කිනලන් සහ කහගල වතුවල කම්කරුවෝ වැඩ වරති

බන්ඩාරවෙලට නුදුරින් පිහිටි ඇල්ල ප්‍රදේශයේ පිහිටි කිනලන් වත්තේ සහ හපුතලේ කහගල වත්තේ කම්කරුවෝ මාර්තු 11 දා වැඩ වර්ජනයක නිරත වූහ. තමා නෙලන දලු, වත්තේ කම්හලේ නොඅඹරා වෙනත් වත්තකට යැවීමට එරෙහිව කිනලන් වත්තේ කම්කරුවන් වර්ජනයට පිවිසි අතර, කහගල වත්තේ කම්කරුවන් වර්ජනයට එලැඹියේ, මාසික වැටුප් දිනය වන මාර්තු 10 වන දා වැටුප් ලබා නොදීමට එරෙහිවය.

නමුනුකුල වැවිලි සමාගමට අයත් කිනලන් වත්ත, ඇල්ල සංචාරක කගරයට නුදුරු ව  පිහිටි වත්තකි. මෙහි සිංහල හා දෙමල භාෂා කතා කරන ස්ථිර කම්කරුවෝ 113 දෙනෙක් ද තාවකාලික කම්කරුවෝ 20 දෙනෙක් පමන ද ඉතා ම දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කරති.

කිනලන් වත්තේ කම්කරුවන් නෙලන තේ දලු, එම වත්තේ කම්හලේ නො අඹරා, එය ආසන්නනයේ පිහිටි ඉඳිගල කම්හලට ගෙන ගොස් අඹරනවාට එරෙහිව, කම්කරුවන්ගේ විරුද්ධත්වය පැන නැගුනේ මීට මාස තුනකට පෙර ය. පෙර පරිදි, තමා නෙලන දලු වත්තේ කම්හලේම අඹරන ලෙස ලිඛිතව කරන ලද ඉල්ලීමකට, පාලකයන් විසින් තෙමසක් ගතවන තුරු ප්‍ර‍තිචාර නොදැක්වීම හේතුවෙන් කිනලන් කම්කරුවන් වැඩ වර්ජනයට එලැඹ තිබේ.

නන්දකුමාර්

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග කතා කල කේ. නන්දකුමාර්, කිනලන් කම්කරුවන් මුහුන දෙන ප‍්‍රශ්න සහ සමාගම ලාබය උපයන ආකාරය මෙසේ විස්තර කලේය: “නීත්‍යානුකූල ව නම් අපේ ප‍්‍රශ්නයකට දවස් හතෙන්  පිලිතුරු දෙන්න  ඕන. නමුත් පිලිතුරක් නැති නිසයි ස්ට‍්‍රයික් කලේ. ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයේ වතුකරය නියෝජනය කරන වෘත්තිය සමිතියේ නායකයන් වන වඩිවේල් සුරේෂ් හා අරවින්ද කුමාර ඇවිත් කිව්ව ‘දැන්මම ෆැක්ටරියට දලු දානව’ කියල. අපි වර්ජනය නැවැත්තව ඔවුන්ව විශ්වාස කරල. නමුත් අද 13 යි. තවමත් නැහැ. මේකෙ කැඩෙන අපේ දලු කිලෝ 500, 700 ඇයි අඹරන්න බැරි? පූනාගල වත්තෙන් ගේන දලු අඹරනවා. පාඩුයි කියලයි මෙහෙ දලු අඹරන්නෙ නැත්තෙ.”     

වත්තෙන් පාඩු බවට වතු කලමනාකාරිත්වය කරන ප්‍ර‍කාශ පිලිගත නොහැකි බව නන්දකුමාර් පැවසීය. ඔහුට අනුව, වත්තේ තේ අලෙවිහලෙන් විදේශීය සංචාරකයන්ට විකුනන තේ වලින් සැලකියයුතු ආදායමක් ලැබෙයි. 

