ඉදිරිදර්ශන

පන්තියට එරෙහිව වර්ගය: එක්සත් ජනදයේ දකුනු කැරොලිනා ප්‍රාන්ත ප්‍රාථමික ඡන්දය

මෙම ලිපිය 2020 මාර්තු 2 දින ඉංග්‍රීසියෙන් පලකෙරිනි.

සෙනසුරාදා දකුනු කැරොලිනා ප්‍රාන්ත ජනාධිපතිවරන ප්‍රාථමික ඡන්ද විමසීමේ දී හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්  ජයග්‍රහනයට ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය හා සංගත මාධ්‍යවල එහි සගයන් විසින් ප්‍රශංසා කරනු ලබන්නේ සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ නාමයෝජනා අවහිර කිරීමේ ඒකාබද්ධ ප්‍රයත්නයේ තවත් එක සැතපුම් කනුවක් ලෙස ය.

මෙය  අපරිනත සැමරුමක් විය හැකි හැක්කේ, කැලිෆෝනියා හා ටෙක්සාස් ඇතුලු, ප්‍රාන්ත 14 ක ඩෙමොක්‍රටික් ඡන්දදායකයින් ඡන්දය දැමීමට සූදානම්, “සුපිරි අඟහරුවාදා” ප්‍රාථමික ඡන්ද විමසීම්වල දී බයිඩන්ගේ ප්‍රතිපල දුර්වල වීමට ඉඩ ඇති බැවිනි. මාර්තු 3 වනදා තෝරා ගැනීමට නියමිත නියෝජිතයින් 1,300 කට වඩා වැඩි සංඛ්‍යාවකගෙන් වැඩිමනත් සංඛ්‍යාව, එසේ නැත්නම් බහුතරය සෑන්ඩර්ස් විසින් දිනා ගනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

එහෙත් දකුනු කැරොලිනාවේ බයිඩන්  දිනූ ආකාරය කෙසේ වෙතත් නිරූපනය කලේ  ඩෙමොක්‍රටික් ජනාධිපති තරඟය ඉදිරියට යාමේ වැදගත් පාඩමක් ලෙස ය. දකුනු කැරොලිනාවේ ඩෙමොක්‍රටික් ඡන්දදායකයින්ගෙන් සියයට 60 ක් වන අප්‍රිකානු-ඇමරිකානු ඡන්දදායකයින්, හා විශේෂයෙන් වයස්ගත කලු ඡන්දදායකයින් අතර ඔහු විශාල බහුතරයක් ලබා ගත් අතර, සෑන්ඩර්ස් අවුරුදු 30 ට අඩු කළු ඡන්දදායකයින් අතර බහුතරයක් දිනා ගත්තේ, සමස්තයක් වශයෙන් තරුන ඡන්දදායකයින් අතර හුදෙක් ඔහු ජයගත් ආකාරයට ය.

2020 පෙබරවාරි 29, දකුනු කැරොලිනාවේ ප්‍රාන්ත ප්‍රාථමික චන්දය ජය ගැනීමෙන් පසුව පැවති රාත්‍රී රැලියේදී ජෝ බයිඩන් දකුනු කැරොලිනා කොන්ග්‍රස් මන්ත්‍රී ජෙම්ස් ක්ලයිබර්න් දෙසට සුහද ලෙස ආචාර කරන අයුරු. (AP Photo/Gerald Herbert)

බිඩෙන් සඳහා වන අවසාන තල්ලුව මෙහෙයවනු ලැබුවේ, වසර 28 ක කාලය තුල දකුනු කැරොලිනාවේ හයවැනි දිස්ත්‍රික්කයේ කොන්ග්‍රස් සභා නියෝජිතයා ද,  කොංග්‍රස් මන්ඩල කලු සාමාජිකත්වයේ ජ්‍යේෂ්ට නායකයෙකු ද, පාර්ලිමේන්තු බහුතර නායකයෙකු ද වන, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ තුන්වැනි තැන ගන්නා ඩෙමොක්‍රටිකයෙකු වන ජේම්ස් ක්ලයිබර්න් විසිනි. ක්ලයිබර්න් බදාදා බිඩෙන්ට සිය අනුමැතිය ලබා දුන් අතර, පිටවීමේ ඡන්ද විමසීම් වලට අනුව, දකුනු කැරොලිනාවේ කලු ජාතික ඡන්දදායකයින්ගෙන් අඩක්, පැවසුවේ ඔහුගේ සහයෝගය ප්‍රාථමික ඡන්ද විමසීමේ දී තම අවසාන තේරීමට බලපා තිබූ  බව යි.

