අතුරුදහන් වූවන් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ආන්ඩුවට කන්නලව්වක්

යුද සමයේ හා ඉන්පසු කාලයේ අතුරුදන්වූ 20,000 කට වැඩි පිරිසක් “සැබවින්ම මියගිය” බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි මාසයේ කල ප්‍රකාශයට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) දක්වා ඇති ප්‍රතිචාරයෙන්  එම පක්ෂයේ ධනේශ්වර ගැති ස්වභාවය තවත් පැතිකඩකින් එලිමහනට ගෙනවිත් තිබේ.  

පුවත්පත් සාකච්චාවක් කැඳවූ පෙසප ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මෙසේ චෝදනා කරයි. "රජය විසින් වගකිව යුතු සිදුවීම් ගනනාවක් තිබෙන නමුත් එවකට ජනාධිපතිවරයා හා ආරක්ෂක ඇමති ලෙස වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ එවකට ආරක්ෂක ලේකම් ලෙස වත්මන් ජනාධිපතිවරයා තම වගකීමෙන් කිසිවක් ප්‍රකාශකර නැත." 

ආන්ඩුවේ නායකයන් තම වගකීමෙන් ඉවත්වීමක් පිලිබඳව චෝදනා මුඛයෙන් ආඩපාලි කියන ජයගොඩ, යුද්ධය මෙහෙයවූ ධනේශ්වර පාලනය තුලම අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳා ගත හැකිය යන මිත්‍යාවේ කම්කරු පීඩිත මහජනතාව සිර කිරීමට යත්න දරයි. 

ආරක්ෂක අංශ භාරයේ සිටි බවට සාක්ෂි ඇති පුද්ගලයන් මියගියවුන් ලෙස නිගමනයට එලඹෙන්නේ කෙසේ ද, අත්අඩංගුවට පත්වූවන් අතුරුදන් වීමට අදාල පරික්ෂන කර ඇත් ද එසේ කල පරික්ෂන අනුව, එම අතුරුදන්වීම් පිලිබඳ සහ එම මරනයන් සිදු වූ ආකාරයත් එයට වගකිවයුතු කවුරුන්ද ආදී ප්‍රශ්න නගන ජයගොඩ මේ සියල්ල සම්බන්ධයෙන් “ඔවුන්ගේ ඥාතීන්ට කරුනු හෙලිකරන්නට රජයට වගකීමක්තිබෙන” බව කියා සිටී. 

රජය වග කිව යුතුයයි ද පරීක්ෂන පැවැත්විය යුතු යයි ද පුනරුච්චාරනය කරන ජයගොඩ හිතාමතාම මගහරින ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වී වසර 10 ට පසු අතුරුදහන් වූ සියලු දෙනා "සැබවින්ම මිය ගිහින්"යයි රාජපක්ෂ පිලිගන්නේ ඇයි ද ? යන්නයි. 

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ බරපතල උද්ඝෝෂන මෙන්ම දකුනු ප්‍රදේශවල දේශපාලන විරුද්ධවාදීන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කල ඝාතන, පැහැරගෙන යෑම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධ විරුද්ධත්වය යලි ඉස්මතු වී එන තත්වය තුල රාජපක්ෂ මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, එම අපරාධ සම්බන්ධව  මිලිටරියට එරෙහි සියලු චෝදනා වලලා දැමීමටයි. 

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන කාලයේදී ආරක්ෂක ලේකම්වරයා වූයේ රාජපක්ෂ යි. ඔහුගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති මෙන්ම, ආරක්ෂක ඇමති සහ ත්‍රිවිධ හමුදාවේ අන දෙන නිලධාරියා වූ අතර මෙම කාල පරිච්ඡේදයේ දී සිදුකෙරුනු ඝාතන හා අතුරුදහන්වීම් සම්බන්ධව මිලිටරියේ මුදුන් හා මොවුන් වගකිව යුතුබවට චෝදනා නැගී ඇත. 