“ටී සෙන්ටර් එකේ සුද්දන්ට තේ කිලෝ එකක්  රුපියල් 1000 කට වැඩියත් සමහර වෙලාවට විකුනනවා. වත්තෙ ගස් කපල විකුනල තව පැත්තකින් ලාබ ගන්නවා. ගස් කපල එන සල්ලිවලින් 10 % ක්  කම්කරුවන්ට දෙන්න  ඕන. නමුත් සතයක් දීල නෑ. වත්තට තිබුනු වාහන ටික විකුනුවා ලොරි හතරෙන් එකයි දැන් තියෙන්නෙ. ස්ටාෆ් එකේ අට දෙනෙක් හිටිය. දැන් එක් කෙනයි. දලු නෙලන කම්කරුවෙකුගෙ පඩියට ගෑනු ලමයෙක් ස්ටාෆ් එකේ වැඩ කරනවා.”

කම්හල නැරඹීමට පැමිනෙන සංචාරකයන්ගෙන් කරන අයකිරීම් වලින් සහ ඔවුනට වත්තේ බංගලාව කුලියට දීමෙන් සමාගම විශාල ආදායමක් උපයා ගන්නා බව ඔහු පැවසීය. 

“මේ වත්තෙ කම්කරු පවුල් වලින් ඔෆීස් එකේ වැඩට එන ලමයින්ට විවිධ දුෂ්කරතාවන්ට මුහුන දෙන්න සිදු වෙනවා. පත්වීම් ලිපි දෙන්නෙ නෑ. අඩු පඩි ගෙවන්නෙ. මහත්තුරුන්ගෙ හිතවතුන්ට ස්ථිර පත්වීම් දෙනවා. පඩි හදනවා. පිටින් එන මහත්තුරුන්ටත් ඉහලට යන්න දෙන්නෙ නෑ. රජයේ රැකියා කරන ලමයිත් මේ වත්තෙ ඉන්නවා. ඒ වගේ ම අපොස සාමාන්‍ය පෙල විභාගෙ පාස් වුනු සමහර ලමයි වත්තෙ වැඩ කරනවා.”

කම්කරුවන්ට තිබූ සීමිත පහසුකම් පවා කප්පාදු වී ඇති ආකාරය ඔහු විස්තර කලේය. වත්තේ ඩිස්පෙන්සරිය ක්‍ර‍මක්‍ර‍මයෙන් පරිහානිගත වී අද එය පෙට්ටි අහුරන ගබඩාවක් බවට පත්ව ඇත. දැන් එහි ඩිස්පෙන්සරියට වෙන්ව ඇත්තේ කාමර දෙකක කුඩා කොටසකි. “වත්තෙ වැඩකරන දොස්තර මහත්තය හොඳට වැඩ කරනවා. ඒත් වැඩ කරන්න පහසුකම් නැහැ. පවුලට නවතින්න තිබුනු තැන තමයි තේ පෙට්ටි අහුරල පහසුකම් නැති කරල තියෙන්නෙ. පැය විසිහතරෙම සේවය අපිට  ඕන. මිනිස්සු මහරෑටත් ලෙඩ වෙනවා. පිට ඉඳල දොස්තර මහත්තය ඇවිත් බෙහෙත් දීල යනවා.” 

නිවාස ප්‍රශ්නය ඉතා උග්‍ර‍බවත්, එක් ලැයින් කාමරයක පවුල් දෙක තුනක් ජීවත් වන බවත් නන්ද කුමාර් පැවසීය. “ලයින් කාමරවල පහසුකම් නැහැ. ජනාධිපතිවරනෙ වෙලාවෙ සෙන්දිල් තොන්ඩමාන්, සීඩබ්ලිව්සී බදුල්ලෙ නායකයා, කිව්වෙ  මාස දෙකෙන් ගෙවල් දෙනව කියල. ඉඩම් දෙනවා කිව්වා. නමුත් කිසිම දෙයක් ලැබිල නෑ. කොච්චර මහන්සිවෙලා වැඩ කලත් අපිට දියුනුවක් නෑ. අපිට සතුටට ඉන්නෙ අපේ දරුවො විතරයි. ඒගොල්ලන්ගෙ අනාගතය කොහොම වෙයිද කියල හිතන්න බැහැ.”