ක්ලයිබර්න් කතාකරන්නේ සමස්තයක් ලෙස ඩෙමොක්‍රටික කොන්ග්‍රස් නායකත්වය හා නිශ්චිත සමාජ ස්ථරයක් වෙනුවෙන් ය. එනම් දුප්පත් හා කම්කරු පන්තියේ කලු ජාතිකයින් දිගින් දිගටම තැලෙන දරිද්‍රතාවට හා සමාජ කාලකන්නිකමට මුහුන දී සිටියදී පවා, තම උත්සුකයන්  ඉදිරියට ගෙන යාම සඳහා අනන්‍යතා දේශපාලනය යොදා ගෙන ඇති ඉහල මධ්‍යම පන්තිය හා ධනවත් කලු ජාතික ස්ථරයන් වෙනුවෙනි. 

2020 ප්‍රාථමික ඡන්ද විමසීම්වල දී, 2016දී ටත් වඩා වැඩියෙන්, කලු ඉහල මධ්‍යම පන්තියේ  මෙම ස්ථර, සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය මගින් මතු කෙරෙන අභියෝගයට එරෙහි ව, ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට මුක්කු ගැසීමට බලමුලු ගන්වමින් සිටී. ක්ලයිබර්න් හා වඩා අල්පතර කලු ජාතික දේශපාලඥයින් පෙලකගේ මහජනතාව මත ඇති බලපෑම යොදා ගනිමින් තිබෙන්නේ, “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය” පිලිබඳ සැන්ඩර්ස්ගේ (ඉතා සීමිත) කයිවාරු - එනම් ඔහු බිලියනපතියන් හොලා දැකීම හා දකුනු කැරොලිනාවේ අප්‍රිකානු - ඇමරිකානු ජනගහනයේ අතිමහත් බහුතරය අයත්වන,   වැටුපින් වැටුපට ජීවත් වීමට පොරකන අය වෙනුවෙන් පෙනී සිටින සේ පෙන්වීම ආදිය මගින් ඔහු පන්ති උත්සුකතාවලට කරන ආයාචනය නැති භංග කිරීමට යි.

අඟහරුවාදා එම ප්‍රාන්තවල මූලික ඡන්ද ජය ගැනීමට, හෝ සම්මේලන නියෝජිතයින් අතර සෑන්ඩර්ගේ ඉදිරියෙන් සිටීම අඩු වශයෙන් සැලකියයුතු ලෙස කපා දැමීමට, ඇලබාමා, අර්කන්සාස්, ටෙනසි හා උතුරු කැරොලිනා වැනි ප්‍රාන්තවල අනෙකුත් බලගතු කලු නායකයින්ගේ සහාය ප්‍රයෝජනයට ගැනීමට බයිඩන්ගේ මැතිවරන උද්ඝෝෂනයට හැකි වනු ඇත යි යන සමපේක්ෂනවලින් ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා පිරී තිබුනි. බයිඩන්මද මෙම රූපවාහිනී ජාල හා කේබල් සම්මුඛ සාකච්ඡා පහෙන් හතරක පෙනී සිටියේ මෙම ආඛ්‍යානය ඉදිරියට ගෙන යාමට යි.

සෑන්ඩර්ස්ගේ පන්ති ආයාචනය අවහිර කිරීමේ මාධ්‍යයක් ලෙස දකුනු කැරොලිනාවේ කලු ජාතික කම්කරුවන්ට වර්ගය පදනම් කරගත් ආයාචනා යොදා ගැනීම කෙතරම් නිර්ලජ්ජිත ද යත්, එක් කලු මහාචාර්යවරයකු වන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ එඩී ග්ලෝඩ් (කනිෂ්ඨ), ඉරිදා එන්බීසීයේ “මීට් ද ප්‍රෙස්” වැඩසටහනේ පන්ඩිතයෙකු ලෙස පෙනී සිටිමින් මෙසේ පිලිගත්තේ ය. “මම දත්ත තේරුම් ගත්තත්, අප්‍රිකානු ඇමරිකානුවන් යම් ආකාරයකින් ඩෙමොක්‍රටික් පක්ෂයේ මධ්‍යස්ථ අංශයට බාධකයක් වෙයි කියලා මම කිසි විටෙකත් හිතුවේ නෑ. මට නම් එය හරිම පුදුමාකාර ආරංචියක්.”

