ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතයට පාලක ප්‍රභූවේ ප්‍රතිචාරය දුෂ්ඨ නොතකා හැරීමකි

මෙම ලිපිය 2020 මාර්තු 14 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලකෙරින.

ජෝන්ස් හොප්කින්ස් කොරෝනා වෛරස් ට්‍රැකර් විසින් ලොව පුරා අලුතෙන් රෝගීන් 16,000 ක් වාර්තා කිරීමත් සමඟින්, මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වන වසංගතයට අවම ප්‍රතිචාර දැක්වීම සඳහා ලොව පුරා ආන්ඩු, හිතාමතාම තීරන ගනිමින් සිටී. 

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය ඊයේ නව අදියරකට එලඹුනි . ඉතාලියේදී 13දා තවත් 250 ක් මිය ගිය අතර නව රෝගීන් 2,547 ක් වාර්තා විය. ස්පාඤ්ඤයේ අලුත් රෝගීන් 2.086 වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව දෙගුන විය. එක්සත් ජනපදයේ නව රෝගීන් 572 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගන්නා ලද අතර මරන 9 ක් වාර්තා විය.

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය සිකුරාදා, අභ්යන්තර සීඩීසී වාර්තාවක් පලකරමින්, වෛරසය පැතිරීමේ විවිධ අවස්ථාවන් ගෙනහැර දක්වා ඇත.  " එක්සත් ජනපදයේ මිලියන 160 ක් සහ 214 අතර සංඛ්‍යාවකට වසංගත වෛරසය ආසාදනය විය හැකි" බව එයින් නිගමනය කරයි. එහි ප්‍රතිපල වශයෙන‍් “200,000 සිට මිලියන 1.7 දක්වා මිනිසුන් මිය යා හැකිය. එක්සත් ජනපදයේ මිලියන  2.4  සිට 21 ක ජනතාව රෝහල් ගතකිරීමට සිදුවිය හැකි අතර, සාත්තු කල හැකි රෝහල් ඇඳන් 925.000 ක් පමනක් තිබෙන තත්වය තුල ජාතික සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටිය හැක.“  

මෙම නැගී එන ව්‍යසනය හමුවේ, තත්වයේ බරපතලකම සහ ලෝක ආන්ඩුවල ප්‍රතිචාරය අතර විශාල පරතරයක් පවතී.

මතුපිටින් ගත් කල මෙම ප්‍රතිචාරය, අවුල් සහගත, අසංවිධිත හා එහෙන් මෙහෙන් ඇහිඳගත් එකකි. මේ සියල්ල සත්‍ය ය. නමුත් මෙම ව්‍යාකූලතාවයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් මතුවී ඇති අතර එය දුෂ්ඨ නොසලකා හැරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. එනම්, වෛරසය පැතිරීම කෙරෙහි උදාසීන ආකල්පයක් අනුගමනය කිරීම සඳහා ආන්ඩු, ඔවුන්ගේ ප්‍රතිචාරය අවම කිරීමට,  හිතාමතා තීරනය කරමින් සිටී.

1960 ගනන් අග දී, එක්සත් ජනපදය පුරා මහා වැඩ වර්ජන, නාගරික කැරලි සහ යුද විරෝධී විරෝධතා පැතිර යද්දී, ජනාධිපති රිචඩ් නික්සන්ගේ දක්ෂිනාංශික උපදේශක ඩැනියෙල් පැට්රික් මොඉනිහන් යෝජනා කලේ,  ඇමරිකානු නාඟරිකයන් "කාරුනිකව නොතකා හැරීම " පිලිබඳ ප්‍රතිපත්තියකි. මෙය කම්කරු පන්ති අරගල මධ්‍යස්ථාන වියැකී යාම දිරිගන්වනු ඇතැයි බලාපොරොත්තුවෙන්, දැවැන්ත සමාජ කැලඹීමේ හේතු නොතකා හැරීමේ පිලිවෙතකි. 

