත් ජනපදය තුල මිලියන ගනනකට මරු කැඳවිය හැකි බව ට්‍රම්ප් පරිපාලන නිලධාරියා පිලිගනී

මෙම ලිපිය 2020 මාර්තු 16 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 13දා ප්‍රකාශ කලේ, දැන් චීනය නොව වසංගතයේ අපි කේන්ද්‍රය යුරෝපය බවයි. ආසාදිතයින් 24747ක් හා 1800ට අධික මරන සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය බරපතලම පීඩාවට මුහුනපා ඇත. ජනගහනයට සමානුපාතිකව, චීනයට වඩා එහි රොගී හා මරන අනුපාතය ඉහලය. ආසාදිතයින් 80649ක් හා 3000ට අධික මරන වාර්තාවූ චීනයේ දැන් එය සීග්‍රයෙන් පහත වැටෙමින් තිබේ.

බටහිර යුරෝපයේ ප්‍රධාන රටවල කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඇති වන කොවිඩ්-19 රෝගයෙන් මියගිය සංඛ්‍යාව හා ආසාදනය වූවන් සංඛ්‍යාව අහස උසට නැඟෙමින් පවතින අතර රෝහල් උතුරා ගොස් ඇත. ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රන්සය යන රටවල් සියල්ලම වසා දමා ඇති අතර වෙනත් බොහෝ රටවල හදිසි පියවර ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් එක්සත් ජනපදය, වසංගතයේ මීලඟ අපිකේන්ද්‍රය බවට පත්විය හැකිය. ට්‍රම්ප් පරිපාලනය  කිසිදු පලදායී ප්‍රතිචාරයක් දැක්වීමට හිතාමතාම අපොහොසත් වීම නිසා ඇමරිකානුවන් මිලියන ගනනකගේ ජීවිත නැතිවනු ඇත. 15දා සීඑන්එන්හි පැවති රාජ්‍ය තත්ව වැඩසටහනේ  දී, ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසිගෙන් කෙලින්ම විමසන ලද්දේ, “එක්සත් ජනපදයේ ලක්ෂ ගනනක් ජනයා මිය යා හැකි බවට ඇස්තමේන්තු කර ඇත. නොඑසේ නම් නරකම තත්වයකදී මිලියන ගනනක්. එසේ වියහැකි යයි ඔබට ඇමරිකානු ජනතාව වෙත පැවසිය හැකිද? ” ඔහු පිලිතුරු දුන්නේ, එසේ විය “හැකි ය” යනුවෙනි.

2020 මාර්තු 15 වන ඉරිදා පිලිපීනයේ ක්විසොන් නගරයට නුදුරින් පිහිටි මුරපොලක අගනුවරට ඇතුලු වීමට පෙර හමුදා භටයෙකු විසින් මිනිසෙකුගේ උෂ්නත්වය පරීක්ෂා කරනු ලැබේ. (AP ඡායාරූපය / ආරොන් ෆාවිල) (AP Photo/Aaron Favila)

බොහෝ රටවල් තම දේශය තුල වසංගතය පාලනය කිරීමට පියවර ගැනීමේදී දක්වා තිබෙන අකාර්යක්ෂමතාව සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය 13දා අනතුරු ඇඟවූයේ, “වසංගතය විශාල ලෙස පැතිර ඇති වෙනත් රටවල අත්දැකීම් දෙස බලා” “එය මෙහි සිදු නොවනු ඇතැයි සිතන ඕනෑම රටක් කරන්නේ මාරාන්තික වැරැද්දකි” යනුවෙනි.

කෙසේවෙතත් ජනාධිපති ට්‍රම්ප් සැලකිලිමත් වූයේ, මිලියන ගනනකගේ ජීවිත නැතිවීම ගැන නොව, ඩොලර් ට්‍රිලියන ගනනක් මූල්‍ය වෙලඳපොලට පොම්ප කිරීම ගැන ය. ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍ය අර්බුදය හා බිය ගැන කතා කරනවාට වඩා, ධවල මන්දිර මාධ්‍ය හමුවකදී 15දා පස්වරුවේ පැවැත්වූ ආරම්භක දේශනයේදී ඔහු, ආසියානු වෙලඳපොලවල වැඩ ආරම්භ කිරීමට පෙර ෆෙඩරල් මහ බැංකු  පොලී අනුපාත සියයට 1.25 සිට 0.25 දක්වා පහත හෙලීම ගැන සුබ පැතුවේය. පසුගිය සතියේ ලබා දුන් ඩොලර් ට්‍රිලියන 1.5 ට අමතරව ෆෙඩරල් මහ බැංකුව ඩොලර් බිලියන 700 ක මූල්‍ය ආධාර ලබා දීමට සූදානමින් සිටියි.