එක් අවස්ථාවක දී, දකුනු කැරොලිනාවේ කලු ඩෙමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන්ගේ වඩාත් දුෂිත ස්ථරය බිලියනපතියෙකු වන ටොම් ස්ටියර් විසින් ප්‍රාන්තයට පොම්ප කරන ලද මිලියන ගනනක මුදල මගින් ඩැහැගෙන ගෙන තිබූ බව පෙනී ගියේ ය. එම මුදල ඩොලර් මිලියන 20ක් වූ අතර, එය බයිඩන්ගේ මැතිවරන ව්‍යාපාරය වියදම් කිරීමට සමත්  වූ මුදල මෙන් 18ගුනයකි. කලු ජාතික ප්‍රාන්ත සභිකයන් කිහිප දෙනෙකු ස්ටියර්ව පිලිගත් අතර ඔහුගේ ඡන්ද සංඛ්‍යාව ඉහල ගියේ ය. නමුත් අවසානයේ ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ පීඩනය ජය ගත්තේ ය: බයිඩෙන් සමස්ත ඡන්දයෙන් සියයට 48 ක් දිනා ගත් අතර, එක් නියෝජිතයෙකු හෝ දිනා ගැනීමට අපොහොසත් වූ ස්ටියර්ට ලැබුනේ සියයට 11 ක් පමනි.

සෑන්ඩර්ස්ට විරුද්ධ වන සෑම ඩෙමොක්‍රටික් අපේක්ෂකයෙකු ම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් වාර්ගික දේශපාලනය තහවුරු කර තිබේ. පසුගිය අඟහරුවාදා දකුනු කැරොලිනාවේ චාල්ස්ටන් හි පැවති විවාදයකදී මේ කුහකත්වය වඩාත් පැහැදිලි විය. දිස්ත්‍රිතික් නීතිපති වරයෙක්ව සිටි කාලයේ, අහිංසක තරුන කලු ජාතිකයින් සිරගත කිරීමට තල්ලු කර දැමීමේ වාර්තාවක් සහිත, සෙනෙට් සභික ඇමී ක්ලෝබුචාර්, “අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුල ඇති වර්ගවාදයේ” විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කලේය. තම පොලිස් බලකාය හරහා වර්ගවාදී ප්‍රහාර දියත් කල අයෙක් වන, හිටපු සවුත් බෙන්ඩ් නගරයේ  නගරාධිපති පීට් බුටිගීග් දුප්පත් කළු ග්‍රාමීය වැසියන් කෙරෙහි බොරු අනුකම්පාවක් ප්‍රකාශ කලේ ය. “එක්සත් ජනපදයේ සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයක ම වර්ගය පිලිබඳ දැවැන්ත සැඟවුනු අර්ථයක්  තිබේ” යැයි  ප්‍රකාශ කරමින් ස්ටියර්ද මේ කුහක කතා පෙලට සුසංයෝගී විය.

එලිසබෙත් වොරන් මීට පෙර විවාදයක දී වෙනත් කිසිම අපේක්ෂකයෙකුට වඩා ඉදිරියට ගොස් තිබුනි. පෙබරවාරි 7 වන දින නිව් හැම්ප්ෂයර් හි දී, ඇය අතීත අසාධාරනයන් නිවැරදි කිරීම යැයි කියනු ලබන “ජාතිය පිලිබඳ සවිඥානික නීතිවලට” ඇය ම ද පක්ෂ බව ප්‍රකාශ කල අතර, දකුනු කැරොලිනාවේ විවාදයේ දී ඇය එම සූත්‍රයේ ප්‍රභේදයක් පුනරුච්චාරනය කලා ය.