  දැවැන්ත පරිමානයකින් සම්බන්ධීකරනය කල ආන්ඩුවේ මැදිහත්වීමක් හරහා පමනක් පාලනය කලහැකි වන කොරෝනා වසංගතය පිලිබඳ මුලුමනින්ම නිෂ්ක්‍රීය ඔවුන්ගේ ප්‍රතිචාරය තුලින් ආන්ඩු, තම “දුෂ්ඨ නොතකාහැරීම“ පිලිබඳ ප්‍රතිපත්තිය, දුෂ්ටම යමක් තුලට ගෙනගොස් ඇත. 

මේ සතියේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පැවසුවේ, ජර්මානු ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බවයි. එහි අර්ථය,  ලක්ෂ සංඛ්‍යාත හෝ මිලියන ගනනක්  මරුමුවට පත්වීමයි. 12දා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කලේ, “මම බ්‍රිතාන්‍ය ජනතාව සමඟ පෙලගැසිය යුතුයි: තවත් බොහෝ පවුල්වලට ඔවුන්ගේ  ආදරනීයන් අහිමි වනු ඇත.”

බ්‍රිතාන්‍යය හෝ ජර්මානු ආන්ඩුව  අර්බුදයට මුහුන දීම සඳහා  අමතර අරමුදල් විශාල පරිමානයකින් වෙන් කරන බවක් ප්‍රකාශයට පත් කලේ නැත. ඒ වෙනුවට, ජොන්සන්ගේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වොලන්ස් අවධාරනය කලේ, කොරෝනා  වෛරසය මහජනයාට ආසාදනය වීම වලක්වා ගැනීමට බ්‍රිතාන්‍ය ආන්ඩුව උත්සාහ නොකල යුතු බවයි: “සෑම කෙනෙකුටම එය ආසාදනය වීම නැවැත්විය නොහැකි අතර එය සුදුසු ද නොවේ.“

අවම වශයෙන් පාලක පන්තියේ සමහර සාමාජිකයන් කොරෝනා වෛරස්   මරන සාදරයෙන් පිලිගන්නා බවට සැකයක් නැත. බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් තීරු රචක ජෙරමි වෝනර් පාලක කවයන් තුල සාකච්ඡා කෙරෙන දේ විවෘතව ප්‍රකාශ කලේ, “කොවිඩ්-19 මඟින් වැඩිහිටි යැපෙන්නන් අසමානුපාතිකව තෝරා මැරීමට සැලැස්වීම දීර්ඝ කාලීනව සුලු වශයෙන් ප්‍රයෝජනවත් විය හැකි” බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මාර්තු 13 වන දින වොෂිංටන්හි ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේ කොරෝනා වෛරස් පිලිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි [ණය: ඒපී ඡායාරූපය / ඉවාන් වුචි]

නමුත් වඩාත්ම කුරිරු ප්‍රතිචාරය ලැබී ඇත්තේ එක්සත් ජනපදයෙන් ය. 13දා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී එරට විශාලතම බෙහෙත් හා සිල්ලර සමාගම් ගනනාවක විධායකයින් සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

 රෝගය පැතිරීම නැවැත්වීමට හෝ රෝගීන්ට ප්‍රතිකාර පුලුල් කිරීමට අමතර ක්‍රියාමාර්ග නොගන්නා බව ට්‍රම්ප් ප්‍රකාශ කලේය. ඒ වෙනුවට ඔහු පැවසුවේ, ආන්ඩුවේ සමස්ත  ප්‍රතිචාරයම පාහේ පෞද්ගලික සමාගම් වෙත යොමු කරන බවයි.