ජර්මානු පුවත්පතක් වන ඩයි වෙල්ට් හි වාර්තාවකට අනුව, “නමුත් එක්සත් ජනපදයට පමනයි” යන තේමාව යටතේ කොරෝනා වෛරස් සුව කරන එන්නතක් නිපදවීමට  ධවල මන්දිරය උනන්දු වෙයි. කොවිඩ්-19  සඳහා ප්‍රතිකාර කරන එන්නතක් නිෂ්පාදනය කිරීමේ පූර්න අයිතිය ලබා ගැනීම සඳහා ට්‍රම්ප් ජර්මානු වෛද්‍ය සමාගමක් වන කියෝවැක් වෙත “විශාල මුදල් ප්‍රමානයක්” ලබා දීමේ දුෂ්ඨ වැදගත්කම මෙයයි. මෙහි බලාපොරොත්තුව වානිජමය වාසියක් ලබා ගැනීම ද නැතහොත්  ප්‍රතිවාදීන් සමඟ ජීවිතයත් මරනයත් අතර තරඟයෙන් ජය ගැනීම ද නැතහොත් දෙකම ද යන්න එහි සඳහන් නොවේ.

සියලු විශ්වසනීය තොරතුරු අනුව වසංගතය, මිලියන ගනනක් විනාශය කරා ඇද දමමින්  සිටියි. 15දා වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 රෝගීන් 167,638 ක් වාර්තා වී තිබේ. චීනයෙන් පිටත ආසාදන සංඛ්‍යාව 80,849 ක් වන අතර එය දැන් චීනයේ මට්ටම  ඉක්මවා ඇත. රෝගයෙන් සුවය ලැබූ රෝගීන් 76,219 න් 66,931 ක් සිටින්නේ චීනයේ ය. ඒ කියන්නේ දැනට ක්‍රියාකාරී ආසාදන 80,658 ක් ඇති අතර, බහුතරය යුරෝපයේ සහ ඉරානයේ ය. ඉන් 5,655 ක් දරුනු හෝ තීරනාත්මක යයි සැලකෙන රෝගීන්ය.

 කොවිඩ්-19  නිසා මියගිය සංඛ්‍යාව දැන් 6,456 කි. ඉතාලිය, ඉරානය සහ දැන් ස්පාඤ්ඤය තුල දිනක නව මරන අනුපාතය ඉහල අගයක් ගන්නා අතර එය සියයට 4 ක් හෝ ඊට වැඩි ය. වසංගතයේ මුල් අවධියේදී ප්‍රන්සය, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි අනෙකුත් ජාතීන් අතර මාරාන්තික අනුපාතය සියයට 2.5 ක් හෝ ඊට අඩු වේ. ස්විට්සර්ලන්තය දිනකට නව රෝගීන් 842 ක් වාර්තා කරන අතර එය නව රෝගීන්ගේ ව්‍යසනකාරී ඉහල යාමක් පෙන්නුම් කරන ජාතීන්ගේ ලැයිස්තුවට ඇතුලත් වේ.

එක් රටක සිට තවත් රටකට වෛරස් පැතිරීමට  සංකීර්න හේතු පවතියි. ජනගහනයේ සාමාන්‍ය සෞඛ්‍යය හා වයස, පරීක්ෂන සඳහා ඇති සීමාවන් නිසා ප්‍රජාව තුල ආසාදනය වූවන්ගේ ගනන් හිලව් නොදන්නාකම මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධතියට එල්ලවී ඇති පීඩනය ද ඊට ඇතුලත් ය.

වසංගතයේ වේගය සැලකිය යතු තරම්ය. සති හතරකට පෙර, එනම් පෙබරවාරි 20 වන දින, 38 හැවිරිදි ඉතාලි ජාතිකයෙක් එම රටේ කොවිඩ්-19  හි පලමු ගොදුර බවට පත්විය.  ඊලඟ සති දෙක තුල ලොම්බාර්ඩි ප්‍රදේශයේ ව්‍යාප්තිය පාලනයෙන් තොර විය. නව රෝගීන් සංඛ්‍යාව වේගයෙන් වැඩිවුන අතර ඉන් අනතුරුව භයානක මරන සංඛ්‍යාවක් සිදුවිය. අවසාන වශයෙන්, මාර්තු 12 වන දින මුලු රටම අඩස්සියට (lock down) ගෙන තිබුනි.