1960 ගනන් වල සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට පෙර දකුනේ "ජිම් ක්‍රෝ නීති" හෙවත්  වර්ගවාදී නීති හා වෙනස්කම් කිරීම් ආදියේ සාරය වූයේද “වර්ග-සවිඥානික නීති” යන බව පෙන්වා දෙමින්, නිව් හැම්ප්ෂයර් හි දී වොරන් කල ප්‍රකාශයට ප්‍රහාර එල්ල වූ විට, ඇයට සහයෝගය ලැබුනේ, “1619 ව්‍යාපෘතිය” නිර්මාතෘ නිකොලේ හැනා-ජෝන්ස් ගෙනි. 

කලු-සුදු වාර්ගික ගැටුමේ ක්‍රියාකාරීත්වය ලෙස එක්සත් ජනපදයේ සමස්ත ඉතිහාසයම නැවත අර්ථ දැක්වීමට නිව් යෝක් ටයිම්ස් ගත් උත්සාහය 1619 ව්‍යාපෘතියයි. එය ඇමරිකානු විප්ලවය විමුක්තිය සඳහා බ්‍රිතාන්‍ය පිටුබලය ලත් සැලසුම්වලට එරෙහි වහල් හිමියන්ගේ කැරැල්ලක් ලෙස හෙලා දකින අතර සුදු ජාතිකයන් සිය දහස් ගනනක් වහල්භාවය විනාශ කිරීමේ යුද්ධයක දී සිය ජීවිත පරිත්‍යාග කල සිවිල් යුද්ධය ප්‍රතික්ෂේප කරන්නේ, ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් විශාල වශයෙන් හුදකලාව, කලු ජාතිකයන් සටන් කල බව  පවසමිනි. 

 “වර්ගය -සවිඥානික නීති” සඳහා වොරන් දක්වන සහයෝගය ආරක්ෂා කරමින් හැනා-ජෝන්ස් ට්වීට් කලේ මෙසේ ලියමිනි, “වෙනස්කම් කිරීමේ වර්ගය-සවිඥානික නීති, සියවස් ගනනාවක එකී වෙනස්කම් කිරීම්වලට විසඳුම් සෙවීමේ වර්ගය-සවිඥානික නීතිවලට වඩා වෙනස් ය.”

1619 ව්‍යාපෘතිය ආචාර්ය කනිෂ්ඨ මාටින් ලූතර් කිං හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සම්පූර්නයෙන්ම නො සලකා හැරීම පුදුමයක් නො වේ: කිංගේ අරමුන වූයේ වාර්ගික හා සමාජ සමානතාව වෙනුවෙන් සටන් කරමින්, අසාධාරනයට හා මර්දනයට එරෙහිව බහු වාර්ගික ව්‍යාපාරයක් ගොඩනැගීම මිස, කලු ජාතික කම්කරුවන්ගේ අතිමහත් බහුතරය මර්දනය කිරීම පවත්වා ගැනිමේ තම සේවාව වෙනුවෙන් ප්‍රතිලාභ වශයෙන් ඉහල පන්තික කලු ජාතිකයින්ගේ කන්ඩායමකට විශේෂ වරප්‍රසාද ස්ථාපිත කිරීමට නො වේ. එම ප්‍රතිපත්තියේ කතුවරයා වූයේ, එය කලින් “කලු ධනවාදය” යනුවෙන් හැඳින් වූ නමුදු , අවසානයේ දී “හිතකර ක්‍රියාමාර්ග” යන අප්‍රසන්න බවෙන් අඩු නාමයක් පටබැඳි ලද රිචඩ් නික්සන් ‍ය.

ඩෙමොක්‍රටික් නායකත්වයේ දේශපාලන මූලෝපාය පැහැදිලිව ම 2016 දී පරාජයට පත් වූ අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ මෙන්ම, 2018 දී රිපබ්ලිකන් පක්ෂයට හිමි ආසන මාලාවක් දිනාගත් දක්ෂිනාංශික ඩිමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල අපේක්ෂකයින්ගේද මැතිවරන පදනම නැවත නිර්මානය කිරීමට උත්සාහ දැරීමයි. එම මූලෝපාය අවධානය යොමු කරන්නේ,  නගරබද ඡන්දදායකයින්,  විශේෂයෙන් කාන්තාවන් වැඩි කර ගැනීමේ ආයාචනයක් සමග, ඩෙමොක්‍රටික් පක්ෂයේ දීර්ගකාලීන ප්‍රධාන මහජන පදනම වන සුලුතර ඡන්දදායකයන්ගේ  විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම කෙරෙහි ය.