රෝග පාලන මධ්‍යස්ථාන විසින් පරීක්ෂා කරනු වෙනුවට, කොරෝනා වෛරස්  රෝග නිර්නය පලදායී ලෙස, ක්වෙස්ට් ඩයග්නොස්ටික්ස් සහ ලැබ්කෝර්ප් වැනි පුද්ගලික සමාගම් විසින් සිදු කරනු ඇත. රෝහල්වල හෝ පොදු මධ්‍යස්ථානවල ප්‍රතිකාර කිරීම වෙනුවට, ඒවා වොල්මාට්, ටාගට් සහ සීවීඑස් වැනි ප්‍රධාන සිල්ලර වෙලෙන්දන්ගේ වාහන අංඟන වල පවත්වනු ඇත. පරීක්ෂන සම්බන්ධීකරනය හා ඉල්ලීම සඳහා වෙබ් අඩවියක් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ඇත. ඒ ලාභ ලබන සමාගමක් වන ගූගල් විසිනි. ගූගල් පසුව පැහැදිලි කලේ එවැනි වෙබ් අඩවියක් නොමැති බවයි.

මෙම වසංගතය, ජාතික වීරයන් මෙන් පෙලපාලියක ගමන් කරන හා ඔහු සමඟ සිටින, ව්‍යාපාරික විධායකයින්ට ලාභ අවස්ථාවක් බව ට්‍රම්ප් පැහැදිලි කලේය.

ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ ලාභ උමතුව පවතින්නේ, මෙවන් ව්‍යසනයක් සිදුවිය හැකි දෙයක් බවට පත් කල, සමාජ සේවා ක්‍රමානුකූලව විනාශ කිරීම හා බංකොලොත් කිරීම පිටුපස ය. දශක ගනනාවක් තිස්සේ, මූල්‍ය කතිපයාධිකාරය අත වඩ වඩාත් ධනය සමුච්චය කිරීම යුක්ති සහගත කිරීම සඳහා භාවිතා කරන, සෑම සමාජ අවශ්‍යතාවක්ම “කොටස් හිමියන්ගේ වටිනාකමට” යටත් කර ඇත්තේ මෙම කතිපයාධිකාරීන් ය.

කෝටිපති විධායකයින් විසින් වටකරගෙන සිටින ට්‍රම්ප්, ව්‍යාපාරික ලෝකයේ ප්‍රතිමූර්තියක් ලෙස පෙනී සිටියේය. වෝල් වීදිය මුදලින් පිරවීම හැරුනු විට ඔහු ආන්ඩුවට ඇතැයි දකින එකම කාර්යභාරය, පොලිස් මර්දනය සඳහා යාන්ත්‍රනයක් ගොඩනැගීම සඳහා ජාතික හදිසි අවස්ථාව යොදා ගැනීමයි.

පාලක ප්‍රභූවට නම්,  වෛරස් වසංගතය කිසි විටෙකත් සෞඛ්‍ය ආරක්ෂනය පිලිබඳ අර්බුදයක් නොව, වෙලඳපල සිද්ධියකි. හැමවිටම ප්‍රමුඛ උත්සුකය වී ඇත්තේ,  මෙම රෝගය කොටස් මිල කෙරෙහි ඇති කරන බලපෑමයි.

2008 සහ 2009 දී මෙන්ම වෝල් වීදියට, දැවැන්ත මුදල් හා සමාජ සම්පත් සම්භාරයක් ලබා දී ඇත. ට්‍රම්ප්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ෆෙඩරල් මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන 1.5 ක ඇපකරයක් ලබාදෙන බව නිවේදනය කරන ලදී. එය ආරම්භයේදී  2008 බැංකු ඇපදීමේ ප්‍රමානයට වඩා දෙගුනයක් විශාල වන අතර 6දා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා ඇති හදිසි කොරොනා වෛරස් අරමුදල්වලට වඩා දහස් ගුනයකින් විශාලය. 

ට්‍රම්ප් වෝල් වීදියට ඉතා පැහැදිලි පනිවිඩයක් යවමින් සිටියේය: කොපමන පිරිසක් මිය ගියත් කමක් නැත, ජනගහනයට කුමන අපායක් තුල ජීවත් වීමට බල කෙරුනත් කමක් නැත: මගේ ආන්ඩුව ඔබේ ධනය ආරක්ෂා කරනු ඇත.