මේ අතර, හදිසි අවස්ථා දෙපාර්තමේන්තු හරහා නව අසාදිතයින් නොකඩවා පැමිනීම හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමේ තර්ජනය මතු කරයි. බර්ගමෝහි ජෝන් XXIII පාප් රෝහලේ රොබර්ටෝ කොසෙන්ටිනි පැවසුවේ, “එය රැල්ලක් වගේ. දැන් දිනකට නව කොවිඩ්-19 රෝගීන් 60-80 ක් විතර හදිසි ඒකකයට පැමිනේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බරපතල රෝගී තත්ත්වයේ පසුවන අතර, සවස 4 ත් 6 ත් අතර ඔවුන් සියල්ලෝම එකට පැමිනේ. සවස් කාලයේදී ශ්වසන අපහසුතාව නරක අතට හැරෙන බව අපි දැන ගතිමු. දැන් අපට පෙනී යන්නේ බරපතලම  අවස්ථාවන්ට මුහුන දීමට අපට සිදුවන බවයි. සෑම දිනකම කෙටි කාලයක් තුල පෝලිමට එවන් රොගීන් පැමිනෙමින් ඇත. ”

ඉතාලියේ වසංගතය පිලිබඳ සායනික අත්දැකීම් චීනයට වඩා බොහෝ සෙයින් කනස්සල්ල දනවයි. ජමා ජාලයට අනුව, දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් වීමේ අනුපාතය සියලු ආසාදිත රෝගීන්ගෙන් සියයට 12 ක් සහ රෝහල් ගත කර ඇති රෝගීන්ගෙන් සියයට 16 කි. ඊට වෙනස්ව චීනයේ කොවිඩ්-19  ආසාදනයේ පරීක්‍ෂා කල ධනාත්මක අයගෙන් දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කලේ සියයට 5 ක් පමනි.

උතුරු ඉතාලියේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ පසුගිය සති තුන පුරා දිවා රෑ නොබලා වැඩ කරමින් සිටිති. දල වශයෙන් 350 ට පමන ආසාදනය වී ඇති අතර සමහරු මිය ගොස් ඇත. උතුරු ක්‍රෙමෝනා නගරයේ රෝහලක හෙදියක් වන ෆ්‍රැන්චෙස්කා මැන්ගියාටෝර්ඩි ඉතාලි රූපවාහිනියට පැවසුවේ, “අපි ශාරීරිකව හා කායික වශයෙන් අපගේ දෙකකුල් මත නැඟී සිටින අන්තිම අවස්ථාවේ සිටිමු” යනුවෙනි.

පැය විසිහතරක කාලයක් තුල මුලු රෝගීන් 7,753 ක් සහ නව රෝගීන් 1,362 ක් වාර්තාවී ඇති ස්පාඤ්ඤය යුරෝපයේ  දරුනුකම අතින් දෙවන රට වේ. අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර හෝ වැඩ කිරීම සඳහා මහජනතාවගේ ගමන් බිමන් සීමා කර ඇත. ඊයේ දිනයේදී නව මරන 95 ක් වාර්තා කිරීමත් සමඟ මුලු මරන සංඛ්‍යාව 291 ක් දක්වා ඉහල ගොස් තිබේ. අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පවසන පරිදි, සියලුම කෞතුකාගාර, සංස්කෘතික මධ්‍යස්ථාන සහ ක්‍රීඩා ඉසව් නැවත දැනුම් දෙන තුරු වසා තබනු ඇත.

ප්‍රන්සයේ 4,499 ක්, ජර්මනියේ 5,795 ක් සහ එක්සත් රාජධානියේ රෝගීන් 1,372 ක් වාර්තා වීමත් සමඟ නව කොවිඩ්-19  ආසාදනයේදී එක සමාන වේගවත් වීමක් පෙන්වයි. එක්සත් රාජධානිය මරන අනුපාතය සියයට 2.6කි. කෙසේ වෙතත් එම රටවල මරන සංඛ්‍යාව  ඉතාලියට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී. රෝග කාරකය අයර්ලන්තය හා ස්කොට්ලන්තය දක්වා අඛන්ඩව පැතිර ඇති අතර පිලිවෙලින් 214 සහ 153 ක් බව බලධාරීන් වාර්තා කර ඇත. ස්කොට්ලන්ත ආන්ඩුව දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඇඳන් 380 දක්වා දෙගුන කිරීමට උත්සාහ දරයි.