රාජපක්ෂ බලයට ආවේ එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරමිනි. තමා බලයට පැමිනි වහාම එලෙස චෝදනා නැගී නඩු විමසීමට ලක්ව සිටින නිලධාරීන්  නිදහස් කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. දැන් ඔහුගේ පාලනය යටතේ එය සිදුවෙමින් තිබේ. වර්ගවාදී සූත්‍රය නම් , "රන විරුවන්" එබඳු චෝදනාවලට ලක් නොවිය යුතුය යන්නයි. අතුරුදහන් වූවන් සම්බන්ධව රාජපක්ෂගේ ප්‍රකාශ එහි කොටසකි. 

මෙම වැඩපිලිවෙල විසකුරු න්‍යාය පත්‍රයක කොටසකි. රාජපක්ෂ සිය පාලනය ගෙනයාම සඳහා මිලිටරිය හා සිංහල බෞද්ධ වර්ගවාදී කන්ඩායම් මත මුලුමනින්ම පාහේ වාරුවී සිටින්නේ කම්කරුවන් හා දුගීන් ගේ අරගල මතට කඩා පැනීමට සූදානමෙනි. 

ජනාධිපති රාජපක්ෂ බලයට පැමින සිටින්නේ ජීවන හා සමාජ කොන්දේසි මත හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත අනුප්‍රාප්තික ආන්ඩු විසින් එල්ලකල ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල පැනනැගීම නිසා ඔද්දල්වූ බරපතල දේශපාලන අර්බුදයක් මධ්‍යයේ යි.  නය කඳු ගැසීම ඇතුලුව ගැඹුරුවන ආර්ථික ප්‍රශ්න  වලට මුහුන පා සිටින ඔහුගේ ආන්ඩුව එහි බර මහජනතාව මත පැටවීම සමාජ පිපිරීම් ඇතිකිරීමට තුඩුදෙන බව දනී. 

අතුරුදහන්වූවන් පිලිබඳ ආන්ඩුවට කන්නලව් කිරීමේ ජයගොඩගේ හා පෙසපෙ හි මැදිහත්වීම තව ඉදිරියට යයි. සිරිසේන-වික්‍රමසිංහ ඇටවූ ඊනියා යහපාලන ආන්ඩුවේ පාර්ලිමේන්තුව මගින් පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිලිබද කාර්යාලය “පාර්ලිමේන්තු පනතකින් සම්මත කොට, මහජන බදු මුදලින් පවත්වාගෙන යන ආයතනයක්ය” යි පවසන ජයගොඩ, එතුලින් කෙරෙන පරීක්ෂන මගින් විසඳුම් ලැබිය යුතුයයි කියා සිටී. 

පෙබරවාරි 7 දින අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය වෙත භාරදුන් ජයගොඩගේ අත්සනින් යුත් ලිපියක මෙසේ සදහන් කරයි. "මේ සියලූ අතුරුදන් කිරීම් සඳහා යුක්තිය ඉටු කලයුතු අතර ඒ සඳහා වන ප‍්‍රථම පියවර වන්නේ එම අතුරුදන් කිරීම් පිලිබඳ විධිමත් විමර්ශන සිදුකොට ඔවුන් සම්බන්ධයෙන් සත්‍යය හෙලිකිරීමයි.” 

ඔහු එම ලිපිය ඉදිරිපත් කලේ පෙසප සාමාජිකයන් දෙදෙනෙකුවූ ලලිත් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් අතුරුදහන් කිරීම පිලිබඳව  චෝදනා යලි සඳහන්  කරමිනි. මෙම තරුනයින්  දෙදෙනා 2011 දී යාපනයේදී අතුරුදහන් කෙරුනි.   මිලිටරිය වාඩිලා ගත් ප්‍රදේශයක  එම අපරාධය සිදුකල හැකිව තිබුනේ, අඩුම ගනනේ, එහි අනුදැනුම ඇතිවය. 

2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ආවේ, චීනය වෙත නැඹුරුවී සිටි රාජපක්ෂ තන්ත්‍රය එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාවේ ආධාර ඇතිව සිදුකල තන්ත්‍ර මාරු මෙහෙයුමකිනි. සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවන ලද්දේ 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ ප්‍රධාන නිර්දේශයකට අනුව ය. 

