ශ්‍රී ලංකාවේ සසප සජීවීව විකාශය වන අන්තර්ජාල රැස්වීමකින් මැතිවරන උද්ඝෝෂනය අරඹයි

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) එලඹෙන මහමැතිවරනය සඳහා සිය උද්ඝෝෂනය දියත්කරමින්, මාර්තු 22 ඉරිදා ලංකාවේ වෙලාවෙන් ප.ව 3ට ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ රැස්වීමක් සජීවීව පවත්වනු ඇත. කොලඹ මහජන පුස්තකාලයේදී 21 වනදා පැවැත්වෙන බවට කලින් නිවේදනය කර තිබූ ප්‍රසිද්ධ රැස්වීම, කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් අවලංගු කරන ලදී.

සසප අප්‍රේල් 25වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරනය සඳහා කොලඹ, යාපනය සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක තුනෙන් අපේක්ෂකයන් 43ක් ඉදිරිපත් කරයි. ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය උදෙසා අරගලයට තමන්ගේ ජීවිත කැපකර සිටින පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් වන විලානි පීරිස්, පී. සම්බන්ධන් සහ එම්. දේවරාජා විසින් අපේක්ෂක කන්ඩායම් වලට නායකත්වය දෙනු ලබයි.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ, පාලක පක්ෂය වන තමන්ගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට (ශ්‍රීලපොජපෙ) වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමේ අරමුනෙන් මැතිවරනය ප්‍රකාශයට පත්කර ඇත. ඔහුගේ උත්සුකය වනුයේ තමන් විසින් ක්‍රියාවට දමන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අන කෙරුනු කප්පාදු පියවරයන්ට කම්කරුවන්ගෙන් සහ ගම්බද දුගීන්ගෙන් එල්ල වන මහජන විරෝධය තලා දැමීම සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ජනාධිපති ආඥාදායකත්වයක් පිහිටුවීමයි.   

විරුද්ධ පක්ෂ ලෙස ඉදිරිපත් වී ඇත්තා වූ එක්සත් ජාතික පක්ෂය, ඉන් බිඳී ගිය කන්ඩායම වන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන, රාජපක්ෂගේ ඒකාධිපති සැලසුම් වලින් වෙනස් නොවන අතර ඔහු හා වැඩ කිරීමට සූදානම ප්‍රකාශ කර ඇත. දෙමල ජාතික සන්ධානය සහ අනෙකුත් දෙමල ධනපති පක්ෂ වලට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන ගනන වැඩිකර ගැනීම සහ කොලඹ දේශපාලන සංස්ථාපිතය සමඟ පවත්වාගන්නා ඇමරිකාවේ සහ එහි කලාපීය සගයා වන ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතා වලට තල්ලුව දෙන අන්දමේ ගනුදෙනුවකින් තමන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමයි.    

නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී ව්‍යාජ වාම සංවිධාන, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව පැත්තෙන් තීව්‍ර කෙරෙන අඥාදායක පියවරයන්ට එරෙහිව කම්කරු පන්තියේ කවර හෝ ආකාරයක ස්වාධීන බලමුලුගැන්වීමක් වලකාලීම සඳහා වෙහෙස නොබලා වැඩ කරමින් සිටිති.   

මේ සියලු පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ගැඹුරු වන සමාජ අසමානතාවයට, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ආඥාදායකත්වය එරෙහිව සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම උදෙසා සසප සටන්කරමින් සිටියි. කම්කරු පන්තියේ සහ පීඩිත මහජනතාවන්ගේ අතිමූලික සමාජ අවශ්‍යතා සපුරාලීමට ධනපති ක්‍රමයට ඇති නොහැකියාව විවෘතවම ප්‍රදර්ශනය කෙරෙන්නේ ලොව පුරා කොරෝනා වෛරස් වසංගතය පැතිරීයාමෙන් අවුලුවා ඇති ආර්ථික සහ සමාජ අර්බුදය තුලයි.

මේ ඉරිදා සවස අන්තර්ජාල රැස්වීම පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ ප්‍රධාන අපේක්ෂකයන් ඇතුලු පක්ෂයේ කථිකයන් විසින් ආමන්ත්‍රනය කෙරෙන අතර එය, ශ්‍රී ලංකාවේ සසප ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කරනු ලැබේ. සසප කථිකයෝ  ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සහ පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනය පදනම් වනුයේ කවර ඉදිරිදර්ශනයක් මතදැයි පැහැදිලි කරනු ඇත.

මෙම තීරනාත්මක රැස්වීමට සම්බන්ධ වන්නැයි කම්කරුවන්ට, තරුනයින්ට බුද්ධිමතුන්ට සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට අපි අරාධනා කරමු. 

Loading