දේසායි රාජා

අර්. සුන්දරම්:  “අවුරුදු 34 ක් මම මේ වත්තෙ වැඩ කලා. ඊපීඑෆ් එක ගන්න ගියාම ඒකෙ මුදල අඩුවෙලා. බොහෝ අයට මේ ප‍්‍රශ්නෙ තියනවා. අපි ඇහුවහම කියන්නෙ වැරදීමක් වෙලා තියෙන්නෙ ඒක හදන්නං කියල. නමුත් තවම ඒක හදල දුන්නෙ නෑ. අපි හරි මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු. වැඩ කරන කාලෙ අපි ගැන බැලුවෙ නෑ. දැනුත් එහෙමයි. ඊපීඑෆ් මුදලෙන් මොකක් හරි කරන්න අපි බලාගෙන ඉන්නෙ. ඒක හරියට නැතුව අපි අනාගතේට මොක ද කරන්නෙ.”

සෝමාවතී

එම්.ඩී. සෝමාවතී කිනලන්හි වැඩ කරන පනස් වියැති සිංහල වතු කම්කරු කාන්තාවකි.  “මං හැතැප්ම හතරක් දුර උදේට පයින් ඇවිල්ල හවසට ඒ හැතැප්ම හතර ආපහු පයින් යනවා. අවුරුදු 30 ක් මේ වත්තෙ වැඩට ආවෙ එහෙම. මං වත්තෙන් ගෙයක් ඉල්ලූව. ලැබුනෙ නෑ. දැන් පයින් ඇවිල්ල ම මගේ කකුල් අමාරු ඇවිල්ල. මේ දුර පයින් ඇවිදගෙන රස්සාවට එන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. ලමයි තුන් දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට අපිව නඩත්තු කරන්න බැහැ. පොඩි පොඩි රස්සා කරල ලමයි ජීවත් වෙන්නෙ. අපිට ඉන්න තැනක් හරියට නෑ. ජීවත් වෙන්න අමාරුයි.’’

සේවා කෙනේදේසි වල ඇති දුෂ්කරතාවය පැහැදිලි කරමින්, ඇය පැවසුවේ, කලමනාකාරිත්වය විසින් දිනකට ඉල්ලා සිටින  තේ කිලෝ 18 ලබාදීම ඉතාමත් අපහසු කාර්යයක් බවයි. “කඩන්න දලු තියෙන්න එපෑ. පඩියෙන් කැපෙන්න නය අරන් තියනවා. ඒව ගෙවන්නයි ජීවත් වෙන්නයි අතට ලැබෙන පඩිය මදි. දුප්පත් මිනිස්සු මහන්සි වෙනව විතරයි. ආන්ඩුව බඩු ගනන් උස්සන කොට ජීවත් වෙන ටිකවත් ජීවත් වෙන්න බැහැ. මැරෙන්නෙ නැති හින්ද ජීවත් වෙනවා.”    

හපුතලේ නගරයට ආසන්නව පිහිටා ඇති කහගල වත්ත, ආගරපතන වැවිලි සමාගමට අයත් වූවකි. වැටුප් දිනය වන මාර්තු 10 වන දා වැටුප් නොලැබුන බැවින්, 11 වෙනි දා උදේ 7.45 ට වැඩ  අරඹන අවස්ථාවේ සිදු කෙරුනු සාකච්ඡාවකින් පසු එහි කම්කරුවන් වැඩ වර්ජන තීන්දුව ගෙන ඇත. 