හිඟයක් අපේක්‍ෂා කරන ජර්මනිය සහ ප්‍රන්සය, දේශීය සැපයුම්කරුවන් වෙත යොමුවී ඇති අතර ජාතික තොග සමීක්‍ෂනය කරමින් සිටියි. ජර්මනියේ ආසන්න වශයෙන් දැඩි සත්කාර ඇඳන් 28,000 ක් ඇති අතර ඉන් 25,000 කට වාතාශ්‍ර යන්ත්‍ර සවි කර ඇත. පුද්ගලයන් 100,000 කට තීරනාත්මක සත්කාර ඇඳන් 25 බැගින් ඔවුන් සතුව ඇත. සංසන්දනයක් වශයෙන් ඉතාලියට ඇත්තේ එම ධාරිතාවෙන් අඩකි. එක්සත් රාජධානියට ඇත්තේ ඉන් හතරෙන් එකකි. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, ජාතික සෞඛ්‍ය සේවයට වාතාශ්‍ර යන්ත්‍ර 5,000 ක් පමන තිබෙන නමුත් ඊට වඩා විශාල ප්‍රමානයක් අවශ්‍ය බවයි.

මෙම රටවල් දැඩි අර්බුදයකට ලක්ව ඇති නමුත් මහජන සෞඛ්‍ය යටිතල ව්‍යුහයේ දුප්පත් තත්වය සහ බලධාරීන්ගේ අසංවිධිත හා ලාභය මත පදනම් වූ ප්‍රතිචාරයත් සමඟ ගත් කල, එක්සත් ජනපදයේ තත්වය ඊට වඩා බෙහෙවින් නරකය. එරට තුල  වෛරසය ජනාවාස ප්‍රදේශ  පුරා පැතිරීමත් සමඟ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත.

ධවල මන්දිරය 15දා සඳහන් කලේ, මේ වන විට රෝගීන් 3,400 ක් (අලුත් රෝගීන් 457 ක්) සහ මරන 63 ක් වාර්තා වී ඇති බවයි. පොරොන්දු වූ මිලියන ගනනක් වූ පරීක්ෂන කට්ටල දැන් දහස් ගනනක් බවට පත්වී ඇති අතර ඒවා ඉක්මනින් හෝ පසුව “රාජ්‍ය-පෞද්ගලික සහභාගිත්වය” තුලින් ලබා ගත හැකිය. “තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත” යනුවෙන් සඳහන් කරන ලද කප්පාදු කල අදහස් දැක්වීම් කිහිපයක් කිරීමට ආචාර්ය ෆවුසිට අවසර දෙන ලද නමුත් ඔහු හෝ වෙනත් නිලධාරීන් හෝ මාධ්‍ය විසින්, මරන සංඛ්‍යාව පිලිබඳව සාකච්ඡා කලේ නැත.

ෆෙඩරල් ආන්ඩුව හා වසංගතය නිරීක්ෂනය කිරීම හා ප්‍රතික්‍රියා කිරීමට වගකිවයුතු, ප්‍රාන්ත 50, විවිධ පලාත් පාලන ආයතන සහ පාසල් දිස්ත්‍රික්ක අතර සම්බන්ධීකරනය දුර්වලය. එහි ප්‍රතිපලය වී ඇත්තේ, පැලැස්තර ඇලවීමයි. සමහර ප්‍රාන්තවල සියලුම රජයේ පාසල් වසා දමා ඇති නමුත් අනෙක්වායේ නැත. සමහර ප්‍රාන්තවල මත්පැන්ශාලා සහ අවන්හල් වසා ඇති නමුත් අනෙක්වායේ එසේ නොවේ;   100 ට වැඩි, 250 ට වැඩි හෝ 500 ට වැඩි සංඛ්‍යාවක් එක් රැස්වීම ආන්ඩුකාරවරුන් විසින් තහනම් කර ඇතත් අනෙක්වායේ කිසිදු තහංචියක් පැනවී නැත.

වරකට පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් එක්රැස් වීම තහනම් කිරීම සඳහා රෝග පාලන මධ්‍යස්ථානය විසින් 15දා නිර්දේශයක් නිකුත් කරන ලදී. එහෙත් එය තවදුරටත් කියා සිටියේ, “මෙම නිර්දේශය පාසල්, උසස් අධ්‍යාපන ආයතන හෝ ව්‍යාපාර වැනි සංවිධානවල එදිනෙදා කටයුතු වලට අදාල නොවේ” යනුවෙනි. බොහෝ විද්‍යාල දැනටමත් වසා දමා ඇති අතර බොහෝ රජයේ පාසල් ඉතා ඉක්මනින් වසා දමනු ඇති බැවින්, කම්කරුවන්ගේ සෞඛ්‍යයට වන බලපෑම නොසලකා කර්මාන්තශාලා සහ අනෙකුත් විශාල ව්‍යාපාරික  ස්ථාන අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා මෙය කොල එලිය දැල්වීමකි.  මෙය මහජන සෞඛ්‍යයට වඩා ව්‍යාපාරික ලාභ සඳහා ප්‍රමුඛතාව දී ඇති බවට තවත් ඇඟවීමකි. 

Loading