2020 ප්‍රාථමික ඡන්ද විමසීම්වල දී අභිප්‍රාය වන්නේ බයිඩන් වටා ඩෙමොක්‍රටික් පක්ෂයේ “මධ්‍යස්ථ” පාර්ශ්වය  ශක්තිමත් කිරීම යි. ඩොලර් බිලියන හතරක තම ආයෝජනයෙන්  නියෝජිතයින් දිනා ගැනීමට නො හැකි වීමෙන් පසු, සෙනසුරාදා රාත්‍රියේ තරඟයෙන් ඉවත් වූ ස්ටෙයර් පලමුව ඉල්ලා අස්වීමත්, ඉන් අනතුරුව ඉන්දියානා ප්‍රාන්තයේ හිටපු සවුත් බෙන්ඩ් නගරාධිපති පීට් බුටිගීග් ඉරිදා රාත්‍රියේ තම ජනාධිපතිවරන ව්‍යාපාරය අත්හිටුවීම නිවේදනය කිරීමත් සමග  මෙම ක්‍රියාවලිය දැන් සිදු වෙමින් පවතී.

මෙම දේශපාලන උපාමාරුවලට සෑන්ඩර්ස් හට ම ද පිලිතුරක් නොමැත. ඔහුගේ උද්ඝෝෂනය සඳහා වන මහජන සහයෝගය, ඔවුන් හට සමාජවාදය සමග ඔහුගේ අනන්‍යතාව සාධනීය ආකර්ෂනයක් වන, මිලියන ගනනාවක් තරුනයන් හා වැඩ කරන ජනයා තුල වමට වන මාරු වීමක් පෙන්වා දෙන අතර; සෑන්ඩර්ස් උත්සාහ ගන්නේ වෝල් වීදිය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය ආරක්ෂා කිරීම සඳහා නො සැලී කැපවී සිටින ධනේශ්වර පාලක පන්තියේ ආයතනයක් වන, ඩෙමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල තම ආධාරකරුවන් කොටු කිරීමට යි. 

වර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතික සම්භවය හා ලිංගික දිශානතිය යන සියලු රේඛා කපාගෙන  කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලය ඉදිරියට යා හැක්කේ, පාලක ප්‍රභූව විසින් මුලුමනින් ම පාලනය කරනු ලබන ඇමරිකාවේ ද්වි-පක්ෂ දේශපාලනයේ සමස්ත ව්‍යුහයට එරෙහි කැරැල්ලක් මගින්  පමනි. කම්කරු පන්තිය ඩෙමොක්‍රටික් පක්ෂය මෙන් ම  මහා ව්‍යාපාරිකයන්ගේ අනෙකුත් සෑම දේශපාලන නියෝජිතයෙකුගෙන්ම වෙන්වී සිය දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කරගත යුතු ය.

2020 මැතිවරනයේ දී සමාජවාදී සමානතා  පක්ෂ උද්ඝෝෂනයේ අරමුන එය යි. ජනාධිපති තනතුර සඳහා ජෝශප් කිෂෝර් ද උප ජනාධිපති තනතුර සඳහා නොරිස්සා සැන්ටා ද යන අපගේ  අපේක්ෂකයෝ, එක්සත් ජනපදය තුල පමනක් නො ව, ජාත්‍යන්තරව සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, ලෝක ධනවාදයට හා ධනේශ්වර පාලක ප්‍රභූවට එරෙහි පොදු අරගලයක් තුල කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් වදිති.

සසප ජනාධිපතිවරන ව්‍යාපාරය පිලිබඳ තොරතුරු දැනගැනීම සඳහා සහ සම්බන්ධ වීමට socialism2020.org/townhall වෙත පිවිසෙන්න.

Loading