මූල්‍ය කතිපයාධිකාරය, ඔවුන්ගේ පෞද්ගලික “ආරක්ෂක සෞඛ්‍ය සේවය” සලසාගත හැකි හොඳම පහසුකම් වන ප්‍රතිවෛරස් ඖෂධ, ඔක්සිජන්කරනය සහ හදිසි වාතාශ්‍රය වැනි දේ ලබාගන්නා සැටි දනී. අධික  තදබදය සහිත රෝහල්වල වෛද්‍ය සේවකයින්ට, ජීවත් වන්නේ කවුද සහ කවුරුන් මිය යනු ඇත්ද යන්න පිලිබඳ හද කම්පාකරවන තීන්දු ගැනීමට බල කෙරෙද්දී පවා ඔවුන්ට හොඳම ප්‍රතිකාර ලැබෙනු ඇති බව එම පරපුටු මූල්‍ය කතිපයාධිකාරය දැන සිටිති. 

වෝල් වීදියට පනිවිඩය ලැබුනි. ට්‍රම්ප් කතා කිරීමට පටන් ගත් කාලය සහ වෙලඳපල වසා දැමීම අතර පැය භාගයේදී ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 1,400 කින් පමන ඉහල ගියේය. එය කොටස් වෙලඳපොල ඉතිහාසයේ විශාලතම දෛනික වැඩිවීමය.

පාලක පන්තියේ ප්‍රධාන භීතිය වන්නේ, කොරෝනා වෛරසයේ විනාශකාරී සෞඛ්‍ය ප්‍රතිවිපාක නොව, ඔවුන් ප්‍රචන්ඩත්වයෙන් හා මර්දනයෙන් ප්‍රතිචාර දක්වනු ඇති, නැඟී එන සමාජ විරෝධතාය. වසංගතය මධ්‍යයේ ඔවුන්ට වැඩ කිරීමට බල කෙරෙන බවට විරෝධය පල කරමින්, ඉතාලියේ කම්කරුවන් වැඩ වර්ජන හා පෙලපාලි දැක්වීම, කම්කරු පන්ති ප්‍රතිචාරයේ ආරම්භය පමනි.

ලොව පුරා කම්කරු පන්ති ව්‍යාපාරයක වර්ධනයට වැඩපිලිවෙලක් හා ඉදිරිදර්ශනයක් තිබිය යුතුය. කතිපයාධිකාරයේ නොසලකා හැරීම හා උදාසීනත්වය හමුවේ, කම්කරු පන්තිය රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත හා ගෝලීය වශයෙන් සම්බන්ධීකරන පියවර ගැනීම සඳහා සටන් කල යුතුය.

ඩොලර් ට්‍රිලියන ගනන් වෙන් කල යුත්තේ, කොටස් වටිනාකම් සහ මූල්‍ය කතිපයාධිකාරයේ ධනය වැඩි කිරීම සඳහා නොව, අවශ්‍ය සියලු දෙනාටම සර්වසාධාරන පරීක්ෂන සහතික කිරීම, නව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉදිකිරීම, බෙහෙවින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා උපකරන නිෂ්පාදනය කිරීම සහ හදිසි අවස්ථා සැලසීම සඳහා ය. අනාරක්ෂිත කොන්දේසි නිසා වැඩ කිරීමට නොහැකිවී ඇති සියලු දෙනාට ආධාර කිරීම සඳහාය.

පාලක පන්තිය වසංගතයට දක්වන බිහිසුනු හා අමානුෂික ප්‍රතිචාරය, ධනවාදී ක්‍රමයේ සැබෑ ස්වභාවය මොනවට පැහැදිලි කරයි. ශිෂ්ඨ සම්පන්න සමාජයක මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා මෙම ක්‍රමය පෙරලා දමා එය සමාජවාදී ආකාරයට ප්‍රතිනිර්මානය කිරීම අවශ්‍ය වේ.

Loading