ආන්ඩුව උතුරු-නැගෙනහිර රාජ්‍ය මර්දනය තීව්‍ර කරයි

පසුගිය සතියේ සිට ආන්ඩුව දෙමල හා මුස්ලිම් ජනයා ජීවත් වන උතුරු-නැගෙනහිර පලාත්  තුල ආරක්ෂක හමුදාවල මැදිහත්වීම තීව්‍ර කර ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව, ආන්ඩුව ඒ සදහා හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු  මැතිවරනය සමයේ "පිටතින් පැමිනෙන පුද්ගලයන් විසින් ප්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීම" සහ "ප්‍රමුඛ  පෙලේ දෙමල දේශපාලන නායකයෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් එලිදරව්වීම" ය. 

මෙම ඝාතන සැලස්මට සම්බන්ධ බවට සැකපිට  පුද්ගලයන් හය දෙනෙකු  මාර්තු 5 වෙනිදා අඩංගුවට ගත්  බවත් ඔවුන් සන්තකයෙහි තිබී "සමරහර නවීන පනිවුඩ උපකරන සහ පුපුරන ද්‍ර‍ව්‍ය විශාල ප්‍රමානයක්" සොයා ගත් බවත් පොලිස් ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව (ටීඅයිඩී) නිවේදනය කර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන්  මැලේසියාවේ සහ ඉන්දියාවේ දී පුපුරන ද්‍රව්‍ය භාවිතය පිලිබඳ ව විශේෂ පුහුනුවක් ලද  බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ  (එල්ටිටිඊ) හිටපු නායකයන් බවත් නම සඳහන් නොකල බුද්ධි අංශ නිලධාරීන් විසින් පවසා  ඇත.

කලින් අත්අඩංගුවට ගනු ලැබූ ජර්මන් විදේශ ගමන් බලපත්‍රයක් සහිත පුද්ගලයෙකුගෙන් ලද තොරතුරුවලට අනුව මිලිටරි බුද්ධි අංශ සහ ටීඅයිඩී  එකාබද්ධව කල වටලෑමක දී. මෙම අත්අඩංගුවට  ගැනීම  සිදු කෙරුන බව සඳහන් වෙයි. නමුත්  අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් හෝ පදිංචිය පිලිබඳ කිසිදු විස්තරයක් හෙලිදරව් කර නැත.

වාර්ගික යුද්ධය පැවති අවධිය තුල දෙමල ජනයාට එරෙහිව කුමන්ත්‍රන සැලසුම් කිරීම, අත්අඩංගුවට ගෙන රඳවා තැබීම සහ නීතිවිරෝධී ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ පොලීසිය කුප්‍රකටය. මෙම අත්අඩංගුවට ගැනීම්, දෙමල හා මුස්ලිම් ජනයාට විරුද්ධව වර්ගවාදී උත්සන්නියක් ඇවිස්සීමේ සහ උතුරු නැගෙනහිර මෙන් ම දකුනේ දී ද ආරක්ෂක හමුදාවන් වීදිවලට කැඳවීමට පසුබිම සකසන මහජන මනෝගතියක් නිර්මානය කිරීමේ ප්‍රයත්නයක කොටසක් වීමට හොඳටම ඉඩ තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පසුව උතුරු-නැගෙනහිර පොලිස් හා  හමුදා මුරපොලවල්  සහ මාර්ග බාධක පිහිටුවමින් යුද්ධ කාල පරිච්චේදය තුල මෙන් A9 මාර්ගයේ ගමන් ගන්නා "සැකකටයුතු" වාහන පරීක්ෂාව ආරම්භකර ඇත.

යාපනයේ වඩමාරච්චි  ප්‍රදේශයේ කේවිල් හි පදිංචි   සිවුදරු පියෙකු වන උදයසිවම්  නැමැත්තෙකු ද මාර්තු 4 වෙනිදා  අත්අඩංගුවට ගෙන ඇත. ටැමිල්නෙට් වාර්තාවකට අනුව ඔහු ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන්ගේ හා පොලීසියේ අනුග්‍රහය ඇතිව කෙරුනු ගස් කැපීම සහ වැලි ගොඩ දැමීම ඇතුලු පරිසර විනාශකාරී ක්‍රියාවන්ට එරෙහිව උද්ඝෝෂනයේ ප්‍රමුඛයෙකු වන අතර මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සම්බන්ධව පොලීසියට සහ බුද්ධි අංශවලට ඔත්තු සැපයුවෙකි. 

කෙසේ නමුත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ගස් කැපීම සහ වැලි ගොඩ දැමීම් වලට සම්බන්ධ පොලිස් නිලධාරියෙකුගේ ඡායාරුපයක්  මාධ්‍යවලට මුදා හැරීමෙන් පසුවය.

අත්අඩංගුවට ගැනීම්  නිමිත්තක් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආන්ඩුව හා ආරක්ෂක හමුදා විසින් උතුරු-නැගෙනහිර පලාත්වල රාජ්‍ය මර්දනය තීව්‍ර කරනු ලැබ ඇත. එය සමස්ත දිවයින ම රුදුරු ආඥාදායක පාලනයකට යටත් කිරීම සඳහා ගෙන යන නරුම උද්ඝෝෂනයක  සහ සැලසුම්වල කොටසකි. 

මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වර්ධනය වෙමින් පැවති මහජන වෛරය ගසාකමින් රාජපක්ෂ ආන්ඩුව බලය ආ නමුත් එය බලය ගත්තේ කම්කරුවන්ගේ  පන්ති සටන් සහ ගම්බද හා නාගරික දුගීන්, රැකියා විරහිත තරුනයන්, ශිෂ්‍යයන්, විශ්‍රාමිකයන්  සමාජ අරගල වර්ධනය වන කොන්දේසි තුලය. 

බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුන දෙමල ජනයා පිලිබඳ  සත්‍යම තොරතුරු එලිදරව් කරන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ  ඥාතීහු දෙවසරකට අධික කාලයක් එක දිගට උද්ඝෝෂනවල නිරතව සිටිති. යුද්ධය අවසන් වී දශකයකට වැඩි කාලයක් ගත වී ඇතත් උතුරු නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම දිගටම  පැවතීම , යුද්ධ කාලපරිච්චේදය තුල  හමුදාව විසින් බලහත්කාරයෙන් පවරා ගන්නා ලද ඉඩම්වලින් සැලකිය යුතු කොටසක්  තවමත් නිදහස් නොකිරීම, අතුරුදහන් වුවන් පිලිබඳ නිසි තොරතුරු එලිදරව් නොකිරීම ඇතුලු ඔවුන්ගේ මූලික ප්‍ර‍‍ශ්න තවමත් නොවිසදී පැවතීම නිසා  ආන්ඩුව කෙරෙහි මෙන් ම දෙමල ජාතික සන්ධානය (ටිඑන්එල්) ඇතුලු දෙමල ධනපති පක්ෂ ගැන දෙමල ජනතාව තුල ඇත්තේ ගැඹුරු කෝපයකි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි මහජන විරුද්ධත්වය ගසාකෑම පිනිස ජනාධිපතිවරනය තුල දී කප්පරක් බොරු පොරොන්දු දුන් නමුත්,  ගෝලීය ධනවාදය දැවැන්ත  අර්බුදයක් කරා රූටා යාමේ කොටසක් ලෙස  රාජපක්ෂ පාලන තන්ත්‍ර‍ය මුහුන දී සිටින්නේ  ගැඹුරුවන ආර්ථික දේශපාලන අර්බුදයකට ය. 

ආන්ඩුව බලයට පත් වී දෙසතියක් ඉක්ම යාමටත් පෙර වැටුප් කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් තුලින් පැන නැගුන අරගලයත් සමග රැකියා සහ ජීවනතත්වයන් ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව රාජ්‍ය  සහ පුද්ගලික අංශයන්හි කම්කරුවන්ගේ පන්ති සටන් සහ පීඩිත ජනයාගේ සමාජ අරගල නව ජවයකින් පුපුරා  ඒම ආරම්භ වී තිබේ. ආන්ඩුවේ සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් ගේ වර්ගවාදී හඬ තැලීම් තිබියදීම මෙම අරගල  තුලදී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ප්‍රබල එකමුතුවක් ප්‍රකාශයට පත් වී ඇත.

රාජ්‍යය තන්ත්‍ර‍ය මිලිටරිකරනය කිරීම සහ ජනාධිපති අතේ අසීමිත විධායක බලතල ගොනු කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රාජපක්ෂ ආන්ඩුව තප්පුලන්නේ හා ඒ සඳහා  පාර්ලිමේන්තු මැතිවරනයේ දී තුනෙන් දෙකක බහුතර බලයක් දිනා ගැනීම සඳහා වලි කන්නේ ද  එවන් තත්වයක් තුලය. එහි එල්ලය ආන්ඩුවේ පිලිවෙත් කෙරෙහි වැඩෙන විරුද්ධත්වය, විශේෂයෙන් ම කම්කරු පන්තියේ අරගල තලා දැමීමය.  

සමාජ මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ සංසදයේ මෑත දී පැවති රැස්වීමක දී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න විසින් කරන ලද ප්‍රකාශය තුලින් එය වඩාත් සනාත කෙරී ඇත.

“රැඩිකලීකරනය, ත්‍රස්තවාදය යලි හිස එසවීම, බෙදුම්වාදය, ආගමික අන්තවාදය, සංවිධිත අපරාධ, මත්ද්‍ර‍ව්‍ය ජාවාරම හා වැඩ වර්ජන වැනි අභ්‍යන්තර කැලඹීම්” ආන්ඩුවේ ප්‍රධාන අභියෝග වන බව ඔහු එහි දී පැවසී ය. දෙමල හා මුස්ලිම් ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳ පවතින නරුම ආකල්පය සහ ඒවා පාගා මැඩලීමට පවතින සුදානම පෙන්නුම්කරමින් “ප්‍රජාතන්ත්‍ර වාදය හා සංහිඳියාව ආරක්ෂා කිරීමේ නාමයෙන් ජාතික ආරක්ෂාව පරදුවට තැබීමට”  ආන්ඩුව ඉඩ නො දෙන බව වෙනත් අවස්ථාවක දී ගුනරත්න  සඳහන් කර ඇත. 

Loading