එම එජා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මුලිකවම යුද අපරාධ පිලිබඳව නැගී ඇති චෝදනා යට ගැසීමට සම්මත කෙරුනු එකකි. එම පනතට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා කිසිදු සම්බන්ධයක් තිබුනේ නැත. 

පෙසප මේ සියලු ජාත්‍යන්තර භූ-දේශපාලනික කාරනා මහජනයාගෙන් වසන් කර ලංකාවේ පාලක පන්තිය අධිරාජ්‍යවාදය සමග පවත්නා සම්බන්ධයත්, යුද අපරාධ සම්බන්ධ අධිරාජ්‍යවාදයේ වගකීම ද යට ගසයි. 

තවද මෙම කාර්යාලයට හිමි බලතල “අතුරුදහන් වූවන් සෙවීම සහ ඒ සඳහා සුදුසු යාන්ත්‍රන හඳුනා ගැනීම” සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා  අදාල බලධාරීන්ට නිර්දේශ කිරීම යනාදී සීමා සහිත ඒවා විය. පාර්ලිමේන්තු විවාදයක දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙම කාර්යාලයට ප්‍ර‍‍ධාන බලතල නොමැති බවට මෙසේ සහතික කලේය. “මෙම කාර්යාලයේ වගකීම වන්නේ අතුරුදහන් වූවන් සොයා සහතිකයක් නිකුත් කිරීමයි. [මෙම කාර්යාලයට] වෙනත් බලයක් නැත.”

මෙම කාර්යාලය පිහිටුවීම දිග්ගැසීම මගින්මත් පෙන්නුම් කෙරුනේ එය කිසිසේත්ම අතුරුදහන්වූවන් පිලිබද තොරතුරු සෙවීමේ හෝ දඩුවම් කිරීමේ අව්‍යාජ අවශ්‍යතාවයක් මත ඇති කල එකක් නොවන බවය. අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත 2016 මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර බොහෝ අභ්‍යන්තර මතභේදයන්ගෙන් පසුව 2016 අගෝස්තු මාසයේදී සම්මත විය. තවත් මාස 10 කට පසුව, සිංහල ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් යෝජනා කරන ලද සංශෝධනයක් සමඟ පනත් කෙටුම්පත 2017 ජුනි මාසයේදී සම්මත වූ අතර පසුව ජූලි 20 වන දින සිරිසේනගේ අනුමැතිය ලැබිනි. එහි රාජකාරි ආරම්භ කරනු ලැබූයේ 2018 මාර්තු 13 දිනය.

2018 මාර්තු මාසයේ සිට මෙම කාර්යාලය ඊට හිමිව ඇති බලතල අනුව අතුරුදහන් වූවන් ලැයිස්තු ගතකිරීමේ යෙදී ඇත. ලැයිස්තුවලට අනතුරුව උතුරේ හෝ දකුනේ අතුරුදහන්වූ පුද්ගලයන් පිලිබද කිසිදු තොරතුරක් අනාවරනයවී නොමැත. 

2020 පෙබරවාරි 7 දින මෙම කාර්යාලයේ මුහුනු පොතේ පල කර ඇති වාර්තාවක සදහන් වන පරිදි මෙම දත්ත පවුලේ සාමාජිකයන්ගෙන් සහ දිස්ත්‍රික් ඒකාබද්ධ හා ප්‍රතිසංවිධාන අමාත්‍යාංශයෙන් ලැබුනු තොරතුරු,  ක්‍රියාන්විතයේ නියැලී සිටියදී අතුරුදහන්වූවන් පිලිබදව ත්‍රිවිධ හමුදාව විසින් සපයන ලද දත්ත අනුව සකස්වී ඇත.