“අපි තීරනය කලා ස්ට‍්‍රයික් කරන්න. එදා ම පඩි හදනව කියල මහත්තුරු පොරොන්දු වුනා.  අපි 8.30 ට වැඩට ගියා ඒ පොරොන්දුව නිසා. එ දාම පඩි ලැබුන. අපි එහෙම සටන් කරපු නිසයි එ දා ම පඩිය හැදුවෙ.” කම්කරුවෙක් පැවසීය. 

51 වැනි වියේ පසුවන අන්නලෙච්මී මෙසේ පැවසුවාය:  “මේ දවස්වල වත්තෙ දලු නැහැ. කිලෝ 18 ක් ඉල්ලනවා. නැත්තං දවස් බාගෙට නම දානව කියනවා. කිලෝ 7 ක් 8 ක් තමයි කඩන්න පුලුවන්. පෑවිල්ලට දලු නෑ. වත්තට හරියට සාත්තු කරන්නෙ නැතුව දලු ඉල්ලනව. දැන් සුමානෙට දවස් 4 යි වැඩ දෙන්නෙ. ඉස්සර මේ වතු හොඳට තිබුනා. ඒ කාලෙ දලුත් තිබුන. වෙනද මාර්තු 10 වෙනිදට බෝනස් එකත් දෙනවා. මේ සැරේ ඒක නැහැ. කොම්පැනිය සල්ලි දාල නැහැ ලු. ”

පසු ගිය වසරේ පැන නැගි වැටුප් අරගලය ගැන විමසද්දී ඇය කීවේ “රුපියල් 1000 දෙන්න නම්, ගැහැනු අය දලු කිලෝ 22ක් කැඩිය යුතු  බවත්, පිරිමි අය පැය අටක් වැඩ කල යුතු බවත් වත්තෙන් අපිට කිව්ව. පඩි වැඩි කලොත් වැඩ වැඩි කරන්න හදන්නෙ.”

“වත්තෙ ඩිස්පෙන්සරියට දොස්තර කෙනෙක් නැහැ. බෙහෙත් දෙන්නෙ වෙල්ෆෙයා ඔෆිසර්. අපිට මොන ප‍්‍රශ්නෙ ආවත් යුනියන් ඒව විසඳන්නෙ නැති බව දැන් තේරෙනවා.”

වතු කම්කරුවන් තමා මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි වලට එරෙහිව නැවත නැවතත් අරගලවලට පිවිසිය ද, සමිති නායකයෝ ඒවා පාවා දෙති. ධනපති ආන්ඩුවල සහ සමාගම්වල උපකරන ලෙස ක්‍රියාත්මක වන මෙම සමිතිවලින් පිටස්තරව, තම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් කරන්නේ කෙසේදැයි  ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන් සමග සාකච්ඡා කලහ. 

වතු සමාගම්, වැටුප් ක්‍රමය අහෝසි කෙරුනු ශ්‍රම වහල් ක්‍රමයක්, එනම් තේ පඳුරුවල නඩත්තුව සහ දලු නෙලීම කම්කරු පවුල් වලට පවරා, සමාගම සහ පවුල් අතර “ආදායම් බෙදා ගැනීමේ” ක්‍ර‍මයක් ස්ථාපිත කිරීමට වලිකන බව වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. මෙම සුරා කෑම ගෝලීය ක්‍රියාවලියක් වන බැවින්, එයට  එරෙහිව කම්කරුවන්ට සටන් කල හැක්කේ ජාත්‍යන්තරව සංවිධානය වෙමින් සමාජවාදය සඳහා සටන් කිරීමෙන් පමනක් බව එහිදී පැහැදිලි කෙරුනි. 

මෙම වැඩපිලිවෙලට වෘත්තීය සමිති සපුරාම විරුද්ධ බැවින්, සමිති වලින් බිඳී වෙන්වී, තමාගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරනය විය. 

Loading