මේ සියල්ල තිබියදී, අතුරුදහන්වූවන් පිලිබදව "විධිමත් විමර්ශනයක්" පවත්වා සත්‍යය හෙලිදරව් කිරීමට පිලිබඳව පිහිටුවා ඇති  කාර්යාලයට  හැකියයි විශ්වාසය තැබීමට යොමුකරමින් විපතට පත්වූවන්ගේ නෑදෑයින්, හිතවතුන් හා පොදුවේ කම්කරු-පීඩිත මහජනයා   නොමග යැවීමට පෙසප ක්‍රියා කරයි.  එය තහවුරු කිරීම සඳහා "පාර්ලිමේන්තුව පනතකින් මෙම කාර්යාලය පිටුවා ඇති නිසා" තොරතුරු සෙවීමේ වගකීම එම කාර්යාලය දැරිය යුතු බව පෙසප කියා සිටී. 

කම්කරු පන්තිය බෙදා පාලනය කිරීම සඳහා විසකුරු දෙමල-විරෝධී  වර්ගවාදය ඇවිලවීම 1983 දී යුද්ධයක් දක්වා ඉදිරියට ගෙන ගිය ධනපති පාලක පන්තිය තමන් එහිදී සිදුකල අතුරුදහන් කිරීම් ඇතුලු මහා අපරාධ හෙලිකරනු  නැත. මේ පාලකයන්ම දකුනු  පලාත්වල 1987-1990 එවන් අපරාධ සිදුකල බව කවුරුත් දනිති. 

ජවිපෙ සිදුකල අපරාධ මෙන්ම එවක ආන්ඩුව සිදුකල අපරාධ වැසීමට ජවිපෙ හා පෙසප "විරු සමරු" උත්සව පවත්වති. 60,000 ක් තරුනයන්  හා ජවිපෙ නායකයන් මරා දැමූ රාජ්‍ය භීෂන  හෙලිදරවු කිරීමට ජවිපෙ හා පෙසප නායකයන් මොනම උනන්දුවක් වක වත් නැත්තේ නිකමට නොවේ. ධනපති පන්ති පාලනයට මෙම පක්ෂවල පවතින ගැතිකම නිසාය. 

පෙසප 2015 දී “රාජපක්ෂගේ ඒකාධිපතීත්වයට එරෙහිව“ යහපාලනය බලයට ගෙන ඒමට වක්‍රව පිටුබලය දුන්නේය. පසුගිය වසර කිහිපය තුල පැනනැගුනු කම්කරුවන්ගේ අරගල හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂන, වෘත්තීය සමිති, මධ්‍යම පන්තික සංවිධාන හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි තවත් ව්‍යාජ-වාම පක්ෂ සමග ඒකාබද්ධ කොට ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා කොටුකිරීමට පෙසප වැඩ කලේය. සිරිසේන-වික්‍රමසිංහ පාලනය බරපතල අපකීර්තියකට පත්වී වැටෙන තත්වයේ දී මෙම ද්‍රෝහි ක්‍රියාකලාපය, මිලිටරිය හා සිංහල ස්වෝතමවාදය කරපින්නාගත් රාජපක්ෂට බලයට පැමිනීමට කොන්දේසි සකසා දුනි. 

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට හා දැන් ආන්ඩු යටතේ පවතින කාර්යාල මගින් ප්‍රජාතන්ත්‍ර අයීතීන් ආරක්ෂා කරමින් අතුරුදහන් වූවන්ගේ සියලු තොරතුරු හෙලිකල හැකිය යන මායාව පැතිරවීම, රාජපක්ෂ ආන්ඩුවට දෙන සහනයකි. 

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටින්නේ අතුරුදහන් කිරීම් සහ ඝාතනවලට වගකිවයුත්තන් ඔවුන්ගේ තනතුරු නොසලකා අත්අඩංගුවට  ගෙන නඩු පැවරිය යුතු බවයි.

යුද අපරාධවලට වගකිව යුතු ආන්ඩුවේ හා මිලිටරියේ අයවලුන්ට එරෙහිව නඩු පැවරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කල හැක්කේ අධිරාජ්‍යවාදයටත්, එහි කොටසක් වන ලංකාවේ ධනපති පන්තියටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ සිංහල හා දෙමල කම්කරු පන්තියේ එක්සත් අරගලයක් තුලින් පමනි. 

Loading